ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fy 5 පරි. 51-63 පි.
  • බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න
  • පවුලේ සන්තෝෂයට රහස
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ දෘෂ්ටිය පිළිගැනීම
  • ඔබේ දරුවාගේ අවශ්‍යතා සපුරාලීම
  • ඔබේ දරුවා තුළ සත්‍යය පැලපදියම් කරන්න
  • හික්මවීම සඳහා තිබෙන දැඩි අවශ්‍යතාව
  • ඔබේ දරුවාව අනතුරෙන් ආරක්ෂා කරගන්න
  • දිව්‍ය මඟ පෙන්වීම සොයන්න
  • ප්‍රේමයෙන් හික්මවීමේ වටිනාකම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ළදරු කාලයේ සිට දරුවන් පුහුණු කිරීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • ඔබේ දරුවන්ව පුහුණු කිරීමට බයිබලය ඔබට උපකාරවත් වේද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
පවුලේ සන්තෝෂයට රහස
fy 5 පරි. 51-63 පි.

5වෙනි පරිච්ඡේදය

බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න

1, 2. දෙමාපියන් තම දරුවන් ඇති දැඩි කිරීමේදී උපකාරය පතා හැරිය යුත්තේ කවරෙකු වෙතටද?

වර්ෂ 3,000කට පමණ පෙර අගය දැක්වූ දෙමාපියෙක් “දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය,” කියා ප්‍රකාශ කළේය. (ගීතාවලිය 127:3) ඇත්තෙන්ම, දෙමාපියන් වීමේ ප්‍රීතිය වූ කලි බොහෝ විවාහකයන්ට අත්විඳිය හැකි, දෙවියන්වහන්සේගෙන් ලැබෙන අගනා දීමනාවකි. කෙසේවුවත්, දෙමාපියන් වීමේ ප්‍රීතිය සමඟ වගකීම්ද පැමිණෙන බව දරුවන් සිටින අය වැඩි කල් නොගොස් වටහාගනිති.

2 විශේෂයෙන්ම අදදින, දරුවන් ඇති දැඩි කිරීම අභියෝගාත්මක කාර්යයකි. කෙසේනමුත් බොහෝදෙනෙකු එය සාර්ථකව කර ඇති අතර, ආනුභාව ලත් ගීතිකාකරු මෙසේ පවසමින් මාර්ගය දක්වයි: “ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති.” (ගීතාවලිය 127:1) යෙහෝවඃවහන්සේගේ උපදෙස් කිට්ටුවෙන් අනුගමනය කරන තරමටම, ඔබ වඩාත් හොඳ දෙමාපියෙකු බවට පත් වේ. බයිබලය මෙසේ පවසයි: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරපන්න.” (හිතෝපදේශ 3:5) ඔබ දරුවන් පුහුණු කිරීමේ වසර-20ක ව්‍යාපෘතිය අරඹන විට, යෙහෝවඃවහන්සේගේ උපදෙස්වලට සවන් දීමට කැමතිද?

බයිබලයේ දෘෂ්ටිය පිළිගැනීම

3. දරුවන් ඇති දැඩි කිරීමේදී පියවරුන්ට තිබෙන වගකීම කුමක්ද?

3 ලෝ වටා බොහෝ ගෘහවල, දරුවන් පුහුණු කිරීම ප්‍රධාන ලෙසම ස්ත්‍රියගේ වැඩක් ලෙස පුරුෂයෝ සලකති. පියාගේ කාර්යභාරය ප්‍රධාන උපයන්නා ලෙස කටයුතු කිරීම බව දේවවචනය යොමු දක්වන බව සැබෑය. කෙසේවුවද, ඔහුට ගෘහය තුළ වගකීම් තිබෙන බවද එය පවසයි. බයිබලය මෙසේ පවසයි: “නුඹේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගනින්න; පසුව නුඹේ ගේ සාදාපන්න.” (හිතෝපදේශ 24:27) දෙවියන්වහන්සේගේ දෘෂ්ටියට අනුව, පියවරු හා මව්වරු දරුවන් පුහුණු කිරීමේදී සහකරුවෝ වෙති.—හිතෝපදේශ 1:8, 9.

4. පිරිමි දරුවන් ගැහැනු දරුවන්ට වඩා උසස්යයි අප නොසැලකිය යුත්තේ මන්ද?

4 ඔබ ඔබේ දරුවන්ව සලකන්නේ කෙසේද? ආසියාවේ, “බොහෝවිට ගැහැනු දරුවන් බිහිවීම ගැන එතරම් සතුටක් නැති බව” වාර්තාවල පැවසේ. ලතින් අමෙරිකාවේ “වැඩි අවබෝධයකින් යුත් පවුල්” අතර පවා ගැහැනු දරුවන්ට එරෙහිව තවමත් අගතිසහගත හැඟීම් තිබෙන බවට වාර්තා වේ. එහෙත්, සත්‍යය නම්, ගැහැනු දරුවන් දෙවන-පංතියේ දරුවන් නොවීමය. පැරණි කාලවල ප්‍රසිද්ධව සිටි පියෙකු වූ යාකොබ්, එකල උපන් දියණියන් ඇතුළු ඔහුගේ සියලු දරුවන්ව විස්තර කළේ “දෙවියන් වහන්සේ [මට] කරුණාව පා දුන් දරුවෝ” වශයෙනි. (උත්පත්ති 33:1-5, නව අනුවාදය; 37:35) එලෙසම, යේසුස්වහන්සේ තමා වෙත ගෙනා සියලුම ‘දරුවන්ට’ (පිරිමි ළමුන් හා ගැහැනු ළමුන්ට) ආශීර්වාද කළසේක. (මතෙව් 19:13-15) උන්වහන්සේ යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිය විදහා පෑ බවට සහතික වීමට අපට හැක.—ද්විතීය කථාව 16:14.

