93වෙනි පරිච්ඡේදය
මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වන විට
යේසුස් උතුරෙහි (සමාරියෙහි හෝ ගලීලයෙහි හෝ) සිටින අතරවාරයේදී, පරිසිවරුන් ඔහුගෙන් අසනවා රාජ්‍යයේ පැමිණීම පිළිබඳව. රාජ්‍යය පැමිණීම සිදු වන්නේ මහත් තේජසින් යුක්තව හා උත්සවශ්‍රීයෙන් බව ඔවුන් විශ්වාස කළත් යේසුස් මෙසේ පවසනවා. “දෙවිගේ රාජ්‍යයේ පැමිණීම පැහැදිලි ලෙස දැකගත නොහැක. එමෙන්ම, ‘මෙන්න මෙතනය!’ හෝ ‘එතනය!’ හෝ කියා මිනිසුන් පවසන්නේද නැත. බලන්න! මන්දයත් දෙවිගේ රාජ්‍යය ඔබ අතරෙහිය.”
“ඔබ අතරෙහිය” යන යේසුස්ගේ වදන් ඇතැම්විට පරිවර්තනය කර ඇත්තේ “නුඹලා ඇතුලේ” යනුවෙනුයි. ඒ නිසා, දෙවිගේ රාජ්‍යය ඔහුගේ සේවකයන්ගේ හදවත් තුළ පාලනය කරන බව යේසුස් මෙයින් අදහස් කළායයි සමහර අය නිගමනය කර තිබෙනවා. දෙවිගේ රාජ්‍යය, යේසුස් කතා කරමින් සිටින මෙම නොඇදහිලිකාර පරිසිවරුන්ගේ හදවත් තුළ නොතිබෙන බව නම් හොඳටම පැහැදිලියි. එහෙත්, දෙවිගේ රාජ්‍යයේ පත් කරන ලද රජු වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් සමඟ සිටින නිසා එය ඔවුන් අතරේ කියා පැවසිය හැකියි.
රාජ්‍යයේ පැමිණීම ගැන යේසුස් තම ගෝලයන් සමඟ තවදුරටත් කතා කරන්නේ සමහරවිට පරිසිවරුන් පිටත්ව ගියායින් පසුව වන්න ඇති. “මිනිස්සු ඔබට, ‘අන්න එතනය!’ හෝ ‘මෙන්න මෙතනය!’ හෝ කියා පවසති. පිටතට නොයන්න. [බොරු මෙසියස්වරුන්] පසුපස නොයන්න. මන්ද, විදුලි කෙටීමකින් ඇති වන ආලෝකය අහසේ එක් තැනක සිට තවත් තැනක් දක්වා විහිදෙන්නාක් මෙන්, මනුෂ්‍ය පුත්‍රයාද එසේම වන්නේය” යනුවෙන් අවවාද කරන විට යේසුස්ගේ මනසෙහි විශේෂයෙන්ම තිබෙන්නේ රාජ්‍ය බලයෙන් යුක්තව ඔහු අනාගතයේදී පැමිණ සිටීමට යන කාලයයි. විදුලි කෙටීමක් සිදු වන විට එය විශාල පෙදෙසකට පෙනෙනවා. ඉතිං යේසුස් අඟවමින් සිටින්නේ, රාජ්‍ය බලයෙන් යුක්තව ඔහු පැමිණ සිටින කාලය ඇරඹී ඇති බවට තිබෙන සාක්ෂි, එය අවබෝධ කරගැනීමට කැමති සියල්ලන්ට ඒ හා සමානව පැහැදිලිව දිස් වනු ඇති බවයි.
අනාගතයේදී තමා පැමිණ සිටින කාලය තුළදී ජීවත් වන මිනිසුන් තුළ කුමනාකාරයේ ආකල්ප තිබේද කියා පෙන්වීම සඳහා ඔහු පැරණි සිද්ධීන් මතක් කර දෙමින් මෙම සැසඳීම කරනවා. “තවද, නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම, මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීද වන්නේය. . . . ලොත්ගේ දවස්වලදීද එලෙසම සිදු විය. ඔවුහු කමින්, බොමින්, මිල දී ගනිමින් විකුණමින්, වවමින් ගොඩනඟමින් සිටියහ. නමුත් ලොත් සොදොමින් පිටතට ආ දවසේදී අහසෙන් ගිනිද ගෙන්දගම්ද වැස ඔවුන් සියල්ලන්ව විනාශ කළේය. මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වීමට නියමිත ඒ දවසේදීද ඒ ආකාරයෙන්ම සිදු වන්නේය.”
