සාදා තිබෙන්නේ දූවිල්ලෙන් වුවත්, අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යන්න!
“උන්වහන්සේ අපේ ස්වභාවය දන්නා සේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක.”—ගීතාවලිය 103:14.
1. මිනිසුන්ව දූවිල්ලෙන් සාදා තිබේය කියා පැවසීමේදී බයිබලය විද්‍යාත්මක අතින් නිවැරදිද? පැහැදිලි කරන්න.
භෞතික ආකාරයෙන් ගත් කල, අපි වනාහි දූවිලි වන්නෙමු. “ස්වාමිවූ [යෙහෝවඃ, NW] දෙවියන්වහන්සේ, භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක, එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.” (උත්පත්ති 2:7) මිනිසාගේ මැවීම පිළිබඳ මෙම සරල විස්තරය විද්‍යාත්මක සත්‍යතාව සමඟ එකඟය. මිනිස් සිරුරේ සංයුතියේ ඇති මූල ද්‍රව්‍ය සියල්ල “භූමියේ දූවිල්ලෙන්” සොයා ගත හැක. වැඩිහිටි මිනිස් සිරුරක් තුළ, සියයට 65ක් ඔක්සිජන්ද, සියයට 18ක් කාබන්ද, සියයට 10ක් හයිඩ්‍රජන්ද, සියයට 3ක් නයිට්‍රජන්ද, සියයට 1.5ක් කැල්සියම්ද එමෙන්ම සියයට 1ක් ෆොස්ෆරස්ද සමඟ ඉතිරි කොටස් වෙනත් මූලද්රව්යවලින්ද සමන්විත බව එක් රසායනඥයෙක් වරෙක කියා සිටියේය. මෙම තක්සේරු කිරීම් සම්පූර්ණයෙන්ම නිරවද්‍යද යන්න වැදගත් නොවේ. සත්‍යය තවමත් එසේම පවතී, එනම්: ‘අපි දූවිලි වන්නෙමු’!
2. දෙවියන්වහන්සේ මිනිසා මැවූ ආකාරය ඔබ තුළ කිනම් ප්‍රතිචාරයක් ඇති කරවයිද, එමෙන්ම මන්ද?
2 වෙන කිසිවකින් නොව, නමුත් දූවිල්ලෙන් පමණක් එවන් සංකීර්ණ මැවිලි සෑදීමට යෙහෝවඃවහන්සේට හැර, හැක්කේ වෙන කාටද? දෙවියන්වහන්සේගේ වැඩ කිසිම කැළලකින් තොර පරිපූර්ණ ඒවාය, එමනිසා උන්වහන්සේ මිනිසා මේ අයුරින් මැවීමට තෝරා ගැනීම ගැන කිසිවෙකුට පැමිණිලි කළ නොහැක. ඇත්ත වශයෙන්ම, උත්තරීතර මැවුම්කරුවාණන්ට, ගරුබිය දනවන හා පුදුමාකාර අන්දමකින් භූමියේ දූවිල්ලෙන් මිනිසා මැවීමට හැකිවීම, උන්වහන්සේගේ අසීමිත බලය, දක්ෂතාව හා ප්‍රායෝගික ප්‍රඥාව කෙරෙහි අපගේ අගය කිරීම වැඩිකරවයි.—ද්විතීය කථාව 32:4, NW පාද සටහන; ගීතාවලිය 139:14.
තත්ත්වයන්හි වෙනසක්
3, 4. (අ) මිනිසා දූවිල්ලෙන් මැවීමේදී, දෙවියන්වහන්සේ අදහස් නොකළේ කුමක්ද? (ආ) ගීතාවලිය 103:14හි දාවිත් යොමු දක්වමින් සිටියේ කුමකටද, තවද මෙම නිගමනයට එළඹීම සඳහා අවට පාඨ සම්බන්ධය අපට උපකාර කරන්නේ කෙසේද?
