මම දෙවියන් වහන්සේට සේවය කිරීමේ තෘප්තිය සොයා ගතිමි
ජෝෂුවා තොංවානා විසින් පැවසූ පරිදි
වර්ෂ 1942 දී, මම ඉතා වියවුලට පත් වී සිටියා. මා සිටියේ, සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන් හා වොච් ටවර් සමිතිය විසින් පළ කරන ලද පොත් පත් අධ්‍යයනය කරමිනුයි. පැරණි ඊශ්‍රායෙල්වරුන් මෙන්, මා “කල්පනා දෙකක් අතරේ හිරවී” සිටියා.—1 රාජාවලිය 18:21.
සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරු මා හට, “වොයිස් ඔෆ් ප්රොෆසි” යනුවෙන් හඳුන්වනු ලැබූ මුද්‍රිත දේශනයන් එවමින් සිටියා. මා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු යැවීමෙන් සතුටක් ලැබූ අතර, මා මගේ සියලු විභාගවලින් සමත් වුණොත් මට අලංකාර සහතිකයක් දෙන බවට ඔවුන් පොරොන්දු වුණා. එහෙත් මා සැලකිල්ලට ගත් කරුණක් නම්, “වොයිස් ඔෆ් ප්රොෆසි” සහ වොච් ටවර් සමිතියේ ප්‍රකාශන යන දෙවර්ගය ම කේප් ටවුන් හි දකුණු අප්‍රිකානු නුවරක සිට තැපැල් කිරීම ය. මා මෙසේ කල්පනා කළා: ‘මෙම සංවිධාන එකිනෙකා ව හඳුනනවා ද? ඔවුන්ගේ ඉගැන්වීම් එකඟ ද? එසේ නොවේ නම්, කවුද හරි?’
මෙම කාරණය විසඳා ගැනීම පිණිස, මා එක් එක් සංවිධානවලට සමාන ලිපි යැව්වා. උදාහරණයක් වශයෙන්, මම වොච් ටවර් සමිතියට මෙසේ ලිව්වා: “ ‘වොයිස් ඔෆ් ප්රොෆසි’ සමඟ සම්බන්ධ වී ඇති අය ව ඔබ දන්නවා ද? එසේ නම්, ඔවුන්ගේ ඉගැන්වීම් ගැන ඔබ පවසන්නේ කුමක් ද?” කලක් ගත වන විට, කණ්ඩායම් දෙකෙන් ම මා හට පිළිතුරු ලැබුණා. වොච් ටවර් සමිතියෙන් ලැබුණු ලිපියෙන් පැවසුණේ, ඔවුන් “වොයිස් ඔෆ් ප්රොෆසි” ගැන දන්නා බව ය, නමුත් එහි ඉගැන්වීම්, එනම් ත්‍රිත්වය සහ ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම වන්නේ මාංසයෙන් යුතු ව යළි පොළොවට ය යන ඉගැන්වීම් ශුද්ධ ලියවිලිමය ඒවා නොවන බව ය. එම මූල ධර්මයන් නිෂ්ප්රභා කිරීමට ශුද්ධ ලියවිලි ද ඔවුන්ගේ ලිපියේ ඇතුළත් වුණා.—යොහන් 14:19, 28.
“වොයිස් ඔෆ් ප්රොෆසි” වෙතින් ලැබුණු පිළිතුරේ සරල ව කියා තිබුණේ ඔවුන් “වොච් ටවර් මිනිසුන්” ව දන්නා නමුත්, ඔවුන්ගේ ඉගැන්වීම් සමඟ තමන් එකඟ නොවන බවයි. කිසිදු හේතුවක් දී තිබුණේ නැහැ. එමනිසා, මා තීරණය කළා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් යොදා ගැණෙන නීතිමය ආයතනය වන වොච් ටවර් සමිතියට අනුග්‍රහ දක්වන්නට. අද, වසර 50ක් පුරා සාක්ෂිකරුවන් ව ඇසුරු කළායින් පසු ව, ගනු ලැබූ හරි තීරණය ගැන මා කොතරම් සතුටු වෙනවා ද!
