දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථීර ව සිටින්න!
“ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථීරව සිටපල්ලා.”—ගලාති 5:1.
1, 2. දෙවියන් වහන්සේ දානය කළ නිදහස අහිමි වූයේ කෙසේ ද?
යෙහෝවඃ වහන්සේගේ ජනයා නිදහස් ය. එහෙත් ඔවුන් දෙවියන් වහන්සේගෙන් ස්වාධීනත්වය ලබන්නට උත්සාහ කරන්නේ නැත, මන්ද ඉන් සාතන්ට වහල්වීමක් අදහස් වන නිසා ය. යෙහෝවඃ වහන්සේ සමඟ තම කිට්ටු සම්බන්ධතාව භක්ත්‍යාදරයෙන් යුතු ව රැක බලා ගන්නා ඔවුහු, උන් වහන්සේ තමන්ට දානය කරන්නා වූ නිදහස තුළ ප්‍රීති වෙති.
2 අපගේ පළමු මව්පියෝ වූ ආදම් සහ ඒව, පව් කර පාපයට, මරණයට, හා සාතන්ට වහලුන්වීමෙන් දෙවියන් වහන්සේ දානය කළ නිදහස නැති කර ගත්හ. (උත්පත්ති 3:1-19; රෝම 5:12) මන්ද, සාතන් මුළු ලෝකය ම විනාශයේ පාපතර මාර්ගයට ඇද දැමී ය! එහෙත් දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථිර ව සිටින්නෝ සදා ජීවනයට යන මාර්ගයේ ගමන් කරමින් සිටිති.—මතෙව් 7:13, 14; 1 යොහන් 5:19.
වහල් බැම්මෙන් නිදහස
3. දෙවියන් වහන්සේ ඒදන්හි ඉදිරිපත් කළේ කිනම් බලාපොරොත්තුව ද?
3 යෙහෝවඃ වහන්සේගේ නාමයට ගරු කරන්නා වූ මනුෂ්‍යයන් සාතන්ට, පාපයට, හා මරණයට වහල් භාවයෙන් නිදහස් වනු ඇතැයි උන් වහන්සේ අරමුණු කළ සේක. දෙවියන් වහන්සේ ඒදන් හි සාතන් විසින් යොදා ගත් සර්පයාට මෙසේ වදාළ විට එම බලාපොරොත්තුව ඉදිරිපත් කරන ලදි: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (උත්පත්ති 3:14, 15) යෙහෝවඃ වහන්සේගේ ස්වර්ගික සංවිධානයේ වංශය වූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වධකණුව මත මරණයට පත් වූ විට විලුඹ පොඩි කිරීමේ වේදනාව විඳි මුත්, මිනිස් වර්ගයා පාපයෙන් හා මරණයෙන් නිදහස් කිරීමට මිදීමේ මිලයක් දෙවියන් වහන්සේ මෙසේ සැපයූ සේක. (මතෙව් 20:28; යොහන් 3:16) නියම කාලයේ දී, යේසුස් වහන්සේ මුල් සර්පයා වන, සාතන්ගේ හිස පොඩි කරනු ඇත.—එළිදරව් 12:9.
4. ආබ්‍රහම් භුක්ති වින්දේ කිනම් නිදහසක් ද, එමෙන් ම යෙහෝවඃ වහන්සේ ඔහුට පොරොන්දු වූයේ කුමක් ද?
4 ඒදන් හි පොරොන්දුව දීමෙන් වසර 2,000කට පමණ පසු, ‘යෙහෝවඃ වහන්සේගේ මිත්‍රයා’ වන ආබ්‍රහම් දෙවියන් වහන්සේට කීකරු වී වෙනත් තැනකට යනු පිණිස ඌර් නුවරින් පිට විය. (යාකොබ් 2:23; හෙබ්‍රෙව් 11:8) එසේ ඔහු තවදුරටත් සාතන්ගේ ලෝකයේ බොරු ආගමේ, දූෂිත දේශපාලනයේ, හා ගිජු වාණිජ්‍යයේ වහලෙක් ලෙස ජීවත් නොවී දෙවියන් වහන්සේ දානය කළ නිදහස ලබා ගත්තේ ය. ඒදන් උයනේ දී වදාළ අනාවැකියට දෙවියන් වහන්සේ ආබ්‍රහම් හා ඔහුගේ වංශය තුළින් සියලු පවුල් හා ජාතීන්ට ආශීර්වාද ලැබෙනු ඇතැයි යන පොරොන්දු එකතු කළ සේක. (උත්පත්ති 12:3; 22:17, 18) ආබ්‍රහම් ‘යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල දක්වා උන් වහන්සේ එය ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබූ නිසා’ ශාපයෙන් නිදහස් විය. (උත්පත්ති 15:6) ඒ හා සමාන ව අද දිනත්, යෙහෝවඃ වහන්සේ සමඟ කිට්ටු සම්බන්ධතාවයක් ඇතුව සිටීමෙන් ශාපයෙන් හා සාතන්ගේ බලය යටතේ රැඳී තිබෙන ලෝකයේ වහල් බවින් තොර දෙවියන් වහන්සේ දානය කළ නිදහස ගෙන දෙයි.
