ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 9 පි.-12 පි. 4 ¶
  • දේවවචනයෙන් ඉමහත් ප්‍රීතියක් ලබන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවවචනයෙන් ඉමහත් ප්‍රීතියක් ලබන්න
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ හඬට සවන් දෙන්න
  • දිනපතා බයිබලය කියවන්න
  • දේවවචනය සම්පූර්ණයෙන්ම කියවන්න
  • දිනපතා බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කියවීමට අවධානය යොමු කරන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • බයිබලය කියවීම—ප්‍රයෝජනදායක මෙන්ම ප්‍රීතිය ගෙන දෙන්නකි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කියවා මතක තබා ගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 9 පි.-12 පි. 4 ¶

දේවවචනයෙන් ඉමහත් ප්‍රීතියක් ලබන්න

‘යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නාවූ’ මනුෂ්‍යයා සන්තෝෂය අද්දකියි. එවන් මනුෂ්‍යයෙක් දේවවචනය “රෑ දාවල් මෙනෙහි කරන්නාවූ” අයෙකි. (ගීතා. 1:1, 2) දේවවචනය කියවන විට, ඔබටත් එවැනිම ප්‍රීතියක් දැනෙනවාද? දේවවචනයෙන් මෙසේ ලබාගත හැකි ප්‍රීතිය වැඩි කරගැනීමට ඔබට හැක්කේ කෙසේද?

යෙහෝවාගේ හඬට සවන් දෙන්න

නිකම්ම වචන පමණක් කියවීමෙන් සෑහීමට පත් නොවන්න. ඔබ උත්සාහ කළ යුත්තේ කියවන දේ සිතින් මවාගැනීමටයි. කියවන කොටසෙහි පුද්ගලයෙකු පැවසූ දෙයක් සඳහන් වේයයි සිතන්න. ඔහුගේ කටහඬේ ස්වරය කොයි ආකාරදැයි ඔබට සිතන්නට පුළුවන්ද? උදාහරණයකට, ඔබ බයිබලයේ මුල් පරිච්ඡේදයන් කියවනවායයි සිතමු. යෙහෝවා දෙවි පොළොව මනුෂ්‍ය වාසය සඳහා සූදානම් කරන අන්දම ගැන විස්තර එහි සපයා ඇත. ඔහු තමන් කරන දේ පියවරෙන් පියවර හෙළි කරයි. දැන් මුල් මිනිසාව මැවීම සඳහා අවස්ථාව එළඹ ඇතැයි සිතන්න. යෙහෝවා ඒ සඳහා තම පුත්‍රයා වන ප්‍රධාන කර්මාන්තකාරයාව යොදාගනියි. යෙහෝවා ඔහුට අණ දෙන අයුරු ඔබට ඇසෙනවාද? මොනතරම් සුවිශේෂ මොහොතක්ද! දැන් තවත් දසුනක් ඔබේ මනසට නඟන්න. ආදම් සහ ඒව කැරලි ගසති. ඒ හේතුවෙන් දෙවි ඔවුන්ට දඬුවම් කරයි. පාරාදීසයෙන් ඔවුන්ව නෙරපා දැමීම එහි ප්‍රතිඵලය වේ. (උත්පත්ති, 1-3 දක්වා පරි.) ඊළඟට, යේසුස් බව්තීස්ම වන අවස්ථාව එළඹ ඇතැයි සිතන්න. අහසින් හඬක් ඔබට ඇසේ. යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ ප්‍රේමවන්ත පුත්‍රයා බව එම හඬ ප්‍රකාශ කර සිටියි! ඔව්, මිනිස්වර්ගයා වෙනුවෙන් තම දිවි පුද කිරීමට දෙවි විසින් එවා ඇත්තේ මොහු බව එමගින් මනාව පැහැදිලි වේ. (මතෙ. 3:16, 17) ප්‍රේරිත යොහන් “බලව, සියල්ල අලුත් කරමි” යන යෙහෝවාගේ ප්‍රකාශයට ප්‍රතික්‍රියා කළේ කෙසේදැයි සිතා බලන්න. (එළි. 21:5) ඇත්තෙන්ම ඔබ දේවවචනය මෙයාකාරයෙන් කියවනවා නම්, ඔබට එයින් මොනතරම් ප්‍රීති ප්‍රමෝදයක් ලබාගත හැකි වේවිද!

