25වෙනි පරිච්ඡේදය
එක් කෙනෙක් නැතුව සතුටින් ඉන්න පුළුවන්ද?
“අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ළමයිට අලුත් අලුත් ඇඳුම් ගන්න පුළුවන්. එයාලටම කියලා වෙනම කාමර තියාගන්නත් පුළුවන්. හැබැයි මට නම් ඒ මුකුත් නැහැ. ඒ මදිවට මට ගෙදර කරන්න ගොඩක් වැඩ තියෙනවා. සමහර වෙලාවට මට හිතෙන්නේ මං හරියට වැඩකාරියක් වගේ කියලා. මගේ ළමා කාලය මගෙන් උදුරගෙන කියලා මට හැඟෙනවා.”—ෂැලොන්ඩා, 13.
අම්මයි තාත්තයි දෙන්නම ඉන්න කොට දරුවන්ට ඒ දෙන්නගෙන්ම මඟ පෙන්වීම්, රැකවරණය, උපකාර ලැබෙන නිසා දරුවන්ට ඇතිදැඩි වෙන්න ඒක හොඳ වාතාවරණයක්. බයිබලයේ කියන්නෙත්, “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ” කියලයි.—දේශනාකාරයා 4:9.
හැබැයි දැන් එන්න එන්නම අම්මයි තාත්තයි දෙන්නම ඉන්න පවුල් ගාණ අඩු වෙනවා. උදාහරණයකට ඇමරිකාවේ ඇතිදැඩි වෙන ළමයිගෙන් භාගයකටත් වඩා වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් එක්ක විතරයි.
දෙමාපියන්ගෙන් එක් කෙනෙක් විතරක් ඉන්න පවුල්වල දරුවන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු, අභියෝග නිසා එයාලට හැඟෙන්නේ එයාලගේ ජීවිතේ හරිම දුෂ්කරයි කියලයි. තවත් සමහරක් යෞවනයන්ට එයාලා ඉන්න තත්වය ගැන ලොකු ලැජ්ජාවක් දැනෙනවා. ඔයාත් ඉන්නේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් එක්ක නම් ඔයාටත් අභියෝග ඇති. ඒවායින් ඔයාට මුහුණ දෙන්න අමාරුම එක මොකද්ද?
․․․․․
ඔයාගේ දෙමාපියන් වෙන් වෙලා නම් නැත්නම් එක් කෙනෙක් ජීවතුන් අතර නැත්නම් ඔයාට සතුටින් ඉන්න බැහැ කියලා හිතන්න එපා. මොකද කෙනෙක්ගේ සතුට නැති වෙන්නේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්න නිසාම නෙමෙයි, ප්‍රශ්න ගැන හිතන විදිහ නිසයි. බයිබලයෙත් මෙහෙම කියනවා. “නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය. එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.” (හිතෝපදේශ 15:15) ඒකෙනුත් තේරෙන්නේ කෙනෙක්ගේ දුක සතුට දෙකටම මුල් වෙන්නේ එයා හිතන විදිහ කියලයි. එහෙමනම් ඔයාට කොහොමද පුළුවන් ප්‍රශ්න ගැටලු මැද සතුටින් ඉන්න?
හිතට දුකක් දෙන හැඟීම් පාලනය කරන්න
අනිත් අය හිතන්නේ බලන්නේ නැතුව කියන දේවල් නිසා ඔයාගේ හිතට දුකක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒවා ගැන ඕනෑවට වඩා හිතන්න එපා. සමහර ගුරුවරු ඒ වගේ පවුල්වලින් එන දරුවන්ගේ හැඟීම් තේරුම්ගන්නේ නැතුව එයාලගේ හිත රිදෙන විදිහට දේවල් කියනවා. ඒ වගේ දරුවෙක් ඉස්කෝලේදී ටිකක් දඟ කළොත් ඒකට හේතුව දරුවගේ පවුල් පසුබිම කියලා හිතන්න සමහර ගුරුවරු ඉක්මන් වෙනවා. ඔයාටත් ඒ වගේ දේවල් කවුරු හරි කිව්වොත් එයාලා ගොඩක් වෙලාවට එහෙම කියන්නේ ඔයා ගැනවත් ඔයාගේ පවුලේ අය ගැනවත් හරියට දැනගෙන නෙමෙයි කියලා මතක තියාගන්න. සමහරවිට ඒගොල්ලෝ ඒ වගේ දෙයක් කියන්නේ අම්මා හරි තාත්තා හරි නැතුව හැදෙන දරුවන් ගැන සමාජයේ තියෙන පොදු මත නිසා වෙන්න ඇති.
