පාරාදීසයක් හෝ කුණු කසළ ගොඩක්—ඔබ වඩාත් කැමති කුමකට ද?
පාරාදීසයක් බඳු සුන්දර දිවයිනක විවේක සුවයත්, හිරුරැස්වල පහසත් භුක්ති විඳීමේ මහත් ආශාවෙන් සිටි යුරෝපීය සංචාරකයෙකු වූවා මිස, ඔහු වෙන කිසිවෙක්වත් කියා කිසි කෙනෙකුවත් වරදවා වටහා නොගන්නට ඇත. ඔහු වෙරළ අද්දර දසත විහිදී තිබූ වැලි වැටි පසු කර, බෝතල්, කෑන්, ප්ලාස්ටික් මලු, චුවිංගම් හා ටොපි කොළ, පුවත් පත් හා සඟරා විසිර ගොස් තිබූ පෙදෙසක් හරහා හිමින් සීරුවේ පරීක්ෂාකාරී ව පියමං කළේ ය. මෙමගින් නිසැක ව ම කෝපයට පත් ඔහු, මෙතරම් දුරක් ගෙවා පැමිණි පාරාදීසය මෙය දැයි කල්පනා කරන්නට විය.
ඔබත් කවදා හෝ මෙවන් අත්දැකීමක් ලබා තිබෙනවා ද? යම් පාරාදීසයක විවේකයක් ගත කිරීමට සිහින මවන ජනයා, එහි යාමෙන් පසු, එම පාරාදීසය කිසි චකිතයකින් තොර ව සැබෑ කුණු ගොඩක් බවට පෙරළන්නේ මන්ද?
“පාරාදීසවල” පමණක් නොවේ
සෞන්දර්ය, පිරිසිදුකම, හා පවිත්රත්වය යනාදිය සඳහා වූ මෙම පැහැදිලි නොසැලකිල්ල, සංචාරකයන් බොහෝ දෙනෙකු රොක් වන්නා වූ “පාරාදීසවලට” පමණක් සීමා නොවේ. නූතන සමාජය, සෑම තැනක ම පාහේ පවතින පරිසර දූෂණයෙන් දැඩි ලෙස පීඩා විඳිත්. අසංඛ්‍යාත ව්‍යාපාර, ටොන් ගණන් අපද්‍රව්‍ය ඇති කරමින් මහ පරිමාණයකින් පරිසර දූෂණයට දායක වෙයි. නිසි ලෙසින් ඉවත් කරනු නොලබන විෂකර වූ අපද්‍රව්‍ය මෙන් ම හදිසි අනතුරු නිසා ඇතිවන තෙල් පිටාර ගැලීම්, අපගේ පෘථිවියේ විශාල ප්‍රදේශයන් ජීවත්වීමට නුසුදුසු කරවමින්, එය විනාශයේ තර්ජනයට ලක්කරයි.
යුද්ධයන් මගින් ද පරිසරය දූෂණය කෙරේ. මුළු ලෝකය ම ත්‍රාසයෙන් බලා සිටි අතරතුරේ දී, 1991 පර්සියන් ගල්ෆ් යුද්ධය පරිසර දූෂණයට නව මුහුණුවරක් එකතු කළේ ය. එක්තරා යුරෝපා පුවත් පතක් එය විස්තර කළ ආකාරයට, කුවේට් රට “නිරයේ බිහිසුණු දර්ශනයක් බවට” පරිවර්තනය කරමින්, ඉරාක හමුදා වුවමනාවෙන් ම තෙල් ළිං 600කට ගිනි තැබී ය. ජෙයෝ නම් ජර්මානු සඟරාව එම ගිනි විල “මනුෂ්‍යයා විසින් මෙතෙක් ඇති කරන ලද විශාලතම පාරිසරික විපත්තිය” හැටියට නම් කළේ ය.
යුද්ධය අවසන් වූ වහා ම පවිත්‍ර කිරීමේ ප්රයත්නයක් ආරම්භ කරන ලදි. තෙල් ළිං නිවා දැමීම සඳහා පමණක් මාස ගණනාවක් පුරා වෙහෙසා ක්‍රියා කරන්නට සිදු විය. කුවේටයේ ප්‍රගුණ වූ පාරිසරික දූෂණය නිසා එහි මරණ අනුපාතය සියයට 10කින් ඉහළ යාමට හේතු විය හැකි යයි ජගත් සෞඛ්‍ය සංවිධානය වාර්තා කළේ ය.
