ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 119 පරි. 274 පි.-275 පි. 6 ¶
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යොහන් 14:6 - “මාර්ගයද සැබෑවද ජීවනයද මමය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • ‘මාර්ගය, සත්‍යය හා ජීවනය’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
  • පියාණන් ගැන එළිදරව් කරන්න පුත්‍රයා කැමතියි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 119 පරි. 274 පි.-275 පි. 6 ¶
යේසුස් නියෝජිතයන් 11දෙනා සමඟ උඩුමහල් කාමරයේ

119වෙනි පරිච්ඡේදය

මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්

යොහන් 14:1-31

  • යේසුස් යන්නේ ස්ථානයක් සූදානම් කරන්නයි

  • උපකාරයට යමක් එවන්න ඔහු පොරොන්දු වෙයි

  • පියාණන් යේසුස්ට වඩා උතුම්

තමන්ගේ මරණය සිහි කරන විදිහ කියලා දීපු යේසුස් තවමත් ඉන්නේ උඩුමහල් කාමරයේ. නියෝජිතයන්ව දිරිගන්වමින් ඔහු මෙහෙම කියනවා. “ඔබේ සිත් කලබල කරගන්න එපා. දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. මා කෙරෙහිත් විශ්වාසය තබන්න.”—යොහන් 13:36; 14:1.

තමන් වෙන් වෙලා ගියත් ඔවුන් බය වෙන්න ඕනෙ නැහැ කියලා යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. ‘මගේ පියාණන්ගේ ගෘහයෙහි වාසය සඳහා බොහෝ ස්ථාන තිබෙනවා. මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කරනවා නම් මම නැවත එන බව මතක තබාගන්න. එවිට මම ඇවිත් ඔබව මගේ නිවසට පිළිගන්නවා. ඒ අනුව මා සිටින තැන ඔබටත් සිටිය හැකියි.’ ඒ දේ නියෝජිතයන්ට තේරෙන්නේ නැහැ. “ස්වාමීනි, ඔබ යන්නේ කොහේද කියා අපි දන්නේ නැහැ. අපි කොහොමද ඒ මාර්ගය දන්නේ” කියලා තෝමස් අහන්නේ ඒ නිසයි.—යොහන් 14:2-5.

පිළිතුරු දෙන යේසුස් “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියලා කියනවා. කෙනෙක්ට පියාණන්ගේ ගෘහයට යන්න ලැබෙන්නේ යේසුස් උගන්වන දේවල් පිළිපදිමින් ඔහුව ආදර්ශයට ගන්නවා නම් විතරයි. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියලා යේසුස් කියන්නේ ඒ නිසයි.—යොහන් 14:6.

යේසුස්ට උනන්දුවෙන් සවන් දෙමින් ඉන්න ෆිලිප් “ස්වාමීනි, අපට පියාණන්ව පෙන්නන්න. අපට ඒ ඇති” කියලා කියනවා. ඔහු ආසාවෙන් ඉන්නේ මෝසෙස්, එලියා සහ යෙසායා වගේ දෙවියන්ව දර්ශනයකින් දැකගන්න වෙන්න ඇති. ඒත් ඊටත් වඩා වටිනා දෙයක් නියෝජිතයන්ට ලැබිලයි තියෙන්නේ. ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “ෆිලිප්, මම මෙතරම් කලක් ඔබ සියල්ලන් සමඟ කාලය ගත කර තිබියදීත් ඔබ මාව හඳුනන්නේ නැද්ද? මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.” යේසුස් පියාණන්ව ඒ විදිහටම අනුකරණය කරන නිසා යේසුස්ව දකින එක හරියට පියාණන්ව දකිනවා වගෙයි. ඒත් පියාණන් ඔහුට වඩා උතුම්. ඒ නිසයි “මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි” කියලා යේසුස් කියන්නේ. (යොහන් 14:8-10) යේසුස් දක්ෂ විදිහට ඉගැන්නුවත් ඒ ගෞරවය ඔහු දෙන්නේ පියාණන්ට කියලා නියෝජිතයන්ට පැහැදිලියි.

යේසුස් කරපු බලවත් ක්‍රියාවන් වගේම ඔහු ශුභාරංචිය දේශනා කරපු විදිහ නියෝජිතයන් දැකලා තිබුණා. දැන් යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. ‘මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාත් මා කරන ක්‍රියා කරයි. ඇත්තෙන්ම දැන් මම පියාණන් ළඟට යන නිසා ඒ තැනැත්තා මීටත් වඩා මහත් ක්‍රියා කරයි.’ (යොහන් 14:12) ඒකෙන් යේසුස් අදහස් කළේ ඔවුන් තමන් කළාට වඩා බලවත් ක්‍රියාවන් කරයි කියලා නෙවෙයි. ඒ වෙනුවට තමන්ට වඩා වැඩි කාලයක් පුරා, වැඩි ප්‍රදේශ ගණනක සහ වැඩි පිරිසකට ශුභාරංචිය කියනවා කියලයි.

