ශාන්ති-කර්මයන්ට ඔබ ව ආරක්ෂා කළ හැකි ද?
බ්‍රසීලියානු ජාතිකයෙක් සාක්කුවේ ගෙන යන පළිඟුවක්. අමෙරිකානු මලල ක්‍රීඩකයෙකු සතු වාසනාව ගෙන දෙන සතේ කාසියක්. අයර්ලන්ත පවුලක්, තමන්ගේ නිවසේ ඇඳට ඉහළින් එල්ලන සාන්ත බ්‍රිජිට්ගේ කුරුසයක්. මිලියන සංඛ්‍යාත අය මෙවන් ද්‍රව්‍ය ශාන්ති-කර්මයන් නැතහොත් යන්තර හැටියට පාවිච්චි කරති.a මෙවන් ශාන්ති-කර්මයන් කළ දේ ළඟ තබා ගැනීමෙන් අපල දුරු වී තමන්ට ශාන්තිය උදා වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
උදාහරණයක් හැටියට, බ්‍රසීලය සැලකිල්ලට ගන්න. වෙජා නම් සඟරාවට අනුව, “වාසනාව මෙන් ම මානසික හා කායික ශක්තිය, එය අයිති තැනැත්තා වෙත ඇද ගැනීමට බලය තිබෙන බවට ආරූඪ කරන ලද ගල් කැබලි හා අර්ධ වටිනාකමෙන් යුත් මැණික්” බ්‍රසීල ජාතිකයින්ගෙන් බොහෝ දෙනෙක් රැගෙන යති. ගුප්ත බලයන් කුපිත කරවීමට භය නිසා, එම රටේ වෙසෙන වෙනත් අය සිය නිවෙස්වල බිත්තිය මත ආගමික ලාංඡනයක් හෝ වගන්තියක් එල්ලා තබති. සමහරෙක් පරිශුද්ධ ශාන්ති-කර්මයක් හැටියට බයිබලය පවා පාවිච්චි කරති; සැමවිට ම ගීතාවලිය 91වන පරිච්ඡේදය විවෘත ව තබමින්, ඔවුහු එය මේසයක් මත ප්‍රදර්ශනය කරති.
දකුණු අප්‍රිකාවේ මියුටි, නොහොත් සම්ප්‍රදායික වෙදකම, සමානාකාරයෙන් පාවිච්චි කරනු ලබන්නේ එහි සුව කරන ගුණය පමණක් නිසා නොව, එහෙත් අවාසනාවට එරෙහි ව ආරක්ෂාවක් හැටියටත් ය. රෝග, මරණය, මූල්‍යමය පසුබැසීම් මෙන් ම, බිඳ වැටුණු ප්‍රේම සබඳතා පවා සතුරන් විසින් කරන ලද සූනියම් නිසා හෝ මළ මුතුන් මිත්තන් සතුටු කරන්නට අපොහොසත් වීම නිසා ඇති වන්නේ යයි බොහෝ විට කල්පනා කරනු ලැබේ. පැළෑටි, ගස් හෝ සත්ත්ව කොටසක් මිශ්‍ර කරන, ගමේ කට්ටඩියෙකුගෙන් සාමාන්‍යයෙන් මියුටි ලබා ගැනේ. කෙසේ වෙතත්, මියුටි සීමා වී තිබෙන්නේ ගැමි ප්‍රදේශවලට පමණක් නොවේ යන්න සිත් ගන්නා කරුණකි; මෙම පුරුද්ද දකුණු අප්‍රිකානු නගරවල ද පැතිර පවතී. වෙළෙඳ ව්‍යාපාරිකයින් හා විශ්ව විද්‍යාල උපාධිධරයන් ද මියුටි මත රැඳී සිටින අය අතර දක්නට ලැබේ.
