දහතුන්වෙනි පරිච්ඡේදය
වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්
1, 2. (අ) යෝනා කළ වරද නිසා ඔහු ගමන් ගත් නැවේ සිටි අය මුහුණ දුන්නේ මොන වගේ තත්වයකටද? (ආ) යෝනා ගැන සලකා බැලීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
යෝනා ගමන් ගන්නා නැව දැන් වෙරළෙන් බොහෝ ඈතට ගොස් තිබෙනවා. බලාපොරොත්තු නොවූ ලෙස ඇති වූ චණ්ඩ මාරුතය නිසා මුළු මුහුදම කැලඹෙනවා. ඒ දරුණු සුළඟේ හඬත් එක පිට එක නැඟී එන යෝධ රැලි නැව් බඳේ වැදීමෙන් ඇති වන බියකරු හඬත් පරදවමින් නැඟෙන නැවියන්ගේ ඝෝෂාවත් යෝනාට ඇසෙනවා. ඔවුන් මේ තරම් වෙහෙසක් දරන්නේ දරුණු චණ්ඩ මාරුතයෙන් නැව බේරාගැනීමටයි. ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටී තිබෙන්නේ තමන් කළ වරද නිසා බව තේරුම්ගන්නා යෝනාට තමන් ගැනම ලොකු කලකිරීමක් ඇති වෙනවා.
2 එයට හේතුව ඔහු යෙහෝවා දෙවිට අකීකරු වී තිබීමයි. ඔහු දෙවිට අකීකරු වුණේ කොහොමද? නැවත ඔහුට දෙවිගේ අනුමැතිය ලබාගැනීමට හැකි වුණාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැන් අපි බලමු. දෙවිට විශ්වාසවන්තව සිටි අය අතින් පවා යම් අවස්ථාවලදී වැරදි සිදු විය හැකි බවත් ඒවා සකසාගෙන නැවත දෙවිට සේවය කිරීමට හැකි බවත් තේරුම්ගැනීමට මෙම තොරතුරු අපිට උපකාරවත් වෙයි.
ගලීලයෙන් අනාගතවක්තෘවරයෙක්
3-5. (අ) බොහෝදෙනෙක් යෝනා ගැන සිතන්නේ කොහොමද? (ආ) යෝනා ගැන අපි දන්නේ මොනවාද? (පාදසටහනද බලන්න.) (ඇ) යෝනා අනාගතවක්තෘවරයෙක් ලෙස ඊශ්‍රායෙලයේ කළ සේවය පහසු කාර්යයක් නොවුණේ ඇයි?
3 යෝනා යන නම ඇසුණු සැණින් බොහෝ අයගේ මතකයට නැඟෙන්නේ දෙවිට අකීකරු වූ මුරණ්ඩු කෙනෙක් ලෙසයි. නමුත් ඔහු තුළ හොඳ ගුණාංග රැසක් තිබුණා. ඔහු තුළ එවැනි ගුණාංග තිබුණේ නැත්නම් දෙවි තමන්ගේ අනාගතවක්තෘ කෙනෙක් ලෙස සේවය කිරීමේ බාරදූර වගකීම ඔහුට භාර දෙයිද?
යෝනා තුළ හොඳ ගුණාංග රැසක් තිබුණා
4 යෝනාගේ පසුබිම ගැන බොහෝ තොරතුරු බයිබලයේ සඳහන් වී නැහැ. (2 රාජාවලිය 14:25 කියවන්න.) එහි සඳහන් වෙන්නේ ඔහු ගාත්-හේෆෙර් නගරයේ වැසියෙක් කියා පමණයි. එම නගරය පිහිටා තිබුණේ යේසුස් හැදී වැඩුණු නාසරෙත් නම් නුවරේ සිට කිලෝමීටර් හතරක දුරකින්.a යෝනා අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළේ දෙවෙනි යෙරොබොවම් රජු ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දහය පාලනය කළ කාලයේදීයි. ඊට බොහෝ කාලයකට පෙර යෙහෝවා දෙවි එලියා සහ එලිෂා නම් අනාගතවක්තෘවරුන්ව යොදාගෙන ඊශ්‍රායෙල් දේශයෙන් බාල් නමස්කාරය මුලින් උපුටා දමා තිබුණා. නමුත් යෝනාගේ කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ නැවතත් බාල් නමස්කාරයේ යෙදීමට පටන්ගෙන තිබුණා. ඔවුන් අනුගමනය කළේ ‘යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළ’ ඔවුන්ගේ රජුවයි. (2 රාජා. 14:24) මෙවැනි තත්වයක් යටතේ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කිරීම යෝනාට පහසු වුණේ නැහැ. ඒ වුණත් ඔහු දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළා.
