සත්‍යය සමඟ සම්ප්රදාය ගැටෙන විට
අනතුරුදායකයි—ජලය පානය සඳහා නුසුදුසුය. එවැනි අනතුරු ඇඟවීම් දැකීම අපට හුරුපුරුදු දෙයක් විය හැක. විෂ මිශ්‍රවීමෙන් “විෂ සහිත මිශ්‍රණයක්” ලෙසින් නම් කර ඇති දෙයින් ඇතැම් ජල සැපයුම් විෂ වී ඇති බව ඔවුන් දන්නා හෙයින්, බොහෝ ප්‍රදේශවල ජනයා තමන් පානය කරන දෙය ගැන පරෙස්සම් වෙති. මෙම දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන්, “ජීවත්කරවන්නෙකු සහ ජීවිතයේ ආරක්ෂකයෙකු” ලෙස ක්‍රියා කරනවා වෙනුවට, ජලය “රෝගබීජ සහ. . . රසායනික දූෂ්‍යකාරක පතුරන්නෙකු” බවට පත්විය හැකියයි එක් අධ්‍යයනයක් පවසයි.—වෝටර් ප’ලූෂන් (ජල දූෂණය).
සත්‍යයේ ජලය දූෂණය කිරීම
සත්‍යය සමඟ ගැටෙන සම්ප්‍රදායන් දූෂිත ජල සැපයුම් මෙනි. ඇත්තෙන්ම, මුළා කරන අදහස් සහ දර්ශන සහිත බොරුවේ “විෂ මිශ්‍රණයකින්” දූෂණය වී තිබෙන සම්ප්රදායන්වලට—එනම් එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට දෙන ලද තොරතුරු, නොයෙක් මත, විශ්වාස හෝ සිරිත් විරිත්වලට අප අවංකවම ඇලී සිටිනවා විය හැක. දූෂිත ජලය ලෙසම, මේවා අප්‍රමාණ අනතුරුවලට— ආත්මික අනතුරුවලට හේතු විය හැක.
අපගේ සම්ප්‍රදායානුකූල ආගමික විශ්වාස බයිබලය මත පදනම්ව තිබෙන බව අපට හැඟෙනවා වුවත්, ඒවා පරෙස්සමින් පරීක්ෂා කර බැලීමට අප සියලුදෙනාම කාලය ගත යුතුය. මාර්ටින් ලූතර්, ඔහුගේ කාලයේ සම්ප්‍රදායානුකූල විශ්වාසය පිළිපදිමින්, කොපර්නිකස් හෙළාදුටු විට, තමාට බයිබලයේ අනුබලය තිබෙන බවට ඔහු විශ්වාස කළ බව මතක තබාගන්න. එහෙත්, ‘කරුණු හරි හැටි දැනගන්නා පිණිස ශුද්ධ ලියවිලි පරෙස්සමින් පිරික්සූ උදාර ගතිගුණ තිබූ’ පුරාණ බෙරියයන්ගේ කදිම ආදර්ශය අනුගමනය කිරීමට ලූතර් අසමත් වූයේය.—ක්‍රියා 17:10, 11, නව අනුවාදය.
යේසුස්වහන්සේගේ දවස්වල ඇතැම් යුදෙව්වන්ට සම්ප්‍රදායන් මගින් සිදු කළ හානිය ගැන සිතා බලන්න. ඔවුහු සිය සම්ප්‍රදායන් සැබෑ වූ බවට ඉතා උනන්දුවෙන් විශ්වාස කළහ. යේසුස්වහන්සේගේ ගෝලයන් සම්ප්‍රදායන් පැවැත්වූයේ නැතැයි කියා ඔවුන් විරුද්ධත්වය පළ කළ විට, යේසුස්වහන්සේ මෙම ප්රශ්නය අසමින් ඔවුන්ට අභියෝග කළසේක: “ඔබේ පරම්පරාගත සම්ප්රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව කඩ කරන්නේ මන්ද?” (මතෙව් 15:1-3, නව අනුවාදය) වැරදී තිබුණේ කුමක්ද? යේසුස්වහන්සේ ප්‍රොපේත යෙසායාගේ වචන උපුටා දැක්වූ විට ගැටලුව අඳුනාගත්සේක: “මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් [දෙවියන්වහන්සේට] නමස්කාරකරන්නේ නිරර්ථකයේය.”—මතෙව් 15:9; යෙසායා 29:13.
