බලන්න! න්‍යු දූපතෙහි රාජ්‍ය ශාලාවක්
න්‍යු වනාහි දකුණු පැසිපික් සාගරයේ, නවසීලන්තයට කිලෝමීටර් 2,160ක් ඊසානයේ පිහිටි කුඩා කොරල් දූපතකි. සංචාරක විවරණිකාවකට අනුව න්‍යු නම් නාමය වචන දෙකකින් පැමිණේ, එනම් “පොල් ගස” යන තේරුම දෙන නිඌ සහ “බලව” නොහොත් “බලන්න” යන තේරුම දෙන ඒ යන දෙකය. එම විවරණිකාව මෙසේ පවසයි: “එම දේශයේ වැවුණු පොල් ගස් දැකීමෙන්, එහි පැමිණි පළමු පොලිනේසියානු පදිංචිකරුවන් එම වචන ප්‍රකාශ කළ බව ප්‍රබන්ධ කථාවල පැවසේ.”
අදදින, න්‍යු දූපතෙහි සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, අමුත්තන්ට “ඒ! ෆැලෙ හෙ කෞටූ මෞටෝලූ!” එනම් “බලන්න! අපගේ රාජ්‍ය ශාලාව!” යනුවෙන් පැවසීමට ආඩම්බර වෙති. මෙම ශාලාව සම්බන්ධයෙන් ඔවුන්ට මෙවන් ගැඹුරු හැඟීමක් තිබෙන්නේ මන්ද? සෑම තැනකම සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, විශේෂයෙන්ම ඔවුන් විසින්ම රාජ්‍ය ශාලා ඉදි කරනු ලැබුවේ නම්, ඒ සම්බන්ධයෙන් ආඩම්බර වෙති. එහෙත් විශාල දකුණු පැසිපික් සාගරය මැද පිහිටි දුර බැහැර දූපතක රාජ්‍ය ශාලාවක් ඉදි කිරීම හාත්පසින්ම වෙනස් කාරණයකි. ඒ මන්දයත්, න්‍යු දූපත වනාහි වර්ග කිලෝමීටර් 260ක ප්‍රදේශයක් ආවරණය කරන දේශයක් වන අතර, මුළු දූපතේම සිටින්නේ මිනිසුන් 2,300දෙනෙකු පමණක් වන බැවිනි.
රාජ්‍ය ශාලාව කවුරුන් විසින් ඉදි කරනු ඇද්ද යන්න ප්‍රශ්නයක් විය. න්‍යු දූපතෙහි තිබෙන එකම සභාවේ සිටින්නේ සාක්ෂිකරුවන් 32දෙනෙකු පමණි. මෙයට අවශ්‍ය කරන ට්‍රක් රථ, බුල්ඩෝසර් සහ දොඹකර වැනි විශාල උපකරණ සියල්ලක්ම අයිතිව තිබෙන්නේ ආණ්ඩුවටය. එපමණක්ද නොව, ගොඩනැඟිලි තැනීම සඳහා අවශ්‍ය වානේ, කොන්ක්‍රීට් කුට්ටි, සෙවිලි ද්‍රව්‍ය, විදුලි සහ ජලනළ උපකරණ, ශබ්ද විකාශන උපකරණ සහ පුටු යනාදිය සියල්ලක්ම පාහේ, සති පහකට වතාවක් ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවයකින්, නවසීලන්තයෙන් නැව්ගත කිරීමට සිදු වනු ඇත. අවසාන වශයෙන්, එම දූපතේ ගල් සහිත මතුපිට මත ඉදි කිරීම දුෂ්කර දෙයක් වනු ඇති අතර, නිවර්තන සැඩ කුණාටුවලට ඔරොත්තු දෙන ආකාරයට එම ශාලාව ගොඩනැඟීමටද සිදු වනු ඇත. සැබවින්ම මෙය කවරෙකුට හෝ ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇත!
කෙසේවෙතත් මෙහි විශාල වෙනසක් තිබිණ. රාජ්‍ය ශාලාවක්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට සැබෑ නමස්කාරය සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථානය වන අතර, මඟ පෙන්වීම සහ උපකාරය සඳහා ඔවුහු යෙහෝවඃ දෙවියන්වහන්සේ මත රඳා සිටිති. (ගීතාවලිය 56:11; 127:1) නවසීලන්තයේ ක්‍රිස්තියානි සහෝදරයෝ ඇතුළු ඕක්ලන්ඩ්හි පිහිටි න්‍යු සභාවක සාමාජිකයෝ, ගොඩනැඟීමේ ව්‍යාපෘතියට හෘද-පූර්ණ සහයෝගය පිරිනැමීම සඳහා න්‍යු දූපතෙහි සිටියාවූ සාක්ෂිකරුවන් කුඩා කණ්ඩායමට උපකාර කරන පිණිස පැමිණියෝය.
