ආලෝක ධාරාවන්—ප්‍රබල හා සුළු (දෙවන කොටස)
“ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව.”—ගීතාවලිය 36:9.
1. එළිදරව් පොතේ සංකේතවත් කාරණා තේරුම්ගැනීමට කුමන මුල් වෑයම් දරනු ලැබුවේද?
බයිබලයේ එළිදරව් පොත මුල් කාලවල පටන් ක්‍රිස්තියානීන් තුළ කුතුහලයක් උපදවා ඇත. සත්‍යයේ ආලෝකය නිරතුරුව දීප්තිමත් වන ආකාරය පිළිබඳව කදිම ආදර්ශයක් එය සපයයි. වර්ෂ 1917දී, යෙහෝවඃවහන්සේගේ ජනයා ද ෆිනිෂ්ට් මිස්ට්‍රි නම් පොතේ එළිදරව්වේ පැහැදිලි කිරීමක් ප්‍රකාශයට පත් කළහ. එය අභීතව ක්‍රිස්තියානි ලෝකයේ ආගමික හා දේශපාලන නායකයන්ව එළිදරව් කළත්, එහි පැහැදිලි කිරීම් බොහොමයක් රැගෙන තිබුණේ විවිධ මූලාශ්රයන්ගෙනි. එහෙත්, ද ෆිනිෂ්ට් මිස්ට්‍රි පොත යෙහෝවඃවහන්සේ පාවිච්චි කරමින් සිටි දෘශ්‍යමාන මාධ්‍යය කෙරෙහි බයිබල් ශිෂ්‍යයන්ගේ පක්ෂපාතකම පරීක්ෂා කරන්ට දායක විය.
2. “ජාතියේ උපත” නම් ලිපිය එළිදරව් පොත කෙරෙහි හෙළුවේ කුමන ආලෝකයද?
2 වර්ෂ 1925, මාර්තු 1වන දින ද වොච් ටවර් සඟරාවේ “ජාතියේ උපත” යන ලිපිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එළිදරව් පොත කෙරෙහි කැපීපෙනෙන ආලෝක ධාරාවක් විහිදිණ. එළිදරව් 12වන පරිච්ඡේදය, මිථ්‍යාදෘෂ්ටික රෝමය හා පාප්තැන නියෝජනය කළ රෝමානු කතෝලික සභාව අතර යුද්ධයත්, එහි පිරිමි දරුවා පාප්තැනගේ නිලධුරයත් නියෝජනය කළේ යයි කල්පනා කරනු ලැබීය. එහෙත් එම ලිපිය, එළිදරව් 11:15-18, දේවරාජ්‍යයේ උපත විස්තර කරන බව අඟවමින්, එළිදරව් 12වන පරිච්ඡේදයේ අර්ථය කෙරෙහි සම්බන්ධයක් දක්වන බව පෙන්වීය.
3. එළිදරව් කෙරෙහි වැඩි ආලෝකයක් හෙළුවේ කුමන ප්‍රකාශනද?
3 වර්ෂ 1930දී, නිකුත් වු කාණ්ඩ දෙකකින් යුත්, ලයිට් නම් ප්රකාශනය, එළිදරව් පොත වඩාත් පැහැදිලිව තේරුම්ගැනීමට මඟ පෙන්වීය. මීටත් වැඩි පිරිසිදු කිරීමක් “බැබිලන් ද ග්‍රේට් හස් ෆෝලන්!” ගෝඩ්’ස් කිඩම් රූල්ස්! (1963) හා “දෙන් ඉස් ෆිනිෂ්ට් ද මිස්ට්‍රි ඔෆ් ගෝඩ්” (1969) නම් පොතේ දකින්ට ලැබිණ. එහෙත්, එළිදරව් නම් අනාවැකි පොත පිළිබඳව තවත් බොහෝ දෑ ඉගෙනගත යුතුව තිබිණ. එසේය, එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! නම් ප්රකාශනයත් සමඟ, 1988දී වඩාත් දීප්තිමත් ආලෝකයක් ඒ කෙරෙහි බැබළිණ. මෙම ප්රගතිශීලී ඥානාලෝකයට යතුර, එළිදරව්වේ අනාවැකි 1914න් ආරම්භ වූ “ස්වාමීන්වහන්සේගේ දවසේ” අදාළ වීම යයි කිව හැකිය. (එළිදරව් 1:10) එබැවින් එම දවස ඉදිරියට ඇදී යෑමත් සමඟ එළිදරව් පොත වඩාත් පැහැදිලිව තේරුම්ගනු ලබනවා ඇත.
“උසස් බලධාරීන්” පැහැදිලි කෙරේ
4, 5. (අ) බයිබල් ශිෂ්‍යයන් රෝම 13:1 දෙස බලන්නේ කෙසේද? (ආ) “උසස් බලධාරීන්” සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලිමය තත්වය කුමක් බව පසුව තේරුම්ගනු ලැබුවේද?