5. තම පවුලේ ප්‍රමාණය සම්බන්ධයෙන් යුවළකගේ තීරණය පාලනය කළ යුත්තේ කුමන සලකා බැලීම්ද?

5 ස්ත්‍රියක හැකි තරම් දරුවන් බිහි කළ යුතු බවට ඔබේ ප්‍රජාව අපේක්ෂා කරයිද? විවාහ යුවළකට කොපමණ දරුවන් සිටිය යුතුද යන්න ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් වීම උචිත දෙයකි. දරුවන් කිහිපදෙනෙකුට ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා අධ්‍යාපනය දීමට වත්කමක් නොමැති නම් කුමක් කිව හැකිද? තම පවුලේ ප්‍රමාණය තීරණය කිරීමේදී ස්ථිරයෙන්ම යුවළ මෙය සලකා බැලිය යුතුය. තම දරුවන් සියලුදෙනාවම නඩත්තු කළ නොහැකි ඇතැම් යුවළයෝ ඔවුන්ගෙන් සමහරෙකු ඇති දැඩි කිරීමේ වගකීම නෑදෑයන්ට පවරති. මෙම පුරුද්ද සුදුසුද? ඇත්තෙන්ම නැත. තවද එය දෙමාපියන්ව තම දරුවන් කෙරෙහි තිබෙන වගකීමෙන් නිදහස් කරන්නේ නැත. බයිබලය මෙසේ පවසයි: “යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) ‘තමන්ගේම අයට සැපයීමට’ හැකි වන පිණිස වගකීමක් සහිත යුවළයෝ, “තමාගේම පවුලේ අය” සම්බන්ධ ප්‍රමාණය සැලසුම් කිරීමට වෑයම් කරති. මේ සඳහා ඔවුන්ට උපත් පාලන ක්‍රම අනුගමනය කළ හැකිද? එයත් පෞද්ගලික තීරණයක් වන අතර, මේ ක්‍රියා මාර්ගය ගැනීමට විවාහක යුවළයන් තීරණය කරනවා නම්, උපත් පාලනය සම්බන්ධ තේරීමද පෞද්ගලික කාරණයකි. “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.” (ගලාති 6:5) කෙසේවුවද, ඕනෑම ආකාරයක ගබ්සාවීමක් ඇතුළත් වන උපත් පාලන ක්‍රම බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනිය. යෙහෝවඃ දෙවියන්වහන්සේ “ජීවනයේ උල්පත” වේ. (ගීතාවලිය 36:9) එබැවින්, පිළිසිඳ ගත් පසු ජීවිතයක් විනාශ කිරීම යෙහෝවඃවහන්සේට කරන විශාල අගෞරවයක් වන අතර, මිනීමැරීමකට සමාන වේ.—නික්මයාම 21:22, 23; ගීතාවලිය 139:16; යෙරෙමියා 1:5.

ඔබේ දරුවාගේ අවශ්‍යතා සපුරාලීම

6. දරුවෙකු පුහුණු කිරීම පටන්ගත යුත්තේ කවදාද?

6 හිතෝපදේශ 22:6 මෙසේ පවසයි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරපන්න.” දරුවන්ව පුහුණු කිරීම තවත් විශාල දෙමාපිය වගකීමකි. එහෙත්, එම පුහුණුව පටන්ගත යුත්තේ කවදාද? ඉතා ළා බාල වයසේදීය. තිමෝතිව “බාල වයසේ” පටන් පුහුණු කර තිබූ බව ප්‍රේරිත පාවුල් දුටුවේය. (2 තිමෝති 3:15) මෙහි යොදා ඇති ග්‍රීක් වචනය සිඟිත්තෙකුට හෝ නූපන් දරුවෙකුට පවා යොමු දැක්විය හැක. (ලූක් 1:41, 44; ක්‍රියා 7:18-20) මෙබැවින්, තිමෝති පුහුණුව ලැබුවේ ඉතා කුඩා කාලයේදීය—තවද එසේ වීම උචිත දෙයකි. දරුවෙකු පුහුණු කිරීමට පටන්ගැනීම සඳහා සුදුසුම කාලය බිළිඳු අවදියයි. කුඩා බිළිඳෙකුට පවා දැනගැන්ම සඳහා සාගින්නක් තිබේ.

7. (අ) ළදරුවෙකු සමඟ දෙමාපියන් දෙදෙනාම කිට්ටු සබඳතාවක් වර්ධනය කිරීම වැදගත් වන්නේ මන්ද? (ආ) යෙහෝවඃවහන්සේ සහ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් අතර පැවතියේ කෙබඳු සබඳතාවක්ද?