ඔබ දිගටම දේවානුභාවයෙන් ලියන ලද බයිබල් වාර්තාව කියවනවා නම්, යෙහෝවා මහානුභාවසම්පන්න, ගරුබිය දනවන පුද්ගලයෙකු ලෙස හඳුනාගැනීමට හැකි වේවි. අනික් අතට, ඔහු අපට ප්‍රේම කරන බවත්, දයාව කරුණාව දක්වන බවත් ඔබට තේරුම්ගත හැකි වේවි. අප ඔහුගේ කැමැත්ත යටහත් පහත් ලෙස කිරීමට උත්සාහ කරමින් සිටිනවා නම්, අපට සහයෝගය දීමටද ඔහු කැමැත්තෙන් සිටියි. අප කරන සියල්ලේදී සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන, සතුට භුක්ති විඳීමට මඟ පෙන්වන කෙනෙකි ඔහු. ඔව්, ඔබ එම තැනැත්තා වෙතට ප්‍රබල ලෙස ආකර්ෂණය වනවා නොඅනුමානය.—යෝෂු. 1:8; ගීතා. 8:1; යෙසා. 41:10.

එමනිසා, බයිබලය කියවීමට කාලය කෙසේ හෝ සොයාගන්න. ඒ සඳහා මිඩංගු කරන කාලය වැඩි වන තරමට, ඔබ සඳහා දෙවිගේ කැමැත්ත දැනගැනීමෙන් ඔබ ලබන සතුට හා තෘප්තිය උතුරා යනවා ඇත. එනමුත් ඔබේ ප්‍රීතිය එතැනින් නතර වන්නේ නැත. ඔබ කියවන දෙයින් ගැටලු සමඟ ඥානවන්තව කටයුතු කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන විට, ගීතිකාකරුට හැඟුණු ආකාරයටම ඔබටත් හැඟිය හැක. ඔහු පැවසුවේ, ‘ඔබගේ ශික්ෂා [සිහිගැන්වීම්, NW] ආශ්චර්යවත්ය. එබැවින් මාගේ ආත්මය ඒවා රක්ෂා කරයි’ යන්නය. (ගීතා. 119:129) දෙවිට ඔබින ආකාරයකින් ඔබේ චින්තනය හා ආශාවන් සකස් කරගැනීමට ඉවහල් වන ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති තේරුම්ගැනීමෙන්ද ඔබට ඉමහත් ප්‍රීතියක් නෙළාගත හැකි වේ.—යෙසා. 55:8, 9.

බයිබලය අපට සදාචාරමය මඟ පෙන්වීම්ද සපයයි. එමගින් අපට හානි කරවන දෙයින් ආරක්ෂාවක් ලැබෙන අතර, හරි මාර්ගය කුමක්ද කියා පැහැදිලිව දක්වනු ලැබේ. යෙහෝවා පියෙකු බවත් අපට පෙනී යයි. අසම්පූර්ණ මාංසික තෘෂ්ණාවලට ඉඩ දීමෙන් අපට විඳින්නට සිදු වන ගැටලු මොනවාදැයි ඔහු දනියි. එමනිසා සිය උසස් සදාචාර ප්‍රමිතිවලට පිටුපෑමෙන් අනිවාර්යයෙන්ම විඳීමට සිදු වන භයානක ප්‍රතිවිපාකවලට අප හසුවනවා දැකීමට ඔහු අකමැතිය. ඔහු අප ගැන සැලකිලිමත්ය. ඔහුගේ අවංක ආශාව වන්නේ ජීවිතයෙන් හැකි තරම් යහපත් ප්‍රතිඵල අප භුක්ති විඳිනවා දැකීමයි. එසේ නම්, ඔහුගේ වචනය කියවීමෙන් නෙළාගත හැකි ප්‍රයෝජන අපමණය. ඔහු වගේ කෙනෙකු අපගේ දෙවි හා ස්වර්ගික පියාණන් හැටියට සිටීම මොනතරම් භාග්‍යයක්ද කියා වඩාත් පූර්ණ අන්දමකින් අගය කිරීමට එය පිටුවහලක් වේ.

