ඔබ ආදරය කළ මියගිය අය—ඔවුන් කොහේද?
ඇලෙක් දැඩි දොම්නසකට පත්ව සිටියේය. සතියක් තුළ, ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ඔහුට අහිමි විය. ඔවුන්ගෙන් කෙනෙකු වූ නෙවිල්, වෙඩිතැබීමේ තුවාලයකින් මියගියේය. අනෙක් තැනැත්තා වූ ටෝනි, රිය අනතුරකින් මරුමුවට පත්වූයේය. අවුරුදු-14ක්-වයසැති දකුණු අප්‍රිකානු පිරිමි ළමයාට කලින් කරදරයක් නොවූ ප්‍රශ්න දැන් ඔහුට පීඩා කළේය. ‘මනුෂ්‍යයන්ට මියයෑමට සිදුවන්නේ මන්ද? තවද මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද?’ යනුවෙන් ඔහු කල්පනා කළේය.
ඇලෙක්, නෙවිල්ගේ අවමඟුලට යමින් සිටියදී, මෙම ප්‍රශ්නවලට පිළිතුරු තමාට ලැබෙනු ඇතැයි ඔහු අවංකව බලාපොරොත්තු වූයේය. “එහෙත්,” ඔහු සිහිපත් කරමින්, “පූජකයා නිකම් පොතකින් කියවා, නෙවිල් ස්වර්ගයට ගොස් තිබෙන බව කිව්වා. ඉන්පසු, මිනීවළ අසලදී, අප නැවත-නැගිටීම බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු කිව්වා. මා ව්‍යාකූලත්වයට පත්වූවා. නෙවිල් ස්වර්ගයෙහි සිටියා නම්, නැවත-නැගිටීමක් ඔහුට බලාපොරොත්තු විය හැක්කේ කොහොමදැයි” පැවසීය.
එම දවසේදීම පසු වේලාවක, ඇලෙක්, ටෝනිගේ මළගෙදරට ගියේය. වත්පිළිවෙත් සහිත මෙහෙය පවත්වන ලද්දේ ඔහුට තේරුම්ගත නොහැකි භාෂාවකිනි. එහෙත්, ඇතැම් වැලපෙන්නන්ගේ මායාරෝගී හැසිරීම නිසා සැනසිල්ල ලබා නොදී තිබුණු බව ඇලෙක් තේරුම් ගත්තේය. “එම රාත්රියේදී,” ඔහු පැහැදිලි කරයි, “මාගේ සිත දැඩි ලෙස අවුල් වී තිබුණා. අසරණකම හා ව්‍යාකූලභාවයක් මට දැනුණා. මාගේ ප්‍රශ්නවලට සතුටුදායක පිළිතුරු දීමට කිසිවෙකුට නොහැකි වුණා. මාගේ ජීවිතයේ පළමු වතාවට, දෙවිකෙනෙකු සිටීදැයි මම සැබවින්ම කල්පනා කළා.”
සෑම වසරකම, ඇලෙක් මෙන්, මිලියන ගණන් අයට ආදරය කළවුන් අහිමි වේ. වර්ෂ “1991දී ලොවවටා මරණ 5,04,18,000ක් තිබුණේ” යයි 1992 බ්‍රිටැනිකා බුක් ඔෆ් ද යියර් පැහැදිලි කරයි. තවද එවක් පටන් කොපමණ මිලියන ගණනක් මියගොස් තිබේද? ශෝකයට පත්ව සිටින ජීවත්වන්නන් විසින් හෙළන ලද කඳුළු නමැති ගංගා ගැන සිතා බලන්න! මරණය පිළිබඳ පරස්පර විරෝධි මත මගින් සිදුකරන ලද ව්‍යාකූලත්වයද ඔවුන්ගේ දුක වැඩි කරයි.
මෙසේ, ඇලෙක් මෙන්, බොහෝ දෙනෙක් වික්ෂිප්තභාවයට පත්ව, මරණයෙන් පසු මතු ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තුව සඳහා යම් පදනමක් තිබේදැයි යන්න ගැන අනුමාන කරති. එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන්ස් පවසන පරිදි, “සියලුම යුගවලදී, කල්පනාකාරි මනුෂ්‍යයෝ සමූහයාගෙන් වෙන්ව සිට තිබෙන අතර, . . . පුද්ගලයෙකුගේ මොළය හා ශරීරයෙන් බැහැරව පුද්ගලයෙකුගේ ආත්මයට හෝ ජීවිතයට පැවතිය හැක්කේ කෙසේදැයි යන්න ගැන අනුමාන කරමින් සිටිති.”
ශරීරයෙන් බැහැරව පවතින අමරණීය ආත්මයක් පිළිබඳ ආගමික සිද්ධාන්තයට බයිබලය තුළ පිටුවහලක් නැති බව ඉහත සඳහන් විශ්වකෝෂය පිළිගැනීම සිත්ගන්නා කාරණයකි. ස්ථාන ස්වල්පයකදී, යමෙකුගේ “ආත්මය” මළ ශරීරයකින් පිටවීම හා යළි ඇතුළුවීම පවා ගැන බයිබලය සඳහන් කරයි, එහෙත් මෙම අවස්ථාවලදී, “ආත්මය” යන වචනය භාවිතා කර තිබෙන්නේ නැතිවූ හෝ නැවත ලබාගත් “ජීවනය” යන අර්ථයෙන්ය. (උත්පත්ති 35:16-19; 1 රාජාවලිය 17:17-23) බොහෝවිට වැඩි වශයෙන්, බයිබලය තුළ “ආත්මය” යන වචනය භාවිතා කර ඇත්තේ මාංසයෙන් හා රුධිරයෙන් යුත් දෘශ්‍යමාන මැවිලි, එසේය, ජීවමාන මැවිලි විස්තර කිරීමටය. (උත්පත්ති 1:20; 2:7) එමනිසා, ආත්මය මියයන බව බයිබලය නැවත නැවතත් සඳහන් කරයි. (එසකියෙල් 18:4, 20; ක්‍රියා 3:23; එළිදරව් 16:3) දේව වචනය පවසන්නේ, වරක් ආත්ම මළ පසු, ඔවුහු “කිසිවක් නොදනිති” කියාය.—දේශනාකාරයා 9:5, 10.
