ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 3/1 30-31 පි.
  • මයික්‍රොනීසියාවේ මිෂනාරිවරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මයික්‍රොනීසියාවේ මිෂනාරිවරු
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 3/1 30-31 පි.

මයික්‍රොනීසියාවේ මිෂනාරිවරු

මයික්‍රොනීසියාවේ වෙසෙන මිෂනාරිවරු නිමාවක් නැතැයි පෙනෙන පැසිෆික් සාගරයේ අතිවිශාල තීරුවලින් වෙන් කරනු ලැබුව ද, කෙසේ හෝ සෑම වසරක් පාසා ම “පවුලේ නැවත එක්වීමකට” සහභාගි වෙති. තව ද දුරස්තර ව පිහිටි දූපත්වලින් එන මෙම එවැන්ජලිස්තවරුන් සියල්ලෝ හමු වන්නේ කොතැන ද? දේශීය ආණ්ඩුව යෙහෝවඃ මාවත යනුවෙන් උචිත ලෙස නම් කර ඇති ස්ථානයේ දී ය—එනම් ඔවුන් සේවය කරන ගුවාම් ශාඛා කාර්යාලයේ ලිපිනය ය.

වර්ෂ 1992 ජූනි මාසයේ දී, “ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික්ක සමුළුවට සහභාගි වනු පිණිස මිෂනාරිවරු 56 දෙනෙක් ශාඛාවේ එක්රැස් වූහ. ඔවුහු දීර්ඝ කාලයක් පුරා පැවති මිත්‍රත්වයන් අලුත් කරමින් අලුත් මිත්‍රත්වයන් ගොඩ නගද්දී, හසරැල් හා මුසු වූ සැහැල්ලු සිත් ඇති කථා දසත රැව් පිළිරැව් දෙන්නට විය. වසරක් පාසා කරන ආකාරයට, සමූහ ඡායාරූපයක් ගැනීම සඳහා රාජ්‍යය ශාලාවේ පඩි පෙළ මත පිළිවෙළකට සූදානම් වූ අතර පසු ව වාර්ෂික මිෂනාරි භෝජනයකට සහභාගි වීම සඳහා භෝජනෝත්සව වෙනුවෙන් සූදානම් කළ දිගැති මේස තුනක ඔවුහු අසුන් ගත්හ. මේ වසරේ දී කැපී පෙනෙන අංගයක් වූයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඇල්බර්ට් ශ්‍රෝඩර්ගේ පැමිණීමයි.

මිෂනාරිවරුන් බොහෝ දෙනෙකුට, වාර්ෂික ව ගුවාම් හි කරන මෙම එක්රැස්වීම, ඔවුන්ට තම කුඩා නිවර්තන වාසස්ථානවලින් බැහැර වීමට ලැබෙන එක ම අවස්ථාව ය. මේවා කොතරම් කුඩා ද කියතොත්, මාර්ෂල් දූපත්වලින් එකක් වන, ඊබයි දූපතට අයත් වන්නේ අක්කර 78ක් පමණකි. මාර්ෂල් දූපත්වල ඇති මජුරෝ මිෂනාරි නිවසත් ගිල්බර්ට් දූපත්වල ඇති කිරිබාටි නිවසත් යන දෙක ම, පිහිටා ඇත්තේ සැතපුම් භාගයකටත් අඩු පළලකින් යුත් දිග, අතෝල (පටු කොරල් දූපත්) මත ය. එනිසා මිෂනාරිවරු ගුවාම් වෙතට යන ගමනෙන් වැඩි ම ආස්වාදයක් ලැබීමට වෑයම් කරති.

නිවර්තන කලාපයට අයත් දුරස්තර දූපතක දේශනා කිරීමේ අදහස සිත් ගන්නා දෙයක් වුවත්, තථ්‍ය වශයෙන් එය ස්වල්ප දෙනෙක් පමණක් මුහුණ දීමට සූදානම් ව සිටින අභියෝගයක් වේ. සැලකිය යුතු ලෙසින්, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් පාසලෙන් පැමිණ සිටින්නේ මිෂනාරිවරුන් 56 දෙනාගෙන් 7 දෙනෙක් පමණකි. වැඩි දෙනෙක් පැමිණ ඇත්තේ, නිවර්තන කලාපීය ජීවිතයට හුරු පුරුදු පුරෝගාමි දේව සේවකයන් ව සිටි හවායි නැතහොත් පිලිප්පීනයෙන් ය. ඔවුහු කෙළින් ම සිය මව් රටවල සිට සිය මිෂනාරි පැවරුම් වෙතට ගොස් ඇත්තාහ.

මයික්‍රොනීසියාවේ දූපත් සමකයට ඉතා සමීප ව පිහිටා ඇති බැවින්, මිෂනාරිවරු ශුභාරංචිය සමඟ ගෙවැසියන් කරා යාමේ දී දැඩි උෂ්ණත්වය හා ආර්ද්‍රතාව සමඟ පොර බදිති. අදහස් හුවමාරු කිරීම ඊටත් වඩා වැඩි අභියෝගයක් විය හැකි ය. එක් එක් දූපතේ නැතහොත් දූපත් සමූහයකට ආවේණික භාෂාවක්—මින් සමහරක් කොතරම් අප්‍රසිද්ධ තත්ත්වයක පවතී ද කියතොත් ඒවාට ශබ්දකෝෂයක් පවා නැත—එනිසා නවකයෙකුට එය ව්‍යක්ත ව කථා කිරීමට වසර ගණනාවක් ගත වන්නට පුළුවන. නා නා ප්‍රකාර වූ මෙම දූපත් සංස්කෘතීන්ට අයත් ජනයාට බයිබලය තේරුම් ගැනීමට උපකාර කිරීමට, ගුවාම් ශාඛාව භාෂා 11කින් ප්‍රකාශන මුද්‍රණය කරන අතර ඉන් 9ක් මයික්‍රොනීසියාවේ පමණක් කථා කරනු ලබන ඒවා ය.

