යෙහෝවඃවහන්සේගේ සේවය තුළ මහඟු විපාකදායී ජීවිතයක්
ලේයෝ කල්යෝ පැවසූ පරිදි
ඒ 1914 වසරයි, ෆින්ලන්තයේ නගරයක්වූ ටර්කු නම් උප නගරයෙහි වසන්තයේ ලස්සන දවසක් නිමා වෙමින් තිබුණා. හදිසියෙන්ම, ඇරඹුණු මහත් යුද්ධය පිළිබඳ පුවත්වලින් ශාන්තභාවය බිඳී යන්නට වුණා. වැඩිකල් යන්නට මත්තෙන්, සිද්ධීන්හි අර්ථය ගැන කල්පනා කරන අයගෙන් වීථි පිරී ගියා. වැඩිහිටියන්ගේ ශෝකභරිත මුහුණු දුටු කුඩා අපි කල්පනා කළේ කුමක් වෙන්ට යනවාද කියායි. මට එවිට වයස අවුරුදු නවයයි, ළමුන්ගේ සාමකාමී සෙල්ලම්, යුද්ධ කිරීම අශ්‍රිත සෙල්ලම් බවට වෙනස් වෙනවා මට මතකයි.
ෆින්ලන්තය පළමු ලෝක යුද්ධයෙන් (1914-1918) ඉවත් වී සිටියත්, 1918 සිවිල් යුද්ධය මගින් රට විනාශ වී ගියා. වෙනස් දේශපාලන දෘෂ්ටීන් නිසා නෑදෑයන් සහ පැරණි මිතුරන් එකිනෙකාට විරුද්ධව අවි අතට ගත්තා. හත්දෙනෙකුගෙන් සමන්විතවූ අපගේ පවුල මෙම වෛරය අද්දුටුවා. තම අදහස් නොවළහා එක එල්ලේ පළ කරනසුලු කෙනෙකුවූ මගේ පියා අත්අඩංගුවට ගනු ලැබ, වසර හතක සිරදඬුවමකට යටත් කරනු ලැබුවා. පසුව ඔහු චෝදනාවලින් නිදහස් වුවත්, එවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබුණා.
අපගේ පවුලේ අය මෙම දරුණු කාල පරිච්ඡේදයේදී කුසගින්නෙන් හා අසනීපවලින් දුක්වින්දා. මගේ නංගිලා තුන්දෙනෙක් මියගියා. ටැම්පරේ නගරයේ ජීවත්වූ මගේ මහප්පා, අපගේ දුක්දායක තත්ත්වය ගැන අසා, ඔහු සමඟ වාසය කිරීම සඳහා මගේ පියාටත් මවටත් ඉතිරි දරුවන් දෙදෙනා වූ අපටත් ආරාධනා කළා.
වසර කිහිපයකට පසු, ටැම්පරේ නගරයේ තවමත් ජීවත් වෙමින් සිටියදී ආකර්ෂණීය ගැහැනු ළමයෙකු වූ සිල්විව මට මුණගැසුණා. ඈටත් තිබුණේ මට සමාන පසුබිමක්. ඇගේ පියා සිවිල් යුද්ධයේදී මරුට බිලිවී තිබුණු අතර, පසුව, පොරී නගරයේ විසූ ඇගේ පවුලේ කිට්ටු මිතුරෙකුවූ කාර්ලෝ (කාල්ලේ) වෙසාන්ටෝ ඈවත්, ඇගේ අක්කාවත් ඇගේ මව්වත් ඔහුගේ නිවෙසට කැඳවා ගත්තා. සිල්විගේ මව්ට රැකියාවක් ලබා ගැනීමටත්, ගැහැනු ළමුන් දෙදෙනාට පාසලට යාමටත් ඔහු කටයුතු සලසා දුන්නා. කල්යත්ම, සිල්වි ටැම්පරේ නගරයේ රැකියාවට ගිය අතර, අප දෙදෙනා හමුවූයේ එහිදීයි.
