ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fy 1 පරි. 4-12 පි.
  • පවුලේ සන්තෝෂයට රහසක් තිබේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සන්තෝෂයට රහසක් තිබේද?
  • පවුලේ සන්තෝෂයට රහස
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පවුලක් යනු කුමක්ද?
  • පීඩනයට ලක් වූ පවුල
  • පවුලේ සන්තෝෂයට රහස
  • පවුල් ජීවිතය තුළ දේවසමාදානය ලුහුබඳින්න
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුල් ජීවිතය භුක්ති විඳින්න
    පවුල් ජීවිතය භුක්ති විඳින්න
  • පවුල් සන්තෝෂයට රහස සොයා ගැනීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • පවුල මිනිස් අවශ්‍යතාවක්!
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
පවුලේ සන්තෝෂයට රහස
fy 1 පරි. 4-12 පි.

1වෙනි පරිච්ඡේදය

පවුලේ සන්තෝෂයට රහසක් තිබේද?

1 . මිනිස් සමාජයේ ශක්තිමත් පවුල් තිබීම වැදගත් වන්නේ මන්ද?

පවුල මිහිපිට තිබෙන පැරණිතම ආයතනය වන අතර, මිනිස් සමාජය තුළ එයට වැදගත් භූමිකාවක් හිමිය. ඉතිහාසය පුරාම, ශක්තිමත් සමාජ ගොඩනැංවීමට ශක්තිමත් පවුල් උපකාර වී තිබේ. මේරූ වැඩිහිටියන් බවට පත්වීමට දරුවන් ඇති දැඩි කිරීම සඳහා හොඳම විධිවිධානය පවුලයි.

2-5. (අ) සන්තෝෂයෙන් පිරුණු පවුලක් තුළ දරුවෙකුට දැනෙන සුරක්ෂිතභාවය විස්තර කරන්න. (ආ) ඇතැම් පවුල්වලින් වාර්තා කර ඇති ගැටලු කවරේද?

2 සන්තෝෂවත් පවුලක් ආරක්ෂාව හා සුරක්ෂිතභාවයෙන් සමන්විත ක්ෂේම භූමියකි. එම පරමාදර්ශී පවුල ගැන මොහොතකට සිතා බලන්න. රාත්‍රි ආහාරය ගන්නා විට, සැලකිලිමත් දෙමාපියෝ තම දරුවන් සමඟ හිඳගෙන, දවසේ සිදුවීම් සාකච්ඡා කරති. පාසැලේදී සිදු වූ දේවල් ගැන තම පියාට හා මවට කියන විට දරුවෝ උනන්දුවෙන් අදහස් ප්‍රකාශ කරති. එකට ගත කරන මෙම නිස්කලංක කාලය, බාහිර ලෝකයේ තවත් දවසක් ගත කිරීම සඳහා සියලුදෙනාවම ප්‍රබෝධවත් කරවයි.

3 සන්තෝෂවත් පවුලක් තුළ, දරුවෙකු අසනීප වන විට තම පියා සහ මව තමාට සාත්තු කරන බවත්, ඇතැම්විට රාත්‍රි කාලය පුරා තම ඇඳ අසල මාරුවෙන් මාරුවට කාලය ගත කරන බවත් දරුවෙක් දනියි. තම ළා බාල ජීවිතයට බලපාන ගැටලු සියල්ල, මව හෝ පියා වෙත ගෙන ගොස් උපදෙස් හා උපකාර ලබාගත හැකි බව ඔහු දනියි. එසේය, බාහිර ලෝකය කෙතරම් කරදරවලින් පිරී තිබුණත් දරුවාට ආරක්ෂාවක් හැඟේ.

