බොස්නියාවේ අපගේ ඇදහිලිවන්තයන්ගේ පවුලට ආධාර කිරීම
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දේශපාලන ගැටුම්වලට හවුල් නොවෙති. (යොහන් 17:16) කෙසේ වෙතත්, “ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට” යහපත කරන්නට වූ පාවුල්ගේ උපදේශය අනුගමනය කරමින්, ඔවුහු යුද්ධ පවතින ප්‍රදේශවල වසන තමන්ගේ සෙසු සහෝදරයන්ට මහත් කැමැත්තෙන්ම ආධාර කරති. (ගලාති 6:10) වර්ෂ 1993-94හි ශීත ඍතුව ළඟා වෙත්ම, ඕස්ට්‍රියා හා ක්‍රොඒෂියාවේ සාක්ෂිකරුවෝ බොස්නියාවේ සිටින තම ඇදහිල්ලේ පවුලට උපකාර කිරීමට තමන්ගේ ජීවිත පරදුවට තැබූහ. ඔවුන්ගේ වාර්තාව මතු දැක්වේ.
වර්ෂ 1993 මාර්තු පටන් ඔක්තෝබර් දක්වා, බොස්නියාවට නැව් ගත සහන සැපයුම් යැවීමට හැකියාවක් තිබුණේ නැත. කෙසේ වෙතත්, ඔක්තෝබර් ආරම්භයේදී, අධිකාරීහු භාණ්ඩ ප්රවාහණය කිරීමට හැකියාවක් තිබිය හැකි බව ඇඟවූහ. මෙය අන්තරාදායක කර්තව්‍යයන් වන්නට තිබුණේ, බොස්නියාවේ සියලු පෙරමුණුවල තවදුරටත් දැඩි සටන් සිදුවෙමින් තිබූ නිසාය.
එහෙත්, 1993 ඔක්තෝබර් 26වන අඟහරුවාදා, අපගේ ට්‍රක් රථ බොස්නියාවේ සෙසු ක්‍රිස්තියානීන් සඳහා ආහාර හා දර ටොන් 16ක් රැගෙන වියානා වෙතින් පිටත් විය. අපව හඳුනා ගැනීම සඳහා අපි අපගේ දිස්ත්‍රික් සමුළු කාඩ්පත් පැළඳ ගත්තෙමු.
බොස්නියාවේ හා ක්‍රොඒෂියාවේ සීමාවට ළඟාවීමෙන් පසු, අපව හමුදා ප්‍රධාන කඳවුරකට මුර කාවල් ඇතිව ගෙන යනු ලැබූ අතර, එහිදී අපගේ ට්‍රක් රථ හොඳින් පරීක්ෂා කරනු ලැබීය. සර්බියානු ප්‍රදේශය හරහා ගමන් කිරීමට කළ අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. ගමන් කිරීමට අවසරය දෙනු ලබන්නේ—සටන් සිදුවෙමින් පවතින ප්‍රදේශය වන—මධ්‍යම බොස්නියාව හරහා පමණකි!
නිෂ්ඵල වෑයමක්ද?
හමුදා බලඇණි අපට ආරක්ෂාව සපයමින් එක් මුරපොළක සිට තවෙකකට අපව රැගෙන යත්ම, යුද්ධ ටැංකි හා තුවක්කුවලින් නිකුත්වූ කන්අඩි පුපුරා යන වෙඩි හඬ අපට ඇසුණි. රාත්‍රියේ යුද්ධ ටැංකි දෙකක හා ජීප් රථයක ආරක්ෂාව ඇතිව අපි වනාන්තර තුළින් ගමන් කළෙමු. සටන් පෙරමුණ තුළින් අපගේ රථ ගමන් කළේ ඉතා සෙමින්ය. උදෑසන අපගේ හිස්වලට ඉහළින් වෙඩි තබන ලදුව පසුව කන්ඳක් පසුපස ආරක්ෂාව ලබන්නට අපට සිදුවූ අවස්ථාව දක්වා සාර්ථක ලෙස අපි ඉදිරියට ගියෙමු. මඳ වේලාවකට පසු එම වෙඩි තැබීම නැවතුණ අතර, අපි දිගටම ගමනේ යෙදෙන්නට වීමු.