මගේ ජීවිතය වෙනස් කළ සවසක්
වර්ෂ 1928දී, සිල්වි හා මා විවාහ ගිවිස ගත් අතර, එක් දිනක්, අපි කාල්ලේ වෙසාන්ටෝ සහ ඔහුගේ පවුලේ අයව බැහැදැකීමට පොරී නගරය බලා ගමන් කළා. වෙන කිසිම සිද්ධියක් මගේ ජීවිතයට මෙතරම් තීරණාත්මක අන්දමින් බලපෑවේ නැහැ. කාල්ලේ පුහුණු කරන ලද අශ්වයන්ගේ අයිතිකරුවෙකු සහ රේස්කරුවෙකු වී සිටියද, එම ව්‍යාපාරය අත්හැර දමා තිබුණා. ඔහු සහ ඔහුගේ භාර්යාව දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචියෙහි ජ්වලිත ප්‍රචාරකයන් බවට පත්වී සිටියා. ඔහු “මිලියන්ස් නෞ ලිවිං විල් නෙවර් ඩයි [දැන් ජීවත් වී සිටින මිලියන ගණනක් කිසිදා මිය නොයනු ඇත]” යන වචන, තට්ටු දෙකකින් සමන්විත තම නිවසේ පිටත බිත්තියේ යමෙකු ලවා ඇඳ තිබූ ආකාරය 1990 යියර් බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස්හි පැවසේ. අසල වේගයෙන් පසුකර ගිය දුම්රියවල සිට පවා පහසුවෙන් කියවීමට හැකි තරම් ලොකු අකුරෙන් මෙම පදය ඇඳ තිබුණා.
එදා රාත්‍රියේ කාල්ලේ සහ මම හිමිදිරි පාන්දර වන තුරු කථා බහ කළා. “ඇයි? ඇයි? ඇයි?” යනුවෙන් මම ප්‍රශ්න කළා, කාල්ලේ පහදා දුන්නා. මම මුළු රැයක් පුරා මූලික බයිබල් සත්‍යයන් ඉගෙන ගත්තා. විවිධ ඉගැන්වීම් පහදා දුන් ශුද්ධ ලියවිලි පද මම ලියා ගත්තා. පසුව, මම නිවසට ගිය විට, සටහන් පොතක් ගෙන, සියලු ශුද්ධ ලියවිලි පද වචනයෙන් වචනය ලියා ගත්තා. මා තවමත් බයිබලය ගැන හුරුපුරුදුව නොසිටි නිසා, මා වැඩ කළ ඉදිකිරීමේ බිමේ සිටි අයට සාක්ෂි දැරීමට මා මේ සටහන් පොත යොදා ගත්තා. මා බොරු ආගමික ඉගැන්වීම් හෙළි කරනවාත් සමඟම, මට නිතරම කියැවුණේ කාල්ලේගේ මේ වචනයි: “ඔබ නම් ඇත්තටම රැවටිලා, යාලුවනේ!”
බයිබල් ශිෂ්‍යයන් 30දෙනෙක් පමණ තම රැස්වීම් පවත්වමින් තිබූ කුඩා නිවසක ලිපිනයක් කාල්ලේ මට දුන්නා. එහි මා එම කුඩා නිවසේ අයිතිකරුවූ සහෝදර ආන්ඩර්සෝන් අසල දොර ළඟ බිම ඇණ තබා වාඩි වී සිටිනවා. මා එහි ගියේ හුඟක් වෙලාවට කඩින් කඩ, නමුත් යාච්ඤාව උපකාරවත් වුණා. රැකියා කරන තැන දැඩි දුෂ්කරතා ඇතිවූ විට, මා එක් අවස්ථාවක මෙසේ යාච්ඤා කළා: “කරුණාකර දෙවියන්වහන්ස, මෙම දුෂ්කරතාවලින් ගොඩ ඒමට ඔබවහන්සේ මට උපකාර කළොත්, සෑම රැස්වීමකටම යාමට මම පොරොන්දු වෙනවා.” එහෙත් දේවල්හි තත්ත්වය වඩාත් දරුණු වුණා. එතකොට මට තේරුණා මා යෙහෝවඃවහන්සේට කොන්දේසි දමමින් සිටින බව, ඉතින් මම මගේ යාච්ඤාව මෙසේ වෙනස් කළා: “මොනවා සිද්ධ වුණත්, සෑම රැස්වීමකටම යාමට මම පොරොන්දු වෙනවා.” එවිට මගේ ගැටලු සහිත තත්ත්වයන් සමතයකට පත් වුණා, මම සෑම රැස්වීමකටම යාමට පටන් ගත්තා.—1 යොහන් 5:14.
