“මෙන්න මම මෙහිය; මා යැවුව මැනව”
විල්ෆ්රඩ් ජෝන් පැවසූ පරිදි
සන්නද්ධ බුරුම හමුදා භටයන් ගඟේ දෙපැත්තෙන් ම අප ව ආක්‍රමණය කළා. බයිනේත්තු සවි කරන ලද රයිෆල් අමෝරා ගෙන, තමන්ගේ ඉඟටිය දක්වා උසට ගලන ජලය හරහා ගමන් කරමින් ඔවුහු මහාමාර්ගයේ පාලම යට අප ව වට කර ගත්තා.
මගේ සහයකයාත් මාත් අතිශයින් බියට පත් වුණා. එසේ වීමට හේතුව? අපට භාෂාව තේරුණේ නැතත්, පණිවුඩය අපට වැටහුණි—අප ව අත්අඩංගුවට ගෙන තිබුණා. අපගේ ඉන වටේට තුවාය පමණක් ඔතා තිබිය දී, ගරු සරු නැති ආකාරයකට අසල තිබූ පොලිස් ස්ථානයකට අප ව කැඳවා ගෙන යනු ලැබ, ඉංග්‍රීසි කථා කරන නිලධාරියෙක් විසින් ප්‍රශ්න කරනු ලැබුවා.
මෙය 1941 දෙවන ලෝක යුද්ධය තුළ සිදු වූ අතර අපි කඩාකප්පල්කරුවන් යයි සැකයට පාත්‍ර වූවා. එම නිලධාරියා සෑහීමකට පත් වන පමණට, අපගේ ක්‍රිස්තියානි දේශනා සේවය ගැන අප විසින් පැහැදිලි කිරීමෙන් පසු, අප එම හමුදා භටයන්ගෙන් පණපිටින් ගැලවීම වාසනාවක් යයි ඔහු අපට කීවා. සැකකරුවන් වැඩි දෙනෙක්, ප්‍රශ්න කිරීමෙන් තොර ව වෙඩි තබනු ලැබූ බව ඔහු කිව්වා. අප යෙහෝවඃ වහන්සේට ස්තුති කර, පාලම් අසල රැඳී නොසිටින්නට දුන් එම නිලධාරියාගේ අවවාදයට එකඟ ව ක්‍රියා කළා.
බුරුමයේ දී (දැන් මයන්මාර්) මම මෙවන් තත්ත්වයකට පත් වුණේ කෙසේ ද? මගේ පසුතලය ගැන තොරතුරු බිඳක් සමඟින් මම පැහැදිලි කරන්නම්.
ජීවිතයේ මුල් අවධියේ කරන ලද තෝරා ගැනීමක්
මම 1917 වේල්ස් හි ඉපදුන අතර මට අවුරුදු හයක් ව තිබිය දී මගේ මව්පියන් හා බාල සහෝදරයා සමඟ නවසීලන්තයේ පදිංචියට ගොස්, එහි මගේ පියාගේ කිරි පට්ටි ගොවිපොළේ හැදී වැඩුණෙමි. දිනක් ඔහු පරණ පොත්කඩයකින් මිල දී ගත් පරණ පොත් තොගයක් ගෙදර ගෙනාවා. වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසින් ප්‍රකාශිත ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් පොතේ වෙළුම් දෙකක් ද එහි තිබුණා. මේවා මගේ මව ඉතා අගය කොට සලකා ආරක්ෂා කළ අතර තිමෝතිගේ මව වන, එවුනීකි මෙන්, යෙහෝවඃ වහන්සේගේ රාජ්‍යයේ අභිවෘද්ධිය පිණිස මගේ යෞවන කාලය වැය කරන්නට ආශාවක් ඇය මා තුළත් පැළ පදියම් කළා.—2 තිමෝති 1:5.
