සහෝදර ප්‍රේමය ක්‍රියාශීලී ය
පිලෙමොන් පොතෙන් මූලික කරුණු
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයන්ට ප්‍රේම කළාක් මෙන් ඔවුන් එකිනෙකා හට ප්‍රේම කරන ලෙස “අලුත් ආඥාවක්” දුන් සේක. (යොහන් 13:34, 35) එම ප්‍රේමය හේතුකොටගෙන ඔවුන් එකිනෙකා වෙනුවෙන් මිය යනු ඇත. එසේ ය, සහෝදර ප්‍රේමය එතරම් බලවත් ය, ක්‍රියාශීලී ය.
කුඩා ආසියාවේ නගරයක් වූ කොලොස්සියේ පිහිටි සභාව සමඟ ඇසුරු කළා වූ පිලෙමොන් ව එම සහෝදර ප්‍රේමය මඟින් පොලඹවනු ඇති බවට ප්‍රේරිත පාවුල් ස්ථීර විය. තම නිවස ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන ස්ථානයක් වශයෙන් භාවිතා කිරීමට ඉඩ දීමට ඒ වන විටත් ප්‍රේමය පිලෙමොන් ව පොලඹවා තිබිණ. පිලෙමොන්ගේ වහල් සේවකයෙකු වූ ඔනේසිමස්, පෙනෙන අයුරින් රෝමයට නැවෙන් ගමන් කිරීම සඳහා අවශ්‍ය මුදල් සොරකම් කොට ඔහු වෙතින් පලා ගොස් සිටි අතර, රෝමයෙහි දී පසු ව පාවුල් ව හමු වී ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගත්තේ ය.
පොදු යුගයේ 60-61 පමණ අතර සමයේ දී, මූලික වශයෙන් පිලෙමොන්ට අමතන ලද ලිපියක් පාවුල් ලීවේ ය. නැවත හැරී එන පිලෙමොන් ව සහෝදර ප්‍රේමයේ ස්ප්රීතුවකින් පිළිගැනීමට එය ඔහුගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. මෙම ලිපිය කියවන්න, එය සෙනෙහසේ සහ උපායශීලී කමේ කදිම ආදර්ශයක් බව ඔබ දැනගන්නවා ඇත—ඒවා යෙහෝවඃ වහන්සේගේ සෙනඟට හොඳින් අනුකරණය කළ හැකි ගුණාංගයන් ය.
ප්‍රේමය සහ ඇදහිල්ල උදෙසා ප්‍රශංසා
පිලෙමොන් සහ අන්‍යයන් ව අමතමින් ප්‍රථමයෙන් ම පාවුල් ප්‍රශංසා ඉදිරිපත් කර සිටියේ ය. (පද 1-7) ක්‍රිස්තුස් වහන්සේ සහ සියලු ශුද්ධවන්තයන් හට පිලෙමොන්ගේ ප්‍රේමය සහ ඔහුගේ ඇදහිල්ල ගැන ප්‍රේරිතවරයා අසමින් සිටියේ ය. යෙහෝවඃ වහන්සේට ස්තූති කිරීමට මෙය පාවුල් ව පෙලඹූ අතර, එය ඔහුට ප්‍රීතියක් සහ සැනසිල්ලක් ගෙන දුණි. ප්‍රේමයෙන් සහ ඇදහිල්ලෙන් ආදර්ශමත් ව සිටින සෙසු ඇදහිලිවන්තයන්ගේ හොඳ ගතිගුණ අප වර්ණනා කරන්නෙමු ද? අප එසේ කළ යුතු ය.
පාවුල්ගේ වදන් පෙන්වන ලෙස, සෙසු ක්‍රිස්තියානීන් සමඟ කටයුතු කරන විට ප්‍රේමය මත පදනම් වූ අනුශාසනා සිත්ගන්නා සුලු ය. (පද 8-14) සිය උපායශීලී පිවිසීමෙන් අනතුරු ව, පාවුල් පැවසුවේ “නිසි දේ කිරීමට” ඔහුට නියම කිරීමට තමාට හැකි ව තිබුණ ද ඒ වෙනුවට අනුශාසනා කිරීමට තමා තෝරා ගත් බවයි. කුමක් කිරීමට ද? වහල් සේවක ඔනේසිමස් ව කාරුණික ව පිළිගැනීමට ය! තමාට ප්‍රයෝජනවත් සේවයකට ඔනේසිමස් ව නවත්වා ගැනීමට පාවුල් කැමති ව සිටි නමුදු, පිලෙමොන්ගේ කැමැත්ත නොමැති ව ඔහුට මෙසේ කළ නොහැකි ය.