3 දූවිලිවලින් සැදි මැවිලිවලට සීමාවන් තිබේ. කෙසේවෙතත්, මේවා පීඩාකාරි වීමට හෝ ඕනෑවට වැඩියෙන් තහංචි ඇතුව සිටීමට දෙවියන්වහන්සේ කිසිවිටෙකත් අදහස් කළේ නැත. මේවා අධෛර්යය ඇති කිරීමට හෝ අසන්තෝෂයට හේතුවක් වීමට අදහස් නොකරන ලදි. එහෙත්, ගීතාවලිය 103:14හි දාවිත්ගේ වචනවල පසුබිමෙන් අඟවන්නාක් මෙන්, මිනිසා යටත්වී සිටින සීමාවන් අධෛර්යට හේතුවක් වී එහි ප්‍රතිඵලයක් වශයෙන් අසන්තෝෂය ඇති කළ හැකිය. මන්ද? ආදම් සහ ඒව දෙවියන්වහන්සේට අකීකරුවූ විට, ඔවුහු තමන්ගේ අනාගත පවුල කෙරෙහි වෙනස් තත්ත්වයක් ගෙන ආහ. එවිට, දූවිල්ලෙන් සාදා තිබීම අලුත් අර්ථයක් ගති.a
4 දාවිත් කථා කරමින් සිටියේ, දූවිල්ලෙන් සැදි පරිපූර්ණ මිනිසුන්ට පවා තිබූ ස්වාභාවික සීමාවන් ගැන නොව, නමුත් උරුමවූ අසම්පූර්ණකම් හේතුකොටගෙන ඇතිවූ මිනිස් දුර්වලකම් ගැනය. නොඑසේනම්, ඔහු යෙහෝවඃවහන්සේ ගැන මෙසේ නොකියන්නට තිබිණි: “උන්වහන්සේ තාගේ සියලු අයුතුකම් කමාකරනසේක; තාගේ සියලු රෝග සුවකරනසේක; තාගේ ජීවිතය විනාශයෙන් [වළෙන්, NW] මුදා[ලන සේක]. උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නොදුන්සේක.” (ගීතාවලිය 103:2-4, 10) දූවිල්ලෙන් සාදනු ලැබ තිබුණද, පරිපූර්ණ මිනිසුන් විශ්වාසවන්තව සිටියා නම්, සමාව අවශ්‍යවන පරිදි, ඔවුන් කිසිවිටෙකත් වැරදි නොකරනු ඇත, පව් නොකරනු ඇත; සුවවීම අවශ්‍ය කරන ලෙඩ රෝග ඔවුන්ට නොතිබෙනවා ඇත. මේ සියල්ලටම වඩා, නැවත නැගිටීම තුළින් පමණක් ඔවුන්ව යළිත් ජීවිතයට ගෙනා හැකි මරණයේ වළට ඔවුන් කිසිවිටෙකත් නොයනු ඇත.
5. දාවිත්ගේ වචන අප විසින් අවබෝධ කර ගැනීම අපහසු දෙයක් නොවන්නේ මන්ද?
5 අසම්පූර්ණව සිටින නිසා, දාවිත් කථා කළ දේවල් අපි සියල්ලෝම අද්දැක ඇත්තෙමු. අපගේ අසම්පූර්ණකම් හේතුකොටගෙන, අපි නිරතුරුවම අපගේ සීමාවන් ගැන සාවධානව සිටින්නෙමු. යම් අවස්ථාවලදී, යෙහෝවඃවහන්සේ සමඟ හෝ අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ ඇති අපගේ සබඳතාවලට හානි එමගින් පැමිණෙන විට, අපි දුකට පත්වන්නෙමු. අපගේම අසම්පූර්ණකම් සහ සාතන්ගේ ලෝකයෙන් ඇති වන පීඩන හේතුකොටගෙන අප කලකිරෙන නිසා, අපි කනගාටුවන්නෙමු. සාතන්ගේ පාලනය ඉතා වේගයෙන් නිමාවකට පත්වේගන යන බැවින්, ඔහුගේ ලෝකය පොදු ජනයා මත සහ විශේෂයෙන් ක්‍රිස්තියානීන් මත ගෙනෙන ඉමහත් පීඩනය එන්ට එන්ටම වැඩිවෙමින් තිබේ.—එළිදරව් 12:12.
6. ඇතැම් ක්‍රිස්තියානීන් අධෛර්යට පත්වී තිබෙන බවක් හැඟිය හැක්කේ මන්ද, තවද මේ අන්දමේ හැඟීම්වලින් සාතන් කෙසේ වාසි ලබා ගන්නවා විය හැකිද?