යේසුස් ගියත් ඔහු නියෝජිතයන්ව තනි කරන්නේ නැහැ. “ඔබ ඕනෑම දෙයක් මගේ නාමයෙන් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා” කියලා ඔහු පොරොන්දු වෙනවා. තවදුරටත් ඔහු කියන්නේ මෙහෙමයි. “මම පියාණන්ගෙන් තවත් ඉල්ලීමක් කරනවා. එවිට ඔබේ උපකාරයට ඔහු යමක් එවයි. ඒ දේ ඔබට සැමදා උපකාරයක් වෙයි. එය නම් සත්‍යය එළිදරව් කරන ඔහුගේ බලයයි.” (යොහන් 14:14, 16, 17) පොරොන්දු වුණු විදිහටම පෙන්තකොස්ත දවසේදී ඒ බලය ලැබෙනවා.

යේසුස් ඊළඟට මෙහෙම කියනවා. “තව ටික දවසකින් පසු ලෝකය මාව තවත් දකින්නේ නැහැ. නමුත් ඔබ මාව දකිනවා. මන්ද මම ජීවමාන කෙනෙක්. ඒ නිසා ඔබත් දිගටම ජීවත් වෙයි.” (යොහන් 14:19) යේසුස්ව නැවත නැඟිටෙව්වාට පස්සේ ඔවුන්ට ඔහුව දකින්න ලැබෙනවා විතරක් නෙවෙයි නියමිත කාලය ආවාම ඔහු ඔවුන්ව ස්වර්ගයට ගන්නවා.

යේසුස් දැන් මේ වැදගත් කාරණය කියනවා. “කෙනෙක් මම ආඥා කරන දේවල් පිළිගෙන ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඒ තැනැත්තායි. ඒ වගේම මට ප්‍රේම කරන තැනැත්තාට මගේ පියාණන් ප්‍රේම කරන අතර මමත් ඔහුට ප්‍රේම කරනවා. ඒ විතරක් නොවෙයි, මම කවුද කියා ඔහුට පැහැදිලිවම පෙන්වා දෙනවා.” එතකොට තදියස් විදිහටත් හඳුන්වන යූදස් “ස්වාමීනි, ඔබ ලෝකයට එළිදරව් වෙන්නේ නැතුව අපට පමණක් එළිදරව් වෙනවා කියා පවසන්නේ මොන හේතුවක් නිසාද” කියලා අහනවා. යේසුස් කියන්නේ මෙහෙමයි. ‘කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා. මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරනවා. මට ප්‍රේම නොකරන තැනැත්තා මා පවසන දේ පිළිපදින්නේ නැහැ.’ (යොහන් 14:21-24) මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස් කියලා ඔහුගේ අනුගාමිකයන් පිළිගත්තත් අනිත් මිනිසුන් පිළිගන්නේ නැහැ.

යේසුස් ගියාට පස්සේ ඔහු උගන්වපු දේවල් ගෝලයන් මතකයට නඟාගන්නේ කොහොමද? ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.” දෙවිගේ බලය මොන තරම් ප්‍රබලද කියලා නියෝජිතයන් දැකලා තියෙන නිසා යේසුස් කියපු ඒ දේ ඔවුන්ට ලොකු දිරිගැන්වීමක්. යේසුස් මෙහෙමත් කියනවා. “මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා. මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.” (යොහන් 14:26, 27) පියාණන්ගේ මඟ පෙන්වීමත් රැකවරණයත් ලැබෙන නිසා ගෝලයන්ට කනස්සලු වෙන්න කිසිම හේතුවක් නැහැ.

යේසුස් දැන් මෙහෙම කියනවා. “ලෝකයේ පාලකයා එනවා. නමුත් මාව යටත් කරගන්න ඔහුට කිසි බලයක් නැහැ.” (යොහන් 14:30) යක්ෂයාට පුළුවන් වුණා යූදස්ව යටත් කරගන්න. ඒත් යේසුස්ට වැරදි ආශාවන් නැති නිසා ඔහු ලවා දෙවියන්ට විරුද්ධ දෙයක් කරවගන්න යක්ෂයාට බැහැ. ඒ වගේම ඔහුව මරණින් පරාජය කරන්නත් යක්ෂයාට බැහැ. ඒ ඇයි? තමන් කරන්නේ ‘පියාණන් අණ කර ඇති දේවල්’ නිසා මිය ගියත් පියාණන් තමාව නැවත නැඟිටුවනවා කියලා යේසුස් දන්නවා.—යොහන් 14:31.

  • යේසුස් යන්නේ කොහෙටද? එහෙට යන මාර්ගය ගැන ඔහු තෝමස්ට කිව්වේ මොනවාද?

  • ෆිලිප් ආසාවෙන් ඉන්න ඇත්තේ මොනවාටද?

  • යේසුස්ගේ අනුගාමිකයන් ඔහුට වඩා මහත් ක්‍රියා කරන්නේ කොහොමද?

  • පියාණන් යේසුස්ට වඩා උතුම් කියන එක සහනයක් වෙන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න