ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • kr 4 පරි. 39-48 පි.
  • යෙහෝවා දෙවි තම නාමය ගෞරවයට පත් කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි තම නාමය ගෞරවයට පත් කරයි
  • දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවිගේ ශුද්ධ නාමය ගෞරවයට පත් කිරීම
  • දෙවිගේ නම දරන්නත් ඒ නම ගෞරවයට පත් කරන්නත් සෙනඟව සූදානම් කරයි
  • දෙවි “තම නාමය දැරීමට සෙනඟක්” තෝරාගනියි
  • දෙවිගේ නම ලොව පුරා ගෞරවයට පත් වෙයි
  • යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ගේ නම මොකක්ද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
  • ඔබට දෙවිව නමින් හඳුනාගත හැකි අයුරු
    2004 පිබිදෙව්!
තව තොරතුරු
දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
kr 4 පරි. 39-48 පි.

4වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවි තම නාමය ගෞරවයට පත් කරයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

දෙවිගේ සෙනඟ දෙවිගේ නම ගෞරවයට පත් කරයි

1, 2. ‘නව ලොව පරිවර්තනයෙන්’ දෙවිගේ නම ගෞරවයට පත් වෙලා තියෙන්නේ කොහොමද?

බෘක්ලින් බෙතෙල් එකේ හිටිය අභිෂේක ලත් සහෝදරයන් කිහිපදෙනෙක් 1947 දෙසැම්බර් 2වෙනිදා ලොකු වැඩකට අත ගැහුවා. ඒ තමයි බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන එක. අවුරුදු 12ක් පුරා කරපු ඒ පරිවර්තන වැඩකටයුතු 1960 මාර්තු 13වෙනිදා අවසන් වුණා. මාස තුනකට පස්සේ ඒ කියන්නේ ජූනි 18වෙනිදා සහෝදර නේතන් නෝර් එංගලන්තයේ මැන්චෙස්ටර්වල පවත්වපු සමුළුවකදී ඉංග්‍රීසි භාෂාවෙන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ අවසාන කාණ්ඩය මුදාහැරියා. ඒ වෙලාවේ සහෝදර නෝර් කිව්වේ මෙහෙමයි. ‘අද ලෝකෙ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හුඟක් සතුටු දවසක්.’ බයිබලයේ මුල් පිටපත්වල දෙවිගේ නම තිබුණු හැම තැනකම ඒ පරිවර්තනයෙත් දෙවිගේ නම සඳහන් කරලා තිබුණු එක විශේෂ දෙයක් වුණා.

1) 1950දී ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය බෙදාහරිමින් 2) ඝානාවේ මිනිසුන් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනයේ පිටපත් පෙන්වමින්

1950දී ඉංග්‍රීසි භාෂාවෙන් ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ නිකුත් කළා (වමේ: නිව් යෝර්ක් නගරයේ යැංකි ක්‍රීඩාංගණය; දකුණ: ඝානාව)

2 අද තියෙන හුඟක් බයිබල් පරිවර්තනවල දෙවිගේ නම සඳහන් කරලා නැහැ. ඒ විදිහට සාතන් යෙහෝවා දෙවිගේ නම හංගන්න කොයි තරම් උත්සාහ කළත් අභිෂේක ලත් සේවකයන් ඒ නම මිනිසුන්ට දැනුම් දෙන්න පියවර ගත්තා. ‘නව ලොව පරිවර්තනයේ’ පෙරවදනේ මෙහෙම සඳහන් වුණා. “මෙම පරිවර්තනයේ ඇති ප්‍රධානතම ලක්ෂණය වන්නේ යෙහෝවා යන දෙවිගේ නාමය නියමිත ස්ථානවලට ඇතුළත් කර තිබීමයි.” ඒ පරිවර්තනයේ යෙහෝවා කියන නම 7,000 වතාවකටත් වඩා වැඩියෙන් සඳහන් වෙනවා. ඇත්තටම ඒ පරිවර්තනයෙන් අපේ ස්වර්ගික පියාණන්ගේ නම ගෞරවයට පත් වෙලා තියෙනවා.

3. (අ) දෙවිගේ නමේ අර්ථය ගැන බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තේ මොනවාද? (ආ) නික්මයාම 3:13, 14 බයිබල් පදවලින් අපිට දෙවිගේ නමේ අර්ථය ගැන තේරුම්ගන්න පුළුවන් මොනවාද? (“දෙවිගේ නමේ අර්ථය” යන කොටුව බලන්න.)

3 දෙවිගේ නමින් අදහස් වෙන්නේ “මම යම් සේ සිටිම්ද එසේම සිටිමි” කියන එක කියලා බයිබල් ශිෂ්‍යයන් තේරුම් අරන් හිටියා. (නික් 3:14, ‘පැරණි අනුවාදය’) 1926 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “දෙවිගේ නමේ අර්ථයෙන්ම යෙහෝවා දෙවි කා මතවත් යැපෙන්නේ නැහැ කියලත් ඔහුට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ කියලත් පැහැදිලි වෙනවා.” කොහොමවුණත් ‘නව ලොව පරිවර්තනයේ’ වැඩකටයුතුවලට හවුල් වුණු අය දෙවිගේ මඟ පෙන්වීමෙන් තේරුම්ගත්තා දෙවිගේ නමින් අදහස් වෙන්නේ ඔහු කා මතවත් යැපෙන්නේ නැහැ කියන එක විතරක් නෙවෙයි කියලා. ඒ වෙනුවට ඔහු අරමුණක් තියෙන ඒ අරමුණ ඉටු කරන්න ක්‍රියාශීලීව කටයුතු කරන කෙනෙක් කියන එකත් දෙවිගේ නමින් අදහස් වෙනවා කියලා ඔවුන් තේරුම්ගත්තා. දෙවිගේ නමින් මූලිකවම අර්ථවත් වෙන්නේ ඔහු “සියල්ල සිදු කරනවා” කියන එක කියලා ඔවුන්ට අවබෝධ වුණා. දෙවි මේ මුළු විශ්වයත් බුද්ධිමත් ජීවීන්වත් නිර්මාණය කළා. ඒ වගේම ඔහු දිගටම තම අරමුණ ඉටු කිරීමටත් ක්‍රියාශීලීව කටයුතු කරනවා. එහෙමනම් දෙවිගේ නම ගෞරවයට පත් කරන එක වැදගත් වෙන්නේ ඇයි? අපිට ඒ දේ කරන්න පුළුවන් කොහොමද?

