බොහෝ ජලාශවලින් යුත් ගම පුරා සත්‍යය ගලා යයි
මොනතරම් පුදුමයක් ද! බොහෝ ජලාශ නිසා ප්‍රසිද්ධියට පත් දේශයක් පිපාසයෙන් සිටී! ජල උල්පත්වලින් පිරී ඇති ප්‍රදේශයක් වියළී ඉරි තලා ගොස් ය! එම පිපාසය සංසිඳුවාලිය හැක්කේ දේව වචනය වන බයිබලයේ සත්‍යයේ වතුරෙන් පමණි. බීරූට් නගරයෙන් සැතපුම් 80ක් ඔබ්බෙන් උතුරුකර ලෙබනනයේ පිහිටි කඳුවලින් වට වී ඇති, වැසියන් 2,200කින් යුත් කුඩා ගමක් වන රාබේ පිළිබඳ සැබෑවකි.
රාබේ යන නමින් අදහස් කරන්නේ, අරාබි බසින් “ඉඩකඩ ඇති තැන” යන්න ය, තව ද එය පැමිණෙන්නේ “ව්‍යාප්ත වූ, විහිදුණු” යන සෙමිටික බසේ මුල් අරුතිනි. යෝග්‍ය ලෙස, එම ගම්මානය මුහුදු මට්ටමේ සිට අඩි 2,000ක් පමණ උසින් පිහිටි විශාල කඳු දෙකක් සමන්විත ප්‍රදේශයක විහි දී තිබේ. සීත හා වසන්ත කාලයේ දී, මනරම් දසුනක් මවමින්, නැගෙනහිර දෙසට විහි දී ඇති කඳුවල ඉහළ කොටස්වල හිම වැටී තිබෙනවා දැකිය හැක. එහෙත්, අනෙකුත් සියල්ලට ම වඩා, රාබේ වනාහි බොහෝ ජලාශවලින් හෙබි ගම්මානයක් ය. මෙම ප්‍රදේශයේ ලොකු කුඩා දිය උල්පත් 360ක් තිබෙන අතර, ඒ වටා වූ තැනිතලාවල සාරවත් තිරිඟු, ඇප්රිකට්, පෙයාර්ස්, පීච් හා මිදි වැනි පලතුරු වතුවලට අනගි ජලය සපයයි.
රාබේ හි දී අතීතය හා වර්තමානය මුණ ගැසෙයි
රාබේ හි දේවල්, බයිබල් කාලවල සිට තිබූ ආකාරයෙන් ම බොහෝ සෙයින් පවතී. ගම්මානයේ නිවෙස් එක ළඟින් පිහිටා තිබේ. එහි කුඩා පාරවල් පටු, වංගු සහිත ඒවා වන අතර, වාහන—එනම් කොටළුවන්ගෙන් හා ගවයන්ගෙන් ගහණ ය. මෙහි මෝටර් වාහන කිහිපයක් තිබුණ ද, මෙහි පාරවල මුල් තැන ගන්නේ සතුන් ය. බොහෝ විට, වතුවල දී, උන් මත බර පටවන ඔවුන්ගේ අයිතිකරුවෝ, උන් ව තනි ව ම නිවෙස්වලට යවති. ඔවුහු අවහිර වී ඇති තැන්වලින් පටු මාවත් ඔස්සේ ආපසු තමන්ගේ නිවෙස්වලට යති. “ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පටිටියද දනියි” කියා යෙසායා පැවසූ විට, ඔහුගේ මනසේ තිබූ දේට මෙය සමාන විය හැකි ද?—යෙසායා 1:3.