6 ක්‍රිස්තියානි ජීවිතයක් ගත කිරීම වඩාත් අසීරු වෙමින් පවතින බවක් ඔබට හැඟේද? තමන් සත්‍යය තුළ සිටින කාලය වැඩි වන විට ඔවුන් තවත් අසම්පූර්ණ වන බව පෙනෙනවායයි ඇතැම් ක්‍රිස්තියානීන් පවසනවා අසනු ලැබ තිබේ. කෙසේවුවද, මින් බොහෝ විට පෙනී යන දෙය නම්, ඔවුන් තමන්ගේම අසම්පූර්ණකම් ගැන සහ තමන් කැමති අන්දමට යෙහෝවඃවහන්සේගේ පරිපූර්ණ ප්‍රමිතීන්ට අනුකූලවීමට තමන්ට නොහැකියාව ගැන වඩාත් වැඩියෙන් සාවධානව සිටින බවයි. ඇත්තෙන්ම, මෙය වනාහි, දිගටම දැනුමෙන් හා යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ප්රමිතීන් කෙරෙහි අගය කිරීමෙන් වර්ධනය වන විට ඇති වන ප්‍රතිඵලයක් බව පෙනී යයි. අප තුළ එවැනි සාවධානත්වයක් ඇතිවීම හේතුවෙන්, අප සාතන්ගේ ග්‍රහණයට හසුවන පරිද්දෙන් ක්‍රියා කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදීම අතිශයින් වැදගත්ය. යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් ලවා සැබෑ නමස්කාරය අත්හැරවීම පිණිස, සියවස් ගණනාවක් පුරා, ඔහු ඔවුන් අධෛර්යවන අවස්ථාවලින් වාසි ප්‍රයෝජන ගෙන තිබේ. කෙසේවෙතත්, දෙවියන්වහන්සේ කෙරෙහි අව්‍යාජ ප්‍රේමය, මෙන්ම යක්ෂයා කෙරෙහි “සම්පූර්ණ වෛරය,” එසේ කිරීමෙන් වැඩි දෙනෙකු වළක්වා තිබේ.—ගීතාවලිය 139:21, 22; හිතෝපදේශ 27:11.
7. අප ඇතැම් අවස්ථාවන්හිදී, යෝබ්ට සමාන විය හැක්කේ කිනම් පැත්තෙන්ද?
7 එහෙත්, යෙහෝවඃවහන්සේගේ සේවකයන්ට යම් යම් අවස්ථාවලදී, අධෛර්යට පත්වී ඇති බවක් හැඟෙනවා විය හැක. තමන්ගේම ඉටුකරගැනීම් සමඟින් ඇතිවන අතෘප්තිකරභාවය එක් හේතුවක් විය හැකිය. ශාරීරික හේතූන් හෝ පවුලේ සාමාජිකයන්, මිත්‍රයන් හෝ රැකියා ස්ථානයේ හවුලේ වැඩ කරන අය සහ ඇති අමනාපකම් විය හැකිය. ඇදහිලිවන්ත යෝබ් කොතරම් අධෛර්යයට පත්වූවාද කියතොත් ඔහු දෙවියන්වහන්සේට මෙසේ ආයාචනා කළේය: “අහෝ, ඔබවහන්සේ මා ෂෙයෝලෙහි වසා තබා, ඔබගේ උදහස පහවනතුරු මා සඟවා, මට කාලයක් නියම කොට, මා සිහිකරනසේක් නම් කැමැත්තෙමි!” මේ අනුව, “නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැළකී සිටියාවූ මනුෂ්‍යයෙක්” වූ යෝබ්ට අධෛර්යට පත්වන අවස්ථා තිබුණා නම්, එම දෙයම අපටත් සිදුවීම පුදුමයට කරුණක් නොවේ.—යෝබ් 1:8, 13-19; 2:7-9, 11-13; 14:13.
8. ඉඳ හිට අධෛර්යවීම ඒකාන්ත ලකුණක් විය හැක්කේ මන්ද?
8 යෙහෝවඃවහන්සේ, හෘදය තුළට විනිවිද බලන බවත්, හොඳ චේතනාවන් නොසලකා නොහරින බවත් දැනගැනීම කොතරම් සැනසීමක්ද! අවංකව මුළු සිතින්ම උන්වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරන අය උන්වහන්සේ කිසිවිටෙකත් ඉවත නොදමනසේක. ඇත්තෙන්ම, ඉඳහිට ඇතිවන අධෛර්යවීම්, අප යෙහෝවඃවහන්සේගේ සේවය සැහැල්ලුවට නොගන්නා බව අඟවන ලකුණක් වෙන්නට පුළුවන. මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූ කල, තම අධෛර්යවීම් සමඟ කිසිවිටෙකත් පොරබදන්නේ නැති තැනැත්තෙක්, වෙනත් අය තමන්ගේ අධෛර්යවීම් සම්බන්ධයෙන් කරනවාක් මෙන්, ආත්මිකව සාවධානව සිටින්නෙක් නොවිය හැකියි. මෙය මතක තබාගන්න: “තමා කෙළින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.”—1 කොරින්ති 10:12; 1 සාමුවෙල් 16:7; 1 රාජාවලිය 8:39; 1 ලේකම් 28:9.