4 දරුවන් වැඩිහිටියන් වන විට, සාමාන්‍යයෙන් ඔවුහු විවාහ වී තමන්ගේම පවුල් ජීවිතයක් භුක්තිවිඳිති. “යමෙකු තමන්ගේම දරුවෙකු හදා වඩා ගන්නා විට, ඔහු තම දෙමාපියන්ට කෙතරම් ණයගැතිද කියා තේරුම්ගන්නේය,” යි ප්‍රාචීන ආප්තෝපදේශයක් කියයි. ගැඹුරු කෘතඥතාවේ හා ප්‍රේමයේ හැඟීමක් ඇතුව, වැඩිහිටියන් බවට පත් වූ දරුවෝ, තමුන්ගේම පවුල් සන්තෝෂවත් කිරීමට වෑයම් කරන අතරම, මුනුබුරු මිනිබිරියන් සමඟ ඇසුරු කිරීමෙන් ඉමහත් සතුටක් ලබන, දැන් වියපත් වෙමින් සිටින තම දෙමාපියන්ට සාත්තු සප්පායම් කිරීමෙහිද නිරත වෙති.

5 ඇතැම්විට මේ අවස්ථාවේදී ඔබ මෙසේ කල්පනා කරනවා විය හැක: ‘මම මගේ පවුලට ප්‍රේම කරන බව නම් ඇත්තයි, නමුත් එය මේ දැන් විස්තර කළ එකට සමාන නැහැ. මගේ කලත්‍රයයි මමයි එකිනෙකට වෙනස් කාලසටහන් අනුව වැඩ කරන අතර, අපට එකිනෙකාව දකින්ට නොලැබෙන තරම්. බොහෝදුරට, අප කතා කරන්නේ මුදල් ප්‍රශ්න ගැනයි.’ එසේ නැතහොත් ‘මගේ දරුවන් හා මුනුබුරු මිනිබිරියන් ජීවත් වෙන්නේ වෙනත් නගරයකයි, මට කවදාවත් ඒගොල්ලන්ව දකින්ට ලැබෙන්නේ නෑ’ කියා ඔබ පවසන්නෙහිද? ඇත්තයි, ඊට අදාළ පුද්ගලයන්ට බොහෝවිට පාලනය කළ නොහැකි හේතු තිබෙන නිසා, බොහෝදුරට පවුල් ජීවිතය නියම තත්වයේ නොපවතී. කෙසේවෙතත්, සමහරු සන්තෝෂවත් පවුල් ජීවිත ගත කරති. ඒ කෙසේද? පවුලේ සන්තෝෂයට රහසක් තිබේද? මීට උත්තරය එසේය වේ. එහෙත් එය කුමක්ද කියා සාකච්ඡා කිරීමට පෙර, අප වැදගත් ප්‍රශ්නයකට උත්තර දිය යුතුය.

පවුලක් යනු කුමක්ද?

6. මෙම පොත තුළදී සාකච්ඡාවට භාජන කරනු ලබන්නේ කෙබඳු පවුල් පිළිබඳවද?

6 බටහිර දේශවල බොහෝ පවුල්, පියෙකු, මවක හා දරුවන්ගෙන් සමන්විතය. ආච්චිලා, සීයලා තමන්ට හැකි තාක් කල්, වෙනම පවුලක් වශයෙන් තමන්ගේම පවුල තුළ ජීවත් විය හැක. දුරින් ඥාතීන් වන අය සමඟ සබඳතා පවත්වනු ලැබුවද, මොවුන් සම්බන්ධයෙන් තිබෙන වගකීම් සීමා සහිතය. මූලිකවම, මේ පොත තුළ අප සාකච්ඡාවට භාජන කිරීමට යන්නේ මෙයාකාර පවුලක් ගැනය. කෙසේවෙතත්, මෑත වර්ෂවලදී වෙනත් ආකාර පවුල්ද—එනම් තනි-මාපිය පවුල, දෙවන විවාහයකින් සෑදුණු පවුල හා මොන යම් හේතුවක් නිසා හෝ දෙමාපියන් එකට ජීවත් නොවන පවුල යනාදි පවුල්—වැඩි වැඩියෙන් පොදු ලක්ෂණයක් බවට පත් වී ඇත.

7. පුළුල් පවුල යනු කුමක්ද?

