99වෙනි පරිච්ඡේදය
යේසුස් යෙරිකෝවේදී උගන්වයි
වැඩි වේලාවක් යන්න ඉස්සෙල්ලා, යේසුස් සහ ඔහු සමඟ ගමන් කරමින් සිටින සෙනඟ යෙරිකෝවට පැමිණෙනවා. යෙරිකෝවේ සිට යෙරුසලමට ගමන් කිරීමට තවත් දවසක් පමණ ගත වෙනවා. පෙනෙන විදිහට යෙරිකෝව නගරවල් දෙකකින් සමන්විතයි. අලුත් රෝමානු නගරයේ සිට කිලෝමීටර් 1.5ක් පමණ ඈතින් පරණ යුදෙව් නගරය පිහිටා තිබෙනවා. සෙනඟ පරණ නුවරෙන් පිට වී අලුත් නුවරට පැමිණෙන විට ඇති වන ඝෝෂාව අන්ධ හිඟන්නන් දෙදෙනෙකුට ඇසෙනවා. ඔවුන්ගෙන් එක් කෙනෙකුගේ නම බාතිමේයස්.
තමන්ව පසු කර යන්නේ යේසුස් බව දැනගන්නා විට බාතිමේයස් හා ඔහුගේ මිත්‍රයා “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න” කියා කෑගසනවා. නිශ්ශබ්ද වන්න කියා සෙනඟ ඔවුන්ට සැර කරන විට ඔවුන් තවත් හයියෙන් කෑගසමින් මෙසේ කියනවා. “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න.”
ඝෝෂාව ඇසී යේසුස් නවතිනවා. කෑගසමින් සිටින අයව තමා වෙතට කැඳවාගෙන එන ලෙස ඔහු තමා සමඟ සිටින අයට පවසනවා. මොවුන් අන්ධ හිඟන්නන් දෙදෙනා වෙතට ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකුට පවසන්නේ මෙසේයි. “ධෛර්යවත් වන්න. නැඟිටින්න, ඔහු ඔබට හඬගසන්නේය.” කියා නිම කරන්න බැරි සතුටකින් අන්ධ මනුෂ්‍යයා තම පිට වස්ත්‍රය පැත්තකට විසි කර දමමින් විගස නැඟිට යේසුස් වෙතට යනවා.
“මා ඔබ වෙනුවෙන් කුමක් කරනවාට කැමතිද” කියා යේසුස් අසනවා.
එවිට අන්ධ මනුෂ්‍යයන් දෙදෙනාම ඉතා බැගෑපත්ව අයැද සිටින්නේ “ස්වාමිනි, අපේ ඇස් පාදන්න” කියායි.
යේසුස් අනුකම්පාවෙන් පෙලඹී ඔවුන්ගේ දෙනෙත් ස්පර්ශ කරනවා. මාක්ගේ වාර්තාවේ සඳහන් වන පරිදි යේසුස් ඔවුන්ගෙන් එක් කෙනෙකුට “යන්න, ඔබේ ඇදහිල්ල ඔබව සුව කළේය” කියා පවසනවා. විගස අන්ධ හිඟන්නන්ට පෙනීම ලැබෙන අතර ඔවුන් දෙදෙනාම දෙවිට ප්‍රශංසා කරන බවට නිසැකයි. සිදු වී තිබෙන දෙය දකින විට සියලුදෙනාත් දෙවිට ප්‍රශංසා කරනවා. බාතිමේයස් හා ඔහුගේ මිත්‍රයා එවෙලේම යේසුස්ව අනුගමනය කිරීමට පටන්ගන්නවා.
යේසුස් යෙරිකෝව හරහා ගමන් කරද්දී අතිවිශාල සෙනඟක් ඔහු වටා එක් රොක් වෙනවා. සෑම කෙනෙකුම නොඉවසිලිමත්ව බලා සිටින්නේ අන්ධ මනුෂ්‍යයන්ව සුව කළ තැනැත්තාව දැකබලා ගැනීමටයි. යේසුස් වටේම සෙනඟ තෙරපෙමින් සිටින නිසා සමහරදෙනෙකුට ඔහුව දැකගන්නවත් බැරි වෙනවා. මේ අතරෙහි සකෙවුස්ද සිටිනවා. ඔහු යෙරිකෝවේ හා ඒ අවට ප්‍රදේශයේ බදු එකතු කරන්නන්ගේ ප්රධානියායි. ඔහු ඉතා මිටි පුද්ගලයෙක් වන නිසා සිදු වෙමින් තිබෙන දේ දැකගැනීමට ඔහුට නොහැකියි.
