ගින්නෙන් මතු වූ ගොඩනැගිලි ව්‍යාපෘතිය
“ගිනි අරන්! ගිනි අරන්! යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාව ගිනි අරන්!” ඒ බියජනක පුවත දසත පැතිරී ගියේ, 1989 ඔක්තෝබරයේ එක් සිකුරාදා සවස් වරුවක, නෙදර්ලන්තයේ උතුරු පෙදෙසේ පිහිටි එක් නගරයක් වන හීරන්වීන් හි ය.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මෙම කදිම සමුළු ශාලාව වසර 11ක් මුළුල්ලේ භාවිතා කොට තිබිණි. සෑම සති අන්තයක ම පාහේ, දෙදින චාරිකා එක්රැස්වීමකට හෝ එක් දින විශේෂ එක්රැස්වීමකට හෝ සිය ගණනක් මෙහි රැස්වී තිබිණි. එය බයිබල් උපදෙස් ලබා ගැනීම සඳහා සුවපහසු ස්ථානයක් විය.
ශාලාවේ වහලේ යම් වැඩක් සිදුවෙමින් තිබෙන විට හදිසි අනතුරක් සිදු විණි. මෙම අත්වැරැද්ද නිසා මිනිත්තු කිහිපයක් ඇතුළත, ශාලාව ගිනිගත් සුන්බුන් ගොඩක් බවට පත්විය. කෙසේ වුවද, කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීම ගැන ස්තුතිවන්ත විය යුතු ය.
විපත ගැන දුකට පත් වූ නමුත්, අධෛර්ය නොවූ සාක්ෂිකරුවෝ, වෙනත් ස්ථානයක නව ශාලාවක් සඳහා සැලසුම් යෙදූවෝ ය. ඔවුහු ෆ්ලෙවොලන්ඩ් ප්‍රාන්තයේ ස්විෆ්ටර්බෑන්ඩ් හි සුදුසු ස්ථානයක් සොයා ගත්හ. මෙය, මුහුදු මට්ටමෙන් මීටර් 5ක් පහතින් පිහිටි, කලින් සුයිඩර් සී ප්‍රදේශයේ ගොඩකරගත් වගුරු බිමකි.
වර්ෂ 1991 ජනවාරි වන විට, නව සමුළු ශාලාවක් ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරන්නට යන බව නිවේදනය කෙරිණි. එය මැයි සහ සැප්තැම්බර් මාස අතර තනා නිම වනු ඇත. සාක්ෂිකරුවන් සිය ගණනක් වැඩ බිමේ සේවය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු අතර, සමහරක් යෞවනයන් මෙම ව්‍යාපෘතිය දුටුවේ, පූර්ණ කාලීන ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීම සඳහා පඩි ගලක් වශයෙනි. වැඩකරුවන් දුසිම් ගණනක් බෙල්ජියමෙන් සහ එංගලන්තයෙන් පැමිණියෝ ය.
කදිම ලෙස සැලසුම් කර තිබූ ගොඩනැගිල්ල ඉදි විණි. එහි ශ්‍රවණාගාරය සහ ආපන ශාලාව වීදුරු වහලක් සහිත කොරිඩෝරයකින් වෙන් වී තිබිණි. ප්‍රධාන ශාලාවේ 1,008 දෙනෙකු හට ආසන තිබූ අතර, යා බද ශාලාවක සිට තවත් 230 දෙනෙකුට රූපවාහිනි තිර මගින් වැඩසටහන නැරඹිමට හැකියාව තිබිණි.
අද දින, ‘එන්න, අපි යෙහෝවඃ වහන්සේගේ කන්දට යමු, උන් වහන්සේ ස්වකීය මාර්ග ගැන අපට උගන්වනවා ඇත’ යයි දහස් ගණනින් පවසත්. (යෙසායා 2:2, 3) මේ නව සමුළු ශාලාව, එවන් ආත්මික උපදෙස් දානය කරනු ලබන ස්ථාන ගණනාවන්ගෙන් එකක් පමණි. ඔබගේ ප්‍රදේශයේ තිබෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාව තවත් එකකි. එහි ඔබ ව උණුසුම් ලෙස පිළිගැනෙනු ඇත.