අප එක්තරා කඳවුරකට ළඟා වූ විට, එහි අණදෙන නිලධාරියා අප කවරෙක්ද හා අපට වුවමනාව තිබුණේ කුමක්ද යනවග අපෙන් විමසුවේය. අපගේ අරමුණ පැවසීමෙන් පසු, ඔහු කියා සිටියේ, “ඔබ බාරගත් වැඩය නියත වශයෙන්ම අසාර්ථක වෙයි. තවත් යාර කීපයක්වත් ඉදිරියට යන්ටවත්, ඔබට කඳවුරෙන් පිටත් වන්ටවත් පුළුවන්කමක් ලැබෙන එකක් නැහැ. රටේ කොතරම් සාගතයක් තිබෙනවාද කියතොත්, ජනයා ඔබට පහර දී ඔබගේ භාණ්ඩ සොරා ගනී” යනුවෙනි. ඔහු අපගෙන් උදක්ම ඉල්ලා සිටියේ ආපසු හැරී යන හැටියටය.
අපගේ වෑයම් “නියත වශයෙන්ම අසාර්ථක” වන්නට තිබුණාද? යුද්ධ පවතින හා සාගතයෙන් පීඩිත ප්‍රදේශයක් හරහා ගමන් කර අපගේ ආහාර හා අපගේ ජීවිත ආරක්ෂා කිරීමට අපේක්ෂා කිරීම නිරර්ථක දෙයක්වීද? බරපතළ තීරණයක් ගත යුතුව තිබුණි. වෙඩි හඬ හා කන් බිහිරි කරන බෝම්බ පිපිරීම් මේවන විටත් අප අසා තිබුණි. එම සෙබළුන් සමඟ අප රාත්‍රිය ගත කරත්ම, ඔවුන් පවා සටනේ දැඩි තත්ත්වයන්ට සූදානමින් සිටි බව අපට දක්නට ලැබුණි. ඔවුන් සිටියේ වෙඩි නොවදින උඩු ඇඳුම් පැළඳගෙන, බොහෝ අවි ඇතිවය. කෝකියා පවා තම පිටකොන්ද මත මෙෂින් තුවක්කුවක් එල්ලාගෙන සිටියේය. ඒත් අප පැළඳගෙන සිටින්නේ කමිස, ටයිපටි හා කාඩ්පත්! අප දිගටම ගමන් ඇරඹීම ඥානවන්තවීද?
ට්රාව්නික් නගරයට පැමිණීම
පෙනෙන ප්‍රකාරයට, අපට බලාපොරොත්තුව තැබිය හැකි එකම ක්‍රමය වූයේ යුධ වැදී සිටින තෙවන කණ්ඩායමත් සමඟ සාකච්ඡා කර ගැනීමය. ඊළඟ උදෑසන එම කණ්ඩායමේ මූලස්ථාන කඳවුර සොයා ගත හැකි ස්ථානය දැන සිටියේදැයි අපි යෞවන කාන්තාවකගෙන් ඇසුවෙමු. “එය තිබෙන්නේ එතරම් දුරකින් නොවෙයි,” යයි ඈ පැවසුවාය. “මෙම වනාන්තරය තුළින් ඔබ ගමන් කළොත්, වරක් රෝහලක්ව තිබූ ගොඩනැගිල්ලක් ඔබට හමුවෙයි.” අපි එහි යන්නට උත්සුක වීමු. අවි නොමැතිව කඳවුරෙන් පිට වීමට අප තුළ තිබූ නිර්භීතකම ගැන එවිට සෙබළු පුදුමයට පත්වූහ.
