ශුද්ධ වස්තුවලට භක්තිය පිදීම දෙවියන් වහන්සේට ප්‍රසන්න ද?
සාමාන්‍යයෙන් වසරකට තුන්වරක් දියාරු වෙනවා යයි පැවසෙන “සැන් ගෙන්නාරෝගේ” රුධිරය ආගමික ශුද්ධ වස්තු ගණනාවෙන් එකකි. ටියුරින් නුවර තිබෙන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සිරුර ඔතා තිබුණ බවට කියා සිටින සළුව ද එවැන්නකි. යේසුස් වහන්සේ හා සම්බන්ධ ව තිබෙන ශුද්ධ වස්තු අතර, උන් වහන්සේගේ යයි කියැවෙන ගව ඔරුව (රෝමයේ විශාල බැසිලිකාවක තිබෙන), උන් වහන්සේගේ අකුරු පොත, සහ උන් වහන්සේ ව ඇණ ගැසීම සඳහා පාවිච්චි කළා යයි කියැවෙන ඇණ දහසකට වඩා වැඩි ගණනක් ද වෙයි! යොහන් බව්තීස්තගේ හිස් ගණනාවක් ද ආගමික ශුද්ධ වස්තුවලට අයත් වන අතර, යුරෝපයේ නොයෙක් ස්ථානවල තිබෙන සිරුරු හතරක් “සැන්ටා ලුසියා” යයි කියැවේ.
ශුද්ධ වස්තුවලට විශේෂයෙන් ම ප්‍රසිද්ධ නගරවලින් එක් නගරයක් නම්, “ශුද්ධ ලෝගු” කිහිපයකගෙන් එකක්—යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් අඳින ලද මූට්ටු නොකරන ලද ඇතුල් ඇඳුම—ආරක්ෂා කොට තිබෙන ජර්මනියේ ට්‍රියර් නගරය ය. වතිකානු නුවර පමණක් ශුද්ධ වස්තු දහස් ගණනකටත් වඩා සුවිශේෂ පුරාගාරයක තැන්පත් කොට ඇත. ආගමික ශුද්ධ වස්තු දහස් ගණනක්, ජර්මනියේ කොලොන් හි “සාන්ත උර්සුලා” පල්ලියේ තබා තිබේ. ලයිස්තුව දිගින් දිගට ම ගෙන යා හැක. ඇයි, ඉතාලියේ පමණක් ආගමික ශුද්ධ වස්තු සහිත ශුද්ධ ස්ථාන යයි කියනු ලබන තැන් 2,468ක් ඇත!
ශුද්ධ වස්තුවලට ගෞරව කිරීම, “සාන්තුවරයන්ට” ගෞරව කිරීම මෙන්, අපගේ පොදු යුගයේ හතරවන සියවස සිට පැවත එන්නකි. ආගමික, ආර්ථික, සහ දේශපාලනමය හේතූන් නිසා පවා, සියවස් පුරා ශුද්ධ වස්තු ගණන වැඩි වී තිබෙන අතර, අද දින ඒවා දහස් ගණනක් පවතී. “පල්ලියේ සම්ප්‍රදායන්ට අනුව, පල්ලිය සාන්තුවරයන්ට භක්තිය පුදන අතර ඔවුන්ගේ අව්‍යාජ ශුද්ධ වස්තුවලට සහ ඔවුන්ගේ රූපවලට ගෞරව කරන” බව දෙවන වතිකානු සමුළුව යළි තහවුරු කළා ය. (1980 එඩිසියෝනි පාවෝලින් හි, අයි ඩොකියුමෙන්ටි ඩෙල් කොන්සිලියෝ වැටිකානෝ හි II “සාක්රොසැන්ක්ටම් කොන්සිල්යම්” සුල්ලා සාක්රා ලිටර්ජියා ව්‍යවස්ථාව) වර්ෂ 1983 දී IIවන ජුවාම් පාවුලු පාප් විසින් භාවිතය සඳහා අනුමත කරන ලද කොඩෙක්ස් ඉයුරිස් කැනොනිසි හි (කැනන් ව්‍යවස්ථා නීති සංග්‍රහය) “නිදර්ශනාත්මක මෙන් ම ජනප්‍රිය ශ්රද්ධාවත් අයගේ ගෞරවයට පාත්‍ර වූ ශුද්ධ වස්තු” ගැන සඳහන් වී තිබේ. (කැනන් 1190) එංගලන්ත සභාවේ සහ වෙනත් ඕතඩොක්ස් පල්ලි සාමාජිකයෝ ද ශුද්ධ වස්තුවලට ගෞරවය පුදති.
