රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
පැරගුවේ හි හුදෙකලා ප්‍රදේශවල වැඩ කිරීම ඵල දරයි
පැරගුවේ හි පිහිටි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය, එයට අයත් ප්‍රදේශවල රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ අවශ්‍යතාවය ගැන පූර්ණ අවධානයකින් සිටී. (ක්‍රියා 1:8) යෙහෝවඃ වහන්සේ “මහත් පීඩාවේ” දී මෙම දුෂ්ට පිළිවෙළ අවසානයකට ගෙන ඒමට පෙර රාජ්‍යය ගැන ඉගෙන ගෙන, උන් වහන්සේට සේවය කිරීමට සියල්ලන් හට කාලය මෙයයි. (මතෙව් 24:21, 22) සභාවන් සඳහා පැවරුම් නොලත් ප්‍රදේශවල ජනයාට උපකාර කිරීම සඳහා කරමින් තිබෙන දෙය පිළිබඳ ව පහත සඳහන් අත්දැකීම්වලින් පෙනී යයි. එම ශාඛා කාර්යාලය මෙසේ වාර්තා කරයි:
තාවකාලික විශේෂ පුරෝගාමින් මගින් සභාවන් සඳහා පැවරුම් නොලත් ප්‍රදේශ සියල්ල ම වැඩ කරන්නට විධිවිධාන යෙදිණි. වර්ෂ 1990 සේවා වසරේ නොවැම්බර් සිට ජනවාරි මාස දක්වා කාලය තුළ, සහෝදරයන් සහ සහෝදරියන් 39 දෙනෙක්, තවමත් රාජ්‍යය ප්‍රචාරකයන් නොමැති නගර හා කුඩා නුවරවල් සියයක පමණ වැඩ කළහ. පොත් 6,119ක් ද, පොත් පිංච 4,262ක් ද, සඟරා 5,144ක් ද බෙදා දෙන්නට ඔවුන්ට හැකි විණි. මෙම ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රචාරකයන්ගේ නව කණ්ඩායම් සකස් වෙමින් තිබේ.
◻ පැවරුම් නොලත් ප්‍රදේශයක වැඩ කරමින් සිටි එක් පුරෝගාමි සහෝදරියකගෙන්, එක් ස්ත්‍රියක් පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නම් පොත පිළිගත්තා ය. ඈ සමඟ බයිබල් පාඩමක් පවත්වනවාට කැමැති දැයි පුරෝගාමිවරිය ඇගෙන් විමසූ අතර, ඇය එය සතුටින් පිළිගත්තා ය. පුරෝගාමිවරිය නැවත යන විට, ඈ එනතෙක් බලා සිටියේ ඇය පමණක් නොවේ, නමුත් ඇගේ සැමියා සහ දරුවන් දස දෙනාත් ය. ඊළඟ වතාවේ යන විට, පවුල මෙන් ම ඔවුන්ගේ මිතුරෝ ද, අසල් වැසියෝ ද බයිබල් පාඩම සඳහා සූදානමින් සිටියහ! මෙම ස්ත්‍රිය ඔවුන්ට ආරාධනා කොට තිබුණේ, පාඩම ඉතා හොඳ බවත්, යෙහෝවඃ වහන්සේ දානය කරන බලාපොරොත්තුව හා ආශීර්වාදයන් පුදුමාකාර බවත් පවසමිනි. මෙය මීට පෙර කිසිදාක ඈට කිසිවෙකු පවසා නොතිබූ දෙයක් විය, එමනිසා, ඇගේ අසල් වැසියන් සහ මිතුරන් ද ශුභාරංචිය ඇසිය යුතුයයි ඈට හැඟිණි.
පුරෝගාමිවරිය පාඩම පැවැත්වූ සෑම වතාවක දී ම, කොතරම් පිරිසක් පැමිණ සිටියා ද කිවහොත්, එය පෙනෙන්නට තිබුණේ කුඩා සභාවක් මෙනි. මෙම උනන්දුමත් පුද්ගලයන් බොහෝ ප්‍රශ්න ඇසූ අතර, පාඩමට හවුල් වූහ. ප්‍රදේශය වරෙක වැඩ කරනු ලැබූ විට, තමාට තම හවුල්කාරියන් සමඟ අලුත් ප්‍රදේශයකට යන්නට සිදු වන බව පුරෝගාමිවරිය පැහැදිලි කළ විට, කනස්සල්ලට පත්වූ එම ස්ත්‍රිය, ඔවුන්ට කුමක් සිදුවනු ඇත්දැයි විචාළා ය. පාඩම දිගට ම පවත්වාගෙන යාම සඳහා, ළඟ ම තිබෙන සභාවේ සහෝදරයන් සමඟ විධිවිධාන යොදන ලදි. මෙම බැටළුගුණැති උනන්දුමත් මනුෂ්‍යයන්ට උපකාර කිරීමට දැන් විශේෂ පුරෝගාමින්ට පවරනු ලැබ තිබේ.