ආගමික පසුබිම
මා ඉපදුණේ 1912 වසරේ, පීටර්ස්බර්ග් නමැති දකුණු අප්‍රිකාවේ නගරයක බටහිර දෙසින් පිහිටි, මකාන්යේ යනුවෙන් හැඳින් වූ ප්‍රදේශයේයි. ඒ කාලයේ මකාන්යේ ප්‍රදේශය, එංගලන්ත සභාවේ ආගමික පාලනය යටතේ තිබුණා, එමනිසා, මම එම පල්ලියේ සාමාජිකයෙක් බවට පත් වුණා. මට වයස අවුරුදු දහයක් වන විට, අපගේ පවුල, ලුතරන් බර්ලින් මිෂන් සභාව විසින් ආධිපත්‍යය පිහිටුවා ගෙන තිබූ ප්‍රදේශයක පදිංචියට ගිය අතර, මගේ දෙමාපියන් එම පල්ලියට සම්බන්ධ වුණා. ඉක්මනින් ම මම ශුද්ධ වූ සහභාගි මෙහෙයට පැමිණෙන්නටත්, පාන් කැබැල්ලක් හා මුද්‍රික පානය භාවිතා කිරීමටත් සුදුසුකම් ලැබුවා, නමුත් එය මගේ ආත්මික අවශ්‍යතා සනහාලූයේ නැහැ.
වසර අටක් මුළුල්ලේ පාසල් ගොස් අවසන් වූ පසු, මගේ පියා විසින් මා ව කිල්නර්ටන් පුහුණු ආයතනයට යවනු ලැබූ අතර, 1935 දී, මම තුන් වෙනි වසරේ ගුරුවරුන්ගේ සහතිකය ලබා ගත්තා. මා සමඟ වැඩ කළ ගුරුවරුන් අතර එක තරුණ කාන්තාවක් තමයි, කැරොලින්. අප විවාහ වුණා, පසු ව කැරොලින්ට කුඩා දැරියක් ලැබුණෙන් අපි ඈට ඩමාරිස් කියා නම් තැබුවා. වසර කිහිපයකට පසු ව, මාමාට්ෂා යන ඈත පිටිසර ගමේ සෙහියාලේ පාසලේ විදුහල්පතිවරයා බවට මා පත් වුණා. මෙම පාසල ඕලන්ද ප්‍රතිසංස්කෘත සභාව විසින් පාලනය කළ බැවින්, අප නිති පතා එහි මෙහෙයන්ට සහභාගි වෙමින්, එම සභාවට සම්බන්ධ වුණා. අපි මෙය කළේ, එසේ කිරීම පිළිගත් සම්මතය වූ නිසයි, නමුත් එය මට තෘප්තියක් ගෙන ආවේ නැහැ.
වෙනස්වීමේ සන්ධිස්ථානයක්
වර්ෂ 1942 එක් ඉරිදාවක, අපි පල්ලියේ ගීතිකා පුරුදු වෙමින් සිටි විට, එක් තරුණ සුදු මිනිසෙක් දොර අසලට පැමිණ වොච් ටවර් සමිතිය විසින් පළ කරන ලද—ක්‍රියේෂන්, වින්ඩිකේෂන්, සහ ප්‍රෙපරේෂන් පොත් ඉදිරිපත් කළා. මගේ පුස්තකාලයට මෙම පොත් කදිම පෙනුමක් ලබා දෙයි කියා මා සිතූ බැවින් ෂිලිං තුනකට මා ඒවා ලබා ගත්තා. පසු ව මා දැනගත්තා, ටීනී නම් එම මිනිසා, බෙසාඩෙන්හෝවුට්, ප්‍රදේශයේ සිටි එක ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරු බව. ටීනී ඊළඟ වතාවේ පැමිණි විට, ග්රැමෆෝන් යන්ත්‍රයක් ගෙනැවිත්, විනිශ්චයකාර රදෆර්ඩ්ගේ සමහරක් දේශනයන් වාදනය කළා. “ස්නෙයා ඇන්ඩ් රැකට්” යනුවෙන් නම් කොට තිබූ දේශනය මා හොඳින් භුක්ති වින්ද නමුත්, කැරොලින් සහ අප සමඟ ජීවත් වෙමින් සිටි මගේ ප්‍රිසිලා එයට කැමති වුණේ නැහැ. ටීනී තුන් වෙනි වතාවේ පැමිණි විට, මගේ මිතුරන් හට වාදනය කළ හැකි වන පිණිස ඔහු මට ග්රැමෆෝනය දුන්නා.