5 දිනක් යෙහෝවා දෙවි යෝනාට විශේෂ පැවරුමක් ලබා දුන්නා. යෝනාට සිතුණේ එම පැවරුම තමන්ට කොහෙත්ම ඉටු කරන්න බැහැ කියායි. දෙවි ඔහුට දුන් පැවරුම කුමක්ද?
නිනිවයට යන්න
6. යෙහෝවා දෙවි යෝනාට දුන් පැවරුම කුමක්ද? එය ඉටු කිරීම අපහසුයි කියා යෝනාට හැඟෙන්න ඇත්තේ ඇයි?
6 “නිනිවය නම් මහත් නුවරේ වැසියන්ගේ දුෂ්ටකම් මට පෙනිණ. දැන් එතැනට ගොස් මගේ විනිශ්චය ගැන එහි වැසියන්ට කියන්න” කියා යෙහෝවා දෙවි යෝනාට පවසනවා. (යෝනා 1:2) එම පැවරුම තමන්ට කොහෙත්ම ඉටු කරන්න බැහැ කියා සිතන්න යෝනාට සාධාරණ හේතු තියෙන්න ඇති. නිනිවය පිහිටා තිබුණේ කිලෝමීටර් 800ක් පමණ දුරකින්. ගොඩබිමෙන් යනවා නම් මාසයක පමණ කාලයක් ගත වෙනවා. නමුත් යෝනාට ඉටු කිරීමට තිබෙන පැවරුමත් සමඟ බලද්දී ඒ ගමන එතරම් දුෂ්කර නැහැ කියා ඔහුට සිතෙන්න ඇති. ඒ ඇයි? නිනිවය ප්‍රසිද්ධ වී තිබුණේ ‘ලේ පිපාසිත නගරයක්’ ලෙසයි. (නාහු. 3:1, 7) එහි සිටි මිනිසුන් සැහැසියාවට හා කුරිරුකම්වලට නම් දරා තිබුණා. ඔහුට දෙවිගේ විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කිරීමට තිබුණේ එවැනි සෙනඟකටයි. දෙවිගේ සෙනඟවත් සවන් නොදෙන විනිශ්චය පණිවිඩයකට මෙවැනි කුරිරු සෙනඟක් සවන් දෙයිද කියාත් ඔහු කල්පනා කරන්න ඇති.
7, 8. (අ) යෙහෝවා දෙවි ලබා දුන් පැවරුමෙන් පලා යෑමට යෝනා මොන තරම් වෑයමක් දැරුවාද? (ආ) යෝනා බියගුල්ලෙක් කියා සිතීම සාධාරණ නොවන්නේ ඇයි?
