බයිබලයේ නිවැරදිභාවය පරීක්ෂණයට භාජනය කළ යුත්තේ මන්ද?
ඔබ බයිබලය දෙස බලන්නේ කෙසේ ද? එය මනුෂ්‍යයාට කරන ලද දෙවියන් වහන්සේගේ එළිදරව්ව යයි ඇතැමෙක් ස්ථිර ව විශ්වාස කරති. තවත් අය එය නිකම් ම සාමාන්‍ය පොතක් යයි විශ්වාස කරති. අවිනිශ්චිත තත්ත්වයක සිටින තවත් පිරිසක් ද සිටියි. බයිබලයේ මූලාරම්භය ගැන ඔබට යම් සැකයක් තිබේ නම්, එය සෝදිසි කර කාරණය නිරාකරණය කර ගත යුතු බල කරවන හේතු ඔබට ඇත.
දහඅටවන ශතවර්ෂය දක්වා, ක්‍රිස්තියානි ලෝකයේ රටවල දේව වචනය හැටියට බයිබලයට පුළුල් ගෞරවයක් දෙනු ලැබී ය. එහෙත් 19වන ශතවර්ෂයේ පටන්, වැඩි වන්නා වූ උගතුන්, විද්‍යාඥයන්, මෙන් ම දේවධර්ම ශාස්ත්‍රඥයන් හා පල්ලි නායකයන් පවා බයිබලයේ නිවැරදිභාව පිළිබඳ ව ප්‍රසිද්ධියේ සැක පහළ කරන්නට පටන් ගත්හ.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බයිබලය කොතරම් විවේචනයට ලක් ව ඇත්තේ ද කියතොත්, බයිබලයේ අඩංගු දෑ නොදැන පවා බොහෝ දෙනෙක් තීන්දු ප්‍රකාශ කරති. දැන් ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ දෙනෙක් බයිබලය වෙනුවට, මනුෂ්‍ය දර්ශනයන් වෙත නැඹුරු වෙමින් පවති. තවමත්, නවීන දර්ශනය මගින් වඩාත් සුරක්ෂිත හෝ සන්තෝෂවත් ලෝකයක් බිහි වී නැත. බයිබලය පරීක්ෂා කර බලා එහි උපදෙස් සන්තෝෂයට හා සාර්ථකත්වයට මඟ පෙන්වන්නේ දැයි දැක ගැනීමට එය එක් හොඳ හේතුවක් වේ.
බයිබලය මනුෂ්‍ය වර්ගයාට ඉදිරිපත් කරන මවිතාකාර බලාපොරොත්තුව ද, එහි නිවැරදිභාවය සෝදිසි කිරීම සඳහා තවත් හේතුවක් වනු ඇත. උදාහරණයක් හැටියට, “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකරගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය” යයි ගීතාවලිය 37:29 පවසයි. (එළිදරව් 21:3-5) මෙවන් පොරොන්දු ඔබ කෙරෙහි ඇති කරවන බලපෑම කුමක් ද? ස්ථිර ව ම මේවා බයිබලය සෝදිසි කර බලා එය විශ්වාස කළ හැකි දැයි බැලීමට ප්‍රමාණවත් වන හේතූන් ය.
මෙම සඟරාව සැමවිට ම බයිබලය සැබෑ බවට පක්ෂ ව කථා කර ඇති අතර බොහෝ විට එහි නිවැරදිභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කර ඇත. බයිබලයේ නිවැරදිභාව පරීක්ෂණයට භාජනය කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් ඇත. මුරටැඹ සඟරාවේ විවිධ කලාපයන් මතු සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ඔබට උපකාර කරනු ඇත: පුරාතන ඉතිහාසමය තොරතුරු බයිබලය සමඟ සැසඳෙන්නේ කෙසේ ද? එහි පුරෝකථනයන් නිවැරදි ද? බයිබලයේ අවවාද ප්‍රායෝගික ද, නැතහොත් එය යල් පැන ගොස් ඇති බව උගතුන් හා දර්ශන වාදීන් ඔප්පු කර තිබේ ද?
බයිබලයේ නිවැරදිභාව ඔබට පරීක්ෂා කර බැලිය හැකි තවත් ක්ෂේත්රයකි භූගෝල විද්‍යාව. මිථ්‍යාදෘෂ්ටික පුරාණ කථා බොහෝ විට භූගෝල විද්‍යාත්මක සත්‍යයන් හා ගැටේ. උදාහරණයක් හැටියට, පුරාණයේ විසූ බොහෝ දෙනෙක් මළවුන්ගේ ලෝකය යයි නම් කළ ස්ථානයකට ගිය ගමන් පිළිබඳ කථාන්තර පැවසූහ. ඒ ගයිඩ් ටු ද ගෝඩ්ස් නම් පොත පුරාතන ග්රීකවරුන් ගැන මෙසේ පැහැදිලි කරයි: “පෘථිවිය, සාගරය යයි හැඳින් වූ අතර මහත් ජල කන්දරාවකින් වට වූ සමතලා පෘෂ්ඨයක් හැටියට සලකනු ලැබී ය. ඉන් ඔබ්බට, තැනින් තැන අඳුරු හා ඵල රහිත ගස්වලින් යුක්ත වූ ඛේදජනක පාළු දේශයෙහි මරණයෙන් පසු ලෝකය පිහිටා තිබේ.” මෙය මිථ්‍යා ප්‍රබන්ධයක් බවට තහවුරු වූ විට, මිථ්‍යාදෘෂ්ටික දර්ශන වාදීන්ට තමන් මරණයෙන් පසු ලෝකය යයි හැඳින් වූ දෙය වෙනත් ස්ථානයක තිබේ යයි සඳහන් කරන්නට සිදු විය. “මෙම ලෝකයට විවිධ ගුහා මගින් සම්බන්ධ වූ, මෙම පෘථිවිය යට ඇති සුදුසු ස්ථානයක් සොයා ගනු ලැබී ය” යයි ලේඛක රිචර්ඩ් කාර්ල්යන් පැහැදිලි කරයි. මෙය ද මිථ්‍යා ප්‍රබන්ධයක් වන බව අද දින අපි දනිමු. එවන් කිසි පාතාල ලෝකයක් හෝ ගමන් මාර්ගයක් ඇත්තේ නැත.
පුරාතන ජනයාගේ මිථ්‍යා ප්රබන්ධයන් මෙන්, පෘථිවිය සමතලා බවට වැරදි සහගත මතයක් බයිබලයේ අඩංගු ව නැත. ඒ වෙනුවට එය, පෘථිවිය කිසිවක් මත රැඳී නොපවතින චක්රාකාර වස්තුවක් වූ බවට විද්‍යාත්මක සත්‍යය හෙලි කරයි. (යෝබ් 26:7; යෙසායා 40:22) බයිබලයේ සඳහන් ව ඇති වෙනත් භූගෝලීය විද්‍යාත්මක විස්තරයන් ගැන කුමක් කිව හැකි ද? ඒවා පුරාතන මිථ්‍යා ප්රබන්ධයන් ද, එසේත් නැතහොත් සීනයි අර්ධ ද්වීපය හා නවීන ඉශ්රායෙලය ද ඇතුළු ව වත්මන් දින ඊජිප්තු දේශය දෙස බලන විට, බයිබල් සිද්ධීන් රූපයක් මෙන් නිවැරදි ලෙස සිතෙන් මවා ගන්නට හැකියාවක් තිබේ ද?
[3වන පිටුවේ පින්තූරය]
“පෘථිවි චක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය.”—යෙසායා 40:22
“උන්වහන්සේ . . . පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක.”—යෝබ් 26:7