කරගෙන යෑමට තීරණය
එක්දහස් නවසිය අනූහතරේ ජූනි මාසයේදී නවසීලන්තයේ රෝටරුවාහි රාජ්‍ය ශාලා ඉදි කිරීම් භූමියකදී, න්‍යු දූපතේ ව්‍යාපෘතියට සහභාගි වීමට ආශාවෙන් සිටින අය සඳහා ආරාධනාවක් කරනු ලැබීය. ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් 200දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම පුදුමයට හේතුවක් විය. මොවුන්ගෙන් 80දෙනෙකු තෝරාගනු ලැබීය, මොවුන් අතර වඩුවෝ, වානේ වැඩකරුවෝ, නළකැමියෝ, වහල සෙවිලිකරන්නෝ, කපරාරුකරන්නෝ, පින්තාරුකරන්නෝ, විදුලි කාර්මික ශිල්පියෝ, ශබ්ද පරිපාලකයෝ, කොන්ක්‍රීට් සාදන්නෝ, පෙදරේරුවෝ සහ කුලී වැඩකරුවෝ වූහ.
සහෝදරයෝ පිඹුර පත් සාදා යෙහෝවඃවහන්සේ මත විශ්වාසය තබමින් වැඩ ආරම්භ කළෝය. ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකු වූ, න්‍යු දූපතේ සභාවෙහි වැඩිමහල්ලන් දෙදෙනාගෙන් එක්කෙනෙක්, අවශ්‍ය කරන සෑම ද්‍රව්‍යයක්ම නැව්ගත කිරීම සඳහා කටයුතු පිළියෙළ කිරීමට පටන්ගත්තේය. තමන්ගේම වියදම් පියවීමට ඉදිරිපත් වූ විදේශීය සේවකයන් සඳහා විශේෂ ගුවන් ගමන්/නවාතැන් පහසුකම් සාකච්ඡා කොට ගිවිසගනු ලැබූ අතර, ඉදි කිරීමට දින නියම කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය 1995 මාර්තු 4 සිට මාර්තු 23 දක්වා දින 20කින් නිමවීමට තිබිණ, එවිට රාජ්‍ය ශාලාව කැපකරනු ලබනවා ඇත.
“එම ඉඩම දැකීමෙන් මා මුල් වරට මහත් කාන්සාවක් අද්දැක්කා,” කියා නවසීලන්තයෙන් සතියකට කලින් පැමිණි ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා පැවසුවේය. “සම්පූර්ණ භූමියම ගල්වලින් පිරිලා. අඩිතාලම හෑරීමට පමණක් සති දෙකක් ගත වෙයි.” එහෙත් ඔහු ප්‍රාදේශීය සාක්ෂිකාරයන්ව අඩු තක්සේරු කර තිබුණු බව පසුව පිළිගත්තේය. “න්‍යු දූපතේ සහෝදරයන්ට ගල්වල සංයුතිය පිළිබඳව මනා දැනුමක් තිබෙනවා,” කියා ඔහු පැවසුවේය. “ලොකු කෑලි කැඩී වෙන්වීමට හැකි වන ආකාරයට ගලකට ගැසිය යුතු හරි තැන ඔවුන් දන්නවා.” අඩිතාලම දින දෙකකින් නිම කරන ලදි!
මාර්තු 4වන දින නවසීලන්ත සහෝදරයන්ගෙන් පිරුණා වූ ප්‍රථම ගුවන්යානය පැමිණි අතර, කොන්ක්‍රීට් වැඩ කරනු ලැබීය. සේවක කණ්ඩායම් පිළිවෙළින් පැමිණීමත් සමඟම, ව්‍යාපෘතියේ විවිධ අදියර නිම කරනු ලැබීය. වැඩ දින පෙ.ව. 7.00ට, දිනපතා ශුද්ධ ලියවිලි පදය කෙටියෙන් සාකච්ඡා කිරීමත් සමඟම ආරම්භ විය. ඇතැම් සහෝදරයෝ දිනකට පැය 12ක පමණ කාලයක්, සෙල්සියස් අංශක 36ක උෂ්ණත්වයක් යටතේ වැඩ කළෝය. අවසාන වශයෙන්, මාර්තු 23 වන විට භූමිය අලංකාර ලෙස සකසා තිබිණ. අඹ ගසක් උපයෝගි කරගෙන සාදන ලද සිත්ගන්නා දැන්වීමක් එම ගොඩනැඟිල්ල “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව” වශයෙන් හැඳින්වීය.
