සැබවින් ම සුවිශේෂය යනු කුමක් ද?
නත්තල් සමය තුළ, බොහෝ රටවල ජීවත් වන ජනයා සුවිශේෂය ගැන අසති, එමෙන් ම පුද්ගලික ව ඒ ගැන කථා කරති. මෙම යෙදුම ඉතා පොදු එකකි, නමුත් බොහෝ දෙනෙකු කල්පනා කරන පමණට වඩා වැඩි අර්ථයක් ඊට තිබේ ද? සුවිශේෂය ඔබට සහ ඔබ ප්‍රේම කරන අයට කැපී පෙනෙන අයුරින් යම් යහපතක් අදහස් කළ හැකි ද?
“සුවිශේෂය” යනු “ශුභාරංචියකි,” තව ද නිසැක ව ම, ශුභාරංචියක් සාදරයෙන් පිළිගනු ලබන්නේ නත්තල් සමයේ දී පමණක් නොව ඕනෑ ම කාලයක දී ය. කෙසේ වෙතත් සුවිශේෂය යනු හුදෙක් යම් සාමාන්‍ය ශුභාරංචියක් නොවේ. එය සුවිශේෂී විෂයක් සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රභවයකින් පැමිණෙන විශේෂ ශුභාරංචියකි. එය වනාහි, ඇත්ත වශයෙන් ම, සියලු මිනිස් වර්ගයාට නිවේදනය කිරීමට දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද පණිවුඩයකි.
බ්‍රසීලයේ, රියෝ ඩි ජානේරියෝ හි අගරදගුරු එවුජේනියෝ සාලෙස් මෙසේ උදක් ම ඉල්ලා සිටි විට එම ශුභාරංචිය ගැන කථා කළේ ය: “අප ක්‍රියා කළ යුත්තේ සුවිශේෂයට එකඟ ව විනා, සංකල්ප පද්ධතිය මත පදනම් ව නොවේ.” එම අගරදගුරු තැන නිවැරදි ය. කෙසේ වෙතත්, සුවිශේෂයට එකඟ ව ක්‍රියා කරන්නට නම්, අප සුවිශේෂය යනු කුමක් ද කියා දැන ගත යුතු ය. අපට එය ඉගෙන ගත හැක්කේ කෙසේ ද? එමෙන් ම සුවිශේෂයට එකඟ ව ක්‍රියා කිරීම, අපට උපකාරවත් වනු ඇත්තේ කෙසේ ද?
සුවිශේෂය යනු කුමක් ද?
සුවිශේෂයේ ස්වභාවය බොහෝ විට තේරුම් ගනු ලබන්නේ වැරදි සහගත ව ය. වර්ෂ 1918 දී, අමෙරිකාවේ චර්චස් ඔෆ් ක්රයිස්ට් හි ෆෙඩරල් මණ්ඩලය, දැන් අභාවයට ගොස් ඇති ජාතීන්ගේ සංගමය පොළොව මත දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දේශපාලන ප්‍රකාශ වීම ලෙස වර්ණනා කරමින්, එය “සුවිශේෂ තුළ මුල් ඇද පිහිටා තිබුණේ ය” යයි ප්‍රකාශ කළේ ය. එම සංගමය සාමය රක්ෂා කිරීමට වූ එහි ඉලක්කය ඉෂ්ට කිරීමට දුක්මුසු ලෙසින් අසමත් විය. පැහැදිලි ව ම, එම මණ්ඩලය වැරදි සහගත විය. ජාතීන්ගේ සංගමයට සුවිශේෂයත් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තිබුණේ නැත.
මෑත වර්ෂවල විමුක්ති දේවධර්මයේ අනුග්රාහකයන්, දේශපාලන හා සමාජීය ප්‍රතිසංස්කරණය සඳහා වූ තම අදහස් ගැන කථා කරන විට, සුවිශේෂය නිදහසේ ගෙනහැර දක්වා තිබේ. එසේ කිරීමේ දී, ඔවුන් සැබෑ සුවිශේෂය නොසලකා හැර තිබේ. බ්‍රසීලියානු සඟරාවක් වන වේජා මෙසේ අදහස් දක්වයි: “කතෝලික සභාව, එහි ඇදහිලිවන්තයන්ගේ ආත්මික අවශ්‍යතා නොසලකා හරිමින්, රාජ්‍යය සමාජයෙහි පිහිටුවීම කෙරෙහි අනුග්‍රහ දක්වන්නට පටන් ගෙන ඇත. දේශනාවක දී දෙවියන් වහන්සේ යන වචනය ඇසීමට බලාපොරොත්තු වූ අයට, බොහෝ විට අසන්නට ලැබුණේ සමාජයේ අයුක්තීන්ට එරෙහි වූ අලංකාර එහෙත් නිස්සාර වූ තර්කයන් පමණි.”