7 ඇතැම් සංස්කෘතීන්වල පුළුල් පවුල පොදු ලක්ෂණයකි. හැකි නම් මෙම විධිවිධානය තුළ, යම් විධිමත් ක්‍රමයකට අනුව දරුවන් ආච්චිලා සීයලාව බලාගන්නා අතර, දුරින් ඥාතීන් වන අය දක්වා පවා කිට්ටු සබඳතා හා වගකීම් පැතිරේ. නිදසුනක් වශයෙන්, තම ඥාති ලේලීන්ව, ඥාති බෑනාවරුන්ව හෝ දුරින් ඥාතීන් වන අයව ඇති දැඩි කිරීම සඳහා මෙන්ම ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කිරීම සඳහා උපකාර කිරීමට පවුලේ සාමාජිකයන්ට හැක. මෙම ප්‍රකාශනයෙහි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති, පුළුල් පවුල්වලටද අදාළ වේ.

පීඩනයට ලක් වූ පවුල

8, 9. ඇතැම් දේශවල පවතින කුමන ගැටලු, පවුල වෙනස් වෙමින් පවතින බව පෙන්නුම් කරයිද?

8 අදදින, පවුල වෙනස් වෙමින් පවතී—එසේ වෙනස් වීම හොඳ අතට නොවීම කනගාටුවට කරුණකි. ඉන්දියාවේ මීට උදාහරණයක් දක්නට තිබේ, එරටේ භාර්යාවකට සිය ස්වාමිපුරුෂයාගේ පවුල සමඟ ජීවත් වී, ඇගේ විවාහයේ ඥාතීන්ගේ මඟ පෙන්වීම යටතේ ගෙදර දොරේ කටයුතු කිරීමට සිදු විය හැක. කෙසේවෙතත්, අදදින ඉන්දියානු භාර්යාවන් නිවසින් පිට රැකියාවක් සෙවීම අසාමාන්‍ය දෙයක් නොවේ. එහෙත්, නිවස තුළ සිය සම්ප්‍රදායානුකූල වැඩ කටයුතු ඉටු කිරීම ඔවුන්ගෙන් තවමත් අපේක්ෂා කරන බව පෙනෙන්ට තිබේ. පවුලේ අනික් සාමාජිකයන් හා සසඳන කල, බාහිර රැකියාවක් කරන ස්ත්‍රියකගෙන් නිවස තුළ කෙතරම් වැඩ කොටසක් අපේක්ෂා කළ යුතුද යන ප්‍රශ්නය බොහෝ දේශවල ඉස්මතු කරනු ලැබේ.

9 ප්‍රාචීන සමාජවල, ශක්තිමත් පුළුල් වූ පවුල් සබඳතා සම්ප්‍රදායානුකූල වේ. කෙසේවෙතත්, බටහිර ආභාෂයෙන් පැමිණි තනිපුද්ගලවාදය හා පීඩාකාරි ආර්ථික ප්‍රශ්නවල බලපෑම යටතේ, සම්ප්‍රදායානුකූල පුළුල් පවුල දුර්වල වෙමින් පවතී. එනිසා, වියපත් වූ පවුල් සාමාජිකයන් බලාගැනීම යුතුකමක් නැතහොත් වරප්‍රසාදයක් සේ සලකනවා වෙනුවට, එය පීඩාකාරි බරක් සේ බොහෝදෙනෙක් සලකති. ඇතැම් වියපත් දෙමාපියෝ අඩන්තේට්ටම්වලට ලක් වෙති. ඇත්තෙන්ම, වියපත් වූ අයට අඩන්තේට්ටම් කිරීම හා ඔවුන්ව නොසලකා හැරීම බොහෝ රටවල දක්නට ලැබෙන ලක්ෂණයකි.

10, 11. යුරෝපීය දේශවල පවුල වෙනස් වෙමින් පවතින බව පෙන්වන්නේ කවර සාධකද?