මුල් වසරවල අපගේ දේව සේවය
වර්ෂ 1929දී, සිල්වි සහ මා විවාහ වුණු අතර, 1934දී අප දෙදෙනාම යෙහෝවඃවහන්සේට වූ අපගේ කැපවීම වතුර බව්තීස්මය මගින් සංකේතවත් කළා. ශබ්දවාහිනී යන්ත්‍රයක් සහ තැටි ජනයාගේ නිවෙස්වලට රැගෙන ගොස් අප විසින් නොමිලේ බයිබල් දේශනයක් පවත්වනවාට කැමතිදැයි කාරුණිකව ආරාධනා කිරීම ඒ දිනවල අපගේ දේව සේවයට ඇතුළත් වුණා. ජනයා බොහෝවිට අපව නිවෙස් තුළට ආරාධනා කළ අතර, පටිගත කළ කථාවට සවන්දුන්නායින් පසු, ඔවුන් අප සමඟ සංවාදයේ හවුල් වී අපගේ පොත් පත් සමහරක් ලබා ගත්තා.
බලධාරීන්ගේ අවසරය ඇතුව, අප උද්‍යානවලදී වර්ධකයන් (ඇම්ප්ලිෆයර) තුළින් එම බයිබල් දේශනම විකාශනය කළා. ඊට යාබදව අප ශබ්දවාහිනී නළා වහලයක හෝ චිමිනියක මුදුනේ සවි කොට ඊට සම්බන්ධ කරනවා. ඇතැම් අවස්ථාවලදී, නගරයේ මිනිසුන් පොදි ගණන් රැස්වෙන විල ඉදිරිපිට අපි ඒවා විකාශනය කළා. එම ඇම්ප්ලිෆයර බෝට්ටුවක දමාගෙන ඉවුර සමීපයට වන්නට එය සෙමින් පැදෙව්වා. ඉරිදා දිනවල, අප අති වටිනා ඇම්ප්ලිෆයර සහ පොත්පත් තොගයක් රැගෙන ඈත පිටිසර ප්‍රදේශවල දේශනා කිරීමට බසයෙන් ගමන් කළා.
අපගේ ඇදහිල්ල පරීක්ෂා කළ වෙනසක්
වර්ෂ 1938දී, මා පුරෝගාමියෙකු ලෙස පූර්ණ කාලීන සේවයට ඇතුළත් වුණා, නමුත් මම පෙදරේරුවෙකු වශයෙන්ද දිගටම වැඩ කළා. ඊළඟ වසන්ත සමයේදී මට සමිතියේ ශාඛා කාර්යාලයෙන් ආරාධනයක් ලැබුණා දැන් චාරිකා අවේක්ෂක ලෙස හැඳින්වෙන සංචාරක දේව සේවකයෙකු ලෙස වැඩ කිරීමට. මා අපගේ ටැම්පරේ සභාවේ ප්‍රීතියෙන් සේවය කරමින් සිටි නිසා මෙය භාරගැනීමට තීරණය කිරීම එතරම් පහසු දෙයක් වූයේ නැහැ. මීට අමතරව, අපට අයිති අපේම නිවස තිබුණා; වයස අවුරුදු හයක්වූ ආර්ටෝ නම් අපේ පුතා අපට සිටියා. ඔහු ඉතා ළඟදී පාසල් යාමට පටන් ගන්නවා; ඒ වගේම, සිල්වි සාප්පු සහායිකාවක් වශයෙන් ඇගේ රැකියාව සතුටින් කර ගෙන යමින් සිටියා. එහෙත්, එක්ව දේවල් සාකච්ඡා කිරීමෙන් පසුව, මා රාජ්‍යය සේවයේ මෙම වැඩිතර වරප්‍රසාදය භාරගත්තා.—මතෙව් 6:33.
තවත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ආරම්භ වුණා. වර්ෂ 1939 නොවැම්බර් 30දා යුද්ධය පුපුරා ගියේ සෝවියට් හමුදා ෆින්ලන්තය තුළට ගමන්කළ විටය. හිමකර යුද්ධ හැටියට හැඳුන්වූ මෙම යුද්ධය 1940 මාර්තු දක්වා පැවතුණා, ඒ වන විට ෆින්ලන්තය සාම ගිවිසුමක් සඳහා එකඟ වී තිබුණා. ස්වභාව ධර්මය පවා යුද්ධ කරන බවක් පෙනෙන්ට තිබුණා, මන්ද මට මතක හැටියට ඒ ඉතාමත් දැඩි සීතලයකින් යුත් සිසිර සමයයි. මා එක් සභාවක සිට අනෙක් සභාවට බයිසිකලයෙන් ගමන් කළා, එවිට උෂ්ණත්වමාපකයේ පාඨාංකය ෆැරන්හයිට් බිංදුවේ සිට අංශක 22කටත් වඩා අඩුවෙන් සටහන් වුණා.
