ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—ඉන්දියාව
ඉන්දියාව! මෙම විශාල උපමහාද්වීපය, මෙම ග්‍රහයා මත වෙසෙන සෑම මනුෂ්‍යයන් 6දෙනෙකුගෙන් එක්කෙනෙකු සඳහා වාසස්ථානය වේ. සමස්තයක් වශයෙන් ගත් කල, මෙම විවිධාකාර දේශය තුළ, භාෂා සහ උපභාෂා 1,000කට වැඩි සංඛ්‍යාවක් කතා කෙරේ. මෙහි ජනයා ප්‍රධාන වශයෙන් එනම් සියයට 83ක්ම හින්දු භක්තිකයන් වේ, තවද සියයට 11ක් මුස්ලිම් භක්තිකයන්ද වන අතර, සීක්වරුන්, බෞද්ධයන්, ජෛනවාදීන් සහ නාමික ක්‍රිස්තියානීන්ගෙන් ඉතිරි කොටස සෑදේ.
මෑත වසරවලදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, ඉන්දියාවේ කැපීපෙනෙන සාර්ථකත්වයක් භුක්තිවිඳ ඇත. සියලු ආකාරයේ පීඩා සහ විරුද්ධවාදීකම් මධ්‍යයෙහි පවා, යෙහෝවඃවහන්සේගේ රාජ්‍යයට පක්ෂව ස්ථිර ස්ථාවරයක් ගැනීමට, කැමැත්තෙන් සිටින බැටළු ගුණැති පුද්ගලයන් ඔවුන් විසින් සොයාගෙන ඇත.
නිදසුනක් වශයෙන්, සම්ප්‍රදායික හින්දු ධර්මයට අයත් පවුලක ගැහැනු දැරියක, ළමාවියේ පටන් පෝලියෝ රෝගයෙන් ඔත්පළව සිට තිබිණ. ඇයට විඳීමට සිදුවූ වේදනාව, දෙවියන්වහන්සේ ගැන සහ ජීවිතයේ අරමුණ පිළිබඳ කල්පනා කිරීමට ඇයව පෙලඹවිය. පිළිතුරු සොයාගැනීමට ඇය ආගම් බොහොමයක් පරීක්ෂා කළත්, ඇයට සහනය සොයාගැනීමට නොහැකි විය. ප්‍රතිඵලයක් වශයෙන් ඈ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැති නොකරගත් නමුත්, ආගම් කෙරෙහි ඇදහිල්ල නැති කරගත්තාය.
මේ කාලය වන විට, සාක්ෂිකරුවන් දෙදෙනෙකුට, තම ගෙයින්-ගෙට සේවයේදී මෙම දැරියව මුණගැසිණ. “එළිදරව් 21:4 ඔවුන් කියවනවා මට ඇසුණු විට, මගේ ඇස්වලින් කඳුළු ආවා” යයි ඈ සිහිපත් කරන්නීය. ඈ වොච් ටවර් සමිතියේ ප්‍රකාශන බොහොමයක් ලබාගත් අතර, ඇයගේ මවගේ විරෝධය මධ්‍යයෙහි පවා නිවාස බයිබල් පාඩමකට එකඟ වූවාය. මෙම දැරිය ඇයගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු කළ අතර, නෑදෑයන්ගේ විරුද්ධවාදීකම්වලට නිර්භීතව මුහුණදී, බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් බවට පත්වූවාය. ඈ මෙසේ පවසයි: “මම දිග ගමනක් පැමිණ තිබෙනවා, තවද එය ඉතාමත් දුෂ්කර මාර්ගයක් වී තිබෙනවා. එහෙත් යෙහෝවඃ දෙවියන්වහන්සේ සැමවිටම මා සමඟ සිට, මට මහත් සමාදානය සහ ප්‍රීතිය සපයා දී තිබෙනවා.”
පාසැලේදී නිර්මල නමස්කාරය සඳහා ස්ථාවරය
එක් යෞවන සහෝදරියකට, පංතියේ සෙස්සන් සමඟ කතෝලික පල්ලියකට යන මෙන් ඇයගේ ගුරුතුමිය විසින් ඉල්ලන ලදි. තමා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු බව සහ යෙහෝවඃවහන්සේ හැර වෙන කිසිම කෙනෙකුට හෝ දෙයකට නමස්කාර නොකරන බව පවසමින්, මෙම සහෝදරිය විනීත ආකාරයකින් එය ප්‍රතික්ෂේප කළාය. අනික් සියලුදෙනාම යන විට ඇයත් පල්ලියට යා යුතු බව ගුරුතුමිය පැවසුවාය. එහෙත්, පල්ලියට යන අය යෙහෝවඃවහන්සේට යාච්ඤා නොකරන බැවින්, ඔවුන් සමඟ ඇය එහි සහභාගි වන්නේ කෙසේද කියා ඇයට සිතාගන්ට අපහසු බව එම සහෝදරිය ස්ථිරයෙන්ම පැවසුවාය.
