රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
බයිබල් සත්‍යයන් පවුලක් එක්සත් කරයි
අදදින, ලෝකයේ බොහෝ කොටස්වල, පවුලේ එක්සත්කම අතීතයේ යමක් බවට පත්වී ඇත. කෙසේවෙතත්, බයිබලය පවුලේ එක්සත්කමේ රහස එළිදරව් කරයි. යේසුස්වහන්සේගේ මෙම වදන් සලකා බලන්න: “එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.” (මතෙව් 7:24) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර දහස් සංඛ්‍යාත පවුල් මෙම වදන් අදාළ කර ගැනීමෙන්ද, කිට්ටුවෙන් බැඳුණු පවුලක් ගොඩනගා ගැනීමට පදනමක් හැටියට බයිබලය යොදා ගැනීමෙන්ද එක්සත්කම අත්කරගෙන ඇත්තාහ. මතු සඳහන් අද්දැකීම පෙන්වන ආකාරයට වෙනත් අයද එවන් එක්සත්කමක් අත්කර ගනිමින් සිටිත්.
ඩැනියල් ප්‍රංශ හමුදාවේ සේවය කරමින් සිටියදී, බයිබලයක් මිලදී ගන්නා හැටියට හමුදා දේවගැති ඩැනියල්ට යෝජනාවක් කළ අතර, ඔහු එසේ කර, නිතිපතා එය කියවන්නට පටන් ගත්තේය. අන්තිමේදී ඔහුව ටාහිටි වෙත ස්ථාන මාරු කරනු ලැබීය. ඩැනියල් සමඟ සිටි සෙසු හමුදා භටයන්ගෙන් සමහරෙක් ඇඩ්වෙන්ටිස්ට් භක්තියට අයත් වූ අතර අන්‍යයන් මොර්මන්වරුන් වූහ. ඔවුන්ගේ සාකච්ඡාවන් බොහෝවිට ආගම පිළබඳ විෂය කරා යොමු විය. දිනක් ප්‍රධාන සාජන්ට් කෙනෙක් ඩැනියල්ව, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක්ව සිටි සිය බිරිඳට හඳුන්වා දුන්නේය. ඩැනියල් විසින් අසන ලද බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මුළු දහවල් කාලයම ගත කළ අතර ඔහුව ටාහිටිහි පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවකට යොමු කළාය. වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු නිතිපතා බයිබල් පාඩමක් පටන්ගත්තේය.
ප්‍රංශයේ සිටි ඩැනියල්ගේ දෙමව්පියෝ ඉතා භක්තිමත් කතෝලිකයන් වූහ. ඔහුගේ පියා පාසල් උපදේශකවරයෙක් වූ අතර කතෝලික පාසලක ආගමික උපදෙස් දීම භාරවද කටයුතු කළේය. තමා ඉගෙන ගනිමින් සිටි ආත්මික මුතුවලින් සමහරක් සිය දෙමව්පියන් සමඟ බෙදා ගැනීමට ආශාවෙන්, ඩැනියල් ඔවුන්ට ලියන සිය ලිපිවල ක්‍රමයෙන් බයිබල් සිතුවිලි බිඳක් ඇතුළත් කරන්නට පටන් ගත්තේය.
මුලදී ඩැනියල්ගේ මව අතිශයින් ප්‍රීතියට පත්වුවත්, අනතුරුව සිය පුත්‍රයාගේ ලිපිවලින් එකක යෙහෝවඃ යන නාමය දුටු විට ඇය කම්පනයට පත් වූවාය. ඉන් දින ස්වල්පයකට පසු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව “භයානක නිකායක්” හැටියට ඉදිරිපත් කළ ගුවන්විදුලි වැඩසටහනකට ඇය සවන් දුන්නාය. සාක්ෂිකරුවන් සමඟ ඇති සියලුම සම්බන්ධකම් වහාම අත්හරින හැටියට ඉල්ලමින් ඇය ඩැනියල්ට ලිපියක් ලිව්වාය. කෙසේවෙතත්, ඩැනියල් සිය බයිබල් පාඩම්වල දිගටම ප්‍රගතියක් ලැබූ අතර හමුදාවෙන් ඉවත්වී ප්‍රංශයට ආපසු යාමට ඉක්මනින්ම කටයුතු කළේය.
යළි නිවසට පැමිණීමෙන් පසු, ඩැනියල් සෑම සන්ධ්‍යාවකම—ඇතැම් විට බොහෝ රෑ වනතෙක්—සිය මව සමඟ දීර්ඝ බයිබල් සාකච්ඡාවන් පැවැත්වීය. අවසානයේ ඩැනියල් සමඟ රාජ්‍යය ශාලාවකට යෑමට ඇය එකඟ වුණාය. ඇය තමාගේ මුල් රැස්වීමට සහභාගි වූ විට, ඇය කොතරම් පොලඹවනු ලැබුවේදයත් ඇය නිතිපතා බයිබල් පාඩමක් ලබාගැනීමට සැලසුම් කළාය. ඇය වේගවත් ප්‍රගතියක් ලැබූ අතර ඉක්මනින්ම බව්තීස්ම කරනු ලැබුවාය.
ඩැනියල්ගේ පියා ඉතා ඉවසිලිවන්ත තැනැත්තෙක් වුවත්, සිය වෘත්තියට හා ආගමික කටයුතුවලට අතිශයින් කැප වී සිටියේය. කෙසේවෙතත්, එක් අවස්ථාවක ඔහු සිය භාර්යාව හා ඩැනියල්ව දිස්ත්‍රික් සමුළුවකට රථයෙන් රැගෙන ගියේය. එය ජූලි 14වන දිනය වූ අතර, ඔහුගේ මනසේ තිබුණේ බැස්ටීල් දිනය නිමිත්තෙන් නගරයේ පැවැත්වෙන පෙරහැර නැරඹීමටයි. එය එනතෙක් බලා සිටින අතර, සමුළු ශාලාව තුළ සිදුවන දෙය නැරඹීමට ඔහු තුළ කුතුහලයක් ඇති විය. ඔහු යෙහෝවඃවහන්සේගේ ජනයා අතර දුටු විනය හා සාමය ඔහුගේ සිත්ගත් අතර, ඔහු සමුළුවේ විවිධ අංශ තුළින් ගමන් කරත්ම සියල්ලෝම ඔහුට “සහෝදරයා” යයි අමතන්නටද පටන් ගත්හ. ඔහුට බැස්ටීල් දිනයේ පෙරහැර සහමුලින්ම අමතක වී සමුළුවේ අවසානය දක්වා එහි රැඳී සිටියේය. පසුව ඔහු බයිබල් පාඩමක් ඉල්ලා සිටි අතර සත්‍යය ඉගෙන ගැනීමෙන් වේගවත් ප්‍රගතියක් ලැබීය. කෙසේවෙතත්, ඔහු වැඩි වැඩියෙන් ඉගෙන ගනිත්ම ඔහුට සිය රැකියාව පිළිබඳව අසහනයක් දැනුණ බැවින්, වයස අවුරුදු 58දී, ඔහු සිය වෘත්තිය අත්හැරියේය. දැන් පවුලේ තිදෙනාම කැපවී බව්තීස්මය ලබා සිටින අතර එක්සත්ව යෙහෝවඃවහන්සේට සේවය කරමින් සිටිති.
ඩැනියල්ගේ පවුල එක්සත් කළේ බයිබල් සත්‍යයයි. පූර්ණ හෘදයෙන් ඉගෙන එය අදාළ කර ගන්නේ නම්, එයට වෙනත් පවුල්ද එක්සත් කළ හැකිය.