ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fy 3 පරි. 27-38 පි.
  • කල්පවතින විවාහයකට යතුරු දෙකක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කල්පවතින විවාහයකට යතුරු දෙකක්
  • පවුලේ සන්තෝෂයට රහස
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පළමුවන යතුර
  • දෙවන යතුර
  • ක්‍රිස්තුස්වහන්සේ බඳු මූලිකත්වය
  • භාර්යාවගේ යටත්වීම
  • හොඳ අදහස් හුවමාරුව
  • ගැඹුරු ගෞරවය දිනාගන්නා වූ ස්වාමිපුරුෂයෙක්
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? – 1වෙනි කොටස
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙවි එක් කළ දෙය වෙන් නොකරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
පවුලේ සන්තෝෂයට රහස
fy 3 පරි. 27-38 පි.

3වෙනි පරිච්ඡේදය

කල්පවතින විවාහයකට යතුරු දෙකක්

1, 2. (අ) විවාහය කෙතරම් කලකට පැවතීමට අදහස් කොට තිබිණද? (ආ) මෙය විය හැක්කේ කෙසේද?

දෙවියන්වහන්සේ පළමු මිනිසා හා ස්ත්‍රිය විවාහයෙන් එක් කළ විට, එම එක්වීම තාවකාලික එකක් පමණක් වනු ඇති බවට ඇඟවීමක් නොතිබිණ. ජීවිත කාලයටම ආදම් සහ ඒව එකට සිටිය යුතු විය. (උත්පත්ති 2:24) ගෞරවනීය විවාහයක් සඳහා දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය වූ කලි, පුරුෂයෙකු සහ ස්ත්‍රියක එක් කිරීම වේ. යළි විවාහ වීමේ හැකියාව ඇතුව දික්කසාද වීමට ශුද්ධ ලියවිලිමය පදනමක් සපයන්නේ, කලත්‍රයෙකු හෝ දෙදෙනාම බරපතළ ලිංගික දුරාචාරයක යෙදී ඇත්නම් පමණි.—මතෙව් 5:32.

2 පුද්ගලයන් දෙදෙනෙකුට අනන්ත කාලයක් පුරා එකට විසීමට හැකිද? එසේය, තවද මෙය හැකි කරවීමට උපකාරවත් වන ප්‍රධාන සාධක නැතහොත් යතුරු දෙකක් බයිබලය මගින් හඳුන්වා දෙනු ලැබේ. ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම මේවායින් ප්‍රයෝජන ගන්නේ නම්, ඔවුන් සන්තෝෂයට හා බොහෝ ආශීර්වාදවලට දොර විවෘත කරනු ඇත. මෙම යතුරු මොනවාද?

පළමුවන යතුර

3. විවාහ කලත්‍රයන් විසින් වර්ධනය කරගත යුතු තෙවැදෑරුම් ප්‍රේමයන් මොනවාද?

3 පළමුවන යතුර නම් ප්‍රේමයයි. බයිබලයෙහි ප්‍රේමය විවිධාකාරයෙන් දක්වා තිබීම උනන්දුව ගෙන දෙන කරුණකි. ඉන් එකක් නම් යමෙකු වෙත දක්වන උණුසුම්, පෞද්ගලික ස්නේහයයි, මෙය කිට්ටු මිත්‍රයන් අතර පවතින ආකාරයේ ප්‍රේමයකි. (යොහන් 11:3) තවත් එකක් නම්, පවුල් සාමාජිකයන් අතර වැඩෙන ප්‍රේමයයි. (රෝම 12:10) තෙවන එක වනාහි, විරුද්ධ ලිංගයේ සාමාජිකයෙකු සඳහා කෙනෙකු තුළ තිබිය හැකි ආලයෙන් බැඳුණු ප්‍රේමයයි. (හිතෝපදේශ 5:15-20) මේ සියල්ල ස්වාමිපුරුෂයෙකු හා භාර්යාවක විසින් වර්ධනය කරගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අනික් ඒවාට වඩා වැදගත්, සිව්වන ආකාරයේ ප්‍රේමයක් තිබේ.

4. සිව්වන ආකාරයේ ප්‍රේමය කුමක්ද?

4 මුල් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල මෙම සිව්වන ප්‍රේමය සඳහා යෙදෙන වචනය අ·ගාʹපේ වේ. එම වචනය 1 යොහන් 4:8හි භාවිත කර ඇති අතර, අපට එහි මෙසේ පවසා තිබේ: “දෙවියන්වහන්සේ ප්‍රේමයය.” ඇත්තෙන්ම, “අප ප්‍රේමකරන්නේ [දෙවියන්වහන්සේ] පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.” (1 යොහන් 4:19) ක්‍රිස්තියානියෙක් පළමුව යෙහෝවඃ දෙවියන්වහන්සේ වෙතත්, දෙවනුව සෙසු මිනිසුන් වෙතත් එවැනි ප්‍රේමයක් වර්ධනය කරගනියි. (මාර්ක් 12:29-31) එපීස 5:2හිද අ·ගාʹපේ යන වදන භාවිත කර ඇත, එය මෙසේ ප්‍රකාශ කරයි: “ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, . . . අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරියල්ලා.” මෙයාකාර ප්‍රේමයක් සිය සැබෑ අනුගාමිකයන්ව හඳුන්වා දෙනු ඇතැයි යේසුස්වහන්සේ පැවසූසේක: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා [අ·ගාʹපේ ] නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) පළමුවන කොරින්ති 13:13හි අ·ගාʹපේ භාවිත කර ඇති අයුරුද සලකන්න: “දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය [අ·ගාʹපේ ].”

