ඔබ කවදා හෝ ලැව් ගින්නක් ඇති කර තිබෙනවා ද?
ඇත්තෙන් ම නැහැ, කියා ඔබ කියන්නට පුළුවන. නමුත් පොඩ්ඩක් නවතින්න! ඇතැම් විට ඔබ එසේ කර තිබෙනවා විය හැක. ශ්‍රාවක යාකොබ්ගේ වදන්වලට සවන් දෙන්න: “දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද!”—යාකොබ් 3:5.
කථා කරන විට දිව වැදගත් ඉන්ද්‍රියයක් වුවත්, එය කොතරම් වැරදි ලෙස පාවිච්චි කර තිබෙනවා ද! බොරු හා අපවාද කීමට ජනයා දිව පාවිච්චි කරති. එය පාවිච්චි කරමින් ඔවුහු පරුෂ ලෙස අන්‍යයන් ව විවේචනය කරති, ඔවුන්ගේ කීර්තිය විනාශ කරමින් ඔවුන් ව රවටති. භේද පතුරුවන්නෝ විප්ලව හටගැන්වීම පිණිස දිව පාවිච්චි කරති. යුද්ධයක් සඳහා—සැබවින් ම ‘ලැව් ගින්නක්’ සඳහා—ජාතියක් එක්රොක් කිරීමට ඇඩොල්ෆ් හිට්ලර් ඔහුගේ දිව උපයෝගි කර ගත්තේ ය!
යහපත් චේතනා ඇති අයට පවා කුඩා ‘ලැව් ගිනි’ ඇති කරන්නට පුළුවන. ඔබ යමක් පැවසූ විගස එය නොකිව්වා නම් වඩා හොඳ යයි ඔබ කල්පනා කර තිබෙනවා ද? එසේ නම්, “දිව දමනයකරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන” යයි යාකොබ් පැවසූ විට, ඔහු අදහස් කළ දෙය ඔබ වටහා ගන්නවා නිසැකයි.—යාකොබ් 3:8.
කෙසේ වෙතත්, අපගේ දිව යහපත සඳහා පාවිච්චි කිරීමට අපට වෑයම් කරන්නට පුළුවන. ගීතිකාකරු මෙන්, අපට ස්ථිර ව මෙසේ කිව හැකි ය: “මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමි.” (ගීතාවලිය 39:1) සැර පරුෂ ලෙස අන්‍යයන් ව විවේචනය කරනු වෙනුවට, ඔවුන් ව නගා සිටුවන්නට වෑයම් කරන්නට අපට හැකි ය. මිනිසුන් ගැන අපහාස කථා කියනු වෙනුවට ඔවුන් ගැන ප්‍රශංසා කරන්නට අපට පුළුවන. ප්රයෝගයන් හා වංචාවන් කරනු වෙනුවට අපට සත්‍යය කථා කර උපදෙස් දෙන්නට පුළුවන. යහපත් හෘදයකින් පෙලඹීම් ලබන විට, දිවට සුවය ගෙනදෙන පුදුමාකාර වදන් කථා කරන්නට පුළුවන. ගැලවීම ගැන මනුෂ්‍ය වර්ගයාට උගන්වන්නට ආශ්චර්යවත් ආකාරයට යේසුන් වහන්සේ සිය දිව පාවිච්චි කළ සේක.
සැබවින් ම, “මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ.” (හිතෝපදේශ 18:21) ඔබගේ දිව මාරාන්තික ද නැතහොත් ජීවන දායක ද? එය ‘ලැව් ගිනි’ ඇති කරන්නේ ද නැතහොත් ඒවා නිවා දමන්නේ ද? ගීතිකාකරු දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළේ ය: “ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨකම වන බැවින් මාගේ දිව ඔබගේ වචනය ගැන ගී කියාවා.” (ගීතාවලිය 119:172) අපත් ගීතිකාකරුගේ ආකල්පය වර්ධනය කර ගතහොත්, අප ද අපගේ දිව යහපත සඳහා පාවිච්චි කරනවා ඇත.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. Forest Service photo