7 “මගේ දරුවව පළමු වතාවට දැක්ක වෙලාවේ මා තුළ ඔහුට ආදරයක් ඇති වුණා,” කියා එක් මවක් පවසයි. මව්වරුන් වැඩිදෙනෙකුට එසේ හැඟේ. දරුවාගේ උපතෙන් පසු මව සහ දරුවා එකට කල් ගෙවද්දී ඔවුන් අතර එම විශිෂ්ට බැඳීම වැඩිවර්ධනය වේ. මව් කිරි දීමෙන් එම කුලුපගතාව තව තවත් වැඩි වේ. (1 තෙසලෝනික 2:7, සසඳන්න.) මවක් ඇගේ දරුවා තුරුලු කරගනිමින්, දරුවා සමඟ කතා කිරීම දරුවාගේ චිත්තවේගීය අවශ්‍යතා පිරවීමට අත්‍යවශ්‍යය. (යෙසායා 66:12, සසඳන්න.) එහෙත් පියා ගැන කුමක් කිව හැකිද? පියාද තම නවජ දරුවා සමඟ කිට්ටු, සම්බන්ධයක් ඇති කරගත යුතුය. යෙහෝවඃවහන්සේම මේ සම්බන්ධයෙන් ආදර්ශයකි. හිතෝපදේශ පොතෙහි, ස්වකීය ඒක-ජාතක පුත්‍රයාණන් සමඟ යෙහෝවඃවහන්සේගේ සබඳතාව ගැන අප ඉගෙනගන්නා අතර, “ස්වාමීන්වහන්සේ . . . පටන්ගැන්මේදී මා පිහිටෙවුසේක . . . දවසින් දවස උන්වහන්සේගේ ප්‍රීතිය වීමි,” යයි යේසුස්වහන්සේ පවසන බව දක්වා තිබේ. (හිතෝපදේශ 8:22, 30; යොහන් 1:14) එලෙසම, යහපත් පියෙක් දරුවාගේ ජීවිතයේ ආරම්භයේ සිටම, දරුවා සමඟ උණුසුම්, ප්‍රේමනීය සබඳතාවක් වර්ධනය කරයි. “දැඩි ස්නේහයක් දක්වන්න,” යයි එක් දෙමාපියෙක් පවසයි. “වැලඳගැනීම් හා සිපගැනීම් නිසා කවදාවත් දරුවෙක් මැරිලා නෑ.”

8. හැකි ඉක්මනින් දෙමාපියන් තම ළදරුවන්ට දිය යුතු මානසික උත්තේජනය කුමක්ද?

8 එහෙත් බිළිඳු දරුවන්ට ඊටත් වඩා අවශ්‍යය. උපන් මොහොතේ පටන්, බිළිඳන්ගේ මොළ, තොරතුරු ලබාගෙන, ඒවා රැස් කිරීමට සූදානමින් සිටින අතර දෙමාපියෝ මෙය ලබා දීමේ මූලික මූලාශ්‍ර වෙති. උදාහරණයක් වශයෙන් භාෂාව ගැන සලකා බලන්න. දරුවෙකු කෙතරම් හොඳට කතා කරනවාද හා කියවනවාද යන්න “මුල පටන් දෙමාපියන් සමඟ දරුවාගේ අන්‍යොන්‍ය බැඳීමේ ස්වභාවයට කිට්ටුවෙන් සම්බන්ධව තිබෙන බවට කල්පනා කෙරේ” කියා පර්යේෂකයෝ පවසති. බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා සමඟ කතා කරන්න, කියවන්න. ඔබව අනුකරණය කිරීමට විගස ඔහුට වුවමනා වන අතර, වැඩි කල් යෑමට පෙර ඔබ ඔහුට කියවීමට උගන්වමින් සිටිනු ඇත. පාසැලට ඇතුල්වීමට පෙර ඔහුට කියවන්න පුළුවන්කම ලැබෙනවා විය හැක. ගුරුවරුන් හිඟ, පංති කාමර තදබද වී ඇති රටක ඔබ ජීවත් වන්නෙහි නම්, එය විශේෂයෙන්ම උපකාරවත් වනු ඇත.

9. දෙමාපියන් මතක තබාගත යුතු අතිවැදගත් ඉලක්කය කුමක්ද?

9 ක්‍රිස්තියානි දෙමාපියන් ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වන්නේ තම දරුවාගේ ආත්මික අවශ්‍යතා සපුරාලීමටය. (ද්විතීය කථාව 8:3, බලන්න.) කුමන ඉලක්කයක් ඇතුවද? තම දරුවාට ක්‍රිස්තුස්වහන්සේගේ බඳු පෞද්ගලිකත්වයක් වර්ධනය කරගැනීමටත්, ඇත්තෙන්ම, “නව පෞද්ගලිකත්වය” පැළඳගැනීමටත් උපකාර කිරීම සඳහාය. (එපීස 4:24, NW ) මේ හේතුවෙන් සුදුසු ගොඩනැඟීමේ ද්‍රව්‍ය හා ගොඩනැඟීමේ ක්‍රම සලකා බැලීමට ඔවුන්ට අවශ්‍ය වේ.

ඔබේ දරුවා තුළ සත්‍යය පැලපදියම් කරන්න

10. දරුවන් වර්ධනය කළ යුත්තේ කුමන ගුණාංගද?

10 ගොඩනැඟිල්ලක ගුණය රඳාපවතින්නේ, බොහෝදුරට ගොඩනැඟිල්ලෙහි යොදා ඇති ද්‍රව්‍යවල ආකාරය මතය. ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයන් සඳහා හොඳම ගොඩනැඟිලි ද්‍රව්‍ය “රන්, රිදී අනර්ඝ ගල්,” බව ප්‍රේරිත පාවුල් පැවසුවේය. (1 කොරින්ති 3:10-12) මේවා ඇදහිල්ල, ප්‍රඥාව, විචාර බුද්ධිය, පක්ෂපාතකම, ගෞරවය, යෙහෝවඃවහන්සේ හා ස්වකීය නීති සඳහා ප්‍රේමනීය අගය කිරීම වැනි ගුණාංග නියෝජනය කරයි. (ගීතාවලිය 19:7-11; හිතෝපදේශ 2:1-6; 3:13, 14) ළමා අවදියේ මුල් කාලයේ පටන් මෙම ගුණාංග වර්ධනය කරගැනීමට තම දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද? බොහෝ කලකට පෙර ලියනු ලැබූ ක්‍රියා පිළිවෙළක් අනුගමනය කිරීම මගිනි.