ගැඹුරින් අවබෝධ කර ගත යුතු සංකේතවත් නාට්‍යයක්
5. ඊසාක්ගේ උපත කිනම් තත්ත්වයක් සමඟ සම්බන්ධ කරනු ලැබී ද?
5 ආබ්‍රහම්ට වංශයක් ඇති වනු පිණිස, ඔහුගේ වඳ භාර්යාව වූ සාරා, දරුවෙක් ප්‍රසූත කරන්නියක් ලෙස, ඇයගේ දාසිය වූ හාගර් ව ඔහුට ඉදිරිපත් කළා ය. ඇය තුළින් ආබ්‍රහම් ඉෂ්මායෙල් ජනිත කළ ද, දෙවියන් වහන්සේ පොරොන්දු වූ වංශය ලෙස ඔහු ව තෝරා ගත්තේ නැත. ඒ වෙනුවට, ආබ්‍රහම්ට අවුරුදු 100ක් හා සාරාට අවුරුදු 90ක් වයස් ව තිබිය දී, යෙහෝවඃ වහන්සේ ඊසාක් නම් පුත්‍රයෙක් ලබන්නට ඔවුන්ට හැකියාව දානය කළ සේක. ඉෂ්මායෙල් ඊසාක්ට සරදම් කළ විට, නිදහස් ස්ත්‍රිය වූ සාරා මගින් ලද ආබ්‍රහම්ගේ පුත්‍රයා ආබ්‍රහම්ගේ නිසැක වංශය ලෙස ඉතිරි වෙමින් හාගර් සහ ඇගේ පුත්‍රයා ව පිටමං කරන ලදි. ආබ්‍රහම් මෙන්, ඊසාක් ද ඇදහිල්ල ක්‍රියාවට නංවා දෙවියන් වහන්සේ දානය කළ නිදහස භුක්ති වින්ඳේ ය.—උත්පත්ති 16:1-16; 21:1-21; 25:5-11.
6, 7. බොරු ගුරුවරුන් ගලාති ක්‍රිස්තියානින්ට ඒත්තු ගන්වා තිබුණේ කුමක් ගැන ද, එහෙත් පාවුල් පැහැදිලි කළේ කුමක් ද?
6 මේ සිද්ධීන් දෙවියන් වහන්සේ දානය කළ නිදහසට ප්‍රේම කරන්නන් හට ඉතා වැදගත් දෑ පෙර ඡායා කොට දැක්වී ය. ප්‍රේරිත පාවුල් පො.යු. 50 සිට 52 පමණ කාලයේ දී ගලාති සභාවට ලියූ ලිපියේ මෙය යොමු දක්වන ලදි. ඒ වන විට ක්රිස්තියානින්ගෙන් චර්මඡේදනය කිරීම අවශ්‍ය නැතැයි පාලක මණ්ඩලය තීරණය කර තිබුණි. එහෙත් එය ක්‍රිස්තියානි ධර්මයේ අත්‍යවශ්‍ය අංගයක් හැටියට බොරු ගුරුවරු ගලාතිවරුන් සමහරෙකු හට ඒත්තු ගන්වා තිබුණි.
7 කෙනෙක් ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ක්‍රියා තුළින් නොව, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් බව පාවුල් ගලාතිවරුන්ට කීවේ ය. (ගලා 1:1–3:14) ව්‍යවස්ථාව ආබ්‍රහම්ගේ ගිවිසුමත් සමඟ සම්බන්ධ ව තිබූ පොරොන්දුව අවලංගු නොකළමුත් පාපය පැහැදිලි ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට මඟ පෙන්වන ගුරුවරයෙක් ලෙස ක්‍රියා කළේ ය. (ගලා 3:15-25) යේසුස් වහන්සේ සිය මරණය මගින්, ව්‍යවස්ථාව යටතේ සිටියවුන් ව නිදහස් කොට දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බවට පත්වීමට හැකියාව ලබා දුන් සේක. එබැවින්, දින, මාස, ඍතු, හා අවුරුදු පිළිපදින විධිවිධානයකට නැවත හැරී යාම, නැවත වහල්කමකට යාමක් අදහස් කරනු ඇත. (ගලා 4:1-20) පාවුල් එවිට ලීවේ:
8, 9. (අ) පාවුල් ගලාති 4:21-26 හි පැවසූ දෙය ඔබගේ ම වචනයෙන් කෙටියෙන් පැහැදිලි කරන්න. (ආ) මෙම සංකේතවත් නාටකයේ ආබ්‍රහම් හා සාරා විසින් පිළිබිඹු කොට දක්වනු ලැබුවේ කවරෙක් ද හෝ කුමක් ද? එමෙන් ම පොරොන්දු වූ වංශය කවුද?