වර්ෂ 1940දී ෆින්ලන්තයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරනු ලැබුවා. ඊටපසු, ෆින්ලන්ත ජාතික බොහෝ යෞවන සාක්ෂිකරුවන් සිරගත කරනු ලැබූ අතර, අමානුෂික තත්ත්වයන් යටතේ රැඳී සිටීමට බලකරනු ලැබුවා. වර්ෂ 1939 සිට 1945 දක්වා දෙවන ලෝක යුද සමය තුළ සභාවන්ට සේවය කිරීමට මට හැකිවීම ගැන ස්තුතිවන්ත වෙනවා. මා සිල්වි සහ ආර්ටෝගෙන් මාස ගණනකට ඈත්වී සිටීම මෙහිදී බොහෝවිට අවශ්‍ය වුණා. ඊටත් වඩා, නීති විරෝධි වැඩක් කර ගෙන යනවාය කියා අත්අඩංගුවට ගැනීමේ තර්ජනයකට නිතරම මුහුණ දෙන්නට සිදුවුණා.
සූට්කේසයක් පුරවාගෙන, පොත්පත් මල්ලකුත් ශබ්දවාහිනී සහ තැටිත් රැගෙන බරවී තිබුණු බයිසිකලයක් පැදගෙන මා යනවා දැකීම අමුතු දර්ශනයක් වූවා විය යුතුයි. මා ශබ්දවාහිනී තැටි රැගෙන යාමට එක් හේතුවක් වූයේ, යම් හෙයකින් අත්අඩංගුවට ගනු ලැබුවහොත්, මා රුසියානුවන් සඳහා ඔත්තු බලන පැරෂූට් භටයෙකු නොවන බව ඔප්පු කිරීමටයි. ඇරත්, මා පැරෂූට් භටයෙකු වී සිටියා නම්, මා බිමට පනින විට මෙම තැටි කැඩී ගොස් යනවා යයි කියා තර්ක කිරීමට මට පුළුවන්කම තිබුණා.
එහෙත්, අසල්වැසි ප්‍රදේශයේ ඔත්තුකරුවෙකු ගැන අනතුරු අඟවා තිබූ පෙදෙසකට මා ගිය විට, එක් සාක්ෂිකාර පවුලක් මා එවැන්නෙකු කියා වරදවා තේරුම් ගත්තා. මා අඳුරු සීතල රාත්‍රියක ඔවුන්ගේ දොරට තට්ටු කළා, දොර ඇරීමට ඔවුන් බොහෝ භයෙන් සිටියා. ඒ නිසා උණුසුම ලැබීම සඳහා මට එදා රාත්‍රියේ ගත කරන්නට සිදුවූයේ පිදුරු මඩුවක පිදුරු මැද. ඊළඟ උදෑසන ඔවුන් මා නිවැරදි ලෙස හඳුනාගත්තා, ඉන්පසු මා ඔවුන් සමඟ ගතකළ කාලය තුළ ඔවුන් මට අති විශේෂ සංග්රහශීලීත්වයක් පෙන්වූ බව මා කිව යුතුයි.
යුද සමය තුළ, මධ්‍යම සහ උතුරු ෆින්ලන්තයේ සභාවල සේවය කළේ සහෝදර ජොහන්නස් කොස්කිනන් සහ මා පමණයි. සැතපුම් 400ක් පමණ දිග ප්‍රදේශයක් බලා ගැනීමට අප එක් එක්කෙනාට තිබුණා. අපට කොතරම් සභාවලට යෑමට තිබුණාද කිවහොත්, අපට එක් සභාවක ගත කිරීමට ලැබුණේ දවස් දෙකක් හෝ තුනක් පමණයි. දුම්රිය කාලසටහනකට වැඩ කළේ බොහොම කලාතුරකින්, බස් තිබුණේ ටිකයි, ඇරත් ඒවායේ සෙනඟ පිරිලා, අපි අපේ ගමනාන්තයන්ට ළඟාවීම අරුමයක් වුණා.