5, 6. (අ) ඇදහිල්ල හා බලාපොරොත්තුවට වඩා ප්‍රේමය උසස් වන්නේ මන්ද? (ආ) විවාහයක් කල්පැවතීම සඳහා ප්‍රේමය උපකාර කරනු ඇත්තේ මන්දැයි යන්නට යම් හේතු මොනවාද?

5 ඇදහිල්ල හා බලාපොරොත්තුවට වඩා මෙම අ·ගාʹපේ ප්‍රේමය උතුම් වීමට සලස්වන්නේ කුමක්ද? එය පාලනය වන්නේ, දේවවචනය තුළ සොයාගත හැකි ප්‍රතිපත්ති—හරි ප්‍රතිපත්ති—මගින්ය. (ගීතාවලිය 119:105) ලබන්නා එය ලැබීමට සුදුසුව හෝ නුසුදුසුව සිටිනවා මෙන් පෙනෙනවා වුවත්, අන් අයට දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් හරි හා හොඳ දෙය කිරීමට දක්වන පරාර්ථකාමී සැලකිල්ලකි, එය. විවාහ සහකරුවන්ට බයිබලයේ අවවාදය අනුගමනය කිරීමට එවැනි ප්‍රේමයක් ඉවහල් වෙයි: “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරපල්ලා.” (කොලොස්සි 3:13) “ප්‍රේමය පව් රාශියක් වසන බැවින්” ප්‍රේමනීය විවාහ යුවළයෝ “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් [අ·ගාʹපේ ]” ඇතුවද, එය වර්ධනය කරගනිමින්ද සිටිති. (1 පේතෘස් 4:8) ප්‍රේමය අත්වැරදි වසන බව සලකන්න. කිසි අසම්පූර්ණ මිනිසෙකුට වරදෙන් නිදහස් විය නොහැකි නිසා, ප්‍රේමය ඒවා පහ කරන්නේ නැත.—ගීතාවලිය 130:3, 4; යාකොබ් 3:2.

6 විවාහ යුවළක් විසින් දෙවියන්වහන්සේ හා එකිනෙකා වෙත එවැනි ප්‍රේමයක් වර්ධනය කර තිබෙන විට, ‘ප්‍රේමය කිසිකලක පහවන්නේ නැති’ නිසා, ඔවුන්ගේ විවාහය කල්පවතින, සන්තෝෂවත් එකක් වනු ඇත. (1 කොරින්ති 13:8) ප්‍රේමය “එක්සත්කමේ පරිපූර්ණ බැම්මක්” වේ. (කොලොස්සි 3:14, NW ) ඔබ විවාහක නම්, ඔබට හා ඔබේ කලත්‍රයාට මෙයාකාර ප්‍රේමයක් වර්ධනය කළ හැක්කේ කෙසේද? එක්ව දේවවචනය කියවා, ඒ ගැන කතා කරන්න. ප්‍රේමය පිළිබඳ යේසුස්වහන්සේගේ ආදර්ශය අධ්‍යයනය කොට, උන්වහන්සේව අනුකරණය කිරීමටත්, උන්වහන්සේ මෙන් සිතීමට හා ක්‍රියා කිරීමටත් උත්සාහ කරන්න. ඊට අමතරව, දේවවචනය උගන්වන ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන්න. තවද දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ඵලයක් වන මෙවන් උසස් ප්‍රේමයක් වර්ධනය කරගැනීම සඳහා දෙවියන්වහන්සේගේ උපකාරය පතා යාච්ඤා කරන්න.—හිතෝපදේශ 3:5, 6; යොහන් 17:3; ගලාති 5:22; හෙබ්‍රෙව් 10:24, 25.

දෙවන යතුර

7. ගෞරවය යනු කුමක්ද, තවද විවාහයේදී ගෞරවය දැක්විය යුත්තේ කවරෙක්ද?