බයිබලයෙත් ‘පියා නැති දරුවා’ කියන යෙදුම කීප වතාවක්ම පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ එහෙම කෙනෙක්ව පහත් කරලා පෙන්නන්න නෙමෙයි. ඒ යෙදුම පාවිච්චි කරලා තියෙන හැම තැනකම වගේ පෙන්නන්නේ යෙහෝවා දෙවි ඒ වගේ දරුවන් ගැන කොච්චර සැලකිලිමත්ද කියලයි.a ඒ කාරණය මතකයේ තියාගන්න එකත් ඔයාට ලොකු උදව්වක් වෙයි.
තවත් සමහරක් අය ඔයාට දුක හිතෙයි කියලා හිතලා ‘දෙමාපියන්,’ ‘විවාහය,’ ‘දික්කසාදය,’ ‘මරණය’ වගේ විෂයන් ගැන ඔයා ඉස්සරහා කතා කරන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම කරද්දී ඔයාට දුකක්, අමුත්තක් දැනෙනවා නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්? අවුරුදු 14ක් වයස ටෝනිගේ අද්දැකීම බලන්න. එයා එයාගේ තාත්තව කවදාවත් දැකලා නැහැ. ඒ නිසා සමහර අය එයා ඉස්සරහා සමහර දේවල් ගැන කතා කළේ නැහැ. ඒක තේරුණම ටෝනි කරන්නේ ඒ දේවල් එයාත් එක්ක කතා කළාට ප්‍රශ්නයක් නැහැ කියලා පෙන්නන්න, ඒ දේවල් ගැනම ඒගොල්ලෝ එක්ක කතා කරන එකයි. “තාත්තා නැති එක ගැන මට ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ කියලා අනිත් අයට පෙන්නන්නයි මට ඕන වුණේ” කියලා ටෝනි කියනවා.
“මෙහෙම වුණේ නැත්නම්”
අම්මා හරි තාත්තා හරි නැති එක ගැන ඔයාගේ හිතට දුකක් දැනෙන එක සාමාන්‍යයි. හැබැයි ‘දෙන්නම මාත් එක්ක හිටියා නම් ජීවිතේ මීට වඩා කොච්චර ලස්සන වෙන්න තිබුණාද’ කියලා හිතහිත දුක් වෙන එකෙන් ඔයාට කිසිම හොඳක් වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නෙත්, “‘අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි’ යයි නොකියන්න” කියලයි. (දේශනාකාරයා 7:10) සාරා ඒ උපදෙස අදාළ කරගත්තා. එයාගේ අම්මයි තාත්තයි දික්කසාද වෙන කොට එයාට අවුරුදු 10යි. එයා මෙහෙම කියනවා. “‘දෙමාපියන්ගෙන් එක් කෙනෙක් නැති නිසයි මට මේ ප්‍රශ්න ඔක්කොම’ කියලවත් ‘අම්මයි තාත්තයි දෙන්නම ඉන්න පවුල් කොච්චර සතුටින් ඉන්නවාද’ කියලවත් හිතහිත තැවෙන්න එපා.” සාරා කියපු එක හිතට ගන්න එක වැදගත්. මොකද අම්මයි තාත්තයි දෙන්නම ඉන්න පවුල්වලත් අභියෝග, ප්‍රශ්න ගැටලු තියෙනවා.
ඔයායි ඔයාගේ පවුලේ අයයි ඔරු පදින කණ්ඩායමක් කියලා හිතන්න. මුළු කණ්ඩායමම ඉන්නවා නම් ඔරුව පදින එක ලේසියි. හැබැයි කණ්ඩායමේ එක් කෙනෙක් නැහැ කියලා ඔරුව පදින්න බැරිකමක් නැහැ. ඉන්න කට්ටිය වැඩි වෙහෙසක් දරලා හබල් ගැහුවොත් ගමන යන්න පුළුවන්.
ඔයා මහන්සි වෙලා ඔයාගේ කොටස කරනවාද?
ගමන සාර්ථකව යන්න නම් ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවල් මොනවාද? මේ යෝජනා බලන්න.