ක්‍රිස්තුස් වහන්සේගේ ඇණ ගැසීම සඳහා පාවිච්චි කළා යයි කියැවෙන ඇණ සහ යොහන් බව්තීස්තගේ හිස යයි කියා සිටින හිස් මෙතරම් ගණනක් තිබෙන හෙයින්, මෙම ආගමික ශුද්ධ වස්තු බොහෝ විට වංචනික ඒවා බවට හොඳින් පැහැදිලි ය. නිදසුනක් වශයෙන්, ටියුරින් නුවර ඇති සළුව ප්‍රෝඩාවක් බව රේඩියෝ කාබන් කාල මිනුම් ක්‍රමයෙන් ඔප්පු කර ඇත. වර්ෂ 1988 පවත්වන ලද උණුසුම් විවාදයක දී, ප්‍රසිද්ධ වතිකානු නිරීක්ෂකයෙකු වන මාර්කෝ තාසෝති මෙසේ ඇසීම උනන්දුමත් කරුණකි: “සළුව පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ලද විද්‍යාත්මක විශ්ලේෂණය, භක්තිය පිදෙන වෙනත් වස්තූන් සඳහා ද යොදා ගත්තා නම්, තීන්දුව කුමක් වනු ඇත් ද?”
පැහැදිලි ව ම, බොරු ශුද්ධ වස්තුවකට භක්තිය පුදන්නට කිසි ම ඥානවන්ත පුද්ගලයෙකුට වුවමනා නොවේ. එහෙත්, සලකා බැලීමට තිබෙන එක ම සාධකය එය පමණක් ද?
බයිබලය පවසන්නේ කුමක් ද?
දෙවියන් වහන්සේගේ අනුමැතිය ලත් සෙනඟ වූ පැරණි ඊශ්‍රායෙල් ජනයා මිසරයේ වහල් බැම්ම යටතේ සිටි විට ආගමික ශුද්ධ වස්තුවලට ගෞරව භක්තිය පිදූ බව බයිබලය නොපවසයි. ආදිපිතෘ යාකොබ් මිසරයේ මිය ගොස් ඔහුගේ නෂ්ටාවශේෂ ‘මක්පෙලායේ කෙතෙහි තිබෙන ගුහාවේ තැන්පත් කිරීම’ සඳහා කානාන් දේශයට ගෙන ගිය බව සැබෑවකි. සිය පුත්‍ර යෝසෙප් ද මිසරයේ මැරුණු අතර, ඔහුගේ ඇටකටු අවසානයේ තැන්පත් කිරීම සඳහා කානාන් දේශයට ගෙන යන ලදි. (උත්පත්ති 49:29-33; 50:1-14, 22-26; නික්මයාම 13:19) කෙසේ වෙතත්, ඊශ්‍රායෙලිතයන්, යාකොබ්ගේ සහ යෝසෙප්ගේ සිරුරුවල කොටස් ආගමික ශුද්ධ වස්තු ලෙස සලකා ඒවාට ගෞරව භක්තිය දුන් බවට ශුද්ධ ලියවිලි කිසි ඇඟවීමක් කර නැත.
මෝසෙස් සම්බන්ධ සිද්ධිය ගැන ද සලකා බලන්න. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ, ඔහු ඊශ්‍රායෙලිතයන් ව වසර 40ක් මෙහෙය වූයේ ය. වයස අවුරුදු 120 දී, ඔහු නෙබෝ කන්දට නැඟ, පොරොන්දු දේශය දැක මිය ගියේ ය. අග්‍ර දූත මිකායෙල්, යක්ෂයා සමඟ මෝසෙස්ගේ මළ සිරුර ගැන විවාද කළ අතර, ඊශ්‍රායෙලිතයන් ව ශුද්ධ වස්තු නමස්කාරයේ උගුලට හසු කිරීමට එය යොදවා ගැනීමට සාතන් විසින් දැරීමට තිබූ යම් ප්රයත්නයක් ව්‍යර්ථ කරන ලදි. (යූද් 9) ඔවුන් මෝසෙස්ගේ මරණය සම්බන්ධයෙන් වැලපීම ගැන අප හට තේරුම් ගත හැකි වුවත්, ඔවුහු කිසි විටෙකත් ඔහුගේ සිරුරේ කොටස්වලට ගෞරව භක්තියක් නුදුන්නෝ ය. ඇත්ත වශයෙන් ම, මිනිසුන් නොදත්තා වූ ස්ථානයක පිහිටා තිබූ ලකුණු නොකරන ලද සොහොනක මෝසෙස් ව මිහිදන් කිරීමෙන් දෙවියන් වහන්සේ එයට ඉඩ නොතැබූ සේක.—ද්විතීය කථාව 34:1-8.
