100වෙනි පරිච්ඡේදය
මීනා කාසි පිළිබඳ උපමාව
යේසුස් යෙරුසලමට යන අතරමඟදී සකෙවුස්ගේ නිවසෙහි නතර වෙනවා. ඔහු දැනුත් සිටින්නේ එහේ වෙන්න ඇති. ඔවුන් යෙරුසලමට පැමිණුණ පසු යේසුස් තමා මෙසියස් බව ප්‍රකාශ කර තමාගේ රාජ්‍යය පිහිටුවනු ඇති බව ගෝලයන් විශ්වාස කරනවා. එම මතය නිවැරදි කර රාජ්‍යය පිහිටුවීමට තව බොහෝ කාලයක් තිබෙන බව පෙන්වීම සඳහා යේසුස් උපමාවක් කියා දෙනවා.
“එක්තරා වංශවත් මිනිසෙක්, තමන්ට රාජ්‍ය බලය ලබාගෙන ආපසු එන පිණිස දුර දේශයකට ගමන් කළේය” කියා ඔහු පවසනවා. ‘වංශවත් මනුෂ්‍යයා’ යේසුස්. ඒ වගේම “දුර දේශය” ස්වර්ගයයි. යේසුස් එහෙට ගිය පසු ඔහුගේ පියා ඔහුට රාජ්‍ය බලය ප්‍රදානය කළා.
එහෙත් පිටත්ව යෑමට පෙර, වංශවත් මිනිසා දාසයන් දසදෙනෙකුව කැඳවා ඔවුන්ට රිදී මීනා කාසිය බැගින් දී, “මා එන තුරු වෙළඳාම් කරන්න” කියා පවසනවා. මුල් ඉටුවීමේදී දාසයන් දසදෙනාගෙන් නියෝජනය වන්නේ යේසුස්ගේ මුල් ගෝලයන්වයි. පුළුල්ව අදාළ කරද්දී ඔවුන්ගෙන් නිරූපණය වන්නේ ස්වර්ග රාජ්‍යයෙහි යේසුස් සමඟ උරුමක්කරුවන් වීමේ අපේක්ෂාව තිබෙන සියලුදෙනාවයි.
රිදී මීනා කාසියක් කියන්නේ ඉතා වටිනා මුදලක්. එක මීනා කාසියක් මාස තුනකට පමණ සේවයේ යෙදෙන ගොවියෙකුට ලැබෙන වැටුපට සමානයි. එහෙත් මීනා කාසිවලින් නියෝජනය වන්නේ කුමක්ද? ඒ වගේම, ඒවා යොදාගනිමින් දාසයන් කුමනාකාරයේ වෙළඳාමක්ද කළ යුත්තේ?
මීනා කාසිවලින් නියෝජනය වන්නේ, පොරොන්දු කරන ලද රජු වශයෙන් යේසුස් පැමිණෙන තුරු ස්වර්ග රාජ්‍යයට තවත් උරුමක්කරුවන්ව එකතු කරගැනීමේදී, ශුද්ධාත්මයෙන් උත්පාදනය කරන ලද ගෝලයන් භාවිත කරන වත්කම්. යේසුස් නැවත නැඟිට ගෝලයන්ට දර්ශනය වූ පසු, තවත් ගෝලයන් සෑදීම සඳහා ඔහු ඔවුන්ට සංකේතවත් මීනා කාසි දුන්නා. එමගින් ස්වර්ග රාජ්‍ය පංතියට තවත් සාමාජිකයන්ව එකතු කරගැනීමට ඔවුන්ට පුළුවන් වුණා.
යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “නමුත් ඔහුගේ රටවැසියෝ [වංශවත් මිනිසාට] වෛර වී, ‘මොහු අප කෙරෙහි රජකම් කරනවාට අප කැමති නැත’ යයි කියනු පිණිස, තානාපති පිරිසක්ව ඔහු පස්සේ යැවූහ.” රටවැසියෝ නම් ඊශ්‍රායෙල්වරුන් නැතහොත් යුදෙව්වරුන්. මෙයට ඔහුගේ ගෝලයන් අයත් නොවෙයි. යේසුස් ස්වර්ගයට ගිය පසු, මෙම යුදෙව්වරුන් ඔහුගේ ගෝලයන්ට පීඩා කිරීම මගින් ප්‍රකාශ කළේ යේසුස් තමන්ගේ රජු වෙනවාට ඔවුන් අකමැති බවයි. මෙලෙස, ඔවුන් ක්‍රියා කළේ තානාපති කණ්ඩායමක් යැවූ රටවැසියන් මෙනුයි.
දාසයන් දසදෙනා ඔවුන්ගේ මීනා කාසි භාවිත කරන්නේ කෙසේද? යේසුස් එය මෙසේ පැහැදිලි කරනවා. “අවසානයේදී, ඔහු රාජ්‍ය බලය ලබාගෙන ආපසු පැමිණි විට, තමන් රිදී මුදල දුන් ඒ දාසයන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලින් කොපමණ උපයාගත්තේදැයි බලන පිණිස ඔවුන්ව තමන් වෙතට කැඳවන මෙන් අණ කළේය. එවිට පළමුවෙනියා ඉදිරිපත් වී, ‘ස්වාමිනි, ඔබේ මීනා එකෙන් මීනා දසයක් උපදවාගත්තේය’ යි කීවේය. එබැවින් ඔහු, ‘යහපත් දාසය, ඉතා අගෙයි! මන්ද, ඉතා කුඩා කාරණයකදී ඔබේ විශ්වාසවන්තභාවය ඔප්පු කර තිබෙන හෙයින් නුවරවල් දසයක් කෙරෙහි අධිපතිකම් කරන්න’ යයි ඔහුට කීවේය. දැන් දෙවැන්නා ඇවිත්, ‘ස්වාමිනි, ඔබේ මීනා එකෙන් මීනා පහක් උපදවාගත්තේය’ යි කීවේය. එවිට ඔහු, ‘ඔබත් නුවරවල් පහක් භාරව සිටින්න’ යයි ඔහුට කීවේය.”