කලින් රෝහලක්ව තිබූ එම ගොඩනැගිල්ල විනාශ වී තිබුණද, නිලධාරියෙක් එහි සිටියේය. ඔහුගේ අණදෙන නිලධාරියාට මුලින් කථා කරන හැටියට අවවාද කරමින්, උපකාර කිරීමට ඔහු එකඟ විය. ඔහු අපව ප්රහාරයන්ට ගොදුරු වූ සිය මෝටර් රථයට නංවාගෙන, යුධ පෙරමුණ හරහා එය වේගයෙන් පදවාගෙන ගියේය. අප ගොඩනැගිල්ලක නතර වූ අතර, එහි අණදෙන නිලධාරියා අපව පිළිගත්තේ කළුවර කාමරයකය.
“ඊයේ රාත්‍රියේ ඔබට වෙඩි තබන්න අපි කල්පනා කළා” යයි ඔහු පැවසුවේය. “ඔබට ඕනෑ කරන්නේ කුමක්ද?”
“අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, අපට ඕනෑ කරන්නේ අපගේ සහෝදරයන්ට සහනාධාර රැගෙන යන්නයි.”
ඔහු මහත් සේ මවිතයට පත්විය—එමෙන්ම එය ඔහුගේ සිත් ගත්තේය—මන්දයත් සති ගණනාවකට සහනාධාර රැගත් ට්‍රක් රථ කිසිත් බොස්නියාවට ඇතුල් වීමට අභීතව කටයුතු නොකිරීමය. දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසු, අපට ලිඛිත සහතිකයක් දෙනු ලැබීය. ඊට පෙර දින රාත්‍රියේ තවදුරටත් ගමනේ යෙදෙන්නට අපට ප්‍රස්තාවක් නැතැයි අප කල්පනා කර තිබුණද, දැන් අපට ගමනේ යෙදෙන්නට පුළුවන් වන්නේ හමුදා ආරක්ෂාවද නොමැතිවයි!
එක් මුරපොළකින් තවෙකකට මාරු වෙමින්, අප වනාන්තර තුළින් ගමන් කළ අතර ඇතැම් අවස්ථාවන්හි අපට යුධ පෙරමුණ ඔස්සේද ගමන් කිරීමට සිදු විය. අන්තරාවන් තිබුණත්, ආරක්ෂා සහිතව අපි ට්රාව්නික් නගරයට පැමිණියෙමු. අපගේ පැමිණීම ගැන ඇසූ එක් සෙබළෙක් අපගේ සහෝදරයන් එක්රැස්ව සිටි නිවසකට දිව ගියේය. “ඔබගේ අය ට්‍රක් රථවලින් මෙහාට ඇවිත්!” යයි ඔහු මොර ගැසුවේය. ඔවුන්ගේ ප්‍රීතිය ඔබට සිතා ගත හැකිය. එම නිවස තුළට අප ආහාර උස්සාගෙන ගොස්, ඔවුන් සමඟ වදන් කීපයක් කථා කළමුත්, අපට ඉන් ඔබ්බටත් ගමනේ යෙදෙන්නට තිබුණි. එවිට අඳුරු වෙමින් තිබූ අතර සැතපුම් 20ක උපද්‍රව සහිත ගමනක අප යෙදිය යුතු විය.
සෙනට්සා නගරය වෙතට
ආරක්ෂාව සපයන මෝටර් රථයක් මහත් වේගයකින් වනාන්තරය තුළින් අපට මඟ පෙන්වීය. සෙනට්සා වෙතට යෑමට අපට නොහැකි වනු ඇතැයි ඇතැමෙක් පැවසුවද, අපි එම නගරයට ළඟා වීමු. එම නගරයේ දක්නට ලැබුණේ දොම්නස දනවන වාතාවරණයකි. එහි විදුලි බලය නොතිබුණ අතර මාර්ගයේ මෝටර් රථද දක්නට නොවීය. සියලු පැතිවලින් සෙනට්සා නගරය වටකර තිබුණි. මහත් සාගතයක් හා බලාපොරොත්තු රහිතභාවයක් එහි ප්‍රතිඵලය විය.