11. ඉශ්‍රායෙල් දෙමාපියන් දේවභක්තික පෞද්ගලිකත්වයන් වර්ධනය කරගැනීමට තම දරුවන්ට උපකාර කළේ කෙසේද?

11 ඉශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශයට ඇතුල්වීමට ටික කලකට පෙර, යෙහෝවඃවහන්සේ ඉශ්‍රායෙල් දෙමාපියන්ට මෙසේ පැවසූසේක: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ [හෘදයේ, NW ] තිබේවා. ඒවා නුඹේ [දරුවන් තුළ පැලපදියම් කොට, NW ], නුඹ ගෙයි හිඳින කලද මඟ යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරපන්න.” (ද්විතීය කථාව 6:6, 7) එසේය, දෙමාපියන් ආදර්ශකයන්, මිත්‍රයන්, අදහස් හුවමාරු කරන්නන් හා ගුරුවරුන් විය යුතුය.

12. දෙමාපියන් හොඳ ආදර්ශයන් වීම වැදගත් වන්නේ මන්ද?

12 ආදර්ශයක් වන්න. පළමුව, යෙහෝවඃවහන්සේ මෙසේ පැවසූසේක: “මේ වචන නුඹේ සිතේ [හෘදයේ, NW ] තිබේවා.” ඉන්පසු, උන්වහන්සේ මෙසේද කීසේක: ‘ඒවා නුඹේ දරුවන් තුළ පැලපදියම් කළ යුතුය.’ එබැවින් ප්‍රථමයෙන්ම දෙමාපියන්ගේ හෘද තුළ දේවගුණාංග තිබිය යුතුය. දෙමාපියා සත්‍යයට ප්‍රේම කොට, ඒ අනුව ජීවත් විය යුතුය. දරුවාගේ හෘදය වෙත ළඟා විය හැක්කේ එවිට පමණි. (හිතෝපදේශ 20:7) මන්ද? දරුවන්, අසන දෙයට වඩා දකින දෙය මගින් පොලඹවනු ලබන බැවිනි.—ලූක් 6:40; 1 කොරින්ති 11:1.

13. තම දරුවන්ට අවධානය දීමේදී, ක්‍රිස්තියානි දෙමාපියන්ට යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද?

13 මිත්‍රයෙකු වන්න. ‘ඔබ ගෙයි හිඳින කලද මඟ යන කලද ඔබේ දරුවන් සමඟ කතා කරන්න’ යයි යෙහෝවඃවහන්සේ ඉශ්‍රායෙල්හි දෙමාපියන්ට පැවසූසේක. දෙමාපියන් කෙතරම් කාර්යබහුල වුවත් දරුවන් සමඟ කාලය ගත කිරීම මේ සඳහා අවශ්‍යය. තම කාලය දරුවන් වෙනුවෙන් වෙන් කළ යුතුයයි යේසුස්වහන්සේට පැහැදිලිවම හැඟිණ. උන්වහන්සේගේ සේවයේ අවසාන දවස්වලදී, “ඔව්හු ළදරුවන් පිට උන්වහන්සේගේ අත තබවාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය.” යේසුස්වහන්සේගේ ප්‍රතික්‍රියාව කුමක් වීද? “උන්වහන්සේ ඔවුන් වඩාගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාදකළසේක.” (මාර්ක් 10:13, 16) ටිකක් සිතාබලන්න, යේසුස්වහන්සේගේ ජීවිතයේ අවසාන පැය ගණන පැමිණ තිබිණ. එහෙත්, උන්වහන්සේ මෙම දරුවන්ට තම කාලය හා අවධානය දුන්සේක. කෙතරම් කදිම පාඩමක්ද!

14. දෙමාපියන්ට තම දරුවා සමඟ කාලය ගත කිරීම ප්‍රයෝජනවත් වන්නේ මන්ද?

14 අදහස් හුවමාරු කරන්නෙකු වන්න. ඔබේ දරුවා සමඟ කාලය ගත කිරීම ඔහු සමඟ අදහස් හුවමාරු කිරීම සඳහා ඔබට උපකාර වනු ඇත. ඔබ වඩ වඩා අදහස් හුවමාරු කරන විට, ඔහුගේ පෞද්ගලිකත්වය වර්ධනය වන ආකාරය වඩාත් හොඳින් තේරුම්ගන්නෙහිය. එහෙත්, අදහස් හුවමාරු කිරීම යනු කතා කිරීමට වඩා වැඩි දෙයක් බව මතක තබාගන්න. “සවන් දීමේ කලාව එනම් හද පත්ලෙන්ම සවන් දීම වර්ධනය කරගැනීමට මට සිදු වුණා,” යයි බ්‍රසීලයේ මවක් පැවසුවාය. ඇගේ පුතා සිය හැඟීම් ඇයට පැවසීමට පටන්ගත් විට, ඇගේ ඉවසීම ඵල ඉපදවිය.

15. විනෝද වීමට අවස්ථාව පැමිණෙන විට, මනසේ තබාගත යුත්තේ කුමක්ද?

