44වෙනි පාඩම
යෙහෝවා දෙවියන්ට දේවමාලිගාවක්
සලමොන් රජ වුණාට පස්සේ යෙහෝවා එයාගෙන් ඇහුවා ‘ඔයාට මොනවාද ඕනෙ’ කියලා. සලමොන් මෙහෙම කිව්වා. ‘මං තාම තරුණයි. කරන්න ඕනෙ මොනවාද කියලා මං දන්නෑ. ඔයාගේ සෙනඟව බලාගන්න ප්‍රඥාව මට දෙන්න.’ එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. ‘ඔයා ප්‍රඥාව ඉල්ලපු නිසා මං ඔයාව ප්‍රඥාවන්තම කෙනා කරනවා. ඔයාව ගොඩක් පොහොසත් කෙනෙකුත් කරනවා. මට කීකරු වුණොත් හුඟ කාලයක් ජීවත් වෙන්නත් ඔයාට පුළුවන්.’
සලමොන් දේවමාලිගාව හදන්න පටන්ගත්තා. තියෙන හොඳම රත්තරන්, රිදී, ලී, ගල්වලින් එයා ඒක හැදුවා. හුඟක් දක්ෂ අය දහස් ගාණක් ඒක හදන්න මහන්සි වුණා. අවුරුදු හතකට පස්සේ දේවමාලිගාව යෙහෝවාට කැප කරන්න පුළුවන් වුණා. පූජා ඔප්පු කරන්න හදලා තිබුණු පූජාසනය ඉස්සරහා දණගහලා සලමොන් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, මේ දේවමාලිගාව ඔබට ගැළපෙන තරම් ලොකුත් නෑ. ලස්සනත් නෑ. ඒත් අපේ නමස්කාරය පිළිගන්න. අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න.’ දේවමාලිගාව ගැනත් සලමොන් කරපු යාච්ඤාව ගැනත් යෙහෝවාට හිතුණේ කොහොමද? සලමොන්ගේ යාච්ඤාව ඉවර වුණ ගමන්ම අහසින් ගින්නක් ඇවිත් පූජාසනයේ තිබුණු පූජාවන් පුච්චලා දැම්මා. යෙහෝවා දේවමාලිගාව පිළිගත්ත එක ගැන ඊශ්‍රායෙල්වරු හුඟක් සතුටු වුණා.
සලමොන්ට තිබුණු ප්‍රඥාව ගැන දුර ඈත රටවල අයටත් ආරංචි වුණා. හුඟක් අය එයාලාගේ ප්‍රශ්න විසඳගන්න ආවේ සලමොන් ළඟට. ෂෙබා රටේ රැජිනත් සලමොන්ගේ ප්‍රඥාව ගැන දැනගන්න ආවා. එයා අහපු ප්‍රශ්නවලට සලමොන් දීපු උත්තර අහලා එයා මෙහෙම කිව්වා. ‘මිනිස්සු ඔයා ගැන කියපු දේවල් මං විශ්වාස කළේ නෑ. ඒත් එයාලා කිව්වාට වඩා ඔයා ප්‍රඥාවන්තයි කියලා මං දැන් දන්නවා. ඔයාගේ දෙවියන් ඔයාට ආශීර්වාද කරලා.’ ඊශ්‍රායෙල්වරු හරිම සතුටින් ජීවත් වුණා. ඒත් ඒක වෙනස් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.
“බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙතන ඉන්නවා.”—මතෙව් 12:42