7 යෙහෝවා දෙවි යෝනාට දුන් පැවරුම ගැන ඔහුට ඇත්තටම හැඟුණේ කෙසේද කියා අපි හරියටම දන්නේ නැහැ. බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ ඔහු පලා ගියා කියා පමණයි. නැඟෙනහිර දෙසට යන්න කියා යෙහෝවා දෙවි ඔහුට පවසා තිබුණත් බටහිර දෙසට ගමන් ගන්නා ඔහු, යා හැකි උපරිම දුරක් යනවා. මුහුදුබඩ පළාතක් වූ යොප්පාවට ගිය ඔහු එහිදී තර්ෂිෂ් බලා යන නැවකට ගොඩ වෙනවා. ඇතැම් විශාරදයන් පවසන්නේ තර්ෂිෂ් පිහිටා තිබුණේ ස්පාඤ්ඤයේ කියායි. එසේනම් යෝනා ගමන් කිරීමට උත්සාහ කර තිබෙන්නේ නිනිවයේ සිට කිලෝමීටර් 3,500ක් පමණ දුරකටයි. මධ්‍යධරණී මුහුද හරහා එම ගමන යෑමට වසරක පමණ කාලයක් ගත වෙනවා. යෙහෝවා දෙවි ඔහුට ලබා දුන්නේ ගව් ගාණක් දුර පලා යෑමට තරම් අසීරු පැවරුමක්ද?—යෝනා 1:3 කියවන්න.
8 තමන්ට ලැබුණු පැවරුමෙන් යෝනා පලා ගිය නිසා ඔහු බියගුල්ලෙක් කියා සිතිය යුතු නැහැ. බොහෝ අවස්ථාවලදී ඔහු ඉතා නිර්භීත ලෙස ක්‍රියා කර තිබෙනවා. නමුත් අප හා සමාන අසම්පූර්ණ මිනිසෙක් වූ ඔහු අතින්ද ඇතැම් අවස්ථාවලදී යම් අඩුපාඩු සිදු වුණා. (ගීතා. 51:5) ජීවිතයේ කිසිම අවස්ථාවකදී බියට පත් වී නැහැ කියා අපෙන් කිසිම කෙනෙකුට පවසන්න පුළුවන්ද?
9. දෙවිගෙන් ලැබෙන පැවරුම් ගැන යම් අවස්ථාවලදී අපිට කොහොම හැඟෙන්න පුළුවන්ද? එවැනි අවස්ථාවලදී අපි මතක තබාගත යුත්තේ කුමක්ද?
9 යම් අවස්ථාවලදී දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල් කිරීම අපහසුයි කියා අපිටත් සිතෙන්න පුළුවන්. උදාහරණයකට ශුභාරංචිය දේශනා කිරීමේ පැවරුම යෙහෝවා දෙවි අපිට ලබා දී තිබුණත් එය කිරීමට පහසු නැහැ කියා අපිට හැඟෙන්න ඉඩ තියෙනවා. (මතෙ. 24:14) නමුත් දෙවිගේ උපකාරයෙන් අපිට “සෑම දෙයක්ම කරන්න පුළුවන්” කියා යේසුස් පැවසූ බව අපි මතක තබා ගනිමු. (මාක් 10:27) අපිට එය අමතක වුණොත් යෝනාට සිතුණු ආකාරයටම අපිටත් සිතෙන්න පුළුවන්.
දෙවිගෙන් හික්මවීමක්
10, 11. (අ) නැව දියඹට ඇදී යද්දී යෝනාට හැඟුණේ කොහොමද? (ආ) නැවේ ගමන් කරමින් සිටි අයට මුහුණ දෙන්න සිදු වුණේ මොන වගේ තත්වයකටද?
10 තර්ෂිෂ් බලා යන ෆිනීෂියානු බඩු නැවකට ගොඩ වී සිටින යෝනා දැන් ගමනට සූදානමින් සිටිනවා. කපිතාන්වරයා සහ නාවිකයන් නැව දියත් කිරීමට කඩිමුඩියේ සූදානම් වන අයුරු ඔහු බලා සිටිනවා. වෙරළ තීරයෙන් සමුගන්නා නැව කෙමෙන් දියඹට ඇදී යනවා. තමන්ට ඉටු කිරීමට තිබුණු බැරෑරුම් වගකීමෙන් මිදුණා කියා සිතමින් යෝනා සැනසුම් සුසුමක් හෙළන්න ඇති.