8 “ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, නුඹලා ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියාපල්ලා. මක්නිසාද ආබ්‍රහම්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය, එක්කෙනෙක් [ඉෂ්මායෙල්] දාසියගෙන්ය [හාගර්], එක්කෙනෙක් [ඊසාක්] නිර්දාසියගෙන්ය [සාරා]. නුමුත් දාසියගේ පුත්‍රයා මාංසිකලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ. මේ දේවල උපමාවක් [සංකේත නාට්‍යයක් NW] අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු [අදහස් කරන්නේ NW] ගිවිසුම් දෙකක්ය; [දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සමඟ ඇති කර ගත් ගිවිසුම] සීනා පර්වතයෙන් දුන් ගිවිසුම [ව්‍යවස්ථා ගිවිසුම] තොමෝ දාසකමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය. [අනෙක් ගිවිසුම ආබ්‍රහම් සමඟ ඔහුගේ වංශය සම්බන්ධයෙන් ඇති කර ගත් එක ය.] මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය, ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළවේ [අනුරූප වේ NW]. මක්නිසාද ඈ තමාගේ දරුවන් [ආබ්‍රහම් ඊසාක්, හා යාකොබ්ගේ පැවතෙන්නන්] සමග දාසකමෙහි සිටින්නීය. නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.”—ගලාති 4:21-26.
9 මෙම සංකේතවත් නාට්‍යයේ, ආබ්‍රහම් යෙහෝවඃ වහන්සේ ව නියෝජනය කළේ ය. “නිර්දාසිය” වූ සාරා, දෙවියන් වහන්සේගේ “ස්ත්‍රිය,” නැතහොත් ශුද්ධ සර්ව ලෝක සංවිධානය ආදර්ශ කොට දැක්වී ය. එය උතුම් ආබ්‍රහම්ගේ හා සංකේතවත් ස්ත්‍රියගේ වංශය වූ, ක්‍රිස්තුස් වහන්සේ උත්පාදනය කළේ ය. (ගලාති 3:16) අපවිත්‍ර නමස්කාරයෙන්, පාපයෙන් හා සාතන්ගෙන් නිදහස්වීමේ මාර්ගය ජනයාට පෙන්වීමට සත්‍යය ඉගැන්වූ යේසුස් වහන්සේ, බොරු ආගම ප්‍රසිද්ධියේ එළිදරව් කළමුත්, යෙරුසලම හා ඇයගේ දරුවෝ උන් වහන්සේ ව ප්‍රතික්ෂේප කළ නිසා ආගමික වහල් භාවයේ ම පසු වූහ. (මතෙව් 23:37, 38) අසම්පූර්ණත්වය, පාපය, හා මරණයට වූ සිය වහල් භාවය ඉස්මතු කර දැක් වූ ව්‍යවස්ථාවෙන් යේසුස් වහන්සේගේ යුදෙව් අනුගාමිකයෝ නිදහස් වූහ. දෙවියන් වහන්සේගේ “ස්ත්‍රිය” විසින් මෙසියානු රජු වීමට උත්පාදනය කරන ලද තැනැත්තාණන් මෙන් ම ‘වහලුන්ට නිදහස ප්‍රකාශ කරන’ විමුක්ති දායකයාණන් ලෙසට යේසුස් වහන්සේ ව පිළිගන්නා සියලු මනුෂ්‍යයන් ඇත්තෙන් ම නිදහස් ය!—යෙසායා 61:1, 2; ලූක් 4:18, 19.
වහල්කමේ වියගසකින් වළකින්න
10, 11. ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයන් ව නිදහස් කළේ කිනම් වහල් වියගසකින් ද, අද දින කිනම් සමාන්තරයක් දක්නට ඇත් ද?
10 උතුම් ඊසාක් වන ක්‍රිස්තුස් වහන්සේ සමඟ ආබ්‍රහම්ගේ වංශය සකසන්නා වූ අයට, පාවුල් මෙසේ පවසයි: “ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය. . . . ඉඳින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය. නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා [ඉෂ්මායෙල්] ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට [ඊසාක්] එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය. . . . අපි දාසියෙකුගේ නොව නිර්දාසියගේ දරුවෝය. ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ [ව්‍යවස්ථාවෙන්] නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටපල්ලා.”—ගලාති 4:26–5:1.
