දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් බව මුල් සභාව ඉගැන්වී ද?
2 කොටස—අපොස්තලික පියවරු ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වූවෝ ද?
වර්ෂ 1992 අගෝස්තු 1, මුරටැඹ, මෙම ලිපි මාලාවේ 1 කොටසේ දී, යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ගෝලයන් ත්‍රිත්ව මූල ධර්මය, එනම් පියාණන් ද, පුත්‍රයාණන් ද, ශුද්ධාත්මයාණන් ද එක ම සමාන පුද්ගලයන් තිදෙනෙකු නමුත් එක දෙවියන් වහන්සේ ය යන්න ඉගැන්වී ද කියා සාකච්ඡා කරන්නට විය. බයිබලයෙන්, ඓතිහාසඥයන්ගෙන්, සහ දේව ධර්මාචාර්යවරුන්ගෙන් ලැබෙන සාක්ෂිවලින් පෙන්වන්නේ, ඔවුන් එසේ නොකළ බවයි. ඊට වැඩි කල් යන්නට මත්තෙන් විසූ සභා පියවරු ගැන කුමක් කිව හැකි ද? ඔවුහු ත්‍රිත්වයක් ඉගැන්වූවෝ ද?
“අපොස්තලික පියවරු” යනු, පළමු සියවසේ අපගේ පොදු යුගයේ අවසාන භාගයේ හා දෙවන සියවසේ මුල් භාගයේ දී ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ව ලියූ දේවගැතියන් හට භාවිතා වෙන පදවි නමකි. ඔවුන්ගෙන් සමහරෙක් නම්, රෝමයේ ක්ලෙමන්ට්, ඉග්නේෂස්, පොලිකාප්, හර්මාස්, සහ පැපයස් යන අය වේ.
ඔවුන් සමහරක් අපොස්තුලුවරුන්ගේ සමකාලීනයන් යයි කියැවේ. මේ අනුව, අපොස්තුලුවරුන්ගේ ඉගැන්වීම් සමඟ ඔවුන් හුරු පුරුදු ව සිටියා විය යුතු ය. එම මිනිසුන් ලියූ දේ සම්බන්ධ ව ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ පවසයි:
“සමස්තයක් වශයෙන් ගත් කල, අලුත් ගිවිසුමට බාහිර ව තිබෙන වෙනත් මොනයම් ක්‍රිස්තියානි සාහිත්‍යයට වඩා, අපොස්තලික පියවරුන්ගේ ලියවිලි, ඓතිහාසික වශයෙන් බොහෝ වටිනාකමකින් යුක්ත ය.”1
අපොස්තුලුවරුන් ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වී නම්, අපොස්තලික පියවරුන් ද එය ඉගැන්වූවා විය යුතු ය. දෙවියන් වහන්සේ කවුද කියා ජනයාට කියා දීමට වඩා වැදගත් වෙන කිසිවක් නොමැති වූ නිසා, එය ඔවුන්ගේ ඉගැන්වීම අතර ප්‍රධාන යමක් වූවා විය යුතු ය. එසේ නම්, ඔවුන් ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වී ද?
ඇදහිල්ලේ ප්රාරම්භක ප්රකාශනයක්
ක්‍රිස්තියානි ඇදහිල්ල සම්බන්ධ ව බයිබලමය නොවන ප්රාරම්භක ප්රකාශනයන්ගෙන් එකක්, ද ඩිඩාචි හෙවත් අපොස්තුලුවරු දෙළොස් දෙනාගේ ඉගැන්වීම් යනුවෙන් හැඳින්වෙන කෙටි පරිච්ඡේද 16කින් යුත් පොතක සොයා ගත හැක. එය පො.යු. 100 පමණ හෝ ඊට පෙර ලියන ලදැයි ඇතැම් ඉතිහාසඥයෝ සලකති. එහි කතුවරයා ව නොදනී.2
ද ඩිඩාචි පොත, ක්‍රිස්තියානින් බවට පත්වීම සඳහා ජනයාට දැනගැනීමට තිබෙන දේවල් සාකච්ඡා කරයි. එහි 7 වෙනි පරිච්ඡේදය තුළ, මතෙව් 28:19 හි සඳහන් යේසුස් වහන්සේ භාවිතා කළා වූ එම වචන ම, එනම් “පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට” යන්න යොදා ගනිමින් බව්තීස්මය නියම කරයි.3 එහෙත්, තුන් දෙනා, සදාකාලිකත්වයෙන්, බලයෙන්, තත්ත්වයෙන්, සහ ප්‍රඥාවෙන් එක සමාන බවට එහි කිසිවක් පවසන්නේ නැත. එහි 10 වෙනි පරිච්ඡේදයේ දී, ද ඩිඩාචි පහත දැක්වෙන ඇදහිල්ලේ ප්රකාශනය යාව්ඤාවක ස්වරූපයෙන් ඇතුළත් කරයි:
“ශුද්ධ පියාණෙනි, ඔබගේ ශුද්ධ නාමය අපගේ හදවත්වල වාසය කිරීමට සැලැස්වූ නිසාත්; ඔබගේ සේවක ජේසුස් වහන්සේ තුළින් අප හට දැනගැනීමට සලස්වා තිබෙන දැනගැන්ම, ඇදහිල්ල, සහ අමරණීයත්වය නිසාත් අපි ඔබට ස්තුති කරන්නෙමු; ඔබට සදාකාලයට ම මහිමය වේවා! සර්වබලධාරී ස්වාමියාණන් වන ඔබ වහන්සේ, ඔබගේ නාමය උදෙසා සියල්ල මැවූ සේක . . . ඔබ වහන්සේ අපට ආත්මික ආහාර හා පානය ද, ඔබගේ දාසයා වූ ජේසුස් වහන්සේ තුළින් සදාකාල ජීවනය ද දයාභරිත ව දානය කළ සේක.”4
