ඔබගේ අසල් වැසියාට ප්‍රේම කළ යුත්තේ මන්ද?
සදාකාල ජීවනය රැඳී ඇත්තේ දෙවියන් වහන්සේට හා අසල් වැසියාට ඇති අපගේ ප්‍රේමය මත ය. එම කරුණ ගෙනහැර දක්වනු ලැබුවේ දැනට වසර 2,000කට පමණ පෙර සිදු වූ සංවාදයක දී ය.
මෝසෙස්ගේ ව්‍යවස්ථාව මැනවින් දැන සිටි යුදෙව්වෙක් යේසුස් වහන්සේ අමතා: “සදාකාල ජීවනය උරුමකරගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය.” යේසුස් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේද”? ව්‍යවස්ථාව උපුටා දක්වමින්, එම මනුෂ්‍යයා මෙසේ කීවේ ය: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් [යෙහෝවඃ වහන්සේටත් NW] නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව.” මෙහිදී යේසුස් වහන්සේ කථාකොට: “නුඹ උත්තරදුන්නා හරිය. එසේ කරපන්න, එවිට නුඹ ජීවත්වන්නෙහිය [ජීවිතය ලබාගන්නෙහිය NW]” යයි වදාළ සේක.—ලූක් 10:25-28.
එවිට, යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න අසමින් සිටි තැනැත්තා ඇසුවේ: “මාගේ අසල්වාසියා කවුද” යනුවෙනි. කෙළින් ම උත්තර දෙනවා වෙනුවට, යේසුස් වහන්සේ මංකොල්ලයට අසුවී, බැට කා, අඩක් මළ තත්ත්වයක අත්හැර දමනු ලැබූ යුදෙව්වෙක් පිළිබඳ උපමා කථාවක් පැවසූ සේක. එම මාර්ගයේ යුදෙව්වන් දෙදෙනෙක්—පළමු ව පූජකයෙක් ද, අනතුරු ව ලෙවීවරයෙක් ද—පැමිණියහ. ඒ දෙදෙනා ම තමන්ගේ සහචර යුදෙව්වාගේ තත්ත්වය දුටුව ද, ඔහුට උපකාර කිරීමට කිසිවක් කළේ නැත. ඉන් පසු ව සමාරියයෙක් එතැනට පැමිණියේ ය. අනුකම්පාවෙන් පූර්ණ වූ හෙතෙම, තුවාළ ලත් යුදෙව්වාගේ තුවාළ බැඳ, ඔහු ව තානායමකට ගෙන ගිය අතර ඔහුගේ යථා කාලීන සැලකිල්ල සඳහා ද කටයුතු කළේ ය.
“ඉඳින් සොරුන් අතට අසුවූ තැනැත්තාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙක් කියා නුඹ සිතන්නෙහිද” යනුවෙන් යේසුස් වහන්සේ තමාගෙන් ප්‍රශ්න අසමින් සිටි තැනැත්තාගෙන් ඇසූ සේක. පැහැදිලි ව ම, ඔහු වනාහි දයාන්විත සමාරියයා ය. සැබෑ අසල්වැසි ප්‍රේමය වාර්ගික බාධා ඉක්මවා යන බව යේසුස් වහන්සේ මෙනයින් පෙන්වා දුන් සේක.—ලූක් 10:29-37.
අසල්වැසි ප්‍රේමයේ ඌනතාවක්
අද දවසේ විවිධ ජාතීන්ට අයත් ජනයා අතර වර්ධනය වන්නා වූ සතුරුකමක් දක්නට ලැබේ. උදාහරණයක් හැටියට, ජර්මනියේ නව-නාට්සිවාදීහු මෑතක දී මනුෂ්‍යයෙක් ව බිම දමා, ඔහුගේ ඉළ ඇට සියල්ල ම වාගේ කැඩෙන ලෙස, ඔහු ව තමන්ගේ බරැති පාවහන්වලින් පාගා දැමූහ. ඉන් පසු ඔවුහු සැර මද්‍යපානයක් ඔහු මත වත්කර ඔහුට ගිනි තැබූහ. මෙසේ මරණයට පත් කරන ලද තැනැත්තාට පහර දෙනු ලැබුවේ, ඔහු යුදෙව්වෙක් යයි කල්පනා කරනු ලැබූ නිසා ය. මීට සම්බන්ධ නොවූ තවත් සිද්ධියක දී, හැම්බර්ග් අසල නිවසක විසූ තුර්කි ජාතිකයින් තිදෙනෙක් ව මරණයට පත් කරමින් එම නිවසට ගිනි බෝම්බ එල්ල කරනු ලැබී ය. මෙම තිදෙනා අතර අවුරුදු දහයක් වයසැති දැරියක් ද සිටියා ය.
බෝල්කන් ප්‍රදේශයේත්, ඉන් ඔබ්බට පෙරදිගෙහිත් වාර්ගික යුද්ධ දහස් සංඛ්‍යාත ජීවිත බිලි ගන්නට විය. විවිධාකාර පසුබිම්වලට අයත් ජනයා අතර ඇති වූ ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයේ, ඉන්දියාවේ හා පකිස්තානයේ තවත් අය මිය ගියහ. එමෙන් ම අප්‍රිකාවේ, ගෝත්‍ර අතරත් ජාතීන් අතරත් ඇති වූ ගැටුම් නිසා තවත් අයගේ ජීවිත අහිමි විය.
ජනයාගෙන් වැඩි පිරිසක් මෙවන් සැහැසියාවන්ගෙන් සිත් කැළඹී සිටින අතර, තමන්ගේ අසල් වැසියාට හානි පමුණුවන කිසිවක් කිසි විටෙකත් නොකරනු ඇත. ඇත්ත වශයෙන් ම, ජර්මනියේ පවත්වන ලද විශාල පෙළපාලි එහි පවතින ජාතිවාදී සැහැසියාවන් දෝෂාරෝපණයට ලක් කර ඇත. එහෙත්, “ලෝකයේ සෑම සංස්කෘතියකට ම වාගේ අයත් සාමාජිකයින් සිතන්නේ තමුන්ගේ ජීවන රටාව තමුන් සමඟ ඥාති සබඳතා ඇති සමීප අසල් වැසියන්ගේ ජීවන රටාවට පවා වඩාත් උසස් බව ය,” කියා ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා පවසයි. මෙවන් දෘෂ්ටීන් අසල්වැසි ප්‍රේමයට බාධා පමුණුවයි. දෙවියන් වහන්සේටත් අසල් වැසියාටත් ඇති ප්‍රේමය මත ජීවිතය රැඳී පවතින බව යේසුස් වහන්සේ විශේෂයෙන් ම වදාළ බැවින්, මේ පිළිබඳ ව යමක් කළ හැකි ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover: Jules Pelcog/Die Heilige Schrift
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Good Samaritan/The Doré Bible Illustrations/Dorer Publications, Inc.