11 නමුත් වැඩි වේලාවක් යන්න කලින් ඔහුගේ බලාපොරොත්තු බිඳ දමමින් මහා චණ්ඩ මාරුතයක් ඇති වෙනවා. එය තවත් වේලාවක් තිබුණොත් යෝනා ගමන් කරන නැව පහසුවෙන්ම කැඩී බිඳී යන්න පුළුවන්. මේ අවස්ථාවේදී ‘මුහුද දෙසට තද සුළඟක් හමන්න සැලැස්වූවේ’ යෙහෝවා දෙවි බව යෝනා දැන සිටියාද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් මේ දරුණු චණ්ඩ මාරුතයෙන් නැව බේරා දෙන්න කියා නාවිකයන් ඔවුන්ගේ දෙවිවරුන්ට අයැදින ආකාරය යෝනා දකිනවා. ඒ කිසි දෙවි කෙනෙකුගෙන් ඔවුන්ට පිහිටක් නොලැබෙන බව යෝනා තේරුම්ගෙන සිටියා. (ලෙවී. 19:4) දැන් ‘නැව ගිලෙන්න පටන්ගන්නවා.’ (යෝනා 1:4) සැබෑ දෙවි ලබා දුන් පැවරුමෙන් පලා යන යෝනාට දෙවිගෙන් උපකාර පතන්න පුළුවන්ද?
12. (අ) යෝනා නින්දට වැටුණේ ඇයි? (පාදසටහනද බලන්න.) (ආ) මේ විපතට හේතුව යෙහෝවා දෙවි හෙළි කළේ කොහොමද?
12 නාවිකයන්ට උපකාර කිරීම සඳහා තමන්ට කළ හැකි කිසිවක් නැති බව තේරුම්ගන්නා යෝනා නැවේ පහළ තට්ටුවට ගොස් හාන්සි වෙනවා. වැඩි වේලාවක් යන්න කලින් ඔහු තද නින්දකට වැටෙනවා.b නිදා සිටින යෝනාව දකින කපිතාන්වරයා කෑගසා ඔහුව අවදි කරමින් ඔහුගේ දෙවියන්ගෙන් උපකාර ඉල්ලන්න කියා ඔහුට පවසනවා. ඇති වී තිබෙන චණ්ඩ මාරුතය අසාමාන්‍ය එකක් බව වටහාගන්නා නාවිකයන් මේ විපත සිදු වුණේ කවුරු නිසාද කියා දැනගැනීමට දාදු දමනවා. ඒ මොහොතේදී යෝනාගේ හද තදින් ගැහුණු බවට සැකයක් නැහැ. දාදුව යෝනාට වැටුණු නිසා මේ විපතට වග කිව යුත්තේ ඔහු බව පැහැදිලියි. එසේ වීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි පෙන්නුම් කළේ යෝනා තමන්ට අකීකරු වූ නිසා එම චණ්ඩ මාරුතය ඇති වීමට සැලැස්වූ බවයි.—යෝනා 1:5-7 කියවන්න.
13. (අ) යෝනා නාවිකයන්ට හෙළි කළේ කුමක්ද? (ආ) ඔහු ඔවුන්ට කරන්න කියා පැවසුවේ මොනවාද? ඒ ඇයි?
13 තමන් සැබෑ දෙවි වන යෙහෝවාගේ සේවකයෙක් බවත් මෙවැනි විපතක් සිදු වී තිබෙන්නේ දෙවි ලබා දුන් පැවරුමකින් තමන් පලා යන නිසා බවත් යෝනා නාවිකයන්ට පැහැදිලි කරනවා. සිදු වී තිබෙන දේ ගැන ඔවුන් මොන තරම් තැතිගෙන තිබෙනවාද කියා ඔවුන්ගේ මුහුණුවලින් දිස් වෙන්න ඇති. නැව සහ තමන්ගේ ජීවිත බේරාගැනීමට කළ යුත්තේ මොනවාද කියා ඔවුන් යෝනාගෙන් අසනවා. මොහොතකට නිහඬ වන යෝනා තමන්ට මහ සයුරේ ගිලෙන්න සිදු වුණොත් එය මොන තරම් භයානක අද්දැකීමක් වෙයිද කියා කල්පනා කරන්න ඇති. නමුත් නාවිකයන්ගේ ජීවිත බේරාගැනීමට තමන්ට හැකියාව තිබියදීත් ඔවුන්ගේ ජීවිත මුහුදට බිලි වීමට ඉඩහැරීම මොන තරම් අපරාධයක්ද කියාත් ඔහු කල්පනා කරන්න ඇති. ඒ නිසා ඔහු මෙසේ පවසනවා. “මේ මහ කුණාටුව ඇති වුණේ මම නිසයි. ඒ නිසා දැන් මාව මුහුදට විසි කරන්න. එවිට මුහුද නිශ්චල වෙයි.”—යෝනා 1:12.