අනෙක් අතට, මළ අයවලුන් ජීවනයට නැවත පිහිටුවා තිබීම ගැන වාර්තා බයිබලයෙහි ඇතුළත් වේ. ලාසරුස් සම්බන්ධ සිද්ධියේදී, මෙය සිදුවූයේ ඔහු මියගොස් දවස් සතරකට පසුවය. (යොහන් 11:39, 43, 44) එහෙත්, වසර සිය ගණනකට හෝ දහස් ගණනකට පෙර මියගියාවූ ජනයාට කුමක් සිදුවනු ඇත්ද? අනාගත ජීවිතය සඳහා ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවන පිණිස ඔවුන් මියගිය විට ඔවුන්ට තිබුණාවූ එම ශරීරයම නැවත-නැගුටුවීම දෙවියන්වහන්සේට අවශ්‍යද?
නැත, මළ සිරුරක් සකස්වන පරමාණුවලට සිදුවන දෙය සමඟ එබඳු අදහසක් නොගැළපේ. කල්යෑමේදී, මෙම පරමාණුවලින්ම සමහරක් වෙනත් ගහකොළවලට උරාගනු ලබන අතර, ඊළඟට ඒවා සත්ත්වයන් විසින් අනුභව කරනු ලබන අතර, ඔවුන්ගේ ශරීරවල කොටසක් බවට පත්වේ.
බොහෝ කලකට පෙර මියගොස් ඇති ජනයා සඳහා බලාපොරොත්තුවක් නැති බව මින් අදහස් කරයිද? නැත. අපගේ අතිවිශාල විශ්වයේ මැවුම්කරුවාණන්ට ගරුබිය උපදවන, අසීමිත මතකයක් තිබේ. උන්වහන්සේගේ පරිපූර්ණ මතකය තුළ, මතක තබාගැනීමට තමන් තෝරාගන්නා ඕනෑම මළ මිනිසෙකුගේ පෞද්ගලිකත්වය හා ප්රවේණි ගතිගුණ රැස්කොට තබාගැනීමට උන්වහන්සේට හැකියාව තිබේ. මීට අමතරව, කලින් ජීවත්වී තිබෙන පුද්ගලයෙකුගේ නියම ප්රවේණි සැකසුම ඇතුව මනුෂ්‍ය ශරීරයක් නැවත මැවීමට යෙහෝවඃ දෙවියන්වහන්සේට බලය තිබේ. ආබ්‍රහම් වැනි, උන්වහන්සේට මතක තිබෙන කෙනෙකුගේ මතකය හා පෞද්ගලිකත්වය එය තුළ තැබීමටද උන්වහන්සේට හැක.
ආබ්‍රහම්ගේ මරණයෙන් වසර දෙදහසකට ආසන්න කාලයකට පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම සහතිකය දුන්සේක: “මළවුන් නැගුටුවනු ලබන බව මෝසෙස් පවා පඳුර සම්බන්ධ කාණ්ඩයෙහි: ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීමෙන් පෙන්වාදී තිබේ. උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ උදෙසා [ඉදිරියෙහි, NW] ජීවත්ව සිටිති.” (ලූක් 20:37, 38) ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට අමතරව, පැමිණෙන නැවත-නැගිටීම අපේක්ෂාවෙන් වෙනත් මැරුණු මනුෂ්‍යයෝ දශලක්ෂ ගණනක් දෙවියන්වහන්සේගේ මතකයෙහි ජීවමානව සිටිති. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි” කියා බයිබලය තහවුරු කරයි.—ක්‍රියා 24:15.
ඇලෙක්ගේ ශෝකවීමෙන් සති ස්වල්පයකට පසු, තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ඔහුට ලැබිණ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු ඔහුගේ නිවසට පැමිණ, මරණය පිළිබඳව හා නැවත-නැගිටීම පිළිබඳව දේව වචනය පවසන දෙය ඔහුට පෙන්වා දුන්නේය. මෙය ඇලෙක්ව සැනසූ අතර, ඔහුගේ ජීවිතයට නව අරුතක් ලබාදුණි.
බයිබලය මත පදනම් වූ නැවත-නැගිටීමේ බලාපොරොත්තුව ගැන තවත් ඉගෙන ගැනීමට ඔබ කැමති වනු ඇත්ද? උදාහරණයක් වශයෙන්, නැවත-නැගිටීම්වලින් වැඩිහරියක් සිදුවනු ඇත්තේ ස්වර්ගයෙහිද නැතහොත් පොළොවෙහිද? තවද දෙවියන්වහන්සේගේ අනුමැතිය ලබාගැනීමට හා ආදරය කළ මියගිය අයවලුන් සමඟ ජනයාට නැවත එකමුතුවිය හැකියයි යන උන්වහන්සේගේ මවිතකර පොරොන්දුව අද්දැකීමට පුද්ගලයෙකු කුමක් කළ යුතුද?