දෙවිගේ ශුද්ධ නාමය ගෞරවයට පත් කිරීම

4, 5. (අ) “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා යාච්ඤා කරද්දී අපි ඇත්තටම දෙවිගෙන් ඉල්ලන්නේ මොකක්ද? (ආ) දෙවි ඔහුගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්නේ කවදාද? ඒ කොහොමද?

4 යෙහෝවා දෙවි කැමතියි ඔහුගේ නම ගෞරවයට පත් කරන්න. ඇත්තෙන්ම ඔහුගේ නම ශුද්ධව පවත්වාගන්න එක තමයි ඔහුගේ මූලික අරමුණ වෙන්නේ. යේසුස් උගන්වපු යාච්ඤාවෙනුත් ඒක පැහැදිලි වෙනවා. යේසුස් ඒ යාච්ඤාවේ මුලින්ම සඳහන් කළේ “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලයි. (මතෙ. 6:9) අපි එහෙම යාච්ඤා කරද්දී ඇත්තටම ඒකෙන් ඉල්ලන්නේ මොනවාද?

5 අපි 1වෙනි පරිච්ඡේදයෙන් බලපු විදිහට යේසුස් උගන්වපු යාච්ඤාවේ මුල්ම ඉල්ලීම් තුන දෙවිගේ අරමුණට කෙළින්ම සම්බන්ධයි. “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියන ඉල්ලීමට පස්සේ සඳහන් වෙන්නේ “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියන ඉල්ලීම් දෙකයි. (මතෙ. 6:10) ඒ ඉල්ලීම් දෙක ගැන අපි යාච්ඤා කරද්දී අපි ඇත්තටම දෙවිගෙන් ඉල්ලන්නේ ඒ දේවල් ඉටු කරන්න පියවර ගන්න කියලයි. ඒ හා සමානව දෙවිගේ නාමය ශුද්ධව පවතීවා කියලා අපි යාච්ඤා කරද්දීත් අපි ඇත්තටම දෙවිගෙන් ඉල්ලන්නේ ඒ වෙනුවෙන් පියවර ගන්න කියලයි. තව විදිහකින් කියනවා නම් අපි දෙවිගෙන් ඉල්ලන්නේ ඒදන් උයනෙන් පටන්ගත්ත කැරැල්ලේ ඉඳන් අද වෙන කල් දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න පියවර ගන්න කියලයි. අපි එහෙම යාච්ඤා කරද්දී යෙහෝවා දෙවි උත්තර දෙන්නේ කොහොමද? “ජාතීන් අතරේ . . . නින්දාවට පත් කළ මාගේ ශ්‍රේෂ්ඨ නාමය මම අනිවාර්යයෙන්ම ගෞරවයට පත් කරන්නෙමි” කියලා ඔහු කියනවා. (එස. 36:23; 38:23) යෙහෝවා දෙවි සියලුදෙනා ඉදිරියේ ඔහුගේ නමට සිද්ධ වෙලා තියෙන කැළැල සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ හර්–මගෙදොන් යුද්ධයේදී දුෂ්ටකම නැති කරන්න පියවර ගන්නකොටයි.

6. දෙවිගේ නම ගෞරවයට පත් කරන්න අපිට පුළුවන් කොහොමද?

6 දෙවිගේ නම කවදත් ශුද්ධ නිසා ඔහුගේ නම ශුද්ධ කරන්න අපි විශේෂයෙන් කිසිම දෙයක් කරන්න ඕනෙ නැහැ. හැබැයි අතීතයේ ඉඳලම තමන්ගේ නම ගෞරවයට පත් කරන්න යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට අවස්ථාව දීලා තියෙනවා. දෙවිගේ නම ගෞරවයට පත් කරන්නේ කොහොමද කියලා අපිට දැනගන්න යෙසායා මාර්ගයෙන් දෙවි කියලා තියෙන මේ දේ උදව් වෙනවා. “ශුද්ධ දෙවි කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න.” “ඔවුහු සියල්ලෝ එක්ව මගේ නාමය ගෞරවයට පත් කරති. . . . මාව ඔවුහු ශුද්ධ දෙවි කෙනෙකු ලෙස සලකමින් මට ගරුබිය දක්වති.” (යෙසා. 8:13; 29:23) ඒ බයිබල් පදවල පෙන්වන විදිහට දෙවිගේ නම ශුද්ධයි කියලා හැමදාමත් මතක තියාගන්න නම් අපි දෙවිගේ නම වෙන කිසිම නමකට වඩා උසස් විදිහට සලකන්න ඕනේ. ඒ නමෙන් අදහස් වෙන දේ හොඳින් තේරුම් අරන් ඒකට ගෞරව කරන්න ඕනේ. ඒ වගේම ඒ නම ශුද්ධයි කියලා තේරුම්ගන්න අනිත් අයට උදව් කරන්නත් ඕනේ. දෙවිගේ නමට ගරුබිය දක්වන්න අපිට පුළුවන් කොහොමද? ඒ දේ කරන්න අපිට පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවිව අපේ පාලකයා විදිහට පිළි අරගෙන කැමැත්තෙන්ම ඔහුට කීකරු වෙනවා නම් විතරයි.—හිතෝ. 3:1; එළි. 4:11.