වර්ෂ 1937 දී තෝරා ගැනීම් දෙකක් මට විවෘත වුණා: මගේ පියාගේ කිරි පට්ටිය භාර ගැනීම හෝ දෙවියන් වහන්සේගේ දිවැස්වර යෙසායා මෙන් “මෙන්න මම මෙහිය; මා යැවුව මැනව” යයි යෙහෝවඃ වහන්සේට පැවසීමයි. (යෙසායා 6:8) මම යෞවන ව, නීරෝගී ව, හා වෙනත් වගකීම්වලින් නිදහස් ව සිටියා. මම ගොවිපොළේ ජීවිතය රස බලා එහි ප්‍රීතිය භුක්ති විඳ තිබුණා. අනෙක් අතට, පූර්ණ කාලීන දේව සේවකයෙක්, නැතහොත් පුරෝගාමියෙක් හැටියට මට අත්දැකීම් තිබුණේ නැහැ. මා තෝරා ගන්නේ කොයි ක්‍රියා මාර්ගය ද—ගොවිපොළේ වැඩ කිරීම ද, නැතහොත් පුරෝගාමියෙක් ලෙස සේවය කිරීම ද?
ඕස්ට්‍රේලියාවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් පැමිණි කථිකයන්, දිරිගැන්වීමේ මාධ්‍යයක් වුණා. ඔවුන් නවසීලන්තයේ අපගේ ප්‍රදේශයට පැමිණ දෙවියන් වහන්සේට සේවය කිරීමට මගේ යෞවන කාලය පාවිච්චි කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා. (දේශනාකාරයා 12:1) මම මෙම විෂය මගේ දෙමව්පියන් සමඟ සාකච්ඡා කළ අතර දෙවියන් වහන්සේගේ කැමැත්තට මුල් තැන දීමේ ඥානවන්තකම සමඟ ඔවුහු එකඟ වුණා. කන්ද උඩ දේශනයේ දී යේසුස් වහන්සේගේ මතු සඳහන් වදන් ද මම මෙනෙහි කළා: “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද [දෙවියන් වහන්සේගේ] ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.”—මතෙව් 6:33.
මගේ තීරණය ගනු ලැබුවා! එවකට නවසීලන්තයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛාවක් නොතිබුණ නිසා, සිඩ්නි නගරයේ තිබුණු, ඕස්ට්‍රේලියාවේ ශාඛාවේ සේවය කරන්නට මට ඇරයුම් ලැබුණා. මෙසේ, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ පූර්ණ කාලීන දේව සේවකයෙක් වීම පිණිස ඕස්ට්‍රේලියාවට යාමට 1937 දී මම නැව් නැග්ගා.
‘මට පැවරෙනු ඇත්තේ කොයි ආකාර වැඩ කොටසක් ද?’ යන්න මම කල්පනා කළා. ‘මෙන්න මම මෙහි ය, ඔබ වහන්සේ කැමති ඕනෑ ම තැනක මා ව පාවිච්චි කරන්න’ යයි මා ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේට පවසා තිබූ බැවින්, එය කුමක් වුවත් මොක ද? ඒ කාලයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් තැටිගත බයිබල් කථා ගෙවැසියන්ට වාදනය කිරීමට පාවිච්චි කරන ලද තැටි සෑදීමෙහි වසර දෙකක් මම සහය වුණා. කෙසේ වෙතත්, ශාඛාවේ මා ව මූලික ව පුහුණු කළේ පොත් පත් ගබඩාවේ වැඩ සඳහා ය.
සිංගප්පූරුවට පිටත් ව යාම
වර්ෂ 1939 දී, මම ඈත පෙරදිගට—එනම් සිංගප්පූරුවේ ඇති සමිතියේ ගබඩාවේ සේවයට—පත්වීමක් ලැබුවා. එම ගබඩාව ඕස්ට්‍රේලියාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, හා එක්සත් ජනපදයෙන් පොත් පත් ලබා ආසියාවේ රටවල් බොහොමයකට නැව්ගත කරන මධ්‍යස්ථානයක් හැටියට ක්‍රියා කළා.