7 විවාහක දෙදෙනෙකු එකිනෙකාට අවංකවම ප්‍රේම කරනවා නම්, ඔවුන් තුළ එකිනෙකා කෙරෙහි ගෞරවයද තිබෙනු ඇත, තවද සන්තෝෂවත් විවාහයකට දෙවන යතුර ගෞරවය වේ. ගෞරවය නිර්වචනය කර තිබෙන්නේ, “අන්‍යයන්ට ගරු කරමින්, ඔවුන්ට සැලකිල්ල දැක්වීම” වශයෙනි. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් ඇතුළු සියලු ක්‍රිස්තියානීන්ට දේවවචනය මෙසේ අවවාද කරයි: “ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම්කොට සලකාපල්ලා.” (රෝම 12:10) ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය: “පුරුෂයෙනි, . . . වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින් . . . ඔවුන්ට ගෞරව දීපල්ලා.” (1 පේතෘස් 3:7) ‘තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් ඇතුව සිටීමට’ භාර්යාවට අවවාද කර තිබේ. (එපීස 5:33, NW ) යමෙකුට ගෞරව කිරීමට ඔබට ඕනෑ නම්, එම පුද්ගලයාට කාරුණික වෙමින්, එම තැනැත්තාගේ ආත්මගෞරවයට හා අදහස් ප්‍රකාශයන්ට ගරු කරමින්, ඔබෙන් ඉල්ලා සිටින ඕනෑම සාධාරණ දෙයක් ඉටු කිරීමට ඔබ සූදානම්ව සිටින්නෙහිය.

8-10. විවාහ බන්ධනයක ස්ථිරත්වය හා සන්තෝෂයක් ඇති කිරීමට ගෞරවය උපකාරවත් වනු ඇති ඇතැම් ක්‍රම මොනවාද?

8 සන්තෝෂවත් විවාහයක් භුක්ති විඳීමට කැමති අය “තම තමාගේම කාරණා [පමණක්] නොව [තම කලත්‍රයන්ගේ] කාරණත් බලා[ගනිමින්]” තම කලත්‍රයන්ට ගෞරවය දක්වති. (පිලිප්පි 2:4) ඔවුහු තමන්ටම පමණක් හොඳ වන දේ ගැන නොසලකති—එය ආත්මාර්ථකාමී වනු ඇත. ඒ වෙනුවට, ඔවුහු තම කලත්‍රයන්ටද හොඳ වන දේ ගැන සලකති. ඇත්තෙන්ම, ඔවුහු ඊට ප්‍රමුඛතාව දෙති.

9 විවාහ සහකරුවන්ට අදහස්වල නොගැළපීම් පිළිගැනීමට ගෞරවය උපකාර කරනු ඇත. දෙදෙනෙකුට සෑම දෙයක් සම්බන්ධයෙන්ම සමාන අදහස් තිබිය යුතුයයි අපේක්ෂා කිරීම සාධාරණ නැත. ස්වාමිපුරුෂයෙකුට වැදගත් විය හැකි දේ භාර්යාවකට එතරම් වැදගත් දෙයක් නොවිය හැකි අතර, භාර්යාවක කැමති දේ ස්වාමිපුරුෂයෙකු කැමති දේ නොවිය හැක. එහෙත් මේවා යෙහෝවඃවහන්සේගේ නීති හා ප්‍රතිපත්තිවල සීමා තුළ තිබෙන තාක් කල්, දෙදෙනාම අනික් තැනැත්තාගේ අදහස්වලට හා තේරීම්වලට ගරු කළ යුතුය. (1 පේතෘස් 2:16; සසඳන්න පිලෙමොන් 14.) තවදුරටත්, දෙදෙනාම ප්‍රසිද්ධියේ වේවා, පෞද්ගලිකව වේවා, අනික් තැනැත්තාව පහත් ප්‍රකාශයන්ට හෝ සරදමට ලක් වන කෙනෙකු වීමට නොසලස්වා, අනික් තැනැත්තාගේ ආත්මගෞරවයට ගරු කළ යුතුය.

10 එසේය, දෙවියන්වහන්සේටත්, එකිනෙකාටත් ප්‍රේම කිරීම හා අන්‍යොන්‍ය ගෞරවයක් දැක්වීම සාර්ථක විවාහයකට ඉතා වටිනා යතුරු දෙකකි. විවාහ ජීවිතයේ ඇතැම් වඩාත් වැදගත් පැතිවලදී ඒවා අදාළ කරගත හැක්කේ කෙසේද?

ක්‍රිස්තුස්වහන්සේ බඳු මූලිකත්වය

11. ශුද්ධ ලියවිලිවලට අනුව, විවාහයක මූලිකයා කවරෙක්ද?

11 මිනිසාව මවන ලද්දේ, ඔහුව සාර්ථක පවුල් මූලිකයෙකු කරනු ඇති ගුණාංග සමඟින් බව බයිබලය අපට පවසයි. එබඳු තැනැත්තෙකු වශයෙන්, ඔහු සිය භාර්යාව හා දරුවන්ගේ ආත්මික හා ශාරීරික ශුභ-සිද්ධිය සඳහා යෙහෝවඃවහන්සේ ඉදිරියේ වගකියනු ඇත. යෙහෝවඃවහන්සේගේ කැමැත්ත පිළිබිඹු කරන සමබර තීරණ ගැනීමටත්, දේවභක්තික හැසිරීමෙහි යහපත් ආදර්ශයක් වීමටත් ඔහුට සිදුවනු ඇත. “භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි.” (එපීස 5:22, 23) කෙසේවුවද, ස්වාමිපුරුෂයාටද ඔහුට වඩා වැඩි අධිකාරිත්වයක් ඇති තැනැන්වහන්සේ කෙනෙකු, එනම් මූලිකයෙකු සිටින බව බයිබලය පවසයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.” (1 කොරින්ති 11:3) ඥානවන්ත ස්වාමිපුරුෂයෙකු තමාගේම මූලිකයා වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේව අනුකරණය කිරීම මගින් මූලිකත්වය මෙහෙයවන ආකාරය ඉගෙනගනියි.

