උපග්‍රන්ථය
යේසුස් ඉපදුණේ දෙසැම්බර් මාසයේද?
යේසුස් ඉපදුණේ කවදාද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. ඒ කෙසේවෙතත් ඔහු ඉපදුණේ දෙසැම්බර් මාසයේ නොවෙයි කියා පැවසීමට පැහැදිලි සාක්ෂි බයිබලයේ තිබෙනවා.
යේසුස් ඉපදුණු බෙත්ලෙහෙම් නගරයේ දෙසැම්බර් මාසයේ පවතින දේශගුණය ගැන සලකා බලන්න. යුදෙව් දිනදර්ශනයේ කිස්ලෙව් නමැති මාසයේ (එනම් නොවැම්බර් හා දෙසැම්බර් අතර කාලයේ) පවතින්නේ සීතල හා වැසි සහිත දේශගුණයක්. ඒ මාසයට පසුව තිබෙන්නේ තේබෙත් නමැති මාසයයි (එනම් දෙසැම්බර් හා ජනවාරි අතර කාලයයි). අවුරුද්දේ අවම උෂ්ණත්වය පවතින ඒ කාලයේදී කඳුකර ප්‍රදේශවලට ඉඳහිට හිම වැටෙනවා. ඒ කාලයේදී ඒ ප්‍රදේශයේ පැවති දේශගුණය ගැන බයිබලයේ පවසන දේ දැන් අපි සලකා බලමු.
උදාහරණයකට බයිබල් ලේඛකයෙකු වූ එස්රා, කිස්ලෙව් මාසයේ සිදු වූ දෙයක් ගැන පැවසූ වාර්තාව සලකා බලන්න. “නවවන මාසයේ විසිවනදා” විශාල සෙනඟක් යෙරුසලමේ රැස් වූ බව සඳහන් කිරීමෙන් පසු ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “එළිමහනේ හිඳගෙන සිටි ඔවුහු, ඇද හැළුණු වර්ෂාව නිසා සීතලෙන් ගැහිගැහී සිටියෝය.” එමෙන්ම ඒ මාසයේ පැවති දේශගුණය ගැන එහි රැස් වූ සෙනඟ පැවසූ දේද ඔහු මෙසේ වාර්තා කළා. “දැන් වැහි කාලය නිසා අපිට එළිමහනේ සිටින්න හරිම අමාරුයි.” (එස්රා 10:9, 13; යෙරෙමියා 36:22) ඔහුගේ වාර්තාවෙන් අපට පෙනී යන්නේ කිස්ලෙව් මාසයේ වැසි සහිත ශීත දේශගුණයක් පැවති බවයි. ඒ නිසා යෙරුසලම හා ඒ අවට ප්‍රදේශවල සිටි එඬේරුන් දෙසැම්බර් මාසයේදී ඔවුන්ගේ බැටළුවන් සමඟ රාත්‍රි කාලයේ එළිමහනේ සිටියේ නැහැ.
නමුත් බයිබලයේ වාර්තා වන්නේ යේසුස් ඉපදුණු දවසේ රාත්‍රියේදී එඬේරුන් තම බැටළු රැළවල් සමඟ එළිමහනේ සිටි බවයි. උදාහරණයකට බෙත්ලෙහෙම් නගරය අවට සිටි, “එඬේරු රාත්‍රියේ එළිමහනේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළවල් රැකබලා ගනිමින් සිටි” බව බයිබල් ලේඛකයෙක් වූ ලූක් පැවසුවා. (ලූක් 2:8-12) එහි පැහැදිලිවම පවසන්නේ එඬේරුන් රාත්‍රියේ ඔවුන්ගේ බැටළු රැළවල් බලාගනිමින් එළිමහනේ සිටි බවයි. වැසි සහිත ශීත දේශගුණයක් පවතින දෙසැම්බර් මාසයේ එඬේරුන් තම බැටළුවන් සමඟ රාත්‍රියේ එළිමහනේ සිටියි කියා සිතිය හැකිද? කොහෙත්ම බැහැ. අප සලකා බැලූ ඒ කරුණුවලින් පැහැදිලි වන්නේ යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේදී සිදු නොවුණු බවයි.a
බයිබලයේ යේසුස් මිය ගිය දිනය ගැන නිශ්චිතව සඳහන් කර තිබුණත් ඔහු ඉපදුණේ කවදාද කියා දැනගැනීමට ප්‍රමාණවත් තොරතුරු සපයා නැහැ. සලමොන් රජු පැවසූ මේ වදන් සලකා බලන්න. “හොඳ නමක් අනර්ඝ තෙල්වලට වඩා වටින්නේය. උපන් දවසට වඩා මිය යන දවස හොඳය.” (දේශනාකාරයා 7:1) ඒ අනුව යේසුස්ගේ දේවසේවය හා මරණය ගැන බොහෝ විස්තර බයිබලයේ සපයා තිබුණද ඔහු ඉපදුණු කාලය ගැන එතරම් විස්තර සපයා නොතිබීම පුදුමයට කරුණක් නොවෙයි.
යේසුස් ඉපදුණු රාත්‍රියේදී එඬේරුන් එළිමහනේ තම බැටළු රැළවල් රැකබලා ගනිමින් සිටියි
a වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද Reasoning From the Scriptures නමැති පොතේ 176-179 දක්වා පිටු බලන්න.