එසේය, දෙවියන්වහන්සේගෙන් හටගත් සත්‍යය වෙනුවට, ඔවුහු මිනිසුන්ගෙන් හටගත් අදහස් නැතහොත් ඊටත් වඩා නරක ලෙස, භූතයන්ගෙන් හටගත් අදහස් ආදේශ වශයෙන් උපයෝගි කරගත්හ. උදාහරණයක් වශයෙන්, ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් 1 වෙළුම, 506 පිටුව මෙසේ පැහැදිලි කරයි: “පුද්ගලයෙකු වරක් තම වස්තු කොර්බාන්යයි හෝ දෙවියන්වහන්සේට කැප කළ දීමනාවක්යයි ප්‍රකාශ කළ විට, ඒවා දෙමව්පියන්ට කෙතරම් අවශ්‍ය වනවා විය හැකි වුවත්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට මේවා භාවිත කළ නොහැකි නමුත්, එම තැනැත්තා එවැනි වස්තු භාවිත කිරීමට තෝරාගතහොත් ඔහුගේම මරණය දක්වා ඔහුට ඒවාවලින් ප්‍රයෝජන ගත හැකියයි එකල සිටි ඵරිසිවරු ඉගැන්වූහ.” සත්‍යයේ ජලය දූෂණය කළ මිනිස් ප්‍රඥාව, යුදෙව් ආත්මිකත්වය කෙරෙහි නරක බලපෑමක් විය. වැඩිදෙනෙක් තමන් දිගු කලක් පුරා බලා සිටි මෙසියස්වහන්සේව පවා ප්‍රතික්ෂේප කළහ.
ක්‍රිස්තියානි ලෝකය දූෂණයට දායක වෙයි
යේසුස්වහන්සේගේ මරණයෙන් පසු එවැනිම ආත්මික හානියක් සිදු විය. උන්වහන්සේගේ අනුගාමිකයන්යයි ප්‍රකාශ කළ බොහෝදෙනෙක් නව ඉගැන්වීම් සඳහා අධිකාරිත්වයක් වශයෙන් වාචික සම්ප්‍රදායන් වෙත ඇදී ගියහ. මැක්ලින්ටොක් සහ ස්ට්‍රෝං විසින් ලියන ලද සයික්ලොපීඩියා ඔෆ් බිබ්ලිකල්, තියලොජිකල්, ඇන්ඩ් එක්ලිසිඇස්ටිකල් ලිටරෙචර් සඳහන් කරන පරිදි, ක්‍රිස්තියානීන්යයි කියාගත් ඇතමුන්ට හැඟුණේ එවන් සම්ප්‍රදායන් “ප්‍රේරිතයන් වෙතින් පළමු ක්‍රිස්තියානි සභාවලට ලැබුණු උපදෙස් බවත්, ඒවා ප්‍රේරිතයන්ගේ යුගයේ සිට පැවතවිත්, තමුන්ගේම කාලය දක්වා පවිත්‍රව ආරක්ෂා කර තිබූ බවත්ය.”—ඇල අකුරු අපේය.