දිනපතා බයිබලය කියවන්න

දේවවචනය දිනපතා කියවන මනුෂ්‍යයා සම්බන්ධයෙන් ගීතිකාකරු පැවසුවේ, “ඔහු කරන සියල්ල සඵල වෙයි” කියාය. (ගීතා. 1:3) අප අසම්පූර්ණ බව ඇත්තය. තවද අප දිවි ගෙවන්නේ සාතන්ගේ දුෂ්ට ක්‍රමය තුළය. එමෙන්ම අපව ගිල දැමීමට යක්ෂයා වියරු උත්සාහයක් දරමින් සිටියි. කෙසේ නමුත්, යෙහෝවා සමඟ තිබෙන අපගේ සබඳතාවට බලපෑ හැකි දේවල් කරන විට සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීම අපගේ ආශාව වන බවට සැකයක් නොමැත. දේවවචනය නිතිපතා කියවීමෙන් හා එහි අන්තර්ගත දේ අදාළ කරගැනීමෙන් එම ඉලක්කය කරා ළඟා විය හැක.

දිනපතා අපට මේ දුෂ්ට ක්‍රමයෙන් එල්ල වන පීඩනවලට මුහුණ දීමට සිදු වේ. එමනිසා, දවසක් දවසක් පාසා ස්වල්ප මොහොතකට හරි අපගේ මැවුම්කරුගේ අදහස්වලට නිරාවරණය වීම තුළින් අප හට ඉමහත් ශක්තියක් හා ධෛර්යයක් ලබාගත හැක. තම ඇදහිල්ල හේතුවෙන් සිරගත වූ ඇතැමුන් පෝෂණය වූයේ පුවත්පත් ලිපිවල උපුටා දැක්වූ බයිබල් පද අතළොස්සකිනි. ඔවුහු බයිබල් පද එම ලිපිවලින් කපා, කටපාඩම් කර, ඒවා ගැන මෙනෙහි කළෝය. යෙහෝවා ඔවුන්ගේ උත්සාහයට ආශීර්වාද කළේය. ඒ මන්ද? ඔවුන් දේවවචනය පිළිබඳ දැනුමක් ලබාගැනීමට තමන්ට කළ හැකි උපරිමය කළ නිසාය. (මතෙ. 5:3, NW) එහෙත්, අපගෙන් වැඩිදෙනාට ඊටත් වඩා වැඩි නිදහසක් ඇත. එමනිසා, බයිබලයේ පදයක් දිනකට වරක් විගස කියවීමෙන් අප යම් ආශ්චර්යයක් අද්දකියි කියා නිගමනය නොකළ යුතුය. අපට ආශීර්වාද නෙළාගත හැකි බව ඇත්තය. එනමුත්, අපගේ ප්‍රමුඛතාවන් සම්බන්ධයෙන් යම් සකස් කිරීම් කරගෙන දිනපතා බයිබලයේ කොටසක් කියවීමටත්, ඒ ගැන කල්පනා කිරීමටත්, අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක කිරීමටත් අප කාලය වෙන් කරගත යුතුය.

කෙසේවෙතත්, අප කොතරම් හොඳින් යම් සැලසුම් යෙදුවත්, හදිස්සියේ ඉස්මතු වන යම් දෙයක් නිසා ඒවා තිතටම ක්‍රියාත්මක කිරීම අසීරු විය හැක. එවැනි අවස්ථාවකදී, වඩාත් වැදගත් දේට අපි මුල් තැන දෙමු. නිදසුනකට, දිනකට හෝ දෙකකට ජලය නොබී සිටීමට අප හිතාමතාම තීරණය කරන්නට යන්නේ නැත. එසේ නම්, අපගේ දෛනික ජීවිතයේ කවර තත්වයන්ට මුහුණ දීමට සිදු වුවත්, සත්‍යය නමැති ජලයෙන් ප්‍රබෝධයක් ලැබීමට අප යම් කාලයක් ගත කළ යුතු නැද්ද?—ක්‍රියා 17:11.