වාසනාව සෙවීම යුරෝපා රටවල ද පොදු දෙයකි. ස්ටඩීස් ඉන් ෆෝක්ලයිෆ් ප්රිසෙන්ටඩ් ටු එමීර් එස්ටින් එවන්ස් නම් පොත අපට මෙසේ තොරතුරු දක්වයි: “දොරවල්වල නැතහොත් උළුවහුවල අශ්ව ලාඩම් සවි කර නැති නිවාස හෝ මඩු රහිත මීසමක් නැතහොත් නගරයක් අයර්ලන්තයේ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.” එම රටේ වඩාත් පොදුවේ දක්නට ලැබෙන තවත් දෙයක් වනුයේ, වාසනාව ගෙනෙනු පිණිස ඇඳන් හා දොරවල් මත එල්ලෙන පන්වලින් වියන ලද පන් කුරුසයන් ය. මතුපිටින් බලන කල, අයර්ලන්ත ජාතිකයින් බොහෝ දෙනෙක් මෙවන් මිථ්‍යා විශ්වාසයන් ගැන බරපතළ ලෙස නොසලකන බව පෙන්වන්නේ යයි නිරීක්ෂකයෝ පවසති. එහෙත් ඒවා සම්පූර්ණයෙන් ම නොසලකා හරින්නේ ස්වල්ප දෙනෙක් පමණි.
ආරක්ෂාව සඳහා වූ සෙවිල්ල
මෙවන් මිථ්‍යා විශ්වාසයන් සිත් ඇදගන්නා සුලු වීමට හේතුව කුමක් ද? පෙනෙන හැටියට ආරක්ෂාව පිණිස ජනයාට තිබෙන මූලික අවශ්‍යතාවය තෘප්තිමත් කිරීමට එය ක්‍රියා කරන බැවිනි. සැබවින් ම, තමුන්ගේ නිවෙස්වල දී, ඊටත් වඩා රාත්‍රි කාලයේ දී වීදිවල ඇවිදින විට පවා ආරක්ෂා සහිත බව දැනෙන්නේ කී දෙනෙකුට ද? ජීවත්වීමේ හා දරුවන් රැකබලා ගැනීමේ විඩාවත් ඊට එකතු කරන්න. ඔව්, අප ජීවත් ව සිටින්නේ “කරදරකාරී කාලයක්” යයි බයිබලය හඳුන්වන වකවානුවක ය. (2 තිමෝති 3:1, ද න ඉංග්ලිෂ් බයිබල්) එනිසා ආරක්ෂාව සඳහා දැඩි ආශාවක් ජනයා තුළ තිබීම ස්වාභාවික දෙයකි.
විවිධාකාර ආත්ම බන්ධන ක්‍රියා හා මායාවන් ජනප්‍රිය ව පවත්නා සංස්කෘතීන්හි විශේෂාකාරයෙන් මෙය මෙසේ වන්නට පුළුවන. මළවුන්ගේ ආත්මයන්ට නැතහොත් සතුරෙකුගේ ශාපයට ලක්වීම සම්බන්ධයෙන් පවත්නා භය, ශාන්ති-කර්මයකින් නැතහොත් යන්තරයකින් ලැබේ යයි සිතන ආරක්ෂාව යමෙකුට අවශ්‍ය ම දෙයක් බවට පත් කරවන්නට පුළුවන. කෙසේ නමුත්, ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා සඳහන් කරන්නේ මෙසේ ය: “තමන් ව අනාරක්ෂිත තත්ත්වයකට පත්කරවන බිය බොහෝ ජනයාට ඇත. ආරක්ෂාව සැපයීමෙන් එවන් භය මැඩපැවැත්වීමට මිථ්‍යා විශ්වාසයන් උපකාර කරයි. තමන්ට අවශ්‍ය දේ ලැබී, කරදරවලින් වැළකෙනු ඇතැයි පැවසීමෙන් ඒවා ජනයා තුළ නැවත ධෛර්යයක් උපදවයි.”