11 යේසුස් වහන්සේගේ ඕනෑ ම අනුගාමිකයෙක් තමන් ව්‍යවස්ථාවට යටත් වී සිටියේ නම්, වහල්කමේ වියගහක හිර වී සිටිනු ඇත. බොරු ආගම වර්තමානයේ වහල්කමේ වියගහක් වන අතර, ක්‍රිස්තියානි ලෝකය පුරාතන යෙරුසලම හා ඇයගේ දරුවන්ට සමාන්තර ව පවතී. එහෙත් ආලේප ලත් අය ඉහළ යෙරුසලමේ, දෙවියන් වහන්සේගේ නිදහස් ස්වර්ගික සංවිධානයේ දරුවෝ වෙති. ඔවුන් හා භූමික බලාපොරොත්තුව ඇති සහකාර ඇදහිලිවන්තයෝ මේ ලෝකයේ කොටසක් නොවන අතර සාතන්ට වහල් ව නොසිටිති. (යොහන් 14:30; 15:19; 17:14, 16) සත්‍යයෙන් හා යේසුස් වහන්සේගේ යාගයෙන් විමුක්තිය ලබා සිටින බැවින්, අපි දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථිර ව සිටිමු.
දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථාවරයක් ගැනීම
12. ඇදහිලිවන්තයන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක් ද, එමෙන් ම දැන් සාකච්ඡා කරනු ලබන්නේ කුමක් ද?
12 මිලියන සංඛ්‍යාත අය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හැටියට දැන් සැබෑ නිදහස භුක්ති විඳිති. තවත් මිලියන සංඛ්‍යාත දෙනෙකු සමඟ බයිබල් පාඩම් පවත්වමින් සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සදාකාල ජීවනය සඳහා නිසි ස්වභාවයක් ඇති අය ව සිටිත්. ඇදහිලිවන්තයන් බවට පත්වීමෙන් පසු, බව්තීස්ම වීම මගින් ඔවුන් දෙවියන් වහන්සේ දානය කළ නිදහස වෙනුවෙන් ස්ථාවරයක් ගනු ඇත. (ක්‍රියා 13:48, NW; ක්‍රියා 18:8) එහෙත් ක්‍රිස්තියානි බව්තීස්මයට පෙර කිනම් පියවර ගත යුතු ද?
13. දැනුමට බව්තීස්මය හා ඇත්තේ කිනම් සම්බන්ධකමක් ද?
13 බව්තීස්ම වීමට පෙර, පුද්ගලයෙක් ශුද්ධ ලියවිල්ල පිළිබඳ ඒකාන්ත දැනුම ලබා ඒ අනුව ක්‍රියා කළ යුතු ය. (එපීස 4:13) එබැවින්, යේසුස් වහන්සේ සිය අනුගාමිකයන්ට මෙසේ පැවසූ සේක: “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් [ශුද්ධාත්මයෙත් NW] නාමයට ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.”—මතෙව් 28:19, 20.
14. පියාණන්ගේ, පුත්‍රයාණන්ගේ, හා ශුද්ධාත්මයේ නාමයෙන් බව්තීස්ම වීමට කුමන දැනුමක් අවශ්‍ය කෙරේ ද?
14 පියාණන්ගේ නාමයෙන් බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ, දෙවියන් වහන්සේ, මැවුම්කරුවාණන්, හා සර්වලෝක ස්වාධිපතියාණන් හැටියට යෙහෝවඃ වහන්සේගේ තානාන්තරය හා ආධිපත්‍යය පිළිගැනීමයි. (උත්පත්ති 17:1; 2 රාජාවලිය 19:15; එළිදරව් 4:11) පුත්‍රයාගේ නාමයෙන් බව්තීස්ම වීමෙන් අවශ්‍ය කරවන්නේ, උසස් කරන ලද ආත්මික මැවිල්ලක්, මෙසියානු රජු, මෙන් ම දෙවියන් වහන්සේ “අනුරූපී මිදීමේ මිලයක්” සපයන්නට යොදා ගත් තැනන් වහන්සේ ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ තානාන්තරය හා ආධිපත්‍යය පිළිගැනීමයි. (1 තිමෝති 2:5, 6, NW; දානියෙල් 7:13, 14; පිලිප්පි 2:9-11) ශුද්ධාත්මයෙන් බව්තීස්ම ලබන තැනැත්තෙක්, එය, මැවීමේදීත්, බයිබල් ලේඛකයන්ට ආනුභාවය ලබා දීමටත් වෙනත් මාර්ගවලිනුත් යෙහෝවඃ වහන්සේ විසින් පාවිච්චි කරන ලද දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරික බලය බව වටහා ගනී. (උත්පත්ති 1:2; 2 පේතෘස් 1:21) ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ හා ශුද්ධාත්මය ගැන ඉගෙන ගැනීමට තවත් බොහෝ දෑ තිබේ.