අරපිරිමැස්මෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. දෙමාපියන්ගෙන් එක් කෙනෙක් ඉන්න පවුල්වලට හුඟක් වෙලාවට සල්ලි ප්‍රශ්න තියෙනවා. ඔයාගේ පවුලෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අරපරෙස්සමින් සල්ලි වියදම් කරන්න ඉගෙනගන්න. ඒ ගැන ටෝනි මෙහෙම කියනවා. “ඉස්කෝලේ ළමයි අලුත් අලුත් සපත්තු, ඇඳුම් අරං දෙන්න කියලා එයාලගේ දෙමාපියන්ට නිතරම කරදර කරනවා. ඒවා නැතුව ඉස්කෝලේ යන්න බැහැ කියලා කියනවා. ඒත් ඒ වගේ දේවල් ඉල්ලලා මං අම්මට කරදර කරන්නේ නැහැ. මට තියෙන දේවල් මං පරෙස්සමින් පාවිච්චි කරනවා. මොකද මං දන්නවා අපිව බලාගන්න අම්මා කොච්චර මහන්සි වෙනවාද කියලා. මට අලුත් අලුත් ඇඳුම් නැති වුණාට මා ළඟ තියෙන ඇඳුම් පිළිවෙළයි, පිරිසිදුයි.” යේසුස්ගේ අනුගාමිකයෙක් වුණු පාවුල් මේ වගේ දෙයක් කිව්වා. ‘මම කවර තත්වයක සිටියත් ඉන් සෑහීමට පත් වීමට ඉගෙනගෙන සිටිමි. මා කවර තත්වයක සිටියත් කුමන දෙයකට මුහුණ දුන්නත් ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස ඉගෙනගෙන සිටිමි.’ (ෆිලිප්පි 4:11, 12) ඔයාත් තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න ඉගෙනගත්තොත් ඔයාටත් අරපිරිමැස්මෙන් වැඩ කරන්න පුළුවන්.
නාස්තිය අඩු කරන එකත් සල්ලි ඉතුරු කරන්න හොඳ විදිහක්. (යොහන් 6:12) රොඩ්නි මෙහෙම කියනවා. “මං ගෙදර බඩුමුට්ටු පාවිච්චි කරන්නේ හරිම පරෙස්සමින්. මොකද ඒවා කැඩුණොත් නැත්නම් නැති වුණොත් ඒවා ආයේ ගන්න, හදන්න ලොකු වියදමක් යනවා. ඒ වගේම ඔහේ ලයිට් දාලා තියෙනවා නම් නිකං ඉලෙක්ට්‍රික් බඩු ඔන් කරලා තියෙනවා නම් මං ඒවා නිවලා දානවා. ඒකෙන් කරන්ට් බිල අඩු කරගන්න පුළුවන්.”
ගෙදර වැඩවලට උදව් වෙන්න. තනියෙන් දරුවන්ව හදා වඩා ගන්න අම්මලා නැත්නම් තාත්තලා හුඟක් වෙලාවට දරුවන්ට එච්චර නීති දාන්නෙවත් ගෙදර දොරේ වැඩ දෙන්නෙවත් නැහැ. මොකද ඒ වගේ අය හිතන්නේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් නැතුව දරුවා හැදෙන නිසා ඒ පැත්තෙන්වත් දරුවට නිදහසක් දුන්නොත් එයාට දැනෙන අඩුව පිරිමහන්න පුළුවන් කියලයි. එතකොට දරුවෝ සතුටින්, විනෝදෙන් කාලය ගෙවයි කියලා එයාලා හිතනවා ඇති.
ඔයාගේ අම්මා හරි තාත්තා හරි එහෙම හිතලා ඔයාට නිදහස දෙනවා නම් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඔයා පෙලඹෙයි. හැබැයි එහෙම කරන එකෙන් වෙන්නේ ඔයාගේ අම්මට හරි තාත්තට හරි ඔයා තවත් බර පටවන එක විතරයි. ඔයා අම්මා හරි තාත්තා හරි ගැන ඇත්තටම සැලකිලිමත් නම් කියනකම් ඉන්නේ නැතුව ගෙදර වැඩවලට උදව් වෙනවා. ටෝනි එහෙම කළා. “මගේ අම්මා වැඩ කළේ ඉස්පිරිතාලෙක නිසා අම්මට වෙනම යුනිෆෝම් එකක් තිබුණා. මං ඒක එයාට අයන් කරලා දෙනවා. ඒත් සමහර අය හිතයි ඒක ගෑනු අය කරන වැඩක් කියලා. හැබැයි එහෙම කරන එකෙන් අම්මට වැඩ අඩු වෙන නිසා මං ඒක කරන්නේ සතුටින්” කියලා ටෝනි කියනවා.
අගය කරනවා කියලා පෙන්නන්න. ගෙදර දොරේ වැඩවලට උදව් වෙනවට අමතරව අම්මා හරි තාත්තා හරි පවුල වෙනුවෙන් කරන දේවල් අගය කරනවා කියලා පෙන්නන්න. ඒකත් එයාලට ලොකු ශක්තියක්. තනියෙන් දරුවන්ව ඇතිදැඩි කරන අම්මා කෙනෙක් මෙහෙම කියනවා. “සමහර දවස්වල රස්සාවේ තියෙන ප්‍රශ්න නිසා මං ගෙදර එන්නේ හෙම්බත් වෙලයි. එහෙම දවස්වලදී මගේ දුව රෑ කෑම ලෑස්ති කරකර ඉන්නවා දැක්කම මගේ ඔළුවේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම මට අමතක වෙලා යනවා. පුතා ඇවිත් මාව ආදරෙන් බදාගද්දී මට පුදුම සහනයක් දැනෙනවා.”