දේවවචනය සම්පූර්ණයෙන්ම කියවන්න

ඔබ පෞද්ගලිකව බයිබලය සම්පූර්ණයෙන්ම කියවා තිබෙනවාද? උත්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා කියවීම ඉතා අසීරු කාර්යයක්ය යන හැඟීමට ඇතමුන් යට වී ඇත. එමනිසා, මුළු බයිබලය කියවීමට කැමැත්තක් දක්වා ඇති අය ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවලින් තම කාර්යය අරඹා තිබේ. ඒ මන්ද? ක්‍රිස්තුස්ගේ අඩි පාරේ ගමන් කිරීමට වෙර දරන පුද්ගලයන් ලෙස එම බයිබල් පොත් ඔවුන්ට පෞද්ගලිකව අදාළ වන ආකාරය වඩාත් පහසුවෙන් දැකගත හැකි වූ නිසා වන්නට පුළුවන. එසේ නැතහොත්, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි මුළු බයිබලයෙන් හතරෙන් එකක් පමණ නිසා, එය කියවීම එතරම් අසීරු කාර්යයක් නොවන්නාක් මෙන් පෙනී ගිය නිසා විය හැකිය. එනමුත් එම පොත් 27 කියවා නිම කිරීමෙන් අනතුරුව, හෙබ්‍රෙව් ලියවිල්ලේ පොත් 39 ඔවුන්ගේ අවධානයට හසු විය. ඒවා කියවීමෙන්ද ඔවුහු ආස්වාදයක් ලැබීමට පටන්ගත්හ. හෙබ්‍රෙව් ලියවිලි කියවා අවසන් කිරීමෙන් පසු, නිතිපතා බයිබලය කියවීමේ පුරුද්ද ඔවුන්ට හොඳින් කාවැදී තිබිණ. එමනිසා, ඔවුහු දෙවන වරටත් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි කියවීම ආරම්භ කළෝය. එදා පටන් ඔවුහු අත්නෑර දිනපතා බයිබලය කියවමින් සිටිති. දිනපතා දේවවචනය කියවීම ඔබේ ජීවිත කාලය පුරා පුරුද්දක් ලෙස පවත්වා ගනීවා කියා අපි පතමු.

ඔබේ පවුලේ හෝ සභාවේ කියවීමට නොහැකි කෙනෙක් සිටීද? ඒ පුද්ගලයාට නිතිපතා බයිබලය කියවීමට ඔබට ඉදිරිපත් විය හැකිද? ඉන් ඔහුට ප්‍රයෝජනයක් ලැබෙනවා පමණක් නොව, ඔබටද ප්‍රයෝජන ලබාගත හැකිය. මන්ද එවන් කෙනෙකු සවන් දෙන දේ ගැන මෙනෙහි කර එය තම ජීවිතයෙහි අදාළ කරගැනීමට සමත් වන විට ඔබට ඉන් ප්‍රීතියක් අද්දැකීමට හැකි වන බැවිනි.—එළි. 1:3.

කල් යත්ම, බයිබලය කියවන ගමන්ම, විශේෂ ගවේෂණයක් කිරීමට ඔබ කැමැත්තක් දැක්විය හැක. එසේ කිරීමෙන් බයිබලයේ විවිධ කොටස් අතර ඇති සම්බන්ධය හොඳින් තේරුම්ගෙන අගය කිරීමට ඔබට පුළුවන් වෙයි. ඔබේ බයිබලයෙහි ප්‍රධාන පාඨයට අමතරව සටහන් ඇත්නම්, මෙමගින් කියවන දේට අදාළ ඓතිහාසික තොරතුරු හා ඊට සම්බන්ධ වෙනත් වාර්තාවන් ඔබේ අවධානයට යොමු කරවිය හැක. එවිට විවිධ ගීතිකාවන් ලිවීමට හෝ යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන් විසින් ලියන ලද ලිපි ලිවීමට හේතු වූ තත්වයන් තේරුම්ගැනීමට මඟ පෑදේ. බයිබලයෙහි සඳහන් කර ඇති පුද්ගලයන්, ස්ථාන සහ ගුණාංග ගැන අමතර තොරතුරු සම්භාරයක් ලබාගැනීමට ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය නමැති ආශ්‍රේය ග්‍රන්ථය භාවිත කිරීමට පුළුවන. බයිබල් අනාවැකි ඉටු වූ ආකාරයත්, එකම කාලයේ විසූ රජවරුන් සහ අනාගතවක්තෲන් කවුරුන්ද කියා හඳුනාගැනීමටත්, බයිබලයෙහි සිද්ධීන් බොහොමයක් සිදු වූ දින වකවානු ගැන අවබෝධයක් ලබා දීමටත් විවිධ සටහන් සහ ප්‍රස්තාර එහි සපයා ඇත.

