9වෙනි පාඩම
පුතෙක් ලැබිලා!
ආබ්‍රහම් සාරා එක්ක විවාහ වෙලා දැන් කාලයක් ගිහින්. ඌර්වල තිබුණු සැපපහසු ගෙදර අත්හැරලා ඇවිත් දැන් එයාලා ජීවත් වෙන්නේ කූඩාරම්වල. ඒත් සාරා යෙහෝවා දෙවියන්ව විශ්වාස කරපු නිසා ඒ ගැන කාටවත් දොස් කිව්වේ නැහැ.
සාරා දරුවෙක්ට හුඟක් ආස නිසා එයා ආබ්‍රහම්ට කිව්වා ‘මගේ සේවිකාව වන හාගර්ට දරුවෙක් ලැබුණොත් මගේ දරුවෙක් වගේ බලාගන්නවා’ කියලා. කාලයක් ගියාම හාගර්ට පුතෙක් ලැබුණා. එයාගේ නම ඉෂ්මායෙල්.
දවසක් එයාලාගේ ගෙදරට අමුත්තන් තුන්දෙනෙක් ආවා. ඒ වෙද්දී ආබ්‍රහම්ට වයස 99යි, සාරාට 89යි. ආබ්‍රහම් එයාලට කෑමක් ලෑස්ති කළා. අමුත්තන් විදිහට ඇවිත් තිබුණේ කවුද කියලා දන්නවාද? දේවදූතයන්! එයාලා ආබ්‍රහම්ට කිව්වා ‘ඊළඟ අවුරුද්දේ මේ කාලේ වෙද්දී ඔයාටත් බිරිඳටත් දරුවෙක් ඉඳියි’ කියලා. කූඩාරමේ හිටිය සාරාට ඒක ඇහුණාම හිනා ගියා. “වයසට ගිහින් ඉන්න මට කොහොමද දරුවෙක් හම්බ වෙන්නේ” කියලා එයා හිතුවා.
දේවදූතයා කියපු විදිහටම ඊළඟ අවුරුද්දේදී සාරාට පුතෙක් ලැබුණා. ආබ්‍රහම් එයාට දැම්මේ “හිනාව” කියන තේරුම තියෙන ඊසාක් කියන නම.
ඊසාක්ට අවුරුදු පහක් විතර වෙද්දී ඉෂ්මායෙල් ඊසාක්ට නපුරු විදිහට සලකනවා සාරා දැක්කා. ඊසාක්ව ආරක්ෂා කරගන්න ඕන නිසා සාරා ආබ්‍රහම්ට කිව්වා හාගර්වත් ඉෂ්මායෙල්වත් ගෙදරින් යවන්න කියලා. ආබ්‍රහම් ඒකට කැමති වුණේ නෑ. ඒ නිසා යෙහෝවා එයාට මෙහෙම කිව්වා. ‘සාරා කියපු දේ අහන්න. මං දීපු පොරොන්දු ඉටු වෙන්නේ ඊසාක්ගෙන්. මං ඉෂ්මායෙල්ව බලාගන්නම්.’
‘සාරාට තිබුණ විශ්වාසය නිසා ගැබ්ගන්න හැකියාව එයාට ලැබුණා. මොකද පොරොන්දුව දුන්න තැනැත්තා කියපු දේ ඒ විදිහටම ඉටු කරයි කියලා එයා විශ්වාස කළා.’—හෙබ්‍රෙව් 11:11