දෙවිගේ නම දරන්නත් ඒ නම ගෞරවයට පත් කරන්නත් සෙනඟව සූදානම් කරයි

7, 8. (අ) දෙවිගේ නම දරන අය වෙන්න ඔහුගේ සේවකයන්ට යම් කාලයක් ගත වුණේ ඇයි? (ආ) දැන් අපි බලන්න යන්නේ මොනවා ගැනද?

7 1870 ගණන්වල ඉඳලා දෙවිගේ සේවකයන් දෙවිගේ නම ඔවුන්ගේ ප්‍රකාශනවල සඳහන් කළා. උදාහරණයකට 1879 අගෝස්තු ‘මුරටැඹ’ සඟරාවෙත් ඒ අවුරුද්දේදීම නිකුත් කරපු ගීතිකා පොතෙත් දෙවිගේ නම සඳහන් වුණා. කොහොමවුණත් ඒ වෙද්දී දෙවිගේ නම දැරීමේ වරප්‍රසාදය දෙවි ඒ අයට දීලා තිබුණේ නැහැ. ඒ ඇයි? මුලින්ම ඒ දේට ඔවුන්ව හොඳින් සූදානම් කරන්න ඕනෙ කියලා දෙවි තේරුම්ගත්තා. දෙවි ඔවුන්ව ඒ සඳහා සූදානම් කළේ කොහොමද?

8 1800 අගභාගයත් 1900 මුල්භාගයත් ගැන හිතද්දී යෙහෝවා දෙවි තමන්ගේ නම සම්බන්ධයෙන් වටිනා තොරතුරු ඔහුගේ සේවකයන්ට පැහැදිලි කරලා තියෙනවා කියලා තේරුම්ගන්න පුළුවන්. ඒවා අතරින් කාරණා 3ක් ගැන අපි බලමු.

9, 10. (අ) මුල් කාලෙදී ‘මුරටැඹ’ සඟරාවල යේසුස් ගැන වැඩියෙන් සඳහන් වුණේ ඇයි? (ආ) 1919 ඉඳන් සිද්ධ වුණේ මොන වෙනසද? ඒකේ ප්‍රතිඵල මොනවාද? (“‘මුරටැඹ’ සඟරාව දෙවිගේ නම ගෞරවයට පත් කරලා තියෙන විදිහ” යන කොටුවත් බලන්න.)

9 පළවෙනි කාරණය, දෙවිගේ නම මොන තරම් වැදගත්ද කියලා දෙවිගේ සෙනඟ තේරුම්ගත්තා. මුලදී ඔවුන් හිතුවේ බයිබලයේ සඳහන් වෙන වැදගත්ම ඉගැන්වීම යේසුස්ගේ ජීවිත පූජාව කියලයි. ඒ නිසා තමයි ඒ කාලයේදී ‘මුරටැඹ’ සඟරාවල වැඩිපුරම යේසුස් ගැන සඳහන් වුණේ. උදාහරණයකට ඒ සඟරාව නිකුත් කරපු මුල් අවුරුද්දේ යෙහෝවා දෙවිගේ නමට වඩා යේසුස්ගේ නම දහ ගුණයකින් සඳහන් වුණා. බයිබල් ශිෂ්‍යයන්, යේසුස්ට “අනවශ්‍ය අවධානයක්” දුන්නා කියලා 1976 මාර්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වෙලා තිබුණා. හැබැයි දෙවිගේ නමට බයිබලයේ කොයි තරම් වැදගත් තැනක් දීලා තියෙනවාද කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවි ඔවුන්ට උදව් කළාට පස්සේ තත්වය වෙනස් වුණා. කලින් සඳහන් කරපු ‘මුරටැඹ’ සඟරාවේ තිබුණු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “දෙවිගේ සෙනඟ මෙසියස්ගේ පියාණන් වන යෙහෝවා දෙවිට විශේෂ ගෞරවයක් දෙන්න පටන්ගත්තා.” විශේෂයෙන්ම 1919 ඉඳන් ඒ වෙනස පැහැදිලිවම පෙනුණා. උදාහරණයකට ඊළඟ අවුරුදු දහය පුරා ‘මුරටැඹ’ සඟරාවල දෙවිගේ නම 6,500කට වඩා වැඩියෙන් සඳහන් වුණා.

10 අපේ සහෝදරයන් දෙවිගේ නමට ගෞරවය පෙන්වපු එකෙන් පැහැදිලි වෙනවා ඒ අය දෙවිගේ නමට මොන තරම් ප්‍රේම කළාද කියලා. ඒ අයත් මෝසෙස් කළා වගේ “යෙහෝවා දෙවිගේ නාමය” ගැන අනිත් අයට ‘ප්‍රකාශ කරන්න පටන්ගත්තා.’ (ද්වි. 32:3; ගීතා. 34:3) ඒ විදිහට ඔවුන් දෙවිගේ නමට ප්‍රේමය පෙන්වපු නිසා පොරොන්දු වෙලා තියෙන විදිහටම යෙහෝවා දෙවි ඒ අයට තවත් ආශීර්වාද කළා.—ගීතා. 119:132; හෙබ්‍රෙ. 6:10.

11, 12. (අ) 1919න් පස්සේ අපේ ප්‍රකාශනවල වැඩි අවධානයක් දීලා තිබුණේ මොනවාටද? (ආ) දෙවි තම සේවකයන්ගේ අවධානය යොමු කළේ මොනවාටද? ඒ ඇයි?