මින් සමහරක් දූපත් කොතරම් වෙන් ව තිබේ ද කියතොත් ඒවාට ළඟා විය හැක්කේ බෝට්ටුවලින් පමණකි. චූක් (ට්‍රෘක්) දූපත්වල ටොල් දූපතේ ඇති මිෂනාරි නිවස මෙවන් දූපතක පිහිටා ඇති අතර එහි ජීවත් වන මිෂනාරිවරු සෑම දවසක ම පැය ස්වල්පයකට පමණක් විදුලි බලය ලබා ගැනීමට සූර්ය ජනේල කෙරෙහි රැඳී සිටිති.

මයික්‍රොනීසියා ව පුරා මිෂනාරි නිවාස 14ක් පිහිටුවා ඇති අතර මේවා එක්සත් ජනපද මහාද්වීපය තරම් භූමි භාගයක් පියවයි. මෙම ප්‍රදේශයේ ජීවත් වන 4,00,000කටත් වඩා වැඩි වූ ජන සංඛ්‍යාවෙන්, 1,000ක් දෙනා හුදකලා කණ්ඩායම් 3කටත්, සභාවන් 20කටත් සංවිධානය වූ, ශුභාරංචියේ ප්‍රචාරකයෝ වෙති.

මයික්‍රොනීසියාවේ ජනයා පොදුවේ ඉතා මිත්‍රශීලී වුවත්, දේශීය ආගමික සිරිත් හා පවුල්වලින් පැමිණෙන පීඩන, බොහෝ දෙනෙකු ව දේව රාජ්‍යයේ සත්‍යය පිළිගැනීම අධෛර්යවත් කරවයි. මෙසේ සමස්තයක් වශයෙන් දේශනා කිරීමේ වැඩය සමෘද්ධිමත් වුව ද (එම රාජ්‍යය ප්‍රචාරකයෝ 1,000 දෙනා බයිබල් පාඩම් 2,000කට වැඩිය පවත්වමින් සිටිති), සමහරක් සභාවන් හා කණ්ඩායම් කුඩා ව තිබේ. උදාහරණයක් වශයෙන්, ටිනියන් දූපතේ සිටින්නේ ප්‍රචාරකයන් 5 දෙනෙක් පමණකි. නවූරු දූපතේ සිටින්නේ ප්‍රචාරකයන් 7 දෙනෙකි. එමෙන් ම යැප්, කොස්රියා හා රොටා හි සිටින්නේ ප්‍රචාරකයන් 40කටත් අඩු සංඛ්‍යාවක් බැගින් ය. එසේ නමුත්, ඇතැම් මිෂනාරිවරු සිය පැවරුම්වල වසර 20කටත් වැඩි කාලයක් සේවය කර ඇත්තාහ. සැලකිය යුතු ලෙසින්, බෙලවු දූපතේ සිටින මිෂනාරිවරුන් 6 දෙනා ම අඩු තරමින් අවුරුදු 12ක්වත් එහි වාසය කර ඇත්තාහ.

විඳදරා කටයුතු කරන්නන් හට, විපාක මහත් ය. යෙහෝවඃ වහන්සේගේ මැවිල්ලේ සෞන්දර්ය නරඹා පුදුම වීමට දින පතා අපමණ අවස්ථා එළඹේ. මයික්‍රොනීසියාවේ සමෘද්ධිමත් දූපත් පැසිෆික් සාගරයේ නිල්වන් පසුතල හරහා විහිදුනු කුඩා කොළ පැහැති මාණික්‍යයන් මෙන් විසිරී ඇත. ජනාකීර්ණ නොවූ සැතපුම් ගණනාවක් දිගැති වෙරළ හා ඒ සමඟ ඇති වර්ණවත් මත්ස්‍යයන් බහුල ව සිටින මුහුදු හතු පර, ලෝකයේ වඩාත් ප්‍රියංකර කිමිදුම් ස්ථාන සමහරක් සෝදිසි කිරීමට ස්නෝකල් හා වාත ටැංකි පාවිච්චි කරමින් කිමිදෙන්නට උනන්දුව දක්වන්නන් ව ආකර්ෂණය කර ඇත. තව ද සෑම දවසක් ම අවසන් වන විට, සාගරය මතින් ඉරු අවරට යන මවිතාකාර දර්ශනය ඇත.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨතම විපාකය නම්, අනාගතය සඳහා යෙහෝවඃ වහන්සේගේ පුදුම සහගත පොරොන්දු ගැන අන්‍යයන්ට කථා කිරීමෙන් උන් වහන්සේට සේවය කිරීමට ඇති වරප්‍රසාදය ය. මයික්‍රොනීසියාවේ මිෂනාරිවරුන් නොනැවතී එම විපාකය ලුහුබඳින බැවින්, ඔවුහු යෙසායා 42:12 හි වදන් ඉෂ්ට කරමින් සිටිත්. එහි සඳහන් ව ඇත්තේ මෙසේ ය: “ඔව්හු ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ගෞරවය දී, උන්වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා.”

[පින්තූරය]

වර්ෂ 1992 ජූනි මාසයේ දී, මිෂනාරිවරු ගුවාම් හි එක්රැස් වෙති

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න