පුරසාරම් දෙඩීමට එරෙහිව පරෙස්සම් වන්න
අදදින බොහෝ දෙනෙක් පුරසාරම් දෙඩීම සලකන්නේ යම් ගුණාත්මක දෙයක් හැටියටය. යමෙකුගේ ශක්තීන්, දක්ෂකම් සහ ඉටු කරගැනීම් ප්‍රදර්ශනය කිරීම මෝස්තරයක් වී තිබේ. පුරසාරම් දෙඩීම හෙවත් ආත්ම වර්ණනාව යමක් ඉටු කරගැනීමට අනිවාර්යයෙන් අවශ්‍යයයි ඇතැම්හු විශ්වාස කරති. එය යමෙකුගේ ආත්ම වටිනාකම ඉහළ නංවන්නේයයි තවත් කෙනෙකුට හැඟේ. ටයිම් සඟරාව මෙසේ නිරීක්ෂණය කළේය: “විනීතභාවය පිළිබඳ සංකල්පය, අභාවයට ගොස් තිබීම උගහට වුවත්, එය යල්පැන ගිය එකක් තරමට පෙනෙන්ට පටන් ගෙන තිබේ.” ජෝඩි ගේලින් නම් ලේඛිකාව මෙසේ තම අදහස් දක්වන්නීය: “අවාසනාවකට, ලජ්ජාවක් නැතිව පුරසාරම් දෙඩීම . . . නවීනතම මෝස්තරය වී තිබේ. මිත්‍රයෙකු හෝ හිතවතෙකු සමඟ කථා බහේ යෙදෙන විට තවත් දෙයක් ඊට එකතු වේ: එනම් ‘හොරණෑ පිඹීමය.’ ”
මේ සඳහා ප්‍රමිතිය තබා තිබෙන්නේ අන්‍යයන් විසින් ආදර්ශයක් කොට ගන්නා අයයි. හිටපු බොක්සිං ශූරයෙකුගේ මෙම වචන ඔබ අසා තිබෙන්නට පුළුවන: “ඉතිහාසයේ මේ කාලයේදී මා ලෝකයේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වී තිබෙන්නේ අහම්බෙන් නොවේ.” බීට්ල්ස් නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුගේ ප්රකාශනයද හොඳින් ප්‍රසිද්ධය: “දැන් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේට වඩා ප්‍රසිද්ධ වී සිටිමු.” එවැනි අදහස් අහිංසක ලෙස පවසා ඇතැයි යමෙකු විසින් සැලකුවත්, තවත් අය මේවා පැවසූ අය තමාව ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන්, අනුගමනය කිරීමට වටින අය ලෙස සලකති.
පුරසාරම් දෙඩීම හාත්පස පැතිර තිබීම නිසා ප්‍රශ්නයක් පැනනගී, එනම්, යමෙකුගේ සම්පත් හා හැකියාවන් ගැන පාරට්ටුකරගැනීම සුවදායක දෙයක්ද යන්නය. ඇත්ත වශයෙන්ම, යමෙකු ඉටු කරගෙන තිබෙන දේ ගැන ආඩම්බර වීම සහ තම කිට්ටු මිත්‍රයන් සහ නෑදෑයන් සමඟ මේවා බෙදා ගැනීම පවා ස්වාභාවිකය. එහෙත්, “ඔබට එය තිබෙනවා නම්, එය ප්‍රදර්ශනය කරන්න” යන කියමනට අනුව ජීවත් වන අය ගැන කුමක් කිව හැකිද? එපමණක්ද නොව, ප්‍රසිද්ධියේ පුරසාරම් දොඩවන්නේ නැති නමුත්, තමන්ගේ ශක්තීන් සහ ඉටු කරගැනීම් සියුම් අන්දමින් අන්‍යයන්ට දැනගැනීමට සලස්වන අය ගැන කුමක් කිව හැකිද? මෙසේ, තමාවම ප්‍රචාරය කිරීම සුවදායක දෙයක්ද, එමෙන්ම ඇතැම් අය කියන්නාක් මෙන් එය අනිවාර්ය දෙයක්ද?
සබඳතා මත ඇති වන බලපෑම
වෙනත් කෙනෙක් පුරසාරම් දොඩන විට ඔබ කෙරෙහි ඇති වන බලපෑම සලකා බලන්න. නිදසුනක් වශයෙන්, පහත සඳහන් ප්රකාශනවලට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
“මා ලියා නැති පොත්, මිනිසුන් ලියා ඇති පොත්වලට වඩා හොඳයි.”—සුප්‍රකට කතුවරයෙක්.
“මා මැවීමේදී සිටියා නම්, විශ්වය වඩාත් හොඳින් සකස් කිරීමට යම් ප්‍රයෝජනවත් අදහස් කිහිපයක් මට දෙන්නට තිබුණා.”—මධ්‍ය කාලීන යුගයේ රජෙක්.