15. බව්තීස්ම වීමට පෙර පුද්ගලයෙක් ඇදහිල්ල ක්‍රියාවට නැංවිය යුත්තේ මන්ද?
15 බව්තීස්මයට පෙර, පුද්ගලයෙක් ඒකාන්ත දැනුම මත පදනම් ඇදහිල්ල ක්‍රියාවට නැංවිය යුතු ය. “ඇදහිල්ල නැතුව [යෙහෝවඃ වහන්සේ ව] ප්‍රසන්නකරන්ට නුපුළුවන.” (හෙබ්‍රෙව් 11:6) දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ හා දිව්‍ය අරමුණ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නංවන්නා වූ යමෙකුට, දේව වචනයට අනුව ජීවත් වෙමින් ශුභාරංචිය දේශනා කිරීමෙහි අර්ථවත් සහභාගිත්වයක් ඇති යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් වීමට වුවමනාවක් තිබෙනු ඇත. ඔහු යෙහෝවඃ වහන්සේගේ රාජකීයත්වයේ මහිමය ගැන කථා කරනු ඇත.—ගීතාවලිය 145:10-13; මතෙව් 24:14.
16. පසුතැවිලි වීම යනු කුමක් ද, එය ක්‍රිස්තියානි බව්තීස්මයට කෙසේ සම්බන්ධ වේ ද?
16 පසුතැවිල්ල බව්තීස්මය සඳහා තවත් පූර්ව අවශ්‍යතාවයකි. පසුතැවිලි වීම යනුවෙන් අදහස් කරන්නේ “කනගාටුව හෝ අතෘප්තිය නිසා අතීත (හෝ අදහස් කරන ලද) ක්‍රියාව, නැතහොත් හැසිරීම සම්බන්ධයෙන් කෙනෙකුගේ මනස වෙනස් කිරීම,” නැතහොත් “යමෙක් කරන ලද යමක් හෝ කිරීමට පැහැර හැර ඇති යමක් සඳහා කනගාටු වීම, බලවත් පශ්චාත්තාපය, හෝ මනස්තාප වීම හැඟී යාම ය.” පළමු ශතවර්ෂයේ යුදෙව්වන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට එරෙහි ව ඔවුන් කළ පාප උදෙසා පසුතැවිලි වීම අවශ්‍ය කරවී ය. (ක්‍රියා 3:11-26) කොරින්තියේ ඇතැම් ඇදහිලිවන්තයෝ වේශ්‍යාකම, රූප වැඳීම, කාමමිථ්‍යාචාරය, සමලිංගික සේවනය, සොරකම් කිරීම, ගිජුකම, බේබදුකම, නින්දා කිරීම, හා කොල්ලකෑම සම්බන්ධයෙන් පසුතැවිලි වූහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් යේසුස් වහන්සේගේ රුධිරයෙන් ‘සෝදනු ලැබ’ යෙහෝවඃ වහන්සේගේ සේවය සඳහා වෙන් කරන ලද අය මෙන් “ශුද්ධකරනු” ලැබ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් “ධර්මිෂ්ඨකරනු” ලැබුවෝ ය. (1 කොරින්ති 6:9-11) මෙසේ පසුතැවිලි වීම හොඳ හෘදය සාක්ෂියක් සඳහා ද පාපයේ වරදකාරිත්වයෙන් පීඩා විඳීමෙන් දෙවියන් වහන්සේ දානය කළ නිදහස කෙරෙහි පියවරක් ගැනීම බඳු ය.—1 පේතෘස් 3:21.
17. හැරීම යනු කුමක් ද, බව්තීස්ම වීමට සැලසුම් කරන යමෙකුගෙන් එය සඳහා අවශ්‍ය කරවන්නේ කුමක් ද?
