රුධිරය සමඟින් ජීවිතය බේරා ගැනීම—කෙසේ ද?
“[දෙවියන් වහන්සේගේ] හඬට කීකරු වීමෙන් . . . ජීවනය තෝරාගන්න . . . මක්නිසා ද උන් වහන්සේ ඔබේ ජීවනයත් ඔබේ දවස්වල වැඩිවීමත් වන සේක.”—ද්විතීය කථාව 30:19, 20, NW
බොහෝ දෙනෙක් මරණීය දඬුවම, ගබ්සා කිරීම, නොඑසේ නම් දඩයම් කිරීම පිළිබඳ සිය මත සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින්, තමන් ජීවිතයට ගෞරව කරන බව පවසති. කෙසේ නමුත්, සැබෑ ක්‍රිස්තියානින් ජීවිතයට ගෞරවය පෙන්වන්නා වූ විශේෂිත ක්‍රමයක් ඇත. “මක්නිසාද ජීවනයේ උල්පත ඔබ [දෙවියන් වහන්සේ] සමගය” යයි ගීතාවලිය 36:9 පවසයි. ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලැබෙන දීමනාවක් වන බැවින්, ක්‍රිස්තියානිහු ජීවන රුධිරය පිළිබඳ ව උන් වහන්සේගේ මතය ඇතුව සිටිත්.
2 අපගේ ශරීරය පුරා ඔක්සිජන් වායුව ගෙන යන්නා වූ ද, කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් කරන්නා වූ ද, උෂ්ණත්වයේ වෙනස්කම්වලට හැඩ ගැසීමට අපට හැකියාව ලබා දෙමින්, රෝග සමඟ පොර බැදීමට අපට උපකාර කරන්නා වූ ද, රුධිරය මත අපගේ ජීවිතය රඳා පවති. අපගේ ජීවිතය සැපයූ තැනැන් වහන්සේ ම රුධිරය නමැති ජීවිතය පෝෂ්යකරන ද්‍රාව පටකය නිර්මානය කර සපයා දුන් සේක. මෙය මනුෂ්‍ය ජීවිතය රක්ෂා කිරීමට උන් වහන්සේ තුළ පවතින නිරන්තර සැලකිල්ල පිළිබිඹු කරයි.—උත්පත්ති 45:5; ද්විතීය කථාව 28:66; 30:15, 16.
3 ක්‍රිස්තියානින් මෙන් ම පොදු ජනයා තමන්ගෙන් ම මෙසේ ඇසිය යුතු ය: ‘රුධිරයට මාගේ ජීවිතය බේරා ගත හැක්කේ එහි ස්වාභාවික ක්‍රියාකාරිත්වයෙන් පමණක් ද, නැතහොත් රුධිරයට වඩාත් ගැඹුරු ආකාරයකින් ජීවිතය බේරා ගත හැකි ද?’ බොහෝ දෙනෙක් ජීවිතය හා රුධිරයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් අතර සම්බන්ධය හඳුනා ගන්නා නමුත්, ඇත්ත වශයෙන් ම මෙයට වැඩි යමක් අයත් වේ. ක්‍රිස්තියානින්, මුස්ලිම් වරුන්, මෙන් ම යුදෙව්වන් යනාදි සියල්ලන්ගේ ආචාර ධර්මයන් පදනම් වී ඇත්තේ, ජීවිතය හා රුධිරය පිළිබඳ ව ස්වකීය ස්ථාවරය ප්‍රකාශ කළ ජීවිත දායකයාණන් කෙනෙකු මත ය. එසේ ය, අපගේ මැවුම්කරුවාණන්ට රුධිරය ගැන කියන්නට බොහෝ කාරණා ඇත.
රුධිරය පිළිබඳ ව උන් වහන්සේගේ නොසැලෙන ස්ථාවරය
4 රුධිරය, දේව වචනය වන බයිබලයෙහි වාර 400කට වඩා සඳහන් ව ඇත. “එහා මෙහා යන පණ ඇති සියල්ල නුඹලාට ආහාර වන්නේය . . . නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමග නොකෑ යුතුය” යන යෙහෝවඃ වහන්සේගේ ස්ථිර ආඥාව මූලාරම්භයේ ඒවා අතර දක්නට ලැබේ. “සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි [ගණන් දීමක් ඉල්ලා සිටින්නෙමි NW]” යයි ද උන් වහන්සේ තවදුරටත් වදාළ සේක. (උත්පත්ති 9:3-5) යෙහෝවඃ වහන්සේ ඒ බව මනුෂ්‍ය පවුලේ මුතුන් මිත්තා වන නෝවාට වදාළ සේක. එබැවින්, රුධිරය ප්‍රාණය අඟවන බව මැවුම්කරුවාණන්ගේ මතය, මනුෂ්‍යයන් වූ සියල්ලන් හට දැනුම් දෙනු ලැබී ය. දෙවියන් වහන්සේ ජීවිත දායකයාණන් ලෙස පිළිගන්නේ යයි තරයේ කියා සිටින සෑම කෙනෙක් ම, රුධිරයේ භාවිතය සම්බන්ධයෙන් උන් වහන්සේ නොසැලෙන ස්ථාවරයක පිහිටා සිටින බව ද ඒ අයුරින් ම පිළිගත යුතු ය.