ඒ නිසා, සකෙවුස් යේසුස් ගමන්ගන්නා මාර්ගයේ ඔහුට ඉදිරියෙන් දුව ගොස් අත්තික්කා ගසකට නඟිනවා. මේ ස්ථානයේ සිට ඔහුට සෑම දෙයක්ම හොඳින් දැකබලා ගන්න පුළුවන්. සෙනඟ එතැනට ළඟා වන විට යේසුස් ගස දෙස බලමින්, “සකෙවුස්, ඉක්මන් කර බිමට බහින්න. අද මට ඔබේ ගෙදර නවතින්න ඕනෑය” කියා පවසනවා. එවිට ප්‍රීතියෙන් උද්දාමයට පත් වන සකෙවුස් ගසින් බැස තම විශේෂ අමුත්තා වෙනුවෙන් දේවල් පිළියෙළ කිරීම සඳහා ඉක්මනින් නිවසට පිටත්ව යනවා.
එහෙත් ජනයා සිදු වන දෙය දැක කොඳුරන්න පටන්ගන්නවා. ඔවුන් සිතන්නේ එවැනි මනුෂ්‍යයෙකුගේ නිවසේ යේසුස් නැවතී සිටීම නුසුදුසු දෙයක් කියායි. මන්ද, සකෙවුස් ධනවත් වී තිබෙන්නේ මිනිසුන්ගෙන් වංක ලෙස බදු එකතු කිරීමෙනුයි.
මනුෂ්‍යයන් බොහෝදෙනෙක් යේසුස් පසුපස යනවා. ඔහු සකෙවුස්ගේ නිවසට ඇතුල් වන විට, “ඔහු පව්කාර මිනිසෙකු සමඟ නවාතැන් ගන්න ගියේය” යනුවෙන් ඔවුන් කොඳුරනවා. එහෙත් යේසුස් දකිනවා, සකෙවුස් තුළ පසුතැවිලි වීමට නැඹුරුවාවක් තිබෙන බව. ඇත්තෙන්ම යේසුස්ගේ බලාපොරොත්තුව කඩ වන්නේ නැහැ. සකෙවුස් නැඟිට, “ස්වාමිනි, බලන්න! මා සතු දෙයින් අඩක් දිලිඳුන්ට දෙන්නෙමි. බොරු චෝදනා එල්ල කර මම යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම් ඔහුට හතර ගුණයක් දෙන්නෙමි” කියා පවසනවා.
තමා සතු දේපොළවලින් භාගයක් දිලිඳුන්ට බෙදා දීමෙනුත් ඉතිරි කොටස තමා වංචනික ලෙස බදු එකතු කළ අයට ගෙවා දැමීමෙනුත් තමා අවංකව පසුතැවිලි වන බව සකෙවුස් ඔප්පු කරනවා. පෙනෙන විදියට, එම මනුෂ්‍යයන්ට ඔහු කොපමණ ගෙවිය යුතුද කියා අයබදු වාර්තාවලින් ඔහුට නිශ්චිතවම දැනගත හැකියි. ‘මනුෂ්‍යයෙක් බැටළුවෙකු සොරකම් කළහොත්, බැටළුවෙකුට බැටළුවන් සතරදෙනෙකු දිය යුතුය’ යන දෙවිගේ නීතියට එකඟව සතර ගුණයකින් වන්දි ගෙවීමට ඔහු පොරොන්දු වන්නේ ඒ නිසයි.
තම දේපොළ බෙදා දීමට සකෙවුස් පොරොන්දු වීම ගැන යේසුස් සතුටට පත් වී මෙසේ පවසනවා. “අද මේ ගෙට ගැලවීම පැමිණ තිබේ. මන්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි. මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ නැති වූ දේ සොයා ගලවාගැනීමටය.”
මෑතකදී, අකීකරු පුත්‍රයා පිළිබඳ කතන්දරයෙන් “නැති වූ” අයගේ තත්වය ඔහු පැහැදිලි කර තිබෙනවා. මෙය, නැති වී සම්බ වූ කෙනෙක් පිළිබඳ සැබෑ අද්දැකීමක්. ආගමික නායකයන් හා ඔවුන්ව අනුගමනය කරන්නන් සකෙවුස් වැනි අයට යේසුස් දක්වන සැලකිල්ල ගැන කොඳුරමින් හා දොස් නඟමින් සිටිනවා. එහෙත් යේසුස් ආබ්‍රහම්ගේ නැති වූ එවැනි පුත්‍රයන්ව දිගටම සොයමින් ඔවුන්ට ආත්මිකව සුවය ලබා දෙනවා. මතෙව් 20:29-34; මාක් 10:46-52; ලූක් 18:35–19:10; NW; නික්මයාම 22:1.
▪ පෙනෙන ආකාරයට යේසුස්ට අන්ධ හිඟන්නන්ව මුණගැසෙන්නේ කොතැනදීද? යේසුස් ඔවුන් වෙනුවෙන් කරන්නේ කුමක්ද?
▪ සකෙවුස් කවුද? ඔහු ගසකට නඟින්නේ ඇයි?
▪ සකෙවුස් තමා පසුතැවිලි වී ඇති බව ඔප්පු කරන්නේ කොහොමද?
▪ යේසුස් සකෙවුස්ට සලකන ආකාරයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?