යථාර්ථය නම් මෙම සම්ප්රදායන්ගෙන් වැඩි කොටසක් අපවිත්‍රව, වැරදි අදහස් සහිත වීමය. සයික්ලොපීඩියා පැහැදිලි කරන පරිදි, මෙම නව දර්ශනවාදයන් “වෙනත් සම්ප්රදායන්ගෙන් පමණක් නොව, නමුත් ඔවුන් ළඟ තිබූ ප්‍රේරිතයන්ගේ ලියවිලිවලින් පවා වෙනස්ව තිබිණ.” මෙය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක් වූයේ නැත. ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ අනතුරු අඟවා තිබිණ: “ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.”—කොලොස්සි 2:8, නව අනුවාදය.
අදදිනද, බොහෝ සම්ප්‍රදායානුකූල විශ්වාසයන් ‘ප්‍රේරිතයන්ගේ ලියවිලිවලින් වෙනස්ය.’ ත්‍රිත්වය, නිරාගින්න, මනුෂ්‍ය ආත්මයේ අමරණීයභාවය, ජාත්‍යාලය සහ රූප වන්දනාව වැනි අප්‍රමාණ භූත අදහස්වලින් ක්‍රිස්තියානි ලෝකය සත්‍යයේ ජලය විෂ කර ඇත.a (1 තිමෝති 4:1-3) ක්‍රිස්තියානි ලෝකයේ සම්ප්‍රදායානුකූල ඉගැන්වීම් බවට පත් වී තිබෙන භූතමය ඉගැන්වීම්වලට ගොදුරු වූ ජනයාගේ ආත්මික අසනීප තත්වය සම්බන්ධයෙන් ඉතිහාසය සාක්ෂිදරයි.—යෙසායා 1:4-7 සසඳන්න.
ඇත්තෙන්ම කියනවා නම්, මිනිසාගේ පටන්ගැන්මේ සිටම සත්‍යයේ එවැනි දූෂණය වීමක් සිදුවෙමින් තිබී ඇත. මිනිසුන්ගේ මනස් බොරුවෙන් හා මුළාවෙන් විෂ කිරීමට සාතන් විසින් පටන්ගන්නා ලද ක්‍රියාවලිය ඔහු දිගටම පවත්වා ඇත. (යොහන් 8:44; 2 කොරින්ති 11:3) නෝවාගේ ජලගැල්මෙන් පසු පොළොව පුරා මිනිස් පවුල පැතිර ගියාත් සමඟම, සියලු සංස්කෘතිවල ජනයා භූතානුභාවයෙන් බිහි වූ දර්ශනවාද සහ අදහස්වලින් හිතා මතාම විෂ කළ මිනිස් දැනගැන්මේ ජලාශවල ගොදුරු බවට පත් වූහ.
ආත්මික දූෂණයේ බලපෑම්
එවැනි ආත්මික දූෂණයකට කුමන හානියක් සිදු කළ හැකිද? අපගේ ශාරීරික සෞඛ්‍යය මත දූෂිත ජලය ඇති කරන බලපෑම්වලට අපට එය සැසඳිය හැක. එක් අධිකාරයක් මෙසේ පවසයි: “දූෂිත ජලය සම මත ගැටීමෙන් ඇති වන ෂිස්ටොසෝමයිසිස් (බිල්හාර්සියා) මගින් [එනම් නීරක්තය, අපහසුතාව, සාමාන්‍ය රෝගී සෞඛ්‍ය තත්වයක් සහ මරණය පවා ඇති කරන ගොළුබෙලි උණට] මිලියන 200ක් පමණ ජනයා ගොදුරු වී සිටිති. මිලියන පන්සියයක ජනතාවට අපවිත්‍ර ජලයෙන් සේදීම හේතුවෙන්, අන්ධභාවයට ප්‍රධාන හේතුකාරකයක් වන ට්රැකෝමාව වැළඳී ඇත. . . . මිනිස් සංහතියේ සාමාජිකයන් බිලියන දෙකකට පමණ ආරක්ෂිත පානීය ජලය නොමැත.” (අවර් කන්ට්‍රි, ද ප්ලැනට්) භූතමය බොරු ඉගැන්වීම්වලින් බාල කරන ලද සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ආත්මික ලෙස දුර්වලව, අන්ධව හා මරණයට පවා ගොදුරුව සිටිති.—1 කොරින්ති 10:20, 21; 2 කොරින්ති 4:3, 4.