10 දික්කසාදය එන්ට එන්ටම පොදු ලක්ෂණයක් බවට පත් වෙමින් තිබේ. විසිවන සියවසේ අන්තිම දශකයේ ආරම්භය වන විට, ස්පාඤ්ඤයේ දික්කසාද අනුපාතය විවාහ 8කින් 1ක් දක්වා ඉහළ නැඟිණ—ඇත්තෙන්ම මීට අවුරුදු 25කට පෙර තිබූ 100ට 1ක අනුපාතය හා සසඳන කල මෙය අතිවිශාල වෙනස් වීමකි. යුරෝපයේ වාර්තාගත ඉහළම දික්කසාද අනුපාතය ඇති බ්‍රිතාන්‍යයෙහි (විවාහ 10කින් 4ක් අසාර්ථක වේයයි අපේක්ෂා කෙරේ), තනි-මාපිය පවුල්වල ශීඝ්‍ර වර්ධනයක් අද්දැක තිබේ.

11 ජර්මනියේ බොහෝදෙනෙකු සම්ප්‍රදායානුකූල පවුල මුළුමනින්ම අත්හැර දමන බව පෙනෙන්ට තිබේ. ජර්මානු පවුල් සියල්ලෙන් සියයට 35ක්ම තනි පුද්ගලයෙකුගෙන් හා සියයට 31ක් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පමණක් සෑදී තිබුණු අන්දම 1990 ගණන්වල දක්නට ලැබිණ. ප්‍රංශ ජාතිකයන්ද කලාතුරකින් විවාහ වන අතර, විවාහ වන අය පෙරට වඩා බොහෝ වරක් මෙන්ම කලින්ද දික්කසාද වීමට නැඹුරු වෙති. එන්න එන්නම වැඩිදෙනෙක් විවාහයේ වගකීම් නොමැතිව එකට ජීවත්වීමට කැමැත්තක් දක්වති. මීට සමාන ප්‍රවණතා ලොව පුරා දැකගත හැකිය.

12. නූතන පවුලේ ඇති වන වෙනස්වීම් නිසා දරුවන් දුක් විඳින්නේ කෙසේද?

12 දරු දැරියන් ගැන කුමක් කිව හැකිද? එක්සත් ජනපදයේ හා වෙනත් බොහෝ දේශවල, එන්න එන්නම විවාහයෙන් පිටත සිදු වන උපත් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී, තවද ඉන් සමහරෙක් ළා බාල නහඹරයන්ට දාව උපත ලබති. නහඹර වියේ ගැහැනු ළමුන් බොහෝදෙනෙකුට විවිධ පියවරුන්ට දාව දරුවෝ කිහිපදෙනෙක් සිටිති. නිවහනක් නැති දරුවන් මිලියන ගණනක් වීථිවල ගැවසෙන අන්දම දස දෙසින් පැමිණෙන වාර්තාවල කියවේ; ඉන් බොහෝදෙනෙක් අඩන්තේට්ටම් සිදු වන නිවෙස්වලින් පලා යති, නැතහොත් ඔවුන්ව තවදුරටත් නඩත්තු කළ නොහැකි පවුල් මගින් පිටමං කරනු ලබති.

13. පවුල්වලින් සන්තෝෂය සොරාගන්නේ පුළුල්ව පැතිරුණු කුමන ගැටලුද?

13 එසේය, පවුල අර්බුදයකට ලක් වී තිබේ. දැනට සඳහන් කර තිබෙන දෙයට අමතරව, නහඹරයන් කැරලිගැසීම, ළමා දූෂණය, කලත්‍රයන් අතර ප්‍රචණ්ඩකාරිත්වය, මත්පැන්වලට ඇබ්බැහි වීම හා වෙනත් පීඩිත ගැටලු නිසා බොහෝ පවුල්වල සන්තෝෂය ගිලිහී යයි. දරුවන් හා වැඩිහිටියන් වැඩිදෙනෙකුට නම්, පවුල ඉඳුරාම ක්ෂේම භූමියක් නොවේ.

14. (අ) ඇතමුන් පවසන පරිදි, පවුල් අර්බුදයට හේතු මොනවාද? (ආ) පළමු සියවසේ නීතිඥයෙකු වත්මන් ලෝකය විස්තර කළේ කෙසේද, තවද ඔහුගේ වදන්වල ඉටුවීම පවුල් ජීවිතය කෙරෙහි කුමන බලපෑමක් ඇති කර තිබේද?