5 දෙවියන් වහන්සේ ඉශ්රායෙල්ට එහි ව්‍යවස්ථාව දෙන විට ද, නැවතත් රුධිරය ගැන සඳහන් කළ සේක. ලෙවි කථාව 17:10, 11 හි මෙසේ කියැවේ: “ඉශ්රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනග අතරෙන් සිඳදමන්නෙමි. මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය.” එම නීතිය සෞඛ්‍යමය වශයෙන් ප්‍රයෝජනවත් වන්නට ඇති නමුත්, එයට වැඩි යමක් අයත් විය. රුධිරය සුවිශේෂී ලෙස සැලකීමෙන්, ඉශ්රායෙල්වරුන් ජීවිතය සඳහා දෙවියන් වහන්සේ කෙරෙහි සිය රඳා පැවැත්ම පෙන්විය යුතු විය. (ද්විතීය කථාව 30:19, 20) එසේ ය, ඔවුන් රුධිරය ගැනීමෙන් වැළකිය යුතු වීමට මූලික හේතු සාධකය වූයේ, එය සෞඛ්‍යයට අහිතකර වීම නොව, නමුත් රුධිරය දෙවියන් වහන්සේට විශේෂිත වැදගත්කමකින් යුක්ත වීම නිසා ය.
6 මනුෂ්‍ය ජීවිතය රුධිරය සමඟ බේරා ගැනීම පිළිබඳ ව ක්‍රිස්තියානි ධර්මය පවතිනුයේ කිනම් තත්ත්වයක ද? රුධිරයේ භාවිතය පිළිබඳ සිය පියාණන් වදාළ දෑ යේසුස් වහන්සේ දැන සිටි සේක. යේසුස් වහන්සේ “කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත.” උන් වහන්සේ රුධිරය පිළිබඳ නීතිය ද ඇතුළු ව, සම්පූර්ණයෙන් ව්‍යවස්ථාව පැවැත් වූ බව ඉන් අදහස් කෙරේ. (1 පේතෘස් 2:22) උන් වහන්සේ මෙසේ ජීවිතයට හා රුධිරයට ගෞරවය කළ යුතු ආකාරය ද සහිත ව සිය අනුගාමිකයින් සඳහා ආදර්ශයක් තැබූ සේක.
7 යථා කාලයේ දී, ක්‍රිස්තියානින් ඉශ්‍රායෙල්ගේ මුළු ව්‍යවස්ථාව පැවැත්විය යුත්තේ දැයි ක්‍රිස්තියානි පාලක මණ්ඩලයේ සම්මේලනයක තීරණය කළ විට සිදු වූ දෙය ඉතිහාසය අපට පෙන්වයි. දිව්‍ය මගපෙන්වීම යටතේ, ක්‍රිස්තියානින් මෝසෙස්ගේ නීති සංග්‍රහය පැවැත්වීමට බැඳී නොසිටින බව ඔවුන් පැවසුව ද, “රූපවලට පූජාකළ දේවලින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද [රුධිරය නොවැගිරෙවූ මාංස] වේශ්‍යාකමින්ද . . . වලකින්ට ඕනෑ” යයි ඔවුහු කීහ. (ක්‍රියා 15:22-29) රුධිරයෙන් වැළකීම, රූප නමස්කාරයෙන් හා පොදු දුරාචාරයෙන් වළකින තරමට සදාචාරමය වශයෙන් වැදගත් බව ඔවුහු මෙසේ පැහැදිලි කළහ.a
8 මුල් ක්‍රිස්තියානිහු එම දිව්‍යමය තහනම පිළිගත්හ. ඒ පිළිබඳ ව අදහස් දක්වමින්, බ්‍රිතාන්‍ය ජාතික විශාරද ජෝසෆ් බෙන්සන් පැවසුවේ: “නෝවාට හා ඔහුගේ අනාගත පරම්පරාවට දෙනු ලැබූ, අනතුරුව ඉශ්රායෙල්වරුන්ටත් නැවත කියනු ලැබූ, රුධිරය කෑම පිළිබඳ මෙම තහනම . . . කිසිවිටෙක අහෝසි නොකරන ලදි, නමුත්, ඊට පටහැනි ව, නව ගිවිසුමේ, ක්‍රියා XV හි එය ස්ථිර කර ඇති අතර, එසේ එය නිරන්තර වගකීමක් ලෙස පනවනු ලැබ ඇත. එහෙත්, රුධිරය පිළිබඳ ව බයිබලය පවසන දෙය, නෝවාගේ කාලයේ හෝ ප්රේරිතයින්ගේ කාලයේ පැහැදිලි ව පාවිච්චි නොකරන ලද, ප්‍රවේශනය වැනි ක්‍රම, නවීන දින වෛද්‍ය භාවිතයට අදාළ නොවන බව අදහස් කරයි ද?