4 “හැමදෙනාම උසස් බලධාරීන්ට [“සුපිරි අධිකාරීන්ට,” නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන්] යටත්වෙත්වා” (කිං ජේම්ස් වර්ෂන්) යනුවෙන් පවසන රෝම 13:1 කෙරෙහි 1962දී දීප්තිමත් ආලෝක ධාරාවක් එල්ල විය. එහි සඳහන්ව ඇති “උසස් බලධාරීන්” ලෞකික අධිකාරීන්ට යොමු දැක්වූ බව මුල් බයිබල් ශිෂ්‍යයෝ තේරුම්ගත්හ. ඔවුන් තේරුම්ගෙන තිබුණේ, යුද්ධ කාලයේදී ක්‍රිස්තියානියෙකුව හමුදාවෙන් තෝරාගනු ලැබුවේ නම්, ඔහු නිල ඇඳුමක් පැළඳ, තුවක්කුවක් කරේ එල්ලාගෙන, පෙරමුණට යමින්, එහි අගල්වලට යෑමට බැඳී සිටින බව මෙම ශුද්ධ ලියවිලි වගන්තිය අදහස් කරන බවය. ක්‍රිස්තියානියෙකුට තවත් අයෙකු මරණයට පත් කළ නොහැකි බැවින්, තත්වය ඉතාම දරුණු අතට හැරුණේ නම්, ඔහුට තමාගේ තුවක්කුවෙන් අහසට වෙඩි තැබීමට සිදුවනු ඇතැයි කල්පනා කරනු ලැබීය.a
5 වර්ෂ 1962, නොවැම්බර් 15 හා දෙසැම්බර් 1 ද වොච්ටවර් සඟරා, මතෙව් 22:21හි ඇති, “කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා” යන යේසුස්වහන්සේගේ වදන් සාකච්ඡා කරමින්, මෙම විෂය කෙරෙහි පැහැදිලි ආලෝකයක් හෙළීය. ක්‍රියා 5:29හි ඇති ප්‍රේරිතවරුන්ගේ “[පාලකයාණන් වශයෙන්, NW]මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය” යන වදන් මෙයට සම්බන්ධකමක් දැක්වීය. ක්‍රිස්තියානීන් කායිසර්ට,— එනම් “උසස් බලධාරීන්ට” — යටත් වන්නේ එය දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීමක් ක්‍රිස්තියානියෙකුගෙන් ඉල්ලා නොසිටින තත්වයක් දක්වා පමණකි. කායිසර්ට යටත්වීම පූර්ණ එකක් නොව, සාපේක්ෂිත එකක් හැටියට තේරුම්ගනු ලැබීය. ක්‍රිස්තියානීන් කායිසර්ට ආපසු ගෙවන්නේ දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවන්ට පටහැනි නොවන දේවල් පමණකි. එම විෂය සම්බන්ධයෙන් පැහැදිලි ආලෝකයක් ලැබීම කොතරම් සතුටුදායක දෙයක් වූයේද!
සංවිධානාත්මක කාරණා කෙරෙහි ආලෝක ධාරාවන්
6. (අ) ක්‍රිස්තියානි ලෝකයේ පවතින පූජකයන් පිළිබඳ ව්‍යුහයෙන් මිදෙන්ට, කිනම් ප්‍රතිපත්තියක් අදාළ කරනු ලැබුවේද? (ආ) අවසානයේ සභාවේ අවේක්ෂණයක් කරන අය තෝරාගැනීමට නිවැරදි ක්‍රමය කුමක් බව තේරුම්ගනු ලැබුවේද?
6 සභාවේ වැඩිමහල්ලන් හා උපස්ථායකයන් හැටියට සේවය කළ යුත්තේ කවුද යන ප්රශ්නය මතුවිය. ක්‍රිස්තියානි ලෝකයේ පිළිගත් පූජකයන් පිළිබඳ ව්‍යුහයෙන් මිදෙන්ට, නිගමනය කරනු ලැබුවේ මොවුන් සෑම සභාවකම සාමාජිකයන්ගේ ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කළ යුතු බවය. එහෙත් 1932, සැප්තැම්බර් 1 හා ඔක්තෝබර් 15වන දිනැති ද වොච්ටවර් සඟරා, ඡන්දයෙන් පත් කරනු ලබන වැඩිමහල්ලන් සඳහා ශුද්ධ ලියවිලි ඉඩ නොහරින බව පෙන්වා දිණ. එබැවින් මේවා සේවා කමිටුවක් විසින් අනුයුක්ත කරනු ලැබූ අතර, සමිතියෙන් සේවා අධ්‍යක්ෂකවරයෙකු තෝරාගනු ලැබීය.