සිංගප්පූරුව වනාහි පෙරදිග හා යුරෝපීය සංස්කෘතීන් එකට මිශ්‍රිත වූ බහු භාෂාවන්ගෙන් යුත් නගරයකි. මැලේ භාෂාව අදහස් හුවමාරු කිරීමේ පොදු මාධ්‍යය වූ අතර ගෙයින් ගෙට දේශනා කරනු පිණිස, විදේශිකයන් වූ අපට එය ඉගෙන ගැනීමට සිදු වුණා. බොහෝ භාෂාවන්ගෙන් සාක්ෂි දීමේ පත්‍ර යයි අප විසින් හැඳින් වූ පත්‍ර අපට තිබිණ. මේවා මත රාජ්‍යය පණිවුඩය කෙටියෙන් සඳහන් කර තිබුණා.
ආරම්භයේ දී මම මැලේ සාක්ෂි දීමේ පත්‍රය කටපාඩම් කර, අනතුරුව ක්‍රමයෙන් එම භාෂාවෙන් මගේ වචන ප්‍රමාණය වැඩි කර ගතිමි. එහෙත් අප වෙනත් භාෂාවන් බොහොමයකින් ද බයිබල් ප්‍රකාශන රැගෙන ගියා. උදාහරණයක් වශයෙන්, ඉන්දීය ජනයා සඳහා උර්දු, ගුජරාටි, දෙමළ, බෙන්ගාලි, මලයාලම්, හා හින්දි භාෂාවන්ගෙන් වූ ප්‍රකාශන අප සතු ව තිබුණා. මෙතරම් භාෂාවන්ට අයත් ජනයා ව හමු වීම මට අලුත් අත්දැකීමක් වුණා.
ඇත්තෙන් ම 1939 සැප්තැම්බර් මාසයේ කරන ලද ත්‍රාසජනක නිවේදනය, එනම් යුරෝපයේ යුද්ධ ප්‍රකාශ කිරීම මට හොඳින් මතකයි. ‘එය වැඩි වර්ධනය වී ඈත පෙරදිගත් ඊට ගොදුරුවනු ඇද්ද?’ යයි අපි කල්පනා කළා. එය අර්මගෙදොනයට මුලපිරීමක් යයි මට හැඟිණ—ඒ සඳහා ඉතා සුදුසු කාලය වනු ඇතැයි මට සිතුණා! මගේ යෞවන කාලයෙන් පූර්ණ හා නිසි ප්‍රයෝජන ගනිමින් සිටියේ යයි මට තෘප්තියක් දැනුණි.
එම ගබඩාවේ වැඩත් සමඟ ම, මා සභා රැස්වීම්වලත් ක්ෂේත්‍ර සේවයේත් පූර්ණ ලෙස හවුල් වුණා. බයිබල් පාඩම් පවත්වන ලද අතර ඇතැම් පුද්ගලයන් ප්‍රතිචාරය දක්වා වතුර බව්තීස්මය ලැබුවා. ඔවුන් ව අසල වෙරළක් වෙත ගෙන ගොස් සිංගප්පූර් වරායේ උණුසුම් ජලයේ ගිල්වනු ලැබුවා. උනන්දුව දක්වන අය අතර රහසේ ආරාධනා පත් යවමින්, අප එක්රැස්වීමක් පවා පැවැත්වීමට තීරණය කළා. අපගේ ප්‍රීතියට දායක වෙමින්, එවකට අර්මගෙදොනයට පෙර පවත්වන අපගේ අන්තිම එක්රැස්වීම යයි අප කල්පනා කළ එයට 25 දෙනෙක් පමණ සහභාගි වුණා.
යුද්ධය නිසා සමිතියේ ශාඛාවන් අතර අදහස් හුවමාරුව දැඩි ලෙස සීමා වූවා. උදාහරණයක් වශයෙන්, නිශ්චිත වශයෙන් සඳහන් නොකරන ලද පැවරුමකට යන අතරතුරේ දී යම් අවස්ථාවක නම් නොකරන ලද නැවකින් ජර්මානු පුරෝගාමින් තිදෙනෙක් සිංගප්පූරුවට ඒමට නියමිත බව, අපගේ සිංගප්පූරු ගබඩාව කෙටි දැන්වීමක් ලැබුවා. ඉන් සති කීපයකට පසු ව ඔවුන් පැමිණ උනන්දුව දනවන පැය දහයක් අප සමඟ ගත කළා. භාෂාව ගැටලුවක් ඇති කළ ද, ඔවුන්ගේ පැවරුම වූයේ ෂැංහායි වෙත යෑම බව අපට තේරුම් ගත හැකි විය.
