අපගේ උත්තරීතර ගුරුවරයාණන්ගෙන් ඔබ ඉගෙන ගනිමින් සිටින්නෙහිද?
“මා වසර පහක් පුරා නීතිය ඉගෙන ගත්තේ ස්පාඤ්ඤයේ හොඳම විශ්වවිද්‍යාලයක. නමුත් මා බයිබලය පාඩම් කිරීමට පටන් ගන්නා විට මා ඉගෙන ගත් දෙය ඊට වඩා බොහෝ සෙයින් උසස්. විශ්වවිද්‍යාලය මට ඉගැන්වූයේ පාඩම් කරන ආකාරයයි; නමුත් බයිබලය මට ඉගැන්වූයේ ජීවත් වන ආකාරයයි” යනුවෙන් චූල්යෝ පැවසීය.
බයිබලය තුළින් අපට, දෙවියන්වහන්සේගේ සිතිවිලි, උන්වහන්සේගේ ප්‍රතිපත්ති, උන්වහන්සේගේ උපදෙස් ලබා ගත හැකිව තිබේ. යෙහෝවඃවහන්සේ වූ කලි, “උත්තරීතර ගුරුවරයා” ලෙස ශුද්ධලියවිලි විස්තර කරන්නේ මන්දයත් උන්වහන්සේ විශ්වයේ හොඳම ගුරුවරයාණන් හෙයිනි. (යෙසායා 30:20, NW) පදගතාර්ථයෙන් ගත් කල, හෙබ්‍රෙව් පාඨයේ උන්වහන්සේ හඳුන්වන්නේ, “ගුරුවරයෝ” වශයෙනි, එනම් මහානුභාවසම්පන්න බව අඟවන බහුවචනයකිනි. යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීම, වෙන මොනයම් ගුරුවරයෙකු යටතේ හෝ ඉගෙන ගන්නවාට වඩා අතිශයින් උසස්බව මෙය අපට සිහිගැන්විය යුතුය.
යෙහෝවඃවහන්සේ වෙතින් පැමිණෙන ප්‍රායෝගික ප්‍රඥාව
දිව්‍ය ඉගැන්වීම මෙතරම් ප්‍රයෝජනවත් වන්නේ මන්ද? සියල්ලටම වඩා, එහි අඩංගු මිලකළ නොහැකි අන්තර්ගතය නිසාය. යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම අපට “ප්‍රායෝගික ප්‍රඥාව” ලබා දෙයි. එපමණක්ද නොව, දෙවියන්වහන්සේ දානය කරන ප්‍රඥාව ක්‍රියාවට නංවන අයගේ “ජීවිතද ආරක්ෂාකරන්නේය.”—හිතෝපදේශ 3:21, 22; දේශනාකාරයා 7:12.
සිය ජීවිතය පුරා යෙහෝවඃවහන්සේගේ ප්‍රඥාව තමාව රැකගත් බව 119වෙනි ගීතිකාවේ ගීත රචකයා වටහාගති. නිදසුනක් වශයෙන්, ඔහු මෙසේ ගායනා කළේය: “රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය. ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපත්තියේදී මා විනාශවෙන්ට තිබුණේය. ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර [සදාකල්හිම, NW] මා සමගය. මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා [සිහිගැන්වීම්, NW] ගැනය.”—ගීතාවලිය 119:72, 92, 98, 99.
යෙහෝවඃවහන්සේගේ නීති නොතිබුණා නම්, ‘විපත්තියේදී විනාශවෙන්ට තිබුණේ’ ගීතිකාකරු පමණක් නොවේ. ස්පාඤ්ඤයේ තරුණ කතක් වන රෝසා ඒත්තු ගෙන සිටින්නේ, ඇගේ ජීවිතය බේරුණේ ඈ දිව්‍ය ප්‍රතිපත්ති අදාළ කර ගත් නිසා බවයි. “වයස අවුරුදු 26 වන විට, මා දෙවතාවක්ම සිය දිවි නසා ගැනීමට උත්සාහ කර තිබුණා,” යනුවෙන් ඈ මතක් කරන්නීය.