7. ආලෝක ධාරාවන් සභාවේ සේවකයන්ව පත් කරන ක්‍රමය සම්බන්ධයෙන් කිනම් වැඩිදියුණු තත්වයන් ඇති කළේද?
7 වර්ෂ 1938 ජූනි 1 සහ ජූනි 15වන දිනැති ද වොච්ටවර් සඟරාවල, සභාවේ සේවකයන් ඡන්දයෙන් පත් කිරීමක් නොව, තෝරා පත් කිරීමක්, එනම්, දිව්‍යාණ්ඩුමය වශයෙන් තෝරා පත් කිරීමක් කළ යුතු බවට ආලෝක ධාරාවන් අඩංගුව තිබිණ. වර්ෂ 1971දී විහිදුණු තවත් ආලෝක ධාරාවක්, එක් එක් සභාව හුදු තනි සභා සේවකයෙකුගේ මඟ පෙන්වීම් නොලැබිය යුතු බව පෙන්වීය. ඒ වෙනුවට, සෑම සභාවකටම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයෙන් පත් කරන ලද වැඩිමහල්ලන්ගේ, නැතහොත් අවේක්ෂකයන්ගේ මණ්ඩලයක් තිබිය යුතුය. එබැවින් වසර 40ක පමණ කාලයක් පුරා වැඩිවන්නාවූ ආලෝකය මගින්, වැඩිමහල්ලන් මෙන්ම උපස්ථායකයන්, එනම් දැන් උපස්ථායක සේවකයන් හැටියට හඳුන්වනු ලබන අය, එහි පාලක මණ්ඩලය තුළින් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් පත් කළ යුතුයයි පැහැදිලි විය. (මතෙව් 24:45-47) මෙය ප්‍රේරිතවරුන්ගේ කාලයේ සිදුවූ දෙයට එකඟව තිබිණ. තිමෝති හා තීතස් වැනි අය අවේක්ෂකයන් හැටියට පත් කරනු ලැබුවේ පළමු-ශතවර්ෂයේ පාලක මණ්ඩලයෙනි. (1 තිමෝති 3:1-7; 5:22; තීතස් 1:5-9) මේ සියල්ලක්ම මතු සඳහන් යෙසායා 60:17 සිත්ගන්නා ආකාරයකට සම්පූර්ණ කිරීමක් වන්නේය: “මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.”
8. (අ) ක්‍රමානුකූලව එළිදරව් වන සත්‍යය සමිතිය ක්‍රියා කළ ආකාරය කෙරෙහි කිනම් වැඩිදියුණු තත්වයන් ඇති කළේද? (ආ) පාලක මණ්ඩලයට අයත් කමිටු මොනවාද, තවද ඔවුන් කටයුතු කරන්නේ නැතහොත් අවේක්ෂණය කරන්නේ කුමන කාර්යන්ද?
8 වොච් ටවර් සමිතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කාරණයද තිබිණ. වසර ගණනාවකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයත්, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි අධ්‍යක්ෂක මණ්ඩලයත්, එකම පුද්ගලයන්ගෙන් සෑදී තිබූ අතර, කටයුතු වැඩි ප්‍රමාණයක් පාලනය කරනු ලැබුවේ එහි සභාපති විසිනි. වර්ෂ 1977 යියර් බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස් (පිටු 258-9) පොතේ පෙන්වා දෙනු ලැබූ ආකාරයට, 1976දී පාලක මණ්ඩලය කමිටු හයකින් යුක්තව ක්‍රියා කරන්ට පටන්ගත් අතර ඒ සෑම එකකටම ලෝක ව්‍යාප්ත සේවයේ ඇතැම් පැති කෙරෙහි සැලකිල්ල පවරා තිබිණ. සේවා පිරිස් කමිටුව, ලෝක ව්‍යාප්ත බෙතෙල් පවුලේ සේවය කරන සියල්ලන් ගැන සැලකිල්ල දැක්වීමද ඇතුළුව, සේවා කාරණා සමඟ කටයුතු කරයි. ප්‍රකාශක කමිටුව දේපොළ හා මුද්‍රණය වැනි, සියලු ලෞකික හා නීතිමය කාරණා සම්බන්ධයෙන් කටයුතු කරයි. සේවා කමිටුව සාක්ෂි දැරීමේ කටයුත්ත මෙන්ම සංචාරක අවේක්ෂකයන්, පුරෝගාමීන් හා සභා ප්‍රචාරකයන්ගේ කටයුතු කෙරෙහි අධීක්ෂණය කරයි. ඉගැන්වීමේ කමිටුව සභා රැස්වීම්, විශේෂ එක්රැස්වීම් දිනයන්, චාරිකා එක්රැස්වීම් මෙන්ම, දිස්ත්‍රික් හා ජාත්‍යන්තර සමුළු සඳහාද, දෙවියන්වහන්සේගේ ජනයාගේ ආත්මික අධ්‍යාපනය කෙරෙහි වූ විවිධ පාසැල් සඳහාද වගකිව යුතුය. ලේඛන කමිටුව සැමෙකක්ම ශුද්ධ ලියවිල්ලට එකඟව ඇති බව සහතික කරමින්, සියලු ආකාර ප්‍රකාශන සූදානම් කිරීම හා පරිවර්තනය කිරීම පරිපාලනය කරයි. සභාපතිගේ කමිටුව හදිසි හා වහා කළ යුතු කාරණාවන්ට සැලකිල්ල යොමු කරයි.b එමෙන්ම 1970 ගණන්වල පටන්, වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාල මෙහෙයවනු ලැබුවේ අවේක්ෂකයෙක් වෙනුවට කමිටුවක් මගිනි.