රුධිරය—ඖෂධයක් ලෙස හෝ ඊට සම්බන්ධ කරමින්
9 රුධිරය ඖෂධීය වශයෙන් භාවිතා කිරීම කිසි ආකාරයකින් නූතන පුරුද්දක් නොවේ. රේයි ටැනාහිල්ගේ, ෆ්ලෙෂ් ඇන්ඩ් බ්ලඩ් නමැති පොත, වසර 2,000ක පමණ කාලයක් තුළ, මිසරයේ මෙන් ම වෙනත් තැන්වල, “ලාදුරු රෝගය සඳහා පරම පිළියම රුධිරය ලෙස සලකනු ලැබී” යයි සඳහන් කරයි. මනුෂ්‍ය රුධිරය ශරීර ගත කිරීමෙන් මීමැස්මොරය සුව කළ හැකි යයි රෝමවරු විශ්වාස කළහ. රුධිරයේ මෙම “වෛද්‍ය” භාවිතය පිළිබඳ ව ටර්ටූලියන් මෙසේ ලීවේ ය: “රංග භූමියක රඟ දැක්මක දී, දුෂ්ට අපරාධකරුවන්ගේ අලුත් රුධිරය . . . තම මීමැස්මොරය සුව කිරීමට ගෙන යන්නා වූ . . . ගිජු පිපාසාවක් ඇත්තවුන් සලකා බලන්න.” මෙය ක්‍රිස්තියානින් කළ දෙයට සහමුලින් ම විරුද්ධ විය: “අපි අපගේ ආහාර සඳහා සත්ත්ව රුධිරයවත් නොගන්නෙමු . . . ක්‍රිස්තියානින්ගේ නඩු විභාග කිරීම්වල දී, ඔබ ලෙයින් පිරි ලිංගුස් ඔවුනට දෙන්නහු ය. [එය] ඔවුනට නීති විරෝධී බව ඔබ ඉතා පැහැදිලි ලෙස දන්නේහි ය.” මෙය අඟවන දෙය සලකා බලන්න: ජීවිතය නියෝජනය කරන්නා වූ රුධිරය ගනු වෙනුවට, ක්‍රිස්තියානිහු මරණයේ අවදානමට මුහුණ දීමට සතුටු වූහ.—2 සාමුවෙල් 23:15-17, සසඳන්න.
10 ඇත්ත වශයෙන් ම, ප්‍රවේශනය පිළිබඳ අත්හදා බැලීම් 16වන ශත වර්ෂය ආසන්නයේ පමණක් පටන් ගත් බැවින්, ඒ කාලයේ රුධිරය ප්‍රවේශනය කරනු නොලැබී ය. එහෙත්, 17 වන ශත වර්ෂයේ, කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් විරුද්ධතාවය දැක්වූයේ මෙලෙසිනි: ‘රෝග සඳහා අභ්‍යන්තර ප්‍රතිකාරකයක් වශයෙන් මනුෂ්‍ය රුධිරයේ භාවිතය උපයෝගි කර ගන්නන්, එය වැරදි ලෙස භාවිතා කරමින් මහත් සේ පව් කරන බව පෙනේ. මිනී මස් කන්නන් හෙලා දකිනු ලැබේ. මිනිස් රුධිරයෙන් තමන්ගේ උගුර කැළැල් කර ගන්නා අය ව අප පිළිකුල් නොකරන්නේ මන්ද? කපන ලද ලේ නහරකින්, මුඛයෙන් හෝ ප්‍රවේශනය කරන්නා වූ උපකරණ මගින් වෙනත් අයෙකුගේ රුධිරය ලබා ගැනීම ද ඊට සමාන ය. මෙම ක්‍රියාදාමයෙහි නිර්මාතෘවරුන් දිව්‍ය නීතියට ඇති භීතියෙන් ග්‍රහණය කරනු ලැබ ඇත.’
11 එසේ ය, පසුගිය ශත වර්ෂවල පවා, ලේ නහර මගිනුත්, මුඛයෙනුත් රුධිරය ශරීර ගත කිරීම දෙවියන් වහන්සේගේ ව්‍යාවස්ථාව තහනම් කළ බව ජනයා දුටූහ. මෙය වටහා ගැනීම ජනයාට උපකාරවත් විය හැක්කේ, දෙවියන් වහන්සේගේ ස්ථාවරයට එකඟ ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් ගන්නා තත්ත්වය තේරුම් ගැනීමට ය. ජීවිතය උතුම්කොට සලකමින් වෛද්‍යාධාර අගය කරන අතර, මැවුම්කරුවාණන්ගෙන් ලද දීමනාවක් ලෙස ජීවිතයට සැබෑ ක්‍රිස්තියානිහු ගරු කරති. එබැවින් ඔවුහු රුධිරය ශරීර ගත කිරීමෙන් ජීවිතය පවත්වාගෙන යාමට ද වෑයම් නොකරති.—1 සාමුවෙල් 25:29.
ඖෂධීය වශයෙන් ජීවිතය ගලවයි ද?
12 වසර ගණනාවකට විශේෂඥයින් රුධිරය ජීවිත බේරා ගන්නා බව ප්‍රකාශ කර ඇත. දරුණු ලෙස රුධිරය අහිමි වූ කෙනෙකු ප්‍රවේශනය කිරීමෙන් පසු සුව වූයේ යයි වෛද්‍යවරුන් කියන්නට පුළුවන. එබැවින්, ‘ක්‍රිස්තියානි ස්ථාවරය වෛද්‍යමය වශයෙන් කොතරම් ඥානවන්ත ද නැතහොත් මෝඩ ද?’ යයි ජනයා කල්පනා කරන්නට පුළුවන. යම් බරපතළ වෛද්‍ය ක්‍රියා පිළිවෙළක් සලකා බලන්නට පෙර, කල්පනා කරන පුද්ගලයෙක්, ඉන් විය හැකි යහපත මෙන් ම එය කොතරම් අවදානම් සහගත ද යන්න නිශ්චය කරනු ඇත. රුධිර ප්‍රවේශනය ගැන කුමක් කිව හැකි ද? මෙහිලා සත්‍යය වනුයේ රුධිර ප්‍රවේශනයන් අවදානම් සහිත තත්ත්වයන්ගෙන් ගහණ වීම ය. ඒවා මාරාන්තික පවා විය හැකි ය.