ජීවන තත්ත්වයන්හි වැඩි දියුණුවක් හෝ දේශපාලන ක්රමයේ වෙනසක් ඇතැමෙකුට ශුභාරංචියක් විය හැකි ය. එහෙත්, එවැන්නක් ශුභාරංචිය ම, සුවිශේෂය ම නොවේ ය. තම සභාව සැබෑ සුවිශේෂය දේශනා කිරීමට අසමත් වූ බව පිළිගනිමින්, එක් බිෂොප්වරයෙක් මෙසේ පැවසී ය: “අපගේ ධර්මයට ද්‍රව්‍ය වාදය බාධකයක් වීම නිසා 60 ගණන්වල පටන් අපි අපගේ ඇදහිලිවන්තයන්ගේ ආත්මික ඉගැන්වීම නොසලකා හැරියෙමු.”
එක්සත් ජනපද පුවත් සඟරාවක් වන ටයිම් හි එක් වාර්තාවක්, රෙපරමාදුවන් ද සුවිශේෂයේ දර්ශනයෙන් වෙනතකට යොමු ව සිටින බව අඟවයි. එම සඟරාව මෙවන් නිරීක්ෂණයක් කරයි: “සම්ප්‍රදායික ආගමික නිකායන් සිය පණිවුඩය තේරුම් ගත හැකි ලෙසින් පැවසීමට අසමත් වනවා පමණක් නොව; එම පණිවුඩය කුමක් ද යන්න සම්බන්ධ ව ද ඔවුන්ගේ අස්ථිර බව එන්ට එන්ට ම වැඩි වෙයි.” ඔවුන්ගේ පණිවුඩය කුමක් විය යුතු ද? සුවිශේෂය යනු කුමක් ද?
සුවිශේෂය හඳුනා ගැනීම
වෙබ්ස්ටර්’ස් නයින්ත් න කොලීජීයේට් ඩික්ෂනරි, “සුවිශේෂය” වනාහි “ක්‍රිස්තුස් වහන්සේ, දේව රාජ්‍යය, හා ගැලවීම සම්බන්ධ පණිවුඩය” හැටියට අර්ථ දක්වයි. “සුවිශේෂය” යන වචනය “ක්‍රිස්තියානි පණිවුඩයේ (සමාජ සුවිශේෂයේ) අර්ථ කථනයක්”; “ආගමික ගුරුවරයෙකුගේ පණිවුඩයක් හෝ ඉගැන්වීම්” හැටියට ද අර්ථ දක්වයි. මේ සියලු ම අර්ථ දැක්වීම් අදාළ වේ ද? නැත, අප නියම සුවිශේෂය ගැන කථා කරනවා නම් එසේ නොවේ. නියම සුවිශේෂය පදනම් ව තිබෙන්නේ බයිබලය මත ය; එබැවින්, එම අර්ථ දැක්වීම් තුනෙන් පළමුවැන්න පමණක් නිවැරදි ය. අවසානයට සඳහන් කර ඇති අර්ථ කථන දෙකෙන් පිළිබිඹු කරන්නේ, හුදෙක් අද දින “සුවිශේෂය” යන වචනය භාවිතයට පැමිණ ඇති ආකාරයයි.
මෙම සිතුවිල්ලට එකඟ ව, වයින්’ස් එක්පොසිටොරි ඩික්ෂනරි ඔෆ් න ටෙස්ටමන්ට් වර්ඩ්ස්, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ (“නව ගිවිසුමේ”), සුවිශේෂය “පව් මකාලන ක්‍රිස්තුස් වහන්සේගේ මරණය මත පදනම් ව, ඇදහිල්ලෙන් ලබා ගත යුතු, උන් වහන්සේ තුළින් වූ ගැලවීම ද දේව රාජ්‍යය ද පිළිබඳ ව වූ ශුභ ප්‍රවෘත්තිය දක්වන” බව පවසයි. සැබෑ ශුභාරංචියේ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම, අපගේ වත්මන් සමෘද්ධිය හා අනාගතික සන්තෝෂය සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වන බැවින්, මෙය තේරුම් ගැනීම වැදගත් ය.
පැහැදිලි පණිවුඩයකි
කලින් සඳහන් කළ අධ්‍යයන කෘතිය පෙන්වන ආකාරයට, සුවිශේෂය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ සමීප ව සබැඳී ඇත—එය කොතරම් සමීප ද කියතොත් පොළොව මත උන් වහන්සේගේ ජීවිතය පිළිබඳ වූ බයිබල් වාර්තාවන් සතර, සුවිශේෂ හතර ලෙස හඳුන්වා ඇත. උන් වහන්සේගේ මිනිස් ජීවිතයේ ආරම්භයේ පටන් ම, යේසුස් වහන්සේ පිළිබඳ පුවත ශුභාරංචියක් විණි. උන් වහන්සේගේ උපත ගැන නිවේදනය කිරීමේ දී, දේව දූතයෙක් මෙසේ පැවසී ය: “බලව, මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි [නැතහොත් සුවිශේෂ] නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට . . . අද උපන්සේක.”—ලූක් 2:10.