ක්‍රිස්තියානි හැසිරීමට සම්බන්ධ ආලෝකය
9. සත්‍යයේ ආලෝකය ලෝකයේ ආණ්ඩුවලට ඇති ක්‍රිස්තියානීන්ගේ සම්බන්ධතාවන්ට බලපෑවේ කෙසේද?
9 ක්‍රිස්තියානි හැසිරීමට බොහෝ ආලෝක ධාරාවන් අදාළව තිබිණ. උදාහරණයක් වශයෙන්, මධ්‍යස්ථභාවය පිළිබඳ විෂය සලකා බලන්න. වර්ෂ 1939, නොවැම්බර් 1වන දිනැති ද වොච්ටවර් සඟරාවේ පළ වූ “මධ්‍යස්ථභාවය” නම් ලිපියේ, මෙම විෂය කෙරෙහි විශේෂාකාර දීප්තිමත් ආලෝක ධාරාවක් හෙළනු ලැබීය. එය දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟ පැමිණීම, කොතරම් කාලෝචිත වූයේද! එම ලිපිය මධ්‍යස්ථභාවය විග්රහ කළ අතර, ක්‍රිස්තියානීන් දේශපාලන කටයුතුවලට හෝ ජාතීන් අතර ගැටුම්වලට මැදිහත් නොවිය යුතු බව පෙන්වා දුන්නේය. (මීකා 4:3, 5; යොහන් 17:14, 16) සියලු ජාතීන් විසින් ඔවුන්ට වෛර කරන්ට මෙය එක් හේතුවකි. (මතෙව් 24:9) යේසුස්වහන්සේ මතෙව් 26:52හි පැහැදිලි කරන්නාක් මෙන්, පුරාණ ඉශ්රායෙලයේ සටන් ක්‍රිස්තියානීන් සඳහා පූර්වාදර්ශයක් සපයන්නේ නැත. එපමණක්ද නොව, පුරාණ ඉශ්රායෙලය මෙන්, අදදින එකම දේශපාලන ආණ්ඩුවක්වත් දිව්යාණ්ඩුවක්, එනම් දෙවියන්වහන්සේ විසින් පාලනය කරනු ලබන්නක් නොවන්නේය.
10. ක්‍රිස්තියානීන් රුධිරය ගැන කල්පනා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආලෝක ධාරාවන් එළිදරව් කළේ කුමක්ද?
10 රුධිරයේ ශුද්ධවන්තකම කෙරෙහිද ආලෝකය බැබළිණ. ක්‍රියා 15:28, 29හි රුධිරය අනුභව කිරීමට එරෙහිව පනවා ඇති තහනම යුදෙව් ක්‍රිස්තියානීන්ට සීමාවූ බව බයිබල් ශිෂ්‍යයෝ කල්පනා කළහ. කෙසේවෙතත්, ප්‍රේරිතවරුන්ගේ කාලයේ මෙම ආඥාව ඇදහිලිවන්තයන් බවට පත්වූ අන්‍යජාතීන්ට අයත් අයටත් අදාළ වූ බව ක්‍රියා 21:25 පෙන්වයි. එබැවින් 1945, ජූලි 1වන දිනැති ද වොච්ටවර් සඟරාවේ පෙන්වා ඇති ආකාරයට, රුධිරයේ ශුද්ධවන්තකම සියලු ක්‍රිස්තියානීන්ට අදාළ වන්නේය. එය අදහස් කරන්නේ රුධිරය අඩංගු ලිංගුස් මෙන්, සත්ව රුධිරය අනුභව කිරීමට හුදු ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, රුධිර ප්‍රවේශනය වැනි ආකාරයන්ගෙන්ද, මිනිස් රුධිරයෙන්ද වැළකී සිටීමකි.