ෂැංහායි හි මගේ පැවරුම
ඉන් වසරකට පසු ව, මමත් ෂැංහායි හි සේවය කිරීමට පැවරුමක් ලැබුවා. මට ලිපිනයක් තිබුණේ නැහැ, තිබුණේ තැපැල් පෙට්ටි අංකයක් පමණයි. තැපැල් කන්තෝරුවේ හරස් ප්‍රශ්න ඇසීමකට භාජනය වීමෙන් පසු, සමිතියේ නේවාසික ලිපිනය මට දීමට තරම් ප්‍රමාණවත් වන ආකාරයකට මා කවරෙක් ද යන වග මට තහවුරු කළ හැකි වුණා. කෙසේ වෙතත්, එම ලිපිනයේ ජීවත් වූ චීන ජාතිකයා, ශාඛාව එතැනින් වෙනත් තැනකට ගෙන ගොස් ඇති බවත් එතැන ලිපිනය නොදන්නා බවත් මට කිව්වා.
‘මම දැන් මොනව කරන්න ද?’ මා කල්පනා කළා. මඟ පෙන්වීම ඉල්ලා මා නිහඬ ව යාච්ඤා කළා. හිස ඔසවා බලන විට, සාමාන්‍ය ජනයාට වඩා උසැති හා පෙනුමෙන් වෙනස් මිනිසුන් තිදෙනෙක් මා දුටුවා. සහතික ව ම ඔවුන් ව දිස් වූයේ එදා කෙටි පැය ගණනක් සිංගප්පූරුවේ නැවතුන ජර්මානුවන් තිදෙනා ලෙසටයි. ඉක්මනින් ම, මම ඔවුන් ඉදිරියට ගියා.
“සමාවෙන්න” කියා මම කලබලයෙන් කිව්වා. ඔවුන් නැවතී දැඩි විමසිලිමත් නෙතින් සැකකටයුතු ආකාරයකට මා දෙස බැලුවා. “සිංගප්පූරුවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්. මතක ද මා ව?” මම ඇසුවා. මොහොතකට පසු, ඔවුන් “ඔව්! ඔව්! ඔව්!” කියා පිළිතුරු දුන්නා. එකෙණෙහි ම අප සිපවැළඳ ගත් අතර සතුටු කඳුළු මගේ මුව දිගේ ගලන්නට වුණා. මිලියන සංඛ්‍යාත ජනයා අතරෙන්, ඒ මිනිසුන් තිදෙනා ඒ අවස්ථාවේ දී එතැනින් ගමන් කළේ කෙසේ ද? මම නිරායාසයෙන් ම “යෙහෝවඃ වහන්ස, ඔබට ස්තුතියි” කියා කීවා. එවකට ෂැංහායි හි සාක්ෂිකරුවන් හැටියට හිටියේ චීන පවුල් තුනකුත්, ජර්මානුවන් තිදෙනාත්, මමත් පමණයි.
හොංකොං හා පසු ව බුරුමය
මාස කීපයක් ෂැංහායි හි සේවය කිරීමෙන් පසු, මා ව හොංකොං වෙතට මාරු කරනු ලැබුවා. මා සමඟ හවුලේ සේවය කරන්නට සිටි පුරෝගාමියා එන්නට අසමත් වූ විට, මට තනි ව ම කටයුතු කරන්නට සිදු වූ අතර මා එම යටත් විජිතයේ සිටි එක ම සාක්ෂිකරුවා වුණා. එවිට, මා යෙහෝවඃ වහන්සේට කියා තිබූ දෙය යළිත් මට සිහි කර ගැනීමට සිදු විණ: “මෙන්න මම මෙහිය; මා යැවුව මැනව.”