ශුද්ධ වස්තුවලට ගෞරව භක්තිය පිදීම ගැන අනුග්‍රහ දක්වන ඇතමෙක්, 2 රාජාවලිය 13:21 හි සඳහන් දෙය හුවා දක්වති. එහි මෙසේ කියයි: “මිනිස්සු මිනියක් වළලන්ට යනවිට සමුදාවක් දැක එලිෂාගේ සොහොන්ගෙයි ඒ මිනිය දැමුවෝය. ඒ මිනිය [ප්‍රොපේත] එලිෂාගේ ඇටවලට තැවරුණු හැටියේම පණ ලැබ නැගිට සිටියේය.” මෙය, දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරයෙකුගේ අජීවි ඇටකටු සම්බන්ධ වූ ප්රාතිහාර්යක් විය. නමුත් මෙම ප්රාතිහාර්ය සිදුවන අවස්ථාවේ දී, එලිෂා මිය ගොස්, “කිසිවක් ගැන සිහිය නැතිව” සිටියේ ය. (දේශනාකාරයා 9:5, 10, NW) එබැවින්, මෙම නැවත නැගිටීම ගැන ප්‍රශංසාව දිය යුත්තේ ස්වකීය ශුද්ධාත්මය හෙවත් ක්‍රියාකාරී බලය මගින් එය සිදු කළා වූ යෙහෝවඃ දෙවියන් වහන්සේගේ ප්රාතිහාර්යාත්මක බලයට ය. එලිෂාගේ ඇටකටුවලට කිසිවිටකත් ගෞරව භක්තිය පිදූ බවක් ශුද්ධ ලියවිලි නොපැවසීම ද මෙහි ලා සැලකිල්ලට ගැනීම වටී.
ක්‍රිස්තියානි ලෝකයේ ඇතමෙක් ශුද්ධ වස්තුවලට භක්තිය පුදන්නේ ක්‍රියා 19:11, 12 හි සඳහන් දෙය නිසා ය. එහි අපට මෙසේ කියවීමට තිබේ: “දෙවියන්වහන්සේ [ප්‍රේරිත] පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්ය්යයන් කෙරෙවූසේක. ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය.” පාවුල් තුළින් එම අති විශේෂ ක්‍රියා කළේ දෙවියන් වහන්සේ බව කරුණාකර සැලකිල්ලට ගන්න. ප්‍රේරිතවරයා ම එවන් ක්‍රියාවන් ස්වාධීන ව සිදු නොකළ අතර, කිසි මිනිසෙකුගෙන් එවන් ගෞරව භක්තියක් ඔහු කිසිවිටෙකත් ලබා ගත්තේ නැත.—ක්‍රියා 14:8-18.
බයිබල් ඉගැන්වීම්වලට පටහැනි ය
ඇත්තෙන් ම, ආගමික ශුද්ධ වස්තුවලට භක්තිය පිදීම බයිබල් ඉගැන්වීම් ගණනාවකට පටහැනි වෙයි. නිදසුනක් වශයෙන්, එවන් භක්තියක් පිදීමට දායක වී ඇති අනිවාර්ය සාධකයක් නම්, මිනිස් ආත්මයේ අමරණීය භාවය පිළිබඳ ව ඇති විශ්වාසයයි. සාන්තුවරයන්ගේ නාමාවලියට ඇතුළත් කොට ගෞරව භක්තිය පුදනු ලබන එම සියලු “සාන්තුවරයන්ගේ” ආත්ම, ස්වර්ගයේ ජීවත්වන බව පල්ලිවල බැතිමතුන් මිලියන ගණනකගේ විශ්වාසයයි. එවන් “සාන්තුවරයන්ට” යාච්ඤා කරන මෙම අවංක මිනිස්සු, ඔවුන්ගේ ආරක්ෂාව පතා, අයදින්නා වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදහත්වන ලෙස ඔවුන්ට කන්නලව් කරති. ඇත්ත වශයෙන් ම, එක් පැවිදි කෘතියකින් පෙනී යන පරිදි, කතෝලිකයන් මෙම ශුද්ධ වස්තු සලකන්නේ, “දෙවියන් වහන්සේ ඉදිරියේ සාන්තුවරයාගේ මැදිහත්වීමේ බලය” ලෙස ය.