නූලෙන් බේරුණු අවස්ථා
වරක්, හිමකර යුද්ධයේ මුල් අවදියේ, මා හෙල්සින්කිහි පිහිටි ශාඛා කාර්යාලය වෙත ගොස් දුම්රියෙන් සභාවන් වෙත ගෙන යාම සඳහා තහනම් කරන ලද පොත්පත් විශාල පෙට්ටි හතරක් ලබා ගත්තා. රිහිමාකි දුම්රිය පළේදී, ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීම නාදවුණා. දුම්රියේ සිටි සොල්දාදුවන් හිම ඇඳුම් හැඳගත් අතර, දුම්රියෙන් බැස දුම්රිය පළ ඉදිරිපිට තිබූ හිස් බිම්කෙතට ඉක්මනින් යන ලෙස මගීන්ට පවසනු ලැබුවා.
පොත් පෙට්ටිවල ඇති වැදගත්කම පවසමින් ඒවා රැගෙන යන ලෙස මා සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් හතරදෙනෙකු එක් පොත් පෙට්ටිය බැගින් ගත් අතර, අපි හිමවලින් වැසී තිබූ බිම්කෙතේ යාර 200ක් පමණ දිවගියා. අප බිම මත දිගා වුණා, ඒ සමඟම යමෙක් මට මෙසේ කෑගැසුවා: “ඒයි, හලෝ, පොඩ්ඩක්වත් හෙල්ලෙන්න එපා! පොඩ්ඩක්වත් හෙල්ලෙනවා බෝම්බකාරයෝ දැක්කොත්, ඔවුන් අපට බෝම්බ ගසාවි.” මා ප්‍රවේසමෙන් මගේ මුහුණ හරවා අහස දෙස බැලීමට මට කුතුහලයක් ඇති වුණා, මා එහි ගුවන් යානා 28ක් ගණන් කළා!
එක පාරටම පිපිරුණු බෝම්බවලින් භූමිය දෙදරා ගියා. දුම්රිය පළ බේරුණත්, අපි ආ දුම්රිය ප්‍රහාරයට ලක් වුණා. කැඩී බිඳී ගිය දුම්රිය හා ඇදවී ගිය රේල් පීලි කෙතරම් විකෘති දසුනක් ඇති කළාද! ඊළඟ උදයේ පොත් පෙට්ටි සමඟ මගේ ගමන දිගටම යාමට හැකිවූ අතර, සොල්දාදුවන් වෙනත් දුම්රියකින් ඔවුන්ගේ ගමන ගියා. ඔවුන්ගෙන් එක් අයෙක් යුද්ධයෙන් පසුව සාක්ෂිකරුවෙකු බවට පත්වුණා. එම සොල්දාදුවන් ඉන්පසු පොත් පෙට්ටි අතැතිව සිටි අමුතු රටවැසියා ගැන කථා කළ බව ඔහු මට පැවසුවා.
ටික කලකට පසු, උතුරු ෆින්ලන්තයේ රෝවනියමිහි කුඩා සභාවේ සේවය කිරීමට යමින් සිටි සහෝදර කොස්කිනන්ව දුම්රියෙන් බැසයාමට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුව බන්ධනාගාරයට ගෙන යනු ලැබූ අතර, ඔහුට ඉතා කටුක අන්දමින් සලකනු ලැබුවා. එම සභාවේ සේවය කිරීමට මට කාලය පැමිණි විට, කොයිවුහි කුඩා දුම්රිය පළෙන් බැසයාමට මා සැලසුම් කළා. එහි, සහෝදරී හෙල්මි පාලාරී, කිරි ප්රවාහණය කරන වෑන් රථයකින් මගේ ගමනේ ඉතිරිය යාමට කටයුතු සැලසුම් කළා. රෝවනියමිහි සභාවට මගේ චාරිකාව සාර්ථක එකක් වූවා. කෙසේවෙතත් මා එයින් පිටත් වී ගිය විට කරදරවලට මා මුහුණ පෑවා.
