“ගලවා දැමිය නොහැකි මුල්”
ලොවේ ජීවත් වන විශාලතම හා පැරණිතම දේවල් අතර වූවකි, කැලිෆෝනියාවේ සෙකුවා ගස්. අහස උසට විහිදී ඇති මෙම පුදුමාකාර ගස් මුළුමනින්ම වැඩී තිබෙන විට අඩි 300ක් පමණ උසක් තිබෙන අතර, වසර 3,000ක පමණ කාලයක් දක්වා ඒවාට ජීවත් විය හැකිය.
සෙකුවා ගසක දසුන ගරුබිය දනවනසුලු වුවත්, එහි නොපෙනන මූල පද්ධතියද ඒ සමානවම චමත්කාරජනකය. අක්කර තුනක් හෝ හතරක ප්‍රදේශයක් ආවරණය කළ හැකි සමතලා පාපිස්නක් බඳු මුල් සෙකුවා ගසකට ඇත. මෙම සද්දන්ත මුල් පද්ධතිය නිසා ගංවතුරකදී හෝ තද සුළඟකදී ගස ස්ථිරව දරා සිටී. තදබල භූමිකම්පාවකදී පවා ගස කෙළින් දරා සිටීමට මෙම මුල් පද්ධතියට හැකිය.
සාලමොන් රජ, තමා ලියූ එක් හිතෝපදේශයක, ගසක ශක්තිමත් මුල් පද්ධතිය සංකේත රූපකයක් සේ යොදා ගත්තේය. “කිසි මිනිසෙකුට දුෂ්ටකමින් සඵල වන්නට බැරිය, නමුත් යහපත් මිනිසුන්ට ගලවා දැමිය නොහැකි මුල් තිබේ” යයි ඔහු පැවසුවේය. (හිතෝපදේශ 12:3, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) එසේය, දුෂ්ටයන් සිටින්නේ සෙලවෙන බිමකය. ඔවුන් විසින් අත්කර ගෙන තිබෙනවා යයි පෙනෙන්නට තිබෙන ඕනෑම සාර්ථකත්වයක් හුදු තාවකාලික දෙයක්ය, මන්ද, “දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය” යයි යෙහෝවඃවහන්සේ පොරොන්දු වනසේක.—හිතෝපදේශ 10:28.
ක්‍රිස්තියානීන් යයි කියා සිටින අය සඳහා මෙය අනතුරු ඇඟවීමක් වෙයි, මන්ද, ඇතැම් අය තමන් තුළම “මුල් නැති” බැවින් බාධාවට පත් වන බව යේසුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 13:21) එපමණක්ද නොව, “සියලු ආකාර [බොරු] ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ” අය ගැන පාවුල් ලියුවේය. (එපීස 4:14) මෙය වළක්වාලිය හැක්කේ කෙසේද?
සෙකුවා ගසේ මුල් පොළොවේ සරුසාර පස්වල බොහෝ ඈතට විහිදී යන්නාක් මෙන්, අපගේ මනස් හා හෘදයන්ද දෙවියන්වහන්සේගේ වචනය තුළට පුළුල් ලෙස හාරා යැවීමටත් එහි ජීවනය ගෙනෙන වතුර ඇද ගැනීමටත් අවශ්‍යය. ඇදහිල්ල තුළ තදින් මුල්බැස තිබීමක් වර්ධනය කිරීමට මෙය අපට පිටුවහලක් වනු ඇත. ඇත්ත වශයෙන්ම, තද කුණාටු මෙන් පැමිණෙන පරීක්ෂාවල බලපෑම අපට දැනෙනු ඇත. විපතකට මුහුණ පාන ගසක් මෙන්, අප වෙවුලනවා පවා වෙන්නට පුළුවන. එහෙත්, අපගේ ඇදහිල්ල මැනවින් ‘මුල් බැස’ තිබේ නම්, අපට “ගලවා දැමිය නොහැකි මුල්” තිබෙන බව ඔප්පු වනවා ඇත.—හෙබ්‍රෙව් 6:19 සසඳන්න.