එක් දවසක් මම ක්‍රියේෂන් නමැති පොතේ පිටු හොඳින් හාරා අවුස්සා බලන අතර තුර, “වෙයා ආ ද ඩෙඩ් [මළවුන් කොහේ ද?]” යන පරිච්ඡේදය මට හමුවුණා. මම එය කියවන්නට පටන් ගත්තේ, වෙන් වී ගිය ආත්මයන් ස්වර්ගයේ දී අත්දකින්නා වූ ප්‍රීති ප්රමෝදයන් ගැන දැනගැනීමේ බලාපොරොත්තුවෙනුයි. නමුත්, මගේ අපේක්ෂාවන්වලට පටහැනි ලෙසින්, මළවුන් ඔවුන්ගේ සොහොන්වල සිටින බවත්, කිසි දෙයක් නොදන්නා බවත් පොතේ සඳහන් වුණා. මීට අනුබල දීමක් වශයෙන් බයිබලයෙන් දේශනාකාරයා 9:5, 10 වෙනි පද උපුටා දක්වා තිබුණා. තවත් පරිච්ඡේදයක් “එවේක්නිං ද ඩෙඩ් [මළවුන් ව පිබිදවීම]” යන මැයෙන් යුක්ත වූ අතර, මළවුන් සිහිසන් නැති ව සිටින බවටත් නැවත නැගිටීමක් බලාපොරොත්තුවෙන් සිටින බවටත් ඔප්පු කිරීමක් වශයෙන් යොහන් 5:28, 29 උපුටා දක්වා තිබුණා. මෙය පිළිගත හැකි යම් අර්ථවත් දෙයක් බවට මට හැඟුණා, එය මා තෘප්තියට පත් කළා.
මා “වොයිස් ඔෆ් ප්රොෆසි” සමඟ තිබූ සම්බන්ධකම් කපා දමා, වොච් ටවර් සමිතියේ ප්‍රකාශනවලින් ඉගෙන ගනිමින් සිටි දේවල් ගැන අන්‍යයන්ට කථා කරන්නට පටන් ගත්තේ වර්ෂ 1942, ඒ කාලය වන විටයි. පළමුවෙන් ම ප්‍රතිචාර දැක්වූයේ මිත්‍රයෙක්. ඒ මා සමඟ කිල්නර්ටන් පුහුණු ආයතනයේ මගේ පංතියේ සිටි ජූඩා ලෙට්ස්වාලෝ.
ජූඩා සහ මම, පීටස්බර්ග් හි පැවැත්වුණු අප්‍රිකානු සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමකට සහභාගි වීම සඳහා කිලෝමීටර් 51ක් පාපැදියෙන් ගමන් කළා. ඉන් පසු ව, මගේ අසල්වැසියන්ට රාජ්‍යය පණිවුඩය ඉදිරිපත් කිරීමට උපකාර කිරීම සඳහා පීටස්බර්ග් හි සිට මිතුරන් බොහෝ විට මාමට්සා දක්වා පැමිණියා. අවසානයේ දී, පීටස්බර්ග් හි වෙනත් එක්රැස්වීමක දී, 1944 දෙසැම්බර් මාසයේ දී, මා බව්තීස්ම වී යෙහෝවඃ වහන්සේට වූ මගේ කැපවීම සංකේතවත් කළා.