මාර්ගය දිගේ අප ඉදිරියට ගමන් කරත්ම, අප පුදුමාකාර දෙයක් දුටුවා—එනම්, ක්‍රිස්තියානි සහෝදරියන් දෙදෙනෙකුගේ සාක්ෂිදැරීම! තමන්ගේ ආහාර ආදි සැපයුම් නිම වී තිබූ බැවින්, ඊට කලින් දින ඔවුන්ගේ රැස්වීමේදී සහෝදරයන් වනාන්තරයට ගොස් ආහාර සෙවීමට තීරණය කරන ලද බව අපට දැනගන්නට ලැබුණි. අප පැමිණියේ ඉතාම උචිත අවස්ථාවේය! කිසිවෙක්වත් මාර්ගයේ නොමැති, පාන්දර හතරට අපි ට්‍රක් රථවලින් එකක තිබූ භාණ්ඩ ගොඩ බෑවෙමු.
ඊළඟ දිනයේ අප ජෙනරාල්වරයෙක් හමු වී දැන හැඳුනුම්කම් ඇති කර ගත් අතර අපට සෙනට්සා දක්වා පැමිණීමට හැකිවීම ගැන ඔහු මවිත විය. මෙහිදී අප තොරතුරු සොයා බැලුවේ අපට යෑමට නියමිත ඊළඟ ස්ථානය වන, සාරයිවෝ ගැනයි.
“මාස ගණනාවක් පුරා කවුරුවත් ට්‍රක් රථවලින් ඊට ඇතුල් වී නැහැ” යයි එම ජෙනරාල්වරයා කීවේය. අවසානයේ කඳු හරහා ගමන් කිරීමට ඔහු අපට අවසර දුන්නේය. “එහෙත් එහි යෑම ඉතා දුෂ්කර බව මා ඔබට පවසනවා” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය. “එහි යෑමට තරම් ඔබගේ ට්‍රක් රථ ශක්තිමත්දැයි මට සැකයි.”
එම අවස්ථාවේදී එම ජෙනරාල්වරයා පැවසූ දෙය නිවැරදි විය. අප සාරයිවෝ වෙතින් සැතපුම් 25ක් දුරින් සිටියද, අපට එහි යෑමට සිදුවූයේ වනාන්තරය තුළින් සැතපුම් 90ක් දුර මාර්ගයකිනි! පැයට සැතපුම් තුනක සාමාන්‍ය වේගයකින් දින තුනක් හා රාත්‍රී දෙකක් ගත කරමින් සෙනට්සා සිට සාරයිවෝ හරහා යාබ්ලනිට්ස වෙතට ගිය මෙම ගමන අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මෙම “මාර්ගය” යුධ ටැංකි එහා මෙහා යෑමෙන් ඇති වූ එකකි. අප ගමන් කළේ බිය ගන්වන පර්වත හා වළවල් මතින්ය. බොහෝ විට අපට ආලෝකය නැතිව පැදවීමට සිදුවූ අතර දෙවරක් අපගේ ට්‍රක් රථ අනතුරු සහිත කඳු මතින් ලිස්සා වැටෙන්නටද ගියේය. අපගේ රථ පේළියට පස්සෙන් ගමන් කළ හමුදා ට්‍රක් රථයක් එහි පහන් දැල්වූ අතර වහාම එයට වෙඩි තබනු ලැබීය. ඇතැම් අවස්ථාවන්හි අපට අබලන් වූ පාලම් අලුත්වැඩියා කරන්ටත් ටයර් සවි කරන්නටත් සිදු විය.
අප සාරයිවෝහි අවට ප්‍රදේශයට පැමිණීමත් සමඟ එහි කටයුතු භාර ජෙනරාල්වරයා සමඟ කථා කරන්නට අපි අවසර ඉල්ලුවෙමු. ඒ වෙනුවෙන් බලා සිටියදී, මළකඳන් දහයක් හා ඔළු ගෝනියක් පැටවූ ට්‍රක් රථයක් මාර්ගයේ අපි දුටුවෙමු; මෙහිදී එම මළකඳන් ආපසු භාර දීම ගැන සෙබළුන් සාකච්ඡා කරමින් සිටි අතර එය ඇත්තෙන්ම අප්‍රසන්න දර්ශනයක් විය. මෙය අප තුළ මහත් ආශාවක් ඇති කළේ යුද්ධ නිමාවට පත්වන දවස දකින්නටය.—යෙසායා 2:4.