17 යමෙක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්ම වීමට පෙර හැරීමක් ද සිදු විය යුතු ය. පසුතැවිලි වූ පුද්ගලයෙකුගේ හැරීම සිදු වනුයේ, වැරදි සහගත ක්‍රියා මාර්ගය ප්‍රතික්ෂේප කර හරි දෙය කිරීමට ඔහු තීරණය කළ පසු ව ය. හැරීම [conversion] සඳහා යොදන ලද හෙබ්‍රෙව් හා ග්‍රීක් වදන් “ආපසු හැරීමක්, පෙරළා හැරීමක්, නැතහොත් යළි පැමිණීමක්” අදහස් කරයි. හොඳ ආත්මික අර්ථයකින් යොදා ගන්නා විට, වැරදි සහගත ක්‍රියා මාර්ගයකින් දෙවියන් වහන්සේ වෙතට හැරී ඒම මින් අදහස් කරයි. (1 රාජාවලිය 8:33, 34) හැරීම සඳහා අවශ්‍ය වන්නේ “පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන්,” දෙවියන් වහන්සේ අණ කරන දෙය අප කිරීම, බොරු ආගම අත් හැරීම, හා යෙහෝවඃ වහන්සේට පමණක් සේවය කරන ලෙසට කොන්දේසි විරහිත ව උන් වහන්සේ වෙතට අපගේ හෘදයන් යොමු කිරීම ය. (ක්‍රියා 26:20; ද්විතීය කථාව 30:2, 8, 10; 1 සාමුවෙල් 7:3) වෙනස් කරන ලද කල්පනා රටාවක්, චරිත ස්වභාවයක්, හා ජීවිතයේ ඉලක්කයක් සඳහා “අලුත් [හෘදයක් ද NW] අලුත් ආත්මයක්ද” මේ සඳහා අවශ්‍ය කරවයි. (එසකියෙල් 18:31) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන අලුත් පුද්ගලිකත්වයේ දේව ගුණාංග අදේව ගතිවල තැන ගනී. (කොලොස්සි 3:5-14) එසේ ය, සැබෑ පසුතැවිල්ල ඇත්තෙන් ම කෙනෙකු ව ‘පෙරළා හැරීමට’ හේතු කරවයි.—ක්‍රියා 3:19, 20.
18. දෙවියන් වහන්සේට යාච්ඤාවෙන් කැප වීමක් කළ යුත්තේ මක්නිසා ද, එමෙන් ම මෙම පියවරේ වැදගත්කම කුමක් ද?
18 බව්තීස්මයට කලින් දෙවියන් වහන්සේට යාච්ඤාවෙන් කැප විය යුතු ය. (ලූක් 3:21, 22 සසඳන්න.) කැප වීම යනු පරිශුද්ධ අරමුණක් උදෙසා වෙන්කොට තැබීම ය. මෙම පියවර එතරම් වැදගත් වන බැවින්, උන් වහන්සේට තනි භක්තිය දෙමින්, සදාකාලයට ම උන් වහන්සේට සේවය කිරීමට වූ අපගේ තීරණය අප දෙවියන් වහන්සේට යාච්ඤාවෙන් ප්‍රකාශ කළ යුතු ය. (ද්විතීය කථාව 5:8, 9; 1 ලේකම් 29:10-13) ඇත්ත වශයෙන් ම, අපගේ කැප වීම වැඩකට නොව එහෙත් දෙවියන් වහන්සේට ම ය. වොච් ටවර් සමිතියේ පළමු සභාපති, චාල්ස් ටේස් රසල්ගේ අවමංගල්‍යයේ දී මෙම කරුණ පැහැදිලි කරන ලදි. වර්ෂ 1916 එම අවස්ථාවේ දී, සමිතියේ ලේකම්-භාණ්ඩාගාරික ඩබ්. ඊ. වෑන් ඇම්බර්ග් පැවසුවේ මෙසේ ය: “මේ ශ්‍රේෂ්ඨ ලෝක ව්‍යාප්ත වැඩය එක් කෙනෙකුගේ වැඩක් නොවේ. එය එසේ වීමට ශ්‍රේෂ්ඨ වැඩි ය. එය දෙවියන් වහන්සේගේ වැඩක් වන අතර එය වෙනස් නොවේ. දෙවියන් වහන්සේ බොහෝ සේවකයන් අතීතයේ උපයෝගි කර ඇති අතර උන් වහන්සේ අනාගතයේ තවත් බොහෝ දෙනෙකු ව උපයෝගි කරගන්නවාට කිසිදු සැකයක් නැත. අපගේ කැප වීම මනුෂ්‍යයෙකුට හෝ මනුෂ්‍යයෙකුගේ සේවයක් සඳහා හෝ නොවේ, නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට ය. උන් වහන්සේගේ වචනයෙන් හා උන් වහන්සේගේ පිහිටාධාරය තුළින් අප හට එය හෙළි කරනු ලැබෙයි. සැම විට ම පාලකයාණන් වන්නේ දෙවියන් වහන්සේ ය.” එහෙත් දෙවියන් වහන්සේට කැප වීම සම්බන්ධයෙන් තවත් කළ යුත්තේ කුමක් ද?
19. (අ) පුද්ගලයන් යෙහෝවඃ වහන්සේට කරන කැප වීම ප්‍රසිද්ධියේ සාක්ෂි දරන්නේ කෙසේ ද? (ආ) වතුර බව්තීස්මය කුමක සංකේතයක් ද?