රාබේ වනාහි එකිනෙකාට පටහැනි දේවලින් යුත් තැනක් ද වෙයි. විශ්ව විද්‍යාල උපාධිධාරීන් මෙන් ම, කවදාවත් නුවරක් නුදුටු අහිංසක ගැමියන් ද ඔබ මෙහි දී දැක ගනු ඇත. උද්‍යානවලින් වට වූ මන්දිර ද, එහා මෙහා දුවන ගෘහවාසි සතුන්ගෙන් යුත් කුඩා පැල්පත් ද තිබේ. සෑම නිවෙසක ම පාහේ විදුලි උපකරණ දක්නට ඇති නමුත් සෑම විට ම විදුලිය ලබා ගත නොහැක. මේ නිසා, බොහෝ නිවෙස්වලට විදුලි ජනක තිබේ. වතුවලට ඇදෙන බොහෝ පාරවල් ගල් අතුරා නැති, රළු ඒවා වුවද, ගමේ ප්‍රධාන පාරවල ගල් අතුරා ඇත. මේ නිසා, වතුවල සිට නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට තිබෙන එක ම ක්‍රමය හීලෑ සතුන් ය. කුඹුරු වතුපිටිවල සතුන් සමඟ එක් ව වැඩ කිරීමට යොදා ගන්නා වූ ගොවිපළ යන්ත්‍රවලට බලය දීම සඳහා විදුලි ජනක රැගෙන යන කොටළුවෙක් පවා ඔබට දැකිය හැකි ය.
මේ හා සමාන ව, ගමේ ජීවිතය එතරම් වෙනස් වී නැත. ඔබ ගමේ රාත්‍රියක් ගත කළහොත්, උදෑසන දෙකට හෝ තුනට පමණ කුකුළන් හඬළන හඬින් ඔබ අවදි විය හැක. දවසේ වැඩකටයුතු පාන්දරින් ම ආරම්භ වෙයි, එමනිසා අඳුරේ ම තම සතුන් ව සූදානම් කරන මිනිසුන් එකිනෙකාට කෑ ගසන හඬ ඔබට ඇසුණොත් පුදුම නොවන්න. දවස උදාවෙද්දී, තම සතුන් මත බඩු පටවා ගත් ගම්මු බොහෝ දෙනා, ඔවුන්ගේ කුඹුරු වතු පිටිවලට හෝ තම බඩු විකුණා ගැනීම සඳහා වෙළෙඳ පොළවල් කරා හෝ ඇදෙනවා ඔබට දැකිය හැකියි.
දවස ගතවෙත් ම, කුඩා පිරිමි ළමෝ හා ගැහැණු ළමෝ සෙල්ලම් කිරීම සඳහා කුඩා මාවත් සහ ප්‍රසිද්ධ ස්ථාන කරා පිටතට එති. ඔවුන්ගේ කෑ කෝ ගසන හා සිනාසෙන හඬින් වාතය පිරී යන්නේ, හරියට ම අනාගතවක්තෘ සෙකරියා විසින් විස්තර කරන ලද පැරණි යෙරුසලමේ වූවාක් මෙනි: “එහි වීථිවල සෙල්ලම්කරන පිරිමි ළමයින්ගෙන් හා ගෑනු ළමයින්ගෙන් නුවර වීථි පිරී තිබෙන්නේය.” (සෙකරියා 8:5) ගැමියන් බොහෝ මිත්‍රශීලී සහ කුතුහලයෙන් යුතු අය බව ද ඔබ දැක ගන්නවා ඇත. ඔබ කවුද, එන්නේ කොහේ සිට ද, ඔබ එහි සිටින්නේ ඇයි, ඔබ යන්නේ කොහේ ද කියා දැනගැනීමට ඔවුන්ට වුවමනා හෙයින් ඔබට හමුවන සෑම ගැමියෙකුට ම ආචාර කිරීම ඔබගෙන් අපේක්ෂා කෙරේ. මිනිස්සු එකිනෙකා බොහෝ සෙයින් දැන හඳුනා ගෙන සිටිති.