11. දුම්කොළ භාවිතය පිළිබඳ ක්‍රිස්තියානියෙකුගේ දෘෂ්ටිය සම්බන්ධයෙන් කුමක් තේරුම්ගනු ලැබුවේද?
11 වැඩිවූ ආලෝකයේ ප්‍රතිඵලයක් වශයෙන්, කලින් අනුමත නොකරන ලද පුරුදු, පසුව බරපතළ වැරැද්දක් හැටියට සලකනු ලැබීය. දුම්කොළ පාවිච්චිය මේ සම්බන්ධයෙන් උදාහරණයකි. වර්ෂ 1895, අගෝස්තු 1වන දිනැති සයන්’ස් වොච් ටවර් සඟරාවේ සහෝදර රසල් 1 කොරින්ති 10:31 හා 2 කොරින්ති 7:1ට අවධානය යොමු කරමින් මෙසේ ලිව්වේය: “යම් ක්‍රිස්තියානියෙක් ඕනෑම ආකාරයකින් දුම්කොළ පාවිච්චි කිරීම දෙවියන්වහන්සේගේ මහිමයට හෝ තමාගේම ප්‍රයෝජනයට කෙසේ දායක විය හැකිදැයි මට සිතාගත නොහැකිය.” වර්ෂ 1973 පටන් දුම්කොළ පාවිච්චි කරන්නෙක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් විය නොහැකි බව පැහැදිලිව තේරුම්ගනු ලැබීය. සාක්ෂිකරුවෙකුට සූදුවට සම්බන්ධ ආයතනයක සේවය කරමින් සභාවේ හොඳ ස්ථාවරයක් දැරිය නොහැකි බව වර්ෂ 1976 පැහැදිලි කරනු ලැබීය.
වෙනත් සංශෝධනයන්
12. (අ) ආලෝක ධාරාවක් පේතෘස්ට දෙන ලද රාජ්‍යයේ යතුරු සංඛ්‍යාව සම්බන්ධයෙන් කුමක් එළිදරව් කළේද? (ආ) පේතෘස් ඒ එක් එක් යතුර පාවිච්චි කළ තත්වයන් මොනවාද?
12 යේසුස්වහන්සේ පේතෘස්ට දුන් සංකේතවත් යතුරුවල ගණන කෙරෙහිද වැඩි ආලෝකයක් විහිදී ඇත. රාජ්‍යයේ උරුමක්කාරයන් වීමට ජනයාට මාවත විවෘත කළ යතුරු දෙකක් පේතෘස් ලැබුවේයයි බයිබල් ශිෂ්‍යයෝ කල්පනා කළහ, මින් එකක් යුදෙව්වන් සඳහා වන අතර, එය පාවිච්චි කරනු ලැබුවේ පො.යු. 33 පෙන්තකොස්තයේදීය. අනික අන්‍යජාතීන් සඳහා වන අතර, එය පළමු වතාවට පාවිච්චි කරනු ලැබුවේ පො.යු. 36දී පේතෘස් කොර්නේලියස්ට දේශනා කළ විටය. (ක්‍රියා 2:14-41; 10:34-48) කාලයාගේ ඇවෑමෙන්, තෙවන කණ්ඩායමක්—සමාරියයන් සම්බන්ධව සිටි බව තේරුම්ගනු ලැබීය. රාජ්‍යයේ ප්‍රස්තාව ඔවුන් සඳහා විවෘත කළ විට පේතෘස් දෙවන යතුර පාවිච්චි කළේය. (ක්‍රියා 8:14-17) මේ අනුව, තෙවන යතුර පාවිච්චි කරනු ලැබුවේ පේතෘස් කොර්නේලියස්ට දේශනා කළ විටය.—ද වොච්ටවර්, 1979, ඔක්තෝබර් 1, පිටු 16-22, 26.
13. ආලෝක ධාරාවන් යොහන් 10වන පරිච්ඡේදයේ සඳහන් බැටළුගාල් ගැන කුමක් එළිදරව් කළේද?
13 තවත් ආලෝක කදම්බයකින්, යේසුස්වහන්සේ යොමු දැක්වූයේ බැටළුගාල් දෙකකට නොව තුනකට බව තේරුම්ගනු ලැබීය. (යොහන්, 10වන පරිච්ඡේදය) මේවා නම් (1) යොහන් බව්තීස්ත දොරටුපාලකයාව සිටි යුදෙව් බැටළුගාල, (2) ආලේප ලත් රාජ්‍යය උරුමකරුවන්ගේ ගාල, හා (3) භූමික බලාපොරොත්තුවක් ඇති ‘වෙනත් බැටළුවන්ගේ’ ගාල.—යොහන් 10:2, 3, 15, 16; 1984, පෙබරවාරි 15, ද වොච්ටවර්, පිටු 10-20.