11 දෙවෙනි කාරණය, දෙවි තමන්ට පවරලා තියෙන වගකීම ගැන සැබෑ ක්‍රිස්තියානීන් තේරුම්ගත්තා. 1919න් පස්සේ අභිෂේක ලත් සහෝදරයන් යෙසායා පොතට වැඩි අවධානයක් දුන්නා. ඒකෙන් පස්සේ අපේ ප්‍රකාශනවල වැඩිපුරම කාවැද්දුවේ දේශනා සේවයේ තියෙන වැදගත්කම ගැනයි. ඇත්තටම ඒක “නියම වේලාවට” ලැබුණු ආහාරයක් කියලා කියන්න පුළුවන්. (මතෙ. 24:45) ඒ ඇයි?

12 යෙහෝවා දෙවි කියපු මේ දේ යෙසායා පොතේ සඳහන් වෙලා තියෙනවා. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය. මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි.” (යෙසායා 43:10-12 කියවන්න.) යෙසායා කිව්ව ඒ දේ ගැන 1919ට කලින් ‘මුරටැඹ’ සඟරාවල කිසිම තොරතුරක් සාකච්ඡා කරලා තිබුණේ නැහැ. හැබැයි 1919න් පස්සේ අපේ ප්‍රකාශනවල ඒ අදහසට වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා. 1925ත් 1931ත් අතර කාලයේදී විතරක් ‘මුරටැඹ’ සඟරා 57ක යෙසායා 43වෙනි පරිච්ඡේදය සාකච්ඡා කරලා තිබුණා. ඒ හැම සඟරාවකම යෙහෝවා දෙවි පවරලා තියෙන වගකීම ඉටු කරන්න කියලා අභිෂේක ලත් අයව දිරිගන්වලා තිබුණා. ඒ වගකීම තමයි දෙවි ගැන සාක්ෂි දරන එක. ඒ කාලෙදී දෙවි ඒ වගකීමට මූලික අවධානයක් දෙන්න ඔවුන්ව පෙලඹෙව්වා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. දෙවි එහෙම කළේ “මුලින්ම ඔවුන් සුදුස්සන්ද කියලා සෝදිසි කර” බලන්නයි. (1 තිමෝ. 3:10) දෙවි ගැන සාක්ෂි දරන්න ඔවුන් සූදානමින් ඉන්නවා කියලා ඔවුන්ගේ ක්‍රියාවලින් පෙනෙන්න තිබුණේ නැත්නම් දෙවිගේ නම දැරීමේ වරප්‍රසාදය ලබන්න ඒ අය සුදුසු වෙන්නේ නැහැ.—ලූක් 24:47, 48.

දෙවිගේ නමේ අර්ථය

දෙවිගේ නම ලියන්න යොදාගත් හෙබ්‍රෙව් අක්ෂර හතර

යෙහෝවා කියන නම හැදිලා තියෙන්නේ හෙබ්‍රෙව් ක්‍රියා පදයකින්. ඒ ක්‍රියා පදයෙන් අදහස් වෙනවා දෙවිට තමන්ගේ අරමුණ ඉටු කරන්න ඕනෙම දෙයක් සිදු කරන්න පුළුවන් කියලා. හැම දෙයකම නිර්මාතෘ ඔහු නිසා ඔහුට ඒ නම හොඳින්ම ගැළපෙනවා. දෙවි මේ මුළු විශ්වයත් බුද්ධිමත් ජීවීන්වත් නිර්මාණය කළා. ඒ වගේම ඔහු දිගටම තම අරමුණ ඉටු කරන්තත් ක්‍රියාශීලීව කටයුතු කරනවා.

ඒක තවත් ටිකක් තේරුම්ගන්න නික්මයාම 3:13, 14 සඳහන් වෙලා තියෙන දේ බලමු. මෝසෙස් යෙහෝවා දෙවිගෙන් මෙහෙම ඇහුවා. “මම ඊශ්‍රායෙල් පුත්‍රයන් ළඟට ගොස්, ‘මාව ඔබ ළඟට එව්වේ ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි’ කියා ඔවුන්ට කියූ විට, ‘ඔහුගේ නම කුමක්ද’ කියා ඔවුන් මගෙන් ඇසුවොත් මම ඔවුන්ට මොනවාද කියන්නේ?” යෙහෝවා දෙවි ඒකට උත්තර දුන්නේ මෙහෙමයි. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.”

ඇත්තටම මෝසෙස් ඒ වෙලාවේදී දෙවිගෙන් ඇහුවේ ඔහුගේ නම මොකක්ද කියලා නෙවෙයි. මොකද ඒ වෙද්දී මෝසෙස් වගේම ඊශ්‍රායෙල් සෙනඟත් දෙවිගේ නම දැනගෙන හිටියා. ඔහුට දෙවිගෙන් දැනගන්න ඕනෙ වුණේ දෙවි මොන වගේ කෙනෙක්ද කියලයි. තව විදිහකින් කියනවා නම් දෙවිව විශ්වාස කරන්න පදනමක් දෙවිගෙන්ම දැනගන්නයි ඔහුට වුවමනා වුණේ. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි” කියලා යෙහෝවා දෙවි කිව්වේ ඒ නිසයි. ඒකෙන් තේරෙනවා දෙවිට තමන්ගේ අරමුණ ඉටු කරන්න ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. උදාහරණයකට දෙවි ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් විවිධ අවස්ථාවලදී මිදුම්කරුවෙක්, නීතිදායකයෙක් සහ සපයන්නෙක් විදිහටත් කටයුතු කළා. හැබැයි දෙවිගේ නමේ අර්ථය දිහා බලද්දී ඒකෙන් අදහස් වෙන්නේ තම අරමුණ ඉටු කරන්න දෙවිම ඒ ඒ තත්වයට අනුව හැඩගැහෙනවා කියන එක විතරක් නෙවෙයි. තමන්ගේ අරමුණ ඉටු කරන්න යෙහෝවා දෙවිට තමන්ගේ නිර්මාණ වුණත් යොදාගන්න පුළුවන් කියන අදහසත් ඔහුගේ නමේ අර්ථයට ඇතුළත් වෙනවා.c

c ‘දේවවචනය අධ්‍යයනයට’ පොතේ 1වෙනි කොටස බලන්න. (සංශෝධිත ඉංග්‍රීසි New World Translation බයිබලයේ A4 උපග්‍රන්ථය.)