මගේ කටයුතු මූලික වශයෙන් ඉංග්‍රීසි කථා කරන චීන ජනයා වෙත යොමු වූවා. එහෙත් එම නිවාස හිමියන්ගේ ගේට්ටුවල චීන භාෂාව පමණක් කථා කරන සේවකයන් සිටි නිසා, මට එම ගේට්ටුවෙන් අවසර ගෙන ඇතුළට පිවිසීම දුෂ්කර වුණා. එනිසා, වැඩියෙන් ම පාවිච්චි කරන ලද ප්‍රාදේශීය භාෂා දෙකින් මම චීන භාෂාව ටිකක් ඉගෙන ගත්තා. එය සාර්ථක වුණා! මම මුරට සිටි සේවකයා වෙත ගොස්, මගේ කාර්යය පත ඉදිරිපත් කර චීන භාෂාවෙන් වචන කීපයක් කථා කරත් ම මට සාමාන්‍යයෙන් ඇතුළට යාමට අවසර ලැබුණා.
වරක් පාසලකට යන අතර, මා එහි විදුහල්පති සමඟ කථා කිරීමට වෑයමක් වශයෙන් මෙම ක්‍රමය අනුගමනය කළා. කනිෂ්ඨ ගුරුවරියක් මා ව නෘත්‍ය ශාලාවේ හමු වූ අතර, පන්ති කාමර කීපයක් හරහා මම ඇය පසු පස යමින්, දරුවන්ගේ ගෞරවනීය සුභ පැතුම් පිළිගනිමින්, විදුහල්පති හමු වීමට සූදානම් වුණා. එම ගුරුවරිය දොරට තට්ටු කර, දොර විවෘත කර, පසෙකට වී, ඇතුල් වන්නැයි මට සංඥා කළා. මා ව කෝපයටත් මවිතයටත් පත් කරමින්, ඇය මා ව ශිෂ්ට ලෙස රැගෙන ගොසින් තිබුනේ වැසිකිලියටයි! මගේ චීන භාෂාව වරදවා වටහා ගෙන තිබූ බව පැහැදිලි වූ අතර එම මුල් ගුරුවරයා පසු ව මට කී ආකාරයට, මා ව ජල නළ හා කුණු කසළ පරීක්ෂකයෙක් හැටියට වරදවා ගණන් ගෙන තිබුණි.
මාස හතරක් සේවය කිරීමෙන් පසු, අපගේ දේශනා සේවය කෙරෙහි තහනමක් පනවා ඇති බවත්, මා දේශනා කිරීම නැවැත්තුවේ නැත්නම් මා ව පිටුවහල් කරන බවත් හොංකොං පොලීසිය විසින් මට දැනුම් දීමක් කළා. වෙනත් තැන්වල දේශනා කිරීමට ප්‍රස්තාව තවදුරටත් විවෘත ව තිබූ නිසා, මා පිටුවහල් කිරීම මැනවයි තෝරා ගත්තා. හොංකොං හි සිටින අතර මා පොත් 462ක් බෙදා දී තිබූ අතර වෙනත් දෙදෙනෙකුට සේවයේ හවුල්වීමට උපකාර කර තිබුණා.
හොංකොං හි සිට මා ව බුරුමයට මාරු කරනු ලැබුවා. එහි මා පුරෝගාමි සේවය කරමින් රැංගූන් (දැන් යැංගොන්) නගරයේ ගබඩාවේ සහය වුණා. රැංගූන් හි සිට මැන්ඩලේ දක්වා ප්‍රධාන මාර්ගය දිගේ විහිදී ඇති නගර හා ගම්වලත් ඉන් ඔබ්බට චීන සීමාව දක්වා ලැෂියෝ නගරයේත් දේශනා කිරීම ඉතා සිත් ගන්නා අත්දැකීමක් වුණා. මගේ පුරෝගාමි හවුල්කරුවාත් මාත් ඉංග්‍රීසි කථා කරන ජනයා කෙරෙහි අවධානය යොමු කරමින්, කොන්සොලේෂන් (දැන් පිබිදෙව්! සඟරාව) වෙනුවෙන් දායක සිය ගණනක් ලබා ගත්තා. රැංගූන් සිට මැන්ඩලේ දක්වා වූ මෙම ප්‍රධාන මාර්ගය, බුරුම මාර්ගය ලෙස හැඳින් වෙන්නට පටන් ගත්තා. අමෙරිකානු යුධ සැපයුම් චීනයට එවනු ලැබුවේ මෙම මාර්ගය ඔස්සේ ය.