කෙසේ වෙතත්, බයිබලය පවසන පරිදි, මිනිස් ආත්මය අමරණීය එකක් නොවේ. නොමැරෙන සුලු, මරණයෙන් පසු සිරුරෙන් ඉවත් ව පැවතීමට හැකියාවෙන් යුත් තමන් තුළ ම ඇති ආත්ම මිනිසුනට නොමැත. එසේ නොව, බයිබලය පවසන්නේ: “දෙවි සමිදාණන් වහන්සේ [යෙහෝවඃ දෙවියන් වහන්සේ, NW] පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් [ආත්මයක් NW] විය.” (උත්පත්ති 2:7, න.අ.) මිනිසුනට අමරණීය ආත්ම ඇතැයි උගන්වනවා වෙනුවට බයිබලය පවසන්නේ: “පව්කරන ආත්මය—එය ම නසින්නේ ය” කියා ය. (එසකියෙල් 18:4, NW) අප සියලු දෙනා ම පළමු මිනිසා වූ ආදම්ගෙන් පාපය හා මරණය උරුම කර ගෙන ඇති බැවින්, පසු ව සාන්තුවරයන්ගේ නාමාවලියට ඇතුළත් වූ “සාන්තුවරයන්” ඇතුළු සියලු මනුෂ්‍යයන් මෙයට අදාළ වෙයි.—රෝම 5:12.
කිසියම් කෙනෙකු උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත්වීමට “සාන්තුවරයන්” අනුමැතිය ලබා නොසිටින හෙයින්, ඔවුන් හට භක්තිය පිදීමෙන් වැළකිය යුතුයි. ස්වකීය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණක් මෙය කළ හැකි බවට යෙහෝවඃ දෙවියන් වහන්සේ ප්‍රකාශයට පත් කොට ඇත. “අප උදෙසා මැරුණේත්, අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත්” යේසුස් වහන්සේ බව පාවුල් පැවසී ය. තව ද “දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩසිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේත් උන් වහන්සේ ය.”—රෝම 8:34, න.අ.; යොහන් 14:6, 14 සසඳන්න.
“සාන්තුවරයන්ට” හා ඔවුන් සම්බන්ධ ශුද්ධ වස්තුවලට භක්තිය පිදීමෙන් වැළකිය යුතු අනෙක් හේතුව රැඳී පවතින්නේ, රූප වන්දනාව ගැන බයිබලය පවසන දෙය තුළ ය. ඊශ්‍රායෙලිතයන් හට දෙන ලද ආඥා දසයෙන් එකක මෙසේ සඳහන් විය: “නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් [යෙහෝවඃ NW] වහන්සේ වන මා ප්‍රතිවාදීන් [අන්‍ය භක්ති, NW] නොඉවසන දෙවි කෙනෙකු බැවිනි.” (නික්මයාම 20:4, 5, න.අ.) සියවස් ගණනකට පසු, ප්‍රේරිත පාවුල් සිය හවුල් ක්‍රිස්තියානින් හට මෙසේ පැවසී ය: “මාගේ ප්‍රේමවන්තයෙනි, රූප නමස්කාරය වෙතින් පලා යන්න.” (1 කොරින්ති 10:14, නව අනුවාදය) මීට සමාන ව ප්‍රේරිත යොහන් ලීවේ: “මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටපල්ලා” යනුවෙනි.—1 යොහන් 5:21.
එමනිසා, සාන්තුවරයන්ගේ නාමාවලියට ඇතුළත්, “සාන්තුවරයන්” සහ ආගමික ශුද්ධ වස්තුවලට ගරු බුහුමන් දැක්වීමට බයිබලය කිසි ම අනුබලයක් නොදෙයි. කෙසේ වුවද, දැකිය හැකි හෝ ස්පර්ශ කළ හැකි, එමෙන් ම, ගැලවීමේ බලයක් තිබෙනවා යයි කියා සිටින ශුද්ධ ලෙස සලකන යමක් තමන් ළඟ තබා ගැනීමට ඇතැම් ජනයා ආශා කරත්. ඇත්තෙන් ම, ආගමික ශුද්ධ වස්තුවක්, ස්වර්ගය හා පොළොව සම්බන්ධ කරන දම්වැලක දෘශ්‍යමාන පුරුකක් ලෙසට බොහෝ දෙනා සලකති. කරුණාකර මෙම කරුණ ගැන මොහොතකට හොඳින් කල්පනා කර බලන්න.