14, 15. (අ) යෝනා මෙන් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන්න අපිට පුළුවන් කොහොමද? (ආ) යෝනා පැවසූ දේට නාවිකයන් එකඟ වුණාද?
14 යෝනා බියගුල්ලෙක් වුණා නම් තමාව මුහුදට විසි කරන්න කියා ඔහු පවසයිද? යෝනා මේ අසීරු තත්වයේදී පවා ජීවිතය පරදුවට තැබීමට ඉදිරිපත් වීම ගැන යෙහෝවා දෙවිට මහත් සතුටක් දැනෙන්න ඇති. ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබෙනවාද කියා මේ අවස්ථාවේදී ඔහු ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලියි. අන් අයගේ අවශ්‍යතාවන්ට මුල් තැන දීමෙන් අපිටත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන්. (යොහ. 13:34, 35) දෛනික අවශ්‍යතාවලින් පෙළෙන අයට, මානසිකව බිඳ වැටී සිටින අයට හෝ යෙහෝවා දෙවි ගැන දැනගැනීමට නැත්නම් දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට උපකාරය අවශ්‍ය අයට උදව් කිරීමට ඔබත් කැමතිද? එසේ කරනවා නම් යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වෙන බව නිසැකයි.
15 යෝනා පැවසූ දේ කිරීමට නාවිකයන් කැමති වෙන්නේ නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ නැව වෙරළ දෙසට යාත්‍රා කරවීමටයි. නමුත් කැලඹුණු මුහුද තව තවත් රළු වීමට පටන්ගන්නා නිසා නාවිකයන් දැරූ උත්සාහය අසාර්ථක වෙනවා. අවසානයේදී කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකට පත් වන ඔවුන් යෙහෝවා දෙවිට කන්නලව් කර, සමාව අයැදිමින් අකමැත්තෙන් වූවත් යෝනාව මුහුදට හෙළනවා.—යෝනා 1:13-15.
යෝනා කී ලෙස නාවිකයන් ඔහුව මුහුදට හෙළුවා
යෝනාට අනුකම්පාව ලැබෙයි
16, 17. යෝනාව මුහුදට හෙළූ පසුව ඔහුට මුහුණ දීමට සිදු වූ දේ විස්තර කරන්න. (පින්තූරද බලන්න.)
16 කැලඹෙන මුහුදට වැටෙන යෝනා සුළු මොහොතක් යෝධ රැලි සමඟ පොරබදිනවා. ඒ අතරතුරේදී නැව කෙමෙන් කෙමෙන් තමන්ගෙන් ඈතට යන අයුරු යෝනා දකින්න ඇති. නිමේෂයකින් පැමිණි දැවැන්ත රළ පහරට හසු වෙන යෝනාව මුහුදු පතුලටම ඇදී යනවා. මේ ගෙවෙන්නේ තමන්ගේ ජීවිතයේ අවසාන මොහොත කියා ඔහුට සිතෙන්න ඇති.
17 පසු කාලයකදී යෝනා එය වාර්තා කළේ මෙසේයි. ‘නැවත කිසි දිනක ශුද්ධ මාලිගාව දැකගන්න නොලැබෙයිද කියා මම කල්පනා කළා. මුහුදු පැළෑටි මගේ හිස වටා එතුණා. මම මුහුදු පත්ලටම කිඳා බැස්සා. මට හැඟුණේ එය මගේ මිනී වළ කියායි.’—යෝනා 2:2-6 කියවන්න.