මගේ පවුල සහ වෙනත් අය ප්‍රතිචාර දක්වමින්
කැරොලින්, ප්‍රිසිලා සහ මගේ දියණිය ඩමාරිස්, ඕලන්ද ප්‍රතිසංස්කෘත සභාවට යාම දිගට ම කළා. විපත්තියක් පැමිණුනේ ඊළඟටයි. කැරොලින් අපගේ දෙවෙනි දරුවා ව ප්‍රසූත කළ අතර, පෙනෙන හැටියට, හොඳ සෞඛ්‍යය සම්පන්න පිරිමි දරුවෙක්, අපි ඔහුට සැමුවෙල් කියා නම් තැබුවා. නමුත් සැනෙකින් ඔහු අසනීප වී මිය ගියා. කැරොලින්ගේ පල්ලියේ මිතුරන් පැමිණ ඈ ව සැනසුවේ, දෙවියන් වහන්සේට වුවමනා වූයේ අපගේ පුතා උන් වහන්සේ සමඟ ස්වර්ගයේ සිටීමට යයි කියමිනි. බලවත් ශෝකයට පත්වුණු කැරොලින්, නිතර ම ඇසුවේ: “ඇයි දෙවියන් වහන්සේ අපගේ පුතා ව ගත්තේ” කියායි.
අපට පැමිණි විපත ගැන පීටස්බර්ග් හි සාක්ෂිකරුවන්ට දැනගන්නට ලැබුණු විට, ඔවුන් අප කරා ඇවිත් දේව වචනය මත පදනම් කර අව්‍යාජ අයුරින් අප ව සැනසුවා. කැරොලින් පසු ව මෙසේ කීවා: “මරණයට හේතුව ගැන, මළ අයගේ තත්ත්වය ගැන, නැවත නැගිටීමේ බලාපොරොත්තුව ගැන, බයිබලය පැවසූ දෙය පිළිගත හැකි අර්ථවත් යමක් වූවා, ඒ වගේම මා ව බොහෝ සේ සනසනු ලැබුවා. නව ලෝකයේ සිට මගේ පුතා ව මිනීවළෙන් නැවත ආපසු ලබා ගන්නට මට වුවමනා වුණා.
කැරොලින් පල්ලි යාම නැවැත්වූවා, 1946 දී ඇය, ප්‍රිසිලා, සහ ජූඩා බව්තීස්මය ලැබුවා. ජූඩාගේ බව්තීස්මයෙන් වැඩි කලක් ගත වෙන්නට පෙර, ඔහු, මාමාත්ලෝ යනුවෙන් හැඳින්වූ ඈත පිටිසර ප්‍රදේශයේ දේශනා වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා පිටවී ගිය අතර, අද දක්වා, ඔහු එහි පූර්ණ-කාලීන පුරෝගාමි දේව සේවකයෙකු වශයෙන් සේවය කරමින් සිටිනවා.
ජූඩා පිට වී ගිය අවස්ථාවේ, බොයින් යනුවෙන් හැඳින්වූ අපගේ සභාව රැකබලා ගැනීමට පිරිමියෙකුට සිටියේ මා පමණයි. එවිට, ග්‍රේස්ලි මාත්ලාට්යී අපගේ ප්‍රදේශය කරා පදිංචියට පැමිණි අතර, පසු ව ඔහු ප්‍රිසිලා සමඟ විවාහ වුණා. සෑම සතියක ම ග්‍රේස්ලි සහ මම ප්‍රාදේශීය අප්‍රිකානු භාෂාව වන සෙපෙඩි බසින් මාරුවෙන් මාරුවට ප්‍රසිද්ධ කථා දුන්නා. මිනිසුන් හට බයිබල් පොත් පත් ලබා ගැනීමට හැකි වන පරිදි, සෙපෙඩි බසට පොත් පත් පරිවර්තනය කරන ලෙස සමිතිය මගෙන් ඉල්ලා සිටියා. ජනයා මෙම පොත් පත්වලින් ප්‍රයෝජන ලබනවා දැකීම මටත් ඉමහත් තෘප්තියක් ගෙන දුන්නා.