12. යටහත් පහත්කම දැක්වීම හා මූලිකත්වය දැරීම පිළිබඳව යේසුස්වහන්සේ තැබූ කදිම ආදර්ශය කුමක්ද?

12 යේසුස්වහන්සේටත් මූලිකයෙකු, එනම් යෙහෝවඃවහන්සේ සිටින අතර, යේසුස්වහන්සේ උන්වහන්සේට උචිත ලෙසින් යටත් වනසේක. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි.” (යොහන් 5:30) මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද! යේසුස්වහන්සේ “මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය.” (කොලොස්සි 1:15) උන්වහන්සේ මෙසියස් බවට පත් වූසේක. උන්වහන්සේ, ආලේප ලත් ක්‍රිස්තියානි සභාවේ මූලිකයාද, සියලු දේවදූතයන්ට ඉහළින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ තෝරාගත් රජද වීමට නියමිතව තිබිණ. (පිලිප්පි 2:9-11; හෙබ්‍රෙව් 1:4) එවන් උසස් තත්වයක් හා එවන් උත්කෘෂ්ට අපේක්ෂා තිබියදී වුවත්, යේසුස්වහන්සේ නමැති මිනිසා රළු, නම්‍යසුලු නොවන හෝ අධික ලෙස බල කර සිටින කෙනෙක් නොවීය. උන්වහන්සේ තමාට කීකරු විය යුතු බව තම ගෝලයන්ට නිරතුරුවම සිහිගන්වන ඒකාධිපතියෙක්ද නොවූසේක. යේසුස්වහන්සේ විශේෂයෙන්ම පීඩිත වූවන් කෙරෙහි ප්‍රේමනීය හා දයානුකම්පිත වූසේක. උන්වහන්සේ: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.” (මතෙව් 11:28-30) උන්වහන්සේගේ ඇසුරෙහි සිටීම ප්‍රීතිජනක දෙයක් විය.

13, 14. ප්‍රේමනීය ස්වාමිපුරුෂයෙකු යේසුස්වහන්සේව අනුකරණය කරමින් සිය මූලිකත්වය මෙහෙයවනු ඇත්තේ කෙසේද?

13 සන්තෝෂවත් පවුල් ජීවිතයකට ආශා කරන ස්වාමිපුරුෂයා යේසුස්වහන්සේගේ කදිම ගතිලක්ෂණ සලකා බැලීම සුදුසුය. හොඳ ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට සැර වැර වීම සඳහා තම මූලිකත්වය අතකොළුවක් ලෙස වැරදි ලෙස භාවිත නොකරයි. ඒ වෙනුවට, ඔහු ඇයට ප්‍රේමය හා ගෞරවය දක්වයි. යේසුස්වහන්සේ “සිතින් මෘදුව” සිටිසේක් නම්, යේසුස්වහන්සේ මෙන් නොව, ස්වාමිපුරුෂයා වැරදි කරන බැවින් ඔහුට එසේ සිටීමට ඊටත් වඩා හේතු තිබේ. ඔහු වැරදි කරන විට, තම භාර්යාව ඔහුව තේරුම්ගැනීම ඔහුට අවශ්‍යය. එබැවින්, “මට සමාවෙන්න; ඔබ හරි,” යන වචන පැවසීම අසීරු විය හැකි වුවත්, නිහතමානී ස්වාමිපුරුෂයෙක් තම වරද පිළිගනියි. අහංකාර, මුරණ්ඩු ස්වාමිපුරුෂයෙකුගේ මූලිකත්වයට වඩා නිරහංකාර, නිහතමානී කෙනෙකුගේ මූලිකත්වයට ගරු කිරීමට භාර්යාවකට වඩාත් පහසු වනු ඇත. අනික් අතට, ගෞරවය දක්වන භාර්යාවද තමා වරදක් කර තිබෙන විට සමාව ඉල්ලයි.

14 දෙවියන්වහන්සේ ස්ත්‍රිය මවා තිබෙන්නේ, සන්තෝෂවත් විවාහයකට දායක වීම සඳහා ඇයට උපයෝගි කරගත හැකි කදිම ගුණාංග ඇතුවය. ඥානවන්ත ස්වාමිපුරුෂයෙක් මෙය වටහාගන්නා අතර, ඇයව මැඩපවත්වන්නේ නැත. පවුලක් රැකබලා ගැනීමේදී හා මිනිස් සබඳකම් පෝෂණය කිරීමේදී අවශ්‍ය වන ගුණාංග වන, වැඩි දයානුකම්පාවක් සහ සංවේදිතාවක් ඇතුව සිටීමට බොහෝ ස්ත්‍රීහු නැඹුරු වෙති. නිවස ජීවත්වීමට ප්‍රසන්න ස්ථානයක් කිරීමේදී, ස්ත්‍රිය බොහෝවිට සෑහෙන දස්කම් දක්වයි. හිතෝපදේශ 31වන පරිච්ඡේදයෙහි විස්තර වන ‘දක්ෂ භාර්යාවට’ [NW ] බොහෝ කදිම ගුණාංග හා විශිෂ්ට දක්ෂතා තිබුණු අතර, ඇගේ පවුල ඒවායින් පූර්ණ ලෙස ප්‍රයෝජන ගත්තේය. ඒ මන්ද? ඇගේ ස්වාමිපුරුෂයාගේ හෘදය ඇය කෙරෙහි “විශ්වාසකරයි.”—හිතෝපදේශ 31:10, 11.