13 මෑතක දී, එල්. ටී. ගුඩ්නොහ් හා ජේ. එම්. ෂුක් යන වෛද්‍යවරු මෙසේ සටහන් කළහ: “රුධිර සැපයුම අප දන්නා තරමට සුරක්ෂිත කළ හැකි පමණින් ම පවතින නමුත්, රුධිර ප්‍රවේශනය නිතර ඉතා අවදානම් සහගත වූ බව වෛද්‍ය ප්‍රජාව දීරඝ කලක සිට දැන සිටිත්. රුධිර ප්‍රවේශනයේ වඩාත් බහුල ලෙස දක්නට ලැබෙන සංකීර්ණයන්, A-නොවන, B-නොවන සෙංගමාලය (NANBH); B සෙංගමාලය, බාහිර ප්‍රතිශක්තිකරණය, ප්‍රවේශන ප්‍රතික්‍රියා, ප්‍රතිශක්තිකරණ මර්ධනය, යකඩ අධිභරණය යනාදිය මින් සිදුවිය හැකි වෙනත් අතුරු ආබාධ වන්නේ ය.” එම බරපතළ අන්තරාවන්ගෙන් එකක් පමණක් ම ‘මධ්‍යස්ථ ව’ තක්සේරු කර බලමින් එම වාර්තාව තවදුරටත් මෙසේ දැක්විය: “[එක්සත් ජනපදයේ පමණක්] දළ වශයෙන් මිනිසුන් 40,000 පමණ අවුරුද්දක් පාසා NANBH [A නොවන B නොවන සෙංගමාලය] රෝගයට භාජනය වනු ඇතැයි ද, මොවුන්ගෙන් 10% පමණ සිරෝසිස් හා⁄නැතහොත් හෙපටෝමාවට [අක්මා පිළිකාව] ලක් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ”—දි අමෙරිකන් ජර්නල් ඔෆ් සර්ජරී, ජූනි, 1990.
14 ප්‍රවේශනය කරන ලද රුධිරයෙන් රෝග වැළඳීමේ අවදානම ගැන පුළුල් අවබෝධයක් ලැබෙත් ම, ජනයා ප්‍රවේශනය පිළිබඳ තම මතය නැවත සලකා බලමින් සිටිති. උදාහරණයක් වශයෙන්, වර්ෂ 1981 දී පාප්වරයා වෙඩි පහරකට ලක් වීමෙන් පසු, ඔහු රෝහලක දී ප්‍රතිකාර ලැබ, පසු ව පිටත් කරනු ලැබී ය. පසුව ඔහුට මාස දෙකක් තුළ යළි රෝහල්ගත වීමට සිදු වූ අතර ඔහුගේ තත්ත්වය කොතරම් බරපතළ වූවා ද කිවහොත්, ඔහු රෝගාභාධිතයෙකු ලෙස විශ්‍රාම ගන්නට සිදුවනු ඇතැයි පෙනිණ. ඒ මක්නිසා ද? ඔහුට ලබා දුන් රුධිරයෙන් ඔහුට සයිටමෙගලොවයිරස් ආසාදනය වැළඳුණි. ‘පාප්වරයාට පවා දෙන ලද රුධිරය අනාරක්ෂිත නම්, අප වැනි සාමාන්‍ය ජනයාට දෙන ප්‍රවේශනයන් ගැන කුමක් කිව හැකි ද?’ යයි සමහරෙකු කල්පනා කරන්නට පුළුවන.
15 ‘එහෙත් ඔවුන්ට රුධිරය රෝග සඳහා පිරික්සීමට නුපුළුවන් ද?’ යයි යමෙකු අසන්නට පුළුවන. හොඳයි, උදාහරණයක් වශයෙන් B සෙංගමාලය සඳහා පිරික්සුම සලකා බලන්න. පේෂන්ට් කෙයාර් (1990, පෙබරවාරි 28) මෙසේ සඳහන් කළේ ය: “ලොව පුරා [ඒ වෙනුවෙන්] රුධිර පිරික්සුම පටන් ගැනීමත් සමඟ, ප්‍රවේශනයෙන් පසු සෙංගමාලය වැළඳීම අඩු වූ නමුත්, ප්‍රවේශනයෙන් පසු සෙංගමාලය වැළඳීමේ සිද්ධීන් 5-10% දක්වා ප්‍රමාණයක් තවදුරටත් B සෙංගමාලය හේතුවෙන් වැළඳේ.”
16 මෙවන් පිරික්සුම් වැරදීමට ඇති හැකියාව රුධිරයත් සමඟ සම්බන්ධිත වෙනත් අවදානමකින්—ඒඩ්ස් රෝගයෙන්—දැකබලා ගත හැකි ය. ව්‍යාප්ත ව පවතින ඒඩ්ස් වසංගතය, ආසාධිත රුධිරයෙන් විය හැකි අන්තරාවට ජනයා අධික උනන්දුවකින් යුක්ත ව අවදි කර ඇත. රුධිරයේ එම වයිරසය ඇත්දැයි නිර්ණය කිරීමට දැන් පරීක්ෂණ ඇති බව සැබෑවකි. කෙසේ නමුත්, සෑම තැන ම රුධිරය පිරික්සුමට භාජනය නොවන අතර, ජනයා වත්මන් පරීක්ෂණවලින් සොයා ගනු නොලැබ තම රුධිරයේ ඒඩ්ස් වයිරසය වසර ගණනාවකට දරා සිටත හැකි බව ද පෙනෙන්නට ඇත. මෙසේ පරීක්ෂා කර අනුමත කරන ලද රුධිරයෙන්, රෝගීන්ට ඒඩ්ස් වැළඳෙන්නට පුළුවන—එමෙන් ම වැළඳී ඇත!