උදාහරණයක් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ පියාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ අතර තිබෙන සබඳතාව සම්බන්ධයෙන් බොහෝදෙනෙක් වියවුල් වී හෝ අන්ධව සිටිති. යෙහෝවඃ නමැති දෙවියන්වහන්සේගේ පරිශුද්ධ නාමය, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවලින් ඉවත් කිරීම, ක්‍රිස්තියානියයි කියාගන්නා ඇතමෙකු අතර පුරුද්දක් බවට පත් විය. ජර්නල් ඔෆ් බිබ්ලිකල් ලිටරෙචර්හි ජෝර්ජ් හවර්ඩ් මෙසේ පවසයි: “අපගේ මතයට අනුව, අක්ෂර සතර මෙසේ ඉවත් කිරීම ‘ස්වාමි වූ දෙවියන්වහන්සේ’ හා ‘ස්වාමි වූ ක්‍රිස්තුස්වහන්සේ’ අතර සබඳතාව සම්බන්ධයෙන් මුල් අන්‍යජාතික ක්‍රිස්තියානීන්ගේ මනස් තුළ අවුලක් ඇති කිරීමට හේතු පාදක විය.”
මනුෂ්‍ය ආත්මය අමරණීයයි යන ශුද්ධ ලියවිලිමය නොවන සම්ප්රදාය මගින් ඇති කර තිබෙන වියවුල, මිථ්‍යා විශ්වාසය සහ බිය ගැනද සිතා බලන්න. (සසඳන්න දේශනාකාරයා 9:5; එසකියෙල් 18:4.) මුතුන්මිත්තන් නමස්කාරයට බැඳී නැතහොත් තමන්ට අනතුරු කිරීමට මළවුන් යළි පැමිණෙනු ඇත යන නිරතුරු බියෙන් ජීවත්වන කෙතරම් ජන සංඛ්‍යාවක් සිටිත්ද? මෙම විශ්වාසය ජනයාට තමන්වම හෝ වෙනත් අයව ඝාතනය කිරීමට පවා දිරිගන්වා ඇත.
මරණයේදී තමාගෙන් පිට වූ ආත්ම පරලොවේදී මුණගැසෙනු ඇතැයි බොහෝ ජපන් ජාතිකයන්ට හැඟේ. එබැවින්, සිය දිවි නසාගන්නා ඇතැම් දෙමාපියන් කල්පනා කර ඇත්තේ තමන්ගේ දරුවන්ද මරාදැමීම හොඳම දෙය බවය. ඇන් ඉංග්ලිෂ් ඩික්ෂනරි ඔෆ් ජැපනීස් වේස් ඔෆ් තිංකිං මෙසේ පැහැදිලි කරයි: “ජපානයෙහි සිය දිවි නසාගැනීම සැමවිටම හෙළා නොදකින නමුත්, බොහෝවිට එය සලකා තිබෙන්නේ, කෙනෙකුගේ බරපතළ වරදක් සඳහා ක්ෂමාව ලැබීමේ පිළිගත හැකි මාර්ගයක් වශයෙනි . . . පවුල් පිටින්ම සිය දිවි නසාගැනීම් සිදු වන විට, ඒවා පිළිබඳව වාර්තා අනුකම්පාසහගත වදන්වලින් පළවීමට ඉඩ කඩ තිබේ.”