15. තම භාර්යාවට ක්‍රිස්තුස්වහන්සේ බඳු ප්‍රේමය හා ගෞරවය දැක්වීමට ස්වාමිපුරුෂයෙකුට හැක්කේ කෙසේද?

15 ඇතැම් සංස්කෘතීන්වල, ස්වාමිපුරුෂයෙකුගේ අධිකාරිත්වය ගැන වුවමනාවට වඩා අවධාරණය කර ඇති නිසා, ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීම පවා අගෞරවයක් ලෙස සැලකේ. ඔහු තම භාර්යාවට දාසියකට මෙන් සැලකිය හැක. එලෙස වැරදි අන්දමකින් මූලිකත්වය මෙහෙයවීමේ ප්‍රතිඵලයක් වශයෙන්, තම භාර්යාව සමඟ පමණක් නොව, දෙවියන්වහන්සේ සමඟ පවා ඔහුට තිබෙන්නේ දුර්වල සබඳතාවකි. (1 යොහන් 4:20, 21 සසඳන්න.) අනික් අතට, ඇතැම් ස්වාමිපුරුෂයෝ මූලිකත්වය ගැනීම අතපසු කරමින්, ගෘහය පාලනය කිරීමට තම භාර්යාවන්ට ඉඩහරිති. ක්‍රිස්තුස්වහන්සේට නිසි ලෙස යටත් වන ස්වාමිපුරුෂයා තම භාර්යාවට අසාධාරණ ලෙස සලකන්නේ හෝ ඇගේ ගරුත්වය පැහැරගන්නේ හෝ නැත. ඒ වෙනුවට, ඔහු යේසුස්වහන්සේගේ ආත්ම-පරිත්‍යාගී ප්‍රේමය අනුකරණය කරන අතර පාවුල් අවවාද කළ අයුරින් මෙසේ ක්‍රියා කරයි: “පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරපල්ලා.” (එපීස 5:25) ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට කෙතරම් ප්‍රේම කළාද කිවහොත් ඔවුන් උදෙසා මියගියසේක. හොඳ ස්වාමිපුරුෂයෙක් එම පරාර්ථකාමී ආකල්පය අනුකරණය කිරීමට වෑයම් කරනු ඇති අතර, එසේ කරන්නේ තම භාර්යාවට අයුතු බල කිරීම් නොකර ඇගේ යහපත සෙවීමෙනි. ස්වාමිපුරුෂයෙකු ක්‍රිස්තුස්වහන්සේට යටත්ව, ක්‍රිස්තුස්වහන්සේ බඳු ප්‍රේමය හා ගෞරවය විදහාපාන විට, සිය භාර්යාව ඔහුට යටත්වීමට පෙලඹෙනු ඇත.—එපීස 5:28, 29, 33.

භාර්යාවගේ යටත්වීම

16. භාර්යාවක සිය ස්වාමිපුරුෂයා සමඟ සබඳතාවේදී විදහා දැක්විය යුත්තේ කුමන ගුණාංගද?

16 ආදම් මැවීමෙන් යම් කලකට පසු, “ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා [දිගටම, NW ] තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් [අනුපූරකයක්, NW ] සාදාදෙන්නෙමියි කීසේක.” (උත්පත්ති 2:18) දෙවියන්වහන්සේ ඒවව මැව්වේ තරඟකාරියක ලෙස නොව, “අනුපූරකයක්” වශයෙනි. විවාහය තරඟකාරි නියමුවන් දෙදෙනෙකුගෙන් සමන්විත නැවක් මෙන් නොවිය යුතු විය. ප්‍රේමනීයව මූලිකත්වය දැරීම ස්වාමිපුරුෂයාගෙන් අපේක්ෂා කරනු ලැබූ අතර, භාර්යාවගෙන් ප්‍රේමය, ගෞරවය හා කැමැත්තෙන් යටත්කම විදහාපෙන්වීම අපේක්ෂා කෙරිණ.

17, 18. භාර්යාවකට තම ස්වාමිපුරුෂයාට සැබෑ උපකාර කරන්නියක විය හැකි ඇතැම් මාර්ග මොනවාද?