ඔවුහුද දූවිලිවලින් සාදනු ලැබූහ
9, 10. (අ) ක්‍රිස්තියානීන්ට ඉතාමත් මැනවින් අනුගමනය කළ හැක්කේ කාගේ ඇදහිල්ලද? (ආ) මෝසෙස් තමාට ලැබුණු පැවරුමට ප්‍රතික්‍රියා කළේ කෙසේද?
9 හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදය, ශක්තිමත් ඇදහිල්ලක් ක්‍රියාවට නැංවූ, යෙහෝවඃවහන්සේගේ පූර්ව-ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් ගණනාවක් ලැයිස්තුගත කරයි. පළමු සියවසේ සහ වත්මන් කාලවල ක්‍රිස්තියානීහුද එසේම කර සිටිත්. මොවුන්ගෙන් ඉගෙන ගත හැකි පාඩම් මිලකළ නොහැකිය. (හෙබ්‍රෙව් 13:7 සසඳන්න.) නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානීන්ට මෝසෙස්ගේ ඇදහිල්ලට වඩා වඩාත් හොඳින් අනුකරණය කළ හැක්කේ කාගේ ඇදහිල්ලද? ඔහු විසූ අවදියේ වඩාත් ප්‍රබලම ලෝක පාලකයාව සිටි මිසරයේ ඵාරාවෝ වෙත විනිශ්චයේ පණිවුඩ ප්‍රකාශ කරන්නට ඔහු කැඳවන ලදි. අදදිනද, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඒ හා සමානව, බොරු ආගමට හා ක්‍රිස්තුස්වහන්සේගේ පිහිටුවන ලද රාජ්‍යයට විරුද්ධවූ අනෙකුත් සංවිධානවලට එරෙහිව විනිශ්චමය පණිවුඩ ප්‍රකාශ කළ යුතුය.—එළිදරව් 16:1-15.
10 මෝසෙස් පෙන්නුම් කළාක් මෙන්, මෙම බලපැවරුම ඉටු කිරීම පහසු කාර්යයක් නොවේ. “ඵාරාවෝ වෙතට යන්ටත්, ඉශ්රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙන එන්ටත් මම කවුද?” යනුවෙන් ඔහු ඇසුවේය. අදක්ෂකම පිළිබඳ ඔහුගේ හැඟීම් අපට තේරුම් ගත හැක. ‘ඔවුන් මා විශ්වාස නොකොට, මගේ හඬට කන්නොදී සිටියහොත්,’ යනුවෙන් සෙසු ඉශ්‍රායෙලිතයන් ප්‍රතික්‍රියා කළ හැකි අන්දම ගැනත් ඔහු කනස්සල්ලෙන් සිටියේය. එවිට යෙහෝවඃවහන්සේ, මෝසෙස්ට තම අධිකාරය ඔප්පු කළ හැකි ආකාරය ඔහුට පැහැදිලි කළ නමුත්, ඔහුට තවත් ගැටලුවක් තිබිණි. “අහෝ, ස්වාමිනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථා කළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මි” යයි ඔහු කීවේය.—නික්මයාම 3:11; 4:1, 10.
11. මෝසෙස් මෙන්, අප දිව්‍යාණ්ඩුමය වගකීම්වලට කෙසේ ප්‍රතිචාරය දක්වනවා විය හැකිද, නමුත් ඇදහිල්ල ක්‍රියාවට නැංවීම මගින්, අපට කුමක් කෙරෙහි නිසැක විය හැකිද?