17 ගුඩ්නොහ් හා ෂුක් යන වෛද්‍යවරු “ප්‍රතිශක්තිකරණ මර්ධනය” ගැන ද සඳහන් කළහ. එසේ ය, සුදුසු ලෙස අන්තර් අනුකූලතාවයක් ඇති රුධිරය පවා, පිළිකාවට හා මරණයට දොර විවෘත කරමින්, රෝගියාගේ ප්‍රතිශක්තිකරන පද්ධතියට හානි කළ හැකි බවට සාක්ෂි ගොඩගැහෙමින් පවති. මෙසේ, “හිසේ හා බෙල්ලේ පිළිකාව සහිත රෝගීන්” පිළිබඳ ව කරන ලද එක් කැනේඩියානු අධ්‍යයනයක්, “පිළිකා වායු ගෙඩියක් ඉවත් කරන අවස්ථාවෙහි දී, රුධිරය ශරීර ගත කරනු ලැබුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාවේ කැපීපෙනෙන අඩුවක් අත්දුටු බව පෙන්වී ය.” (1990, ජූලි 10, ද මෙඩිකල් පෝස්ට්) දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරු මෙසේ වාර්තා කළහ: “ස්වරාලයේ සියලු පිළිකාවන් සඳහා නැවත හටගැනීමේ අනුපාතය රුධිරය නොලැබුවන් අතර 14%ක් ද, එය ලැබුවන් අතර 65%ක් ද විය. මුඛ කුහරයේ, ග්රසනිකාවේ, මෙන් ම නාසයේ හා කෝටරකයේ පිළිකාව සඳහා නැවත හටගැනීමේ අනුපාතය ප්‍රවේශනය නොලැබූවන් අතර 31%ක් ද, ප්‍රවේශනය ලැබූවන් අතර 71%ක් ද විය.” (ඇනල්ස් ඔෆ් ඔටොලජි, රයිනොලජි ඇන්ඩ් ලරිං-ඔලජි, මාර්තු 1989) ශල්‍යකර්මයක් තුළ රුධිරය ශරීරගත කරනු ලැබූවන්ට ආසාදනයන් වැළඳීමට වැඩි ප්‍රස්තාවක් ඇති බවට වූ කාරණය ද ප්‍රතිශක්තිකරණ මර්ධනය තහවුරු කරයි.—10වන පිටුවේ, කොටුව බලන්න.
රුධිරය වෙනුවෙන් යම් විකල්පයන් ඇත්ද?
18 “ප්‍රවේශනයන් අන්තරාදායක ය, එහෙත් යම් විකල්පයන් ඇත්ද?” යයි සමහරෙකු කල්පනා කරන්නට පුළුවන. අපට නිසැක ව ම උසස් වර්ගයේ ඵලදායි වෛද්‍ය සැලකිලි අවශ්‍ය ව ඇති බැවින්, රුධිරය භාවිතා නොකර බරපතළ වෛද්‍ය ගැටලු හසුරුවා ගැනීමට නිත්‍යානුකූල මෙන් ම ඵලදායි ක්‍රම ඇත්ද? එය එසේ වීම සතුටට කරුණකි. ද න ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් (1990, ජූනි 7) වාර්තා කළේ: “ප්‍රවේශනය තුළින් [ඒඩ්ස්] හා වෙනත් ආසාදනයන් බෝවීමේ අවදානම ගැන හොඳින් දන්නා කාය වෛද්‍යවරු, ප්රවේශනයෙහි අවදානම හා යහපත ගැන නැවත සලකා බලමින් සිටින අතර, ප්‍රවේශනය සහමුලින් ම වැළැක්වීම ද ඇතුළු ව විකල්පයන් කෙරෙහි නැඹුරු වෙමින් සිටිති.”b
19 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝ කලක සිට රුධිරය ප්‍රතික්ෂේප කර ඇත්තේ, මූලික ව සෞඛ්‍ය අන්තරාවන් නිසා නොව, එහෙත් රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ නීතියට කීකරු වීම පිණිස ය. (ක්‍රියා 15:28, 29) එහෙත්, පුහුණු වෛද්‍යවරුන් ඒ හා බැඳි අවදානමත් සමඟින්, රුධිරය භාවිතා නොකර සාක්ෂිකාර රෝගීනට සාර්ථක ලෙස ප්‍රතිකාර කර ඇත. වෛද්‍ය ප්රකාශනවල වාර්තා වූ බොහෝ උදාහරණයන් අතර එකක් සඳහන් කරන්නේ නම්, ආර්කයිව්ස් ඔෆ් සර්ජරි (1990, නොවැම්බර්), හෘද බද්ධ කිරීම්වලට තම හෘදයසාක්ෂිය අවසර දුන්නා වූ ද රුධිරය ප්‍රවේශන නොමැති ව එය කළා වූ ද සාක්ෂිකාර රෝගීන් පිළිබඳ ව සාකච්ඡා කළේ ය. එම වාර්තාව මෙසේ පැවසී ය: “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් කෙරෙහි හෘද ශල්‍යකර්ම සිදු කිරීමේ වසර 25කට වැඩි පළපුරුද්ද, රුධිර නිෂ්පාදන භාවිතා නොකර සාර්ථක ලෙස හෘද බද්ධ කිරීමේ හැකියාවට ඉවහල් වී ඇත. . . . ශල්‍යකර්මයට පෙර මරණ කිසිවක් සිදුවූයේ නැත, තව ද මෙම රෝගීන් අතර බද්ධ කරනු ලබන දෙය ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතය ඉහළ මට්ටමක නොපවතින බව කලින් කරන ලද නිරීක්ෂණ අධ්‍යයනයන් පෙන්නුම් කර තිබේ.”
