105වෙනි පරිච්ඡේදය
තීරණාත්මක දවසක ආරම්භය
යේසුස් සඳුදා සවස යෙරුසලමෙන් පිට වී ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ පිහිටි බෙතානියට ආපසු පැමිණෙනවා. මෙය, යෙරුසලමෙහි දේවසේවයේ යෙදෙන අන්තිම වතාවයි. මේ වන විට දවස් දෙකක්ම නිමා වී තිබෙනවා. යේසුස් නැවතත් තම මිත්‍ර ලාසරුස්ගේ නිවසේ රාත්‍රිය ගත කරන බවට සැකයක් නැහැ. සිකුරාදා යෙරිකෝවේ සිට පැමිණීමෙන් අනතුරුව ඔහු බෙතානියේ ගත කරන සතර වන රාත්‍රිය මෙයයි.
නීසාන් 11වන අඟහරුවාදා අලුයම වන විට ඔහු නැවත වතාවක් තම ගෝලයන් සමඟ ගමන් කරමින් සිටිනවා. මෙය, යේසුස් මෙතෙක් කළ දේවසේවයේ වඩාත්ම කාර්යබහුල දවස වන අතර එය තීරණාත්මක දවසක්ද වෙනවා. ඔහු දේවමාලිගාවට යන අන්තිම දවසයි මේ. ඒ වගේම ඔහුගේ නඩු විභාගය හා මරණයට කලින් ඔහු ප්‍රසිද්ධියේ දේවසේවයේ යෙදෙන අන්තිම දවස මෙයයි.
යෙරුසලමට යෑම සඳහා යේසුස් හා ඔහුගේ ගෝලයන් ගමන් කරන්නේ ඔලීව කන්ද හරහා තිබෙන මාර්ගය ඔස්සේයි. බෙතානියේ සිට එම මාර්ගය හරහා ගමන් ගන්නා විට යේසුස් කලින් දවසේ උදෑසන ශාප කළ අත්තික්කා ගස පේතෘස්ගේ නෙත ගැටෙනවා. ඔහු මෙසේ පවසනවා. “රබ්බි, බලන්න! ඔබ ශාප කළ අත්තික්කා ගස මැලවී තිබේ.”
යේසුස් ඒ ගස මැලවෙන්න සැලැස්සුවේ මන්ද? ඊට හේතුව අඟවමින් ඔහු මෙසේ පවසනවා. “සැබවින්ම මම ඔබට කියමි, ඔබ සැක නොකොට ඇදහිල්ල ඇතිව සිටියොත් පමණක්, මා අත්තික්කා ගසට කළ දේ ඔබත් කරනවා ඇත. එපමණක්ද නොව, ඔබ මේ කන්දට, [ඔවුන් සිටගෙන සිටින ඔලීව කන්දට] ‘ඉදිරී ගොස් මුහුදේ වැටෙන්න’ යයි කීවොත් එයද සිදු වනු ඇත. එහෙයින් ඇදහිල්ලෙන් යුතුව ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සියල්ලම ඔබට ලැබෙන්නේය.”
ඉතිං, ගස මැලවෙන්න සැලැස්වීමෙන් දෙවි කෙරෙහි ඇදහිල්ල පෙන්වීමේ ඇති වැදගත්කම පිළිබඳව යේසුස් තම ගෝලයන්ට ආදර්ශ පාඩමක් උගන්වනවා. ඔහු සඳහන් කරන්නේ මෙසේයි. “ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සියලු දේ ඔබට ලැබුණේයයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේමය.” ළඟදීම ඔවුන්ට මුහුණ දෙන්න සිදු වන බිය උපදවන පරීක්ෂා ගැන සලකා බලද්දී ඔවුන් මේ පාඩම ඉගෙනගැනීම මොන තරම් වැදගත් දෙයක්ද! එහෙත් අත්තික්කා ගස මැලවෙන්න සැලැස්වීම හා ඇදහිල්ල නමැති ගුණාංගය අතර තවත් සම්බන්ධයක් තිබෙනවා.