රෝසා ගණිකා වෘත්තියේද, මත්පැන් සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේද නියැලී සිට තිබුණාය. ඈ මෙසේ පවසන්නීය: “එක් දිනක් මා ඉතා බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත්ව සිටින විට, එක් සාක්ෂිකාර යුවළක්, අපගේ ගැටලු විසඳාගැනීමට බයිබලය අපට උපකාරවත් වන ආකාරය ගැන මා සමඟ කථා කළා. මා දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට පටන් ගත්තා, මෙය මට මහත් සිත්ගන්නාසුලු දෙයක් වුණා. මාසයක් ඇතුළතදී, පිරිසිදු, නැවුම් ජීවිතයක් ආරම්භ කිරීමට මට ශක්තිය තිබුණා. දැන් මට ජීවිතයේ අරමුණක් තිබූ නිසා, මත්පැන් හෝ මත්ද්‍රව්‍යවල ආධාරය තවදුරටත් මට අවශ්‍ය වූයේ නැහැ. එමෙන්ම යෙහෝවඃවහන්සේගේ මිතුරියක් වීමට මට බොහෝ සෙයින් වුවමනා වූ නිසා, උන්වහන්සේගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට මා අධිෂ්ඨාන කරගත්තා. දෙවියන්වහන්සේගේ වචනයේ ප්‍රායෝගික ප්‍රඥාව නොලැබුණා නම්, මා දැනටමත් මගේ ජීවිතය අවසන් කරගෙන තිබෙන බව මට සහතිකයි.”
ඇත්තෙන්ම, යෙහෝවඃවහන්සේ වෙතින් පැමිණෙන ප්‍රඥාව ජීවිත ගළවන්නේය. එබැවින්, දිව්‍ය ඉගැන්වීම්වල මිලකළ නොහැකි අන්තර්ගතයෙන් පමණක් නොව, නමුත් යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ට උගන්වන ක්‍රමවලින්ද අපට ප්‍රයෝජන ගත හැකිය. දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගුරුවරුන් සහ ගෝලයන් සාදන්නන් වීමට අපට අණ කළ නිසා, උපදෙස් දානය කිරීමේ වඩාත්ම බලපෑමෙන් යුත් ක්‍රම ඉගෙන ගැනීමට අපට වුවමනාය.—මතෙව් 28:19, 20.
යෙහෝවඃවහන්සේගේ උපහැරණ භාවිතය
“උපමාවක් නැතුව [යේසුස්වහන්සේ] ඔවුන්ට කථානොකළසේක” කියා මාර්ක්ගේ සුවිශේෂය අපට කියයි. (මාර්ක් 4:34) යේසුස්වහන්සේගේ ඉගැන්වීමේ මෙම කැපී පෙනෙන අංගය පුදුමයක් වෙන්නට දෙයක් නොවේ. ඉශ්රායෙල් ජාතියට යෙහෝවඃවහන්සේගේ අනාවැකිමය පණිවුඩ දැනුම් දෙනු ලැබූ ආකාරවලින් එකක් උන්වහන්සේ විසින් හුදෙක් අනුකරණය කළා පමණි. චමත්කාරජනක උපහැරණ ගණනාවක් මේවායේ අඩංගු වෙයි.—යෙසායා 5:1-7; යෙරෙමියා 18:1-11; එසකියෙල් 15:2-7; හොෂෙයා 11:1-4.
නිදසුනක් වශයෙන්, පිළිම නිෂ්ඵල බව අපට ඉගැන්වීමට යෙහෝවඃවහන්සේ විසින් ප්‍රබල උපහැරණයක් යොදා ගන්නා ආකාරය සැලකිල්ලට ගන්න. යෙසායා 44:14-17හි මෙසේ ප්‍රකාශ කරයි: “ඔහු කිහිරි ගස් කපාගන්නේය, ඔහු තිර්සා ගහක්ද ආලෝන ගහක්ද රැගෙන . . . ඔහු දේවදාර ගහක් හිටවයි, . . . එවිට ඒක ගිනිදැල්වීම පිණිස මනුෂ්‍යයෙකුට ලැබේ; ඔහු එයින් රැගෙන ගිනිතපින්නේය; එසේය, එය පත්තුකොට රොටිද පුලුස්සන්නේය. එයින් ඔහු දෙවිකෙනෙකුත් සාදා නමස්කාරකරන්නේය. එයින් රූපයක්ද තනා ඊට වැඳවැටෙන්නේය. ඔහු එයින් කොටසක් ගින්නෙන් දවන්නේය. කොටසකින් මස් පිස කන්නේය, ඔහු කෑම පුලුස්සා කා තෘප්තියට පැමිණෙන්නේය. . . . ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.” පිළිම වන්දනාව සහ බොරු මූලධර්ම ප්‍රතික්ෂේප කිරීමට අවංක සිත් ඇති අයට උපකාර කිරීම සඳහා මෙවැනි උපහැරණ ප්‍රබල මෙවලම්ය.