14. පූර්වාදර්ශයක් හැටියට පැවති ජුබිලිය පිළිබඳ කාරණා වැඩිවර්ධිත ආලෝකය පැහැදිලි කළේ කෙසේද?
14 පූර්වාදර්ශයක් හැටියට පැවති ජුබිලිය පිළිබඳ අවබෝධයද යම් පැහැදිලි කිරීමක් ලැබීය. ව්‍යවස්ථාව යටතේ, සෑම 50වන වසරම, දේවල් එහි මුල් උරුමකරුට ආපසු ලබා දෙනු ලැබූ ශ්‍රේෂ්ඨ ජුබිලියක් විය. (ලෙවී කථාව 25:10) මෙය ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු රාජ්‍ය පාලනය පෙර ඡායා කොට දැක්වූ බව දීර්ඝ කලකට පෙර වටහාගනු ලැබීය. කෙසේවෙතත්, වඩාත් නවීන කාලවල, මෙම පූර්වාදර්ශයක් හැටියට පැවති ජුබිලිය ඇත්තවශයෙන්ම පො.යු. 33 පෙන්තකොස්තයේ, එනම් වගුරුවන ලද ශුද්ධාත්මය ලැබූ අය මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුමට වූ වහල්භාවයෙන් මිදීමක් ලැබූ විට, ආරම්භ වූ බව තේරුම්ගනු ලැබීය.—වර්ෂ 1987, ජනවාරි 1, ද වොච්ටවර්, පිටු 18-28.
පාරිභාෂික ශබ්දමාලාව කෙරෙහි වැඩිවර්ධිත ආලෝකයක්
15. “සැලැස්ම” යන වචනය (වර්ඩ් “ප්ලෑන්”) පාවිච්චි කිරීම කෙරෙහි කිනම් ආලෝක හෙළනු ලැබුවේද?
15 “දේශනාකාරයා . . . දේශනාකරන ප්‍රිය වචන සොයාගන්ට උත්සාහකෙළේය.” (දේශනාකාරයා 12:9, 10) මෙම වචන අපගේ වර්තමාන විෂයට හොඳින් අදාළ කරගත හැකිය, මන්දයත් ආලෝකය විහිදී ඇත්තේ ධර්ම ඉගැන්වීම් හා හැසිරීම වැනි වැදගත් විෂයන් කෙරෙහි පමණක් නොව, එහෙත් ක්‍රිස්තියානි පාරිභාෂික ශබ්දමාලාව කෙරෙහි හා එහි නිවැරදි අර්ථ කෙරෙහිත්ය. උදාහරණයක් වශයෙන්, ද ඩිවයින් ප්ලෑන් ඔෆ් ද ඒජස් නම් මාතෘකාවෙන් යුත්, ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් පොතේ පළමු වෙළුම බයිබල් ශිෂ්‍යයන් අතර වඩාත්ම සිත්ගත් ප්රකාශනයක් විය. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන්, මනුෂ්‍යයන් සැලසුම් ඇතිකරන්නන් හැටියට පමණක් දේවවචනය කතා කරන බව තේරුම්ගනු ලැබීය. (හිතෝපදේශ 19:21) ශුද්ධ ලියවිල්ල යෙහෝවඃවහන්සේ සැලසුම් කරන බව නොපවසයි. උන්වහන්සේට සැලසුම් කරන්ට අවශ්‍යතාවක් නැත. උන්වහන්සේගේ අපරිමිත ප්‍රඥාව හා බලය නිසා, උන්වහන්සේ අරමුණු කරන ඕනෑම දෙයක් සාර්ථක වනු නියතය, මෙය, මේ සම්බන්ධයෙන් එපීස 1:9, 10හි අපට කියවන්ට තිබෙනවාක් මෙනි: “කාලවල සම්පූර්ණකමේ නියමය ලෙස . . . තමන්වහන්සේ තුළ අදහස්කළ තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වාදීමෙන්ය.” මෙසේ යෙහෝවඃවහන්සේට යොමු දක්වන විට “අරමුණ” යන යෙදුම වඩාත්ම උචිත එක බව ක්‍රමානුකූලව තේරුම්ගනු ලැබීය.
16. ක්‍රමානුකූලව ලූක් 2:14හි නිවැරදි අර්ථය කුමක් බව තේරුම්ගනු ලැබුවේද?