මෙහි කිසි ත්‍රිත්වයක් නැත. දි ඉන්ෆ්ලුවන්ස් ඔෆ් ග්‍රීක් අයිඩියස් ඔන් ක්‍රිස්ටියැනිටි නම් පොතේ, ඉහත සඳහන් වූ ඡේදය උපුටා දක්වමින් එඩ්වින් හැච් මෙසේ පවසයි:
“ක්‍රිස්තියානි ධර්මයේ ප්රාරම්භක වාතාවරණයේ දී, මෙම සරල සංකල්පයක් මත යම් වැඩි දියුණුවීමක් ඇති වී තිබුණු බවක් පෙනෙන්නට නැත. අවධාරණය කරනු ලැබූ මූල ධර්මය වූයේ, දෙවියන් වහන්සේ පවතින බවත්, උන් වහන්සේ එක්කෙනෙකු බවත්, උන් වහන්සේ වනාහි සර්වබලධාරී සහ සදාකාලික බවත්, උන් වහන්සේ ලෝකය මැවූ බවත්, උන් වහන්සේගේ දයාව ස්වකීය සියලු කාර්යයන් මත තිබෙන බවත් ය. අති සංකීර්ණ වූ අධ්‍යාත්මික සාකච්ඡාවක් සඳහා එහි කිසි රුචියක් නොතිබුණි.”
රෝමයේ ක්ලෙමන්ට්
රෝම නගරයේ “බිෂොප්වරයෙක්” ව සිටියා යයි සිතා සිටින, රෝමයේ ක්ලෙමන්ට්, ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ලියවිලිවල තවත් මුල් ප්‍රභවයක් වෙයි. ඔහු පො.යු. 100 දී පමණ මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔහු විසින් ලියනු ලැබුවා යයි පවසනු ලබන එක් ග්‍රන්ථයක, ඍජු ව හෝ වක්‍ර ව ත්‍රිත්වයක් ගැන ඔහු කිසි ම සඳහනක් නොකරයි. ෆර්ස්ට් එපිස්ටල් ඔෆ් ක්ලෙමන්ට් ටු ද කොරින්තියන්ස් හි ඔහු මෙසේ සඳහන් කරයි:
“ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොට ගෙන සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙතින් ඔබට අනුග්‍රහය හා සමාදානය වේවා, එය වැඩිවේවා.”
“අපොස්තුලුවරුන් ශුභාරංචිය අපට දේශනා කර ඇත්තේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ය; ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එසේ කර ඇත්තේ දෙවියන් වහන්සේගෙන් ය. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ ව එවනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින් ය, තව ද අපොස්තුලුවරුන් ක්‍රිස්තුස් වහන්සේ විසින් ය.”
“සියල්ල දකින්නා වූ, සියලු ආත්මයන්ගේ පාලකයන් හා සියලු මාංසයේ ස්වාමියා එනම්—අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව තෝරා ගෙන උන් වහන්සේ තුළින් අප ව විශේෂ සෙනඟක් කළා වූ—දෙවියන් වහන්සේ, ස්වකීය මහිමවත් හා ශුද්ධ නාමය කරණ කොට ගෙන අයද සිටින්නා වූ සියලු ආත්මයන්ට ඇදහිල්ල, භය, සමාදානය, ඉවසීම, හා බොහෝ ඉවසිලිවන්තකම දානය කරන සේක්වා.”6
යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් දෙවියන් වහන්සේට සමාන වන බවක් ක්ලෙමන්ට් පවසන්නේ නැත. ඔහු සර්වබලධාරී දෙවියන් වහන්සේ ව (හුදෙක් “පියාණන් වහන්සේ” නොවේ) ඉදිරිපත් කරන්නේ පුත්රයාණන්ගෙන් වෙනස් පුද්ගලයෙක් ලෙසට ය. ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් “එවනු ලැබූ” නිසාත්, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ව “තෝරා ගත්” නිසාත්, දෙවියන් වහන්සේ වඩා උතුම් බවට පවසා තිබේ. දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ වෙන වෙන ම අසමාන පුද්ගලයන් බව පෙන්වමින් ක්ලෙමන්ට් මෙසේ පැවසී ය:
“විශ්වයේ මැවුම්කරුවාණෝ, ස්වකීය ආදරණීය දරු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොට ගෙන මේ ලෝකයෙන් තෝරා ගත් ස්වකීය සමූහයේ නිශ්චිත අංකය ආරක්ෂා කර සිටින මෙන් කන්නලව් කොට උදක් ම යාච්ඤා කරන්නෙමු. . . . ඔබ [දෙවියන් වහන්සේ] ‘උත්තමයන් අතුරින් එක ම උත්තමයාණන් වහන්සේ’ බවත්, . . . ඔබ පමණක් ආත්මවල ආරක්ෂකයාණන් සහ සියලු මාංසයේ දෙවියන් වහන්සේ බවත් අපි තේරුම් ගනිමු.
“ඔබ එක ම දෙවියන් වහන්සේ බවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ දරුවා බවත් සියලු ජාතීන් වටහා ගනිත්වා.”7
දෙවියන් වහන්සේ (හුදෙක් “පියාණන් වහන්සේ” නොව) “එක ම උත්තමයාණන්” යයි පවසන ක්ලෙමන්ට්, යේසුස් වහන්සේ වනාහි දෙවියන් වහන්සේගේ “දරුවෙකු” වශයෙන් සඳහන් කරයි. යේසුස් වහන්සේ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද සඳහන් කරයි: “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ තේජෝමහිමය පිළිබිඹු කරන බැව් ම, උන් වහන්සේගේ පදවිය දේව දූතයන්ගේ පදවියට වඩා බොහෝ සෙයින් විශිෂ්ට වන තරමට උන් වහන්සේ දේව දූතයන්ට වඩා උසස් වන සේක.”8 යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ තේජෝමහිමය පිළිබිඹු කරන සේක, සඳ, හිරු එළිය විහිදුවන නමුත්, එම එළියේ ප්රභවය හිරුට සමාන නොවන්නාක් මෙන්, උන් වහන්සේ එම තේජෝමහියට සමාන නොවන සේක.
දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, ස්වර්ගික පියාණන් වන දෙවියන් වහන්සේට සමාන වූවා නම්, යේසුස් වහන්සේ දේව දූතයන්ට වඩා උතුම් බව පවසන්නට ක්ලෙමන්ට් හට අවශ්‍ය නොවනු ඇත, මන්දයත් එය පැහැදිලි ව පෙනෙන්ට තිබෙන නිසා ය. තව ද, යේසුස් වහන්සේ දේව දූතයන්ට වඩා උතුම් වන අතරේ දී, උන් වහන්සේ සර්වබලධාරී දෙවියන් වහන්සේට වඩා පහත් බවට ඔහු පිළිගත් බවක් ඔහුගේ වාග් රටාවෙන් පෙන්වයි.
ක්ලෙමන්ට්ගේ ස්ථාවරය ඉතා පැහැදිලි ය: පුත්‍රයාණන් පියාණන්ට වඩා පහත් වන අතර, උන් වහන්සේට දෙවෙනි ව සිටින සේක. යේසුස් වහන්සේ, පියාණන් වහන්සේ සමඟ දේවරූපයේ හවුල්කරුවෙකු යයි ක්ලෙමන්ට් කිසිවිටෙකත් කල්පනා කළේ නැත. පුත්‍රයාණන්, පියාණන් වහන්සේ එනම් දෙවියන් වහන්සේ මත රඳා සිටින බවත්, පියාණන් වහන්සේ ‘දෙවියන් වහන්සේ පමණක්’ බවත් කිසිවෙකු සමඟ ස්වකීය තත්ත්වය හවුලේ බෙදා නොගන්නා බවත් ඔහු ස්ථිර ව පෙන්නුම් කරයි. එමෙන් ම, ක්ලෙමන්ට්, කිසි ම තැනක ශුද්ධාත්මයට දෙවියන් වහන්සේ සමඟ සමානත්වයක් නොදෙයි. මේනයින්, ක්ලෙමන්ට්ගේ ලියවිලිවල කොතැනකවත් ත්‍රිත්වයක් නොමැත.
ඉග්නේෂස්
අන්තියෝකියේ බිෂොප්වරයෙකු වූ ඉග්නේෂස්, ජීවත් වූයේ පො.යු. පළමු සියවසේ මැද භාගයේ සිට දෙවන සියවසේ මුල් භාගය දක්වා පමණ ය. ඔහු විසින් ලියන ලද සියලු ම ලියවිලි සත්‍යය බවට සැලකනු ලැබුවොත්, පියාණන්ගේ, පුත්‍රයාණන්ගේ සහ ශුද්ධාත්මයාණන්ගේ සමානත්වයක් මේ කිසිවක් තුළ දක්නට නොමැත.
සදාකාලිකත්වය, තත්ත්වය, සහ ප්‍රඥාව අතින් පුත්‍රයාණන් පියාණන්ට සමාන බව ඉග්නේෂස් පවසා තිබුණත්, එය තවමත් ත්‍රිත්වයක් වන්නේ නැත. මන්දයත් ශුද්ධාත්මය එම ආකාරයන්ගෙන් දෙවියන් වහන්සේට සමාන බවක් ඔහු විසින් පවසා නැති නිසා ය. නමුත් එවන් ආකාරයකින් හෝ වෙනයම් ආකාරයකින් පුත්‍රයාණන් දෙවි පියාණන් වහන්සේට සමාන බව ඉග්නේෂස් පැවසුවේ නැත. එසේ නොව, ඔහු පෙන්වූයේ, පුත්‍රයාණන් වඩාත් උතුම් සර්වබලධාරී දෙවියන් වහන්සේට යටත් වී සිටින බව ය.
දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ පුත්‍රයාණන් අතර තිබෙන වෙනස පෙන්වමින් ඉග්නේෂස්, “එක ම සැබෑ දෙවියන් වහන්සේ, ජනිත නොවූ, ළඟා විය නොහැකි, සියල්ලන්ගේ ස්වාමියාණන්, ඒක ජාතක පුත්‍රයාණන්ගේ පියාණන් සහ උත්පාදකයාණන්” යනුවෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේ ව හඳුන්වයි.9 “පිතාවන දෙවියන් වහන්සේ සහ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ” ගැන ඔහු කථා කරයි.10 තව ද ඔහු ප්‍රකාශ කරන්නේ: “ඇත්තේ එකම සර්වබලධාරී දෙවිකෙනෙක් ය, උන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේ මගින් තමන් වහන්සේ ම ප්‍රකාශයට පත් කොට ඇත.”11
පුත්‍රයාණන්, පුද්ගලයෙකු වශයෙන් සදාකාලික නොවූ නමුත් මවනු ලැබූ බව ඉග්නේෂස් පෙන්වයි. මන්දයත් යේසුස් වහන්සේ මෙසේ පවසන ආකාරය ඔහු දක්වයි: “ස්වාමියාණන් වහන්සේ [සර්වබලධාරි දෙවියන් වහන්සේ], ස්වකීය මාර්ගයේ පටන් ගැන්ම වශයෙන් මා මැවූ සේක.”12 මීට සමාන ව ඉග්නේෂස් මෙසේ පැවසී ය: “සිටින්නේ විශ්වයේ එක ම දෙවියන් වහන්සේ ය, එනම් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වහන්සේ ය, ‘උන් වහන්සේගෙන් සියල්ල ඇති විය;’ සිටින්නේ එක ම ස්වාමි වූ අපගේ ස්වාමි වූ ජේසුස් වහන්සේ ය, ‘උන් වහන්සේ කරණ කොට ගෙන සියල්ල මවන ලද්දේ ය.’ ”13 ඔහු මෙසේ ද ලියයි:
“ශුද්ධාත්මය කථා කරන්නේ තමන්ගේ ම දේවල් නොවේ, නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ දේවල් ය, . . . එය හරියට ස්වාමියාණන් සිය පියාණන්ගෙන් ලබා ගත් දේවල් අපට දැනුම් දුන්නාක් මෙන් ය. මක්නිසාදයත්, උන් වහන්සේ [පුත්‍රයාණන්] පවසන්නේ මෙසේ ය, ‘ඔබ අසන වචනය මාගේ නොවේ, නමුත් මා එවූ පියාණන්ගේ ය.’ ”14
“සිටින්නේ එක ම දෙවි කෙනෙක් ය, උන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් තමන් ව ම ප්‍රකාශයට පත් කළ සේක, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිහඬතාවයේ සිට නිකුත් වූ උන් වහන්සේගේ වාක්‍යාණෝ වන අතර, තමන් ව එවූ තැනන් වහන්සේ [දෙවියන් වහන්සේ] සෑම පැත්තකින් ම සතුටු කළ සේක. . . . ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණන්ට යටත් ව සිටි සේක.”15
ඉග්නේෂස්, පුත්‍රයාණන් ව “දෙවි වාක්යාණන්” යයි හැඳින්වූ බව ඇත්ත ය. එහෙත් පුත්‍රයාණන් උදෙසා “දෙවියන්” යන වචනය භාවිතා කිරීමෙන්, අනිවාර්යයෙන් ම සර්වබලධාරී දෙවියන් වහන්සේට සමාන වීමක් ඉන් අඟවන්නේ නැත. බයිබලයේ ද පුත්‍රයාණන් “දෙවියන් වහන්සේ” කියා යෙසායා 9:6 හි කථා කරයි. පුත්‍රයාණන් “ඒක ජාතක දෙවියන්” යයි යොහන් 1:18 හි [NW] හැඳින්වෙයි. සිය පියාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේගෙන් බලය හා අධිකාරිත්වය හිමිකර ගෙන සිටින පුත්‍රයාණන් ව, “බලවත් තැනැත්තෙක් [ප්රතාපවත්, නව අනුවාදය]” ලෙස නිසි සේ හැඳින්විය හැකි ය. “දෙවියන්” යනුවෙන් මුලික ව අදහස් කරන්නේ මෙයයි.—මතෙව් 28:18; 1 කොරින්ති 8:6; හෙබ්‍රෙව් 1:2.
කෙසේ වුවත්, ඉග්නේෂස් විසින් ලියනු ලැබූ බවට කියා සලකනු ලබන ලිපි 15, සත්‍යය බවට විශ්වාස කිරීමට හැකි බව පිළිගෙන තිබේ ද? දි ඇන්ටෙ-නයිසීන් ෆාදර්ස් හි පළමු කාණ්ඩයේ සංස්කාරකයන් වන ඇලෙක්සාන්ඩර් රොබට්ස් සහ ජේම්ස් ඩොනල්ඩ්සන් මෙසේ සඳහන් කරයි:
“ඉග්නේෂස්ගේ යයි කියා සිටින මෙම පළමු ලිපි අට දොස් සහිත ඒවා බව දැන් විචාරකයන්ගේ පොදු මතයයි. මේවා පසු කලක දී නිපද වූ බවට ඒවා තුළ ම සාක්ෂි තිබෙන බවට නිසැක ය. . . . දැන් පොදු අනුමැතියක් මගින් ඒවා කූට කෘති වශයෙන් පසෙකට දමා ඇත.”
“එවුසේබියස් විසින් පිළිගෙන තිබෙන ලිපි සත ගැන කථා කරන විට . . . , ග්‍රීක් සංශෝධන දෙකක් අප සතු ව ඇති අතර, එකක් කෙටිය, අනෙක තරමක් දිග ය. . . . කෙටි ව තිබෙන ලිපිය . . . සාමාන්‍යයේ දිගු ලිපියට වඩා පිළිගැනීමක් තිබෙන නමුත්, එයට පවා අමුතුවෙන් ප්‍රයෝගි ආකාරයට යම් යම් විකෘති වූ දේවල් ඇතුළත් කිරීමෙන් මුළුමනින් ම තොර වූ බව පිළිගත නොහැකි බවත් හෝ සැකයෙන් තොර නිරවද්‍යතාවයක් ඇති බවට විශ්වාස කිරීම නොකළ හැක්කක් බවත් විශාරදයන් අතර තවමත් සැලකිය යුතු පිළිගැනීමක් තිබේ.”16
ඔහුගේ ලියවිලිවල කෙටි අනුවාදය සත්‍යය බවට අප පිළිගන්නවා නම්, ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට යටත් පුද්ගලයෙකු බවට පෙන්වන යම් වාක්‍ය කණ්ඩයන් (දිගු අනුවාදය තුළ) සැබවින් ම බැහැර කිරීමට සිදුවේ, නමුත් කෙටි අනුවාදය තුළ ඉතිරි වී තිබෙන දෙය තවමත් ත්‍රිත්වයක් පෙන්වන්නේ නැත. ඔහුගේ ලියවිලිවල සැබෑ එක කුමක් හෝ වේවා, ඒවායින් වැඩි ම වශයෙන් පෙන්වන්නේ, දෙවියන් වහන්සේගේ සහ උන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ ද්විත්වයක් ඉග්නේෂස් විසින් විශ්වාස කරනු ලැබූ බවයි. පුත්‍රයාණන් දෙවියන් වහන්සේට වඩා පහත් බවත් උන් වහන්සේට යටත් ව සිටින බවත් සෑම විට ම ඉදිරිපත් කොට ඇති නිසා, මෙය ඇත්තෙන් ම සමාන දෙදෙනෙකුගෙන් යුත් ද්විත්වයක් නොවේ. මේ අයුරින්, ඉග්නේෂස්ගේ ලියවිලි දෙස යමෙක් කෙසේ බැලුවත්, ඒවා තුළ ත්‍රිත්ව මූල ධර්මයක් සොයා ගැනීමට නොහැක.
පොලිකාප්
ස්මර්ණයේ පොලිකාප්, පළමු සියවසේ අවසාන තුන් වෙනි භාගයේ ඉපිද, දෙවෙන සියවසේ මැද භාගයේ දී මිය ගියේ ය. ඔහු ප්‍රේරිත යොහන් සමඟ සම්බන්ධකම් පැවැත්වූවා යයි කියැවෙන අතර, ඔහු විසින් එපිස්ටල් ඔෆ් පොලිකාප් ටු ද ෆිලිපියන්ස් යන පොත ලියූ බව කියැවේ.
ත්‍රිත්වයක් ගැන ඉඟි කෙරෙන යමක් පොලිකාප්ගේ ලියවිලි තුළ තිබුණා ද? නැත. ඒ ගැන කොහෙත් ම සඳහනක් නැත. ඇත්තෙන් ම, ඔහු පවසන දේ, යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ගෝලයන් ඉගැන්වූ දෙය සමඟ එකඟතාවයක් පෙන්වයි. නිදසුනක් වශයෙන්, පොලිකාප් තම ලිපියේ මෙසේ සඳහන් කරයි:
“අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ සහ පියාණන් වහන්සේ, සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ම ද, . . . ඔබ ව ඇදහිල්ල සහ සැබෑ ව තුළ වර්ධනය කරන සේක්වා.”17
ක්ලෙමන්ට් මෙන් ම පොලිකාප් ද, එක ම දේව රූපයක වූ ත්රිත්වවාදී “පියාණන්” හා “පුත්‍රයාණන්” සම්බන්ධයක් ගැන කථා නොකරන බව සැලකිල්ලට ගන්න. ඒ වෙනුවට, ඔහු කථා කරන්නේ, යේසුස් වහන්සේගේ “දෙවියන් වහන්සේ සහ පියාණන් වහන්සේ” ගැන ය, නිකම් ම ‘යේසුස් වහන්සේගේ පියාණන්’ ගැන පමණක් නොවේ. බයිබල් ලේඛකයන් පුන පුනා කරන්නාක් මෙන්, ඔහු දෙවියන් වහන්සේ ව යේසුස් වහන්සේගෙන් වෙන් කරයි. පාවුල්, 2 කොරින්ති 1:3, [NW] පවසන්නේ, “අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවි වූ ද පියාණන් වූ ද දෙවියන් වහන්සේට ආශීර්වාද වේවා.” ‘යේසුස් වහන්සේගේ පියාණන්ට ආශීර්වාද වේවා’ කියා ඔහු නොකියන නමුත්, ‘ජේසුස් වහන්සේගේ දෙවි වූ පියාණන් වූ ද දෙවියන් වහන්සේට ආශීර්වාද වේවා’ කියා ඔහු පවසයි.
තව ද, පොලිකාප් මෙසේ පවසයි: “සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ද, ස්වාමිවූ අපගේ ගැලවුම්කරු වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ද සමාදානය.”18 මෙහි දී නැවතත්, යේසුස් වහන්සේ සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් වෙනස් ය, සමාන ත්‍රිත්ව දේව රූපයක සිටින එක් පුද්ගලයෙකු නොවේ.
හර්මාස් සහ පපියාස්
තවත් අපොස්තලික පියෙක් නම්, දෙවෙනි සියවසේ පළමු භාගයේ දී ලියූ හර්මිස් ය. ෂෙපර්ඩ්, හෙවත් පාස්ටර් නම් සිය කෘතියේ දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් බව ඔහු තේරුම් ගත් බව විශ්වාස කිරීමට යමෙකුට හේතු කරවන යමක් එහි ඔහු පවසා තිබේ ද? ඔහු පැවසූ දේ ගැන සමහරක් උදාහරණ සලකා බලන්න:
“ආත්මයාණන් කථා කළ යුතු යයි මිනිසා කැමති වේලාවට ශුද්ධාත්මය කථා කරන්නේ නැත, නමුත් එය කථා කරන්නේ එය කථා කළ යුතු යයි දෙවියන් වහන්සේ කැමති වේලාවට ය. . . . දෙවියන් වහන්සේ මිදි වත්ත වැවූ සේක; එනම් උන් වහන්සේ මිනිසුන් ව මැවූ සේක; තව ද ස්වකීය පුත්‍රයාණන්ට ඔවුන් ව දුන් සේක; පුත්‍රයාණන් ව රැක බලා ගැනීමට උන් වහන්සේගේ දේව දූතයන්ට පැවරූ සේක.”19
“දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ, උන් වහන්සේගේ සියලු මැවිලිවලට වඩා වයසින් වැඩි ය.”20
මෙහි දී හර්මාස් පවසන්නේ, ආත්මය විසින් කථා කරනු ලැබීමට දෙවියන් වහන්සේ (හුදෙක් පියාණන් වහන්සේ පමණක් නොවේ) කැමති වන විට, ආත්මය කථා කරන බව ය, ඉන් පෙන්වන්නේ, ආත්මයට වඩා දෙවියන් වහන්සේගේ ඇති ශ්‍රේෂ්ඨත්වයයි. තව ද, පුත්‍රයාණන්ට වඩා දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වමින්, දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ට මිදි වත්ත දුන් බව ඔහු පවසයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, උන් වහන්සේගේ, එනම් පුත්‍රයාණන්ගේ මැවිලිවලට, එනම් දෙවියන් වහන්සේගේ ප්‍රධාන කර්මාන්තකාරයාණෝ වශයෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් විසින් මවන ලද අයට වඩා වයසින් වැඩි බව ද ඔහු පවසයි. “ස්වර්ගවල සහ පොළොවෙහි ඇති . . . දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය.” (කොලොස්සි 1:15, 16) මෙහි මූලික කරුණ නම්, පුත්‍රයාණන් සදාකාලික නොවන බව ය. උන් වහන්සේගේ මාර්ගයෙන් මවනු ලැබූ දේව දූතයන් වැනි වෙනත් ආත්මික මැවිලි මවන්නට පෙර උන් වහන්සේ ව උසස් පැලැන්තියක ආත්මික මැවිල්ලක් වශයෙන් මවනු ලැබී ය.
ජේ. එන්. ඩී. කෙලී, තම අර්ලි ක්‍රිස්ටියන් ඩොක්ට්රින්ස් නම් පොතේ, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් සම්බන්ධ ව හර්මාස්ගේ දෘෂ්ටිය පිළිබඳ ව මෙසේ ලියයි:
“දෙවියන් වහන්සේගේ ධාර්මික අභ්‍යන්තර මන්ත්‍රණ සභාව සැකසී තිබෙන දේව දූතයන් හය දෙනාට වඩා උතුම් දේව දූතයෙකු ගැන ඡේද ගණනාවක ම අපට කියවන්නට ලැබෙයි. මෙම දේව දූතයා ව ‘අති ගෞරවනීය’, ‘ශුද්ධ’ සහ ‘මහිමාන්විත’ යනුවෙන් නිතර ම විස්තර කොට තිබේ. මෙම දේව දූතයාට මිකායෙල් යන නාමය දී ඇති අතර, මේ තැනැන්තා දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට හර්මාස් විසින් සැලකූ බව, අග්‍රදූත මිකායෙල්ට ඔහු ව සමාන කළා ය යන නිගමනයෙන් පලා දිවීම අසීරු ය.”
“ක්‍රිස්තුස් වහන්සේ ව ශ්‍රේෂ්ඨ දේව දූතයෙකුගේ ආකාරයකින් අර්ථකථනය කිරීමට ගෙන තිබෙන ප්රයත්න සම්බන්ධ ව තවත් සාක්ෂි ද ඇත, . . . ඇත්තෙන් ම බැරෑරුම් අර්ථයකින් ගත් කල, ත්‍රිත්ව මූල ධර්මය පිළිබඳ ව අංශුමාත්‍රයකවත් එවැනි ලකුණක් නැත.”21
පපියාස් ද ප්‍රේරිත යොහන් ව දැන සිටින බව කියැවේ. ඔහු දෙවෙනි සියවසේ මුල් භාගයේ දී ලියූ බව පෙනෙන්නට තිබුණත්, අද දින පවතින්නේ ඔහුගේ ලිපිවල කුඩා කැබලි පමණි. ඒවායේ ත්‍රිත්ව මූල ධර්මයක් පිළිබඳ ව ඔහු කිසිවක් පවසන්නේ නැත.
ස්ථිරත්වයෙන් යුත් ඉගැන්වීම
දෙවියන් වහන්සේගේ උත්තරීතර භාවය හා යේසුස් වහන්සේ සමඟ උන් වහන්සේගේ සම්බන්ධතාවය පිළිබඳ කාරණයේ දී, අපොස්තලික පියවරුන්ගේ ඉගැන්වීම, බයිබලයේ වාර්තා කර ඇති පරිදි යේසුස් වහන්සේගේ, ගෝලයන්ගේ සහ අපොස්තුලුවරුන්ගේ ඉගැන්වීමට සාධාරණ වශයෙන් එකඟ ය. ඔවුන් සියල්ලන් දෙවියන් වහන්සේ ගැන කථා කරන්නේ, ත්‍රිත්වයක් හැටියට නොව, නමුත් වෙනස් වූ, සදාකාලික, සර්වබලධාරී, සියල්ල දන්නා පුද්ගලයෙකු වශයෙනි. තව ද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වනාහි, ස්වකීය කැමැත්ත ඉටු කිරීමේ ලා තමන් වහන්සේට සේවය කිරීමට දෙවියන් වහන්සේ විසින් මවන ලද්දා වූ, වෙනස් වූ, වඩා පහත් වූ, යටත් ආත්මික මැවිල්ලක් වශයෙන් ඔවුහු කථා කරති. එමෙන් ම, ශුද්ධාත්මය, දෙවියන් වහන්සේට සමාන දෙයක් වශයෙන් කොතැනකවත් සඳහන් වන්නේ නැත.
මේ අයුරින්, එම පළමු සියවසේ අග භාගයේ සහ දෙවන සියවසේ මුල් භාගයේ අපොස්තලික පියවරුන්ගේ ලිපිවල, ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වයට කිසි ම සහයෝගයක් දී නොමැත. ඔවුන් දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මය ගැන කථා කළේ, බයිබලය කථා කරන ලෙසට ම ය. නිදසුනක් වශයෙන්, ක්‍රියා 7:55, 56 බලන්න:
“[ස්තේපන්] ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුන් වහන්සේ නැඟිට සිටිනවාත් දැක, ‘අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ’ යයි කීය.”—කතෝලික පොදු නව අනුවාදය.
ස්තේපන් දුටුවේ, ස්වර්ගයේ දෙවියන් වහන්සේ සමඟ යේසුස් වහන්සේ ඒ අසල ම නැඟිට සිටීමේ දර්ශනයකි. පුත්‍රයාණන් නැගිට සිටියේ “පියාණන් වහන්සේ” වශයෙන් පමණක් නොව “දෙවියන් වහන්සේ” යන යෙදුමෙන් හඳුන්වා ඇති පුද්ගලයා අසල ය. උන් වහන්සේ යේසුස් වහන්සේගේ අනන්‍යතාවයෙන් මුළුමනින් ම වෙනස් ය. තව ද, ස්තේපන් දුටු දේට ඇතුළත් වී තිබූ තුන්වෙනි පුද්ගලයෙක් නොවී ය. ස්වර්ගයේ දී, යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ පියාණන් සමඟ ශුද්ධාත්මය දකිනු ලැබුවේ නැත.
එළිදරව් 1:1 පවසන දේ ද මේ හා සමාන ය, එහි මෙසේ සඳහන් කරයි: “දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ දර්ශනය මේ ය.” (පොදු නව අනුවාදය) යළිත්, නැවත නැගිටුවනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේගෙන් මුළුමනින් ම වෙනස් වූ පුද්ගලයෙකු ලෙස පෙන්වා තිබෙන අතර, ශුද්ධාත්මය ගැන සඳහනක් නොමැත. යේසුස් වහන්සේ, ත්‍රිත්වයක සියල්ල දන්නා වූ දෙවෙනි තැනැත්තා වූවා නම්, උන් වහන්සේ හට දර්ශනයක් ‘දක්වනු ලබන්නේ’ කෙසේ ද?
මෙවන් ශුද්ධ ලියවිලිවලින් පැහැදිලි ව පෙන්වන්නේ ත්‍රිත්වයක් නොමැති බව ය. තව ද මුළු බයිබලයේ ම තිබෙන එක ම ශුද්ධ ලියවිලි පදයක්වත්, දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් යයි පවසන්නේ නැත. අපොස්තලික පියවරුන්ගේ ලියවිලි පිළිබිඹු කළේ මෙයයි. ඔවුන් ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වය ඉගැන්වූවේ නැති බවට වඩාත් සහතික ය.
ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ව ලියා ඇති ඊළඟ වැදගත් ලියවිලි කණ්ඩායම පැමිණියේ, දෙවන සියවසේ අගභාගයේ ය. මේවා නම්, ඇපොලොජිස්තවරුන් යනුවෙන් හැඳින්වෙන දේවගැතිවරුන්ගේ කර්තව්‍යයන් විය. ඔවුන් ත්‍රිත්වයක් ඉගැන්වූවා ද? මතු කලාපයක, මෙම ලිපි මාළාවේ 3වන කොටසේ දී, ඔවුන්ගේ ඉගැන්විම් ගැන විස්තර කෙරෙනු ඇත. w92 2/1
යොමු සටහන්:
1. ද න එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා, 15 වැනි සංස්කරණය, 1985 මයික්රොපීඩියා, 1 වෙළුම, 488 පිටුව.
2. අ ඩික්ෂනරි ඔෆ් ක්‍රිස්ටියන් තියලොජි, ඇලන් රිචඩ්සන් විසින් සංස්කරණය කරන ලදි. 1969, 95 පිටුව; ද න එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා, 15 වෙනි සංස්කරණය, 1985, මයික්රොපීඩියා, 4 වෙළුම, 79 පිටුව.
3. දි ඇපොස්ටොලික් ෆාදර්ස්, 3 වෙළුම, රොබර්ට් ඒ. ක්‍රාෆ්ට් විසිනි, 1965, 163 පිටුව.
4. එම., 166-7 පිටු.
5. දි ඉන්ෆ්ලුවන්ස් ඔෆ් ග්‍රීක් අයිඩියස් ඔන් ක්‍රිස්ටියැනිටි, එඩ්වින් හැච් විසිනි, 1957, 252 පිටුව.
6. දි ඇන්ටේ නයිසීන් ෆාදර්ස්, ඇලෙක්සාන්ඩර් රොබර්ට්ස් සහ ජේම්ස් ඩොනල්ඩ්සන් සංස්කාරකවරුන්, එඩින්බර සංස්කරණයේ අමෙරිකානු යළි මුද්‍රණය, 1885, I වෙළුම, 5, 16, 21 පිටු.
7. දි ලයිබ්‍රරි ඔෆ් ක්‍රිස්ටියන් ක්ලැසික්ස්, 1 වෙළුම, මුල් ක්‍රිස්තියානි පියවරු, පරිවර්තනය කොට සංස්කරණය කරන ලද්දේ සිරිල් සී. රිචඩ්සන් විසිනි, 1953, 70-1 පිටු.
8. එම. , 60 පිටුව.
9. දි ඇන්ටේ නයිසීන් ෆාදර්ස්, I වෙළුම, 52 පිටුව.
10. එම. , 58 පිටුව.
11. එම. , 62 පිටුව.
12. එම. , 108 පිටුව.
13. එම. , 116 පිටුව.
14. එම. , 53 පිටුව.
15. දි ඇපොස්ටොලික් ෆාදර්ස්, 4 වෙළුම, රොබර්ට් එම්, ග්‍රාන්ට් විසිනි, 1966, 63 පිටුව.
16. දි ඇන්ටේ නයිසීන් ෆාදර්ස්, I වෙළුම, 46-7 පිටු; සයික්ලොපීඩියා ඔෆ් බිබ්ලිකල්, තියලොජිකල්, ඇන්ඩ් එක්ලීසියෑස්ටිකල් ලිට්රෙච, ජෝන් මැක්ලින්ටොක් සහ ජේම්ස් ස්ට්‍රෝං විසිනි, බේකර් බුක් හවුස් කො. විසින් යළි මුද්‍රණය කරන ලදි, 1981, IV වන වෙළුම, 490-3 පිටු; ද කැතොලික් එන්සයික්ලොපීඩියා, 1910, VII වෙළුම, 644-7 පිටු.
17. දි ඇන්ටේ-නයිසීන් ෆාදර්ස්, I වෙළුම, 35 පිටුව.
18. එම. , 33 පිටුව.
19. දි ඇන්ටේ නයිසීන් ෆාදර්ස්, II වෙළුම, 27, 35 පිටු.
20. දි ඇපොස්ටලික් ෆාදර්ස්, (ලොඑගේ සම්භාව්‍ය පුස්තකාලය) කර්සොප් ලේක් විසින් කරන ලද ඉංග්‍රීසි පරිවර්තනයක් සමඟ, 1976, 249 පිටුව.
21. අර්ලි ක්‍රිස්ටියන් ඩොක්ට්රින්ස්, ජේ. එන්. ඩී. කෙලී විසිනි, දෙවන සංස්කරණය, 1960, 94-5 පිටුව.