15 දරුවන්ට “සිනාසෙන්ට කාලයක් . . . සහ නටන්ට කාලයක්,” එනම් විනෝදවීම සඳහා කාලයක් අවශ්‍යය. (දේශනාකාරයා 3:1, 4; සෙකරියා 8:5) දෙමාපියන් හා දරුවන් එකට විනෝදය භුක්තිවිඳින විට, එය ඉතා ඵලදායී වේ. බොහෝ ගෘහයන්හී විනෝදවීමෙන් අදහස් කරන්නේ රූපවාහිනිය නැරඹීම වීම කනගාටුවට කරුණකි. ඇතැම් රූපවාහිනී වැඩසටහන් විනෝදාස්වාදය ගෙන දෙන අතරතුර, බොහෝ ඒවා හොඳ සාරධර්ම විනාශ කළ හැකි අතර, රූපවාහිනිය නැරඹීම පවුලක අදහස් හුවමාරුව වැළැක්වීමටද ඉවහල් වෙයි. එමනිසා, ඔබේ දරුවන් සමඟ නිර්මාණාත්මක යමක් නොකරන්නේ මන්ද? ගී ගයන්න, සෙල්ලම් කරන්න, මිත්‍රයන් සමඟ ඇසුරු කරන්න, සතුට ලැබිය හැකි තැන් නැරඹීමට යන්න. එවන් ක්‍රියාකාරකම් අදහස් හුවමාරුවට දිරි දෙයි.

16. යෙහෝවඃවහන්සේ පිළිබඳව දෙමාපියන් තම දරුවන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද, තවද ඔවුන් එසේ කළ යුත්තේ කෙසේද?

16 ගුරුවරයෙකු වන්න. ‘[මේ වචන] නුඹේ දරුවන් තුළ පැලපදියම් කළ යුතුය,’ යනුවෙන් යෙහෝවඃවහන්සේ පැවසූසේක. ඉගැන්විය යුත්තේ කුමක්ද, කුමන ආකාරයෙන්ද කියා පද සම්බන්ධය ඔබට පවසයි. පළමුව, “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරපන්න.” (ද්විතීය කථාව 6:5) ඉන්පසු, ‘මේ වචන ඔබ තුළ පැලපදියම් කරගත යුතුය’. යෙහෝවඃවහන්සේ සඳහා මෙන්ම ස්වකීය නීති සඳහා හෘදයාංගම ප්‍රේමය වර්ධනය කිරීමේ ඉලක්කය ඇතුව උපදෙස් ඉදිරිපත් කරන්න. (හෙබ්‍රෙව් 8:10, සසඳන්න.) ‘පැලපදියම් කිරීම’ යන්නෙන් අදහස් කරන්නේ, පුනරුක්තිය මගින් ඉගැන්වීමය. එබැවින් ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃවහන්සේ ගැන ස්ථිරසාර පදනමක් මත කතා කිරීම වූ කලි, ඔබේ දරුවන්ට දේවභක්තික පෞද්ගලිකත්වයක් වර්ධනය කරගත හැකි මූලික ක්‍රමයක් වන බව උන්වහන්සේ ඔබට කියනවා හා සමානය. ඔවුන් සමඟ නිතිපතා බයිබල් පාඩමක් පැවැත්වීම මීට ඇතුළත් වේ.

17. දෙමාපියන්ට තම දරුවා තුළ කුමක් වර්ධනය කිරීම අවශ්‍ය විය හැකිද? ඒ මන්ද?

17 දරුවෙකුගේ හෘදය තුළට තොරතුරු කාවැද්දවීම පහසු නොවන බව දෙමාපියන්ගෙන් වැඩිදෙනෙක් දනිති. ප්‍රේරිත පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ බලවත් ඉල්ලීමක් කළේය: “අලුත උපන් බිළිඳුන් මෙන් [ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලට] බොහෝ ආශාවෙයල්ලා [දැඩි ආශාවක් වර්ධනය කරගන්න, NW ].” (1 පේතෘස් 2:3) “ආශාවක් වර්ධනය කරගන්න” යන යෙදුමෙන්, බොහෝදෙනා ආත්මික ආහාර සඳහා ස්වභාවයෙන්ම සාගින්නකින් නොසිටින බව දක්වයි. තම දරුවන් තුළ එම ආශාව වර්ධනය කිරීමට මාර්ග සෙවීමට දෙමාපියන්ට සිදු විය හැක.

18. දෙමාපියන්ට අනුකරණය කිරීමට දිරිගන්වා ඇති යේසුස්වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රම සමහරක් මොනවාද?

18 උපමා භාවිත කිරීම මගින් යේසුස්වහන්සේ හෘදවලට ළඟා වූසේක. (මාර්ක් 13:34; ලූක් 10:29-37) මෙම ඉගැන්වීමේ ක්‍රමය, දරුවන් සඳහා විශේෂයෙන්ම ඵලදායී වේ. වර්ණවත්, උනන්දුව ඇති කරවන කතන්දර, සමහරවිට මගේ බයිබල් කතන්දර පොත යන ප්‍රකාශනයේ තිබෙන දේ යොදාගැනීමෙන් බයිබල් ප්‍රතිපත්ති උගන්වන්න.a දරුවන්ව හවුල් කරගන්න. බයිබල් සිද්ධීන් චිත්‍රයට නැඟීමෙන් හා රඟ දැක්වීමෙන් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට සලස්වන්න. යේසුස්වහන්සේ ප්‍රශ්නද යොදාගත්සේක. (මතෙව් 17:24-27) ඔබේ පවුල් පාඩමේදී උන්වහන්සේගේ ක්‍රමය අනුකරණය කරන්න. දෙවියන්වහන්සේගේ නීතියක් නිකම්ම සඳහන් කරනවා වෙනුවට, යෙහෝවඃවහන්සේ අපට මෙම නීතිය දුන්නේ මන්ද? අප එය පැවැත්වුවහොත් කුමක් සිදු වනු ඇද්ද? අප එය නොපැවැත්වුවහොත් කුමක් සිදු වනු ඇද්ද? වැනි ප්‍රශ්න අසන්න. දේවනීති ප්‍රායෝගික මෙන්ම යහපත් බව හේතු විමසා බැලීමට හා තේරුම්ගැනීමට එවැනි ප්‍රශ්න දරුවෙකුට උපකාර කරයි.—ද්විතීය කථාව 10:13.