අපගේ ප්‍රසිද්ධ රැස්වීම්වලට ප්‍රසිද්ධියක් දීම සඳහා, අපගේ ප්‍රදේශය පුරා බයිබල් දේශන වාදනය කිරීම පිණිස අපි විශාල ශබ්ද විකාශනයක් සමඟ ග්රැමෆෝනයක් මිලට ගත්තා. බූරුවන් බැඳි කරත්තයක් අප තාවකාලික ව ඉල්ලාගත් අතර, මේ බර උපකරණ තැනින් තැනට රැගෙන යාමට මෙය උපකාරවත් වුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ ප්‍රදේශයේ අසල්වැසියන්, “බූරු පල්ලියේ මිනිසුන්” කියා අපට නමක් දැම්මා.
මේ අතරතුර, අපගේ කුඩා සභාව දිගට ම වර්ධනය වුණා. අවසානයේ දී, මගේ අක්කලා දෙදෙනා සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සාක්ෂිකරුවන් බවට පත් වූ අතර, සියලු දෙනා ම මරණය දක්වා ඇදහිලිවන්ත ව සිටියා. තව ද, බොයින් (ම්පෝකෝඩීබා යනුවෙන් දැන් හැඳින්වෙන) සභාවේ බොහෝ දෙනෙක් පූර්ණ කාලීන එවැන්ජලිස්ත සේවය භාර ගත් අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙක් තවමත් එම සේවය කරමින් සිටිනවා. අද, විසිරී තිබෙන පිටිසර ගම්මානවලින් යුත් මෙම ප්‍රදේශයේ සභාවන් දෙකක් තිබෙන අතර, එකතුවක් ලෙස ගත් කල, ප්‍රචාරකයන් 70 දෙනෙක්, දේශනා සේවයේ ක්‍රියාශීලී ව සිටිනවා.
නව ජීවන මාර්ගයක්
වර්ෂ 1949 දී, පාසලේ ඉගැන්වීම නවතා දැමූ මා, ස්ථාවර පුරෝගාමි දේව සේවකයෙකු බවට පත් වුණා. මගේ පළමු පැවරුම වූයේ, ට්‍රාන්ස්වාල් හි වාල්වාටර් අවට සුදු මිනිසුන්ට අයත් ව තිබූ ගොවිපලවල වැඩ කළා වූ කළු ජාතික කම්කරුවන්ට කථා කිරීමයි. ඇතැම් ගොවිපලවල අයිතිකරුවන් මෑතක දී ආර්පාතකයිඩ් යන වාර්ගික පංති භේද ප්‍රතිපත්තිය පිළිගෙන තිබූ අතර, ඔවුන් සිතා ගෙන සිටි විදිහට කළු ජාතිකයන් තමන් සුදු මිනිසුන්ට වඩා පහත් බව පිළිගත යුතු අතර, තමන්ගේ ස්වාමිවරුන් වශයෙන් සුදු මිනිසුන්ට සේවය කළ යුතු යයි ඔවුන් තීරණය කර තිබුණා. එමනිසා, මා කළු ජාතික කම්කරුවන් හට දේශනා කළ විට, ඔවුන් ව අකීකරු කිරීමට මා දේශනා කරන කෙනෙකු යයි ඇතැම් සුදු මිනිසුන් මා ව වරදවා තේරුම් ගත්තා. මා කොමියුනිස්ට් වාදියෙකු කියා පවා සමහරු මට චෝදනා කර, මට වෙඩි තබන බවට තර්ජනය කළා.