11 අපටද ඉඳහිට මෝසෙස්ට හැඟුණාක් මෙන් හැඟෙන්නට පිළිවන. අප අපගේ දිව්‍යාණ්ඩුමය වගකීම් පිළිගත්තත්, අපට කවදා ඒවා ඉටු කරගැනීමට හැකිදැයි අප කල්පනා කරන්නට පුළුවන. ‘සමාජීය, ආර්ථික, හෝ අධ්‍යාපනික ඉහළ පැලැන්තියේ සිටින අය වෙතට ගොස් දෙවියන්වහන්සේගේ මාර්ග ගැන ඔවුන්ව බිය සැක නැතිව ඉගැන්වීමට මම කවුද? මා ක්‍රිස්තියානි රැස්වීම්වල අදහස් දක්වන විට හෝ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කථා ඉදිරිපත් කරන විට මගේ අනෙකුත් ආත්මික සහෝදරයෝ කෙසේ ප්‍රතික්‍රියා කරාවිද? මගේ අදක්ෂකම් ඔවුන් නොදකින්ට යන්නේ නැද්ද?’ එහෙත්, මෙය මතක තබාගන්න, එනම් මෝසෙස් ඇදහිල්ල ක්‍රියාවට නැංවූ නිසා, යෙහෝවඃවහන්සේ මෝසෙස් සමඟ සිට, ඔහුගේ බලපැවරුම තුළ ඔහු සන්නද්ධ කළසේක. (නික්මයාම 3:12; 4:2-5, 11, 12) අපි මෝසෙස්ගේ ඇදහිල්ල අනුකරණය කරන්නෙමු නම්, යෙහෝවඃවහන්සේ අප සමඟ සිට අපගේ වැඩය සඳහාද අප සන්නද්ධ කරනවා ඇත.
12. අපගේ පව් හෝ අඩුලුහුඬුකම් නිසා ඇති වන අධෛර්යවීම් හමුවේ දාවිත්ගේ ඇදහිල්ල අපව දිරිගැන්විය හැක්කේ කෙසේද?
12 පව් හෝ අඩුලුහුඬුකම් නිසා කලකිරී හෝ අධෛර්යයට පත් වී සිටින ඕනෑම යමෙකු සහතිකවම, “මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි, මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය” යන දාවිත් පැවසූ දෙයට අනුකූල විය හැක. යෙහෝවඃවහන්සේට කන්නලව් කරමින් දාවිත් මෙසේද කීය: “මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව.” එහෙත්, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට තමා තුළ වූ ආශාව සොරා ගැනීමට ඔහු අධෛර්යයට කිසිවිටෙකත් ඉඩ හැරියේ නැත. “ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.” පැහැදිලිවම දාවිත්, “දූවිලි” වූයේය, නමුත් යෙහෝවඃවහන්සේ ඔහුගෙන් ඉවතට ගියේ නැත, මන්ද “බිඳුණාවූ තැළුණාවූ සිතක් [හෘදයක්, NW]” නීචකොට නොතැකීමට යෙහෝවඃවහන්සේ දුන් පොරොන්දුව කෙරෙහි දාවිත් තම ඇදහිල්ල ක්‍රියාවට නැංවූයේය.—ගීතාවලිය 38:1-9; 51:3, 9, 11, 17.
13, 14. (අ) අප මිනිසුන් අනුගමනය කරන්නන් නොවිය යුත්තේ මන්ද? (ආ) පාවුල් සහ පේතෘස් පවා දූවිලිවලින් සාදා තිබූ බව ඔවුන් සම්බන්ධ උදාහරණවලින් පෙන්වන්නේ කෙසේද?
13 කෙසේවුවද, “අප ඉදිරියේ තබා තිබෙන ධාවනය විඳදරාගැනීමෙන් යුතුව දිවීමට” මෙම “මෙපමණ මහත් සාක්ෂිකාර සේනාව” අපට දිරිගැන්වීමක් ලෙස අප විසින් දැකිය යුතු නමුදු, ඔවුන්ගේ අනුගාමිකයන් වන මෙන් අපට පවසා නැති බව සටහන් කර ගන්න. අපට පවසා ඇත්තේ, අසම්පූර්ණ මිනිසුන් නොව, පළමු සියවසේ විසූ ඇදහිලිවන්ත ප්‍රේරිතයන් පවා නොව, නමුත් “ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේගේ” අඩිපාරේ ගමන් කරන ලෙසය.—හෙබ්‍රෙව් 12:1, NW, හෙබ්‍රෙ 12:2; 1 පේතෘස් 2:21.