අත්තික්කා ගස හා සමානව, ඊශ්‍රායෙල් ජාතියට තිබෙන්නෙත් මුළා කරවනසුලු පෙනුමක්. ඊශ්‍රායෙල් ජාතිය දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටිනවා. ඒ වගේම, ඔවුන් ඔහුගේ අණ පනත් පිළිපදින බවක් පෙනෙන්ට තිබිය හැකියි. එහෙත් ඔවුන් ඇත්තෙන්ම ඇදහිල්ල නොමැති, යහපත් පල නොදරන ජාතියක් බව ඔප්පු වී තිබෙනවා. ඇදහිල්ල නොමැති නිසා ඔවුන් දෙවිගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කරන තත්වයට පවා පත් වෙලා! ඉතිං, පල නොදරන අත්තික්කා ගස මැලවී යෑමට සැලැස්වීමෙන් යේසුස් නිදර්ශනය කරමින් සිටින්නේ පල නොදරන, ඇදහිල්ල නොමැති මේ ජාතියට අවසානයේදී අත් වන ප්‍රතිඵලයයි.
කෙටි වේලාවකින් පසුව, යේසුස් හා ඔහුගේ ගෝලයන් යෙරුසලමට ඇතුල් වෙනවා. සිරිත් පරිදි ඔවුන් දේවමාලිගාවට යන අතර එහිදී යේසුස් ඉගැන්වීමට පටන්ගන්නවා. කලින් දවසේ මුදල් මාරු කරන්නන්ට විරුද්ධව යේසුස් කටයුතු කළ ආකාරය තවමත් නායක පූජකයන්ගේ හා වැඩිමහල්ලන්ගේ මතකයේ රැඳී ඇති බව නොඅනුමානයි. ඒ නිසා, ඔවුන් මෙසේ ප්‍රශ්න කරනවා. “ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද? ඔබට මේ අධිකාරිය දුන්නේ කවුද?”
යේසුස් පිළිතුරු වශයෙන් පවසන්නේ මෙසේයි. “මමත් ඔබෙන් එක දෙයක් අසමි. ඔබ මට එය කීවොත්, මා මේ දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද කියා මමත් ඔබට කියමි: යොහන් කළ බව්තීස්මය ලැබුවේ කාගෙන්ද? ස්වර්ගයෙන්ද නැත්නම් මිනිසුන්ගෙන්ද?”
මෙයට පිළිතුරු දිය යුත්තේ කෙසේද කියා පූජකයන් හා වැඩිමහල්ලන් තම තමන් අතරේ සාකච්ඡා කරනවා. ‘අප “ස්වර්ගයෙන්” කියා කීවොත්, “එසේ නම් ඔබ ඔහුව විශ්වාස නොකළේ මන්ද?” කියා ඔහු අපෙන් අසන්නේය. නමුත් “මිනිසුන්ගෙන්” යයි කීවොත්, අපට සමූහයාට භයෙන් සිටීමට සිදු වේ. මන්ද, ඒ සියලුදෙනාම යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස සලකන බැවිනි.’
කොහොම පිළිතුරු දෙන්නද කියා නොදැන සිටින නිසා නායකයන් යේසුස්ට පවසන්නේ “අපි නොදනිමු” කියායි.
එවිට යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “මා මේ දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද කියා මමත් ඔබට නොකියමි.” මතෙව් 21:19-27; මාක් 11:19-33; ලූක් 20:1-8; NW.
▪ නීසාන් 11වන අඟහරුවාදා විශේෂ දවසක් වන්නේ කුමක් නිසාද?
▪ අත්තික්කා ගස මැලවී යෑමට සැලැස්වීමෙන් යේසුස් කිනම් පාඩම් උගන්වයිද?
▪ යේසුස් දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද කියා අසන අයට ඔහු පිළිතුරු දෙන්නේ කෙසේද?