19 යම් පුද්ගලයෙක් බව්තීස්මය ලබන විට යෙහෝවඃ වහන්සේට වූ කැප වීමේ ප්‍රසිද්ධ සාක්ෂිදැරීමක් සිදු කෙරේ. බව්තීස්මය වනාහි වතුරේ ගිල්වීම ලබන තැනැත්තා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් යෙහෝවඃ දෙවියන් වහන්සේට කොන්දේසි විරහිත කැප වීමක් කර ඇති බව අඟවන සංකේතයකි. (මතෙව් 16:24 සසඳන්න.) බව්තීස්ම අපේක්ෂකයෙකු ව වතුරේ ගිල්වා ඉහළට ඔසවනු ලබන විට, ඔහු තමාගේ පෙර ජීවිත ක්‍රමයට මැරී, අලුත් ජීවිත ක්‍රමයකට, එනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවළහා කිරීමට නැවත නැගිටීමක් ලබයි. (රෝම 6:4-6 සසඳන්න.) යේසුස් වහන්සේ බව්තීස්මය ලැබූ විට, උන් වහන්සේ සම්පූර්ණ ආකාරයකින් තමන් වහන්සේ ව ම සිය ස්වර්ගික පියාණන්ට ඔප්පු කළ සේක. (මතෙව් 3:13-17) තව ද සුදුසුකම් ලත් ඇදහිලිවන්තයන් බව්තීස්ම විය යුතු බව ශුද්ධ ලියවිලි නැවත නැවතත් පෙන්වයි. (ක්‍රියා 8:13; 16:27-34; 18:8) එබැවින්, අද දින, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් වීමට නම්, පුද්ගලයෙක් සැබවින් ම ඇදහිල්ල ක්‍රියාවට නංවා බව්තීස්මය ලබන ඇදහිලිවන්තයෙක් විය යුතු ය.—ක්‍රියා 8:26-39 සසඳන්න.
ස්ථිර ව සිටින්න!
20. යෙහෝවඃ වහන්සේගේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් වශයෙන් දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථාවරයක් ගැනීම නිසා අපට ආශීර්වාද ලැබෙන බව සනාථ කරන සමහරක් බයිබල් ආදර්ශයන් මොනවා ද?
20 ඔබ යෙහෝවඃ වහන්සේගේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙකු බවට පත්වීමෙන්, දෙවියන් වහන්සේ දානය කළ නිදහස වෙනුවෙන් ස්ථිර ස්ථාවරයක් ගෙන ඇත්නම්, උන් වහන්සේ අතීතයේ ස්වකීය සේවකයන්ට ආශීර්වාද කළාක් මෙන්, ඔබට ද ආශීර්වාද කරනු ඇත. උදාහරණයක් වශයෙන්, යෙහෝවඃ වහන්සේ දේව භයැති පුත්‍රයෙක් වන, ඊසාක් ලබා දීමෙන් වයස් ගත ආබ්‍රහම්ට හා සාරාට ආශීර්වාද කළ සේක. අනාගතවක්තෘ මෝසෙස් ඇදහිල්ලෙන් “මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ [නැතහොත් දෙවියන් වහන්සේගේ ආලේප ලත් තැනැත්තාගේ පුරාතන දර්ශනයක් වීමේ] නින්දාව මහත් සම්පතක්යයි සිතා, කලකට පාපයේ සැප” භක්තිවිඳිනු වෙනුවට දෙවියන් වහන්සේගේ ජනයා සමඟ දුක් විඳීම තෝරා ගත්තේ ය. (හෙබ්‍රෙව් 11:24-26) ඊශ්‍රායෙල්වරුන් ව මිසරයේ වහල්කමෙන් මුදා ගැනීමට යෙහෝවඃ වහන්සේ විසින් උපයෝගි කර ගනු ලැබීමේ වරප්‍රසාදය මෝසෙස් ලැබී ය. එපමණක් ද නොව, ඔහු ඇදහිලිවන්ත ව සේවය කළ නිසා, ඔහු නැවත නැගිටු වනු ලැබ, උතුම් මෝසෙස් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යටතේ ‘මුළු පොළොවෙහි අධිපතීන්ගෙන්’ කෙනෙකු ලෙස සේවය කරනු ඇත.—ගීතාවලිය 45:16; ද්විතීය කථාව 18:17-19.
21. පුරාතන කාලවල භක්තිමත් ස්ත්‍රීන් සම්බන්ධයෙන් කිනම් දිරිගන්වන සුලු ආදර්ශයන් ඉදිරිපත් කර තිබේ ද?