පාවුල් ඊළඟට ඇඟවූවාක් මෙන්, අප්‍රසන්නකාරී සිද්ධීන් ප්‍රයෝජනදායක ඒවා බවට පත් වෙයි. (පද 15-21) ඇත්තෙන් ම, ඔනේසිමස් පලා ගොස් තිබීමෙන් හොඳක් සිදු විණ. ඒ මන්ද? පිලෙමොන් හට දැන් ඔහු ව අකමැති, සමහරවිට වංක වහලෙක් ලෙස නොව කැමත්තෙන් ම පැමිණෙන, අවංක ක්‍රිස්තියානි සහෝදරයෙකු ලෙස පිළිගැනීමට හැකි ය. පාවුල් පිලෙමොන්ගෙන් ඉල්ලා සිටියේ ඔහු තමා ව පිළිගන්නවාක් මෙන් ඔනේසිමස් ව ද පිළිගන්නා ලෙසටයි. ඔනේසිමස් යම් හෙයකින් පිලෙමොන් හට වරදක් කර තිබේ නම්, ප්‍රේරිතවරයා එය ආපසු ගෙවනු ඇත. පිලෙමොන් ව වඩාත් එකඟ කරවා ගනු වස්, ක්රිස්තියානිවරයෙකු වීම සම්බන්ධයෙන් ඔහු ම ප්‍රේරිතවරයාට ණය ව සිටින බව පාවුල් ඔහුට මතක් කර දුන්නේ ය. මේ හේතුවෙන්, පිලෙමොන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවාට වඩා වැඩියෙන් ඔහු කරන බවට පාවුල් සහතික විය. මොනතරම් උපායශීලී, ප්‍රේමණීය අයැදීමක් ද! ඇත්තෙන් ම, සෙසු ක්‍රිස්තියානීන් සමඟ අප කටයුතු කළ යුත්තේ ද මේ අයුරිනුයි.
පාවුල් සිය ලිපිය, බලාපොරොත්තුවක්, ආචාරකිරීම්, සහ සුභ පැතුම් සමඟ අවසන් කළේ ය. (පද 22-25) ඔහු වෙනුවෙන් අන්‍යයන් කරන යාච්ඤා තුළින්, තමා ඉක්මනින් ම සිර ගෙයින් නිදහස් වන බවට හේ අපේක්ෂා කළේ ය. (තිමෝතිට ලියන ලද පාවුල්ගේ දෙවෙනි ලිපියෙන් පෙන් වූ පරිදි, එම යාච්ඤාවලට පිළිතුරු ලැබිණ.) පාවුල් තම ලිපිය අවසන් කරමින් ශුභාශිංසන යැවූ අතර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපරිමිත කරුණාව, පිලෙමොන් සහ යෙහෝවඃ වහන්සේගේ සෙසු නමස්කාරකයන් පෙන් වූ ආත්මය සමඟ වේවායි ප්‍රාර්ථනා කළේ ය. w91 2⁄15
වහලෙකුට වඩා යමෙක්: පිලෙමොන් වෙතින් පලා ආ වහල් සේවක ඔනේසිමස් සම්බන්ධ ව, පාවුල් පැවසුවේ: “මක්නිසාද සමහරවිට ඔහු කලකට නුඹෙන් වෙන්වුණේ, මෙතැන් පටන් දාසයෙකු කොට නොව දාසයෙකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු කොට සදාකාලේටම ඔහු නුඹට ලැබෙන පිණිස වෙන්ට පුළුවන. විශේෂ ලෙස මට ප්‍රේමවන්ත සහෝදරයෙකුවූ ඔහු කොපමණ වැඩියෙන් මාංසාකාරයෙන් සහ ස්වාමීන්වහන්සේ තුළ නුඹටත් එසේ නොවන්නේද.” (පිලෙමොන් 15,16) රෝම අධිරාජ්‍යයේ, අධිරාජ්‍ය ආණ්ඩුව මඟින් වහල් සේවය නීති ගත කොට තිබූ අතර, එවැනි “බලයලත් මුලාදෑනීන්” ව පාවුල් පිළිගත්තේ ය. (රෝම 13:1-7) වහලුන්ගේ කැරැල්ලක් ඇති කිරීමට ඔහු නොපෙලඹ වූ අතර, එහෙත්, එවැනි පුද්ගලයන් හට ක්‍රිස්තියානීන් වශයෙන් ආත්මික නිදහස ලැබීමට උපකාර කළේ ය. තම ස්වාමිවරුන්ට යටත් ව සිටින ලෙස වහල් සේවකයන්ට තමා ම දුන් උපදෙස්වලට එකඟ ව, පාවුල් ඔනේසිමස් ව පිලෙමොන් වෙත යැවී ය. (කොලොස්සි 3:22-24; තීතස් 2:9, 10) ඔනේසිමස් දැන් ලෝකයේ වහලෙකුට වඩා වැඩි යමෙකි. ඔහු, සහෝදර ප්‍රේමය විදහා පෑ දේව ප්‍රතිපත්ති මඟින් පාලනය වූ, වඩාත් හොඳ වහල් සේවකයෙකු ලෙස, පිලෙමොන්ට සාපේක්ෂ යටත්කම පෙන්වන්නා වූ ප්‍රේමණීය සෙසු ඇදහිලිවන්තයෙක් වී සිටියේ ය.