වළලුකර දක්වා බසින දූවිලි තුළින් වෙහෙසා පයින් ගමන් කළ විට අපට බොහෝ අවස්ථාවන්හි හොඳින් දිය නා ගත යුතු යයි හැඟින. ආරම්භයේ දී සඳහන් කළ සිද්ධියට, එනම්, ඟගක් හරහා තනා තිබූ පාලමක් යට ස්නානය සඳහා සිටින අතර අත්අඩංගුවට ගනු ලැබීමට, මඟ පෑදූවේ මෙයයි. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන්, හමුදා මෙහෙයුම් හා අසනීප ගතිය නිසා රැංගූන් වෙතට හැරී යාමට අපට සිදුවුණා. වර්ෂ 1943 දී, නැවත ඕස්ට්‍රේලියාවට හැරී යාමට මා හට බල කරනු ලැබූ යුද්ධ මෙහෙයුම් වැඩි කරන ලද අවස්ථාව දක්වා, බුරුමයේ රැඳී සිටීමට මට හැකි වූවා.
යළි ඕස්ට්‍රේලියාවේ
මේ අතර, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු ඕස්ට්‍රේලියාවේ තහනම් කරනු ලැබ තිබුණි. කෙසේ නමුත්, එම තහනම ඉක්මනින් ම ඉවත් කරනු ලැබූ අතර ඒ හේතුවෙන් ශාඛා කාර්යාලයේ සේවය කිරීමට මම යළි ආරාධනයක් ලැබුවා. පසු ව, වර්ෂ 1947 දී, මා සමිතියේ ඕස්ට්‍රේලියා ශාඛාවේ සේවය කරමින් සිටි බෙටී මොස් ව විවාහ කර ගත්තා. බෙටීගේ පියාත් මවත් පුරෝගාමින් වූ අතර ඔවුහු ඇයටත් ඇයගේ සහෝදරයා වූ බිල්ටත් පුරෝගාමි සේවය තමන්ගේ කාර්යය කර ගැනීමට දිරිගැන්වූවා. බෙටී, තමාගේ 14 වියේ දී, එනම් ඇය පාසලෙන් අස් වූ දිනයේ පුරෝගාමි සේවය කරන්නට පටන් ගත්තාය. ඇය මෙන් මමත්, ඇත්ත වශයෙන් ම, “මෙන්න මම මෙහිය; මා යැවුව මැනව” කියා යෙහෝවඃ වහන්සේට කියා තිබූ නිසා, අපට සාර්ථක ව එකට කටයුතු කරන්නට පුළුවන් වනු ඇතැයි කල්පනා කළා.
වසරක් විවාහක ව සිටීමෙන් පසු, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් කරා යමින්, චාරිකා වැඩ කිරීම සඳහා මා ආරාධනයක් ලැබුවා. ඕස්ට්‍රේලියාවේ පිටිසර ගැමි ප්‍රදේශයන්හි සේවය කිරීම සැබෑ අභියෝගයක් වුණා. අධික වර්ෂාපතනය නිසා හිටිහැටියේ ම හට ගන්නා ගංවතුර, ප්‍රවාහන ගැටලු විශේෂාකාරයෙන් ලිස්සන මැටි පාරවල් මත ගැටලු ඇති කළා. ග්‍රීෂ්ම කාලයේ දී හෙවනේ පවා උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 43 දක්වා ඉහළ නැග්ගා. කැන්වස් කූඩාරම්වල වාසය කරමින් සිටි අපට පිළිස්සෙන ග්‍රීෂ්මය නොඉවසිය හැකි තරම් උණුසුම් ලෙසිනුත්, ශීත ඍතුව අතිශයින් සීතල ලෙසත් හැගුණි.