ඔබ ඉගෙනගන්නා දේ ගැන මෙනෙහි කරන විට, දෙවිගේ සෙනඟ අතර යම් තත්වයක් ඇති වී ප්‍රවර්ධනය වීමට හේතු ඔබට තේරුම්ගත හැකි වේවි. යෙහෝවා තම සෙනඟ සමඟ කටයුතු කළ ආකාරයට හේතු දැනගැනීමටද ඔබට පුළුවන. යෙහෝවා ආණ්ඩු, ජාතීන් සහ පුද්ගලයන්ගේ ක්‍රියාවන් දෙස බලන්නේ කෙසේද කියා දැකගැනීමටත් ඔබට හැකි වේ. මෙසේ ඔහුගේ චින්තනය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට ඔබ සමත් වනු ඇත.

බයිබල් ඉතිහාසය ඔබට වඩාත් රසවත් වීමට නම් යම් යම් දේවල් සිදු වූ ප්‍රදේශයන් ඔබ සිතින් මවාගත යුතුය. ඒ සඳහා බයිබල් ප්‍රදේශවල සිතියම් උපකාරවත් වේ. එම සිතියම්වලින් ප්‍රදේශයේ භූ විෂමතාව, ඇතැම් ස්ථාන අතර ඇති දුර ප්‍රමාණය යනාදිය පහසුවෙන් දැකගත හැකිය. නිදසුනකට, ඉශ්‍රායෙලිතයන් රතු මුහුදෙන් එගොඩ වූ ස්ථානය කුමක්ද යන ප්‍රශ්නය සලකා බලන්න. එසේත් නැතහොත්, පොරොන්දු දේශයේ ප්‍රමාණය කොතරම්ද? යේසුස් මිහිපිට තම සේවය ඉටු කරද්දී කොතරම් දුර ප්‍රමාණයක් ගමන් කළාද? පාවුල් සිය මිෂනාරි ගමන්වල යෙදෙද්දී දුටු දේවල් මොනවාද? ඔව්, සිතියම්වලට සහ ප්‍රදේශයන්හි භූ විෂමතාව ගැන අමතර තොරතුරුවලට අවධානය දෙන විට ඔබේ කියවීම නිකම්ම නිරස කාර්යයක් වනවාට වඩා, ඉතා රසවත් අද්දැකීමක් බවට පරිවර්තනය වේ. බයිබල් දේශයන් දක්වන සිතියම් ඔබට සොයාගත හැක්කේ කොතැනින්ද? ඉන් සමහරක් ඔබේ බයිබලයෙහි හෝ ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයෙහි සොයාගත හැක. ඉන්සයිට් වෙළුම්වල සිතියම් 70ක් පමණ අන්තර්ගතය. ඊට අමතරව, මුල් වෙළුමේ අවසාන කොටසෙහි සිතියම් සූචියක් තිබේ. වෙනත් සිතියම් සොයාගැනීමට මුරටැඹ ප්‍රකාශන සූචිය භාවිත කරන්න. ඉහත සඳහන් පොත් පත් ඔබේ භාෂාවෙන් ලබාගත නොහැකි නම්, ඔබේ බයිබල් කියවීමට ආධාර වන පිණිස මුරටැඹ සඟරාවෙහි විටින් විට පළ වන සිතියම් භාවිත කරන්න.

හෙබ්‍රෙව් ලියවිලිවල දාවිත් රජ ‘දෙවියනි, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද’ කියමින් යෙහෝවාව පැසසුවේය. (ගීතා. 139:17) යෙහෝවා ‘යේසුස් ක්‍රිස්තුස්ගේ මුහුණෙහි දෙවිගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළීමට’ සැලැස්වූ නිසා, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල ප්‍රේරිත පාවුල් යෙහෝවාව පැසසුමට ලක් කළේය. (2 කොරි. 4:6) දාවිත් සහ පාවුල් අතර සියවස් ගණනාවක පරතරයක් තිබුණද, ඔවුහු දෙදෙනාම දේවවචනයෙන් ඉමහත් ප්‍රීතියක් ලැබූහ. ඔබටත් එවන් ප්‍රීතියක් අද්දැකිය හැක. එසේ කිරීමට යෙහෝවා තමාගේ ආනුභාවයෙන් ලියන ලද වචනයෙහි පිටු තුළ දී ඇති සියල්ල කියවීම සඳහා කාලය ගන්න.