මා මේ තත්ත්වය ගැන වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට වාර්තා කළා, ඉක්මනින් ම මා ව ඩේවල්ස්ක්ලුෆ් යනුවෙන් හැඳින්වෙන ඈත ප්‍රදේශයක පැවරුමකට මාරු කෙරුණා. මේ කාලය වන විට මගේ භාර්යාව ඇගේ ගුරු වෘත්තිය නතර කළ අතර මා සමඟ පුරෝගාමි සේවයට හවුල් වුණා. වර්ෂ 1950 එක් දහවලක අප ක්ෂේත්‍ර සේවයේ සිට පැමිණි විට අපි දුටුවේ සමිතියෙන් එවා තිබූ විශාල ලියුම් කවරයයි. අප ව පුදුමයට පත් කරවමින්, මා සංචාරක අවේක්ෂකයෙකු ලෙස පුහුණුව ලැබීමට මා හට ආරාධනයක් ඒ කවරය තුළ අඩංගු වී තිබුණා. වසර තුනක් පුරා අපි දකුණු අප්‍රිකාවේ සභාවන් බැහැදුටු අතර, 1953 දී, මධ්‍යම දකුණු අප්‍රිකාවේ ගොඩ බිමින් ඇහිරී තිබූ රටක් වූ ලෙසෝතෝට අප ව පත් කරනු ලැබුවා.
ලෙසෝතෝ සහ බොස්ට්වානා හි දේව සේවය
අප ලෙසෝතෝ රටේ සේවය ආරම්භ කරන විට, බොහෝ විට අමුත්තන් ආගමික චාරිත්‍රවලට අනුකූල වූ මිනීමැරුම්වල ඉලක්කයන් බවට බොහෝ කට කථා තිබුණා. මගේ භාර්යාව සහ මා යන අප දෙදෙනා ම මේ ගැන තරමක් චකිත වූ නමුත් අපගේ ලෙසෝතෝ සහෝදරයන්ගේ ප්‍රේමය සහ ඔවුන්ගේ සංග්‍රහශීලී භාවය, එවැනි බිය අමතක කර දැමීමට අපට උපකාරවත් වුණා.
ලෙසෝතෝ හි මලූටි කඳුකර ප්‍රදේශයේ සභාවන්හි සේවය කිරීම සඳහා, මා ගුවන් යානයකින් ගමන් කරන්නට වූ අතර, මා මගේ භාර්යාව ව පහත රට ප්‍රදේශයේ නවතා ගියෙන් මා ආපසු එන තෙක් ඈ දිගට ම පුරෝගාමි සේවයේ නියැලුණා. මා කඳුකර ප්‍රදේශයේ අතරමං වීමෙන් වළකාලීම සඳහා ක්‍රිස්තියානි මිතුරන් කාරුණික ව මා සමඟ සභාවෙන් සභාවට ගමන් කළා.
ඊළඟ සභාවට යන්නට නම්, අපට ඔරෙන්ජ් ගඟ හරහා අශ්වයා පිටෙන් යන්නට සිදු වන බව එක් වතාවක දී මා හට පවසනු ලැබුවා. මට දෙනු ලබන අශ්වයා කලබලකාරී එකෙක් නොවන බව මා හට සහතික කරනු ලැබූ නුමුදු, වතුර පාර සැර වෙන විට, අශ්වයන් බොහෝ විට තමන්ගේ බරින් නිදහස් වීමට උත්සාහ කරන බවට මා හට අනතුරු අඟවා තිබුණා. මා හොඳ අශ්වාරෝහකයෙකුවත් හොඳ පිහිනුම්කරුවෙකුවත් නොවූ නිසා මා සිටියේ කනස්සල්ලෙනුයි. ටික වේලාවකින්, අපි ගඟ මැදට ආවා, අශ්ව සැදෑල දක්වා තරම් උසට වතුර ආවා. මම කොතරම් භය වුණාද කිව්වොත්, මා තෝන්ලණුව අත හැර, මා අශ්වයාගේ බෙල්ල තදින් බදා ගත්තා. අප ආරක්ෂා සහිත ව ගඟේ අනෙක් පැත්තට ආවිට එය මොනතරම් සහනයක් වුණා ද!