ඕස්ට්‍රේලියාවේ දිස්ත්‍රික්ක දෙකක් පමණක් තිබිය දී, දිස්ත්‍රික්ක අවේක්ෂකයෙක් ලෙස සේවය කිරීම ප්‍රීතියක් වුණා. ඩොනල්ඩ් මැක්ලීන් එක් දිස්ත්‍රික්කයක සේවය කළ අතර මා අනෙක් දිස්ත්‍රික්කයේ සේවය කළා. පසු ව අපි දිස්ත්‍රික්ක හුවමාරු කර ගන්නවා. අප වරක් සේවය කළ ස්ථානයන්හි දැන් සභා තිබෙන බව දැනගන්නට ලැබීම මහත් උනන්දුව ගෙන දෙන්නක්. බයිබල් සත්‍යයේ බීජ ඇත්තෙන් ම දළු ලා වැඩී ඇත!
සියල්ල පටන් ගත් තැනට හැරී පැමිණීම
වර්ෂ 1961 දී, ගිලියඩ් මිෂනරි ස්කූල් නැමැති පාසල න්යූ යෝක් බෘක්ලින් වෙත ගෙන යාමෙන් පසු එහි පළමුවන පන්තියට ඇතුළත් වීමේ වරප්‍රසාදය මට ලැබුණා. මට ඊට කලින් එම පාසලට ඇතුල් වන්නට ආරාධනා ලැබී තිබුණත්, සෞඛ්‍ය හේතු නිසා එය පිළිගත නොහැකි ව තිබුණා. මාස දහයේ පාඨමාලාව හැදෑරීමෙන් පසු, මගේ පැවරුම හැටියට නවසීලන්තය භාර ගැනීමට මට ආරාධනා කෙරුණි.
එනිසා 1962 ජනවාරි පටන්, බෙටී හා මා මෙහි එනම් නවසීලන්තයේ සේවය කරමින් සිටිනවා. එය බොහෝ විට පැසිෆික් සාගරයේ මුතු ඇටවලින් එකක් හැටියට හඳුන්වා තිබේ. චාරිකා හා දිස්ත්‍රික්ක සේවයේ දිව්‍යාණ්ඩුමය වශයෙන් යෙදෙන්නට ලැබීම මහත් ප්‍රීතියක්. වර්ෂ 1979 අප්‍රියෙල් පටන්, පසුගිය වසර 14 පුරා, අපි නවසීලන්තයේ ශාඛා කාර්යාලයේ සේවය කර ඇත්තෙමු.
බෙටී හා මා දැන් අපගේ 70 ගණන්වල මැද භාගයේ සිටින අතර අපි දෙදෙනා එක් ව වසර 116ක අඛණ්ඩ රාජ්‍යය සේවාවක් කර ඇත්තෙමු. බෙටී වර්ෂ 1933 ජනවාරි මාසයේ පුරෝගාමි සේවය පටන් ගත් අතර මා පටන් ගත්තේ 1937 අප්‍රියෙල් මාසයේ ය. අප අපගේ ආත්මික දරුවන්, මුනුබුරන් හා මිනිබිරියන්, අප යෞවන ව සිටිය දී කළ දෙය, එනම් දේශනාකාරයා 12:1 හි සඳහන් “නුඹේ යෞවන දවස්වලදී නුඹේ [උත්තරීතර NW] මැවුම්කාරයා සිහිකරපන්න” යන උපදේශයට අවනත වනු දකින විට, එය මහත් ප්‍රීතියකි.
අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආඥා කළ ආකාරයට, අපගේ මුළු ජීවිත කාලය ම වාගේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමිනුත් ගෝලයන් සාදමිනුත් ගත කිරීමට ලැබීම කොතරම් වරප්‍රසාදයක් වී ඇත් ද! (මතෙව් 24:14; 28:19, 20) “මෙන්න මම මෙහිය, මා යැවුව මැනව” යනුවෙන් දිවැස්වර යෙසායා දැනට දීර්ඝ කාලයකට පෙර කළාක් මෙන්, අපි ද දෙවියන් වහන්සේගේ ආරාධනයට අනුකූලතාව දැක්වීම ගැන අසීමිත ලෙස සතුටු වන්නෙමු.