19. තම දරුවන් සමඟ කටයුතු කිරීමේදී දෙමාපියන් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම්, දරුවන් භුක්තිවිඳිනු ඇත්තේ කිනම් උතුම් ප්‍රයෝජනද?

19 ආදර්ශකයෙකු, මිත්‍රයෙකු, අදහස් හුවමාරු කරන්නෙකු හා ගුරුවරයෙකු වීමෙන්, යෙහෝවඃවහන්සේ සමඟ සමීප පෞද්ගලික සබඳතාවක් ඇති කරගැනීමට ඔබේ දරුවාට සිය බිළිඳු අවදියේ සිටම උපකාර කිරීමට ඔබට හැක. ක්‍රිස්තියානියෙකු වශයෙන් සතුටින් සිටීමට මෙම සබඳතාව ඔබේ දරුවාව දිරිගන්වනු ඇත. තුල්‍ය පීඩනය හා වරදට පෙලඹවීම්වලට මුහුණ දෙන විට පවා ඔහු තම විශ්වාසයට එකඟව ජීවත්වීමට වෑයම් කරනු ඇත. මෙම අගනා සබඳතාව අගය කිරීමට සැමවිටම ඔහුට උපකාර කරන්න.—හිතෝපදේශ 27:11.

හික්මවීම සඳහා තිබෙන දැඩි අවශ්‍යතාව

20. හික්මවීම යනු කුමක්ද, තවද එය අදාළ කරගත හැක්කේ කෙසේද?

20 හික්මවීම වනාහි, මනස හා හෘදය නිවැරදි කරන පුහුණු කිරීමකි. දරුවන්ට එය නිරතුරුවම අවශ්‍යය. “ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද [තම දරුවන්ව] ඇතිකරපල්ලා,” යයි පාවුල් පියවරුන්ට උපදෙස් දෙයි. (එපීස 6:4) යෙහෝවඃවහන්සේ කරන්නාක් මෙන්ම දෙමාපියන්ද හික්මවීම දිය යුත්තේ ප්‍රේමයෙනි. (හෙබ්‍රෙව් 12:4-11) ප්‍රේමය මත පදනම් වූ හික්මවීම දිය හැක්කේ, හේතු දැක්වීම මගිනි. මෙනිසා, ‘හික්මවීමට කන් දෙන්න’ කියා අපට පවසා ඇත. (හිතෝපදේශ 8:33, NW ) හික්මවීම දිය යුත්තේ කෙසේද?

21. තම දරුවන්ව හික්මවීමේදී, දෙමාපියන් මතකයේ තබාගත යුත්තේ කුමන ප්‍රතිපත්තිද?

21 ඔවුන්ට තර්ජනාත්මක ස්වරයකින් කතා කිරීම, බැණවැදීම හෝ ඔවුන්ව අවමානයට ලක් කිරීම පවා හික්මවීමට ඇතුළත්ව තිබේයයි ඇතැම් දෙමාපියෝ කල්පනා කරති. කෙසේවුවත්, පාවුල් එම විෂය ගැනම මෙසේ අවවාද කරයි: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපද[වන්න].” (එපීස 6:4) “සියල්ලන් කෙරෙහි ගුණවන්ත[ව] . . . විරුද්ධව සිටින්නන්[ට] . . . මෘදුකමින් . . . තරවටුකරන්ට” සියලු ක්‍රිස්තියානීන්ගෙන් බලවත් සේ ඉල්ලා තිබේ. (2 තිමෝති 2:24-26) ක්‍රිස්තියානි දෙමාපියෝ, ස්ථිරභාවයක් දැක්වීම අවශ්‍ය බව වටහාගන්නා අතරම, තම දරුවන්ව හික්මවන විට මෙම වචන මතකයෙහි තබාගැනීමට වෑයම් කරති. එහෙත්, ඇතැම් අවස්ථාවලදී, හේතු දැක්වීම ප්‍රමාණවත් නොවන අතර, යම් ආකාරයක දඬුවමක් අවශ්‍ය විය හැක.—හිතෝපදේශ 22:15.

22. දරුවෙකුට දඬුවම් කළ යුතුව තිබේ නම්, ඔහුට තේරුම්ගන්ට සැලැස්විය යුත්තේ කුමක්ද?