දෙවියන් වහන්සේ ආශාකරන්නා වූ නමස්කාරය පිළිබඳ ව යේසුස් වහන්සේගේ වචනවලට එකඟ ව පුද්ගලයෙක් ක්‍රියා කරන්නේ ආගමික ශුද්ධ වස්තු දැකීමෙන් හෝ ඇල්ලීමෙන් හෝ නොවේ ය. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳු වූවන් සොයන සේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය.” (යොහන් 4:23, 24) යෙහෝවඃ දෙවියන් වහන්සේ මිනිස් ඇස්වලට නොපෙනෙන “ආත්මයකි.” උන් වහන්සේට “ආත්මයෙන්” නමස්කාර කරනවා කීමෙන් අදහස් කරන්නේ, ප්‍රේමයෙන් හා ඇදහිල්ලකින් පිරි හදවතකින් පොලඹ වනු ලැබ දෙවියන් වහන්සේට අපගේ පරිශුද්ධ සේවය පිරිනැමීම ය. (මතෙව් 22:37-40; ගලාති 2:16) ආගමික ශුද්ධ වස්තුවලට ගරු භක්තිය පිදීමෙන් ‘සැබෑකම තුළින්’ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට අපට නොහැකි නමුත්, එසේ කළ හැක්කේ ආගමික බොරු ප්‍රතික්ෂේප කිරීමෙන් හා බයිබලයේ හෙළි කර ඇති අයුරින් උන් වහන්සේගේ කැමැත්ත ඉගෙන ගෙන එය ඉෂ්ට කිරීමෙන් පමණි.
එමනිසා, ‘පුරාතන හෙබ්‍රෙව්වන් ශුද්ධ වස්තුවලට ගරු භක්තිය පිදුවේ නැත’ යනුවෙන් විශාරද ජේම්ස් බෙන්ට්ලි පිළිගැනීම පුදුමයක් නොවේ. ස්තේපන්ගේ මරණය සහ ලුසියාන් විසින් ඔහුගේ මිනිය ගොඩ ගැනීම අතර සියවස් හතරක කාලය තුළ දී, ශුද්ධ වස්තු කෙරෙහි ක්‍රිස්තියානින්ගේ ආකල්පය මුළුමනින් ම වෙනස් වූ බව ද ඔහු පවසයි. කෙසේ වෙතත්, පොදු යුගයේ පහළොස්වන සියවසවන විට, ධර්මභේදී ක්‍රිස්තියානි ලෝකය, රූප වන්දනාව, මළවුන්ගේ තත්ත්වය, සහ “අප වෙනුවෙන් මැදහත්කම් කරන” තැනැත්තා වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාර්ය භාරය ගැන වූ පැහැදිලි බයිබල් ඉගැන්වීම්වලට ඇලී සිටීම ඒ වන විටත්, නවතා දමා තිබිණි.—රෝම 8:34; දේශනාකාරයා 9:5; යොහන් 11:11-14.
අපගේ නමස්කාරයෙන් දෙවියන් වහන්සේ සතුටු වෙනවා දැකීමට අපට වුවමනා නම්, එය කොයි යම් ආකාරයක හෝ රූප වන්දනාව සමඟ මුසු ව නොතිබෙන බවට අප සහතික විය යුතු ය. එය පිළිගත හැකි යමක්වීමට නම්, අපගේ නමස්කාරය යා යුත්තේ මැවුම්කරුවාණන් වූ යෙහෝවඃ දෙවියන් වහන්සේට මිස, යම් ශුද්ධ වස්තුවකට හෝ මැවිල්ලකට නොවේ. (රෝම 1:24, 25; එළිදරව් 19:10) අප බයිබලයේ නිවැරදි දැනුම ද ලබා ගෙන, ශක්තිමත් ඇදහිල්ලක් ද ගොඩ නැඟිය යුතු ය. (රෝම 10:17; හෙබ්‍රෙව් 11:6) තව ද, සැබෑ නමස්කාර මාර්ගයේ අපි ගමන් කරන්නෙමු නම්, ශුද්ධ වස්තුවලට ගරු බුහුමන් දැක්වීම දෙවියන් වහන්සේ ව සතුටු නොකරන බවට සනාථ කරන අපමණ ශුද්ධ ලියවිලි සාක්ෂිවලට අනුකූල ව අප ක්‍රියා කරනු ඇත. w91 11/15
[5වන පිටුවේ පින්තූරය]
එලිෂාගේ ඇටකටු නැවත නැගිටුවීමකට සම්බන්ධ වුවත්, ඒවාට ගරු බුහුමන් නොදක්වන ලදි