වඩාත් ම වටිනා රුධිරය
20 කෙසේ නමුත්, අප සෑම කෙනෙක් ම තමාගෙන් ම ඇසිය යුතු ආත්ම-සෝදිසි කරවන ප්‍රශ්නයක් ඇත. ‘මා රුධිර ප්‍රවේශනයක් පිළිනොගැනීමට තීරණය කර සිටින්නේ නම්, ඒ මක්නිසා ද? අවංක ව මා සතු ප්‍රධාන, මූලික හේතු සාධකය කුමක් ද?’
21 ප්‍රවේශනය හා බැඳි අන්තරාවන් බොහොමයට කෙනෙක් අනාවරණය නොකරන්නා වූ, රුධිරය වෙනුවට ගත හැකි ඵලදායි විකල්පයන් ඇති බව අපි සඳහන් කළෙමු. සෙංගමාලය නැතහොත් ඒඩ්ස් වැනි අන්තරාවන් නිසා, ආගමික නොවන හේතූන් උදෙසා පවා රුධිරය ප්‍රතික්ෂේප කිරීමට බොහෝ දෙනෙකු පෙලඹී ඇත. ඇතැමෙක්, “රුධිරය අයහපත් ඖෂධයකි” වැනි කොඩියක් යටතේ ගමන් කරන්නාක් මෙන්, මේ පිළිබඳ ව තම අදහස් ප්‍රකාශ කරති. ක්‍රිස්තියානියෙක් එම ගමනට එක්වීමට ඉඩ ඇත. එහෙත් එය වසන ලද පාරක යන ගමනකි. ඒ කෙසේ ද?
22 අනර්ඝතම රෝහල්වල හොඳ ම වෛද්‍ය සැලකිලි ඇතුව පවා, යම් අවස්ථාවල මිනිසුන් මිය යන බව සැබෑ ක්‍රිස්තියානිහු තේරුම් ගෙන සිටිති. රුධිර ප්‍රවේශනයන් ඇති ව හෝ නැති ව හෝ, මිනිස්සු මිය යති. එසේ පැවසීම දෛවවාදී නොවේ. සැබෑ තත්ත්වය එයයි. මරණය අද දින ජීවිතයේ සිදුවන සත්‍යයකි. රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ නීතිය නොසලකා හරින අය බොහෝ විට, වහා ම හෝ කල්ගත වී රුධිරයෙන් හානි අත්දකිති. සමහර අය ප්‍රවේශනය කරන ලද රුධිරයෙන් පවා මිය යති. ඇරත්, ප්‍රවේශනයෙන් ජීවිත බේරාගත් අය සදාකාල ජීවිතය ලබාගෙන නැති බව අප වටහා ගත යුතුවාක්මෙන් ම, රුධිරය ඔවුන්ගේ ජීවිත ස්ථිර ලෙස බේරාගෙන ඇති බවට ඔප්පු වී නැත. අනෙක් අතට, ආගමික හා⁄නැතහොත් වෛද්‍ය හේතූන් උදෙසා රුධිරය ප්‍රතික්ෂේප කර ඇත්තා වූ වැඩි දෙනෙක්, තවදුරටත් විකල්ප ප්‍රතිකාරයන් පිළිගන්නා අතර වෛද්‍යමය වශයෙන් සෞඛ්‍ය සම්පන්න ව සිටිති. ඔවුහු එසේ තවත් වසර ගණනාවකට තම ජීවිතය දික් කර ගනිති—එහෙත් අවසානයක් නැතුව ම නොවේ.
23 අද දවසේ ජීවමාන ව සිටින්නා වූ සියලු මනුෂ්‍යයින් අසම්පූර්ණ ව සිටින අතර ක්‍රමයෙන් මිය යාම, බයිබලය රුධිරය ගැන පවසන දෙයෙහි මූලික කරුණ වෙත අප ව යොමු කරයි. රුධිරය අනුභව නොකරන ලෙස දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට පැවසූ සේක. ඒ මක්නිසා ද? හේතුව එය ප්‍රාණය නියෝජනය කරන නිසා ය. (උත්පත්ති 9:3-6) ව්‍යවස්ථා සංග්රහයෙහි, සියලු මනුෂ්‍යයින් පාපතර බවට වූ සත්‍යය ප්‍රකාශ කරමින් උන් වහන්සේ නීති සැපයූ සේක. සත්ත්ව පූජා ඔප්පු කිරීමෙන්, තම පාප පියවීමට ඇති අවශ්‍යතාව ඔවුන්ට පෙන්විය හැකි බව දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට වදාළ සේක. (ලෙවි කථාව 4:4-7, 13-18, 22-30) උන් වහන්සේ අද දවසේ අපෙන් ඉල්ලන දෙය එය නොවුවද, දැන් එහි වැදගත්කමක් ඇත. විශ්වාසවන්ත සියල්ලන්ගේ පාප සඳහා පූර්ණ සමගිකමක් කළ හැකි යාගයක්—මිදීමේ මිලයක්—සැපයීමට දෙවියන් වහන්සේ අරමුණු කළ සේක. (මතෙව් 20:28) රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ කල්පනාව ඇති ව අප සිටිය යුත්තේ මේ නිසා ය.