අශ්වයාගේ පිට උඩ යාම නිසා මගේ සිරුර එතරම් ම රිදෙන්නට වූ බැවින්, එදා රාත්‍රියේ මට ලෙහෙසියෙන් නිදා ගන්නට ලැබුණේ නැහැ. එහෙත් පැමිණීම ගැන මිතුරන් මහත් අගය කිරීමක් පෙන්වූ නිසාවෙන්, ඇති වූ අපහසුව එතරම් ගණන් ගන්නට වුණේ නැහැ. මා ලෙසෝතෝ හි චාරිකා වැඩකටයුතු ආරම්භ කරන විට, එහි සිටි උපරිම ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 113යි. අද එම සංඛ්‍යාව 1,649 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වර්ෂ 1956 දී, අපගේ දේශනා පැවරුම, දැන් බොට්ස්වානා නමින් හැඳින්වෙන බෙකුවානාලන්ත, යටත් විජිතයට මාරු කෙරුණා. බොට්ස්වානා යනු වඩාත් විශාල රටක්, තව ද සියලු ම ප්‍රචාරකයන් ව හමු වීමට නම් බොහෝ දුර ප්‍රමාණයක් ආවරණය කිරීමට අවශ්‍ය වුණා. අපි දුම්රියෙන් හෝ විවෘත ට්‍රක් රථයකින් ගමන් කළා. ඒවායේ ආසන තිබුණේ නැහැ, එමනිසා අපගේ බඩු බාහිරාදිය සමඟ බිම වාඩි වීමට අපට සිදු වුණා. අපි බොහෝ විට අපගේ ගමනාන්තයට ආවේ හුඟක් වෙහෙසින් හා දූවිලිවලින් නැහැවීගෙනයි. අපගේ ක්‍රිස්තියානි සහෝදරයෝ සෑම විට ම අප ව සාදරයෙන් පිළිගත්තා, ඔවුන්ගේ සන්තෝෂවත් මුහුණුවලින් අපි නැවුම් බවක් වින්දා.
ඒ කාලයේ දී, බොට්ස්වානා රටේ සමිතියේ ප්‍රකාශන තහනම් වී තිබුණා, එමනිසා, අපගේ ගෙයින් ගෙට දේශනා වැඩකටයුතු කෙරුණේ, සමිතියේ පොත් පත් භාවිතා කිරීමකින් තොර ව, සුපරීක්ෂාවෙන් යුතුවයි. වරෙක අපි මාපාෂාලාලා යන ගම අසල වැඩ කරමින් සිටි විට, අප ව අල්ලා අත්අඩංගුවට ගනු ලැබුවා. අපගේ ආරක්ෂාව හැටියට අප කළේ, මතෙව් 28:19, 20 හි වාර්තා කර ඇති පරිදි අපට පවරා ඇති දේ ගැන බයිබලයෙන් කියවීමයි. සමහරක් උපදේශකවරුන් මේ සම්බන්ධයෙන් ඒත්තු ගන්වනු ලැබුවත්, ප්‍රදේශයේ සාක්ෂිකරුවන් හට හොඳට ම තැලිය යුතු යයි ප්‍රධානියා නියෝග කළා. එවිට, අප ව පුදුමයට පත් කරවමින්, පූජකයා ඉදිරිපත් වී, අපට අනුකම්පා කර, කමා කරන ලෙස ප්‍රධානියාගෙන් අයැද සිටියා. ප්‍රධානියා මීට එකඟ වුණෙන්, අප ව නිදහස් කෙරුණා.
පීඩා සහ අපගේ පොත් පත් තහනම් කර තිබියදීත්, රාජ්‍යය වැඩකටයුතු දිගට ම වර්ධනය වුණා. මා බොට්ස්වානා රටට පැමිණෙන විට එහි සිටි උපරිම ප්රචාරක සංඛ්‍යාව 154යි. තහනම ඉවත් කර වසර තුනකට පසු ව, එම සංඛ්‍යාව 192 දක්වා ඉහළ නැංගා. අද දින එම රටේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් 777ක් සිටිනවා.