17 කෙසේවුවද, හොඳ භාර්යාවක් නිකම්ම යටත් වනවාට වඩා වැඩි යමක් කරන්නීය. ඇය ස්වාමිපුරුෂයා ගන්නා තීරණවලදී සහාය වෙමින් සැබෑ උපකාර කරන්නියක වීමට වෑයම් කරයි. ඔහු ගන්නා තීරණවලට ඇය එකඟ වන විට, එය ඇයට වඩාත් පහසුවක් වන බව නොකිවමනාය. එහෙත් ඇය එකඟ නොවන විට පවා, ඇය ක්‍රියාශීලීව දක්වන සහයෝගීතාව ඔහු ගන්නා තීරණයේදී වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීමට ඉවහල් විය හැක.

18 තම ස්වාමිපුරුෂයාට හොඳ මූලිකයෙකු වීම සඳහා වෙනත් ආකාරවලින් උපකාර කිරීමට භාර්යාවකට හැක. ඔහුව විවේචනය කිරීම හෝ ඔහුට කිසිවිටකත් තමාව සෑහීමකට පත් කළ නොහැකියයි ඔහුට හැඟීමට සැලැස්වීම වෙනුවට, මූලිකත්වය දැරීමට ඔහු ගන්නා වෑයමට අගය ප්‍රකාශ කිරීමට ඇයට හැක. තම ස්වාමිපුරුෂයා සමඟ ඒකාන්ත ආකාරයකින් කටයුතු කිරීමේදී, තම ස්වාමිපුරුෂයාගේ නෙත් හමුවේ පමණක් නොව ‘මෘදු වූ නිශ්චල වූ ගතිය . . . දෙවියන්වහන්සේ ඉදිරියෙහිද ඉතා අනර්ඝව’ තිබෙන බව ඇය මතක තබාගත යුතුය. (1 පේතෘස් 3:3, 4; කොලොස්සි 3:12) ස්වාමිපුරුෂයා ඇදහිලිවන්තයෙකු නොවේ නම් තත්වය කුමක්ද? ඔහු ඇදහිලිවන්තයෙකු වුවත්, නැතත්, “දෙවියන්වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස . . . තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් ප්‍රේමකරමින්, සිහියෙන් යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව, කරුණාවන්තව, තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට” කියා භාර්යාවන්ට ශුද්ධ ලියවිලි දිරිගන්වයි. (තීතස් 2:4, 5) හෘද සාක්ෂිය පිළිබඳ කාරණා පැනනඟින විට, “මෘදුකමින්ද යටහත්කමින්ද” එය ඉදිරිපත් කරනවා නම්, නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයෙකු තම භාර්යාවගේ තත්වයට ගෞරව කිරීමට වැඩි ඉඩක් තිබිය හැක. ඇතැම් නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයන් “[තම භාර්යාවන්ගේ] පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනා[ගෙන]” තිබේ.—1 පේතෘස් 3:1, 2, 15; 1 කොරින්ති 7:13-16.

19. ස්වාමිපුරුෂයෙකු දේවනීති කඩ කිරීමට සිය භාර්යාවට පවසනවා නම් කුමක්ද?

19 ස්වාමිපුරුෂයෙකු තම භාර්යාවට දෙවියන්වහන්සේ විසින් තහනම් කරනු ලැබූ යමක් කිරීමට පවසනවා නම් කුමක්ද? එසේ සිදු වේ නම්, ඇගේ ප්‍රධාන පාලකයා දෙවියන්වහන්සේ බව ඇය මතක තබාගත යුතුය. දෙවියන්වහන්සේගේ නීති උල්ලංගනය කරන්නයයි බලධාරීන් ප්‍රේරිතයන්ට පැවසූ විට ඔවුන් කළ දේ, ඈ ආදර්ශයක් වශයෙන් ගනියි. ක්‍රියා 5:29 [NW ] මෙසේ විස්තර කරයි: “පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තර දෙමින්: මනුෂ්‍යයන්ට වඩා පාලකයාණන් වශයෙන් දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.”

හොඳ අදහස් හුවමාරුව

20. ප්‍රේමය හා ගෞරවය අත්‍යවශ්‍ය වන වැදගත් පැත්තක් කවරේද?

20 විවාහයේ තවත් පැත්තක් වන අදහස් හුවමාරුව තුළදී ප්‍රේමය හා ගෞරවය අත්‍යවශ්‍ය වේ. ප්‍රේමනීය ස්වාමිපුරුෂයෙකු තම භාර්යාව සමඟ, ඇගේ වැඩකටයුතු, ඇගේ ගැටලු, විවිධ කාරණා පිළිබඳ ඇගේ මතයන් ගැන කතා බහ කරයි. ඇයට මෙය අවශ්‍යය. තම භාර්යාව සමඟ කතා කිරීමට කාලය ගන්නා මෙන්ම, ඇය පවසන දේට ඇත්තෙන්ම සවන් දෙන ස්වාමිපුරුෂයෙක් ඇය වෙත සිය ප්‍රේමය හා ගෞරවය පෙන්නුම් කරයි. (යාකොබ් 1:19) තම ස්වාමිපුරුෂයන් තමන් සමඟ කතා කිරීමට ගත කරන්නේ, ඉතා කෙටි කාලයක් කියා ඇතැම් භාර්යාවෝ පැමිණිලි කරති. එය කනගාටුවට කරුණකි. මෙම කාර්යබහුල කාලවලදී, ස්වාමිපුරුෂයන්ට නිවසෙන් පිට බොහෝ වේලා රැඳෙමින් වැඩ කරන්ට සිදු විය හැකි අතර, ආර්ථික තත්වයන් හේතුකොටගෙන ඇතැම් භාර්යාවන්ට බාහිර රැකියාවක නියැලීමට සිදු විය හැකි බව සැබෑවකි. එහෙත් විවාහක යුවළක් එකිනෙකා සඳහා යම් කාලයක් වෙන් කළ යුතුය. එසේ නැතහොත්, ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන්ට පටන්ගත හැක. විවාහ විධිවිධානයෙන් පිටත දයානුකම්පාව දක්වන මිත්‍රත්වයක් සෙවිය යුතුයයි හැඟුණහොත් එය බරපතළ ගැටලුවලට මඟ පෑදිය හැක.