මෙම දැරියගේ ස්ථිරභාවය නිසා මෙම ගුරුතුමියට තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය විය. එනිසා ඊළඟ දවසේදී, එම සහෝදරිය ඇයට යෙහෝවඃවහන්සේගේ නමස්කාරය සම්බන්ධයෙන් මුරටැඹ ලිපියක් දුන්නාය. ඇය කියවූ දේ ඇයගේ සිතට තදින්ම කාවැදුණු අතර, ගුරුතුමිය පාසැලේ පැවති සියලු ආගමික කටයුතුවලින් ඇයව නිදහස් කළාය. ඇයට මෙන්ම වෙනත් ගුරුවරුන්ටද සඟරා දහයක් බෙදා දීමට මෙම සහෝදරියට හැකිවිය.
රුධිරය සම්බන්ධයෙන් දේවනීතියට කීකරුවීමෙන් විපාක ලැබීම
මෑතකදී, කේරළ ප්‍රාන්තයේ ඇතැම් කොටස්වල වයිරස් උණක්, වසංගතයක් මෙන් වේගයෙන් පැතිර ගියේය. මෙම රෝගය බරපතළ ලෙස වකුගඩුවලට හානි පමුණුවන අතර, කාන්දු පෙරීමක අවශ්‍යතාවටද මඟ පාදයි. සාමාන්‍යයෙන් රුධිර ප්‍රවේශන දෙනු ලැබේ. එක් නගරයක් තුළ මනුෂ්‍යයන් 14දෙනෙකු මෙම රෝගය හේතුවෙන් රෝහල්ගත කරනු ලැබිණ. මෙයින් එක් රෝගියෙක් සාක්ෂිකරුවෙක් මෙන්ම, එම ප්‍රදේශයේ සභාවේ වැඩිමහල්ලෙක් වූයේය. රුධිර ප්‍රවේශන මෙයට ඇති එකම ප්‍රතිකාරය බව ඔහුට පවසනු ලැබීය. වැඩිමහල්ලා තම ශුද්ධ ලියවිලිමය විශ්වාසය පැහැදිලි කොට, ස්ථිරයෙන්ම රුධිරය ප්‍රතික්ෂේප කළේය. (ක්‍රියා 15:28, 29) බොහෝ තර්ක කිරීමකින් අනතුරුව වෛද්‍යවරුන් පැවසුවේ, ඔහු රුධිරය ප්‍රතික්ෂේප කළ නිසා මියයන බවටයි.
අනික් රෝගීහු 13දෙනා රුධිරය ලබාගත්හ. දුක්ඛදායක ලෙස, දින කිහිපයක් ඇතුළත ඔවුහු සියලුදෙනාම මියගියෝය. බේරුණු එකම තැනැත්තා මෙම සහෝදරයා පමණි! රෝහල් අධිකාරීහු මහත් පුදුමයට පත්වූහ. සභා සාමාජිකයන්ගේ නිතිපතා පැමිණීම, වෛද්‍ය කාර්ය මණ්ඩලය මහත් විස්මයට පත්කළේය. මෙම සහෝදරයා රෝහලෙන් පිටවූ පසු, වෛද්‍යවරුන්ට ස්තුති කිරීමට ඔහු නැවත ගිය විට ඔවුහු මෙසේ පැවසූහ: “ඔබ අපට ස්තුති කරන්නේ ඇයි? ඔබගේ දෙවි වූ යෙහෝවඃවහන්සේට ස්තුති කරන්න. ඔබගේ ජීවිතය ගළවාගත්තේ උන්වහන්සේයි. කරුණාකර, ඔබගේ දෙවි වූ යෙහෝවඃවහන්සේට අප සඳහාත් යාච්ඤා කරන්න.”
[24වන පිටුවේ කොටුව]
රටේ ආකෘතියක්
1994 සේවා වසර
සාක්ෂිදරන උපරිම සංඛ්‍යාව: 14,271
අනුපාතය: 1 සාක්ෂිකරුවෙකුට 65,266
සිහිකිරීමට පැමිණීම: 38,192
පුරෝගාමී ප්රචාරක සාමාන්‍යය: 1,780
බයිබල් පාඩම් සාමාන්‍යය: 12,453
බව්තීස්ම වූ සංඛ්‍යාව: 1,312
සභා ගණන: 410
ශාඛා කාර්යාලය: ලොනාව්ලා
[25වන පිටුවේ පින්තූරය]
ශාඛා කාර්යාලය, ලොනාව්ලා
[25වන පිටුවේ පින්තූරය]
1963, “සදාකාල ශුභාරංචිය” සමුළුව සම්බන්ධයෙන් සාක්ෂිදැරීම
[25වන පිටුවේ පින්තූරය]
දිල්ලියේ රතු කොටුවෙන් පිට වෙළෙන්දෙකුට දේශනා කිරීම