‘මුරටැඹ’ සඟරාව දෙවිගේ නම ගෞරවයට පත් කරලා තියෙන විදිහ

අවුරුදු ගණනාවක්ම ‘මුරටැඹ’ සඟරාවේ මුල්ම පිටුවේ යෙහෝවා දෙවිගේ නම සඳහන් කරලා තිබුණා. කාලයත් එක්කම ‘මුරටැඹ’සඟරාවේ මුල් පිටුවේ කරලා තියෙන වෙනස්කම් කිහිපයක් බලන්න.

  • 1879 ජූලි මුරටැඹ සඟරාවේ කවරය

    1879 ජූලි

    මේ සඟරාවේ මුල ඉඳලම දෙවිගේ නම සඳහන් වුණා. උදාහරණයකට දෙවෙනි කලාපයේ සඳහන් වුණා “අපි විශ්වාස කරන විදිහට මේ සඟරාවට අනුග්‍රහය දක්වන්නේ යෙහෝවා දෙවියි” කියලා.

  • 1931 ඔක්තෝබර් 15

    යෙහෝවා දෙවිගේ නම සහ යෙසායා 43:12 බයිබල් පදයත් මුල් පිටුවට ඇතුළත් වුණා.

  • 1939 ජනවාරි 1

    යෙසායා 43:12 සහ එසකියෙල් 35:15 බයිබල් පද දෙකත් එක්ක දෙවිගේ නම මුල් පිටුවේ තැන් දෙකක සඳහන් වුණා.

  • 1939 මාර්තු 1 මුරටැඹ සඟරාවේ කවරය

    1939 මාර්තු 1

    දෙවිගේ නම මුල්ම පිටුවේ තැන් තුනක සඳහන් වුණා. ඒ කලාපයේ ඉඳලා සඟරාවේ නමටත් දෙවිගේ නම ඇතුළත් වුණා.

1920 අගභාගයේ ඉඳන් අවුරුදු 20ක් යන කල්ම ‘මුරටැඹ’ සඟරාවේ හැම කලාපයකම මුල් ලිපියේ පළවෙනි ඡේදයේම “යෙහෝවා” දෙවිගේ නම සඳහන් වුණා. ඒකෙන් දෙවිගේ සෙනඟට මතක් කළේ දෙවිගේ නම ගෞරවයට පත් කරන එක කොයි තරම් වැදගත්ද කියලයි.

13. බයිබලයේ තියෙන තොරතුරුවලින් වඩාත්ම වැදගත් කාරණය මොකක්ද කියලා පැහැදිලි කරන්න.

13 තුන්වෙනි කාරණය, දෙවිගේ නම ශුද්ධව තියෙන එක මොන තරම් වැදගත්ද කියලා දෙවිගේ සෙනඟ තේරුම්ගත්තා. 1920 ගණන්වලදී ඒ අයට අවබෝධ වුණා දෙවිගේ නමට වෙලා තියෙන කැළැල නැති කරන එක තමයි වැදගත්ම කාරණය කියලා. ඒක මොන තරම් වැදගත්ද කියලා බයිබලයේ සඳහන් වෙන තොරතුරුවලිනුත් ඔප්පු වෙනවා. උදාහරණ දෙකක් බලන්න. යෙහෝවා දෙවි ඊජිප්තුවේ වහල්භාවයේ හිටිය ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගත්තේ ඇයි? එහෙම කළේ “මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසයි” කියලා දෙවිම කිව්වා. (නික්. 9:16) ඊශ්‍රායෙල්වරු දෙවිට විරුද්ධව කැරලිගැහුවත් දෙවි ඒ අයව විනාශ කළේ නැත්තේ ඇයි? ඒ ගැන දෙවි මෙහෙම කිව්වා. “ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.” (එස. 20:8-10) ඒ වගේ බයිබල් වාර්තාවලින් බයිබල් ශිෂ්‍යයන් ඉගෙනගත්තේ මොනවාද?

14. (අ) 1920 අගභාගය වෙද්දී දෙවිගේ සෙනඟ තේරුම්ගත්තේ මොනවාද? (ආ) වඩාත් වැදගත්ම කාරණය ගැන බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තාම ඒක ඔවුන්ගේ දේශනා සේවයට බලපෑවේ කොහොමද? (“දේශනා සේවයේ යන්න ප්‍රබල හේතුවක්” යන කොටුවත් බලන්න.)

