101වෙනි පාඩම
පාවුල්ව රෝමයට යවයි
පාවුල් ගිය තුන්වෙනි සංචාරය එයා නතර කළේ යෙරුසලමෙන්. එයාව එහෙදී අත්අඩංගුවට අරන් හිරේට දැම්මා. රෑ දර්ශනයකින් යේසුස් පාවුල්ට මෙහෙම කිව්වා. ‘ඔයා රෝමයට ගිහින් දේශනා කරනවා.’ පස්සේ පාවුල්ව සිසේරියට යවලා එහෙදී අවුරුදු දෙකක්ම හිරේ දාලා තිබුණා. දවසක් ෆෙස්ටස් කියන ආණ්ඩුකාරයා පාවුල්ගේ නඩුව අහන වෙලාවේදී පාවුල් කිව්වා ‘මට ඕනෙ රෝමයේ ඉන්න සීසර් මගේ නඩුව අහනවාටයි’ කියලා. ෆෙස්ටස් ඒකට කැමති වෙලා රෝමයට යන නැවකින් පාවුල්ව රෝමයට යැව්වා. ලූක් සහ අරිස්තාකස් කියන සහෝදරයෝ දෙන්නාත් එයා එක්ක ගියා.
ගමන යනකොට නැව දවස් ගාණක් ලොකු කුණාටුවකට අහු වුණා. හැමෝම හිතුවේ එයාලා මැරෙයි කියලා. ඒත් පාවුල් එයාලට මෙහෙම කිව්වා. ‘අපි කවුරුත් මැරෙන්නේ නැහැ. මොකද දේවදූතයෙක් ඇවිත් මට කිව්වා “කිසි දේකට බය වෙන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම රෝමයට යනවා. නැවේ ඉන්න කිසි කෙනෙක්ට මුකුත් වෙන්නේ නැහැ” කියලා.’
කුණාටුව පටන් අරන් දවස් 14කට පස්සේ එයාලා ගොඩබිමක් දැක්කා. ඒ මෝල්ටා කියන දූපත. නැව වෙරළට ළං වෙද්දී ඒක වැලි කණ්ඩියක වැදිලා කෑලි කෑලිවලට කැඩුණා. ඒත් නැවේ හිටපු 276දෙනාට කිසිම කරදරයක් වුණේ නැහැ. සමහරු පීනගෙන ගොඩබිමට ආවා. අනිත් අය නැවේ ලෑලි අල්ලගෙන පාවෙලා ආවා. මෝල්ටාවේ අය සීතලෙන් හිටපු එයාලට ගිනි ගොඩක් ගහලා දීලා එයාලව හොඳින් බලාගත්තා.
මාස තුනකට පස්සේ සෙබළු වෙන නැවකින් පාවුල්ව රෝමයට අරන් ගියා. රෝමයේදී එයාව පිළිගන්න සහෝදරයෝ ඇවිල්ලා ඉන්නවා දැක්කාම එයාට දැනුණේ ලොකු ශක්තියක්. ඒ ගැන එයා යෙහෝවාට ස්තූති කළා. පාවුල් හිරකාරයෙක් වුණත් රෝමයේදී එයාට ගෙයක් කුලියට අරන් ඉන්න ඉඩ දීලයි තිබුණේ. ඒත් සෙබළෙක් හැම තිස්සේම එයාව මුර කරගෙන හිටියා. එයා එහේ අවුරුදු දෙකක්ම හිටියා. පාවුල් එයාව බලන්න ආපු අයට දේශනා කළා. ඒ විතරක් නෙමෙයි කුඩා ආසියාවෙත් යුදයෙත් තිබුණු සභාවලට ලිපි ලිව්වා. වෙනත් ජාතීන්වල අයට දේශනා කරන්න යෙහෝවා පාවුල්ව පාවිච්චි කළා කියලා පේනවා.
“අපි දෙවියන්ගේ සේවකයන් කියන දේ මේ හැම විදිහකින්ම ඔප්පු කරලා පෙන්නනවා. අපි ගොඩක් දේවල් විඳදරාගන්නවා. පීඩාවලට, අගහිඟකම්වලට, දුෂ්කරතාවලට මූණ දෙනවා.”—2 කොරින්ති 6:4