34වෙනි පාඩම
ගිඩියොන් මිදියන්වරුන්ව පරාජය කරයි
ඊශ්‍රායෙල්වරු ආයෙත් වෙන දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ නිසා අවුරුදු හතක්ම මිදියන්වරු එයාලාගේ සත්තු හොරකම් කළා, වගාවන් විනාශ කළා. එයාලා බේරුණේ ගුහාවලයි කඳුවලයි හැංගිලා. ඊශ්‍රායෙල්වරු එයාලව බේරගන්න කියලා යෙහෝවාට කිව්වා. ඉතින් යෙහෝවා ගිඩියොන් කියන තරුණයා ළඟට දේවදූතයෙක්ව යවලා මෙහෙම කිව්වා. ‘යෙහෝවා සෙනඟව බේරගන්න ඔයාව තෝරගෙන තියෙනවා.’ ගිඩියොන් කිව්වා ‘මං කොහොමද එයාලව බේරගන්නේ, මට ඒක කරන්න බැහැනේ’ කියලා.
ගිඩියොන්ව තෝරගත්තේ යෙහෝවා කියලා එයා දැනගත්තේ කොහොමද? එයා ලොම් මිටියක් අරන් බිම තියලා යෙහෝවාට මෙහෙම කිව්වා. ‘උදේට බිම පිනිවලින් තෙමෙන්නේ නැතුව ලොම් මිටිය විතරක් පිනිවලින් පෙඟිලා තිබුණොත් මාව තෝරගත්තේ ඔයායි කියලා මට දැනගන්න පුළුවන්.’ පහුවදා උදේ බලද්දී බිම වේළිලා තිබුණත් ලොම් මිටිය හොඳටම පිනිවලින් පෙඟිලා තිබුණා. ඒත් ගිඩියොන් කිව්වා ඊළඟ දවසේ ලොම් මිටිය වේළිලා තියෙද්දී බිම විතරක් පොඟවලා තියන්න කියලා. ඒකත් ඒ විදිහටම වුණාම ගිඩියොන් දැනගත්තා එයාව තෝරගත්තේ යෙහෝවාමයි කියලා. ඊළඟට යුද්දෙට යන්න එයා සෙබළු එකතු කරගත්තා.
යෙහෝවා ගිඩියොන්ට මෙහෙම කිව්වා. ‘මං ඊශ්‍රායෙල්වරුන්ට ජය ලබා දෙනවා. ඒත් හුඟක් සෙබළු ඉන්න නිසා එයාලා හිතයි එයාලා නිසයි යුද්දේ දින්නේ කියලා. ඒ නිසා යුද්දෙට යන්න බය හැමෝටම ගෙදර යන්න කියන්න.’ සෙබළු 22,000ක් ගියා. ඉතුරු වුණේ 10,000යි. යෙහෝවා මෙහෙම කිව්වා. ‘තවමත් සෙබළු වැඩියි. එයාලව දිය පාරක් ළඟට ගෙනියලා ඒකෙන් වතුර බොන්න කියන්න. බොන ගමන් සතුරන් එනවාද කියලා සෝදිසියෙන් ඉන්න අයව තෝරගන්න.’ එහෙම හිටියේ 300දෙනායි. යෙහෝවා කිව්වා එයාලා මිදියන් හමුදාවේ 1,35,000ක් පරද්දනවා කියලා.
එදා රෑ දෙවියන් ගිඩියොන්ට කිව්වා “මිදියන්වරුන්ට පහර දෙන්න” කියලා. ගිඩියොන් හැම සෙබළෙක්ටම හොරණෑවකුයි මැටි භාජනයකුයි දුන්නා. ඒ භාජනවල පන්දම් හංගලයි තිබුණේ. ගිඩියොන් කිව්වා ‘මං කරන දේ දිහා බලලා ඒකම ඔයාලත් කරන්න’ කියලා. එයා හොරණෑව පිඹලා මැටි භාජනය බින්දා. ඊටපස්සේ පන්දම වනන ගමන් කෑගහලා කිව්වා “යෙහෝවා දෙවියන්ටයි, ගිඩියොන්ටයි ජය වේවා” කියලා. 300දෙනාත් ඒකම කළා. මිදියන්වරුන් බය වෙලා එහේ මෙහේ දුවන්නත් එයාලාගෙම අයට පහර දෙන්නත් පටන්ගත්තා. එයාලව පරද්දන්න ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළේ යෙහෝවා.
‘අපිට ලැබිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ශක්තියෙන් ලබාගන්න බැරි බලයක්. ඒ බලය අපෙන් එන දෙයක් නෙමෙයි, ඒක ලැබෙන්නේ දෙවියන්ගෙන්.’—2 කොරින්ති 4:7