දුර්වල වෙමින් පවතින විවාහ බන්ධනය
යෞවන මවක් මාස දෙකක් වයසැති සිය ළදරුවා ව තුරුළු කර ගත්තා ය. අනතුරුව, සිතේ හදිසි කැළඹීමකින්, ඇය ඔහු ව බිමට අතහැරියා ය. එම පිරිමි දරුවා පැය කීපයකට පසු ව මිය ගියේ ය. “මා ඔහු ව බිමට අතහැරියේ වුවමනාවෙන්මයි. ඊට හේතුව මගේ ස්වාමිපුරුෂයා පවුල ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති නිසා,” යයි එම මව පැවසුවා ය. එම කාරණය තමාගේ ස්වාමිපුරුෂයා සමඟ කථා කරනවා වෙනුවට, ඇය තමාගේ කෝපය පිට කිරීමට එම අහිංසක ළදරුවා ව යොදා ගත්තා ය.
එවන් අන්තවාදී පියවර ගත්තේ මව්වරුන් ස්වල්පයක් වුවද, ඇයගේ හැඟීම් අත්දකින අය බොහෝ දෙනෙක් සිටිති. විවාහක යුවළයන්ට තමන්ගේ විවාහය සාර්ථක කර ගැනීම වඩ වඩා දුෂ්කර වෙමින් පවතී. “අද දවසේ එක්සත් ජනපදයේ තිබෙන ආකාරයට විවාහයේ තිබිය හැකි සාර්ථකත්වය අතිශයින් පහත මට්ටමක පවතින විට, . . . විවාහයකට බලවත්, එමෙන් ම නුසුදුසු බැඳීමක් කිරීම . . . කොතරම් අනතුරුදායක ද කිවහොත්, එය සම්පූර්ණයෙන් ම බුද්ධිමත් පුද්ගලයෙක් නොකරන දෙයකි” යයි ජර්නල් ඔෆ් මැරෙජ් ඇන්ඩ් ද ෆැමිලි සඟරාව පවසයි.
මෙම වියවුල් සහිත කාලවල දී, දුරාචාරය, එකට එක නොගැළපීම, ණය, විවාහ ඥාතීන් සමඟ ගැටුම් හා ආත්මාර්ථය යනාදි සියල්ල, ගේ දොර අඬ දබරවලට දායක වන අතර මේවා බොහෝ විට දික්කසාදය දක්වා දුරදිග යයි. ජපානයේ මෙම තත්ත්වය කොතරම් බරපතළ ද කිවහොත්, දික්කසාදයට විරුද්ධ ව දැඩි ස්ථාවරයක් දැරීම වෙනුවෙන් සුප්‍රකට වූ කතෝලික පල්ලියට පවා, දික්කසාද වූ හා යළි විවාහ වූ අයට සමාජය වඩාත් පහසු වාතාවරණයක් සපයා දීම සඳහා, සුවිශේෂී කමිටුවක් පත් කරන්නට සිදු විය. වැඩි වන්නා වූ පල්ලි යන්නන් සංඛ්‍යාවකට දික්කසාදය හා සම්බන්ධ ගැටලු බලපාමින් තිබේ.
කෙසේ වෙතත්, දික්කසාද සංඛ්‍යාවෙන් හෙළිවන්නේ වඩාත් විශාල ගැටලුවක කුඩා කොටසක් පමණකි. වැඩි වන්නා වූ දික්කසාදයන් පසු පස පිහිටා ඇත්තේ දික්කසාදය පහසු කරවන්නා වූ සමාජ ප්‍රවණතාවයට වඩා පිරිහීමට පත් වන්නා වූ විවාහ ජීවිතයේ ගුණය බව එක්සත් ජනපදයේ කළ පර්යේෂණ පෙන්වයි. දරන වෑයම හා ඇති බැඳියාව අඩුවෙත් ම විවාහ ජීවිතයේ සිත්ගන්නා ස්වභාවය නැති වේ. බොහෝ දෙනෙක් පිටතට පෙනෙන්නට විවාහ වූ යුවළක් සේ ජීවත් වුව ද, ඔවුන් එක් ව විවාහ යහනට පංගුකාරයන් නොවන අතර එකිනෙකා සමඟ කථා කිරීම පවා කරන්නේ කලාතුරකිනි. ‘මට මගේ ස්වාමිපුරුෂයා සමඟ එක ම මිනී වළේ ඉන්නට බැහැ’ යයි පවසමින්, තමාට ම මිනී වළක් මිල දී ගත් පෙරදිග කාන්තාවකට ඇතිවුණු එවැනි හැඟීමක් ඇතැමෙකුට ද හැඟේ. දැන් තමාගේ ස්වාමිපුරුෂයා ව දික්කසාද කිරීමට අසමත් ව, මරණින් පසු දික්කසාදයක් ලබා ගැනීමට ඇය බලාපොරොත්තු වන්නී ය. කනගාටුදායක ලෙසින්, මෙවන් අය දික්කසාද වී නොසිටිය ද, විවාහ ජීවිතය ඔවුන් සඳහා සන්තෝෂයේ ප්‍රභවයක් නොවේ.
ඊසා-ඕ සම්බන්ධයෙන් සිදු වූයේ එයයි. හදිසියේ ගත් තීරණයක් මත ඔහු තම භාර්යාව විවාහ කරගෙන තිබූ බැවින්, තම ආත්මාර්ථකාමී ජීවිත ක්‍රමය වෙනස් කිරීමට යම් පෙලඹීමක් ඔහුට දැනුනේ නැත. දීර්ඝ ගමන්වල යෙදෙන ට්‍රක් රියදුරෙක් හැටියට ඔහුට හොඳ ආදායමක් තිබුණත්, ඔහු තම පවුලට සැලකිල්ල නොදක්වා තම ආදායම කෑමට හා බීමට වැය කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, තම භාර්යාව සමඟ දිගට ම දබර ඇති විය. “මොනයම් අවස්ථාවක හෝ මගේ තත්ත්වය අශුභ අතට හැරෙන විට, ඉන් ඇති වූ කෝපය මා පිට කරන්නේ ගෙදර ගොසින් පවුල මතට ය” යනුවෙන් ඊසා-ඕ මතකයට නගයි. දික්කසාදය පිළිබඳ විෂය සන්සුන් නොවන්නා වූ ගිනි කන්දක් මෙන්, දින පතා ම බුර බුරා නැගෙන්නට විය.
පුරුෂයන් හා ස්ත්‍රීන් බොහෝ දෙනෙක් අසාර්ථක විවාහයක් විඳදරා ගනිමින් සිටිති. ඔවුහු දික්කසාද වුවත් නැතත්, සන්තෝෂය සොයා ගත නොහැකි ව සිටිති. තමන්ගේ විවාහය සාර්ථක කර ගැනීමට ඔවුනට මඟක් තිබේ ද? ඔවුන්ගේ විවාහ බැම්ම ශක්තිමත් කර ගැනීමට කළ හැක්කේ කුමක් ද?