දිනපතා බයිබල් කියවීම සාර්ථකව කරන්න

දිව්‍යාණ්ඩු සේවා පාසැල තුළින් ලබා දෙන අධ්‍යාපනයෙන් වැඩි හරියක් බයිබල් කියවීමේ වැඩසටහන වටා කේන්ද්‍රගත වේ. එම වැඩසටහනට සහභාගි වන්න කියා ඔබට උනන්දු කරන්නට අපි කැමැත්තෙමු.

සෑම සතියකම බයිබලයෙහි කොටසක් පෞද්ගලිකව කියවීමට හා පාසැලේදී සාකච්ඡා කිරීමට වෙන් කර තිබේ. මෙම වැඩසටහන ක්‍රමානුකූලව අනුගමනය කිරීමෙන් මුළු බයිබලය කියවීමට ඔබට අවස්ථාවක් උදා වේ.

දිනපතා බයිබල් කියවීම ඔබේ ජීවිතයේ අනිවාර්යය අංගයක් බවට පත් කිරීම සඳහා ඒ වෙනුවෙන් විධිමත් කාලපරිච්ඡේදයක් මිඩංගු කරන්න. සමහරවිට උදෙන්ම නැඟිට එසේ කළ හැකිය. එසේ නැතහොත් දහවල් කාලයේ, රාත්‍රි ආහාරය ගන්නා වේලාවේදී හෝ නිදාගැනීමට පෙර ඒ සඳහා කාලය යොදවන්නට පුළුවන. දවස පුරා කාලය ලැබෙන පරිදි, එහෙන් මෙහෙන් කොටසක් කියවීමෙන් එය නිතිපතා පුරුද්දක් කරගත හැකියයි සිතීම උගහටය.

ඔබ ගෘහ මූලිකයෙක් නම්, හොඳ සැලැස්මකට අනුව බයිබලය කියවීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට උදව් කිරීමෙන් ඔවුන් කෙරෙහි ඔබේ පෞද්ගලික උනන්දුව පෙන්නුම් කරන්න. තවද පවුලක් වශයෙන් බයිබලය කියවීමෙන්, එය පෞද්ගලික මට්ටමින් දිනපතා කියවීමට පවුලේ සාමාජිකයන්ට දිරිගැන්වීමක් විය හැකිය.

දිනපතා බයිබලය කියවීමට නම් තමාව හික්මවාගැනීම අවශ්‍යය. මන්ද අපට ඒ සඳහා සහජ ආශාවක් නොමැති නිසාය. ඇත්තෙන්ම දේවවචනය සඳහා “ආශාවක් ඇති කරගත” යුතුය. (1 පේතෘ. 2:3, NW) කෙසේවෙතත්, මෙම පුරුද්ද දිගටම කරගෙන යද්දී, ආත්මික දේවල් සඳහා ඔබේ රුචිය වර්ධනය වන ආකාරය ඔබ දකිනු ඇත. ඇතැම්විට යෙහෝවා ඔබට ලබා දෙන ආත්මික ධන සම්භාරය පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කිරීමට සහ අගය වැඩි කිරීමට ඔබ තුළ කැමැත්තක් තිබිය හැක. ඒ සඳහා බයිබලය යම් විශේෂ කාලසටහනකට අනුව කියවීමට හා අධ්‍යයනය කිරීමට අමතර උත්සාහයක් දැරීමටද ඔබට පුළුවන.

බයිබලය කියවන විට, ඔබ කියවන දෙයෙහි අර්ථය වටහාගැනීමට කාලය ගන්න. ඔබට යෙහෝවා ගැන ඉන් කියාපාන්නේ මොනවාද? ඔබේ ජීවිතයේ ගුණය ඉහළ නැංවීමට එය දායක වන්නේ කෙසේද? එමෙන්ම අනුන්ට උපකාර කිරීම සඳහා කියෙවූ තොරතුරු භාවිත කරන්නේ කෙසේද යන්න ඔබට සලකා බැලිය හැක.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න