“දෙවි කෙනෙක් සිටින්නට බැහැ, මන්ද, දෙවි කෙනෙකු සිටියා නම්, මම උන්වහන්සේ නොවන බව මම විශ්වාස කරන්නේ නැහැ.”—දහනවවෙනි සියවසේ දාර්ශනිකයෙක්.
මෙම පුද්ගලයන්ගේ මෙම අදහස් නිසා ඔබ ඔවුන් වෙතට ඇදී යන්නෙහිද? ඔවුන් සමඟ සතුටින් ඔබට ඇසුරු කරන්නට ලැබෙයි කියා ඔබ සිතනවාද? පෙනෙන විදිහට නැත. සාමාන්‍යයෙන්, ඉතා උනන්දුවෙන් කළත්, විහිළුවට කළත්, පුරසාරම් දෙඩීම අන්‍යයන් තුළ නොරිස්සුම් ගතියක්, කෝපයක්, සමහරවිට ඊර්ෂ්‍යාවක් ඇතිවීමට සලස්වයි. මේ නිසා ගීතිකාකාර ආසප්ට ඇතිවූ බලපෑම එයයි, ඔහු මෙසේ අවංකව පිළිගත්තේය: “මම පුරසාරම් දොඩන්නන් කෙරෙහි ඊර්ෂ්‍යාසහගත වුණෙමි.” (ගීතාවලිය 73:3, NW) ස්ථිර වශයෙන්ම, අපගේ මිත්‍රයන්ගේ සහ අප ඇසුරු කරන අය තුළ නරක හැඟීම් ඇතිකරලීමේ හේතුකාරකය අප වීමට අපගෙන් කිසිවෙකුට වුවමනා නොවේ! පළමුවෙනි කොරින්ති 13:4 මෙසේ ප්‍රකාශ කරයි: “ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත.” දේව භක්තික ප්‍රේමය සහ අන්‍යයන්ගේ හැඟීම්වලට සංවේදීව සිටීම, අපට තිබෙනවා යයි සිතා සිටින දක්ෂකම් හා සම්පත් ගැන පුරාජේරු ගැසීමෙන් වැලකී සිටීමට අපව පොලඹනවා ඇත.
යම් පුද්ගලයෙක් තමාවම පාලනය කරගෙන විනීත ලෙස කථා කරයි නම්, ඔහු තමා අවට සිටින්නන් තුළ පහසු බවක්ද ඔවුන් ගැනම හොඳක්ද හැඟෙන්නට සලස්වයි. මෙය වනාහි මිල කළ නොහැකි හැකියාවකි. සමහරවිට බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ චෙස්ටර්ෆීල්ඩ් සාමි තම පුතාට අවවාද කරන විට මෙය ඔහුගේ මනසේ තිබුණා විය හැකියි, එනම්: “ඔබට හැකි නම්, අනෙක් අයට වඩා ඥානවන්ත වන්න; නමුත් ඔවුන්ට ඒ බව නොකියන්න.”
මිනිසුන්ට එකම දීමනා ලැබී නැත. පුද්ගලයෙකුට සාපේක්ෂ වශයෙන් පහසු වී තිබෙන හැකියාව හුදෙක් තවත් පුද්ගලයෙකුගේ ශක්තිය නොවේ. තමාට හැකියාවන් තිබෙන පැතිවලින් දීමනා ලැබ නැති අය සමඟ දයානුකම්පිතව කටයුතු කිරීමට යම් පුද්ගලයෙකු පොලඹවන්නේ ප්‍රේමයයි. පෙනෙන විදිහට, අනෙක් පුද්ගලයාට වෙනත් ක්ෂේත්රවල දීමනා තිබෙන්නට පුළුවන. ප්‍රේරිත පාවුල් අපට මෙසේ කීවේය: “ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත්, දෙවියන්වහන්සේ එකිනෙකාට ප්රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත්, මට දී ඇති දේව වරප්‍රසාදය [ලබන්ට නොවටිනා තරම්වූ කරුණාව, NW] අනුව ඔබ එකිනෙකාට කියමි.”—රෝම 12:3, නව අනුවාදය.