16 තවද ලූක් 2:14 පැහැදිලිව තේරුම්ගැනීමේ අවශ්‍යතාවක් ඇති විය. කිං ජේම්ස් වර්ෂන් අනුව, එය කියවන්ට ඇත්තේ “ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද, පොළොව මත මනුෂ්‍යයන් කෙරෙහි සමාදානය, හොඳ හිතද වේවා” යනුවෙනි. මෙය නිවැරදි සිතුවිල්ල ප්‍රකාශ නොකළ බව පෙනිණ, මන්දයත් දෙවියන්වහන්සේගේ හොඳ හිත දුෂ්ටයන් කෙරෙහි ප්‍රකාශ නොකෙරෙන නිසාය. එබැවින් සාක්ෂිකරුවන් කල්පනා කළේ මෙය දෙවියන්වහන්සේ කෙරෙහි හොඳ හිත පැවැත්වූ මිනිසුන්ට සමාදානයක් හැටියටය. බයිබලය කෙරෙහි උනන්දුවක් දැක්වූ අය හොඳ හිතැති අය හැටියට ඔවුහු යොමු දැක්වූහ. එහෙත් මීට සම්බන්ධව තිබුණේ මිනිසුන්ගේ පැත්තෙන් නොව, දෙවියන්වහන්සේගේ පැත්තෙන් හොඳ හිත බව තේරුම්ගනු ලැබීය. මේ අනුව, නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබලයේ ලූක් 2:14 පාද සටහන කතා කරන්නේ “උන්වහන්සේ [දෙවියන්වහන්සේ] අනුමත කරන මිනිසුන්” පිළිබඳවය. සිය කැපවීමේ භාරය අනුව ජීවත් වන සියලුම ක්‍රිස්තියානීහු දෙවියන්වහන්සේගේ හොඳ හිත ඇති ව සිටින්නාහ.
17, 18. යෙහෝවඃවහන්සේ නිදොස් කරනු ඇත්තේ කුමක්ද, තවද උන්වහන්සේ කුමක් විශුද්ධ කරනු ඇත්ද?
17 සමානාකාරයෙන්, දීර්ඝ කාලයකට, සාක්ෂිකරුවෝ යෙහෝවඃවහන්සේගේ නාමය නිදොස් කිරීම ගැන කතා කළහ. එහෙත් සාතන් යෙහෝවඃවහන්සේගේ නාමය ගැන ප්‍රශ්න කර තිබුණේද? එපමණක්ද නොව, සාතන්ගේ නියෝජිතයන්ගෙන් කිසිවෙක් හෝ යෙහෝවඃවහන්සේට ඒ නාමය සඳහා අයිතියක් නැත කියා ප්‍රශ්න කර තිබේද? කොහෙත්ම නැත. අභියෝග කරනු ලැබ නිදොස් කළ යුතුව තිබුණේ යෙහෝවඃවහන්සේගේ නාමය නොවේය. වොච් ටවර් සමිතියේ මෑත කාලීන ප්‍රකාශන යෙහෝවඃවහන්සේගේ නාමය නිදොස් කිරීම ගැන කතා නොකරන්නේ ඒ නිසාය. ඔවුහු යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමක් හැටියටත්, උන්වහන්සේගේ නාමය විශුද්ධ කිරිමක් හැටියටත් කතා කරති. මෙය “ඔබගේ නාමයට ගෞරව වේවා” යනුවෙන් යාච්ඤා කරන හැටියට යේසුස්වහන්සේ අපට පැවසූ දෙයට එකඟය. (මතෙව් 6:9) සිය නාමය ගෞරවයට පත් කරන්ට යන බව, නොයෙක් විට යෙහෝවඃවහන්සේ ප්‍රකාශ කළ අතර, ඉශ්‍රායෙලිතයන් මෙයට අභියෝග කර නොතිබුණත් එය කෙලෙසා තිබිණ.—එසකියෙල් 20:9, 14, 22; 36:23.
18 සැලකිය යුතු ලෙසින්, “ද නේෂන්ස් ෂැල් නෝ දැට් අයි අම් ජෙහෝවා”—හෞ? නම් පොත මෙම වෙනස සඳහන් කළේ මෙසේය: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ . . . යෙහෝවඃවහන්සේගේ සර්වලෝක පරමාධිපත්‍යය නිදොස් කිරීමටත් යෙහෝවඃවහන්සේගේ නාමය විශුද්ධ කිරීමටත් . . . සටන් කරනසේක.” (පිටු 364-5) වර්ෂ 1973දී, ගෝඩ්’ස් කිංඩම් ඔෆ් ඒ තවුසන්ඩ් යියර්ස් හෑස් එප්රෝච්ට් නම් පොත පැවසුවේ මෙසේය: “පැමිණෙන ‘මහත් පීඩාව’ සිය සර්වලෝක පරමාධිපත්‍යය නිදොස් කරන්ටත් සිය වටිනා නාමය විශුද්ධ කිරීම සදහාත් සර්වබලධාරි දෙවියන් වන යෙහෝවඃවහන්සේට අවස්ථාව වන්නේය.” (409 පිටුව) අනතුරුව, වර්ෂ 1975දී, මෑන්’ස් සැල්වේෂන් අවුට් ඔෆ් වර්ල්ඩ් ඩිස්ට්රස් ඇට් හෑන්ඩ්! නම් පොත පැවසුවේ මෙසේය: “සර්වලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිද්ධිය, එනම්, යෙහෝවඃවහන්සේගේ සර්වලෝක පරමාධිපත්‍යය නිදොස් කිරීම හා උන්වහන්සේගේ පරිශුද්ධ නාමය විශුද්ධ කිරීම එවිට නිමාවට පත්වෙනවා ඇත.”—281වන පිටුව.