අවසානයේ පෙ.ව. 10.00ට, ඉටිපන්දමකින් පමණක් ආලෝකවත් කළ, අඳුරු කාමරයක එම ජෙනරාල්වරයා හා ඔහුගේ උසස් නිලධාරීන් සමඟ අපෙන් කෙනෙකුට කථා කිරීමට ප්‍රස්තාවක් දෙනු ලැබීය.
“ඔබ කවුද?” එම ජෙනරාල්වරයා ඇසුවේය.
“අප යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ. සාරයිවෝ සිටින අපගේ සෙසු සාක්ෂිවරුන්ට අපට ආහාර ගෙනයන්න ඕනැ.”
“සාරයිවෝහි බොහෝ සාක්ෂිකරුවන් ඉන්නා බව ඔබ දන්නවාද?”
“ඔව්, අප මෙහි ඇවිත් සිටින්නේ ඒ නිසායි.”
එවිට එම ජෙනරාල්වරයා එක් සාක්ෂිකරුවෙකුගේ නාමය සඳහන් කළේය. “ඔබ ඔහුව දන්නවාද?”
“ඔව්, ඔහු අපගේ මිත්‍රයෙක්.”
“ඔහු මගෙත් මිත්‍රයෙක්,” එම ජෙනරාල්වරයා පැවසුවේය. “අපි දෙදෙනාම පාසැල් ගියේ එකට. ඔහු සාක්ෂිකරුවෙක් වුණාට පසුව, මම ඔහුව ඊටත් වඩා අගය කළා. ඔහු ඔබගේ අයට බොහෝ දේ කර තිබෙනවා. කරුණාකර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන තවත් වැඩියෙන් අපට පවසන්න.”
පැයක දිගු සාකච්ඡාවක් එහිදී පැවැත්වූ අතර, ඉන්පසු සඟරා හා විවරණිකා දුසිමකට වැඩියෙන් බෙදා දෙනු ලැබීය. දෙවන රැස්වීමකින් පසු, සහනාධාර සාරයිවෝ සහෝදරයන් කරා ගෙන යෑමට විශේෂ විධිවිධාන යෙදවීමට එම ජෙනරාල්වරයා එකඟ විය.
මෙය සුළුපටු දෙයක් නොවීය. සාක්ෂිකරුවන් නොවන ඇතැම් අයද ඇතුළුව, 30ක් පමණ දෙනා, රාත්තල් 60ක් පමණ බරැති එක් එක් පාර්සලය ඇදගෙන ගියහ. වෙන වෙනම රාත්‍රී දෙකක් තුළ, ප.ව. 8.00 සිට පෙ.ව. 5.00 දක්වා—පුරා පැය 18ක් ඔවුහු වෙහෙස වූහ. සිය අසල්වැසියන් සහනාධාර කටයුතුවලින් කොතරම් ප්‍රමුදිත වූයේද යත් ඔවුහු සහෝදරයන් සමඟ දණගසා යෙහෝවඃවහන්සේට ස්තුති කළහ! යනුවෙන් එක් වැඩිමහල්ලෙක් පැවසුවේය. ඇත්ත වශයෙන්ම, ඔවුනුත් යම් ප්‍රමාණයක ආහාර ලැබුවා.
සහනාධාර රාත්තල් 24,250ක් පමණ ලැබීමෙන් සහෝදරයන්ගේ ප්‍රීතිය කල්පනා කර බලන්න! එහි තිබුණේ බලාපොරොත්තු සුන් වූ තත්ත්වයක්. ප්‍රාදේශීය මට්ටමෙන්, පිටි රාත්තල් දෙකක් ජර්මන් මාක් 450ක් සිට ජර්මන් මාක් 1,000ක් (රුපියල් 22,050 සිට 32,340ක්) දක්වා මිල විය. දර ගෝනියක් ජර්මන් මාක් 400ක් (රුපියල් 19,600ක්) පමණ මිල වූ අතර ඩීසල් ඉන්ධන ලීටරයක් ජර්මන් මාක් 30ක් (රුපියල් 1,470ක්) පමණ මිල විය.