18, 19. මුහුදු පතුලේදී යෝනාට සිදු වෙන්නේ මොනවාද? යෝනාව ගිලගත් මත්ස්‍යයාව විස්තර කරන්න. (පාදසටහනද බලන්න.) යෝනාට උපකාර කරන්නේ කවුද?
18 එය ඔහුගේ ජීවිතයේ අවසානය කියා සිතුවත් ඔහු බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වෙනවා. කළු පාටට හුරු විශාල යමක් ඔහු වෙත පැමිණෙනවා. ඉන්පසුව ඔහුට දැනුණේ විශාල ගුහාවක් වැනි දෙයක් තුළට තමාව ඇදී යනවා කියායි. යම් සතෙක් ඔහුව ගිලගත්තා කියා ඔහුට දැනෙනවා.
‘යෙහෝවා දෙවි යෝනාව ගිලගන්න විශාල මත්ස්‍යයෙකුව එව්වා’
19 තමා සිටින්නේ විශාල මාළුවෙකුගේ කුස තුළ වුණත් අඩුම තරමින් තමන්ට ඇල්පෙනෙත්ති තුඩක තරම්වත් හානියක් සිදු වී නැහැ කියා දකින ඔහු පුදුමයෙන් පුදුමයට පත් වෙනවා. මිය යෑමට ආසන්නව සිටියදී ‘විශාල මත්ස්‍යයෙකුව එවා’ යෝනාව බේරාගත්තේ යෙහෝවා දෙවි මිස වෙන කිසිවෙක් නෙවෙයි.c—යෝනා 1:17.
20. යෝනා කළ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
20 තමන්ගේ ජීවිතයේ අඳුරුම දින කිහිපය මත්ස්‍යයෙකුගේ කුස තුළ ගෙවන යෝනාට, සිදු වූ දේවල් ගැන කල්පනා කිරීමටත් යෙහෝවා දෙවිට ස්තුති කිරීමටත් ඇති තරම් කාලය තිබුණා. ඔහු කළ යාච්ඤාව යෝනා දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔහුට ශුද්ධ ලියවිල්ල ගැන මොන තරම් අවබෝධයක් තිබුණාද කියා එය කියවීමෙන් අපිට දැනගන්න පුළුවන්. ඔහු අවස්ථා කිහිපයකදීම ගීතාවලිය පොතෙන් උපුටා දක්වා තිබෙනවා. හද පත්ලෙන්ම යෙහෝවා දෙවිට ස්තුති කළ යෝනා යාච්ඤාව අවසන් කර තිබෙන්නේ මේ ආකාරයටයි. “ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවි වන ඔබ පමණි. ඒ නිසා මම ඔබට පොරොන්දු වූ සියල්ල එලෙසම ඉටු කරන්නෙමි. මම ස්තුති ප්‍රශංසා දෙමින් ඔබට පුදපූජා ඔප්පු කරන්නෙමි.”—යෝනා 2:9.
21. යෝනා තේරුම්ගත්තේ කුමක්ද? අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
21 කොහේ සිටියත් කුමන තත්වයක් අද්දැක්කත් ගැලවීම ලබා දිය හැක්කේ යෙහෝවා දෙවිට බව “මත්ස්‍යයාගේ බඩේ” සිටි කාලයේදී යෝනා තේරුම්ගත්තා. (යෝනා 1:17) විශාල මත්ස්‍යයෙකුගේ බඩේ දහවල් තුනක් සහ රාත්‍රී තුනක් මිනිසෙකුව ජීවත් කරවීමට හැකියාව තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. අපට ජීවිතය ලැබී තිබෙන්නේ යෙහෝවා දෙවිගෙන් බව කිසිවිටක අමතක නොකරමු. (දානි. 5:23) ඒ නිසා අපි හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම අපි ඔහුට ස්තුතිවන්ත විය යුතු නැද්ද! සෑම කාරණාවකදීම අපි ඔහුට කීකරු විය යුතු නැද්ද!