අප දුම්රිය පළට එමින් සිටින අතර, ගමන් කරමින් සිටි සියල්ලන්ගේ ලියකියවිලි පරීක්ෂාකරමින් සිටි යුද නිලධාරින් දෙදෙනෙකු පසුකර යාමට අපට සිදුවුණා. “ඔවුන් දිහා බලන්න එපා. ඔබේ ඇස් කෙලින් තබාගන්න” මම කීවා. අපි ඔවුන් අතරෙන් ගියේ හරියට ඔවුන් එතන සිටියේ නැහැ වගේ. අනතුරුව ඔවුන් අප පිටුපස එලවන්නට පටන් ගත්තා. අවසානයේදී, දුම්රිය පළේදී සෙනඟ අතරට ගිය අපට ඔවුන්ගෙන් සැඟවී සිටිමට හැකිවූ අතර ඉදිරියට ඇදෙමින් තිබූ දුම්රියට පැනගත්තා. ඒ දවස්වල සංචාරක සේවයේ ලොමුදැහැගන්වන සිද්ධීන්වල අඩුවක් තිබුණේ නැහැ.
විටෙක මා අත්අඩංගුවට ගනු ලැබ, පුරවැසියන් යුද්ධයට බඳවා ගනු ලබන ස්ථානයට ගෙන ගියා. චේතනාව වූයේ මා සටන් පෙරමුණට යැවීමටයි. එහෙත්, දුරකථනය නාදවුණා, මා සම්මුඛ පරීක්ෂණයට භාජනය කිරීමට සිටි හමුදා නිලධාරියා පිළිතුරු දුන්නා. අනෙක් පැත්තෙන් මට මෙසේ කෑගසන කටහඬක් ඇහුණා: “ඇයි නුඹ මේ අසනීප නිෂ්ඵල මිනිසුන්ව යවන්නේ? අපට කරන්නට තියෙන්නේ ඔවුන්ව ආපසු යවන එකයි. අපට අවශ්‍ය කරන්නේ වැඩට ගැළපෙන මිනිසුන්!” මා මගේ සෞඛ්‍ය ගැටලුවක් ගැන පවසා තිබූ වෛද්‍ය සහතිකයක් රැගෙන ගොස් තිබීම ගැන ස්තුතිවන්ත වෙනවා. මා මෙය ඉදිරිපත් කළ විට, යාමට මට ඉඩ හළ අතර, කිසිඳු බාධකයකින් තොරව සභාවන්හි සේවය කිරීමට මට පුළුවන් වුණා!
පරීක්ෂණයකදී උපකාර
යුධ වියරුව නොකඩවා දැල්වෙන්නට වුණා. මගේ මිතුරු ආහ්ටි ලාඑස්ටව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ භාර්යාව මට කථා කළා. මම ඔවුන්ගේ නිවසට ගිය විට, නගරයේ මහජන උද්‍යානවල පටිගත කරන ලද කථා ඉදිරිපත් කිරීමට අවසරය ප්‍රාදේශීය පොලිසිය විසින් ආහ්ටි වෙත දෙන ලද ලේඛනයක් මම සොයාගත්තා. අපි මේ ලේඛනයත් සමඟ උසාවියට ළඟා වුණා. ඔවුන් නඩු චෝදනාව කියවූවායින් පසු, මම මෙම ලේඛනය සහෝදර ලාඑස්ටගේ අතට දුන්නා. විනිශ්චයකරුවා සොල්දාදුවෙක් ලවා ශබ්දවාහිනී සහ පටිගත කරන ලද බයිබල් කථා කිහිපයක් ගෙනැවිත් උසාවියට ඒවා ඇසීමට සැලැස්සුවා. මේ එක් එක් කතාවට සවන් දීමෙන් පසු, පවසනු ලැබූ දෙයෙහි වැරදි කිසිවක් තමාට නොපෙනෙන බව විනිශ්චයකරු පැවසුවා.
අනතුරුව, ආහ්ටි, ඔහුගේ භාර්යාව සහ මා, අධිකරණය තීරණය ගන්නා තෙක් කොරිඩෝරයේ පිටතට යවනු ලැබුවා. අපි එහි කුමක් වේදැයි නොදැන මහත් භයින් සිටියා. අවසානයේදී අපට ඇසුණු හඬ: “චූදිතය, කරුණාකර උසාවිය ඇතුළට එන්න” යනුයි. සහෝදර ලාඑස්ව චෝදනාවලින් නිදහස් කොට තිබුණා! සහෝදර ලාඑස් සහ ඔහුගේ භාර්යාව තම සභාවේ සේවයටත්, මා දිගටම මගේ සංචාරක සේවයටත් යන විට අපගේ හදවත් යෙහෝවඃවහන්සේට සැබෑ කෘතඥතාවයෙන් පිරී තිබුණා.