මෙම අවස්ථාව හරියටම මඟ දිගට අප මුහුණ දුන් සෑම අන්තරාවකටම, අපට ලැබුණු විපාකයක් වගෙයි. මෙම සහනාධාර තොගය අපගේ සහෝදරයන් ලැබූ විට, ඔවුන්ගේ ප්‍රීතිය අපි මෙනෙහි කරන්නට මහත් සේ සතුටු වූයෙමු. එය ඔවුනුත්—එමෙන්ම අපත්—කවදාවත් අමතක නොවන අද්දැකීමක්. එහෙත් මෙහිදී අපට කල්පනා කරන්නට සිදුව තිබුණේ හැරී ආපසු පැමිණීමේ අභියෝගය ගැනයි.
හැරී ආපසු පැමිණීම
“අප හැරී ආපසු යා යුත්තේ මොන මාර්ගයෙන්ද?” අපි එම ජෙනරාල්වරයාගෙන් විමසුවෙමු.
“ඔබ ආපු පාරෙන්මයි” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.
අප සිටියේ අධික වෙහෙසට පත්වූ, ඉන්ධන එතරම් නොමැති, හා අමතර ටයර් නොමැති තත්ත්වයකය. මෙහිදී වැසි පටන්ගත් අතර මඩ මතින් අපට ගමන් කළ නොහැකි විය. අපට දකුණට යා හැකිදැයි අපි එම ජෙනරාල්වරයාගෙන් විමසුවෙමු.
“එහි දැඩි සටන් සිදු වෙනවා” ඔහු කීවේය. “මීයෙකුටවත් ආරක්ෂා සහිතව ඒ හරහා යා නොහැකියි.” කෙසේ වෙතත්, මඳ වේලාවකට පසු, ඔහු යළි සලකා බැලීමක් කළේය. “වෑයම් කර බලන්න, මේ සියල්ල තිබියදීත්, ඔබ මෙහාට සාර්ථකව ආවානේ” යයි ඔහු කීවේය.
අපට එක් ට්‍රක් රථයක් අත්හැර දමා, එහි තිබූ ඉන්ධන අනෙක් ට්‍රක් රථ තුනට බෙදා ගන්නට සිදු විය. අපි මධ්‍යම රාත්‍රියේ පිටත්වී යළිත් වනාන්තරය තුළින් රථය පදවන්නට පටන් ගත්තෙමු.
අපගේ ආපසු ගමන ගැටලු රහිතව තිබුණා නොවේ. අප ගමන් කළ යුතු පාලමක් යම් ප්‍රමාණයකට හරස් කරමින් පැත්තකට පෙරළී තිබූ හමුදා ට්‍රක් රථයක් අපට හමු විය. එහි එක් රෝදයක් ඉවත් කළේ නම්, ඒ හරහා යෑමට ප්‍රමාණවත් ඉඩක් ලැබෙන බව අපි දුටුවෙමු.
අවිගත් සෙබළෙකුගෙන් අපි ඉල්ලීමක් කළෙමු. “අපි එම රෝදය ගලවා පාලම පසු කිරීමෙන් පසු යළිත් එය සවි කරන්නද?”
“ඔබ රෝදයට අත තැබුවොත්, මා ඔබට වෙඩි තියනවා,” යනුවෙන් සිය අවිය එල්ල කරමින්, එම සෙබළා පිළිතුරු දුන්නේය.
කෝපි ටිකක් පිළියෙළ කර කෝප්පයක් එම සෙබළාට දීම වඩාත් හොඳ වනු ඇතැයි අපි කල්පනා කළෙමු. පැය කීපයකට, සාග්‍රෙබ්හි පවත්වන ලද සමුළුව වැනි, 1991 ජාත්‍යන්තර සමුළු ගැන අපි ඔහුට පැවසුවෙමු. ඉන් අනතුරුව ඔහුගේ ආකල්පය මොළොක් වූ අතර ඔහු එම රෝදය ගලවන්නට අපට අවසර දුන්නේය.