22, 23. (අ) යෝනා යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙමින් ඔහුට කීකරු වුණාද? (ආ) අපි අතින් වරදක් සිදු වූ අවස්ථාවකදී යෝනාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
22 යෝනා දෙවිට ස්තුතිවන්ත වෙමින් ඔහුට කීකරු වෙයිද කියා අපි බලමු. දින තුනක් සහ රාත්‍රී තුනක් ගෙවුණු පසුව මත්ස්‍යයා ‘යෝනාව ගොඩබිමට වමාරනවා.’ (යෝනා 2:10) ඔහුව වැමෑරුවේ කුමන වෙරළකටද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් තමන්ගේ ගමන් මාර්ගය තනිවම සොයාගැනීමට යෝනාට සිදු වෙනවා. දෙවි තමන් වෙනුවෙන් කළ දේට ඇත්තටම ස්තුතිවන්ත වෙනවාද කියා පෙන්වීමට වැඩි කාලයක් ගත වීමට කලින් ඔහුට අවස්ථාවක් ලැබෙනවා. යෙහෝවා දෙවි නැවත වතාවක් යෝනාට මෙසේ කියනවා. “නිනිවය නම් විශාල නුවරට ගොස් මා ඔබට පවසන දේ එහි වැසියන්ට කියන්න.”—යෝනා 3:1, 2.
23 මේ වතාවේදී යෝනා කෙසේ ක්‍රියා කරයිද? ‘ඔහු යෙහෝවා දෙවි පැවසූ ලෙස නිනිවය නුවර බලා පිටත්ව ගියා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෝනා 3:3) තමන්ගේ වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා කැමැත්තෙන්ම දෙවිට කීකරු වෙනවා. මේ වතාවේදීත් යෝනා ක්‍රියා කළ ආකාරයෙන් අපිට කදිම පාඩමක් ඉගෙනගන්න පුළුවන්. අපි හැමෝටම පව්කාරකම උරුම වී තිබෙන නිසා සමහර අවස්ථාවලදී අපි අතින් වැරදි සිදු වෙනවා. (රෝම 3:23) එවැනි අවස්ථාවලදී අපි ඒ ගැන කලකිරී දෙවිට කරන සේවය නතර කරනවාද? නැත්නම් යෝනා මෙන් අපේ වැරදිවලින් පාඩමක් ඉගෙනගන්නවාද?
24, 25. (අ) යෝනා අද්දුටු ආශීර්වාද මොනවාද? (ආ) අනාගතයේදී ඔහු ලබන ආශීර්වාද මොනවාද?
24 යෝනා, යෙහෝවා දෙවිට කීකරු වූ නිසා ඔහුට ආශීර්වාද ලැබුණා. තමන්ගේ ජීවිතය පරදුවට දමමින් කළ දේ නිසා මුහුදේ ඇති වූ චණ්ඩ මාරුතය අවසන් වූ බවත් නාවිකයන්ගේ ජීවිතවලට කිසිම හානියක් වුණේ නැති බවත් පසු කාලයකදී ඔහුට දැනගන්න ලැබෙන්න ඇති. ඒ වගේම එම නාවිකයන්ට “යෙහෝවා දෙවි කෙරෙහි මහත් ගරුබියක් ඇති” වූ බවත් ඔවුන්ගේ දෙවිවරුන්ට පූජාවක් ඔප්පු කරනවා වෙනුවට යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කළ බවත් ඔහුට ආරංචි වෙන්න ඇති.—යෝනා 1:15, 16.