21. සන්තෝෂවත් විවාහයක් පවත්වාගැනීමට උචිත කතාව උපකාර වනු ඇත්තේ කෙසේද?

21 භාර්යාවන් හා ස්වාමිපුරුෂයන් අදහස් හුවමාරු කරන ආකාරය වැදගත්ය. “ප්‍රිය වචන . . . ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.” (හිතෝපදේශ 16:24) කලත්‍රයෙකු ඇදහිලිවන්තයෙකු වුවත් නැතත්, මෙම බයිබල් අවවාදය අදාළ වේ: “නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව” එනම්, ප්‍රිය වචනවලින් යුතුව, “අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.” (කොලොස්සි 4:6) කෙනෙකුගේ දුෂ්කර දවසක නිමාවේදී, තම කලත්‍රයාගේ දයානුකම්පිත වචන ස්වල්පයකට ඉමහත් යහපතක් සිදු කළ හැක. “කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.” (හිතෝපදේශ 25:11) තෝරාගන්නා වචන හා කටහඬේ ස්වරය ඉතා වැදගත්ය. උදාහරණයක් වශයෙන්, අමනාපව, නියෝග කරන ආකාරයකින් එක්කෙනෙක් අනික් තැනැත්තාට මෙසේ පැවසිය හැක: “ඔය දොර වහන්න!” එහෙත් නිශ්චල, අවබෝධාත්මක කටහඬකින්, “කරුණාකරලා ඔය දොර වහන්න පුළුවන්ද” කියා පැවසුවා නම්, එම වචන ඊට වඩා කෙතරම් වැඩියෙන් “ලුණෙන් රසවත්ව” තිබේද?

22. හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීමට යුවළයන්ට අවශ්‍ය වන්නේ කුමන ආකල්පද?

22 මෘදු කතා බහ, කරුණාබරිත බැලීම් හා අංගචලන, කරුණාවන්තකම, අවබෝධය හා මොළොක්කම තිබෙන විට හොඳ අදහස් හුවමාරුව වැඩිදියුණු වේ. හොඳ අදහස් හුවමාරුවක් පැවැත්වීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමෙන්, තම අවශ්‍යතා දැන්වීමට ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාටම නිදහස් බවක් හැඟෙන අතර, සැනසීම ගෙන දීමටත්, බලාපොරොත්තු සුන් වන හෝ පීඩාකාරි අවස්ථාවල එකිනෙකාට උපකාර කිරීමටත් ඔවුන්ට හැකි වේ. “අධෛර්යයට පත්වූවන්ට සැනසීම ගෙන දෙන අන්දමින් කතා කිරීමට” දෙවියන්වහන්සේගේ වචනය උදක්ම ඉල්ලා සිටියි. (1 තෙසලෝනික 5:14, NW ) ස්වාමිපුරුෂයාද, එමෙන්ම භාර්යාවද අධෛර්යයට පත් වන අවස්ථා තිබෙනු ඇත. එකිනෙකාව වර්ධනය කරගනිමින් “සැනසීම ගෙන දෙන අන්දමින් කතා කිරීමට” ඔවුන්ට හැක.—රෝම 15:2.

23, 24. එකඟ නොවීම් තිබෙන විට ප්‍රේමය හා ගෞරවය උපකාර වන්නේ කෙසේද? උදාහරණයක් දෙන්න.

23 ප්‍රේමය හා ගෞරවය පිළිබිඹු කරන විවාහ කලත්‍රයන්, සෑම එකඟ නොවීමක්ම අභියෝගයක් ලෙස නොසලකනු ඇත. එකිනෙකා කෙරෙහි “කර්කස” නොවීමට ඔවුන් පරිශ්‍රමයක් දරනු ඇත. (කොලොස්සි 3:19) “මෘදු උත්තරයකින් කෝපය පහ[වන]” බව දෙදෙනාම මතක තබාගත යුතුය. (හිතෝපදේශ 15:1) හෘදයාංගම හැඟීම් නොවළහා පවසන කලත්‍රයෙකු සුළු නොකිරීමට හෝ හෙළා නොදැකීමට පරෙස්සම් වන්න. ඒ වෙනුවට, එවැනි ප්‍රකාශන, අනික් තැනැත්තාගේ දෘෂ්ටිකෝණය තියුණු ලෙස අවබෝධ කරගැනීමට ප්‍රස්තාවක් ලෙස සලකන්න. ඒ සමඟම, එකඟ නොවීම් මොනවාදැයි සොයා බලා, එකඟතාවකින් යුතු නිගමනයකට බසින්න.