14 පවුල ආශ්‍රිතව අර්බුදයක් තිබෙන්නේ මන්ද? ස්ත්‍රීන් රැකියා ස්ථානයට පිවිසීම වත්මන් පවුල් අර්බුදයට හේතුව බව ඇතැම්හු කියා සිටිති. වෙනත් අය අදදින පවතින සදාචාර බිඳවැටීමට යොමු දක්වති. තවද අමතර හේතුද සඳහන් කරනු ලැබේ. අවුරුදු දෙදහසක තරම් කාලයකට පෙර, සුප්‍රසිද්ධ නීතිඥයෙක් මෙසේ ලියූ විට, පවුල බොහෝ පීඩනවලින් පහර ලබන බවට පුරෝකථනය කළේය: එනම් “අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙ[න්නේය] . . . මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව” යනුවෙනි. (2 තිමෝති 3:1-4) මෙම වදන් අදදින ඉටුවෙමින් පවතින බව සැක කරන්ට යන්නේ කවුද? මෙවන් තත්වයන් සහිත ලෝකයක, පවුල් බොහෝමයක් අර්බුදයකට ලක් වී තිබීම පුදුමයක්ද?

පවුලේ සන්තෝෂයට රහස

15-17. මේ පොතෙහි, පවුලේ සන්තෝෂයට රහස සතු දෙය වශයෙන් කුමන මූලාශ්‍රය වෙත අවධානය යොමු කරනු ලැබේද?

15 පවුල තුළ සන්තෝෂය අත් කරගත හැකි අන්දම පිළිබඳ උපදෙස්, හැම පැත්තකින්ම ඉදිරිපත් කරනු ලැබේ. බටහිර රටවල, නිමක් නැති ස්වසාධන පොත් හා සඟරා ප්‍රවාහයක් මගින් උපදෙස් ඉදිරිපත් කෙරෙයි. ගැටලුව නම්, මිනිස් උපදේශකයන් එකිනෙකාට පටහැනි අදහස් ඉදිරිපත් කිරීමත්, අදදිනට ඔබින උපදෙස් හෙට දිනට නොගැළපෙන යමක් හැටියට සැලකිය හැකිවීමත්ය.

16 එසේනම්, රඳා පැවතිය හැකි පවුල් මඟ පෙන්වීමක් සඳහා අපට කුමන දිශාවක් දෙස බැලිය හැකිද? හොඳයි, අවුරුදු 1,900කට පමණ පෙර නිම කළ ග්‍රන්ථයක් දෙස ඔබ බලනු ඇද්ද? එසේ නැතහොත් එයාකාර පොතක් ඉඳුරාම යල්පැන ඇති එකක් බව ඔබට හැඟෙනු ඇද්ද? සත්‍යය නම්, පවුලේ සන්තෝෂය සඳහා සැබෑ රහස එවන් මූලාශ්‍රයක් තුළින් පමණක් සොයාගත හැකිවීමය.

17 එම මූලාශ්‍රය බයිබලය වේ. තිබෙන සෑම සාක්ෂියකටම අනුව, එය දේවානුභාවයෙන් ලද යමකි. බයිබලයෙහි අපට මෙම ප්‍රකාශය සොයාගත හැකිය: “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් [දේවල් හරිගැස්වීමටත්, NW ] ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) අදදින පවුල්වලට මුහුණ දීමට සිදු වන පීඩන හා ගැටලු සමඟ කටයුතු කරද්දී, ‘දේවල් හරිගැස්වීමට’ ඔබට උපකාර කිරීමට බයිබලයට හැකි ආකාරය සලකා බැලීමට, අපි මෙම ප්‍රකාශනය තුළින් ඔබව දිරිගන්වන්නෙමු.

18. විවාහයට උපදෙස් දීම සම්බන්ධයෙන්, බයිබලය අධිකාරයක් ලෙස පිළිගැනීම සාධාරණ වන්නේ මන්ද?