හෘදය විමසන ප්‍රශ්න
සිතිවිලි කලතන ප්‍රශ්න මගින්, යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ගේ ඇතැම් සිතිවිලි සකස් කළ අන්දම පිළිබඳ උදාහරණද බයිබලයේ අඩංගු වේ. කුලදෙටු යෝබ් මේ අයගෙන් කෙනෙකු විය. දෙවියන්වහන්සේට සාපේක්ෂව තමාගේ සුළුකම තක්සේරු කර බැලීමට යෙහෝවඃවහන්සේ ඉවසීමෙන් යුතුව ඔහුට උපකාර කළසේක. ප්‍රශ්න මාලාවක් මගින් මෙය කරනු ලැබූ අතර, යෝබ් මේවාට පිළිතුරු දීමට බෙහෙවින් නුසුදුස්සෙකු විය.
“මා පොළොව පිහිටෙවූ කල නුඹ කොතැන සිටියෙහිද?” යයි යෙහෝවඃවහන්සේ යෝබ්ගෙන් ඇසූසේක. “මුහුද . . . දොරවලින් වසා තැබුවෙත් කවුද? . . . හත්දින්නේ තරුවැළ බඳින්ට නුඹට පුළුවන්ද? නොහොත් මුවසිරසේ බැඳුම් මුදන්ට පුළුවන්ද? . . . [සැබෑ, NW] දෙවියන්වහන්සේට වාගේ හස්තයක් නුඹට තිබේද?” යටහත් පහත් කරවන මෙම ප්‍රශ්න මාලාවට ඉතා වැදගත් මෙම ප්‍රශ්නයද ඇතුළත් විණි: “නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට [යෙහෝවඃවහන්සේට] වරද තබන්නෙහිද?”—යෝබ් 38:4, 8, 31; 40:8, 9.
තමා අවබෝධයකින් තොරව කථා කළ බව වටහා ගැනීමට මෙම විමර්ශනකාරී ප්‍රශ්න මගින් යෝබ්හට සලස්වන ලදි. මෙබැවින්, වරද පිළිගත් ඔහු ඒ ගැන පසුතැවිලි විය. (යෝබ් 42:6) අපගේ දරුවන්ගේ හෝ බයිබල් ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ඇති වන නිවැරදි නොවන සිතිවිලි හරිගැස්සවීමට මේ සිද්ධියේදී වැනි හොඳින් තෝරාගත් ප්‍රශ්න උපකාරවත් විය හැකිය.
නිසැකකම ගොඩනැංවීම
තමා නොවටින්නේයයි හෝ අදක්ෂ යයි හැඟෙන යමෙකුට උපකාර කිරීමට අපට අවශ්‍ය වේ නම් කුමක්ද? මේ සම්බන්ධයෙන් උපකාරවත් වන දෙයක් නම්, යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘ මෝසෙස් අතර ඇතිවූ සංවාදයක්ය. ඵාරාවෝ සහ ඉශ්‍රායෙලිතයන් ඉදිරියේ තමන්වහන්සේ වෙනුවෙන් කථා කිරීමට දෙවියන්වහන්සේ මෝසෙස්ව පත් කළ විට, තමා මෙම කර්තව්‍ය හැසිරවීමට අදක්ෂයෙකු යයි අනාගතවක්තෘවරයාට හැඟිණි. “මම . . . කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මි” යයි ඔහු පැවසීය. කෙසේවෙතත්, දෙවියන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක: “මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? . . . ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වන මම නොවේද? එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමි.”—නික්මයාම 4:10-12.
යෙහෝවඃවහන්සේ, මෝසෙස්ගේ සහෝදරයා වූ ආරොන්ව තමන්වහන්සේ වෙනුවෙන් කථා කරන්නා ලෙස පත් කළ අතර, මිසරයේදී කිරීමට තමන්ට පවරා තිබූ කාර්යය කිරීමට ඔවුහු උත්සුක වූහ. (නික්මයාම 4:14-16) පළමු වතාවට ගෙයින් ගෙට දේව සේවයේ හෝ විදී සාක්ෂිදැරීමේ යෙදෙන විට, තමා අදක්ෂ යයි මෝසෙස්ට හැඟුණු එම හැඟීම් තිබී ඇත්තේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ස්වල්ප දෙනෙකුට නොවේ. මෝසෙස්ගේ සිද්ධියේදී මෙන්, අපට යෙහෝවඃවහන්සේගේ අනුබලය තිබෙන බවත්, අද්දැකීම්ලත් දේව සේවකයෙකු අප හා කැටුව යන බවත් දැනගැනීම අපගේ පසුබස්නාබවින් ජය ගැනීමට අපට ඉවහල් විය හැකිය. ද්විතීය කථාව නමැති බයිබල් පොත පුරා සඳහන්ව ඇති ප්‍රබල කථාවන් කිරීමට තරම් නිසැකකමක් වගා කිරීමට මෝසෙස්ට හැකිවුණාක් මෙන්, අපටත් යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතිව කථා කිරීමේ හැකියාව ගොඩනැංවිය හැකියි.