21 සැබවින් ම නිදහස් හා ප්‍රීතිමත් වූ ස්ත්‍රීන් සැලකිල්ලට ගැනීමෙන් ද අද දින කැප වූ සාක්ෂිකරුවන්ට දිරිගැන්වීමක් ලැබිය හැකි ය. වැන්දඹු භාවයේ හෘද වේදනා මෙන් ම බොරු ආගමෙන් දෙවියන් වහන්සේ දුන් නිදහස්කමේ ප්‍රීතිය යන දෙක ම අත්දුටුවා වූ මෝවබ් ස්ත්‍රියක් වන රූත් මොවුන්ගෙන් කෙනෙකි. ඇයගේ ජනයා හා ඇයගේ දෙවිවරුන් අත්හැර, ඇය තමාගේ වැන්දඹු නැන්දම්මා වන නායොමිට එකතු වූවා ය. “නුඹ යන තැනට මමත් යමි; නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනග මාගේ සෙනග වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක” යයි රූත් පැවසුවා ය. (රූත් 1:16) බෝවස්ගේ භාර්යාව වශයෙන්, රූත් දාවිත්ගේ සීයා වන ඕබෙද්ගේ මව බවට පත් වූවා ය. (රූත් 4:13-17) ඇයි, යෙහෝවඃ වහන්සේ මෙම ඉශ්රායෙල් නොවන යටහත් පහත් ස්ත්‍රියට මෙසියස් වන යේසුස් වහන්සේගේ මුතුන් මිත්තනියක් වීමට ඉඩ හැරීමෙන් “ස්මපූර්ණ විපාකයක්” ලබා දුන් සේක. (රූත් 2:12) රූත් නැවත නැගිටු වනු ලැබූ විට, තමාට මෙවන් වරප්‍රසාදයක් තිබූ බව දැනගැනීමට කොතරම් සතුටු වනු ඇත් ද! දුරාචාරයෙන් හා බොරු නමස්කාරයෙන් නිදහස් කර ගත්, කලින් වේශ්‍යාවක් ව සිටි නැවත නැගිටු වනු ලැබූ රාහබ්, මෙන් ම වැරදි කළ එහෙත් පසුතැවිලි වූ බැත්-ෂෙබා යනාදීන්ගේ හෘදයන් මේ හා සමාන ප්‍රීතියකින් පිරී යනු ඇති බවට කිසිදු සැකයක් නැත. ඒ මන්දයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුතුන් මිත්තනියන් වීමට යෙහෝවඃ වහන්සේ තමන් හට ඉඩ හළ බව ද ඔවුන් දැන ගනු ඇති හෙයිනි.—මතෙව් 1:1-6, 16.
22. මීළඟ ලිපියේ සැලකිල්ලට භාජනය වනු ඇත්තේ කුමක් ද?
22 දෙවියන් වහන්සේ දානය කළ නිදහස ලැබූවන් පිළිබඳ සලකා බැලීම දිගට ම කරගෙන යා හැකි ය. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ සංඛ්‍යාවට හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සඳහන් ඇදහිලිවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් අයත් වේ. ඔවුහු මහත් විපත් හා පීඩා වින්ඳාහ, “ඔවුන්ගේ විසීමට ලෝකය නොවටනේය.” ඔවුන්ගේ සංඛ්‍යාවට ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ශතවර්ෂයේ පක්ෂපාතී අනුගාමිකයන් මෙන් ම එවක් පටන් ජීවත් වූ වෙනත් ඇදහිලිවන්තයන් ඇතුළු ව, දැන් ස්වකීය සාක්ෂිකරුවන් ලෙස යෙහෝවඃ වහන්සේට සේවය කරන්නා වූ මිලියන සංඛ්‍යාවන් ද එකතු කරන්න. අප මින් පසු බලන්නට යන පරිදි, දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ඔවුන් සමඟ ඔබ ස්ථාවරයක් ගෙන ඇත්තේ නම්, ප්‍රීති වීමට හේතු බොහොමයක් ඔබට තිබේ. w92 3/15
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ දෙවියන් වහන්සේ දානය කළ නිදහස අහිමි වූ විට උන් වහන්සේ ඉදිරිපත් කළ පොරොන්දුව කුමක් ද?
◻ ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයන් ව නිදහස් කළේ කිනම් ‘වහල්කමේ වියගහකින්’ ද?
◻ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්මයට පෙර ඇත්තේ කිනම් පියවර ද?
◻ දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථාවරයක් ගැනීම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ අපට ආශීර්වාද කරන බව සනාථ වන්නේ කිනම් ශුද්ධ ලියවිලිමය ආදර්ශයන්ගෙන් ද?
[16වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු වශයෙන් බව්තීස්මයට පෙර ගත යුතු පියවර කුමක් කියා ඔබ දන්නවා ද?