අපි කතා කරපු යෝජනා තුනෙන් ඔයා වැඩියෙන්ම අදාළ කරගන්න ඕනේ කොයි එකද? ․․․․․
අනිත් අයව හොඳින් තේරුම්ගන්න පුළුවන්, අනිත් අය ගැන හිතලා දේවල් කරන, වගකීම් කරට අරන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයා ඉන්න පවුල් වාතාවරණය ඔයාට ලොකු උදව්වක්. ඒ වගේම ඔයාව බලාගන්න අම්මා හරි තාත්තා හරි වෙනුවෙන් ඔයා මහන්සි වෙලා දේවල් කරද්දී “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා යේසුස් කියපු දේ අද්දකින්න ඔයාට පුළුවන් වෙයි.—ක්‍රියා 20:35.
ඒත් අම්මයි තාත්තයි දෙන්නම හිටියා නම් කොච්චර හොඳද කියලා සමහර වෙලාවලදී ඔයාට හිතෙයි. එහෙම වෙලාවලදී නියා කියන යෞවනියගේ අද්දැකීම ඔයාට උදව්වක් වෙයි. “මගේ තාත්තා නැති වුණු වෙලාවේ කෙනෙක් මට කිව්වා, ‘ඔයාගේ අනාගතේ තියෙන්නේ ඔයාගේ අතේ’ කියලා. ඒ වචන මගේ හිතට තදින් වැදුණා. මගේ ජීවිතේ කඩාකප්පල් කරගන්න තාත්තා නැති එක හේතුවක් නෙමෙයි කියලා ඒකෙන් මට තේරුණා.” ඔයාත් ඒක මතක තියාගන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි නැති නිසා ඔයාට සතුටින් ඉන්න බැහැ කියලා හිතන්න එපා. ඔයා ජීවිතේ දුකෙන් ගත කරනවාද නැත්නම් සතුටින් ගත කරනවාද කියන එක තියෙන්නේ ඔයාගේ අතේ.
තවත් දැනගන්න 1වෙනි පොතේ 4වෙනි පරිච්ඡේදය බලන්න
[පාදසටහන]
a ද්විතීය කතාව 24:19-21, ගීතාවලිය 68:5 කියවලා බලන්න.
බයිබල් උපදෙස
“ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.
යෝජනාවක්
ඔයාට ඕනෑවට වඩා වැඩියෙන් වැඩ පැටවිලා කියලා හිතෙනවා නම් අම්මට හරි තාත්තට හරි ආදරෙන් මේ යෝජනා ගැන කියන්න.
● පවුලේ එක් එක් සාමාජිකයා කරන්න ඕන වැඩවල ලැයිස්තුවක් හදන්න.
● ඕන වුණොත් දීලා තියෙන වැඩ මාරු කරන්න.
මේක දැනගෙන හිටියාද?
අම්මා හරි තාත්තා හරි එක්ක විතරක් හැදෙන දරුවන්ට ගෙදර දොරේ වගකීම් වැඩියි. ඒ වගකීම් හරියට කරන්න ඉගෙනගත්තොත් හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්.
ඔයාට වැඩක්!
හිතට දුකක් දෙන හැඟීම් ඇති වුණොත් මං මෙහෙම කරනවා ․․․․․
අනිත් අය මං ඉන්න තැන සමහර විෂයන් ගැන කතා කරන්න අදිමදි කරනවා නම් මං මෙහෙම කියනවා ․․․․․
මේ කාරණා ගැන මං අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● අම්මා හරි තාත්තා හරි විතරක් ඉන්න පවුල්වල දරුවන් ගැන සමහරක් අයට වැරදි හැඟීමක් තියෙන්නේ ඇයි?
● ගෙදර වැඩවලට උදව් වෙන්න කියලා අම්මා හරි තාත්තා හරි ඔයාට නොකියනවා ඇත්තේ ඇයි?
● අම්මා හරි තාත්තා හරි කරන දේවල් අගය කරනවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?
[211වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘අම්මයි තාත්තයි දික්කසාද වුණාට පස්සේ මං කලින්ට වඩා අම්මත් එක්ක කතාබහ කරන්න පටන්ගත්තා. ඒකෙන් අපි දෙන්නා ගොඩක් ළං වුණා.’’—මෙලනි
[210, 211වන පිටුවේ පින්තූරය]
දෙමාපියන්ගෙන් එක් කෙනෙක් විතරක් ඉන්න පවුලක් හරියට එක් කෙනෙක් අඩු ඔරු පදින කණ්ඩායමක් වගේ නිසා ඉතිරි අය ටිකක් වැඩියෙන් මහන්සි වුණොත් ගමන යන්න පුළුවන්