එතරම් අනතුරුදායක නොවුවත් ඉතා හිරිහැරදායක ය
විශාල පරිමාණයේ සුප්‍රකට හා බරපතළ වූ සෑම පාරිසරික දූෂණයේ ආදර්ශයක් සඳහා ම, කුඩා පරිමාණයේ ආදර්ශයන් දහස් සංඛ්‍යාවක් ඇත. පිළිවෙළක් නැති ව කොළ කැබලි තැනින් තැන දමන්නන් හා බිත්ති මත කුරුටු චිත්‍ර හා විවිධ පාඨ ලියන “චිත්රවේදීන්” එතරම් අනතුරුදායක නොවන පාරිසරික දූෂකයන් වුවත්, ඔවුන් එනයින් කරන්නේ පෘථිවි ග්‍රහයා පාරාදීසයක් බවට පත්වීමේ හැකියාව වැළැක්වීමට උපකාර කිරීම ය.
ඇතැම් ස්ථානවල කුරුටු චිත්‍ර හා පාඨ කොතරම් පොදු දෙයක් බවට පත් ව තිබේ ද කියතොත්, පුරවැසියන් විසින් තවදුරටත් ඒවා නොදකින තරමට ම “කුරුටු චිත්‍ර හා පාඨ අන්ධයන්” බවට පත් ව ඇත්තාහ. ඒවා උමං දුම්රියවලත්, පොදු ගොඩනැගිලිවල බිත්ති මතත්, දුරකථන කුටීරවලත් දක්නට ලැබේ. මෙවන් කුරුටු චිත්‍ර හා පාඨ තවදුරටත් පොදු වැසිකිළිවල බිත්තිවලට පමණක් සීමා වී නොමැත.
ඇතැම් නගර, ගරා වැටුනු හා අත්හැර දමන ලද ගොඩනැගිලිවලින් පිරී ඇත. පදිංචියට යෝග්‍ය ප්‍රදේශ, අපිරිසිදු නිවාස හා මිදුල්වලින් අවලක්ෂණ වී ඇත. ක්‍රියා විරහිත වූ මෝටර් රථ, අහක දමන ලද යන්ත්‍රෝපකරණ, හා සුන්බුන් ගොඩවල් ගොවිබිම්වල ගොඩගැසී ඇත. ඒවා නොතිබෙන්නට එම ගොවිබිම් ප්‍රිය මනාප ලෙස සිත් ඇදගන්නා තත්ත්වයක තිබෙනු ඇත.
ඇතැම් ජන පිරිස් කිලුටු හා අපිරිසිදු ශරීරයන් ඇති ව සිටීම ගැන නොසැලකිලිමත් ව සිටින බව පෙනේ. ඇඳුම් පැළඳුම් හා පිළිවෙළකට නැති හිසකෙස් පීරීමකින් යුක්ත ව සිටීම, පිළිගත හැකි පමණක් නොව අලුත් තාලයට අනුව සිටීමක් ද විය හැකි ය. ක්‍රමවත් භාවය හා පවිත්රත්වය අගය කරන්නන්, සම්පූර්ණ වශයෙන් ම යල් පැනපු අය ලෙස සලකනු ලැබේ.
මොනතරම් විශාල වැඩක් ද!
අපගේ භූමික නිවසේ වෙරළවල්, වනාන්තර හා කඳු, එම සිලුටු සංචාරක සඟරාවේ පිටකවරයේ ඇති පාරාදීසයන් බවට හැරවීමට—මීට අමතර ව, නගර, නුවරවල්, ගොවිබිම් හා මනුෂ්‍යයන්ට පවා කළ යුතු දේවල් සලකන කල—කොතරම් විශාල පවිත්‍ර කිරීමේ ව්‍යාපාරයක් අවශ්‍ය වනු ඇද්ද!
මුලින් සඳහන් කළ සංචාරකයා එදින සවස් භාගයේ පවිත්‍ර කරන කණ්ඩායමක් එම ප්‍රදේශයේ ගමන් කරමින් සුන්බුන් ඉවත් කරනු දකින්නට සතුටු විය. කෙසේ වෙතත්, ඔවුහු කැඩුණු වීදුරු කෑලි, බෝතල් මූඩි, ටින්වලින් ගැල වූ කැබලි හා අනන්ත අප්‍රමාණ දුම්වැටිවල ඉතුරු කොටස් අත්හැර ගියහ. මෙසේ පවිත්‍ර කිරීමෙන් පසු ව පවා, එම භූමි ප්‍රදේශය පාරාදීසයකට වඩා කුණු ගොඩක් ව තිබූ බවට ඕනෑ තරම් සාක්ෂි තිබුණි.
පෘථිවි ග්‍රහයා සමස්ත ලෝක කුණු ගොඩක් බවට පත්වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ සමස්ත ලෝක පවිත්‍ර කිරීමකට, මෙවන් දූෂණයකට දායක වන සියලු දේවල් ඉවත් කිරීම අවශ්‍ය වනු ඇත. මෙවන් පවිත්‍ර කිරීමක් සිදු වනු ඇතැයි යම් බලාපොරොත්තුවක් තැබිය හැකි ද? එසේ නම්, ඒ කෙසේ ද? එය කරනු ඇත්තේ කවරෙකු විසින් ද? ඒ කවදා ද?