14 ක්‍රිස්තියානි සභාවේ කණු වූ ප්‍රේරිත පාවුල් සහ පේතෘස්, ඇතැම් අවස්ථාවලදී පැකිළුණෝය: “මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි,” යයි පාවුල් ලීවේය. “අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය!” (රෝම 7:19, 24) එමෙන්ම පේතෘස් තමාගැනම ඕනෑවට වඩා විශ්වාසය තබා සිටි මොහොතක යේසුස්වහන්සේට මෙසේ කීවේය: “සියල්ලන්ම ඔබ ගැන බාධාවෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමි.” තමාව තුන් වතාවක් නාඳුනන බව කියන බවට යේසුස්වහන්සේ පේතෘස්ට අනතුරු ඇඟවූ විට, අහංකාර ලෙස පාරට්ටු කරගනිමින්, තම ස්වාමියා පැවසූ දෙයට විරුද්ධව මෙසේ කීවේය: “ඔබ සමඟ නසින්ට පවා මට සිද්ධවුණත්-ඔබ නාඳුනමියි කියන්නේ නැත.” එහෙත්, යේසුස්වහන්සේ නාඳුනන බව ඔහු පැවසුවේය, එසේ කීම ඔහුට බලවත් දුකින් හැඬීමට හේතුකරවූ වරදක් විය. එසේය, පාවුල් සහ පේතෘස් දූවිල්ලෙන් සෑදූ අය වූහ.—මතෙව් 26:33-35.
15. අප දූවිලිවලින් සාදා තිබුණද, ඉදිරියට යෑම සඳහා අපට තිබෙන අනුබලය කුමක්ද?
15 කෙසේ වුවත්, තම දුර්වලකම් අභිබවා, මෝසෙස්, දාවිත්, පාවුල්, පේතෘස් සහ එවැනි වෙනත් අය ජයග්‍රාහකයෝ බවට පත්වූහ. මන්ද? ඔවුහු යෙහෝවඃවහන්සේ කෙරෙහි දැඩි ඇදහිල්ලක් ක්‍රියාවට නැංවූහ, සම්පූර්ණයෙන්ම උන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබූහ, එමෙන්ම බාධා හැලහැප්පීම් අභිබවා උන්වහන්සේට සමීපව ඇලී සිටියහ. “සාමාන්‍යය ඉක්මවූ බලය” සපයන බවට ඔවුහු උන්වහන්සේ මත රඳා සිටියහ. තවද, ඔවුන්ව සුවකළ නොහැකි වන සේ වැටෙන්නට ඉඩ නොදී යෙහෝවඃවහන්සේ ඔවුන්ට එම බලය සැපයූසේක. අප ඇදහිල්ල ක්‍රියාවට නංවමින් සිටිනවා නම්, අප සම්බන්ධයෙන් විනිශ්චය ප්‍රකාශ කරන කල, එය මෙම වචන සමඟ අනුකූල වන බවට අපට සහතික විය හැක: “නුඹලාගේ වැඩයද . . . දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.” අප දූවිල්ලෙන් සාදා තිබේය යන කාරණය අභිබවා ඉදිරියට යෑමට අපට එය මොනතරම් අනුබලයක්ද!—2 කොරින්ති 4:7; හෙබ්‍රෙව් 6:10.
දූවිල්ලෙන් සාදා තිබේය යන කාරණය පුද්ගලයන් වශයෙන් අප සඳහා අදහස් කරන්නේ කුමක්ද?
16, 17. විනිශ්චය කිරීම සම්බන්ධව ගත් කල, යෙහෝවඃවහන්සේ ගලාති 6:4හි සඳහන් ප්‍රතිපත්තිය අදාළ කරන්නේ කෙසේද?
16 බොහෝ දෙමාපියන්ට හා ගුරුවරුන්ට අද්දැකීම්වලින් උගන්වා ඇති දෙයක් නම්, දරුවන්ව හෝ ශිෂ්‍යයන්ව විනිශ්චය කිරීමේදී, ඔවුන් පවුලේ වෙනත් දරුවන් සමඟ හෝ පංතියේ වෙනත් ළමුන් සමඟ සැසඳීමෙන් නොව, ඔවුන්ගේ පෞද්ගලික හැකියාවන් අනුව විනිශ්චය කිරීම ප්‍රඥාවන්ත දෙයක් බවය. මෙය, අනුගමනය කරන ලෙස ක්‍රිස්තියානීන්ට පවසනු ලැබ ඇති බයිබල් ප්‍රතිපත්තියක් සමඟ එකඟය, එනම්: “එක් එක් තැනැත්තා තමාගේම වැඩය කුමක්ද කියා ඔප්පු කරාවා, එවිට වෙන පුද්ගලයෙකු සමඟ සැසඳීමෙන් නොව තමා සම්බන්ධයෙන් පමණක් ප්‍රීතිවීම සඳහා හේතුවක් ඔහුට තිබෙනවා ඇත.”—ගලාති 6:4, NW.