නෝවාගේ දවසේ හා ලොත්ගේ දවසේ සිටි මිනිසුන් විනාශ වුණේ ඔවුන් ජීවිතයේ සාමාන්‍ය කටයුතු වන කමින්, බොමින්, මිලේට ගනිමින්, විකුණමින්, වවමින්, ගොඩනඟමින් සිටි නිසා කියා යේසුස් පවසමින් සිටිනවා නොවෙයි. නෝවා, ලොත් හා ඔවුන්ගේ පවුල්වල අයද මේ දේවල නිරත වුණා. එහෙත් අනිත් අය එවැනි දෛනික කටයුතුවල යෙදී සිටියේ දෙවිගේ කැමැත්ත ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමිනුයි. ඔවුන් විනාශ වුණේ ඒ නිසයි. පවතින මේ සමාජ ක්‍රමය පිට ඇති වන මහත් පීඩාවේදී ක්‍රිස්තුස් එළිදරව් වන විට ජනයාත් විනාශ වනු ඇත්තේ ඒ හේතුව නිසාමයි.
අනාගතයේදී රාජ්‍ය බලයෙන් යුක්තව තමා පැමිණ සිටින කාලය ඇරඹී ඇති බවට තිබෙන සාක්ෂිවලට නොපමාව ප්‍රතිචාරය දැක්වීමේ ඇති වැදගත්කම අවධාරණය කරමින් යේසුස් මෙයද පවසනවා. “එදින, වහල් තලයේ සිටින්නා ගේ ඇතුලේ තිබෙන තම බඩුබාහිරාදිය ගැනීමට පහළට නොබසින්න. එසේම, කෙතෙහි සිටින්නාද තමන් අත්හැර ගිය දේවල් ගැනීමට ආපසු නොඑන්න. ලොත්ගේ බිරිඳව සිහි කරන්න.”
යේසුස් පැමිණ සිටින කාලය උදෙසා තිබෙන සාක්ෂි දක්නට ලැබෙන විට, ද්‍රව්‍යමය දේපොළවලට ඇති ආශාව නිසා විගස පියවර ගැනීමෙන් වැළකී සිටින තත්වයට මිනිසුන් පත් නොවිය යුතුයි. පෙනෙන ආකාරයට සොදොමෙන් පලා යද්දී, නුවරෙහි අත්හැර දමා ගිය දේවලට ආශා වී ලොත්ගේ බිරිඳ ආපසු හැරී බැලුවා. ඈ ලුණු කණුවක් බවට පත් වුණේ ඒ නිසයි.
අනාගතයේදී තමා පැමිණ සිටින කාලය තුළදී පවතින්නාවූ තත්වය ගැන යේසුස් තම ගෝලයන්ට තවදුරටත් විස්තර කරන්නේ මෙසේයි. “ඒ රාත්රියේදී මිනිසුන් දෙදෙනෙක් එක ඇඳක සිටිනු ඇත. එක් තැනැත්තෙකුව ගෙන යනු ලබන නමුත් අනික් තැනැත්තාව අත්හරිනු ලැබේ. ස්ත්‍රීන් දෙදෙනෙක් එකම ඇඹරුම් ගලේ අඹරමින් සිටිනු ඇත. එක් තැනැත්තියකව ගෙන යනු ලබන නමුත් අනික් තැනැත්තියව අත්හරිනු ලැබේ.”
නෝවා තම පවුල සමඟ නැවට ඇතුල් වීමත්, දේවදූතයන් ලොත් හා ඔහුගේ පවුල සොදොමෙන් ඉවතට ගෙන යෑමත්, ගෙන යනු ලැබීමට සමාන කරන්න පුළුවන්. එයින් අදහස් වන්නේ ගැලවීමයි. අනික් අතට, අත්හරිනු ලැබීමෙන් අදහස් වන්නේ විනාශයට පමුණුවීමයි.
මේ අවස්ථාවේදී, ගෝලයන් අසන්නේ, “ස්වාමිනි, ඒ කොතැන්හිද” කියායි.
“මෘත දේහය කොතැනද, රාජාලියන්ද රැස් වන්නේ එතැනටය” කියා යේසුස් පිළිතුරු දෙනවා. ගැලවීම උදෙසා ‘ගෙන යනු ලබන’ අය “මෘත දේහය” ළඟ රැස් වන දූරදර්ශී රාජාලීන් හා සමානයි. මෘත දේහය යොමු දක්වන්නේ රාජ්‍ය බලයෙන් යුක්තව අදෘශ්‍යමානව පැමිණ සිටින සැබෑ ක්‍රිස්තුස්ට සහ යෙහෝවා සපයන ආත්මික මංගල්‍යයටයි. ලූක් 17:20-37, NW; උත්පත්ති 19:26.
▪ පරිසිවරු අතරෙහි රාජ්‍යය තිබුණේ කෙසේද?
▪ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය විදුලි කෙටීමකට සමාන වන්නේ කුමන ආකාරයකින්ද?
▪ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය තුළදී තමන් ක්‍රියා කරන ආකාරය නිසා මිනිසුන් විනාශ වනු ඇත්තේ ඇයි?
▪ ගෙන යනු ලැබීම සහ අත්හරිනු ලැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?