යුද්ධය නිමාවෙයි—අපගේ සේවය දිගටම
යුද්ධය නිමාවීමත් සමඟම, අපගේ දේශනා වැඩකටයුතුවලට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබූ අතර, සහෝදරයන්ව සිරගෙයින් නිදහස් කරනු ලැබුවා. ක්‍රිස්තියානි සහෝදරියන් රාජ්‍යය වැඩකටයුතුවලදී සහ තම සැමියන්ට සහයෝගය දැක්වීමෙහිලා ඉටු කර ඇති කාර්යභාරය මගේ සේවා කාලයේ බොහෝ අවුරුදුවලදී මගේ සිතට තදින් කාවැදී තිබෙනවා. විශේෂයෙන්ම සිල්විගේ පරිත්‍යාගයන් සහ සහයෝගයට මා කෘතඥපූර්වක වෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, වසර 33ක් පුරා බාධාවකින් තොරව සංචාරක සේවය කිරීමටත් ඉන්පසු විශේෂ පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමටත් මට හැකි වුණා.
ආහ්ටෝ පාසල් දිවිය අවසන් කළ විට, පුරෝගාමි සේවය පටන් ගැනීමටත්, ඉංග්‍රීසි ඉගෙන ගැනීමටත්, එක්සත් ජනපදවල වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි සහභාගි වීමටත් සිල්වි හා මම ආහ්ටෝව දිරිගැන්වූවා. ඔහු 1953දී ගිලියඩ් පාසලෙන් උපාධි ලැබුවා. ඔහු ඒවා සමඟ විවාහ වී පසුව චාරිකා සේවය, බෙතෙල් සේවය සහ විශේෂ පුරෝගාමි සේවය ඇතුළුව පූර්ණ කාලීන සේවයේ විවිධ අංශවල හවුල් වී තිබෙනවා. වර්ෂ 1988දී නොකඩවා විශේෂ පුරෝගාමින් ලෙස සේවය කරමින් සිල්වි හා මා රැකබලාගැනීම සඳහා ඔවුන් අප පදිංචි නගරය වන ටැම්පරේහි පදිංචියට ආවා.
දැන් අපගේ ශක්තිය බොහෝසෙයින් පිරිහී ගොස් තිබුණත්, සිල්වි හා මම අපව දිරිගැන්වීම සඳහා බොහෝ මතකයන් සමඟින් පිරිපුන් ආශීර්වාදාත්මක ජීවිතයක් ගත කර තිබෙනවා. අප දැක තිබෙන වර්ධනය ගැන සිතීම ඉතා විපාකදායි වෙනවා. මා 1939දී සභා බැහැදැකීමට පටන් ගත් විට, ෆින්ලන්තයේ රාජ්‍යය ප්‍රචාරකයන් සිටියේ 865යි, නමුත් දැන් එහි 18,000කට වඩා සිටිනවා.
මා 1938 පූර්ණ කාලීන දේව සේවය පටන්ගත් විට වසර 55කටත් පසුව එය භුක්ති විඳ තවමත් එහි හවුල්වෙමින් සිටීවී යන අදහස මා තුළ පහළ වූයේවත් නැහැ. වයස් ගතව සිටියත්, අපි අපගේ පොරොන්දු ත්‍යාගය දෙස බලාගෙන යෙහෝවඃවහන්සේගේ බලය සමඟින් ඉදිරියට ගමන් කරනවා. අපි ගීතිකාකරුගේ මෙම වචන කෙරෙහි දැඩි විශ්වාසයක් තබනවා: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] යහපත්ය; උන්වහන්සේගේ කරුණාව [ප්‍රේමනීය කරුණාව, NW] සදාකාලේටද විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.”—ගීතාවලිය 100:5.
[21වන පිටුවේ පින්තූරය]
ලේයෝ සහ සිල්වි කල්යෝ 1934දී යෙහෝවඃවහන්සේට වූ තම කැපවීම සංකේතවත් කළහ
[23වන පිටුවේ පින්තූරය]
ලේයෝ සහ සිල්වි තම කැපවූ සේවයේ 60 වසරක් කරා එළඹීමත් සමඟ මෑතකදී ගන්නා ලද ඡායාරූපයක්