24 රුධිරයේ සෞඛ්‍යමය අවදානම කෙරෙහි දෙවියන් වහන්සේ මූලික ව යොමු වී නොසිටි බැවින්, එසේ යොමු වී සිටීම වැරදිසහගත ය. ඉශ්රායෙල්වරුන් ඌරන්ගේ මස් නැතහොත් කුණු කසළ කා ජීවත් වන සතුන්ගේ මස් අනුභව නොකිරීමෙන් යම් ප්‍රයෝජන ලබන්නට ඇතුවාසේ ම, රුධිරය නොගැනීමෙන් ද යම් සෞඛ්‍යමය ප්‍රයෝජන ලබන්නට ඇත. (ද්විතීය කථාව 12:15, 16; 14:7, 8, 11, 12) තව ද, දෙවියන් වහන්සේ මස් කෑමේ අයිතිය නෝවාට දුන් විට, මෙවන් සත්ත්වයින්ගේ මස් අනුභව කිරීම උන් වහන්සේ තහනම් නොකළ බව මතක තබා ගන්න. එහෙත් මනුෂ්‍යයන් රුධිරය නොකෑ යුතු බව උන් වහන්සේ අණ කළ සේක. මෙහි දී දෙවියන් වහන්සේ මූලික ව විය හැකි සෞඛ්‍යමය අවදානම ගැන අවධානය යොමු කරමින් නොසිටි සේක. රුධිරය පිළිබඳ උන් වහන්සේගේ අණයෙහි මූලික කරුණ එය නොවී ය. උන් වහන්සේගේ නමස්කාර කරන්නන් සිය ජීවිත රුධිර ගැනීමෙන් පවත්වාගෙන යාමට ප්‍රතික්ෂේප කළ යුතු වූයේ, මූලික ව එසේ කිරීම සෞඛ්‍යයට අහිතකර නිසා නොව, නමුත් එය අශුද්ධ වූ නිසා ය. ඔවුන් රුධිරය ප්‍රතික්ෂේප කළේ, එය දූෂ්‍ය ව තිබූ නිසා නොවන නමුත් එය අනර්ඝ වූ නිසා ය. පව්කමාව ලබාගත හැකි වූයේ පූජනීය රුධිරය තුළින් පමණි.
25 එය අප සමඟ ද සමානාකාරයෙන් සැබෑ ව පවති. එපීස 1:7 හි ප්‍රේරිත පාවුල් මෙසේ පැහැදිලි කළේ ය: “උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ [ක්‍රිස්තුස් වහන්සේගේ] ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.” දෙවියන් වහන්සේ යමෙකුගේ පාප කමා කර හෙතෙම ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පිළිගන්නේ නම්, එම තැනැත්තාට නොනිමි ජීවිතයක බලාපොරොත්තුව ඇත. මෙසේ යේසුස් වහන්සේගේ මිදීමේ මිලයේ රුධිරයට—දිගුකලකට ඇත්ත වශයෙන් ම සදාකාලයට—ජීවිතය බේරා ගැනීමේ හැකියාව ඇත. w91 6/15
[පාදසටහන්වල]
a එම ආඥාව මෙසේ අවසන් විය: “මේවායින් නුඹලා වලකින්නහුනම් නුඹලාට යහපත වන්නේය. නුඹලාට ශුභසිද්ධවේවා.” (ක්‍රියා 15:29) “නුඹලාට ශුභසිද්ධවේවා” යන ප්‍රකාශය, ‘නුඹලා ලෙයින් හෝ වේශ්‍යාකමින් වළකින්නහු නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් නුඹලාට වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඇති වන්නේ ය’ යනුවෙන් පොරොන්දුවක් නොවී ය. එය ‘ආයුබෝවන්’ වැනි, ලිපියට හුදෙක් පොදු අවසානයක් වූවා පමණි.
b රුධිර ප්‍රවේශනයේ දී භාවිතා කළ හැකි ඵලදායි විකල්පයන් බොහොමයක් න්යූ යෝක් හි, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසින් වර්ෂ 1990 ප්‍රසිද්ධ කරන ලද, හව් කැන් බ්ලඩ් සේව් යෝ ලයිෆ්? විවරණිකාවේ සමාලෝචනය කර ඇත.
ඔබට විස්තර කළ හැකි ද?
◻ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් රුධිර ප්‍රවේශනය ප්‍රතික්ෂේප කරන මූලික හේතුව කුමක් ද?
◻ රුධිරය පිළිබඳ බයිබලයේ ස්ථාවරය වෛද්‍යමය වශයෙන් අයුක්ති සහගත නොවන බව කිනම් සාක්ෂි තහවුරු කරයි ද?
◻ රුධිරය පිළිබඳ බයිබලයේ නීතිය මිදීමේ මිලය හා බැඳී ඇත්තේ කෙසේ ද?
◻ රුධිරයට ස්ථිර ලෙසින් ජීවිත ගලවා ගත හැකි එක ම මාර්ගය කුමක් ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. සැබෑ ක්‍රිස්තියානින් ජීවිතය සඳහා වූ සිය ගෞරවයෙහි අද්විතීය වනුයේ කෙසේ ද?
2, 3. රුධිරය හා සම්බන්ධයෙන් අප දෙවියන් වහන්සේ ව සැලකිල්ලට ගත යුත්තේ මක්නිසා ද? (ක්‍රියා 17:25, 28)
4. මනුෂ්‍ය ඉතිහාසයේ මූලාරම්භයේ, දෙවියන් වහන්සේ රුධිරය ගැන කුමක් වදාළ සේක් ද?
5. ඉශ්රායෙල්වරුන් රුධිරය නොගැනීමට මූලික හේතු සාධකය කුමක් වී ද?
6. යේසුස් වහන්සේ රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ ස්ථාවරයෙහි ම පිහිටා සිටි බව අපට නිසැක විය හැක්කේ මක්නිසා ද?
7, 8. රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ නීතිය ක්‍රිස්තියානින්ට අදාළ වන බව පැහැදිලි වූයේ කෙසේ ද?