යාබ්ලනිට්සා නම් නගරයේදී, අප ගමන් කරන්නට යන මාර්ගය ගැන අපෙන් කෙනෙක් අණ දෙන නිලධාරියෙක් සමඟ කථා කළා. තමා අසමින් සිටි දෙය ඔහුට විශ්වාස කරන්නටවත් බැරි තත්ත්වයක තිබුණා. “ඔබට නෙරට්වා නිම්නය තුළින් යන්න ඕනෑද?”
ඔහු ඒ ගැන කම්පනයට පත්වූයේ හොඳ හේතු ඇතුවයි. නෙරට්වා නිම්නයේ කඳු පැති අල්ලාගෙන තිබෙන්නේ වෙනස් හමුදාවන් විසින්ය. ඔවුන් නොකඩවා එකිනෙකාට වෙඩි තබා ගන්නවා. සැතපුම් දහයක පමණ මාර්ගය අනතුරු සහිතයි. “තත්ත්වය එයයි,” යයි පැවසූ එම ජෙනරාල්වරයා ඇසුවේ, “ඒත් ඔබට ඒ තුළින් යන්න ඕනෑද?”
කරුණු සලකා බැලීමෙන් පසු, අපට යා හැකි බව එම ජෙනරාල්වරයා පැවසුවේය—ඒත් නිල වශයෙන් අනුමත කරන ලද නිලධාරීන් අප සමඟ ගියොත් පමණකි. කෙසේ වෙතත්, එම නිලධාරීන්, අප සමඟ යෑමට එතරම් කැමති වූයේ නැත! අවසානයේ, අනෙක් පැත්ත අමතා අපගේ ගමන ගැන නිවේදනය කරන හැටියට අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු. ඊළඟ උදෑසන හමුදා ආරක්ෂාව නොමැතිව අපි ඒ හරහා යන්නට කල්පනා කළෙමු.
සහනාධාර ගෙන යන බවට විශාල අකුරුවලින් අපි අපගේ ට්‍රක් රථවල දැන්වීම් අලවා ගත්තෙමු. යාච්ඤාවක් කීමෙන් පසු, අපි එම නිම්නය තුළට ගමන් කළෙමු. වෙඩි තබනු ලැබුවේ නම්, වේගය වැඩි කර සැකය වැඩි නොකරන බවට අපි එකඟ වීමු.
අපි එම පාලම හරහා ගඟේ අනෙක් පැත්තට ගොස් ඊළඟ නිම්නය දක්වා සත්ත්ව මළකුණු මෙන්ම විනාශ වූ ට්‍රක් හා යුධ ටැංකි පසුකරමින්, දිගටම ගමන් කළෙමු. හදිසියේම අපගේ ගමනට බාධා පමුණුවමින්, පාරේ බිම් බෝම්බ වළලා තිබූ බව අපි දුටුවෙමු. අපි සෙබළුන් දෙදෙනෙක් පර්වතයක් පසුපස සිට එබී බලනතෙක්, ට්‍රක් රථයේ නලාව ශබ්ද කළෙමු. “ඔබ කවුද? ඔබට මොනවද ඕනෑ?” යනුවෙන් ඔවුහු ඇසූහ.
අපව හඳුන්වා දීමෙන් පසු, මාර්ගය එළි කළ හැකිදැයි අප ඇසූ අතර, ඔවුහු ඊට එකඟ වූහ. අවසානයේ අපට අනෙක් පැත්තට එන්නට පුළුවන් විය.
එහි සෙබළුන් අපව දැකීමට පුදුම වූහ. ඔවුහු තමන්ගේ තුවක්කු කෙළින්ම අප වෙත එල්ල කරගෙන, තමන්ගේ සැඟවුණු ස්ථානවලින් හෙමින් ට්‍රක් රථය වෙතට ළඟා වූහ. යුද්ධ කලාපය හරහා ගමන් කරන විට ආරක්ෂක හේතු උදෙසා අප ගළවා තිබූ අපගේ ලියාපදිංචි තහඩු සමඟ අපගේ අවසර ලිපි අපි ඔවුන්ට පෙන්වීමු.