17 මෙම ප්‍රතිපත්තියට අනුකූලව, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයා සමඟ, සංවිධානයවූ කණ්ඩායමක් හැටියට කටයුතු කළද, උන්වහන්සේ ඔවුන් විනිශ්චය කරන්නේ පුද්ගලයන් වශයෙනි. රෝම 14:12 මෙසේ කියයි: “අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන් දෙනවා ඇත.” ස්වකීය සෑම සේවකයෙකුගේම ජාන සැකැස්ම උන්වහන්සේ හොඳින් දන්නාසේක. ඔවුන්ගේ භෞතික හා මානසික සැකැස්මද, ඔවුන්ගේ හැකියාවන්ද, ඔවුන්ට උරුම වී ඇති ශක්තීන් හා දුර්වලකම්ද, ඔවුන්ට කළ හැකි දේවල්ද, එමෙන්ම ක්‍රිස්තියානි ඵල නිපදවීම සඳහා ඔවුන් මෙම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා තරමද උන්වහන්සේ දන්නාසේක. දේවමාළිගා භාණ්ඩාගාරයට කුඩා කාසි දෙකක් දැමූ වැන්දඹුව ගැන යේසුස්වහන්සේ කී දේද, සරු පසේ වැපිරූ බීජ පිළිබඳව උන්වහන්සේ පැවසූ උපමාවද, අඥාන ලෙස තමන්වම අන්‍යයන් සමඟ සන්සන්දනය කිරීම නිසා කලකිරී සිටින බවක් හැඟෙන ක්‍රිස්තියානීන්ට දිරිගැන්වෙන උදාහරණයන්ය.—මාර්ක් 4:20; 12:42-44.
18. (අ) අපටම පෞද්ගලික වශයෙන් දූවිලි වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි යන්න අප විසින් නිර්ණය කළ යුත්තේ මන්ද? (ආ) අවංක ආත්ම සෝදිසියක් කිරීම අප බලාපොරොත්තු විරහිතභාවයට පත් නොකළ යුත්තේ මන්ද?
18 අපගේම පෞද්ගලික තත්ත්වය තුළ, දූවිලි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අප විසින් නිර්ණය කිරීම අතිවැදගත්ය, මන්දයත්, එවිට අපගේ හැකියාවන්ගේ උපරිමයෙන් සේවය කිරීමට අපට හැකිවෙයි. (හිතෝපදේශ 10:4; 12:24; 18:9; රෝම 12:1) දියුණු වීමට තිබෙන අවශ්‍යතාව සහ අවස්ථා සම්බන්ධයෙන් අපට සාවධානව සිටීමට හැක්කේ අපගේම පෞද්ගලික අඩුලුහුඬුකම් සහ දුර්වලකම් පිළිබඳව ඉතා තියුණු ලෙස අවබෝධයෙන් සිටියහොත් පමණි. අප අපවම සෝදිසි කර ගැනීමේදී, දියුණු වීමට අපට උපකාර කරනුවස් ශුද්ධාත්මයේ බලය අපි කිසිවිටෙකත් නොසලකා නොහරිමු. විශ්වය මවනු ලැබුවේත්, බයිබලය ලියනු ලැබුවේත්, එමෙන්ම මියයමින් තිබෙන ලෝකයක් තුළ නව ලෝක සමාජයක් පවත්වා ගෙන තිබෙන්නේත්, එමගින්ය. මෙබැවින්, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය වනාහි එය ඉල්ලන අයට අඛණ්ඩතාව පවත්වාගැනීම සඳහා අවශ්‍ය ප්‍රඥාව සහ ශක්තිය ලබා දීමට තරම් ප්‍රබල බලයක් බව සහතිකය.—මීකා 3:8; රෝම 15:13; එපීස 3:16.
19. අප දූවිල්ලෙන් සාදා තිබීම නිදහසට කරුණක් නොවිය යුත්තේ කුමක් සම්බන්ධවද?