19, 20. ආත්මික ආලෝක ධාරාවන්ට අප ඇගයීම පෙන්විය හැක්කේ කෙසේද?
19 මෙම ආත්මික ආලෝකය තුළ සන්තෝෂයෙන් සිටින්ට යෙහෝවඃවහන්සේගේ ජනයා කොතරම් ආශීර්වාදිත පිරිසක්ද! එක්තරා පූජකයෙකුගේ මෙම ප්‍රකාශය, මීට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙසින්, ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් කොතරම් ආත්මික අන්ධකාරයක සිටින්නේදැයි දක්වයි: “පාපය කුමටද? වේදනා විඳීම කුමටද? යක්ෂයා කුමටද? මෙම ප්‍රශ්න මා ස්වර්ගයට ගිය විට ස්වාමීන්වහන්සේගෙන් අසන්ට මට ඕනෑ වී ඇත.” එහෙත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ඒ මන්දැයි ඔහුට කිව හැකිය: හේතුව, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය පිළිබඳ කාරණය නිසාත්, යක්ෂයාගේ විරුද්ධවාදිකම් තිබියදීත් මනුෂ්‍ය මැවිලිවලට දෙවියන්වහන්සේ කෙරෙහි අඛණ්ඩතාව පැවැත්විය හැකිද යන ප්රශ්නය නිසාත්ය.
20 ගතවූ කාලය පුරා, ප්‍රබල හා සුළු ආලෝක ධාරාවන් යෙහෝවඃවහන්සේගේ කැපවූ සේවකයන්ගේ මාවත් ආලෝකවත් කර ඇත. මේවා සිදුවී ඇත්තේ ගීතාවලිය 97:11 හා හිතෝපදේශ 4:18 වැනි ශුද්ධ ලියවිලි පදවල ඉටුවීමක් හැටියටය. එහෙත් එම ආලෝකයේ ගමන් කිරීම යනු වැඩිවර්ධිත ආලෝකයක් සඳහා අගය ප්‍රකාශ කිරීම හා එයට එකඟව ජීවත් වීම අදහස් කරන බව අපි කිසිවිටෙක අමතක නොකරමු. අප මෙතෙක් දුටු ආකාරයට, මෙම වැඩිවර්ධිත ආලෝකයට අපගේ හැසිරීම මෙන්ම අපගේ දේශනා බලපැවරුම යන අංග දෙකම අයත් වන්නේය.
[පාදසටහන්වල]
a මෙම දෘෂ්ටියට ප්‍රතික්‍රියාවක් වශයෙන්, 1929, ජූනි 1 සහ ජූනි 15 ද වොච් ටවර් සඟරා එම “උසස් බලධාරීන්” යෙහෝවඃ දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නේ යයි තේරුම් කර දිණ. වර්ෂ 1962දී නිවැරදි කරනු ලැබුවේ මූලික වශයෙන් මෙම තත්වයයි.
b එස්රාගේ දවසේ නෙතිනීම්වරුන් හා සමානව, පාලක මණ්ඩලයට සහාය වීමට ‘වෙනත් බැටළුවන්ගෙන්’ තෝරාගන්නා ලද සහෝදරයන් පත් කරනු ලබන බව 1992, අප්‍රියෙල් 15වන දිනැති ද වොච්ටවර් සඟරාව නිවේදනය කළේය.—යොහන් 10:16; එස්රා 2:58.
ඔබට මතකද?
◻ ‘උසස් බලධාරීන්ට’ යටත් වීම කෙරෙහි කිනම් ආලෝකයක් හෙළනු ලැබුවේද?
◻ ආලෝක ධාරාවන් නිසා කිනම් සංවිධානාත්මක ප්රවර්ධනයන් සිදුවී ඇත්තේද?
◻ වැඩිවර්ධිත ආලෝකය ක්‍රිස්තියානි හැසිරීමට බලපෑම් කර ඇත්තේ කෙසේද?
◻ ආත්මික ආලෝකය ඇතැම් ශුද්ධ ලියවිලිමය කාරණා පිළිබඳ අපගේ වැටහීම කෙරෙහි කිනම් ශෝධනයන් සිදු කර ඇත්තේද?
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Keys on page 24: Drawing based on photo taken in Cooper-Hewitt, National Design Museum, Smithsonian Institution