“කවුරුවත් ඔබව බලාපොරොත්තුවෙන් සිටියේ නැහැ, ඔබ ඒ හරහා ආවේ කොහොමද?” යයි එක් සෙබළෙක් පැවසීය.
අපගේ ඉල්ලීමට පටහැනිව, අප එන බව මේ ස්ථානවල කිසිවෙකුට දන්වා තිබුණේ නැත! “අපගේ තුවක්කුවල කොකා ඇදගෙන අපි වෙඩි තබන්නයි ලෑස්ති වෙලා හිටියේ” යයි එම නිලධාරියා දිගටම පැවසුවේය.
එසේ නොකළේ මන්දැයි අප ඔවුන්ගෙන් ඇසුවා.
එම සෙබළා පිළිතුරු දුන්නේ “මට හිතන්න බැහැ” යනුවෙනි. “මම හිතන්නේ ඒක ඔබගේ ඉරණම. එහෙත් අපි අපගේ ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ණාඩිවලින් බැලූ විට, ‘සහනාධාර’ ලේබල් අපි දුටුවා. ඉතින් ඔබට මොනවා කරන්නද කියලා අප දැනගෙන සිටියේ නැහැ. එනිසා ඔබ මේ පැත්තට ආවා.” පසුව අපි යෙහෝවඃවහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් හෘදයාංගම යාච්ඤාවක් උන්වහන්සේට ඔප්පු කළා.
අපගේ බොස්නියානු සහෝදර සහෝදරියන්ගේ තත්ත්වයන් බරපතළ වුවත්, ඔවුන් තුළ තිබෙන ස්ප්‍රීතුව ප්‍රබෝධවත් කරවනසුලුය. ඔවුහු තමන් සතු ද්‍රව්‍යමය දේවල් මෙන්ම ඇදහිල්ලේ හා දිරිගැන්වීමේ වචන බෙදාහදා ගනිති. සෙනට්සාහි, විශේෂ පුරෝගාමීන් දෙදෙනෙක්, උපකාරික පුරෝගාමීන් 11ක් හා අලුත බව්තීස්මය ලද 14දෙනෙක් ඇතුළුව ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 40දෙනෙක් සිටිත්. තවදුරටත් සාරයිවෝ නගරයේ රැඳී සිටින උපකාරික පුරෝගාමීහු 4දෙනා හා සාක්ෂිකරුවෝ 65දෙනා බයිබල් පාඩම් 134ක් පවත්වති. එම සාක්ෂිකරුවෝ දේව රාජ්‍යය ගැන අන් අයට කථා කරමින් සෑම මසකම පැය 20ක සාමාන්‍යයක් ගත කරති.
සැබවින්ම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ඇත්තේ ඇදහිලිවන්තයන්ගේ ලෝක ව්‍යාප්ත පවුලකි. ඇදහිල්ලේ තමන්ට අයිති වූවන්ට—තමන් ඊට කලින් නොදුටු අයට පවා—යහපත කරන්නට ඔවුහු කැමැත්තෙන්ම සිය ජීවිත පරදුවට තබති. ඒ මන්ද? හේතුව මොවුන් ඔවුන්ට ප්‍රේම කිරීමය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසුවේ “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත” යනුවෙනි. (යොහන් 13:35) ඇත්තෙන්ම බොස්නියාවේ අපගේ ඇදහිලිවන්තයන්ගේ පවුල සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ මෙයයි.
[24වන පිටුවේ සිතියම⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
අද්රීයාතික් මුහුද
ඕස්ට්‍රියාව
ස්ලෝවේනියා
හංගේරියාව
ක්‍රොඒෂියා
බොස්නියා
ට්රාව්නික්
සෙනට්සා
සාරයිවෝ
රොමේනියාව
[පින්තූර]
බොස්නියාවට හා හෙර්සගොවිනාවට සහනාධාර රැගෙන යෑම
[26වන පිටුවේ පින්තූරය]
අබලන් වූ ට්‍රක් රථයක් අමාරුවෙන් පසුකර යෑම