9. රුධිරය පුරාතන කාලවල ඖෂධීය ලෙස භාවිතා කරනු ලැබුවේ කෙසේ ද, ඒ ක්‍රිස්තියානින්ගේ කිනම් තත්ත්වයන්ට පටහැනි ව ද?
10, 11. රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ ස්ථාවරය, ප්‍රවේශනය කරන ලද රුධිරය පිළිගැනීම තහනම් කරන බව කිව හැක්කේ මක්නිසා ද?
12. නැණවත් අය රුධිර ප්‍රවේශනය ගැන යුක්ති සහගත ලෙස සලකා බලනු ඇත්තේ කුමක් ද?
13, 14. (අ) රුධිර ප්‍රවේශනය අවදානම් සහිත බව තහවුරු වී ඇති සමහරක් ක්‍රම මොනවා ද? (ආ) පාප්වරයාගේ අත්දැකීම රුධිරයේ සෞඛ්‍යමය අවදානම පැහැදිලි කළේ කෙසේ ද?
15, 16. රුධිරය රෝග වෙනුවෙන් පරීක්ෂා කරනු ලැබ තිබියදීත් රුධිර ප්‍රවේශනයන් අනාරක්ෂිත වනුයේ මක්නිසා ද?
17. රුධිර ප්‍රවේශනයන් වහා පැහැදිලි නොවිය හැකි හානි සිදු කළ හැක්කේ කෙසේ ද?
18. (අ) රුධිර ප්‍රවේශනය හා බැඳි අවදානම කාය වෛද්‍යවරුන් කුමක් කෙරෙහි නැඹුරු කරමින් තිබේ ද? (ආ) විකල්පයන් පිළිබඳ කිනම් තොරතුරු ඔබට ඔබගේ කාය වෛද්‍යවරයා සමඟ බෙදා ගත හැකි ද?
19. ඔබ රුධිරය ප්‍රතික්ෂේප කළත්, සාර්ථක ලෙස වෛද්‍යමය වශයෙන් ප්‍රතිකාර ලැබිය හැකි බවට ඔබ නිසැක විය හැක්කේ මක්නිසා ද?
20, 21. “රුධිරය අයහපත් ඖෂධයකි” යන ආකල්පය තමන් වර්ධනය කර නොගත යුතු බවට ක්‍රිස්තියානින් ප්‍රවේසම් විය යුත්තේ මක්නිසා ද?
22. ජීවිතය හා මරණය පිළිබඳ කිනම් යථාර්ථානුරූපි මතයක් අප දැරිය යුතු ද? (දේශනාකාරයා 7:2)
23. රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අප පව්කාර ව සිටීමත් මිදීමේ මිලයක් අවශ්‍ය ව සිටීමත් හා සම්බන්ධ වනුයේ කෙසේ ද?
24. (අ) සෞඛ්‍යමය අන්තරාවන් රුධිරය සම්බන්ධ මූලික කරුණ ලෙස සැලකීම වැරදි වනුයේ මක්නිසා ද? (ආ) රුධිරය භාවිතා කිරීම පිළිබඳ අපගේ මතය සැබෑ ලෙස රැඳී පැවතිය යුත්තේ කුමක් මත ද?
25. කල්පවතින අයුරින් ජීවිතය බේරා ගන්ට රුධිරයට හැක්කේ කෙසේ ද?
විශාලනය කරන ලද රතු රුධිර සෛල. “රුධිරයේ සෑම මයික්රෝලීටරයක ම (අවු. 0.00003) රතු රුධිර සෛල මිලියන 4 සිට 6 දක්වා ප්‍රමාණයක් අඩංගු ව ඇත.”—“ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා”
ප්‍රවේශනය හා ආසාදනය
රුධිර ප්‍රවේශනය රෝගියෙකු ආසාදනයට වඩාත් විවෘත කළ හැකි ද යන්න නිශ්චය කිරීමට කළ පුළුල් සමීක්ෂණයකට පසු වෛද්‍ය නීල් බ්ලම්බර්ග් මෙසේ නිගමනය කළේ ය: “[මේ විෂය සම්බන්ධයෙන්] කළ සායනික අධ්‍යයන 12යෙන් 10ක තුළ ඉතා කැපී පෙනෙන අන්දමකින්, හා ස්වාධීන ව බැක්ටීරියා ආසාදනය සමඟ ප්රවේශනයත් සම්බන්ධ වී ඇති බව සොයාගනු ලැබී ය. . . . ඊට අමතර ව, සමහර අධ්‍යයනයන් ඉඟි දක්වන අයුරින්, ප්‍රවේශනයේ ප්‍රතිශක්තිකරණ බලපෑම් එතරම් දිගුකාලින නම්, ශල්‍යකර්මයට සෑහෙන කලකට පෙර කරන ලද ප්‍රවේශනයක් පවා රෝගියාගේ ආසාදනයට විරුද්ධවීමේ හැකියාව කෙරෙහි අහිතකර බලපෑමක් කළ හැක. මෙම දත්ත තවත් වැඩිවර්ධනය කළ හැකි නම්, ශල්‍යකර්මයට පසු ව ඇති වූ දැඩි ආසාදනයන්, සමජාත ප්‍රවේශනයට සම්බන්ධ වඩා බලපවත්වන එක ම උපද්‍රවය බවට පත්විය හැක.”—ට්රාන්ස්ෆ්යූෂන් මෙඩිසින් රිව්යූස්, ඔක්තෝබර්, 1990.
w91 6/15
Kunkel-CNRI/PHOTOTAKE NYC