ප්‍රායෝගික පාඩමක්
අන්‍යයන්ට උපකාර කිරීමට අවංක ආශාවක් තිබීමද අනිවාර්යය. ඒ වනාහි අනාගතවක්තෘ යෝනා ඌනව සිටි ගුණාංගයකි. නිනිවය නගරයට ඉතා ඉක්මනින් පැමිණෙන්නට යන විනාශය ගැන අනතුරු ඇඟවීමට යෙහෝවඃවහන්සේ යෝනාව පත් කළසේක. පුදුමයට මෙන්, නිනිවයේ වැසියෝ පසුතැවිලි වූහ. (යෝනා 3:5) මෙහි විපාකයක් වශයෙන්, යෙහෝවඃවහන්සේ එම විපත කල් දැමූසේක. කෙසේවෙතත්, තමාගේ දේශනා වැඩසටහනේ සාර්ථකත්වය ගැන සතුටින් ඉපිල යනවා වෙනුවට, තමා පුරෝකථනය කළ දේ ඉටු නොවන්නට යෑම ගැන යෝනාට කෝපයක් දැනිණි. කාරණා දෙස හරියාකාරව බැලීමට යෙහෝවඃවහන්සේ යෝනාට උපකාර කළේ කෙසේද?
අන්‍යයන් ගැන සැලකිල්ල දැක්වීමේ වැදගත්කම යෝනාට ඉගැන්වීමට යෙහෝවඃවහන්සේ ලබු පැළයක් යොදා ගත්සේක. එම පැළය ආශ්චර්යජනක අන්දමින් එක් රැයක් පුරා වැඩුණු අතර, නිනිවයේ අවට ප්‍රදේශයේ පැලක් සාදාගෙන සිටි යෝනාට මින් යම් සෙවණක් ලබා දුණි. මෙම කුඩා පැළෑටිය ගැන යෝනා “ඉතා ප්‍රීතිවුණේය.” එහෙත්, යෙහෝවඃවහන්සේ පණුවෙකු මගින් එය කාදමනු ලැබීමට නියමකළ අතර, එය වියළී ගියේය. හිරු රශ්මියටත් දැඩි සුළඟටත් නිරාවරණය වූ යෝනා කෝපවී මෙසේ කීවේය: “ජීවත්වීමට වඩා නැසීයෑම මට හොඳය.” (යෝනා 4:5-8) මේ සියල්ලෙන් ගත හැකි පාඩම කුමක් වීද?
යෙහෝවඃවහන්සේ යෝනා අමතමින් මෙසේ පැවසූසේක: “නුඹේ මාන්සිවීමක්වත් වැවීමක්වත් නැතුව රාත්‍රියකින් හටගෙන රාත්‍රියකින් නැතිවීගිය ලබුවැල කෙරෙහි නුඹ අනුකම්පාකෙළෙහිය. එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේද?”—යෝනා 4:9-11.
මොනතරම් ප්‍රබල ප්‍රායෝගික පාඩමක්ද! දහස් ගණනක් ජනකායකට වඩා යෝනා වඩාත් උනන්දු වී සිටියේ ලබු පැළයක් කෙරෙහිය. දෙවියන්වහන්සේගේ මැවිල්ලේ ඕනෑම අංගයක් කෙරෙහි සැලකිලිමත් වීම ප්‍රශංසාකටයුතු වුවද, මිනිසුන්ගේ ජීවිත ගළවා ගැනීමට උපකාර කිරීම අපගේ වඩාත් වැදගත් කාර්යයයි.
ඉවසීමෙන් යුතුව ඉගැන්වීම
යෝනා සොයාගත්තාක් මෙන්, අපගේ දේව සේවය ඉටු කිරීම සෑමවිටම පහසු දෙයක් නොවේ. (2 තිමෝති 4:5) කෙසේවෙතත්, අන්‍යයන් කෙරෙහි ඉවසිලිවන්ත ආකල්පයක් තිබීම මීට පිටුවහලක් වේ.