සත්‍යයේ ජලය රාබේ කරා ළඟා වෙයි
ළඟින් එකට බැඳී තිබෙන එවන් සමාජයක, පුවත් වේගයෙන් දසත පැතිර යයි. වර්ෂ 1923 දී, අසාඩ් යූනිස් නැමැත්තා එක්සත් ජනපදයේ සිට, රාබේ වෙතට ආපසු පැමිණි විට සිදු වූයේ මෙයයි. අසාඩ් අමෙරිකාවේ දී ධනවත් වූවාද නැද්ද යයි සිතූ ඔහුගේ මිත්‍ර අබ්දලා බ්ලාල්, ඔහු ව දැකීමට ගියේ ය. මුදල් ගැන කථා කරනවා වෙනුවට, අසාඩ් හාප් ඔෆ් ගෝඩ් යන පොතේ පිටපතක් දෙමින්: “මෙන්න සැබෑ වස්තු” යයි පැවසුවේ ය. කලින් රෙපරමාදු භක්තිකයෙකු ව සිටි අබ්දලා, බයිබලය මත පදනම් වූ මෙම ප්රකාශනය කියවූ අතර, මේ ගැන ගැඹුරින් ඔහුගේ සිතට කාවැදිණි. එහි තිබූ තොරතුරු ගැන අසාඩ් වැඩියෙන් යමක් නොකළ ද, තමා ඉගෙන ගත් දේ ගැන මහත් උනන්දුවක් ඇති කර ගත් අබ්දලා, තමා සත්‍යය සොයා ගත්තා යයි ප්‍රසිද්ධියේ කියන්නට විණි.
ටික කලකට පසු, අබ්දලා, උතුරු දෙසින් වූ ලෙබනනයේ ප්‍රධාන නගරය වන ට්‍රිපොලි හි පදිංචියට ගියේ ය. එහි දී, බයිබල් ශිෂ්‍යයන් වශයෙන් එවකට හැඳින්වූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ව මුණ ගැසීමට ඔහුට හැකි වූ අතර, තම බයිබල් පාඩම්වල තවදුරටත් ප්‍රගතියක් ලැබී ය. පසු ව, තමා ඉගෙන ගෙන තිබූ ශුභාරංචිය පතල කිරීම සඳහා ඔහු ආපසු රාබේ හි පදිංචියට ගියේ ය. ත්‍රිත්වය, මිනිසාට අමරණීය ආත්මයක් තිබේ ද, නිරාගින්න, පූජකත්වය, පූජාව, සහ රූප භාවිතය වැනි විෂයන් ගැන සෙසු ගැමියන් සමඟ සාකච්ඡාවන් පැවැත්වූ ඔහු, බයිබලය ඒවා ගැන ඇත්තට ම පවසන දේ ඔවුන් සමඟ බෙදා ගත්තේ ය.
ගම්මුන්ගෙන් සමහර දෙනෙක් උනන්දුව පෙන්වූහ. ඔවුන්ගෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් දේශනා වැඩයට අබ්දලා සමඟ හවුල් වූහ. අනතුරුව, ඔවුහු ඉරිදා රැස්වීම් පවත්වන්නට පටන් ගත්හ. ශබ්ද වාහිනි යන්ත්‍රයකින් පටිගත කර ගන්නා ලද දේශනාවකට සවන් දීම හෝ බයිබලයෙන් කියවීම මීට ඇතුළත් වූ අතර, ඉන් පසු ඔවුහු ඇසුවා වූ දේ ගැන සාකච්ඡා කළෝ ය. පසු ව, හාප් ඔෆ් ගෝඩ්, රිචස් සහ “ලෙට් ගෝඩ් බී ටෲ” ඇතුළු බයිබල් ආධාරක සමහරක් යොද ගැණිනි. පැමිණි සිටි පුද්ගලයන්ගේ සංඛ්‍යාව දහය නොඉක්මවූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උනන්දුවට වඩා සිටියේ කුතුහලයෙනි. සමහරුන් ප්‍රධාන කොට එහි පැමිණියේ සෑම රැස්වීමක් අවසානයේ දී ම සංග්‍රහ කරන ලද ආහාර සඳහා ය.