14 “ඔබේ සෙනඟට ඔබ මඟ පෙන්වූයේ ඔබේ නාමය තේජසට පත් වන පිණිසය” කියලා යෙසායා, යෙහෝවා දෙවි ගැන කියලා තිබුණා. එදා ඉඳන් අවුරුදු 2,700කට පස්සේ ඒ කියන්නේ 1920 අගභාගයේදී හිටිය බයිබල් ශිෂ්‍යයන් යෙසායා කියපු ඒ දේ කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගත්තා. (යෙසා. 63:14) ඒ කියන්නේ වඩාත් වැදගත් වෙන්නේ දෙවිගේ නම ශුද්ධව තියෙන එක මිසක් තමන්ගේ ගැලවීම නෙවෙයි කියලා ඒ අය තේරුම්ගත්තා. (යෙසා. 37:20; එස. 38:23) 1929 නිකුත් කරපු ‘අනාවැකි’a කියන පොතේ “දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන එක තරම් වැදගත් දෙයක් තවත් නැහැ” කියලා සඳහන් වුණා. ඒ කාරණය හරියටම අවබෝධ කරගත්තාට පස්සේ දෙවි ගැන තවත් වැඩියෙන් සාක්ෂි දරන්නත් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්නත් බයිබල් ශිෂ්‍යයන් පෙලඹුණා.

15. (අ) 1930 ගණන්වලදී අපේ සහෝදරයන් තේරුම් අරන් හිටියේ මොනවාද? (ආ) ඔවුන්ට ලැබුණු වරප්‍රසාදය මොකක්ද?

15 දෙවිගේ නම මොන තරම් වැදගත්ද, දෙවි තමන්ට පවරලා තියෙන වගකීම මොකක්ද සහ දෙවිගේ නමට වෙලා තියෙන කැළැල නැති කරන එක මොන තරම් වැදගත්ද කියලා 1930 වෙද්දී දෙවිගේ සෙනඟ තේරුම් අරන් හිටියා. ඒ නිසා දෙවි තම නම දැරීමේ වරප්‍රසාදය ඔවුන්ට දුන්නා. ඒ දේ සිද්ධ වුණේ කොහොමද කියලා අපි දැන් බලමු.

දේශනා සේවයේ යන්න ප්‍රබල හේතුවක්

හෙලන් බෝර්චර්ට්

හෙලන් බෝර්චර්ට්

දෙවිගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන එක කොයි තරම් වැදගත්ද කියලා බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තාම ඒක ඒ අයගේ සේවයට බලපෑවේ කොහොමද? 1930 පළ වුණු ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම සඳහන් වුණා. “ක්‍රිස්තියානියෙක් ඒ කාරණය [දෙවිගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන එකේ වැදගත්කම] තේරුම්ගත්තාම දෙවිගේ නම ගැනත් ඔහුගේ වචනය ගැනත් සාක්ෂි දරන එක ලොකු වරප්‍රසාදයක් විදිහට සලකනවා.” ඇත්තටම අපේ සහෝදර සහෝදරියන් කළේ ඒ දේ තමයි. දෙවිගේ නමට සිද්ධ වෙලා තියෙන කැළැල ඉවත් කරන එක කොයි තරම් වැදගත්ද කියලා ඒ අය තේරුම්ගත්තාට පස්සේ හරිම උනන්දුවකින් දේශනා සේවයේ යන්න ඒ අය පෙලඹුණා. (ගීතා. 8:1) උදාහරණයකට අභිෂේක ලත් සහෝදරියක් වුණු හෙලන් බෝර්චර්ට්ගේ අද්දැකීම බලන්න. 1930 අප්‍රියෙල් 1වෙනිදා පුරෝගාමි සේවය පටන්ගත්ත හෙලන් 2003 ජූලි මාසයේ මිය යන කල්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළා. ඒ වෙද්දී එයාට වයස අවුරුදු 96යි. දශක ගණනාවක් තිස්සේ දෙවිට සේවය කරන්න හෙලන්ට පුළුවන් වුණේ කොහොමද? හෙලන්ම කියපු මේ දෙයින් ඒ දේ පැහැදිලි වෙනවා. “එදා ඉඳලා මේ මොහොත වෙන කල්ම මම උත්සාහ කරන්නේ දෙවිගේ නමට සහ ඔහුගේ වචනයට වෙලා තියෙන කැළැල ඉවත් කරන්න මට පුළුවන් උපරිමයෙන් සහාය වෙන්නයි.” දේශනා සේවයේ හවුල් වෙන්න අපිටත් ඒක ප්‍රබල හේතුවක් නෙවෙයිද?

දෙවි “තම නාමය දැරීමට සෙනඟක්” තෝරාගනියි

16. (අ) තමන්ගේ නම ගෞරවයට පත් කරන්න දෙවි කරලා තියෙන විශේෂ දේ මොකක්ද? (ආ) දෙවිගේ නම දරන සෙනඟ විදිහට මුලින්ම ක්‍රියා කළේ කවුද?

16 තමන්ගේ නම ගෞරවයට පත් කරන්න යෙහෝවා දෙවි අතීතයේ ඉඳලම විශේෂ දෙයක් කරලා තියෙනවා. ඒ තමයි තමන්ගේ නම දරන්න සෙනඟක්ව තෝරගන්න එක. ක්‍රි.පූ. 1513දී ඔහු ඊශ්‍රායෙල් සෙනඟව තමන්ගේ සෙනඟ විදිහට තෝරාගත්තා. (යෙසා. 43:12) ඒත් ඒ අය දෙවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුමට එකඟව ජීවත් වුණේ නැති නිසා ක්‍රි.ව. 33දී ඒ අය වෙනුවට දෙවි “වෙනත් ජාතීන්වල මිනිසුන්ව” තෝරාගත්තා. දෙවි එහෙම කළේ “තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.” (ක්‍රියා 15:14) දෙවි ඒ විදිහට විවිධ ජාතීන්ගෙන් තෝරාගත්ත අභිෂේක ලත් ඒ සෙනඟව “දෙවිගේ ඊශ්‍රායෙලය” කියලා හැඳින්නුවා.—ගලා. 6:16.

17. සාතන් කළේ මොනවාද?

17 “දෙවිගේ මඟ පෙන්වීමට එකඟව” ක්‍රිස්තුස්ගේ ගෝලයන්ව ක්‍රි.ව. 44 ඉඳන් “ක්‍රිස්තියානීන්” විදිහට හඳුන්වන්න පටන්ගත්තා. (ක්‍රියා 11:26) ඒ කාලෙදී ක්‍රිස්තියානීන් විදිහට හැඳින්නුවේ යේසුස්ගේ අනුගාමිකයන්ව විතරක් නිසා ඒ නම අද්විතීය වුණා. (1 පේතෘ. 4:16) කොහොමවුණත් තිරිඟු සහ කිරිඳි උපමාවෙන් යේසුස් පැහැදිලි කරපු විදිහට සාතන් සැබෑ ක්‍රිස්තියානීන් අතරේ ක්‍රිස්තියානි කියලා කියාගන්න අයව බිහි වෙන්න සැලැස්සුවා. ඒ නිසා සියවස් ගණනාවක් යන කල්ම සැබෑ ක්‍රිස්තියානීන්ව පැහැදිලිව හඳුනාගන්න ලැබුණේ නැහැ. හැබැයි 1914දී අස්වැන්න “කපන කාලය” පටන්ගත්තාට පස්සේ පැහැදිලි වෙනසක් වුණා. දේවදූතයන් සැබෑ ක්‍රිස්තියානීන් අතරේ හිටිය ක්‍රිස්තියානි කියලා කියාගන්න අයව වෙන් කරන්න පටන්ගත්තා. ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන්ව පැහැදිලිවම හඳුනාගන්න පුළුවන් වුණා.—මතෙ. 13:30, 39-41.

18. තමන්ව හඳුන්වන්න අලුත් නමක් ඕනෙ කියලා දෙවිගේ සෙනඟ තේරුම්ගත්තේ ඇයි?

18 1919දී විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව පත් කළාට පස්සේ තමන්ට පැවරිලා තියෙන වගකීම මොකක්ද කියලා තේරුම්ගන්න දෙවි ඔහුගේ සේවකයන්ට උදව් කළා. ප්‍රතිඵලයක් විදිහට ක්‍රිස්තියානි කියලා කියාගන්න අයගෙන් සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්නත් දේශනා සේවය මොන තරම් වැදගත්ද කියලා තේරුම්ගන්නත් ඒ අයට පුළුවන් වුණා. ඒ වගේම “බයිබල් ශිෂ්‍යයන්” කියන නමින් තමන්ව හඳුන්වන එක ඔවුන්ට පැවරිලා තියෙන වගකීමට ගැළපෙන්නේ නැහැ කියලත් ඔවුන් තේරුම්ගත්තා. මොකද ඔවුන්ගේ ජීවිතයේ මූලිකම දේ බයිබලය ගැන අධ්‍යයනය කරන එක විතරක් නෙවෙයි. ඒ අයගේ මූලිකම වගකීම වුණේ දෙවි ගැන සාක්ෂි දරලා ඔහුගේ නම ගෞරවයට පත් කරන එකයි. එහෙමනම් ඒ අයව හඳුන්වන්න පුළුවන් සුදුසුම නම මොකක්ද?

1931දී බයිබල් ශිෂ්‍යයන් එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ කොලොම්බස්වල පවත්වපු සමුළුවේ වැඩසටහන් පත්‍රිකාව

1931දී පවත්වපු සමුළුවේ වැඩසටහන් පත්‍රිකාව

19, 20. (අ) 1931දී පවත්වපු සමුළුවකදී දැනුම් දුන්නේ මොනවාද? (ආ) ඒ ගැන අපේ සහෝදරයන්ට හැඟුණේ කොහොමද?

19 1931 ජූලි මාසයේදී බයිබල් ශිෂ්‍යයන් 15,000ක් විතර ඇමරිකා එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ කොලොම්බස්වල පවත්වපු සමුළුවකට සහභාගි වුණා. සමුළු වැඩසටහන් පත්‍රිකාවේ “JW” කියන අකුරු දෙක සඳහන් වෙලා තිබුණා. ඒකෙන් අදහස් වෙන්නේ මොනවාද කියලා හැමෝම කල්පනා කළා. සමහර අය ඒ අකුරුවලින් කියවෙන දේ ගැන එක එක අදහස් කිව්වා. (‘Just Watch,’ ‘Just Wait’) ඒත් ජූලි 26වෙනිදා විශේෂ දේශනය දීපු සහෝදර ජෝසෆ් රදෆර්ඩ් කිව්ව දෙයින් හැමෝටම තේරුණා “JW” කියන අකුරු දෙකෙන් අදහස් වෙන්නේ මොනවාද කියලා. ඔහු කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් (Jehovah’s Witnesses) විදිහට අපිව හඳුන්වා දෙන්නත්, අනිත් අය අපිව ඒ නමින් හඳුන්වනවාටත් අපි කැමතියි.” එදා ඉඳන් තමයි යෙසායා 43:10 පදනම් කරගෙන අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට හඳුන්වන්න පටන්ගත්තේ.

20 සහෝදර රදෆර්ඩ් ඒ ගැන නිවේදනය කළාම ඇවිත් හිටිය අය කොයි තරම් සතුටු වුණාද කියනවා නම් ඒ අය එක දිගටම අත්පුඩි ගැහුවා. ඒ සමුළුව ගුවන්විදුලියෙන් විකාශනය කරපු නිසා එතන හිටිය අය මොන තරම් සතුටු වුණාද කියලා වෙන රටවල හිටිය අයටත් දැනුණා. ඔස්ට්‍රේලියාවේ හිටිය අර්නස්ට් සහ නෙයෝමි බාබර් ඒ ගැන කිව්ව දේ බලන්න. “ඇමරිකාවේ ඉන්න අපේ සහෝදරයන් අත්පුඩි ගහනවා ඇහුණාම මෙල්බර්න්වල හිටිය සහෝදරයනුත් උඩ පැනපැන අත්පුඩි ගැහුවා. ඒ දවස නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”b

දෙවිගේ නම ලොව පුරා ගෞරවයට පත් වෙයි

21. අලුත් නමකින් දෙවිගේ සෙනඟව හඳුන්වපු එක ඔවුන්ගේ දේශනා සේවයට බලපෑවේ කොහොමද?