ඔබගේ බයිබල් ශිෂ්‍යයන්ගෙන් කෙනෙක් සෙමින් ක්‍රියා කරන විට හෝ තරමක් අසාධාරණ වන විට, ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? එවන් ගැටලුවක් සමඟ සාර්ථක ලෙස කටයුතු කරන ආකාරය අපගේ උත්තරීතර ගුරුවරයාණෝ අපට උගන්වනසේක. සොදොම සහ ගොමොරාව වෙත ඉක්මනින්ම පැමිණෙන්නට යන විනාශය සම්බන්ධයෙන් ආබ්‍රහම් ප්‍රශ්න එකින් එක අසන විට, උන්වහන්සේ පෙන්වූයේ අතිවිශේෂ ඉවසීමකි. “ඔබ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද?” ආබ්‍රහම් ඇසීය. “ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සිටිත්නම්, එහි සිටින ධර්මිෂ්ඨයන් පනස්දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශකරනසේක්ද?” යයි ආබ්‍රහම් ආයාචනා කළේය. යෙහෝවඃවහන්සේගේ ඒකාන්ත පිළිතුරෙන් පෙලඹී ගිය ආබ්‍රහම් එම සංඛ්‍යාව දහය දක්වා අඩුවන තෙක් නොකඩවාම ඇවටිලි කරන්නට විය. ලොත්ගේ පවුල පමණක් ගැළවීමට සුදුසු බව දැන සිටි යෙහෝවඃ වහන්සේ, එම අරමුණ ඉටු වීම පිණිස කටයුතු මෙහෙයවූසේක. එහෙත්, යෙහෝවඃවහන්සේගේ දයාවේ විශාලකම ආබ්‍රහම් විසින් වටහාගන්නා තෙක් දිගටම ප්‍රශ්න කිරීමට දෙවියන්වහන්සේ ඉවසීමෙන් යුතුව ඔහුට ඉඩ හැරියසේක.—උත්පත්ති 18:20-32.
ආබ්‍රහම්ගේ සීමිත අවබෝධය සහ අනුන් කෙරෙහි උනන්දුවීම පිළිබඳ ඔහු තුළ තිබූ සැලකිල්ලේ හැඟීම් යෙහෝවඃවහන්සේ සැලකිල්ලට ගත්සේක. අපිත් අපගේ ශිෂ්‍යයාගේ සීමා අවබෝධ කර ගන්නෙමු නම්, ඔහු යම් මූලධර්මයක් අවබෝධ කර ගැනීමට හෝ යම් තදබල පුරුද්දකින් ගොඩ ඒමට දැඩි ප්රයත්නයක් දරන අතරතුර, ඉවසීම පෙන්වීමට එය අපට ඉවහල් වෙනවා ඇත.
යෙහෝවඃවහන්සේගෙන් දිගටම ඉගෙන ගනිමින් සිටින්න
යෙහෝවඃ දෙවියන්වහන්සේ වනාහි අපගේ උත්තරීතර ගුරුවරයාණන් බවට කිසිදු ප්‍රශ්නයක් නැත. උපහැරණ, ප්‍රශ්න, හා ප්‍රායෝගික පාඩම් වැනි ක්‍රම මගින් උන්වහන්සේ අපට ඉවසීමෙන් යුතුව අවබෝධය දානය කරනසේක. අප උන්වහන්සේගේ ඉගැන්වීම් ක්‍රම අනුකරණය කරන තරමට, අපත් වඩාත් හොඳ ගුරුවරුන් බවට අපවම පත් කරගන්නවා ඇත.
අනුන්ට උගන්වන අය, තමන්ද ඉගෙන ගැනීම නොසලකා නොහැරිය යුතු හෙයින්, අප දිගටම “යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු” ලැබිය යුතුය. (යෙසායා 54:13, NW) යෙසායා මෙසේ ලීවේය: “නුඹේ ඇස්වලින් නුඹේ [උදාර, NW] ගුරුවරයා දකින්ටත්, නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරියල්ලායයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.” (යෙසායා 30:20, 21) යෙහෝවඃවහන්සේගේ මාර්ගය තුළ දිගටම ගමන් කිරීමෙන් සහ එසේ කිරීමට අන්‍යයන්ට උපකාර කිරීමෙන්, අපගේ උත්තරීතර ගුරුවරයාණන්ගෙන් සදහටම ඉගෙන ගැනීමේ අසහාය වරප්‍රසාදය අපට ලබා ගත හැක.
[28වන පිටුවේ පින්තූරය]
“රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ නුඹේ අණටද” යෙහෝවඃවහන්සේ යෝබ්ගෙන් ඇසූසේක
[28වන පිටුවේ පින්තූරය]
ලබු පැළයක් මගින්, යෙහෝවඃවහන්සේ යෝනාට ඉගැන්වූයේ ජනයා කෙරෙහි වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසටය