පාඨකයන්ගෙන් ප්‍රශ්න
“නොඇදහිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා” යයි බයිබලය අපට පවසන බැවින්, ක්‍රිස්තියානියෙක් නොඇදහිලිකාරයෙක් සමඟ ව්‍යාපාරික වශයෙන් සම්බන්ධ වීම යෝග්‍ය වනු ඇත් ද?
අපට එම උපදේශය, 2 කොරින්ති 6:14-16 හි සොයාගත හැකි වේ: “නොඇදහිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් [නොපනත්කමෙත් NW] ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? බෙලියෙල් සමග ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙක් සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද? දේවතා රූප සමග දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද?”
ප්‍රේරිත පාවුල් මෙම උපදේශය ඉදිරිපත් කළේ, ක්‍රිස්තියානියෙක් නොඇදහිලිකාරයෙක් සමඟ ව්‍යාපාර කටයුත්තක හවුල්වීමට එරෙහි වීම වැනි, නිශ්චිත තහංචි පැනවීමේ අදහසින් යයි විශ්වාස කරන්නට හේතු නොමැත. එහෙත්, ඔහුගේ උපදේශය එයට මෙන් ම ජීවිතයේ වෙනත් ක්‍රියාකාරකම් හා අදාළ ව පවතී.
පාවුල් එම උපදේශය ලිව්වේ පුරාතන කොරින්තියේ විසූ සිය ක්‍රිස්තියානි සහෝදරයින්ට ය. විශේෂයෙන් දූෂ්‍ය ව තිබූ නුවරක වාසය කරමින් සිටිය දී, ඔවුනට දෛනික ව සදාචාරමය හා ආත්මික අන්තරාවන්ට විරුද්ධ ව සටන් කරන්නට සිදු විය. ඔවුන් ප්‍රවේසම් නොවුවහොත්, අහිතකර බලපෑම්වලට නිරාවරණය ව සිටීම නිසා, “තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද” සකසන විශිෂ්ට ජන පිරිසක් වීමට ඇති ඔවුන්ගේ අධිෂ්ඨානය ක්‍රමයෙන් දුර්වල වනු ඇත.—1 පේතෘස් 2:9.
දෙවන කොරින්ති 6:14-16 හි සඳහන් දෙය ලියන්නට කලින්, සිය කොරින්ති සහෝදරයින් අතර තිබූ බරපතළ ගැටලුවක් සමඟ පාවුල් කටයුතු කර තිබුණි. අශික්ෂිත ආකාරයේ වේශ්‍යාකමක් තමන් අතර තිබීමට ඔවුන් ඉඩ දී තිබුණ බැවින්, එම පසුතැවිලි නොවන පව්කාරයා ව නෙරපා දමන්නට නැතහොත් සභා ඇසුරෙන් ඉවත් කරන්නට පාවුල් ඔවුන්ට නියම කර තිබුණි. (1 කොරින්ති 5:1) නපුරු සමාගම හෝ ලෝකයේ සදාචාර වාතාවරණයේ අපරීක්ෂාකාරී ලෙස නියැලී සිටීම ක්‍රිස්තියානින්ට බලපෑ හැකි බව එම මනුෂ්‍යයාගේ වැරදි කිරීම මගින් ප්‍රත්‍යක්ෂ විය.
කොරින්තියේ සිටි ක්‍රිස්තියානින් නෙරපන ලද මනුෂ්‍යයා ව ඇසුරු කිරීමෙන් වැළකී සිටිය යුතු ව තිබුණත්, නොඅදහන්නන් සමඟ ඔවුන් සහමුලින් ම වෙන් ව සිටිය යුතු බව එය අදහස් කළා ද? මළ මුහුද අසල කුම්රාන් වෙතට ඉවත් ව ගිය යුදෙව්වන් මෙන්, තපස් රකින නිකායක් හැටියට ඔවුන් ක්‍රිස්තියානි නොවන්නන් සමඟ මුළුමනින් ම පාහේ සියලු ම සම්බන්ධකම් නැතහොත් ගනුදෙනුවලින් වැළකී සිටිය යුතු වී ද? පාවුල්ට ම පිළිතුරු දෙන්නට ඉඩ දෙමු: “වේශ්‍යාකම්කරන්නන් සමග සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලියුවෙමි; නුමුත් මේ ලෝකයෙහි වේශ්‍යාකම්කරන්නන් . . . සමග කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය; එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය.”—1 කොරින්ති 5:9, 10.
එම වදන්වල අඟවන දෙය පැහැදිලි ය. ක්‍රිස්තියානින් තවමත් මෙම පෘථිවියේ ජීවත් ව සිටින බවත්, පහත් සදාචාරයන් හා වෙනස් ප්‍රමිතීන් දරන නොඇදහිලිකාරයින් අතර වාසය කරමින්, දෛනික ව ඔවුන් සමඟ කටයුතු කළ යුතු බවත් පාවුල් තේරුම් ගෙන සිටියේ ය. මෙය වැළැක්විය නොහැකි යමක් වූ නිසා, එවන් සම්බන්ධතාවයන්හි අන්තරාය පිළිබඳ ව ක්‍රිස්තියානින් සාවධාන ව සිටිය යුතු විය.
දැන් අපි කොරින්තිවරුන්ට ලියූ පාවුල්ගේ දෙවන ලිපිය සලකා බලමු. ආලේප ලත් ක්‍රිස්තියානින් දෙවියන් වහන්සේගේ සේවකයින් හැටියට සුදුසුකම් ලබා සිටින බවත්, ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියෝ වශයෙන් කටයුතු කරන බවත් ඔහු ගෙනහැර දැක්වී ය. තම දේව සේවය අපකීර්තියට පත් කළ හැකි පැකිළීම සඳහා ඇති ඕනෑ ම හේතුවකට එරෙහි ව ආරක්ෂා වන්නැයි ඔහු ඔවුනට පැවසී ය. (2 කොරින්ති 4:1–6:3) තමන්ගේ ආත්මික දරුවන් මෙන් සිටි, සිය කොරින්ති සහෝදරයින්ගෙන් පාවුල් උදක් ම ඉල්ලා සිටියේ තමන්ගේ ස්නේහය පුළුල් කර ගන්නා ලෙසට ය. (2 කොරින්ති 6:13) ඉන් පසු ව ඔහු “නොඇදහිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා” යයි උදක් ම ඉල්ලා සිටියේ ය. එම කාරණය අවධාරණය කිරීමට ඔහු එකිනෙකට වෙනස් අරුත් දෙන වාග්ලංකාර මාලාවක් භාවිතා කළේ ය.
පාවුල් මෙහි දී ව්‍යාපාර හෝ රැකියාව වැනි ජීවිතයේ නිශ්චිත ක්ෂේත්‍රයක් වෙත යොමු දක්වමින්, ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු යම් විධිමත් නීතියක් පිහිටුවමින් නොසිටි බව පද සම්බන්ධය පෙන්වයි. ඒ වෙනුවට තමා අතිශයින් ප්‍රේම කළ සහෝදරයින්ට පුළුල්, ස්ථිරසාර, උපකාරවත් උපදෙස් සපයමින් සිටියේ ය.
උදාහරණයක් හැටියට, විවාහ වීමට උනන්දු වූ ක්‍රිස්තියානියෙකුට මෙම උපදෙස් අදාළ වනු ඇද්ද? ඇත්තෙන් ම එසේ ය. ඔහුගේ පළමු ලිපියේ, “ස්වාමීන්වහන්සේ තුළ පමණක්” විවාහ වන ලෙස, එම ප්‍රේරිතවරයා විවාහ වීමට කැමති වූ කොරින්තිවරුන්ට උපදෙස් දුන්නේ ය. (1 කොරින්ති 7:39) මෙම වදන්වල අන්තර්ගත ව තිබූ ප්‍රඥාව ඔහු අවධාරණය කළේ, 2 කොරින්ති 6:14-18 හි දක්වා ඇති පරිදි පසු ව ලිවූ දෙය මගිනි. ක්‍රිස්තියානියෙක් යෙහෝවඃ වහන්සේගේ සේවකයෙක් නොවූ, ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් නොවන යමෙක් සමඟ විවාහ වීමට කල්පනා කරන්නේ නම්, ඔහු හෝ ඇය නොඇදහිලිකාරයෙක් සමඟ සම්බන්ධ වීමට සලකා බලමින් සිටිනු ඇත. (සසඳන්න ලෙවී කථාව 19:19; ද්විතීය කථාව 22:10.) මූලික වශයෙන් ම දැකිය හැකි නොගැළපෙන ස්වභාවය ආත්මික ගැටලු ඇතුළු ව අනෙකුත් ගැටලුවලට මං විවෘත කරනු ඇති බවට පැහැදිලි ය. උදාහරණයක් හැටියට, එම නොඇදහිලිකාරයා ඒ අවස්ථාවේ දී ම, නැතහොත් අනාගතයේ දී මිථ්‍යා දෙවියෙකු නමස්කාර කරන කෙනෙක් වන්නට පුළුවන. “බෙලියෙල් සමග ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද?” යනුවෙන් පාවුල් තර්ක කළේ ය.
එහෙත්, ජීවිතයේ වෙනස් පාර්ශ්වයක්—එනම් නොඇදහිලිකාරයෙක් සමඟ ව්‍යාපාර කටයුත්තක් කිරීම—ගැන කුමක් කිව හැකි ද? ඇතැම් අවස්ථාවන්හි ජීවනෝපායක් සකසා ගැනීම හා තමාගේ පවුල රැකබලා ගැනීම සඳහා සහකාර ක්‍රිස්තියානියෙක් නොවන යමෙක් සමඟ ව්‍යාපාර සම්බන්ධකමක් තබා ගත යුතු යයි ක්‍රිස්තියානියෙකුට හැඟෙන්නට පුළුවන. (1 තිමෝති 5:8) උදාහරණ හැටියට පමණක් ගත හැකි තත්ත්වයන් සලකා බලන්න:
ක්‍රිස්තියානියෙකුට යම් ආකාරයක වෙළෙඳ භාණ්ඩයක් විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට උවමනා වෙතත්, එය කළ හැකි එක ම ක්‍රමය වන්නේ අවශ්‍ය කරවන භාණ්ඩය නැතහොත් අරමුදල් ඇති කෙනෙක් සමඟ හවුල් ව්‍යාපාරයක් පිළිගැනීම විය හැකි ය. වෙනත් ක්‍රිස්තියානියෙකුට ගොවිතැනක් (නැතහොත් යම් ආකාරයක සත්ත්ව පාලනයක්) කිරීමට කැමැත්තක් ඇත; එහෙත්, ඉඩමක් නොමැතිකම නිසා, ලැබෙන ලාභයෙන් පංගුවක් දෙන පදනම මත ඔහුට ඉඩමක් ලබා දෙන්නට කැමති යමෙක් සමඟ හවුල් වන්නට සිදු විය හැකි ය. ඇතැම්විට තවත් ක්‍රිස්තියානියෙකුට ජල නල සවි කිරීමේ ව්‍යාපාරයට ඇතුළත් වන්නට උවමනා වෙතත් කායිසර් ඒ වෙනුවෙන් බලපත්‍ර සීමිත ප්‍රමාණයක් නිකුත් කරන නිසාත්, ඒවා දැනටමත් ලබාගෙන ඇති නිසාත්, ඇති එක ම මඟ බලපත්‍රයක් ඇති නොඇදහිලිකාර ඥාතියෙක් සමඟ හවුල්වීම වන්නට පුළුවන.—මාර්ක් 12:17.
මේවා නිකම් ම උදාහරණ පමණකි. උද්ගත විය හැකි අවස්ථා සියල්ල ම කීමටවත්, අනුමැතියක් ඇති හෝ අනුමැතියක් නොමැති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමටවත් අප යත්න දරනවා නොවේ. එහෙත් මෙම උදාහරණයන් මනසේ තබාගෙන, 2 කොරින්ති 6:14-18 හි උපදෙස් නොසලකා හැරිය යුතු නොවන්නේ මන්දැයි ඔබට කල්පනා කළ නොහැකි ද?
නොඇදහිලිකාරයෙක් සමඟ ව්‍යාපාරයක නියැලෙන ක්‍රිස්තියානියෙක්, ඒ තැනැත්තා තමාගේ ඥාතියෙක් ව සිටියත් නැතත්, අනපේක්ෂිත ගැටලු හා පරීක්ෂාවන්ට මුහුණ දිය හැක. රජයේ නීත උල්ලංගනය කළත් සාධාරණ ලාභයක් උපයා ගැනීමට මඟ පෙන්වන ආදායම් අඩුවෙන් වාර්තා කිරීම නැතහොත් සේවකයින් සහ ඔවුන්ගේ ඉපයීම් සඳහන් නොකොට සිටීමට හවුල්කරුවා නිගමනය කළ හැකි ය. භාණ්ඩ සපයන අය නිල ඉන්වොයිසියේ සඳහන් නොකර රහසේ සපයන භාණ්ඩ වෙනුවෙන් වංචා සහගත ලෙස ගෙවීම් කරන්නට ඔහු කැමති වන්නට පුළුවන. එහි හෝ එවන් වංක ක්‍රියාවක ක්‍රිස්තියානියෙකුට හවුල් විය හැකි ද? එමෙන් ම තමන් ව්‍යාපාරය කරන ආකාරය පිළිබඳ බදු ලියවිලි හෝ වෙනත් නීතික ලියවිලිවලට ඔවුන් දෙදෙනා ම අත්සන් කළ යුතු අවස්ථා එළඹෙන විට, ක්‍රිස්තියානියෙක් කරන්නට යන්නේ කුමක් ද?—නික්මයාම 23:1; රෝම 13:1, 7.
එසේත් නැතහොත් නොඇදහිලිකාර ව්‍යාපාරික හවුල්කරුවා මිථ්‍යා නිවාඩු උත්සව හා සම්බන්ධ භාණ්ඩ තොග කර තබන්නට, එම උත්සවයන් සම්බන්ධ ආසිරිපත් සමාගමේ නාමයෙන් යවන්නට හා ව්‍යාපාර ආයතනය ආගමික උත්සව වෙනුවෙන් සරසන්නට කැමති වන්නට පුළුවන. “දේවතා රූප සමග දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාව” යයි පාවුල් පැවසුවේ ය. “එබැවින්—නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටපල්ලා, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටපල්ලා” යයි යෙහෝවඃ වහන්සේ කියන සේක. ‘එවිට මම නුඹලා පිළිගන්නෙමි’ යන ප්‍රකාශය කොතරම් උචිත ද! (2 කොරින්ති 6:16, 17) එම උපදේශය අදාළ කර ගන්නා බොහෝ ක්‍රිස්තියානිහු, තමන්ට හැකි තරම් අඩු ගැටලු ප්‍රමාණයක් ඉදිරිපත් වන්නා වූ බාහිර රැකියාවන් තෝරාගෙන ඇත්තාහ.—හෙබ්‍රෙව් 13:5, 6, 18.
සේවකයින් හෝ ව්‍යාපාර හිමියන් හැටියට, තමන්ගේ ලෞකික රැකියාවේ දී ක්‍රිස්තියානින් කරන සියලු දෑ බලා ගන්නට හෝ පරීක්ෂා කරන්නට සභාවට උපදෙස් දී නොමැත. ඇත්ත වශයෙන් ම, ක්‍රිස්තියානියෙක් බොරු නමස්කාරයට රුකුල් දෙනවා හෝ යම් ආකාරයක බොරු හෝ සොරකම් කිරීම වැනි වැරදි සහගත ක්‍රියාවකට රුකුල් දෙනවා යයි දැනගන්නට ලැබුණේ නම්, යෙහෝවඃ වහන්සේගේ ප්‍රමිති රැක ගැනීම පිණිස සභාවට පියවර ගන්නට සිදු විය හැක.
කෙසේ වෙතත්, මෙහිලා මූලික කරුණ වනුයේ, “නොඇදහිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා” යන පාවුල්ගේ දේවානුභාවය ලත් උපදේශයට අවනත වීම ගැටලු වළක්වා ගැනීමටත්, අවශ්‍ය කරවන විනිශ්චයක ක්‍රියාවන් වැඩිමහල්ලන් විසින් ගනු ලැබීම වැළැක්වීමටත් ක්‍රිස්තියානින්ට උපකාරවත් විය හැකි බව ය. ඥානවන්ත ක්‍රිස්තියානින් එම උපදේශය හෘදයට ගෙන, බයිබල් ප්‍රමිති පාවා දීමට අනවශ්‍ය පීඩන උද්ගත විය හැකි තත්ත්වයන් තුළට ඇතුල් නොවීමට වග බලා ගනු ඇත. තමා නොඇදහිලිකාරයෙක් සමඟ ව්‍යාපාරයක නියැලිය යුතු යයි යමෙකුට හැඟේ නම්, ඔහු තෝරා ගත් දෙයෙහි වගකීම තමා දැරිය යුතු බව තේරුම් ගෙන ඔහු ව විනිශ්චය කරන්නට හෝ විවේචනය කරන්නට අන්‍යයන් ඉක්මන් නොවිය යුතු ය. මූලික ව, නොඇදහිලිකාරයෙක් සමඟ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට එරෙහි ව විධිමත්, බල කළ හැකි නීතියක් පාවුල් පනවමින් සිටියේ නැත. එහෙත් ඔහුගේ උපදේශය නොසලකා හැරිය යුතු නොවේ. දෙවියන් වහන්සේ දේවානුභාවයෙන් එම උපදේශය ලබා දුන් අතර අපගේ ප්‍රයෝජනය පිණිස එය බයිබලයේ වාර්තා වන්නට සැලැස් වූ සේක. එයට අවනත වන්නේ නම් අප ඥානවන්ත වනු ඇත.