සහයෝගිතාවේ සහ ආගන්තුක සත්කාරශීලීභාවයේ ස්ප්‍රීතුව
න්‍යු දූපතේ ජනයාගේ සහයෝගය, එම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට දායක වූ අතිවැදගත් සාධකයකි. එම අවස්ථාවේ ස්ප්‍රීතුවෙන් පොලඹවනු ලැබූ අවට ගැමියෝ, ආහාර හා මුදල් පරිත්‍යාග කළෝය. බොහෝදෙනෙක් එම ශාලාවේ ඉදි කිරීම තමන්ගේම ව්‍යාපෘතියක් ලෙස සැලකුවෝය. ආණ්ඩුවේ නිලධාරීහු සහ ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වූවාට වඩා උපකාරයක් පිරිනැමූහ. අවශ්‍යව තිබුණා වූ උපකරණද, වඩු වැඩ කර්මාන්ත ශාලාවක්ද ඔවුන්ගේ භාවිතය සඳහා ඉදිරිපත් කර තිබිණ. අවශ්‍ය අමු ද්‍රව්‍ය නිසි වේලාවට ලැබීම සහතික කිරීම සඳහා නැව්ගත කිරීමේ සමාගම එහි නැවේ මාර්ගය පවා වෙනස් කළේය.
තම නිවාස සහ සම්පත් බෙදාගත් න්‍යු දූපතේ සාක්ෂිකරුවන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ආගන්තුක සත්කාරශීලීභාවය, අමුත්තෝ සැබවින්ම අගය කළෝය. “ප්‍රාදේශීය සහෝදරියෝ නම් කදිමයි” කියා එක් ඉදි කිරීම් සේවකයෙක් පැවසුවේය. සෑම දිනම ඔවුන්ට ලැබුණා වූ උණුසුම් දහවල් ආහාරයට අමතරව පිසින ලද උදේ ආහාරයක් සෑම උදෑසනකම 6.30ට පමණ සහෝදරියෝ සැපයූහ. සමහරු ආහාරය සූදානම් කිරීම සඳහා පෙ.ව. 4.30ට නැඟිටුණෝය. එක් ඉදි කිරීම් සේවකයෙක් මෙසේ පැවසුවේය: “අපගේම නිවාසවලට වඩා හොඳින් අප න්‍යු දූපතේ ජීවත් වූ බව මම සිතනවා.”
මාර්තු 10වන දින න්‍යු ස්ටාර් පුවත්පතේ මුල් පිටුවේ, “න්‍යු දූපතේ පළමු රාජ්‍ය ශාලාව” යන ශීර්ෂ පාඨය සමඟින් මෙම සිද්ධිය වාර්තා කළ අතර, එම භූමියේ වැඩ කරමින් සිටි නවසීලන්තයන්ගේ සහ න්‍යු දූපතේ සහෝදරයන්ගේ පින්තූරයක්ද ඊට ඇතුළත් විය. එම ශාලාවේ ප්‍රමාණය වර්ග මීටර් 280ක් වන බවත්, එහි 70දෙනෙකු සිට 100දෙනෙකු දක්වා ආසන පහසුකම් තිබෙන බවත් එය විස්තර කළේය. එම ලිපිය මෙසේ එකතු කළේය: “මෙම කටයුත්ත ඇත්තෙන්ම [සති] දෙකකින් නිම කළ හැකිය, එහෙත් මේ අවස්ථාවේදී එය දික් කරනු ලැබේ. මේ අවස්ථාවේදී, එනම් වැඩ ආරම්භ වී දින දෙකක් ඇතුළත, කල් තියාම අත්තිවාරම, රාමු, පරාල හා වහල ඉදි කර තිබේ.”
න්‍යු දූපතේ සිටින සියලුදෙනා විසින්ම එම ව්‍යාපෘතිය බලා ඉන් පාඩමක් ඉගෙනගන්නා මෙන්, ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙක් තම කැමැත්ත පළ කළේය. ප්‍රේමයෙන් සහ සහයෝගිතාවෙන් කළ හැකි දේ කුමක්ද කියා සියලුදෙනාටම එය පෙන්වනු ඇතැයි කියා තමා බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය.
කැපකිරීම සඳහා 204දෙනෙකුගෙන් යුත් සමූහයක් පැමිණියෝය. පැමිණි සියලුදෙනාටම හැඟීම් දනවන අද්දැකීමක් වූයේ, න්‍යු දූපතේ සහෝදර සහෝදරියන් සහ දරුවන් විසින්, ගීතයෙන් සහ නැටුමෙන් රාජ්‍ය ශාලාව ගොඩනැඟුණු ආකාරය දක්වනු ලැබූ විශේෂ ඉදිරිපත් කිරීමය. ඉදි කිරීම් කණ්ඩායමටත්, මෙම කටයුත්ත සම්පුර්ණ කිරීමට ස්වකීය ආත්මය යොදා මනස්, හදවත් හා දෑත් පෙලඹූ යෙහෝවඃවහන්සේටත් තුති පුදන ලදි.—යෙසායා 40:28-31.