එක් දහස් නවසිය හතළිස් ගණන්වල දී, රාබේ හි කණ්ඩායම බලා ගැනීමේ වගකීම අබ්දලා බ්ලාල් හට දෙන ලදි. ඔහු අන්‍යයන් වෙත ආදර්ශයක් තබමින්, ජ්වලිතවත්, යෙහෝවඃ වහන්සේගේ සේවකයෙකු බවට ඔප්පු කළේ ය. මේ අයගෙන් එක් කෙනෙකු වන සහෝදර මාටා ඔවුන් දේශනා සේවයේ ගිය ආකාරය සිහි කරයි: “ඒ කාලයේ කාර් තිබුණේ නැති නිසා, සහෝදර බ්ලාල් සහ මම අහල පහළ ගම්මුන්ට සාක්ෂි දැරීමට පයින් ගමන් කළා. සහෝදර බ්ලාල් කථා කිරීමට පෙරමුණ ගත් අතර, මම ශබ්ද වාහිනිය රැගෙන ගියා. අපි ආපසු ගෙදර ඒමට පෙර සාමාන්‍යයෙන් දවස් දෙකක් හෝ තුනක් ගත කළා.” සහෝදර බ්ලාල් 1979 වසරේ ඔහුට වයස අවුරුදු 98 දී ඔහුගේ මරණය දක්වා ඇදහිලිවන්ත ව යෙහෝවඃ වහන්සේට සේවය කළේ ය.
ප්‍රගතිය විරුද්ධ වාදීකම්වලට තුඩු දෙයි
වැඩකටයුතු වර්ධනය වෙනවාත් සමඟ ම, සහෝදරයෝ විරුද්ධ වාදීකම් අත්දකින්නට පටන් ගත්හ. වර්ෂ 1950 දී, ගමේ පූජකයෙකුගේ උසිගැන්වීම මත, රාබේ හි සහෝදරයන්ට එරෙහි ව පීඩා ව්‍යාපාරයක් ඇරඹුණි. පල්ලියට නින්දා කිරීම හා ආගමට කැප වූ දේ කෙලසීම ගැන පූජකයා සහෝදරයන්ට චෝදනා කළේ ය. ඇතැම් ගම්මු කොතරම් කුපිත වූවාද කියතොත්, සහෝදරයන්ට ගල් ගැසුවෝ ය, සමහරක් සහෝදරයන් ව අත් අඩංගුවට ගනු ලැබ, සිර ගත කරන ලදි. කෙසේ වුවද, පසු ව කරන ලද පරීක්ෂණවල දී, මෙම චෝදනා බොරු බව ඔප්පු විය. එසේ වුවත්, සහෝදරයන් ව දවස් කිහිපයක් පුරා සිරභාරයේ තබන ලදි.
ජනයාගේ නිවෙස්වලට ගොස් නිතර නිතර ඔවුන්ට කරදර කරනවා ය යන කාරණය ඇතුළු සහෝදරයන්ට බොහෝ දේවල් ගැන චෝදනා කරමින්, යම් පත්රයකට අත්සන් ගන්නට එක් විරුද්ධ වාදියෙක් උත්සාහ කළේ, සමහර විට හොඳින් කියවන්නට පවා බැරි ගැමියන් කිහිප දෙනෙකු ව මීට සම්බන්ධ කර ගනිමිනි. වැඩියෙන් මිනිසුන් ලවා මෙම පත්‍රයට අත්සන් ගැනීමට, ඔහු ඔවුන්ට පැවසුවේ, එය එක්තරා සේවකයෙකු ව නැවත ගමේ සේවයට ගෙන්වා ගැනීම සඳහා කරන ඉල්ලීමක් බව ය. එය ඇත්තෙන් ම සාක්ෂිකරුවන්ට එරෙහි ව කරන ලද චෝදනාවක් බව හෙළි වූ විට, ඔවුහු ඔවුන්ගේ අත්සන් මකා දැමූහ. මෙවැනි සිද්ධීන් ප්‍රදේශයේ බොහෝ නිලධාරීන්ට හොඳ සාක්ෂියක් දැරීමට උපකාරවත් විණි.