18 පවුල් සන්තෝෂවත් කරනු පිණිස උපකාර කිරීමට බයිබලයට තිබෙන හැකියාව නොසලකා හැරීමට ඔබ නැඹුරු වන්නෙහි නම්, මෙය සලකා බලන්න: බයිබලය ලිවීමට ආනුභාවය දුන් තැනැත්තා විවාහ විධිවිධානයෙහි මූලාරම්භකයා වන්නේය. (උත්පත්ති 2:18-25) උන්වහන්සේගේ නම යෙහෝවා බව බයිබලය පවසයි. (ගීතාවලිය 83:17) උන්වහන්සේ මැවුම්කරුවාණන් වන අතර, ‘සියලු පවුල්වල ප්‍රභවය වන පියාණන්’ වනසේක. (එපීස 3:14, 15, නව අනුවාදය) මිනිස්වර්ගයාගේ ආරම්භයේ පටන් යෙහෝවඃවහන්සේ පවුල් ජීවිත නිරීක්ෂණය කර ඇත. ඉස්මතු විය හැකි ගැටලු දන්නා උන්වහන්සේ, ඒවා විසඳීමට උපදෙස් ලබා දුන්සේක. ඉතිහාසය පුරාම, සිය පවුල් ජීවිතය තුළ අවංකව බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත් අය ඉමහත් සන්තෝෂයක් අත් කරගෙන ඇත.

19-21. විවාහ ගැටලු නිරාකරණය කිරීමට බයිබලය සතු බලය පෙන්වන්නේ කුමන වත්මන් අද්දැකීම්ද?

19 උදාහරණයක් වශයෙන්, ඉන්දුනීසියාවේ ගෘහිණියක් සූදුවට ඇබ්බැහි වූවාය. අවුරුදු ගණනාවක් පුරා ඇගේ දරුවන් තිදෙනා නොසැලකූ ඈ, තම පුරුෂයා සමඟ නිතර නිතර දබර කළාය. ඉන් අනතුරුව, ඈ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තාය. ක්‍රමානුකූලව, බයිබලයෙහි පවසන දේ විශ්වාස කිරීමට මෙම ස්ත්‍රිය පටන්ගත්තාය. ඇය එහි උපදෙස් අදාළ කරගත් විට, ඈ වඩාත් හොඳ භාර්යාවක් බවට පත් වූවාය. බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වූ ඇගේ වෑයම, ඇගේ මුළු පවුලටම සන්තෝෂය ගෙන දුන්නේය.

20 ස්පාඤ්ඤයේ ගෘහිණියක් මෙසේ පවසයි: “අප බරපතළ ගැටලු අද්දකින්ට පටන්ගත්තේ විවාහ වී වර්ෂයක් පමණ ගත වූවායින් පසුවයි.” ඇය සහ ඇගේ පුරුෂයා අතර එතරම් පොදු එකඟතාවක් දක්නට නොලැබිණ, තවද ඔවුන් කතා බහ කළා නම් එසේ කළේ වාද විවාද කළ විටදී පමණි. ඔවුන්ට සිඟිති දැරියක සිටියද, නීත්‍යනුකූලව වෙන්වීමට ඔවුහු තීරණය කළෝය. කෙසේවෙතත්, එය සිදුවීමට පෙර, බයිබලය සෝදිසි කර බැලීමට ඔවුන්ව දිරිගන්වනු ලැබීය. විවාහක පුරුෂයන් හා ස්ත්‍රීන් සඳහා එහි අන්තර්ගත උපදෙස් අධ්‍යයනය කළ ඔවුහු එය අදාළ කරගන්ට පටන්ගත්තෝය. වැඩි කල් යන්ට මත්තෙන්, ඔවුන්ට සාමකාමීව අදහස් හුවමාරු කිරීමට හැකි වූ අතර, ඔවුන්ගේ කුඩා පවුල සන්තෝෂයෙන් එක්සත් කරනු ලැබීය.