22 විවිධ දරුවන්ට නානාවිධ හික්මවීම් අවශ්‍යය. සමහරෙක් “අවවාදයෙන් පමණක් නොහික්මෙ[ති].” ඔවුන්ට, අකීකරුකම සඳහා ඉඳහිට දඬුවම් දීම ජීවිත බේරාගැනීමට තුඩු දිය හැක. (හිතෝපදේශ 17:10; 23:13, 14; 29:19, නව අනුවාදය ) එහෙත්, තමාට දඬුවම් කරන්නේ මන්දැයි දරුවෙකු තේරුම්ගත යුතුය. ‘ඉපල සහ තරවටු කිරීම ප්‍රඥාව දෙන්නේය.’ (හිතෝපදේශ 29:15; යෝබ් 6:24) එපමණක් නොව, දඬුවම් කිරීමට සීමා තිබේ. “යුතු පමණට නුඹලාට දඬුවම් කරන්නෙමි,” කියා යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟට පැවසූසේක. (යෙරෙමියා 46:28ආ, NW ) දරුවෙකුට තැලීම් හා තුවාල පවා ඇති කළ හැකි, කෝපයෙන් තැලීම හෝ දැඩි ලෙස පහර දීම බයිබලයෙහි කිසිදු අන්දමකින් නිර්දේශ නොකෙරේ.—හිතෝපදේශ 16:32.

23. දරුවෙකුට තම දෙමාපියන් විසින් දඬුවම් කරනු ලැබේ නම්, කුමක් තේරුම්ගැනීමට ඔහුට හැකි විය යුතුද?

23 ඔවුන්ව හික්මවනු ඇති බවට යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට අනතුරු ඇඟවූ විට, උන්වහන්සේ පළමුව මෙසේ පැවසූසේක: “මා නුඹ සමග සිටින නිසා භය නොවන්න.” (යෙරෙමියා 46:28අ) එලෙසම, යම් යෝග්‍ය ආකාරයකින් දෙමාපිය හික්මවීම, දරුවෙකු අත්හැර තිබෙන බව හැඟෙන්ට කිසිවිටකත් ඉඩ නොහළ යුතුය. (කොලොස්සි 3:21) ඊට වෙනස්ව, හික්මවීම දෙනු ලබන්නේ, දෙමාපියා ඔහුගේ පැත්තේ ‘ඔහු සමඟ’ සිටින නිසා බව දරුවාට අවබෝධ විය යුතුය.

ඔබේ දරුවාව අනතුරෙන් ආරක්ෂා කරගන්න

24, 25. අදදින දරුවන්ව ආරක්ෂා කරගත යුතු වන්නේ කිනම් අශික්ෂිත තර්ජනයෙන්ද?

24 වැඩිහිටියන් බොහෝදෙනෙකු තම ළමා අවදිය ගැන කල්පනා කරන්නේ, සන්තෝෂදායක කාලයක් ලෙසිනි. කුමක් සිදුවුවත් දෙමාපියන් තමන්ව බලාගනීවි යන ස්ථිරත්වය, ආරක්ෂාවේ උණුසුම් හැඟීම ඔවුහු මතකයට නඟති. දෙමාපියන්ට වුවමනා වන්නේ තම දරුවන්ටත් එලෙසම හැඟීමටය, නමුත් අදදින පිරිහෙමින් පවතින ලෝකයෙහි දරුවන්ව ආරක්ෂා කරගැනීම, පෙරට වඩා දුෂ්කර එකකි.

25 මෑත වර්ෂවලදී වැඩි වී ඇති අශික්ෂිත තර්ජනයකි, ළමයින්ව ලිංගිකව දූෂණය කිරීම. මලයාසියාවේ, වර්ෂ දහයක කාලපරිච්ඡේදයක් පුරා ළමා දූෂණය පිළිබඳ වාර්තා හතර ගුණයකින් වැඩි වී ඇත. ජර්මනියෙහි සෑම වර්ෂයකම ලිංගිකව දූෂණය වූ දරුවන් 3,00,000ක් පමණ සිටින අතර, එක් අධ්‍යයනයකට අනුව, දකුණු අමෙරිකානු රටක තක්සේරු කරන ලද වාර්ෂික සංඛ්‍යාව 90,00,000ක අතිවිශාල සංඛ්‍යාවකි! මෙම දරුවන්ගෙන් වැඩිදෙනෙකු දූෂණය කරනු ලබන්නේ තමන්ගේම නිවසේදී තමන් දන්නා හඳුනන, විශ්වාස කරන අය විසිනි. එහෙත් දරුවන්ට තම දෙමාපියන් තුළ බලවත් ආරක්ෂාවක් තිබිය යුතුය. දෙමාපියන් ආරක්ෂකයන් විය හැක්කේ කෙසේද?

26. දරුවන්ව ආරක්ෂිතව තබාගත හැකි ඇතැම් ක්‍රම මොනවාද, තවද දැනගැන්ම දරුවෙකුව ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

26 ලිංගික කාරණා ගැන අඩු දැනුමක් ඇති දරුවන් විශේෂයෙන්ම ළමා දූෂණයට ගොදුරු විය හැකි බව අද්දැකීම් පෙන්වන බැවින්, දරුවා බාලව සිටියදී පවා, දරුවාව දැනුවත් කිරීම ලොකුම ආරක්ෂිත පියවරකි. “නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද” ආරක්ෂාවක් ලබා දීමට දැනගැන්මට හැක. (හිතෝපදේශ 2:10-12) කවර දැනුමක්ද? බයිබල් ප්‍රතිපත්ති ගැන, සදාචාරාත්මක ලෙස හරි සහ වැරදි දේ ගැන දැනගැන්මය. ඇතැම් වැඩිහිටියන් නරක දේවල් කරන බවටත්, වෙනත් අය නුසුදුසු ක්‍රියාවල යෙදීමට යෝජනා කරන විට බාල කෙනෙකු එයට කීකරුවීමට අවශ්‍ය නැති බවටත් දැනගැන්මය. (සසඳන්න දානියෙල් 1:4, 8; 3:16-18.) එවැනි උපදෙසක් දීම එක් වතාවකට සීමා නොකරන්න. බාල දරුවන් වැඩිදෙනෙකුට පාඩමක් හොඳින් මතක තබාගැනීමට යළි යළිත් එය කීම අවශ්‍යය. දරුවන් තරමක් වයසින් වැඩෙද්දී, පියෙකු තම දියණියගේද, මවක ඇගේ පුත්‍රයාගේද පෞද්ගලිකබව සඳහා ඇති අයිතියට ප්‍රේමනීය ලෙස ගරු කරනු ඇත—මෙසේ සුදුසු දේ ගැන දරුවෙකුගේ අවබෝධය යළි ශක්තිමත් කරයි. තවද, ඔබ දෙමාපියන් වශයෙන් සමීප අධීක්ෂණයක යෙදීම දූෂණයට එරෙහිව හොඳම ආරක්ෂාවක් වන බවට සැකයක් නැත.