ඍජු ව ම පැමිණෙන එවැනි පීඩාවන් සමඟ කටයුතු කරනවාට අමතර ව, සහෝදරයෝ වෙනත් බාධාවකට මුහුණ දුන්හ. හිතෝපදේශ 29:25 හි පවසන්නාක් මෙන්, සෑම කෙනෙක් ම වෙනත් සෑම අයෙකු ව ම දන්නා කුඩා ගමක, “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය.” සහෝදරයන් ව නිතර ම විවේචනය කරන හා අපහාස කරන අසල් වාසීන්, මිත්‍රයන් හා පවුලේ අයට දේශනා කිරීමට ඔවුන්ට ධෛර්ය අවශ්‍ය කරවයි. මෙසේ, මතෙව් 10:36 හි සඳහන් වචනවලට සැබෑ අර්ථයක් දෙනු ලැබේ: “මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය.” එහෙත්, හිතෝපදේශය ඊළඟට පවසන්නාක් මෙන්, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.” සහෝදරයන්ගේ ඇදහිල්ල හා විඳදරා ගැනීම කැපී පෙනෙන ප්‍රතිඵල නිපදවා ඇත.
රාබේ හි පුරා සත්‍යය ගලා යයි
වසර ගණනාවක් පුරා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කදිම හැසිරීම ගැමියන් විසින් අගය කිරීමට ලක් වී ඇති අතර, බොහෝ දෙනෙක් සත්‍යය පිළිගෙන තිබේ. වර්ෂ 1969 දී රාබේ හි දෙවෙනි සභාව ස්ථාපිත කළ අවස්ථාවේ සහෝදරයෝ ප්‍රීතියෙන් ඉපිල ගියහ. ඔවුහු දිගට ම වෙහෙස මහන්සි වී වැඩ කළෝ ය. බොහෝ දෙනෙක් පූර්ණ කාලීන දේව සේවය පටන් ගත් අතර, ඇතැම්හු බීරූට් නගරය ඇතුළු වෙනත් ප්‍රදේශ කරා ද සේවය කිරීමට ඇදී ගියහ. යෙහෝවඃ වහන්සේ ඔවුන් වෙහෙස මහන්සි වී කළ වැඩවලට ආශීර්වාද කළෙන්, 1983 දී රාබේ හි තුන් වෙනි සභාව පිහිටුවන ලදි. මේ අතරතුර, බොහෝ සහෝදරයෝ නගරවල වාසය කිරීම සඳහා ඇදී ගියහ. තවමත් වර්ධනය නොකඩවා සිදුවිය, එමෙන් ම 1989 දී හතර වෙනි සභාව ද, 1990 දී පස් වෙනි සභාව ද පිහිටුවන ලදි.
මේ අවස්ථාව වන විට, ගමේ සෑම පවුලකට ම පාහේ සාක්ෂිකරුවෙකු වූ නෑදෑයෙක් හෝ මිතුරෙක් සිටියේ ය. වරක් පැවතුනු එදිරිවාදීකම් පහවී ගොස් තිබුණි. ජනයා සාක්ෂිකරුවන් ව වඩාත් හොඳින් දැන හඳුනාගෙන සිටියෝ ය. ඇත්තෙන් ම, “වැඩිමහල්ලා,” “පුරෝගාමියා,” “චාරිකා අවේක්ෂක,” “එක්රැස්වීම,” සහ “ආර්මගෙදොන්” යන යෙදුම් ගැමියන්ගේ වචන මාලාවේ කොටසක් බවට පත් විය. චාරිකා අවේක්ෂකගේ පැමිණීම හෝ සිහිකිරීමේ උත්සවය වැනි විශේෂ අවස්ථාවල දී, වීදි හිස් ව ගොස් රාජ්‍යය ශාලා පිරී යනවා ඇත. සමහර සභාවෝ, තම අසල් වැසියන්ගේ පහසුව සඳහා සඳලු තලයේ ශබ්ද විකාශන යන්ත්‍ර පවා සවි කළහ.