19 අප දූවිලි බව යෙහෝවඃවහන්සේ සිහිකරනවා යයි දැනගැනීම කොතරම් සැනසිලිදායකද! කෙසේවෙතත්, ඒ නිසා ඕනෑවට එපාවට දේවල් කළාට හෝ සමහරවිට වැරදි කළාට කමක් නැත කියා අප කිසිවිටෙකත් තර්ක නොකළ යුතුය. නැත, කිසිසේත් නැත! අප දූවිලි බව යෙහෝවඃවහන්සේ සිහිකරන්නේ එය උන්වහන්සේගෙන් ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ විදහාපෑමක් වශයෙනි. එහෙත්, “අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව [ලබන්ට නොවටිනා තරම්වූ කරුණාව, NW] සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන්” වීමට අපට වුවමනා නැත. (යූද් 4) දූවිලිවලින් සෑදී තිබීම අදේව මිනිසුන්වීම සඳහා නිදහසට කාරණයක් නොවේ. ක්‍රිස්තියානියෙක් වැරදි ප්රවණතාවන්ට එරෙහිව සටන් වදින අතර, තම ශරීරය දමනය කර එය වහලෙකු සේ රැගෙන යමින්, ‘දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දීමෙන්’ වැළකී සිටී.—එපීස 4:30; 1 කොරින්ති 9:27.
20. (අ) “ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි බොහෝ දේවල් කිරීමට” අපට ඇත්තේ කිනම් පැති දෙක තුළද? (ආ) ඒකාන්ත වීම සඳහා අපට තිබෙන හේතු මොනවාද?
20 රාජ්‍යය දේශනා කිරීම සම්බන්ධයෙනුත්, එමෙන්ම දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල වඩාත් පූර්ණ ලෙස වර්ධනය කිරීම සම්බන්ධයෙනුත් ගත් කල, සාතන්ගේ දේවල පිළිවෙළේ මේ අවසාන අවුරුදු කාල පරිච්ඡේදය තුළදී, අපගේ වේගය අඩු කිරීමට කාලය නොවේ. මෙම පැති දෙකෙහිම, අපට ‘බොහෝ දේවල් කිරීමට තිබේ.’ අපගේ ‘මෙහෙය නිෂ්ඵල නොවන බව දන්නා’ බැවින්, ඉදිරියට යෑමට තිබෙන කාලය මේ දැන්ය. (1 කොරින්ති 15:58, NW) යෙහෝවඃවහන්සේ අපව උසුලනවා ඇත, මන්ද උන්වහන්සේ සම්බන්ධව දාවිත් පැවසුවේ මෙයයි: “උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට ඉඩ නොදෙනසේක.” (ගීතාවලිය 55:22) අප දූවිල්ලෙන් සාදා ඇති නමුදු, මෙතෙක් අසම්පූර්ණ මිනිස් මැවිලිවලට කිරීම සඳහා පවරා ඇති උදාරතම කර්තව්‍යයේ පෞද්ගලිකව හවුල්වීමට යෙහෝවඃවහන්සේ අපට ඉඩ දී තිබෙන බව දැනගැනීම කොතරම් ප්‍රීතියක්ද!
[පාදසටහන්වල]
a හෙර්ඩර්ස් බිබෙල්කොමොන්ටාර් නමැති බයිබල් විවරණය ගීතාවලිය 103:14 විවරණය කරමින් මෙසේ සටහන් කරයි: “තමන් මිනිසුන් භූමියේ දූවිල්ලෙන් මැවූ බව උන්වහන්සේ හොඳින් දන්නාසේක, තවද මුල් පාපයේ පටන් ඉතා තදින් ඔවුන්ට බලපා ඇති ඔවුන්ගේ දුර්වලකම්ද ඔවුන්ගේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයද උන්වහන්සේ දන්නාසේක.”—ඇල අකුරු අපගේය.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ මිනිසුන් දූවිල්ලෙන් සාදා තිබේ යයි යොමු දැක්වීමේදී, උත්පත්ති 2:7 සහ ගීතාවලිය 103:14 එකිනෙකට වෙනස් වන්නේ කෙසේද?
◻ හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදය අදදින ක්‍රිස්තියානීන් උදෙසා දිරිගැන්වීමේ උල්පතක් වන්නේ මන්ද?
◻ ගලාති 6:4හි සඳහන් ප්‍රතිපත්තිය අප විසින් අදාළ කර ගැනීම ඥානවන්ත වන්නේ මන්ද?
◻ හෙබ්‍රෙව් 6:10 සහ 1 කොරින්ති 15:58හි සඳහන් දෑ අධෛර්යයෙන් වැළකී සිටීමට උපකාරවත් වන්නේ කෙසේද?
[10වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානීහු සෙසු නමස්කාරකයන්ගේ ඇදහිල්ල අනුගමනය කරති, නමුත් ඔවුන් අනුගමනය කරන්නේ ඔවුන්ගේ ඇදහිල්ල සම්පූර්ණ කරන්නා වන යේසුස්වහන්සේය