ඉරිනාගේ ප්‍රියතම ගීතිකා පොත
බල්ගේරියාවේ සොෆියා නම් නගරයේ, අවුරුදු නවයක් වයසැති ඉරිනා නම් දැරියක් මෑතකදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක ලෙස බව්තීස්ම ලැබුවාය. ඇය ගායනා කිරීමට ප්‍රිය කරන අතර, විශේෂයෙන්ම යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගයන්න නම් පොතේ තිබෙන ගීතිකාවලින් ඈ ඉමහත් ප්‍රීතියක් ලබන්නීය. එබැවින් සෑම මසකම ගීතිකා ස්වල්පයක් කටපාඩම් කිරීමට ඉරිනා ඉලක්ක කරගත්තාය.
පාසැලේදී, සංගීතය ඉරිනාගේ ප්‍රියතම විෂයන්ගෙන් එකකි. එබැවින් පාසැල් ගීතිකා කණ්ඩායමේ ගායනා කිරීමට කළ ආරාධනාව ඉරිනා ප්‍රතික්ෂේප කළ විට, ඇගේ සංගීත ගුරුතුමිය ව්‍යාකූල වූවාය. ඉරිනා ප්‍රතික්ෂේප කළේ මන්ද? ඇයට ගැයීමට සිදු වන ගී බොහොමයක්ම මිථ්‍යා මූලාරම්භයක් ඇති, ජාතික වීරවරයන් සහ නිවාඩු දිනයන් ගෞරවයට පත් කරවන බව ඈ වටහාගත්තාය. සමහර ගීත ජාතික පරමාදර්ශවලට අනුබල දෙමින් කැරලිකාර ස්වභාවයක් සහ සාහසිකකමට පක්ෂව අදහස් ඉදිරිපත් කරයි. මෙම කාරණය සම්බන්ධයෙන් ඉරිනාගේ ස්ථාවරය ගුරුතුමියට තේරුම්ගැනීමට නොහැකි විය. ඇයගේ ආගමික විශ්වාසයන් සඳහන් කරමින් ගුරුතුමියට ලිපියක් යැවීමට ඉරිනා යොමු වූ නමුත්, ඉන් සාර්ථක ප්‍රතිඵල අත් නොවීය.
ඉරිනාගේ පියාට අදහසක් තිබිණ. ඉරිනා ගායනා කිරීමට ප්‍රිය කරන ගීතිකා අඩංගු යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගයන්න, යන පොතේ පිටපතක් ඔහු ගුරුතුමියට දුන්නේය. දින කිහිපයකට පසුව, ගුරුතුමිය ඉරිනාව සංගීත කාමරයට කැඳවූවාය. ඇයගේ පංතියේ මිතුරන් ඉදිරියේ, ගුරුතුමිය පියානෝව වාදනය කරද්දී එම පොතෙන් ඇගේ ප්‍රියතම ගීතිකාවලින් සමහරක් ගායනා කිරීමට ඉරිනාගෙන් ඈ ඉල්ලා සිටියාය. එම ඉදිරිපත් කිරීම පැයකට වඩා කාලයකට පැවතිණ! ඉරිනාගේ ප්‍රියතම ගීතිකා පොත තුළ කන්කලු තාල තිබුණු බව පිළිගැනීමට ගුරුතුමියට සිදු විය.