අලුත උපන් යේසුස් වහන්සේ පොරොන්දු වූ මෙසියස් වහන්සේ වන, ක්‍රිස්තුස් වහන්සේ බවට හැදී වැඩෙනු ඇත. ගැලවීම සඳහා වූ දෙවියන් වහන්සේගේ අරමුණු එළිදරව් කරන්නට යන්නා වූ උන් වහන්සේ, මිනිස් වර්ගයා වෙනුවෙන් සිය පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය පුදා, නැවත නැගිටුවනු ලැබ, අනතුරුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තෝරා ගන්නා ලද රජු බවට පත් වෙනවා ඇත. සැබවින් ම ශුභාරංචියකි! උන් වහන්සේ පිළිබඳ පණිවුඩය සුවිශේෂය ලෙස හඳුන්වා ඇත්තේ එනිසා ය.
යේසුස් වහන්සේගේ කෙටි කාලීන වූ භූමික සේවාවන් තුළ, උන් වහන්සේ ශුභාරංචිය දේශනා කිරීමට මහත් ජ්වලිතයකින් කටයුතු කළ සේක. අපට මතෙව්ගේ සුවිශේෂයේ මෙසේ කියවීමට තිබේ: “යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද . . . සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක.” (මතෙව් 9:35) උන් වහන්සේගේ දේශනා කිරීම හුදෙක් ජනයාට පහසුවක් දනවන්නක් පමණක් වූයේ නැත. යේසුස් වහන්සේ මෙසේ පැවසී යයි මාර්ක් වාර්තා කරයි: “[නියමිත NW ] කාලය සම්පූර්ණ විය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගනිල්ලා.” (මාර්ක් 1:15) එසේ ය, ශුභාරංචියට ප්‍රතිචාරය දක්වා එයට කීකරු වූවෝ, එය තමන්ගේ ජීවිත වෙනස් කළ බව දුටුවෝ ය.
යේසුස් වහන්සේගේ මරණයට පසු, උන් වහන්සේගේ අනුගාමිකයෝ සුවිශේෂය දිගට ම දේශනා කරන්නට වූහ. ඔවුහු රාජ්‍යය ගැන කථා කළා පමණක් නොව, යේසුස් වහන්සේ ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තට නැවත නැගිටුවා ඇති බවට හා මිනිස් වර්ගයා උදෙසා සිය පරිපූර්ණ මිනිස් ජීවිතයේ වටිනාකම ඉදිරිපත් කරනු ලැබූ බවට වූ සන්තෝෂදායක පුවත් ද ඊට එකතු කළහ. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රජු වශයෙන් මුළු පොළොව පාලනය කිරීමට දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද තැනැන් වහන්සේ හැටියට, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ සතුරන් විනාශ කිරීමේ හා පොළොව පාරාදීසයක් බවට යළි පත් කිරීමේ දෙවියන් වහන්සේගේ නියෝජිතයාණන් ද වෙනවා ඇත.—ක්‍රියා 2:32-36; 2 තෙසලෝනික 1:6-10; හෙබ්‍රෙව් 9:24-28; එළිදරව් 22:1-5.
අද දින, ශුභාරංචියට තවත් මූලිකාංගයක් ඇතුළත් වෙයි. අනාවැකිවල ඉෂ්ට වීම පිළිබඳ ව ඇති සියලු සාක්ෂිවලට අනුව, යේසුස් වහන්සේ ව දැන් සිංහාසනාරූඪ කර ඇති අතර, අපි මේ දේවල පිළිවෙළේ අන්තිම දවස්වල ජීවත් වෙමින් සිටින්නෙමු. (2 තිමෝති 3:1-5; එළිදරව් 12:7-12) රාජ්‍යය දෙවියන් වහන්සේගේ සතුරන්ට විරුද්ධ ව ක්‍රියා කරන්නට යන කාලය වේගයෙන් සමීප වෙමින් තිබේ. මීට වඩා වෙන කුමන හොඳ පුවතක් තිබිය හැකි ද?
සුවිශේෂය කොතරම් බලගතු දැයි අප මීළඟ ලිපියේ දකිනවා ඇත. හදි හූනියම්වලට ගොදුරු ව සිටි කාන්තාවකට නිදහස සොයා ගැනීමට එය උපකාර කළේ ය. සොරකම් කර සිරගත ව සිටි මිනිසෙකුට සන්තෝෂය සොයා ගැනීමට එය උදව් විය. එසේ ය—ඔබත් ශුභාරංචිය අසා ඊට කීකරු වන්නේ නම්—එය ඔබටත් මහත් සේ ප්‍රයෝජනවත් වෙනවා ඇත.