25 ඔහු ජීවත් වූ කාලයට බොහෝ කාලයකට පසුව සිටි යේසුස් තමන් මරණ නින්දේ සිටීමට නියමිත කාලය ගැන සඳහන් කිරීමේදී යෝනා, මත්ස්‍යයාගේ බඩේ සිටි කාලය ගැන සඳහන් කළා. (මතෙව් 12:38-40 කියවන්න.) පාරාදීස පොළොවේ නැවත නැඟිටීම ලැබුවායින් පසුව යෝනාට ඒ ගැන ආරංචි වෙද්දී ඔහුට කොතරම් සතුටක් දැනෙයිද! (යොහ. 5:28, 29) එලෙස යෝනාට ආශීර්වාද කළ යෙහෝවා දෙවි ඔබටත් ආශීර්වාද කිරීමට බලා සිටින්නේ මහත් ආශාවකින්. ඔබත් යෝනා මෙන් ඔබේ අතින් සිදු වන වැරදිවලින් පාඩමක් ඉගෙනගන්නවා නම් යෙහෝවා දෙවිට කීකරු වෙනවා නම් සහ අන් අය ගැන සිතනවා නම් යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට ලැබෙන බව නිසැකයි.
a ගාත්-හේෆෙර්, ගලීලයට අයත් නගරයක්. යේසුස් සම්බන්ධයෙන් පරිසිවරුන් මෙසේ පැවසුවා. ‘ගලීලයෙන් කිසිම අනාගතවක්තෘවරයෙකු පැමිණෙනවාද නැද්ද කියා සොයා බලන්න.’ (යොහ. 7:52) ඔවුන් ඉන් අදහස් කළේ කුමක්ද? ඒ ගැන අදහස් දක්වන පර්යේෂකයන් පවසන්නේ කිසිම අනාගතවක්තෘවරයෙක් ගලීලයෙන් පැමිණ නැති බව සහ අනාගතයේදීවත් පැමිණෙන්නේ නැති බව පරිසිවරුන් සිතාගෙන සිටි බවයි. එය සත්‍යයක් නම් පරිසිවරුන් ඉතිහාසයේ සිදු වූ දේවල් සහ අනාවැකි නොසලකාහැර තිබෙනවා.—යෙසා. 9:1, 2.
b යෝනා කොතරම් තද නින්දකට වැටුණාද කියනවා නම් එක් බයිබල් පරිවර්තනයක සඳහන් වෙන්නේ ඔහු ඒ අවස්ථාවේ නින්දෙන් ගෙරවූ බවයි. (Septuagint) සිදු වෙමින් තිබුණු දේවල් ගැන යෝනා කිසිම තැකීමක් නොකළ බව ඉන් අදහස් කරන්නේ නැහැ. ඊට හේතුව සාමාන්‍යයෙන් දැඩි මානසික පීඩනයක් යටතේදී කෙනෙක් නිදාගැනීමට නැඹුරු වීමයි. උදාහරණයකට ගෙත්සෙමන උයනේදී යේසුස් හා අවදිව සිටිය යුතුම මොහොතක පේතෘස්, යොහන් සහ යාකොබ් නින්දට වැටුණා. ඊට හේතුව ඔවුන් ‘ශෝකය’ නිසා විඩාබර වී සිටීමයි.—ලූක් 22:45.
c මෙම මත්ස්‍යයාව හැඳින්වීමට හෙබ්‍රෙව් බසින් යොදාගෙන තිබෙන වචනය ග්‍රීක භාෂාවට පරිවර්තනය කිරීමේදී යොදා තිබෙන වචනයේ අර්ථය “යෝධ මත්ස්‍යයා” යන්නයි. යෝනාව ගිල දැමුවේ කුමන වර්ගයේ මත්ස්‍යයෙක්ද කියා ස්ථිරව පවසන්න බැහැ. නමුත් මධ්‍යධරණී මුහුදේ මිනිසෙකුව ගිල දැමීමට හැකියාව ඇති විශාල මෝරුන් සිටින බව පැවසෙනවා. උන්ටත් වඩා විශාල මීටර් 15ක් හෝ ඊට වඩා වැඩි දිග ප්‍රමාණයකින් යුත් තල්මස් මෝරුන්ද සාගරයේ ජීවත් වෙනවා.