73වෙනි පාඩම
යොහන් මාර්ගය සූදානම් කළා
සෙකරියාගෙයි එලිසබෙත්ගෙයි පුතා වුණු යොහන් ලොකු වෙලා අනාගතවක්තෘවරයෙක් වුණා. ගැලවුම්කරු එනවා කියලා දේශනා කරන්න යෙහෝවා භාර දුන්නේ යොහන්ට. එයා දේශනා කළේ සිනගෝගවලවත් නගරවලවත් නෙමෙයි පාළුකරයේ. යෙරුසලමෙනුත් යුදයෙනුත් හුඟක් අය යොහන්ගෙන් ඉගෙනගන්න ආවා. දෙවියන්ව සතුටු කරන්න නම් නරක වැඩ නවත්තන්න ඕනෙ කියලා එයා ඉගැන්නුවා. ඒක අහපු හුඟක් අය තමන්ගේ වැරදි ගැන දුක් වුණා. යොහන් එයාලව යොර්දාන් ගඟේ බව්තීස්ම කළා.
සරල ජීවිතයක් ගත කරපු යොහන් ඇන්දේ ඔටු රෝමවලින් හදපු ඇඳුම්. පළඟැටියන්, කැලේ තියෙන මීපැණි තමයි එයා කෑමට ගත්තේ. මිනිස්සුන්ට ඕනෙ වුණා එයා ගැන දැනගන්න. උඩඟු පරිසිවරුත් සද්දුසිවරුත් එයාව බලන්න ආවා. යොහන් එයාලට මෙහෙම කිව්වා. ‘ඔයාලාගේ ජීවිත වෙනස් කරගන්න. කරපු වැරදි ගැන දුක් වෙන්න. ඔයාලාගේ තාත්තා ආබ්රහම් කියලා කිව්වත් ඔයාලා විශේෂ අය වෙන්නේ නෑ. ඒකෙන් ඔයාලා දෙවියන්ගේ දරුවන් වෙන්නෙත් නෑ.’
‘දෙවියන්ව සතුටු කරන්න නම් මොනවාද කරන්න ඕනෙ’ කියලා හුඟක් අය ඇහුවාම යොහන් මෙහෙම කිව්වා. ‘ඔයාලට වැඩිපුර ඇඳුමක් තියෙනවා නම් ඇඳුම් නැති කෙනෙක්ට එකක් දෙන්න.’ දෙවියන්ව සතුටු කරන්න නම් අනිත් අයට ආදරේ කරන්න ඕනෙ කියලා එයාගේ ගෝලයන්ට උගන්වන්නයි යොහන් එහෙම කිව්වේ.
යොහන් බදු එකතු කරන අයට කිව්වා ‘අවංක වෙන්න, කාවවත් රවට්ටන්න එපා’ කියලා. හමුදාවේ අයට කිව්වා ‘බොරු කියන්නවත් අල්ලස් ගන්නවත් එපා’ කියලා.
පූජකයෝයි ලෙවීවරුයි යොහන්ගෙන් ඇහුවා ‘හැමෝම අහනවා ඔයා කවුද’ කියලා. යොහන් මෙහෙම කිව්වා. ‘පාළුකරයේ ඉඳන් හඬ නඟලා මිනිස්සුන්ට දෙවියන් ගැන කියලා දෙන කෙනෙක් ඉන්නවා කියලා යෙසායා කිව්වේ මං ගැන.’
යොහන් ගැලවුම්කරුද කියලා හුඟක් අය කල්පනා කළා. යොහන් එයාලට කිව්වේ මෙහෙමයි. ‘මට වඩා උසස් කෙනෙක් එනවා. එයාගේ පාවහන්වල පටි ලිහන්නවත් මං වටින්නේ නෑ. මං බව්තීස්ම කරන්නේ වතුරෙන්. ඒත් එයා දෙවියන්ගේ බලයෙන් බව්තීස්ම කරයි.’
“එයා ආවේ සාක්ෂිකරුවෙක් විදිහටයි. ආලෝකය ගැන සාක්ෂි දරලා හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ගේ හිත්වල විශ්වාසයක් ඇති කරන්නයි.”—යොහන් 1:7