දැන් රාබේ හි රාජ්‍යය ප්‍රචාරකයන් 250කටත් වැඩියෙන් සිටී. ඉන් අදහස් කරන්නේ, ගමේ වැසියන් 8 දෙනෙකුට පමණ සාක්ෂිකරුවන් එක් කෙනෙක් සිටින බව ය! ප්‍රචාරකයන් 51කින් සමන්විත එක් සභාවකට ගෙවල් 76කින් යුත් ප්‍රදේශයක් ඇති අතර, ඔවුහු සෑම සතියක ම ඒවායේ වැඩ කරති. පසුගිය මාර්තු සහ අප්‍රියෙල් මාසවල දී, රාබේ හි සිටින ස්ථාවර පුරෝගාමින් 13ත් සමඟ, මෙම ප්‍රචාරකයන් 250 දෙනාගෙන් 98 දෙනෙක් උපකාරික පුරෝගාමින් ලෙස සේවය කරන විට සිදු වූ දේ සිතා බලන්න. සෑම සතියක ම කිහිප වතාවක් මෙම ප්‍රදේශයේ වැඩ කරන ලදි. ප්‍රචාරකයන් දෙදෙනෙකු බැගින් හෝ තුන්දෙනෙකු බැගින් එක ම දවසේ හෝ එක ම වේලාවේ දී පවා එක නිවසක් බැහැදැකීම අසාමාන්‍ය දෙයක් නොවී ය. ගැමියන්ගෙන් බොහෝ දෙනෙක් මෙසේ පැමිණීම ගැන හොඳින් හුරු පුරුදු වී සිටියෝ ය. එහෙත් එක මිනිසෙක් මේ ගැන චෝදනා කළ අවස්ථාවේ, එක් ප්‍රචාරකයෙක් මෙසේ පිළිතුරු දුණි: “ඔබ අප සමඟ බයිබල් පාඩමක් කිරීමට ඇරයුම පිළිගන්නවා නම්, එවිට ඔබගේ නිවසට අපි එන්නේ සතියකට වතාවක් පමණයි.” කුඹුරු වතුපිටිවල දී හමු වෙන—සී සාමින්, වපුරමින්, වතුර දමමින්, හෝ කොටළුවන් පිටින් ගමන් කරන මිනිසුන් සෑම කෙනෙකුට ම ද ඔවුහු කථා කරති.
ඇත්තෙන් ම කියනවා නම්, බොහෝ ජලාශවලින් යුත් ගමේ, එනම් රාබේ පුරා බයිබල් සත්‍යය ගලා ගොස් තිබේ. මේ සියල්ල ම නොවේ. රාබේ ගම, අවට බොහෝ ගම්වලට මිරිදිය සපයන දිය උල්පතක් වී තිබෙන්නාක් මෙන්, එය ජීවනය ගෙන දෙන බයිබල් සත්‍යයේ ජලය ද ඒවාට බෙදා දී තිබේ. රාබේ හි ප්‍රචාරකයන් අසල ගම්වල ජනයා ව බැහැදැකීම සඳහා පයින් ඇවිද ගෙන යන අතර, කාර් කණ්ඩායම් සංවිධානය කර, තවත් ඈත ගම්මානවල දේශනා කිරීම සඳහා යති. සමහර ප්‍රචාරකයෝ වෙනත් නගරවල සේවය කිරීම සඳහා ඇදී යති. යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාද සමඟින්, ස්වර්ගික පියාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේට තව තවත් ප්‍රශංසාව ගෙන දෙන වර්ධනයක් තවදුරටත් තිබෙනවා නිසැක ය. w92 10/15
රාබේ හි පටු මාවතක දර්ශනයක්