21 දෙවිගේ සේවකයන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට හඳුන්වන්න පටන්ගත්තාට පස්සේ ඒ අය වෙනදාට වඩා වැඩියෙන් දේශනා සේවයේ හවුල් වුණා. කලින් සඳහන් කරපු සමුළුවට සහභාගි වුණු එක්සත් ජනපදයේ ඉන්න පුරෝගාමි යුවළක් වන එඩ්වඩ් සහ ජෙසී ග්‍රිම්ස් මෙහෙම කිව්වා. “අපි සමුළුවට ගියේ බයිබල් ශිෂ්‍යයන් විදිහට වුණත් සමුළුව ඉවර වෙලා අපි ආවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට. දැන් අපිව දෙවිගේ නමින්ම හඳුන්වන එකෙන් දෙවිව ගෞරවයට පත් කරන්න පුළුවන් වෙලා තියෙන නිසා අපිට දැනෙන්නේ පුදුම සතුටක්.” ඒ සමුළුවෙන් පස්සේ තමයි අපේ සහෝදරයන් තමන් ගැන තොරතුරු තියෙන කාඩ් එකක් මුල්ම වතාවට සේවයේ මුණගැහෙන අයට දෙන්න පටන්ගත්තේ. ඒකේ මෙහෙම සඳහන් වුණා. “මම යෙහෝවා දෙවිගේ රාජ්‍යය ගැන සාක්ෂි දරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්.” ඇත්තෙන්ම දෙවිගේ සෙනඟ ඔහුගේ නම දරන්න ලැබුණු එක ගැන හුඟක් සතුටු වුණා. ඒ වගේම දෙවිගේ නමේ තියෙන වැදගත්කම ගැන අනිත් අයට කියලා දෙන්නත් ඔවුන් හැම මොහොතකම සූදානමින් හිටියා.—යෙසා. 12:4.

“අපි සමුළුවට ගියේ බයිබල් ශිෂ්‍යයන් විදිහට වුණත් සමුළුව ඉවර වෙලා අපි ආවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට”

22. අනිත් හැමෝටම වඩා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනස් කියලා කියන්න පුළුවන් ඇයි?

22 දෙවිගේ නමින්ම ඔහුගේ සේවකයන්ව හඳුන්වන්න පටන් අරන් දැන් සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. එදා ඉඳන් අද වෙන කල් දෙවිගේ සේවකයන් කවුද කියන එක අනිත් අයගෙන් හංගන්න සාතන්ට පුළුවන් වෙලා තියෙනවාද? එහෙමත් නැත්නම් දෙවිගේ සෙනඟ සහ අනිත් ආගම් අතර කිසිම වෙනසක් නැහැ කියලා හිතන්න මිනිසුන්ව පොලඹවන්න සාතන්ට පුළුවන් වෙලා තියෙනවාද? නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහ අනිත් ආගම් අතර මොන තරම් වෙනසක් තියෙනවාද කියලා අද පැහැදිලිවම පෙනෙනවා. (මීකා 4:5; මලාකි 3:18 කියවන්න.) අපිට දෙවිගේ නමත් එක්ක කොයි තරම් කිට්ටු බැඳීමක් තියෙනවාද කියනවා නම් කවුරු හරි කෙනෙක් දෙවිගේ නම කිව්වොත් මිනිසුන් හිතන්නේ ඒ කෙනා සාක්ෂිකරුවෙක් කියලයි. අද ලොව පුරාම අසත්‍යය උගන්වන ආගම් කඳුයායක් වගේ පැතිරිලා තිබුණත් සත්‍ය නමස්කාරය ඒ ‘සියලුම කඳුවලට වඩා ඉහළින්’ පිහිටුවලා තියෙනවා. (යෙසා. 2:2) මේ වෙද්දී යෙහෝවා යන නමත් ඔහුට කරන නමස්කාරයත් ගෞරවයට පත් වෙලා තියෙනවා.

23. ගීතාවලිය 121:5 සඳහන් විදිහට යෙහෝවා දෙවි ගැන අපිට නිසැක වෙන්න පුළුවන් මොනවාද?

23 දැනුත් අනාගතයේදීත් යෙහෝවා දෙවි සාතන්ගේ ප්‍රහාරවලින් අපිව ආරක්ෂා කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්. (ගීතා. 121:5) ගීතිකාකරු කියපු මේ දේ කියන්න අපිටත් හොඳ හේතු තියෙනවා. “යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්ය.”—ගීතා. 33:12.

a ඉංග්‍රීසියෙන්

b ගුවන්විදුලිය අපේ සේවයට ප්‍රයෝජනවත් වුණු විදිහ ගැන විස්තර දැනගන්න 7වෙනි පරිච්ඡේදයේ 72-74 පිටු බලන්න

දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?

  • දෙවිගේ රාජ්‍යයෙන් දෙවිගේ නම ගෞරවයට පත් කරලා තියෙන්නේ කොහොමද?

  • දෙවිගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්න ඔබ කරන්නේ මොනවාද?

  • දෙවිගේ නම දරන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන ඔබ සතුටු වෙන්නෙත් ඒ නමේ තියෙන වැදගත්කම ගැන අනිත් අයට කියන්න ඔබ ආශාවෙන් ඉන්නෙත් ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න