පුරසාරම් දෙඩීම නික්මෙන්නේ දුර්වලකමෙන්ය
ඇතැම් අය පාරට්ටුකරගන්නන් අසල සිටින විට තමන් පහත් අය කියා ඔවුන්ට හැඟෙන නිසා ඔවුන් වෙතින් ඈත්ව ගියත්, තවත් අය ප්‍රතික්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටය. පුරසාරම් දොඩන්නන් සුරක්ෂිත නොවන ගතියක් තිබෙන බව ඔවුහු නිගමනය කරති. තමාගේම හොරණෑව පිඹින්නා, අනෙක් අතට අන්‍යයන්ගේ ඇස් හමුවේ බලාපොරොත්තු වන පරිදි නොව ඊට විරුද්ධව තමාගේම තත්ත්වය පහත් කර ගැනීමට හේතුව ෆ්රැන්ක් ට්රිපට් නමැති ලේඛකයා මෙසේ විස්තර කරයි: “පුරසාරම් දෙඩීම සාමාන්‍යයෙන් දුක්ඛදායක පෞද්ගලික දුර්වලකමක සංඥාවක් බව සෑම කෙනෙක්ම හොඳින් දනී.” බොහෝ දෙනෙක්, පුරසාරම් දොඩන්නාගේ වෙස්මුහුණ තුළින් හොඳින් පෙනෙන නිසා, කටකාර අන්දමින් තමාටම ප්‍රශංසා කර ගැනීමෙන් වැලකීම ඥානවන්ත නොවේද?
“නමුත් කියන දේ ඇත්තයි!”
ඇතැම් අය, තමන්වම ගෞරවයට පත්කරගැනීම හරි දෙයක් කරන්නට උත්සාහ කරන්නේ මේ අන්දමටය. තමන්ට එක්තරා දීමනා ස්ථිර වශයෙන්ම ලැබී ඇති හෙයින්, එසේ නැතැයි ඇඟවීම කුහකකමක් යයි කියා ඔවුන්ට හැඟේ.
එහෙත්, ඔවුන්ගේ පුරසාරම් දෙඩීම සැබෑද? තමාවම වර්ණනා කරගැනීම පදනම් වී ඇත්තේ තමන්ගේම පෞද්ගලික මත සහ හැඟීම් උඩය. අප තුළ තිබෙන කැපී පෙනෙන ශක්තියක් යයි අපම වටහා ගන්නා දෙය අන්‍යයන්ට සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්ට පුළුවන. තමාගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට තමාට පෙලඹීමක් ඇතැයි පුද්ගලයෙකුට හැඟෙන බවට වූ කාරණය, ඔහුට කොහෙත්ම ශක්තියක් නැත—එනම්, ප්‍රචාරය කිරීමක් නැතුව තමාගේම ශක්තියෙන් සිටගැනීමට ඔහුට ශක්තියක් නැත යන අදහසද අඟවයි. “තමා කෙළින් සිටින්නේ යයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලා ගනීවා” කියා බයිබලය අවවාද කරන විට, තමන්වම රවටාගැනීමට මිනිසාට තිබෙන ප්‍රවණතාව ඉන් පිළිගනී.—1 කොරින්ති 10:12.
පුද්ගලයෙක් අසාමාන්‍ය අන්දමින් යම් විශේෂ ක්ෂේත්රයකින් සමර්ථව සිටියත්, මෙය පුරසාරම් දෙඩීමට යුක්තිසහගත හේතුවක්ද? නැත, පුරසාරම් දෙඩවීම ගෞරවයට පත්කරවන්නේ මිනිසුන්ය, එහෙත් අපට ලැබී තිබෙන සමර්ථකම් ලැබී තිබෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය. ගෞරවය ලැබිය යුත්තේ උන් වහන්සේය. අපට උපතින් ලැබී තිබෙන දෙයක් සම්බන්ධයෙන් අප ප්‍රශංසා ලැබිය යුත්තේ මන්ද? (1 කොරින්ති 4:7) මීට අමතරව, අපට ශක්තීන් තිබෙනවාක් මෙන්ම, අපට දුර්වලකම්ද තිබේ. අවංකකම කියන්නේ අප අපගේම වැරදි සහ දෝෂවලට අප අවධානය යොමු කරන බවද? පුරසාරම් දොඩන්නන් එසේ කරනවා යයි සිතීම උගහටය. පළමුවෙනි හෙරොද් අග්‍රිපා රජු සැබවින්ම දක්ෂ කථිකයෙකු විය හැක. එහෙත් විනීතකම සම්බන්ධව ඔහුගේ ඌනතාව ඉතා අප්‍රසන්න මරණයකට තුඩු දුන්නේය. බොහෝ මිනිසුන්ට මෙන්ම දෙවියන්වහන්සේටද අහංකාරකම කොතරම් පිළිකුල්සහගත දෙයක්ද කියා එම අශෝභන සිද්ධියෙන් පිළිබිඹු වේ.—ක්‍රියා 12:21-23.
සමර්ථකම් සහ ශක්තීන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙන්නේ අනවශ්‍ය ස්වයං-ප්‍රචාරයකින් තොරවය. යමෙකුගේ ගුණාංග හෝ ඉටුකරගැනීම් අනෙක් අය විසින් හඳුනාගෙන වර්ණනා කරන විට, එය ලබන්නා කෙරෙහි වඩාත් අනුග්‍රහයක් පිළිබිඹු කරයි. හිතෝපදේශ 27:2 ඥානවන්ත ලෙස පවසන්නේ මෙසේය: “නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසා කෙරේවා.”