යන්තරවල අනුමාන බලය
එබැවින්, විවිධාකාර මෙන් ම විවිධ හැඩයන්ගෙන් යුත් යන්තර, සුර හා ශාන්ති-කර්මයන් කරන ලද දෑ ලොව පුරා සිටින ජනයා විසින් පළඳිනු, ගෙන යනු, මෙන් ම ප්‍රදර්ශනය කරනු ද ලැබේ. එහෙත් මනුෂ්‍යයෙක් විසින් සාදනු ලැබූ ශාන්ති-කර්මයක් යම් සැබෑ ආරක්ෂාවක් පිරිනමනු ඇතැයි විශ්වාස කිරීම සාධාරණ ද? ශාන්ති-කර්ම හැටියට පොදුවේ භාවිතා කරනු ලබන බොහෝ දේවල් විශාල පරිමාණයෙන් නිපදවනු ලබන වෙළෙඳ භාණ්ඩයන් ය. කර්මාන්ත ශාලාවක සකසන ලද යමක මායාකාරී බලයක් තිබිය හැකි බව විශ්වාස කිරීම තර්ක ශාස්ත්‍රයට හා සාමාන්‍ය බුද්ධියට පටහැනි නොවේ ද? එමෙන් ම ගමේ වෙදෙකු විසින් විශේෂාකාර ලෙස සකසනු ලබන ද්‍රව මිශ්‍රණයක් පවා පහත් ද්‍රව්‍යයන්වල—එනම්, මුල්, බෙහෙත් පැළෑටි හා එවන් දෑ වල—මිශ්‍රණයකට වඩා වැඩි යමක් නොවනු ඇත. එවන් සංයෝගයක මායාකාරී ගුණයක් අඩංගු වනු ඇත්තේ මන්ද? ඇරත්, යන්තර පාවිච්චි කරන අය ඒවා පාවිච්චි නොකරන අයට වඩා දීර්ඝ කාලයක්—නැතහොත් වඩාත් ප්‍රීතියෙන්—ජීවත් වන බවට යම් සැබෑ සාක්ෂියක් තිබේ ද? එවන් මායාකාරී ශාන්ති-කර්ම කරන අය ම රෝග හා මරණයට ගොදුරු වන්නේ නැද්ද?
සැබෑ ආරක්ෂාවක් හා සිය ජීවිත කෙරෙහි පාලනයක් ඇති බවට හැඟීමක් දෙනවා වෙනුවට, යන්තර හා ගුරුකම් භාවිතයේ මිථ්‍යා විශ්වාසය සැබවින් ම සිය ගැටලුවලට ඥානවන්ත ව මුහුණ දීමෙන් ජනයා ව අධෛර්යය කරන අතර, පූර්ණ පිළියමක් හැටියට වාසනාව කෙරෙහි බැලීමට ඔවුන් ව දිරිගන්වයි. යන්තරවල බලය කෙරෙහි විශ්වාසය තැබීම එය භාවිතා කරන්නාට ආරක්ෂාවේ බොරු හැඟීමක් ද ලබා දෙන්නට පුළුවන. මත්පැන්වල බලපෑමට යටත් ව සිටින කෙනෙක් තමාගේ ප්‍රතික්‍රියා කිරීමේ ශක්තිය හා හැකියාවන් දුර්වල වී නැතැයි කිව හැකි නමුත් ඔහු රථයක් පදවන්නට වෑයම් කළොත්, ඔහු බොහෝ දුරට තමාට ම නැතහොත් අන්‍යයන්ට හානි පමුණුවන්නට පුළුවන. යන්තරයක බලය කෙරෙහි සිය විශ්වාසය තබන කෙනෙක් මීට සමාන ව තමාට ම හානි පමුණුවා ගන්නට පුළුවන. ආරක්ෂා කරනු ලබන්නේ ය යන රැවටිලිකාර හැඟීමෙන් සිටින ඔහු, මෝඩ ලෙස අවදානම් සහිත ව ක්‍රියා කිරීමට නැතහොත් අඥාන තීරණ ගැනීමට නැඹුරු වන්නට පුළුවන.
යන්තරවල බලය කෙරෙහි තබන විශ්වාසය එය භාවිතා කරන මිලියන සංඛ්‍යාවකගෙන් සැඟවුණු තවත් මහත් අවදානම් ද ඉදිරිපත් කරයි. මෙම අන්තරායන් මොනවා ද, එමෙන් ම හානි වළක්වා ගැනීමට උචිත යම් ක්‍රමයක් තිබේ ද? මීළඟ ලිපිය මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත.
[පාදසටහන්වල]
a වෙබ්ස්ටර්’ස් නයින්ත් න කොලීජියේට් ඩික්ෂනරි නම් ශබ්දකෝෂය “යන්තර” යන වදන අර්ථ දක්වන්නේ “බොහෝ විට මායාකාරී මන්තරයක් අන්තර්ගත (ආභරණයක් ලෙසින් පවත්නා) ගුරුකමක් නැතහොත්, (රෝග හෝ හූනියම් වැනි) අපලවලට එරෙහි ව එය පළඳින තැනැත්තා ව ආරක්ෂා කිරීමට හෝ ඔහුට උපකාර කිරීමට සලකුණක්” හැටියට ය.