සම්ප්‍රදායන් පරීක්ෂා කර බලන්න
අන්ධ ලෙස සම්ප්‍රදායානුකූල විශ්වාසයන් හා සිරිත් විරිත් අනුගමනය කිරීමෙහි ඇතුළත් වී ඇති අනතුරු පිළිබඳ සලකා බලද්දී, අපි කුමක් කළ යුත්තෙමුද? පළමු ශතවර්ෂයේ අවසාන භාගයේදී පමණ, ප්‍රේරිත යොහන් සෙසු ක්‍රිස්තියානීන්ට මෙම උපදෙස දුන්නේය: “ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම [ආනුභාවය ලත් ප්‍රකාශන, NW] විශ්වාස නොකොට [ජලය පවිත්රදැයි ඔබ පරීක්ෂා කර බලන්නාක් මෙන්ම] ඒ ආත්ම [ආනුභාවය ලත් ප්‍රකාශන, NW] දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරපල්ලා.” (1 යොහන් 4:1; එමෙන්ම 1 තෙසලෝනික 5:21ද බලන්න.) සම්ප්රදායක් අනතුරුදායකදැයි ඔබ දැනගන්නේ කෙසේද? ඔබ විශ්වාස කරන දෙය පරීක්ෂා කර බැලීමට ඔබට යම් ආකාරයක අධිකාරියක්, නිර්මලත්වයේ යම් ප්‍රමිතියක් අවශ්‍යය.
බයිබලය එවැනි අධිකාරියකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව. ඔබගේ වචනය සත්‍යතාවය.” (යොහන් 17:17, 18) උන්වහන්සේ මෙසේද පැවසූසේක: “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ.” (යොහන් 4:23) දේවානුභාව ලත් වචනය භාවිත කිරීම මගින්, මිනිස් හා භූතමය දර්ශනවලින් හෙබි දූෂිත ජලය තුළට යනවාට වඩා, ඔබ සත්‍යතාවේ නිර්මල ජලය තුළට යන්නෙහිය.—යොහන් 8:31, 32; 2 තිමෝති 3:16.
දූෂ්‍යකාරක ස්වල්පයකින් වුවත් මාරාන්තික ප්‍රතිඵල ඇති කළ හැකි බව මතක තබාගන්න. ඇතැම්විට එහි ආදීනව මතුවීමට වර්ෂ ගණන් ගත විය හැක. “අපවිත්‍ර ජලය ලෝකයේ දරුණුතම ඝාතකයා බවට පවා පත් වී ඇත. සෑම දිනකම අඩුම තරමින් විසිපන්දහසක් පමණ ජනයා එය පානය කිරීමෙන් මියයති,” යයි ජගත් සංරක්ෂක සමිතියේ හිටපු සභාපති ශ්රිඩාත් රාම්ෆල් පවසයි. ආත්මිකව දූෂිත වූ සම්ප්‍රදායන් ඊටත් වඩා බෙහෙවින් අනතුරුදායකය.
වර්ෂ ගණනාවක් පුරා ඔබ අනුගමනය කර තිබෙනවා විය හැකි සම්ප්‍රදායානුකූල විශ්වාසයන් සත්‍යය සමඟ ගැටෙන බවට ප්රත්යක්ෂ වන්නේ නම්, ඒවාවලින් සම්පූර්ණයෙන් ඈත්වීමට ඔබට ධෛර්යය තිබෙනවාද? අනතුරු ඇඟවීම්වලට අවනත වන්න. ඔබේ සම්ප්‍රදායන් දෙවියන්වහන්සේගේ නිර්මල වූ සත්‍ය වචනය සමඟ එකඟ වන බවට සහතික වෙමින් ඔබව සහ ඔබේ පවුල ආරක්ෂා කරගන්න.—ගීතාවලිය 19:8-11; හිතෝපදේශ 14:15; ක්‍රියා 17:11.
[පාදසටහන්වල]
a එවැනි ඉගැන්වීම්වලට බයිබලයෙහි පදනමක් නැති බව ඔප්පු කිරීම සඳහා රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස් බලන්න. මෙම පොත වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
[7වන පිටුවේ පින්තූරය]
දෙවියන්වහන්සේගේ සත්‍යතාවේ වචනය නිර්මල වූ, පැහැදිලි ජලයෙන් යුත් ගංගාවක් මෙනි