මීනා කාසි දසය ඇති දාසයාගෙන් නියෝජනය වන්නේ, ප්‍රේරිතයන්ද ඇතුළුව ක්‍රි.ව. 33 සිට මේ දක්වා සිටින ගෝලයන්ගෙන් යුත් කණ්ඩායමක් හෝ පංතියක්. මීනා කාසි පහක් උපදවාගත් දාසයාගෙන්ද නියෝජනය වන්නේ එම කාල පරිච්ඡේදය තුළදීම, තම ප්‍රස්තා හා හැකියාවන්වලට අනුව පොළොව මත රජුගේ වත්කම් වැඩි කළාවූ කණ්ඩායමක්. මෙම කණ්ඩායම් දෙකම ජ්වලිතවත්ව ශුභාරංචිය දේශනා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවංක අය බොහෝදෙනෙක් ක්‍රිස්තියානීන් බවට පත් වෙනවා. දාසයන් නවදෙනෙක් සාර්ථක ලෙස වෙළඳාම් කර ඔවුන්ගේ වත්කම් වැඩි කරගත්තා.
“නමුත්” යේසුස් තවදුරටත් පැහැදිලි කරන ලෙස, “තවත් කෙනෙක් ඇවිත් මෙසේ කීවේය: ‘ස්වාමිනි, මෙන්න ඔබ මට දුන් මීනා එක. එය මම රෙද්දක ඔතා තැබුවෙමි. මන්ද, ඔබ කර්කශ මිනිසෙකු නිසා මම ඔබට බියව සිටියෙමි; ඔබ තැන්පත් නොකළ දේ ගන්නෙහිය. ඔබ නොවපුළ දේ කපාගන්නෙහිය.’ ඔහු ඔහුට මෙසේ කීවේය: ‘දුෂ්ට දාසය, ඔබේම වචනවලින් මම ඔබව විනිශ්චය කරමි. මා තැන්පත් නොකළ දේ ගන්නා, නොවපුළ දේ කපාගන්නා කර්කශ මිනිසෙකු බව ඔබ දැන සිටියෙහිද? එසේ නම්, ඔබ මාගේ රිදී මුදල බැංකුවක නොදැම්මේ මන්ද? එසේ කළා නම්, මා පැමිණි කල, එය පොළියත් සමඟ මට නැවත ලබාගන්න තිබුණි.’ එසේ කියා, ඔහු ළඟ සිටගෙන සිටි අයට කතා කොට, ‘ඔහුගෙන් මීනා එක ගෙන මීනා දසය ඇති තැනැත්තාට දෙන්න’ යයි කීවේය.”
දුෂ්ට දාසයාට සංකේතවත් මීනා කාසිය අහිමි වීමෙන් අදහස් කරන්නේ ස්වර්ග රාජ්‍යයෙහි ස්ථානයක් අහිමි වීමයි. ඇත්තෙන්ම එය හරියට නුවරවල් දසයක් කෙරෙහි හෝ නුවරවල් පහක් කෙරෙහි ආණ්ඩු කිරීමේ වරප්‍රසාදය ඔහුට අහිමි වෙනවා හා සමානයි. ඔහුව දුෂ්ට දාසයෙක් ලෙස හඳුන්වන්නේ ඔහු කරන යම් නපුරුකමක් නිසා නොව, නමුත් ඔහුගේ ස්වාමියාගේ රාජ්‍යයේ වස්තු වැඩි කිරීමට ඔහු අපොහොසත් වීම නිසා බව සැලකිල්ලට ගන්න.
දුෂ්ට දාසයාගේ මීනා කාසිය පළමු දාසයාට දෙන විට, “ස්වාමිනි, ඔහුට මීනා දසයක් තිබේ” කියා ඔවුන් විරෝධය පළ කරනවා. එහෙත්, යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඇති සැම කෙනෙකුටම වැඩියෙන් දෙනු ලැබේ. නමුත් නැති තැනැත්තාගෙන්, ඔහුට තිබෙන දේ පවා ගනු ලැබේ. මා තමුන් කෙරෙහි රජකම් කරනවාට කැමති නොවූ මාගේ මේ සතුරන්ව මෙතැනට ගෙනැවිත් මා ඉදිරියෙහි මරා දමන්න.’” ලූක් 19:11-27; මතෙව් 28:19, 20; NW.
▪ මීනා කාසි පිළිබඳ උපමාව දීමට යේසුස් පෙලඹෙන්නේ ඇයි?
▪ වංශවත් මිනිසා කවුද? ඔහු යන දුර දේශය කුමක්ද?
▪ දාසයන් කවුරුන්ද? මීනා කාසිවලින් නියෝජනය වන්නේ කුමක්ද?
▪ රටවැසියන් කවුරුන්ද? ඔවුන් තම වෛරය පෙන්වන්නේ කෙසේද?
▪ එක් දාසයෙකුව දුෂ්ට දාසයෙකු ලෙස හඳුන්වා ඇත්තේ ඇයි? ඔහුගේ මීනා කාසිය අහිමි වීමෙන් අදහස් වන්නේ කුමක්ද?