ඉගැන්වීම සහ පරිවර්තනය
කලක් ගත වන විට, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සඳහා වූ රාජ්‍යය සේවා පාසලේ උපදේශකවරයෙකු වශයෙන් මා ව යොදා ගනු ලැබුවා. පසු ව, පුරෝගාමි සේවා පාසලේ උපදේශකවරයෙකු වීමේ වරප්‍රසාදය මා භුක්ති වින්දා. මගේ භාර්යාව සහ මම කලින් කලට දකුණු අප්‍රිකා ශාඛාවේ ද සේවය කළා. එවන් අවස්ථාවන්හි දී, මා පරිවර්තන කටයුතුවලට උපකාර කළ අතර, කැරොලින් මුළු තැන් ගෙයි වැඩ කළා.
වර්ෂ 1969 එක් දවසක, ශාඛා අවේක්ෂක, ෆ්රාන්ස් මර්ලර්, මා වෙතට එළැඹ, මට මෙසේ පැවසුවා: “සහෝදර තොංවානා, මා කැමතියි ඔබ සහ ඔබගේ භාර්යාව මගේ කාර්යාලයේ සිටිනවා දකින්නට.” එහි දී ඔහු පැහැදිලි කළා, ලන්ඩන් නුවර පැවැත්වෙන 1969 “පීස් ඔන් අර්ත් [පොළොව මත සාමය]” සමුළුවට සහභාගි වන නියෝජිතයන් අතරට අපවත් තෝරා ගෙන තිබෙන බව. අප එංගලන්තයේ සහ ස්කෝට්ලන්තයේ අපගේ සහෝදරයන්ගේ ප්‍රේමනීය සංග්‍රහශීලී භාවය භුක්ති වින්ද අතර, ලෝක ව්‍යාප්ත සහෝදරත්වය උදෙසා අපගේ අගය කිරීම ඉන් බොහෝ සේ වැඩි කළා.
පසුගිය දශක හතර පුරා, පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන් වශයෙන් අපගේ ජීවන මාර්ගය තුළ කැරොලින් පක්ෂපාත සහකාරියක් වී තිබෙනවා. අපි බොහෝ ප්‍රීති ප්රමෝදයන් සහ ඇතැම් දුක්මුසු දේවල් එක් ව හවුලේ විඳ ගෙන තිබෙනවා. අපට අපගේ දරුවන් දෙදෙනෙකු ව මරණයෙන් අහිමි වුණත්, අපගේ දියණිය, ඩමාරිස්, කදිම සාක්ෂිකාරියක් බවට වැඩුණු අතර, ඇය දකුණු අප්‍රිකානු ශාඛාවේ පරිවර්තන වැඩකටයුතුවල ද හවුල් වී සිටියා.
අපගේ සෞඛ්‍යය තත්ත්වය නිසා, අපට තවදුරටත් සංචාරක සේවය තුළ හවුල් වෙන්නට හැකියාවක් නැහැ, එමනිසා, පසුගිය වසර කිහිපය පුරා, අපි පීටර්ස්බර්ග් අසල අප්‍රිකානු නගරබද ප්‍රදේශයක් වූ සෙෂෙකෝ හි සභාවට විශේෂ පුරෝගාමින් වශයෙන් සේවය කරමින් සිටිනවා. මම සේවය කරන්නේ මුලසුන අවේක්ෂක වශයෙනුයි. “ප්‍රීති වීම සහ තෘප්තිය ඇත්තේ [යෙහෝවඃ වහන්සේගේ] අභිමුඛයේ ය” කියා බයිබලයේ සඳහන් වෙනවා, ඇත්තෙන් ම මම දකුණු දිග අප්‍රිකාවේ දෙවියන් වහන්සේට සේවය කිරීමේ ලා ප්‍රීතිය හා තෘප්තිය සොයා ගෙන තිබෙනවා.—ගීතාවලිය 16:11, NW.
[26වන පිටුවේ පින්තූරය]
දකුණු අප්‍රිකාවේ, නාගරික ප්‍රදේශයක් වූ සෙෂෙගෝ හි සාක්ෂි දැරීම