21 බයිබලය වයසින් මුහුකුරා ගිය අයටද උපකාර කරයි. නිදසුනක් වශයෙන්, එක්තරා ජපන් යුවළකගේ අද්දැකීම සලකා බලන්න. වහා කිපෙන පුරුෂයා ඇතැම්විට ප්‍රචණ්ඩකාරි ස්වභාවයක් දැක්වීය. මුලින්ම, මෙම යුවළගේ දියණියෝ සිය දෙමාපියන්ගෙන් විරුද්ධවාදිකම් එල්ල වුවද බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තෝය. ඉන් අනතුරුව, පුරුෂයා සිය දියණියන්ට එකතු වුවද, භාර්යාව දිගටම විරුද්ධ වූවාය. කෙසේවෙතත්, ගත වූ වර්ෂ තුළදී, ඇගේ පවුල කෙරෙහි බයිබල් ප්‍රතිපත්තිවල යහපත් බලපෑම ඇගේ අවධානයට යොමු විය. ඇගේ දියණියන් ඇයට හොඳ සැලකිල්ලක් දැක්වූ අතර, ඇගේ පුරුෂයා වඩාත් මෘදු කෙනෙක් බවට පත් විය. මෙම වෙනස්වීම් නිසා, පෞද්ගලිකව බයිබලය සෝදිසි කර බැලීමට ඇය පෙලඹුණු අතර, එය ඇය කෙරෙහි එම යහපත් බලපෑමම ඇති කළේය. මෙම වියපත් කාන්තාව පුන පුනා මෙසේ පැවසුවාය: “අපි සැබෑ විවාහක යුවළක් බවට පත් වුණා.”

22, 23. සෑම ජාතික පසුබිමකින්ම පැමිණ ඇති ජනයාහට පවුල් ජීවිතය තුළ සන්තෝෂය අත් කරගැනීමට බයිබලය උපකාර කරන්නේ කෙසේද?

22 පවුලේ සන්තෝෂයට රහස සොයාගෙන තිබෙන විශාල සංඛ්‍යාව අතර මෙම පුද්ගලයෝ සිටිත්. බයිබලයේ උපදෙස් පිළිගෙන ඇති ඔවුහු, එය අදාළ කරගෙන ඇත්තාහ. සෙසු ජනයා ලෙසම ඔවුන්ද ජීවත් වන්නේ, එක සමාන දරුණු, දුරාචාර, ආර්ථික වශයෙන් පීඩිත වූ ලෝකයේ බව සැබෑය. එපමණක්ද නොව, ඔවුහු අසම්පූර්ණ වෙත්, නමුත්, පවුල් විධිවිධානයේ මූලාරම්භකයාණන්ගේ කැමැත්ත කිරීමට වෙර දැරීමෙන් ඔවුහු සන්තෝෂය අත් කරගනිති. බයිබලය පවසන පරිදි, “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත්” යෙහෝවඃ දෙවියන්වහන්සේය.—යෙසායා 48:17.

23 බයිබලය අවුරුදු දෙදහසකට ආසන්න කාලයකට පෙර නිම කරනු ලැබුවත්, එහි උපදෙස් ඇත්තෙන්ම කාලෝචිතය. එපමණක්ද නොව, එය ලියනු ලැබුවේ, සියලු ජනයා සඳහාය. බයිබලය අමෙරිකානු නැතහොත් බටහිර ග්‍රන්ථයක් නොවේ. “එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ” යෙහෝවඃවහන්සේ, සෑම තැනකම වෙසෙන ජනයාගේ සැකැස්ම දන්නාසේක. (ක්‍රියා 17:26, නව අනුවාදය) බයිබල් ප්‍රතිපත්තිවලින් සෑමදෙනෙකුටම ප්‍රතිඵල අත් වේ. ඔබ ඒවා අදාළ කරගන්නෙහි නම්, පවුලේ සන්තෝෂයට රහස ඔබත් දැනගන්නවාට කිසිදු සැකයක් නැත.

මෙම ප්‍රශ්නවලට උත්තර දීමට ඔබට හැකිද?

අදදින, පවුලට සිදු වෙමින් පවතින්නේ කුමක්ද?—2 තිමෝති 3:1-4.

පවුල් විධිවිධානයේ මූලාරම්භකයාණන් කවරෙක්ද?—එපීස 3:14, 15.

පවුලේ සන්තෝෂයට රහස කුමක්ද?—යෙසායා 48:17.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න