24 සාරා තම ස්වාමිපුරුෂයා වන ආබ්‍රහම්ට එක්තරා ප්‍රශ්නයකට විසඳුමක් නිර්දේශ කළ විට, එය ඔහුගේ හැඟීම් සමඟ එකඟ නොවූ අවස්ථාව සිහියට නඟාගන්න. එහෙත්, දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට මෙසේ පැවසූසේක: “ඇගේ හඬට කන් දීපන්න.” (උත්පත්ති 21:9-12) ආබ්‍රහම් එසේ කළ අතර ඔහුට ආශීර්වාද ලැබිණ. එලෙසම, භාර්යාවක් තම ස්වාමිපුරුෂයාගේ මනසෙහි ඇති දෙයට වඩා වෙනස් යමක් යෝජනා කරන්නේ නම්, ඔහු අඩුම තරමින් සවන් දිය යුතුය. ඒ සමඟම, භාර්යාව සංවාදය පාලනය නොකළ යුතු නමුත්, ඇගේ ස්වාමිපුරුෂයාට පැවසීමට තිබෙන දෙයට සවන් දිය යුතුය. (හිතෝපදේශ 25:24) ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක සෑමවිටම ඔහුගේම හෝ ඇගේම කැමැත්තට එකඟවීමට බල කිරීම ප්‍රේමනීය නොවන, අගෞරවනීය දෙයකි.

25. විවාහ ජීවිතයේ කුලුපග සබඳතාවලදී හොඳ අදහස් හුවමාරුව සන්තෝෂයට දායක වන්නේ කෙසේද?

25 යුවළකගේ ලිංගික සබඳතාවකදීද හොඳ අදහස් හුවමාරුව වැදගත් වේ. ආත්මාර්ථකාමිත්වය හා ආත්මදමනයේ ඌනතාවක් හේතුවෙන් විවාහයෙහි මෙම ඉතා කුලුපග සබඳතාවට බරපතළ හානි පැමිණවිය හැක. ඉවසිලිවන්තකම, විවෘත අදහස් හුවමාරුව අත්‍යවශ්‍යය. දෙදෙනාම පරාර්ථකාමී ලෙස අනික් තැනැත්තාගේ ශුභසිද්ධිය සොයන විට, ලිංගික සබඳකම් ගැටලුවක් නොවන තරම්ය. අනික් කාරණාවලදී මෙන්ම, මෙම කාරණයේදීත්, “කිසිවෙක් තමාගේම වාසිය නොසොයා, එකිනෙකා අනික් තැනැත්තාගේ යහපත සොයාවා.”—1 කොරින්ති 7:3-5, NW; 1 කොරි 10:24.

26. සෑම විවාහයකටම දුක සැප දෙකම හිමිව තිබුණත්, විවාහ යුවළයන්ට සන්තෝෂය සොයාගැනීමට, දේවවචනයට සවන් දීම උපකාර වනු ඇත්තේ කෙසේද?

26 දේවවචනය ඉදිරිපත් කරන්නේ මොනතරම් කදිම අවවාදද! සෑම විවාහයකටම දුක සැප හිමි බව සැබෑය. එහෙත් බයිබලයෙහි හෙළි කර ඇති පරිදි කලත්‍රයන් යෙහෝවඃවහන්සේගේ සිතුවිලිවලට යටත් වන විට හා ඔවුන්ගේ සබඳතාව ප්‍රතිපත්තිමය ප්‍රේමය හා ගෞරවය මත පදනම් කරන විට, ඔවුන්ගේ විවාහය කල්පවතින, සන්තෝෂවත් එකක් වන බවට විශ්වාසය තැබීමට ඔවුන්ට හැක. මෙලෙස ඔවුන් එකිනෙකාට පමණක් නොව, නමුත් විවාහයේ ආරම්භකයාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේටද ගෞරව කරනු ඇත.

කල්පවතින, සන්තෝෂවත් විවාහයක් භුක්තිවිඳීමට යුවළකට . . . මෙම බයිබල් ප්‍රතිපත්ති උපකාර වන්නේ කෙසේද?

සැබෑ ක්‍රිස්තියානීහු එකිනෙකාට ප්‍රේම කරති.—යොහන් 13:35.

ක්‍රිස්තියානීහු එකිනෙකාට සමාව දීමට සූදානම්ව සිටිති.—කොලොස්සි 3:13.

මූලිකත්වය පිළිබඳව සුදුසු පිළිවෙළක් තිබේ.—1 කොරින්ති 11:3.

හරි දේ හරි ආකාරයෙන් පැවසීම වැදගත්ය.—හිතෝපදේශ 25:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න