යමක් ඉටු කරගැනීමට අවශ්‍ය දෙයක්ද?
අදදින තරඟකාරි සමාජයේ යමක් ඉටු කරගැනීම පිණිස ආත්ම විශ්වාසයකින් යුතුව තමාවම උසස් කර ගැනීම අනිවාර්ය දෙයක් බව ඇතැමුන්ට හැඟේ. තමන්ගේ ශක්තීන් ගැන කථා කර ඒවා ප්‍රචාරය කරන්නේ නැත්නම්, තමන් නොසලකා හරිනු ලැබේය කියාත්, අගය නොකරනු ඇතැයි කියාත් ඔවුහු කනස්සලු වෙති. මේ පිළිබඳව ඔවුන්ගේ සැලකිල්ල, වෝග් සඟරාවේ මෙම අදහසෙන් නියෝජනය වෙයි: “විනීතකම යන්න ගුණයක් යයි කලෙක අපට උගන්වනු ලැබිණි. දැන් අප ඉගෙන ගනිමින් සිටින්නේ, වැඩියෙන් කථා නොකර සිටීම බාධාවක් විය හැකි බවයි.”
මෙම ලෝකයේ ප්‍රමිති මගින් ප්‍රගතිය ඇති කිරීමට කැමති අය සම්බන්ධයෙන් බැලූ කල, ඔවුන් මේ කෙරෙහි දක්වන සැලකිල්ල වලංගු යමක් වන්නට පුළුවන. එහෙත්, ක්‍රිස්තියානියෙකුගේ තත්ත්වය ඊට වඩා වෙනස්ය. දෙවියන්වහන්සේ තමා කෙරෙහි සැලකිල්ල දක්වන බවත් උඩඟු නොව නමුත් නිහතමානි අයගේ හැකියාවන් යොදා ගැනීමට උන්වහන්සේ තෝරාගන්නා බවත් ඔහු දනී. එමනිසා, ආත්මාර්ථකාමී උපක්‍රම යොදා ගැනීමට ක්‍රිස්තියානියෙකුට අවශ්‍ය නැත. ඕනෑවට වඩා ආත්ම විශ්වාසයෙන් යුක්තව සිටින පුද්ගලයෙක්, බලපෑම් කිරීමෙන් හෝ යම් කාරණා වාසියට මෙහෙයවීමෙන් යම් තාවකාලික නම්බු නාමයක් ලබාගන්නට පුළුවන. එහෙත්, නියමිත කාලයේදී ඔහුගේ වෙස්මුහුණ ගැලවී, ඔහු පහත් තත්ත්වයට පත්වේ, නින්දාසහගත තත්ත්වයට පත්වෙන්නටද පුළුවන. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසූවාක් මෙනි: “තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.”—මතෙව් 23:12; හිතෝපදේශ 8:13; ලූක් 9:48.
විනීතකමේ වාසි
රැල්ෆ් වොල්ඩෝ එමර්සන් මෙසේ ලීවේය: “මට හමුවන සෑම මිනිසෙක්ම යම් ආකාරයකින් මට වඩා උසස්ය, ඉන් අදහස් කරන්නේ, මම ඔහු පිළිබඳව යමක් ඉගෙන ගන්නෙමි.” ඔහුගේ මෙම අදහස, ප්‍රේරිත පාවුල්ගේ දිව්‍යානුභාවය ලත් උපදෙස වන, “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා” යන අවවාදය සමඟ එකඟය. (පිලිප්පි 2:3) මෙම විනීත දෘෂ්ටිකෝණය, යමෙකුව අන්‍යයන්ගෙන් ඉගෙන ගත හැකි තත්ත්වයක තබයි.
එබැවින්, ඔබගේ ශක්තිය ඔබගේ දුර්වලකමක් නොවන ලෙසට වගබලා ගන්න. පුරසාරම් දෙඩීම මගින් ඔබගේ හැකියාවන් සහ ඉටුකරගැනීම් බාධාවට පත්කර නොගන්න. ඔබගේ ගුණාංගවලට විනීතකමේ ගුණාංගය එකතු කරගන්න. පුද්ගලයෙකුගේ වටිනාකම අන්‍යයන්ගේ ඇස් හමුවේ සැබෑවටම නංවාලන්නේ මෙයයි. එය, සෙසු මිනිසුන් සමඟ වඩාත් හොඳ සම්බන්ධතා භුක්ති විඳීමට යමෙකුට ඉවහල් වන අතර, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ අනුමැතියද ගෙන එයි.—මීකා 6:8, NW; 2 කොරින්ති 10:18.