දිව්‍ය මඟ පෙන්වීම සොයන්න

27, 28. දෙමාපියන් දරුවෙකු ඇති දැඩි කිරීමේ අභියෝගයට මුහුණ දෙන විට, දෙමාපියන්ගේ උපකාරයේ උතුම්ම ප්‍රභවය කවරෙකුද?

27 බිළිඳු අවදියේ පටන් දරුවෙකු පුහුණු කිරීම අභියෝගයක් වන බව සැබෑය, නමුත් ඇදහිලිවන්ත දෙමාපියන්ට තනිවම අභියෝගයට මුහුණ දීමට සිදු වන්නේ නැත. විනිශ්චයකරුවන්ගේ කාලවලදී, මානෝවා නම් මනුෂ්‍යයා තමා පියෙකු වීමට යන බව දැනගත් විට, දරුවා ඇති දැඩි කිරීම සඳහා මඟ පෙන්වීමට ඔහු යෙහෝවඃවහන්සේගෙන් ඉල්ලා සිටියේය. යෙහෝවඃවහන්සේ ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දුන්සේක.—විනිශ්චයකාරයන් 13:8, 12, 24.

28 එලෙසම අදදින, ඇදහිලිවන්ත දෙමාපියන්ටද තම දරුවන් ඇති දැඩි කරන විට, යාච්ඤාව තුළින් යෙහෝවඃවහන්සේට කතා කිරීමට හැක. දෙමාපියෙකුව සිටීම දුෂ්කර වැඩ කොටසක් වන මුත් උතුම් විපාක තිබේ. හවායිහී සිටින ක්‍රිස්තියානි යුවළක් මෙසේ පවසයි: “දුෂ්කර නහඹර වයස පැමිණීමට පෙර ඔබට වර්ෂ 12ක වැඩ කොටසක් කිරීමට තිබෙනවා. එහෙත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට ඔබ වෙහෙසී වැඩ කරනවා නම්, හෘදයෙන්ම යෙහෝවඃවහන්සේට සේවය කරන්ට වුවමනායයි ඔවුන් තීරණය කරන විට, ප්‍රීතිය හා සාමය නෙළීමට කාලය එයයි.” (හිතෝපදේශ 23:15, 16) ඔබේ දරුවා එම තීරණය ගන්නා විට, ඔබත් මෙසේ ප්‍රකාශ කිරීමට පෙලඹෙනු ඇත: “දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය.”

a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතය.

තම දරුවන් පුහුණු කිරීමට දෙමාපියන්ට . . . මෙම බයිබල් ප්‍රතිපත්ති උපකාර වන්නේ කෙසේද?

යෙහෝවඃවහන්සේ තුළ විශ්වාසය තබන්න—හිතෝපදේශ 3:5.

වගකීමක් ඇතුව කටයුතු කරන්න.—1 තිමෝති 5:8.

යෙහෝවඃවහන්සේ ප්‍රේමනීය පියෙකි.—හිතෝපදේශ 8:22, 30.

තම දරුවන්ට උපදෙස් දීම සඳහා දෙමාපියන් වගකිව යුතුය.—ද්විතීය කථාව 6:6, 7.

හික්මවීම අවශ්‍යය.—එපීස 6:4.

බලපෑමෙන් යුත් හික්මවීම

හික්මවීමේ එක් අර්ථවත් ආකාරයක් වූ කලි, වැරදි හැසිරීමේ අප්‍රසන්න ප්‍රතිඵල දරුවන්ට දැනෙන්ට සැලැස්වීමය. (ගලාති 6:7; සසඳන්න නික්මයාම 34:6, 7.) නිදසුනක් ලෙස, ඔබේ දරුවා හැඩි කරනවා නම්, ඔහුටම එය අස් පස් කිරීමට සැලැස්වීම මගින් ප්‍රබල ලෙස හෘදයට කාවැද්දිය හැක. ඔහු යමෙකුට අසාධාරණ ලෙස සලකා තිබේද? සමාව ඉල්ලීමට සැලැස්වීම මගින් මෙම වැරදි ප්‍රවණතාව නිවැරදි කළ හැක. හික්මවීමේ තවත් බලපෑමෙන් යුත් ආකාරයක් වන්නේ, නිසි පාඩම ඉගැන්වීම සඳහා වරප්‍රසාද අහිමි කිරීමය. මෙයාකාරයෙන් දරුවා හරි ප්‍රතිපත්තිවලට ඇලී සිටීමේ ප්‍රඥාව ඉගෙනගනියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න