◻ පැවරුම් නොලැබූ වෙනත් ප්‍රදේශයක ගෙයින් ගෙට යන විට, සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය නමැති පොත මීට අවුරුදු දහයකට පෙර ලබා ගෙන තිබූ එක් මනුෂ්‍යයෙකු ව පුරෝගාමි සහෝදරියකට හමුවිණි. එම කාලයේ පටන් ඔහුට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ සියලු සම්බන්ධතා නැති වී ගොස් තිබිණි. කෙසේ වෙතත්, සේනාවල යෙහෝවඃ වහන්සේ යයි ඔහු විසින් හඳුන්වනු ලැබූ යෙහෝවඃ වහන්සේ, එක ම සැබෑ දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු බවත් ඔහු දැන සිටියේ ය. ඔහු ම මුලපුරමින්, ඔහු දන්නා සෑම කෙනෙකුට ම යෙහෝවඃ වහන්සේ ගැන ඔහු කථා කරමින් සිටියේ ය. ඇත්තෙන් ම, එක්තරා උනන්දුමත් යුවළකට දෙවියන් වහන්සේ ගැන කථා කිරීමට ඔහු සෑම සතියක ම සැතපුම් දෙකක් ගමන් කළේ ය, මන්දයත්, ඔහුගේ වචනයෙන් සඳහන් කරනවා නම්, ‘මම ඔවුන් ව හමු වෙන්න නොගියොත්, ඔවුන් යෙහෝවඃ වහන්සේ ගැන අමතක කරාවි.’ මෙම විවාහක යුවළට අමතර ව, බයිබල් පාඩමක් වුවමනා වූ වෙනත් අය දහ දෙනෙක් පමණ සිටියහ. මේ සියල්ල ම වූයේ මෙම උනන්දුමත් පුද්ගලයා ඔවුන් හට දේශනා කොට තිබූ නිසා ය.
මෙහිලා සඳහන් කරන්නට තිබෙන කැපී පෙනෙන දෙයක් නම්, පුරෝගාමිවරිය ඔහු ව හමුවන්නට දවස් කිහිපයකට පෙර, ප්‍රදේශයේ පූජකයෙක්, කන්‍ය මරියාගේ ප්‍රතිමාවකුත් රැගෙන පෙරහැරකින් ඔහුගේ නිවසට පැමිණි විට, තමා රූප කෙරෙහි විශ්වාස නොකරන බව විස්තර කළ ඔහු, නිවසට ඇතුළු වන්නට ඔවුන් හට ඉඩ නොදීම ය. පූජකයා කෝපාවිෂ්ඨ විණි. එම රාත්‍රියේ දී මෙම මිනිසා උපකාරය පතා යෙහෝවඃ වහන්සේට යාච්ඤා කළේ ය. එබැවින්, පුරෝගාමිවරිය ඔහුගේ නිවසට ගොස් කථා කළ විට ඔහු මොනතරම් ප්‍රීතියෙන් පිනා ගියේ දැයි සිතා බලන්න! ක්රමානුකූල බයිබල් පාඩමක් සඳහා ඉක්මනින් ම විධිවිධාන යොදනු ලැබූ අතර, මෙම මිනිසා දිව්‍යාණ්ඩු සංවිධානය සමඟ ඇසුරු කරමින් දිගට ම වර්ධනය වෙමින් සිටී.
ඇත්තෙන් ම, මෙම පැවරුම් නොලත් ප්‍රදේශවල පූර්ණ සාක්ෂියක් දීමට මෙම සහෝදරයන් දැඩි ප්රයත්නයක් දරනවාත් සමඟ ම, යෙහෝවඃ වහන්සේ පැරගුවේ හි එක්රැස් කිරීමේ වැඩයට ආශීර්වාද කරමින් සිටින සේක.—මතෙව් 24:14. w92 4/1